අවිධිමත් ලෙස ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ඔබටත් හැකියි!
1. (අ) අවිධිමත් ලෙස ශුභාරංචිය ප්‍රකාශ කරනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) අවිධිමත් ලෙස ශුභාරංචිය ප්‍රකාශ කිරීම නිසා සත්‍යය දැනගැනීමට ලැබුණු කීදෙනෙක් ඔබ අතර සිටිනවාද?
1 අවිධිමත් ලෙස ශුභාරංචිය ප්‍රකාශ කිරීම නිසා සාක්ෂිකරුවන් බවට පත් වූ කීදෙනෙක් ඔබේ සභාවේ සිටිනවාද? එම සංඛ්‍යාව දැනගැනීමෙන් ඔබ පුදුමයට පත් වේවි. අවිධිමත් ආකාරයට ශුභාරංචිය ප්‍රකාශ කරනවා කීමෙන් අදහස් කරන්නේ ගමන්බිමන් යන විට, නෑදෑ හිතමිතුරන් හෝ අසල්වාසීන්ට, වෙළඳපොළට යන විට නැත්නම් පාසැලේදී හෝ රැකියා ස්ථානයේදී හමු වන අයට දේවරාජ්‍යය ගැන කතා කිරීමයි. දේවරාජ්‍යය ගැන දැනගැනීමට ලැබුණේ කොහොමද කියා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 200කට වැඩි දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකින් ඇසූ විට ඉන් සියයට 40ක්ම පැවසුවේ ඔවුන්ට එය දැනගැනීමට ලැබුණේ අවිධිමත් ලෙස සාක්ෂි දැරීම නිසා බවයි. ඒ නිසා අවිධිමත් ලෙස ශුභාරංචිය ප්‍රකාශ කිරීම බලපෑමෙන් යුක්තයි කියා පැවසිය හැකියි.
2. අවිධිමත් ලෙස ශුභාරංචිය ප්‍රකාශ කළ බයිබලයේ සඳහන් උදාහරණ මොනවාද?
2 පළමු ශතවර්ෂයේ සිටි බොහෝදෙනෙක් දේවරාජ්‍යය ගැන කතා කළේ අවිධිමත් ලෙසයි. ඒ සඳහා උදාහරණ කිහිපයක් පහත සඳහන් වෙනවා. යේසුස් සමාරිය පසු කරගෙන යන අතර යාකොබ්ගේ ළිඳ අසල මදකට නතර වුණා. එතැනට පැමිණි සමාරිය ස්ත්‍රියට ඔහු දේවරාජ්‍යය ගැන කතා කළා. (යොහ. 4:6-26) යෙසායාගේ පොත කියවමින් සිටි ඉතියෝපියානු නිලධාරියාගෙන් ෆිලිප් “ඔබ කියවන දේ ඔබට ඇත්තටම වැටහෙනවාද?” කියා අසමින් සංවාදයක් ආරම්භ කළා. (ක්‍රියා 8:26-38) පාවුල් ෆිලිප්පියේ සිරභාරයේ සිටින විට සිරගෙයි භාරකරුට ශුභාරංචිය ප්‍රකාශ කළා. (ක්‍රියා 16:23-34) එමෙන්ම පාවුල් නිවාස අඩස්සියේ සිටින විට තමන්ව ‘හමු වීමට පැමිණි සියලුදෙනාව සාදරයෙන් පිළිගත් ඔහු, නිර්භීතව හා මහත් උද්යෝගයකින් දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කරමින් ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් පිළිබඳව දේවල් ඉගැන්නුවා.’ (ක්‍රියා 28:30, 31) ඔබ ලැජ්ජාශීලී කෙනෙක් වුණත් ඔබටත් අවිධිමත් ලෙස ශුභාරංචිය ප්‍රකාශ කළ හැකියි. ඒ කොහොමද කියා අපි බලමු.
3. අවිධිමත් ලෙස ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අප මැළි වෙනවා නම් අපට කුමක් කළ හැකිද?
3 කළ හැකි දේ: නොදන්නා අය සමඟ සාකච්ඡාවක් ආරම්භ කිරීමට අපගෙන් බොහෝදෙනෙකුට අසීරු කාර්යයක්. සමහරවිට අප හොඳින් හඳුනන අයට වුණත් ශුභාරංචිය ගැන කතා කිරීමට අපි මැළි විය හැකියි. අප යෙහෝවා දෙවිගේ යහපත්කම හා ඔහු අපට උගන්වා තිබෙන වටිනා සත්‍යයන් අගය කරනවා නම් එමෙන්ම මිනිසුන් සිටින අසරණ තත්වය ගැන සිතනවා නම් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අප තුළත් පෙලඹීමක් ඇති වෙනවා. (යෝනා 4:11; ගීතා. 40:5; මතෙ. 13:52) එමෙන්ම ‘නිර්භීතව ශුභාරංචිය ගැන කතා කිරීමට’ උපකාර කරන්න කියා යෙහෝවා දෙවිගෙන් ඉල්ලා සිටින්නත් අපට හැකියි. (1 තෙස. 2:2) ඒ ගැන ගිලියද් පාසැලේ ශිෂ්‍යයෙක් මෙවැනි දෙයක් පැවසුවා. “මට ශුභාරංචිය ගැන කතා කරන්න අමාරුයි කියලා හිතෙන කොට මම යාච්ඤා කරනවා. මට ඒක ලොකු උපකාරයක් වෙලා තියෙනවා.” ඔබටත් ශුභාරංචිය ගැන කතා කිරීමට චකිතයක් දැනෙනවා නම් කෙටි යාච්ඤාවක් කරන්න ඔබට පුළුවන්.—නෙහෙ. 2:4.
4. අප ඉලක්ක කරගත යුත්තේ කුමක් කිරීමටද? ඒ ඇයි?
4 අවිධිමත් ලෙස ශුභාරංචිය ප්‍රකාශ කරන විට නිශ්චිත හැඳින්වීමක්වත් ආරම්භයේදී බයිබල් පදයක් පෙන්වීමවත් අවශ්‍ය වන්නේ නැහැ. ඔබේ ඉලක්කය විය යුත්තේ සුහද සාකච්ඡාවක් සඳහා අඩිතාලමක් දමාගැනීමයි. බොහෝ ප්‍රචාරකයන්ගේ අද්දැකීම නම් සුහද වීමෙන් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට තමන් තුළ විශ්වාසයක් ඇති වන බවයි. නමුත් කෙනෙක් ඔබ සමඟ කතාබහ කිරීමට අකමැති නම් ඔහුට ඒ සඳහා බල කිරීම අවශ්‍ය නැහැ.
5. ලැජ්ජාශීලී සහෝදරියකට අවිධිමත් ලෙස ශුභාරංචිය ප්‍රකාශ කිරීමට හැකි වුණේ කොහොමද?
5 එක් ලැජ්ජාශීලී සහෝදරියක් වෙළඳපොළේදී හමු වන අය සමඟ සුහදව සිනහ වීම පුරුද්දක් කරගෙන තිබෙනවා. කෙනෙක් ඇය සමඟ සුහදව සිනහ වෙනවා නම් ඇය කෙටියෙන් යමක් පවසනවා. ඊට එම තැනැත්තා හොඳ ප්‍රතිචාරයක් දක්වනවා නම් තවදුරටත් සාකච්ඡා කිරීමට ඇය තුළ විශ්වාසයක් ඇති වෙනවා. එම තැනැත්තා කතා කරන විට ඇය හොඳින් සවන් දෙනවා. එවිට කතා කළ යුත්තේ කුමන විෂය ගැනද කියා අවබෝධ කරගැනීමට ඇයට හැකියි. මේ ක්‍රමය භාවිත කිරීමෙන් ඇයට බොහෝ පොත් පත් බෙදා දීමටත් බයිබල් පාඩමක් පටන්ගැනීමටත් හැකි වී තිබෙනවා.
6. අපට සංවාදයක් ආරම්භ කරන්න පුළුවන් කොහොමද?
6 සංවාදයට මුලපිරීම: සංවාදයකට මුලපිරීම සඳහා අපට පැවසිය හැක්කේ කුමක්ද? යේසුස් ළිඳ අසල සිටි ස්ත්‍රිය සමඟ සංවාදය ආරම්භ කළේ ඇගෙන් බීමට වතුර ටිකක් ඉල්ලීමෙනුයි. (යොහ. 4:7) සුහද සංවාදයකට මුලපිරීමට මුලින්ම ආචාර කරන්න හෝ කෙටි ප්‍රශ්නයක් අසන්න පුළුවන්. ඉන්පසු සාකච්ඡාව කරගෙන යන අතරතුරේදී බයිබල් පදයක අදහසක් ඉදිපත් කිරීමෙන් බයිබලය කෙරෙහි උනන්දුවක් ඇති කරන්න පුළුවන්. (දේශ. 11:6) කෙනෙක් තුළ කුතුහලය ඇති වන ආකාරයෙන් යමක් පැවසීම ප්‍රයෝජනවත් බව සමහර ප්‍රචාරකයන් අවබෝධ කරගෙන තිබෙනවා. උදාහරණයකට ඔබ වෛද්‍යවරයෙක් මුණගැසීමට බලා සිටිනවා නම් සංවාදයක් ආරම්භ කිරීමට ඔබට මෙවැනි දෙයක් පැවසිය හැකියි. “මං ආසාවෙන් බලාගෙන ඉන්නේ අසනීපයක් නැති කාලයක ජීවත් වෙන්නයි.”
7. හොඳ නිරීක්ෂකයෙක් වීමෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද?
7 හොඳ නිරීක්ෂකයෙක් වීමත් සංවාදයක් ආරම්භ කිරීමට උපකාරයක්. උදාහරණයකට දරුවන් හොඳින් හැසිරෙනවා දකින විට ඔවුන්ගේ දෙමාපියන්ට ප්‍රශංසා කර මෙවැනි ප්‍රශ්නයක් අසන්න අපට පුළුවන්. “දරුවන්ව මේ වගේ හොඳට හදාගන්න පුළුවන් වුණේ කොහොමද?” එක් සහෝදරියක් ඇගේ කාර්යාලයේ සෙසු සේවකයන් කතාබහ කරන විෂයන් ගැන අවධානයෙන් සිටිමින් ඔවුන් උනන්දුව දක්වන කරුණක් ගැන කතා කරනවා. ඈ සමඟ වැඩ කරන කාන්තාවක් විවාහ වීමට සූදානම් වන බව දැනගත් ඇය මංගල උත්සවයක් සංවිධානය කරන ආකාරය ගැන සඳහන් පිබිදෙව්! කලාපයක් දුන්නා. ඉන්පසු ඇය සමඟ බයිබල් සාකච්ඡාවක් ආරම්භ කිරීමට ඒ සහෝදරියට හැකි වුණා.
8. සංවාදයක් ආරම්භ කිරීමට අපගේ ප්‍රකාශන භාවිත කරන්න පුළුවන් කොහොමද?
8 සංවාදයක් ආරම්භ කිරීමට උපකාරවත් වන තවත් දෙයක් නම් අන් අයට පෙනෙන සේ අපගේ ප්රකාශනයක් කියවීමයි. ඒ සඳහා එක් සහෝදරයෙක් මෙවැනි දෙයක් කරනවා. ඔහු මුරටැඹ හෝ පිබිදෙව්! කලාපයක අන් අයගේ අවධානය ලබාගත හැකි ලිපියක් කියවනවා. ඒ අවස්ථාවේ වෙනත් කෙනෙක් ඔහු කියවන දේ ගැන උනන්දු වන බව ඔහු දුටුවොත් එම සහෝදරයා කෙටි ප්‍රශ්නයක් ඔහුගෙන් අසනවා. එසේත් නැත්නම් කියවමින් සිටි ලිපියේ තොරතුරක් සඳහන් කරනවා. මේ ආකාරයට සංවාදයක් ආරම්භ කිරීමට ඔහුට හැකි වී තිබෙනවා. රැකියා ස්ථානයේ හෝ පාසැලේදී අන් අයට පෙනෙන සේ අපගේ ප්‍රකාශන තැබීමෙන් කෙනෙකු තුළ උනන්දුවක් ඇති කිරීමට හැකියි.
9, 10. (අ) අවිධිමත් ආකාරයට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අවස්ථා උදා කරගන්න අපට පුළුවන් කොහොමද? (ආ) ඔබ පෞද්ගලිකව ඒ සඳහා කරන්නේ කුමක්ද?
9 අවස්ථා උදා කරගන්න: අප ජීවත් වන්නේ පවතින මේ සමාජයේ අවසාන කාලපරිච්ඡේදයේ නිසා අවිධිමත් ලෙස ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටිය යුතුයි කියා නොසිතන්න. ඒ වෙනුවට සෑම දිනකම ඒ සඳහා අවස්ථා උදා කරගන්න. ඔබට මුණගැසෙන පුද්ගලයන් ගැනත් ඔවුන් සමඟ සුහද සංවාදයක් ආරම්භ කළ හැකි ආකාරය ගැනත් කල්පනා කර බලන්න. නිතරම ඔබ ළඟ බයිබලයක් හා ප්‍රකාශන කිහිපයක් තබාගන්න.—1 පේතෘ. 3:15.
10 බොහෝ ප්‍රචාරකයන් අලුත් ක්‍රම අත්හදා බැලීමෙන් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට වැඩි අවස්ථා උදා කරගෙන තිබෙනවා. අධිආරක්ෂිත තට්ටු නිවාස සංකීර්ණයක ජීවත් වන සහෝදරියක් අවිධිමත් ආකාරයට ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා කළ දේ සලකා බලමු. එම නිවාස සංකීර්ණයේ සිටින බොහෝදෙනා විවේකය ගත කරන ස්ථානයට ගොස් ඇය අලංකාර දර්ශන ඇතුළත් රූප ප්‍රහේලිකා (jigsaw puzzles) සකසනවා. ඒ දෙස බලන සමහර අය ඒ ගැන ඇයට යමක් පැවසුවොත් ඇය ‘අලුත් අහස හා අලුත් පොළොව’ සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් පොරොන්දුව ගැන කතා කරනවා. (එළි. 21:1-4) අවිධිමත් ආකාරයට ශුභාරංචිය ප්‍රකාශ කළ හැකි විවිධ ක්‍රම ගැන ඔබටත් කල්පනා කළ හැකිද?
11. උනන්දුව දැක්වූ කෙනෙක්ව නැවත හමු වීමට සැලසුම් යොදන්නේ කොහොමද?
11 උනන්දුව දැක්වූ අයව නැවත හමු වන්න: උනන්දුව දැක්වූ කෙනෙක් හමු වුණොත් ඔහුව නැවත හමු වීමට අවස්ථාව යොදාගන්න. ඒ සඳහා ඔබට මෙවැනි දෙයක් පැවසිය හැකියි. “මේ වගේ සාකච්ඡාවක් කරන්න ලැබුණ එක සතුටක්. මට ඔයාව ආයෙත් මුණගැහෙන්න පුළුවන් කොහේදිද?” සමහර ප්‍රචාරකයන් ඔවුන්ගේ ලිපිනය හා දුරකතන අංකය උනන්දුව දැක්වූ පුද්ගලයාට ලබා දී මෙසේ පවසනවා. “මේ විෂය ගැන තවත් තොරතුරු දැනගන්න ඔයාට ආස නම් මේ නොම්මරයට කතා කරන්න.” ඔබට එම පුද්ගලයාව මුණගැසීමට නොහැකි නම් නැවත ගොස් බලන්න නමැති පෝරමය (S-43) පුරවා ඔබේ සභාවේ ලේකම්ට භාර දෙන්න.
12. (අ) අවිධිමත් ලෙස ශුභාරංචිය ප්‍රකාශ කරන කාලය අප වාර්තා කළ යුත්තේ ඇයි? (ආ) අවිධිමත් ලෙස ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙන් ලැබී තිබෙන ප්‍රතිඵල මොනවාද? (“අවිධිමත් ලෙස ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵල” යන කොටුව බලන්න.)
12 අප අවිධිමත් ලෙස ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ගත කරන කාලය වාර්තා කළ යුතුයි. ඔබ ඒ සඳහා වැය කරන්නේ විනාඩි කිහිපයක් වුණත් එය සටහන් කරගන්න. සෑම ප්‍රචාරකයෙක්ම දවසකට විනාඩි පහක් අවිධිමත් ආකාරයෙන් ශුභාරංචිය ප්‍රකාශ කරනවා නම් මසකට සියලුම ප්‍රචාරකයන්ට පැය මිලියන 17ක් වාර්තා කළ හැකියි.
13. අවිධිමත් ලෙස ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අපව පොලඹවන්නේ කුමක්ද?
13 අප අවිධිමත් ලෙස ශුභාරංචිය ප්‍රකාශ කරන ප්‍රධාන හේතුව වන්නේ දෙවිටත් අසල්වාසීන්ටත් ප්‍රේම කිරීමයි. (මතෙ. 22:37-39) යෙහෝවා දෙවිගේ ගුණාංග හා අනාගතයේදී ඔහු කරන දේවල් අප අගය කරනවා නම් දෙවිගේ ‘බලවත් ක්‍රියා ගැනත් ඔහුගේ රාජ්‍යයේ තේජස ගැනත්’ කතා කිරීමට අප තුළ පෙලඹීමක් ඇති වෙනවා. (ගීතා. 145:7, 10-12) අපගේ අසල්වාසීන්ට අප ප්‍රේම කරනවා නම් ඉතුරු වී තිබෙන මේ කෙටි කාලය තුළ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ලැබෙන සෑම අවස්ථාවකින්ම අප උපරිම ප්‍රයෝජන ගන්නවා. (රෝම 10:13, 14) අවිධිමත් ලෙස ශුභාරංචිය ප්‍රකාශ කළ හැකි ක්‍රම ගැන කල්පනා කරනවා නම් හා නිතරම සූදානමින් සිටිනවා නම් දෙවි ගැන ඉගෙනගැනීමට ආශාවෙන් සිටින අයට ඒ ගැන කතා කිරීමෙන් ලැබෙන ප්‍රීතිය අද්දකින්න අපටත් පුළුවන්.
[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
සුහද කතාබහක් සඳහා ඉලක්ක තබාගන්න
[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
බොහෝ ප්‍රචාරකයන් අලුත් ක්‍රම අත්හදා බැලීමෙන් අවිධිමත් ලෙස ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අවස්ථා උදා කරගෙන තිබෙනවා
[5වන පිටුවේ කොටුව]
සංවාදයන් ආරම්භ කිරීමට යෝජනා
◼ යාච්ඤා කරන්න
◼ සුහද හා කාර්යබහුල නොවන අය සමඟ කතා කරන්න
◼ සුහද සිනහවක් පාන්න. පොදුවේ ජනයා උනන්දු වන දෙයක් ගැන කතා කරන්න
◼ හොඳින් සවන් දෙන්න
[6වන පිටුවේ කොටුව]
අවිධිමත් ලෙස ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵල
• එක් සහෝදරයෙක් තම වාහනය අලුත්වැඩියා කිරීම සඳහා එය ගරාජයකට භාර දුන්නා. එය සාදන අතරතුර ඔහු ඒ අවට සිටි අයට සමුළුවේ ප්‍රසිද්ධ කථාවට කරන ආරාධනාවක් ඇතුළත් පත්‍රිකා බෙදා දුන්නා. ඊට වසරකට පමණ පසු සමුළුවකදී කෙනෙක් මේ සහෝදරයා ළඟට පැමිණ අතට අත දුන්නා. ඒ ඔහු ගරාජය අසලදී පත්‍රිකාව ලබා දුන් අයගෙන් කෙනෙක්. එම තැනැත්තා ඒ කතාවට සහභාගි වී තිබූ අතර බයිබල් පාඩමක් කිරීමටත් කැමැත්ත පළ කර තිබුණා. දැන් ඔහුත් ඔහුගේ භාර්යාවත් කැප වූ ක්‍රිස්තියානීන්.
• අවිධිමත් ලෙස ශුභාරංචිය ගැන දැනගත් නිසා සාක්ෂිකරුවෙක් වූ සහෝදරියක් නිතරම අවිධිමත් ලෙස ශුභාරංචිය ප්‍රකාශ කරන්න පුරුදු වී සිටියා. ඇය අසල්වාසීන්ට, දරුවන්ගේ පාසැලේදී හමුවන දෙමාපියන්ට හා ගුරුදෙගුරු රැස්වීම්වලදී හමු වන අයට ශුභාරංචිය ප්‍රකාශ කරනවා. ඇය මුලින්ම දරුවන්ව හදා වඩා ගැනීමට බයිබලයෙන් ලැබෙන උපකාරය ගැන සඳහන් කරනවා. පසුව ඇය වෙනස් මාතෘකාවක් ගැන කතා කරනවා. ඒ ආකාරයට සංවාදයන් ආරම්භ කිරීමෙන් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ඇයට පහසු වී තිබෙනවා. එම ක්‍රමය භාවිත කිරීමෙන් ඇය 12දෙනෙකුට පමණ කැප වී බව්තීස්ම වීමට උපකාර කර තිබෙනවා.
• තම නිවසට පැමිණි රක්ෂණ නියෝජිතයෙකුට එක් සහෝදරියක් ශුභාරංචිය ප්‍රකාශ කළා. හොඳ සෞඛ්‍යයක්, සන්තෝෂවත් මෙන්ම සදාකාල ජීවිතයක් ලබාගැනීමට කැමතිද කියා ඇය ඔහුගෙන් ඇසුවා. තමන් ඊට කැමති බව පැවසූ ඔහු ඇය කතා කරන්නේ කුමන රක්ෂණ සැලසුම ගැනද කියා ඔහු ඇගෙන් ඇසුවා. බයිබලයේ සඳහන් කර තිබෙන පොරොන්දු ඇය එම පුද්ගලයාට පෙන්වූ අතර අපගේ ප්‍රකාශනයක්ද ලබා දුන්නා. ඔහු එය එක් වරුවකින් කියවා අවසන් කළා. ඉන්පසු ඔහු බයිබල් පාඩමක් කිරීමට කැමති වූ අතර රැස්වීම්වලටද සහභාගි වුණා. පසුව ඔහු බව්තීස්ම වුණා.
•එක් සහෝදරියක් ගුවන් යානයේ තමන් ළඟ වාඩි වී සිටි ස්ත්‍රියක් සමඟ කතාබහ කරන අතරතුර ශුභාරංචිය ප්‍රකාශ කළා. ගමන අවසානයේදී සහෝදරිය ඇගේ ලිපිනයත් දුරකතන අංකයත් එම ස්ත්‍රියට ලබා දී ඊළඟ වතාවේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වූ විට බයිබල් පාඩමක් ආරම්භ කරන්න කියා පැවසුවා. නොසිතූ ලෙස පසු දිනම සාක්ෂිකරුවන් දෙදෙනෙක් ඇගේ නිවසට පැමිණියා. ඇය බයිබල් පාඩමක් පටන්ගත් අතර ඉක්මනින් දියුණු වුණා. පසුව ඇය බව්තීස්ම වුණා. ඒත් සමඟම ඇයටත් බයිබල් පාඩම් තුනක් පවත්වන්න හැකි වුණා.
• සාත්තු නිවාසයක ජීවත් වන අවුරුදු 100ක් වයසැති අන්ධ සහෝදරයෙක් නිතරම මෙවැනි දෙයක් පවසනවා. “අපිට දේවරාජ්‍යය අවශ්‍යයි.” ඒ ගැන කරුණු දැනගැනීමට සාත්තු සේවකයන් හා රෝගින් මෙම සහෝදරයාගෙන් යම් ප්‍රශ්න අසනවා. එය ඔහුට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අවස්ථාවක්. එක් සේවිකාවක් පාරාදීසයේදී ඔහු කරන්නේ කුමක්ද කියා ඔහුගෙන් ඇසුවා. ඔහු මෙසේ පිළිතුරු දුන්නා. “මට හැමදේම දකින්න අවස්ථාවක් ලැබෙනවා. ආයෙත් ඇවිදින්න පුළුවන් වෙන නිසා මම මගේ රෝද පුටුව පුච්චලා දානවා.” ඔහුට ඇසෙන්න සඟරා කියවන්නේ මේ සේවිකාවයි. මෙම සහෝදරයාගේ දුව ඔහුව හමු වීමට පැමිණි අවස්ථාවක සේවිකාව ඇගෙන් එම සඟරා ඉල්ලාගත්තා. එක් සාත්තු සේවිකාවක් ඇයට මෙසේ පැවසුවා. “අපේ සාත්තු නිවාසයේ අලුත් තේමාව ‘අපිට දේවරාජ්‍යය අවශ්‍යයි.’”
• එක් සහෝදරියක් අවන්හලක සිටින විට දේශපාලනය ගැන මිනිසුන් කිහිපදෙනෙක් කතා කරමින් සිටිනවා ඇයට ඇසුණා. ආණ්ඩුවට ජනයාගේ ප්‍රශ්න විසඳන්න බැරි බව එක් පුද්ගලයෙක් පැවසුවා. ‘මේක කතා කරන්න හොඳ අවස්ථාවක්’ කියා ඇය සිතුවා. කෙටි යාච්ඤාවක් ඉදිරිපත් කර ඇය ඔවුන් අසලට ගියා. මිනිසුන්ගේ සියලුම ප්‍රශ්න විසඳන එකම ආණ්ඩුව දෙවිගේ ආණ්ඩුව බව ඇය ඔවුන්ට පැවසුවා. පසුව ඇය ළඟ තිබූ සඟරාවක් ඔවුන්ට දුන්නා. ඒ අවස්ථාවේදී එම අවන්හලේ කළමණාකරු ඇය සිටි ස්ථානයට පැමිණියා. තමාට එතැනින් පිට වෙන මෙන් ඔහු පවසයි කියා ඇය සිතුවා. නමුත් ඒ සාකච්ඡාවට තමන් සවන් දෙමින් සිටි බවත් තමන්ටත් සඟරාවක් ලබාගැනීමට අවශ්‍ය බවත් ඔහු පැවසුවා. ඒ සාකච්ඡාවට සවන් දීගෙන සිටි අවන්හලේ සේවිකාවක්ද කඳුළු පිරි දෙනෙතින් ඇය ළඟට පැමිණියා. ඇය කලින් බයිබලය පාඩම් කර නතර කර තිබුණත් නැවතත් බයිබලය පාඩම් කිරීමට කැමති බව පැවසුවා.