ආරක්ෂිත නිවාස සංකීර්ණවල ‘සම්පූර්ණ සාක්ෂියක් දරන්න’
1. “ශුභාරංචිය ගැන සම්පූර්ණයෙන් සාක්ෂි දැරීමට” දරන වෑයමේදී අප අමතක නොකළ යුත්තේ කාවද?
1 පාවුල්ගේ ආශාව වුණේ ‘ශුභාරංචිය ගැන සම්පූර්ණයෙන් සාක්ෂි දරන්නයි.’ (ක්‍රියා 20:24) අපේ ආශාවත් එයමයි. අපේ සභාවට අයත් ප්‍රදේශයේ සිටින සැමෝටම පාහේ සාක්ෂි දරන්න අප වෑයම් කරන්නේ ඒ නිසයි. එසේ කරන විට ආරක්ෂක නිලධාරීන්ගේ අවසරය ඇතුව ඇතුළු විය යුතු නිවාස සංකීර්ණවල ජීවත් වන අයවද අප අමතක කරන්නේ නැහැ. ඇතැම්විට එය අභියෝගයක් විය හැකි වුණත් ඒවායේ බොහෝ ජනයා ජීවත් වන නිසා සාක්ෂි දැරීමට බොහෝ අවස්ථා අපට උදා වෙනවා.
2. ආරක්ෂිත නිවාසවල සාක්ෂි දරන විට ස්ථානෝචිත ප්‍රඥාව පාවිච්චි කිරීම වැදගත් වන්නේ ඇයි?
2 අපරාධ වළක්වාගැනීමට සමහර ආරක්ෂිත නිවාසවලට ඇතුළු වන දොරටු අසල ආරක්ෂක නිලධාරියෙක් සිටිනවා. එසේ නැත්නම් ආරක්ෂක කැමරා සවි කර තිබෙනවා. (2 තිමෝ. 3:1, 2) ආරාධනාවක් නැති අමුත්තන්ට ඇතුල් වීමට අවසර නොදීම සඳහා එහි පාලකයන් විසින් නීති දමා තිබෙනවාද විය හැකියි. එමනිසා යම් නිවැසියෙක් පැමිණිලි කළහොත් එතැනින් පිට වී යන ලෙස එම නිවාස භාර නිලධාරියා අපෙන් ඉල්ලා සිටිය හැකියි. ඉහත හේතු නිසා එවැනි ස්ථානවල සේවය කරන විට ස්ථානෝචිත ප්‍රඥාව පාවිච්චි කිරීම ඉතාම වැදගත්.
3. ආරක්ෂිත නිවාසවල සාක්ෂි දැරීමට සුදුසුම අවස්ථාව කුමක්ද? ඒ ඇයි?
3 සුදුසුම අවස්ථාව: ආරක්ෂිත නිවාස සංකීර්ණවල සාක්ෂි දැරීමට සුදුසුම අවස්ථාව වන්නේ ජනයා නිවෙස්වල සිටින අවස්ථායි. ජනයා එවැනි නිවාසවල නැති අවස්ථාවල අප එහි යනවා නම් අප ගැන සැක ඇති වීමට ඉඩ තිබෙනවා. ඇතැම්විට නැවත අපට එහි යෑමට බැරි තත්වයක්ද උද්ගත විය හැකියි. එවැනි තත්වයන් මඟහරවා ගැනීමට බොහෝ ප්‍රචාරකයන් කරන්නේ ජනයා නිවෙස්වල සිටින සතියේ දිනවල සවස් වරුවේ හෝ සෙනසුරාදා හා ඉරිදා දිනවල එවැනි නිවෙස්වලට යෑමයි.
4, 5. ප්‍රධාන දොරටුව වසා අඟුල් දමා ඇත්නම් නිවැසියන්ව හමු වීම සඳහා කුමක් කළ හැකිද?
4 ආරක්ෂිත නිවාස සංකීර්ණයට ඇතුළු වීම: දේවසේවයේ යෑමට පෙර එම නිවාස භාර තැනැත්තාව හෝ වෙනත් නිලධාරියෙකුව හමු වීම අවශ්‍ය නැහැ. ප්‍රධාන දොරටුව වසා අඟුල් දමා ඇත්නම් දොරටුවේ සවි කර ඇති දුරකථනය මාර්ගයෙන් අප සමඟ ටිකක් සාකච්ඡා කළ හැකිද කියා ඇසිය හැකියි. යම් කෙනෙක් ඔබව ඇතුළට ආරාධනා කළා කියා සිතමු. ඔහුට දේශනා කළ පසු ඒ ගමන්ම අනික් නිවාසවලටත් යෑමට ඔබට හැකියි. නමුත් එසේ කිරීමෙන් ගැටළු ඇති විය හැකියි කියා දැණුනොත් අනිකුත් නිවාසවලට නොගොස් නැවත ප්‍රධාන දොරටුව අසල ඇති දුරකථනය යොදාගෙන වෙනත් කෙනෙකුට කතා කර ඒ පුද්ගලයාගේ නිවසට යෑමට ඔබට සිදු විය හැකියි. ඒ කුමන ආකාරයෙන් ඇතුළු වුණත් නිවැසියන් කීදෙනෙකු මුණගැසෙනවාද කියා ඔබට ඥානවන්තව තීරණය කළ හැකියි.
5 අප පැමිණි අරමුණ ප්‍රධාන දොරටුවේ සවි කර ඇති දුරකථනය මාර්ගයෙන් පවසනවාට සමහර නිවැසියන් කැමතියි. එසේනම් සුහදව ඔබව හඳුන්වා දෙන්න. දුරකථන අංකය යටින් නිවැසියාගේ නම සඳහන් කර ඇත්නම් ඔහුව අමතන විට ඔහුගේ නම පාවිච්චි කරන්න. ඉන්පසු පණිවිඩය කෙටියෙන් දන්වන්න. බයිබල් සාකච්ඡාවන් ආරම්භ කර දිගටම පවත්වාගෙන යා හැකි අයුරු නමැති පොත් පිංචයේ සඳහන් හැඳින්වීමක් එහි සඳහන් ආකාරයටම කියවීමෙන් සමහර ප්‍රචාරකයන් හොඳ ප්‍රතිචාර ලබාගෙන තිබෙනවා.
6. ආරක්ෂක නිලධාරියෙක් සිටින විට අපට කුමක් කළ හැකිද?
6 ආරක්ෂක නිලධාරියා අපට එම නිවාසවලට ඇතුළු වීමට අවසර දෙන්නේ නැත්නම් ඔහුට දේශනා කිරීමට අපට හැකියි. සාමාන්‍යයෙන් අපගේ සඟරා හා පොත් කියවීමට ආරක්ෂක නිලධාරීන් කැමතියි. සමහරවිට ඔවුන් සමඟ බයිබල් පාඩමක් කිරීමටත් අපට හැකියි. අනික් අතට යම් නිවැසියෙකුට දේශනා කිරීමට ඔවුන් අපට ඉඩ දුන්නොත් වෙනත් නිවැසියන්ට කතා කිරීමට එම අවස්ථාව යොදාගැනීම සුදුසු නැහැ.
7. අපගේ පොත් හා සඟරා ගෙන යන ආකාරය ගැන සලකා බැලිය යුතු කරුණු මොනවාද?
7 අනවශ්‍ය අවධානයක් එපා: පොත් පත් අඩංගු විශාල බෑගයක් රැගෙන යෑම අනවශ්‍ය අවධානයක් ඇදගැනීමට හේතු වෙයි. ඇතැම්විට බෑගයක් රැගෙන නොයෑම හොඳ දෙයක් විය හැකියි. සමහර ප්‍රචාරකයන් මාසයට අදාළ පොත් පත් [ඇතුළත පෙනෙන] ෆයිල් කවරයක දමාගෙන යන අතර බයිබලය අතේ ගෙන යනවා. කෙසේවෙතත් පොත් හා සඟරා ගෙන යන්නේ කෙසේද කියා ප්‍රදේශයට අනුව ඔබට ඥානවන්තව කල්පනා කර බැලිය හැකියි.
8. ආරක්ෂිත තට්ටු නිවාසයේ සේවය කරන විට අපි සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?
8 තට්ටුවලින් සමන්විත ආරක්ෂිත නිවාස සංකීර්ණත් තිබෙනවා. ඒවාට ඇතුළු වන ප්‍රධාන දොරටුව අසල හෝ වාහන නවතා තබන ස්ථානවල විශාල පිරිසක් සේවය සඳහා රැස් වුණොත් සිදු වන්නේ අනවශ්‍ය අවධානයක් ඇදගැනීමයි. බහුල වශයෙන් අපරාධ සිදු වන ප්‍රදේශවල පිහිටි එවැනි තට්ටු නිවාසවල සාක්ෂි දරන විට අප විශේෂයෙන්ම සුපරීක්ෂාකාරී විය යුතුයි. (හිතෝ. 22:3) උදාහරණයක් හැටියට, ප්‍රචාරකයන් ජෝඩු දෙකක් හෝ තුනක් එකිනෙකාව පෙනෙන හා ඇසෙන දුරින් සිටින ආකාරයට එකම තට්ටුවේ සේවය කළ හැකියි. දොරවල්වලට තට්ටු කරද්දීත් හැමෝම එකවිට තට්ටු නොකිරීමට වග බලා ගන්න.
9. අප නිවැසියන් ගැන සැලකිලිමත් වෙනවා කියා පෙන්විය හැක්කේ කෙසේද? එය වැදගත් වන්නේ ඇයි?
9 එවැනි නිවාසයකට ඇතුල් වන විට සපත්තු පිසදා ඇතුළු වන්න. ඇතුළු වූ පසු දොරටුව සම්පූර්ණයෙන් වසා ඇති බවට සහතික වන්න. අප ඒ ආකාරයට නිවැසියන් ගැන සැලකිලිමත් වෙනවා නම් අපට විරුද්ධව පැමිණිලි කිරීමට තිබෙන අවස්ථා ඇහිරී යනවා. ගොඩනැඟිල්ලට ඇතුළු වූ පසු අරමුණක් නැතුව එහෙ මෙහෙ ඇවිදින්න එපා. ඒ වෙනුවට විදුලි සෝපානයෙන් හෝ තරප්පු පෙළ දිගේ හෝ නියමිත තට්ටුව වෙත කෙළින්ම යන්න. එවිට කිසිවෙකුට අපව සැක කිරීමට හේතුවක් ඇති වෙන්නේ නැහැ.
10. කොරිඩෝවේ අනවශ්‍ය ශබ්දයක් ඇති කිරීමෙන් වැළකීමට අපට හැක්කේ කෙසේද?
10 සාමාන්‍යයෙන් ආරක්ෂිත තට්ටු නිවාසවල එක් එක් තට්ටුවේ තිබෙන නිවෙස්වලට ඇතුල් වන්නේ කොරිඩෝවකින් ගමන් කිරීමෙනුයි. අප කොරිඩෝව තුළදී උස් හඬින් කතා කළොත් එය මුළු කොරිඩෝව පුරාම පැතිරෙනවා. එමනිසා නිවැසියෙකුට කතා කරන විට ඔහුට ඇහෙන තරමට වඩා උස් හඬකින් කතා කරන්න එපා. වෙනත් ප්‍රචාරකයන්ට කතා කරන විටත් අඩු හඬකින් සන්සුන්ව කතා කරන්න. නමුත් දකින කෙනෙකුට සැකයක් ඇති වන ආකාරයට රහසින් මෙන් කතා කළ යුතු නැහැ. දොරට තට්ටු කරන විට ඇතුළේ සිටින අය බියගන්වන තරමට තදින් තට්ටු කිරීමෙන් වළකින්න. අප ඒ ආකාරයට සැලකිලිමත්ව කටයුතු කරනවා නම් නිවැසියන්ට අපෙන් බාධා පැමිණෙන්නේ නැහැ. සමහර ප්‍රචාරකයන් කොරිඩෝවේ තිබෙන සෑම නිවසක්ම එක පෙළට කරගෙන යන්නේ නැහැ. ඒ වෙනුවට මුලින්ම කොරිඩෝවේ එක් කොනක තිබෙන නිවසක්ද ඉන්පසු අනික් කොනේ තිබෙන නිවසද නැවත මුලින් ගිය පැත්තේ තිබෙන ඊළඟ නිවසද ආදි වශයෙන් සේවය කරයි.
11. පිටත සිටින අයව බැලීමට කුඩා සිදුරක් සහිත දොරකට තට්ටු කළ පසු අපට කළ හැකි දේවල් මොනවාද?
11 දොරට තට්ටු කරන්නේ කවුද කියා බැලීමට සමහර දොරවල්වල කුඩා සිදුරක් තිබෙනවා. එමනිසා ඇතුළේ සිටින තැනැත්තාට ඔබවත් අනික් ප්රචාරකයාවත් පැහැදිලිව දැකගත හැකි වන ලෙස සිටගන්න. එම සිදුර දෙස කෙළින්ම බලා සිටින්න. නිවසේ සිටින කෙනෙක් එම සිදුරෙන් බලනවා ඔබ දුටු විගස සිනහා මුසු මුහුණෙන් යුතුව ඔහුට සුබ පතා පණිවිඩය පවසන්න. ‘ඔයාලා කව්ද’ කියා ඇසුවොත් ඔබේත් අනික් ප්රචාරකයාගේත් නම් සඳහන් කිරීම වඩාත් හොඳයි. එවිට ඇතුළට ආරාධනා කිරීමට සමහරවිට ඔහු පෙලඹෙන්න ඉඩ තිබෙනවා. එසේ නොකළොත් කොරිඩෝවේ සිටගෙනම පණිවිඩය ඉදිරිපත් කිරීමට ඔබට සිදු විය හැකියි.
12. කිසිවෙකු නැති නිවෙස්වලට සඟරා හා පත්‍රිකා තබා එන විට කුමක් කළ හැකිද?
12 නිවසේ කිසිවෙකු නැති විට: ආරක්ෂිත තට්ටු නිවස භාර නිලධාරීන් නිතරම පාහේ පැමිණිලි කරන්නේ අපගේ සඟරා කොරිඩෝවේ හෝ ගොඩනැඟිල්ල අවට වැටී තිබෙන බවයි. දොර අසලින් හෝ දොරට හිර කර තබන සඟරා හා පත්‍රිකා බොහෝ අවස්ථාවලදී බිම වැටී කැළි කසළ ගණනට වැටෙනවා. එමනිසා කිසිවෙකු නැති නිවෙස්වල තබා පැමිණෙන සඟරා හා පත්‍රිකා කිසිවෙකුට නොපෙනෙන ලෙස ඇතුළට දමා පැමිණිය යුතුයි.
13. කෝප වූ නිවැසියෙක් හමු වූ විට කුමක් කළ හැකිද?
13 කෝප වූ නිවැසියන්: කෝප වූ යම් නිවැසියෙක් ආරක්ෂිත නිවස භාර නිලධාරියා කැඳවීමට සූදානම් වුණොත් එම තට්ටුව හැර ගොස් වෙනත් අවස්ථාවක යළි පැමිණිය හැකියි. නිවාස භාර නිලධාරියා පැමිණ අනවශ්‍ය ගැටලුවකට මැදි නොවීම සඳහා තට්ටු නිවාසයෙන් පිට වී යෑම සමහර අවස්ථාවලදී සුදුසු විය හැකියි. එම නිවැසියා තමන්ව මින් මතු හමු වීමට පැමිණෙන්න එපා කියා නොකිව්වත් එම නිවසේ අංකය ලියාගෙන යම් කලකට නොයා යුතු නිවසක් ලෙස ප්‍රදේශ සිතියමේ සටහන් කරගැනීම සුදුසුයි. සභාවට අයත් ප්‍රදේශය පුරා සිටින එවැනි ගේහිමියන්ව විටින්විට ගොස් හමු වී ඔවුන්ගේ වර්තමාන ප්‍රතිචාරය කුමක්ද කියා සොයා බැලිය යුතුයි.
14, 15. ආරක්ෂිත නිවාසය භාර නිලධාරියෙක් පිට වී යන ලෙස අපට පැවසුවොත් අප කරන්නේ කුමක්ද?
14 පිට වී යන ලෙස දැන්නුවොත්: ආරක්ෂිත නිවාස සංකීර්ණය භාර නිලධාරියා, එහි ආරක්ෂක නිලධාරියා, නඩත්තු කටයුතු භාර නිලධාරියා හෝ නිවාසය භාරව කටයුතු කරන වෙනත් නිලධාරියෙක් අපට එම නිවාස සංකීර්ණයෙන් පිට වී යන ලෙස දැන්නුවොත් හැකි ඉක්මනින් ඉවත්ව යෑම ඥානවන්තයි. පොලීසිය වෙත යෑමෙන් හෝ වෙනත් නීතික ගැටලු ඇති කරගැනීමෙන් අප හැකි සෑම අවස්ථාවකදීම වැළකී සිටිනවා. බොහෝ අවස්ථාවලදී එම නිලධාරීන් එසේ ක්‍රියා කරන්නේ ඔවුන්ට පවරා ඇති රාජකාරිය නිසා මිස ඔවුන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අකමැති නිසා නොවෙයි.
15 යම් නිලධාරියෙක් අපට පිට වී යන ලෙස දන්වන සමහර අවස්ථාවලදී අප පැමිණි කාරණය සන්සුන්ව හා කාරුණිකව ඔහුට පැවසීමට අපට හැකියි. (1 පේතෘ. 3:15) නිවැසියන්ව සතුටින් තැබීමට හා ඔවුන්ට ආරක්ෂාව සැපයීමට ඔහුට තිබෙන වගකීම අප තේරුම්ගෙන තිබෙන බව පැවසීමටද හැකියි. එවිට ඔහු අපට ආරක්ෂිත නිවාස සංකීර්ණයේ දිගටම දේශනා කිරීමට අවසර දීමටත් ඉඩ තිබෙනවා. එසේ නොවුණත් වාද නොකර සන්සුන්ව එතැනින් පිට වී යන්න. සෑම මාසයකම අපගේ සඟරා ලැබුණු විට පැමිණ ඒවා මුරකුටියේ හෝ තැපැල් පෙට්ටියේ දමන්නද කියා අසා දැනගන්න. (කොලො. 4:6) මෙවැනි තත්වයක් උද්ගත වුණොත් ඒ පිළිබඳව සේවා අවේක්ෂකව දැනුවත් කළ යුතුයි.
16. ආරක්ෂිත නිවාස සංකීර්ණයක සේවය කිරීමට දිගින් දිගටම බාධා පැමිණෙයි නම් කුමක් කළ හැකිද?
16 යම් කාලයක් ගත වූ පසු එහි නිවැසියන්ට සාක්ෂි දැරීමට අවස්ථාවක් උදා කරගැනීමට අපට හැකියි. නමුත් දිගටම ගැටලු පැනනඟියි නම් ප්‍රචාරකයන් ගොස් ඒ ගැන සාකච්ඡා කරන්න උත්සාහ කරනවා වෙනුවට වැඩිමහල්ලන් ශාඛා කාර්යාලයෙන් ඒ පිළිබඳව උපදෙස් ලබාගත යුතුයි. ප්‍රචාරකයන්ට ආරක්ෂිත නිවාසවල සේවය කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී තිබෙනවා නම් ඔවුන්ට වෙනත් ක්‍රමයකින් සාක්ෂි දැරීමට උත්සාහ කළ හැකියි. ඔවුන්ට දුරකථනයෙන් හෝ ලිපි මාර්ගයෙන් සාක්ෂි දැරිය හැකියි. සමහර ප්‍රචාරකයන් එහි නිවැසියන් රැකියාවට යන හා නැවත පැමිණෙන වේලාවන්වල එනම් උදෑසන හා සවස ආරක්ෂිත නිවාස ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ වීදි සේවයේ නිරත වෙනවා.
17. ආරක්ෂිත නිවාස සංකීර්ණවල සිටින අයට සාක්ෂි දැරීම වැදගත් වන්නේ ඇයි?
17 මේ දුෂ්ට සමාජයේ අවසානය ඉතාම වේගයෙන් ළඟා වෙනවා. ගැලවීම ලබන්නේ යෙහෝවා දෙවිගේ නාමයට අයදින අය පමණයි. “නමුත් ඔවුන් ඇදහිල්ල නොතැබූ කෙනෙකුගෙන් අයැදින්නේ කෙසේද? අසා නැති කෙනෙකු කෙරෙහි ඔවුන් ඇදහිල්ල තබන්නේ කෙසේද” කියා පාවුල් ඇසුවා. (රෝම 10:13, 14) “සදාකාල ජීවනය සඳහා නිසි නැඹුරුවාවක්” ඇති බොහෝදෙනා ආරක්ෂිත නිවාස සංකීර්ණවලත් ජීවත් වෙනවා. (ක්‍රියා 13:48) ඥානවන්ත ලෙස තැනට ගැළපෙන ආකාරයට කටයුතු කළොත් ඔවුන්ට සාක්ෂි දැරීමට අපට අවස්ථාව උදා කරගත හැකි වෙයි.