ලිපි මාර්ගයෙන් අදහස් හුවමාරුව
මිනිසුන්ගේ ජීවිතය හා හැසිරීම තවත් ඔප නැංවීමට ලිපි මගින් අමිල සේවයක් ඉටු වී ඇත. ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවල අඩංගු පොත් වැඩි හරියක් මුලින්ම ලිපි ස්වරූපයක් ගත්තේය. අදදින අපට ලිපි ලිවිය හැක්කේ කවර හේතු උදෙසාද? නවක ඇදහිලිවන්තයන් දිරිගැන්වීමට හා හිත මිතුරන් සමඟ හොඳ සම්බන්ධයක් පවත්වාගැනීමට ලිපි ලිවිය හැක. විශේෂ වගකීම්වලට උර දෙන සහෝදර සහෝදරියන්ව දිරිගැන්වීම සඳහාද, දුෂ්කරතාවලට මුහුණ දෙන අයව ශක්තිමත් කිරීම සඳහාද ලිපි ලිවීමට පුළුවන. තවද සභාවේ ක්‍රියාකාරකම් බලාකියා ගැනීමට අවශ්‍ය තොරතුරු ලිපි මාර්ගයෙන් සපයනු ලැබේ.—1 තෙස. 1:1-7; 5:27; 2 පේතෘ. 3:1, 2.
ලිපි ලිවීම සාක්ෂි දැරීම සඳහා ඵලදායී මාර්ගයක්ද වෙයි. ඇතැම් ප්‍රදේශවල බොහෝ ජනයා අධි-ආරක්ෂිත තට්ටු නිවාසවල නැතහොත් නවාතැන්වල වෙසෙති. මෙවැනි වාසස්ථාන වෙත පිවිසීම තරමක් අපහසුය. තවත් සමහරු බොහෝ අවස්ථාවලදී තම නිවසින් බැහැරව සිටිති. එමනිසා, ගෙයින් ගෙට ගොස් සාක්ෂි දරන විට ඔවුන් හමුවීම අපට දුෂ්කර කාර්යයකි. තවත් සමහරුන් ජීවත් වන්නේ හුදෙකලා ප්රදේශවලය.
ඇතැම් අවස්ථාවලදී, යම් අසනීපයක්, අයහපත් කාලගුණයක් නැතහොත් ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ඔබට නිවස තුළම රැඳී සිටීමට සිදු විය හැක. මෙවැනි අවස්ථාවල නෑදෑයෙකුට හෝ ඔබ අවිධිමත් ලෙස හමු වී කතා කළ කෙනෙකුට අමතර සාක්ෂියක් දැරීම සඳහා ලිපියක් ලිවීමට ඔබට පුළුවන්ද? ඔබේ බයිබල් ශිෂ්‍යයෙක් තම පදිංචිය වෙනස් කර ඇද්ද? ඔහුගේ ආත්මික උනන්දුව ප්‍රාණවත්ව තබාගැනීමට ඔබෙන් ලද ලිපියක් උපකාරවත් විය හැක. එසේ නැතහොත්, මෑතකදී විවාහ වූ යුවළක් හෝ දෙමාපියන් වූ යුවළක් හෝ වියෝ දුකෙන් පෙළෙන පවුලක් සමඟ ශුද්ධ ලියවිල්ලෙන් රැගත් උචිත අදහස් කිහිපයක් ඔබට බෙදාගත හැකි වේ.
ලිපි මාර්ගයෙන් සාක්ෂි දැරීම
ඔබ කෙදිනකවත් හමු වී නැති කෙනෙකුට සාක්ෂි දැරීම සඳහා ලියන විට, මුලින්ම ඔබ කවුදැයි හඳුන්වා දෙන්න. ඔබ ජාත්‍යන්තර ස්වේච්ඡා සේවයක් කරන බව පැහැදිලි කර දෙන්නට පුළුවන. ඔබ යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු කියා සඳහන් කිරීම සුදුසු බව ඔබට හැඟේ නම්, එසේ කරන්න. පෞද්ගලික බැහැදැකීමක් නොකොට ලිපියක් ලිවීමට හේතුව එම පුද්ගලයාට පැහැදිලි කරන්න. ලිපිය ලියන විට, ඒ පුද්ගලයාට මුහුණට මුහුණලා කතා කරන්නාක් මෙන් එය සකස් කරන්න. කෙසේවෙතත්, “සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න” යන මඟ පෙන්වීම සැලකිල්ලට ගනිමින්, ඔබ ගැන හෙළි කළ යුතු තොරතුරු මොනවාද යන්න ගැන හොඳින් කල්පනා කර බලන්න.—මතෙ. 10:16.
ඒ පුද්ගලයාව බැහැදැකීමට හැකියාව තිබුණා නම්, ඔබ ඔහු සමඟ කතා කරන දේම ඔබේ ලිපියට ඇතුළත් කරන්න. තර්ක කිරීම (Reasoning) පොතෙන් තෝරාගත් හැඳින්වීමක් හෝ අපගේ රාජ්‍ය සේවාවේ මෑතක පළ වූ කලාපයකින් ගත් ශුද්ධ ලියවිලිමය ඉදිරිපත් කිරීමක් යොදාගැනීමට ඔබට පුළුවන. ප්‍රශ්නයක් අසා ඒ පුද්ගලයාට ඒ ගැන කල්පනා කරන්නට දිරිගැන්විය හැක. බයිබල් ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා නොමිලේ පවත්වන වැඩසටහනක් අපට තිබෙන බව සරලව පැහැදිලි කරන ඇතැම් ප්‍රචාරකයෝ, අපගේ පාඩම් ආධාරකයකින් පරිච්ඡේද කිහිපයක මාතෘකා එකක් දෙකක් සඳහන් කරති. සාක්ෂියක් දැරීමට ලිවිය හැකි ආදර්ශ ලිපියක් 73වන පිටුවෙහි දැකගත හැක. ඉන් ඔබට යම්කිසි අදහසක් ගත හැකි වුවත්, එම විලාසයෙන්ම ලිපි ලිවීමෙන් වැළකී සිටීම සුදුසුය. මන්ද එසේ කළහොත් කල් යත්ම පුද්ගලයන්ට එකම ලිපිය කිහිප වතාවක්ම ලැබිය හැක.
නාඳුනන පුද්ගලයෙකුගෙන් ලද දීර්ඝ ලිපියක් කියවීමට සමහරුන් අකමැති විය හැක. එමනිසා ඔබේ ලිපිය කෙටි කිරීම නුවණට හුරුය. දීර්ඝ ලිපි ලියන විට, එය ලබන තැනැත්තා එය කියවීමෙන් වෙහෙසට පත් විය හැකි බැවින් ලියන ලිපිය කෙටියෙන් ලියන්න. රාජ්‍ය ශාලාවේ රැස්වීම්වලට ආරාධනා කරන මුද්‍රිත පත්‍රිකාවක් ලිපිය සමඟ යැවීම යෝග්‍යය. මීට අමතරව, පත්‍රිකාවක්, විවරණිකාවක් නැතහොත් මුරටැඹ හෝ පිබිදෙව්! සඟරාවල පිටපතක් ඇතුළත් කළ හැකි අතර, කැමති අයට ඒවා නිතිපතා පදනමක් අනුව සැපයිය හැකි බවත් සඳහන් කරන්න. එසේ නැතහොත් සාකච්ඡා කළ විෂය ගැන ඔහු සමඟ පෞද්ගලිකව කතා බහ කිරීමට ඔහුගේ නිවසට පැමිණිය හැකිදැයි ඔහුගෙන් විමසිය හැක.
ලිපි ලියන අන්දම ගැන අදහස් කිහිපයක්
දැන් ආදර්ශ ලිපිය දෙස බලන්න. මතු දැක්වෙන දේ සැලකිල්ලට ගන්න. (1) සෑම දෙයක්ම එක ගොඩේ නොදමා යම් පිළිවෙළකට සකස් කර ඇත. (2) ලියුම් කවරය හදිසියේ නැති විය හැකි නිසා ලබන්නාගේ ප්‍රයෝජනය සඳහා ලිපිය යැවූ තැනැත්තාගේ නම සහ ලිපිනය ලිපියෙහි උඩින්ම සඳහන් කර ඇත. (3) ලිපියේ අරමුණ සරලව හා පැහැදිලිව මුල්ම ඡේදයෙහි සඳහන් කර තිබේ. (4) මූලික අදහස් ඡේදවල වෙන වෙනම සාකච්ඡා කර ඇත. (5) ලිපියේ අරමුණ හේතුවෙන් එහි භාවිත කර ඇති භාෂා ශෛලියට බාල හෝ දැඩි ස්වරූපයක් නැත.
ඇතැම් අවස්ථාවලදී ලිපි වඩාත් විධිමත් ස්වරූපයක් ගනී. නිදසුනකට, සභාවේ ලේකම් ශාඛා කාර්යාලයට ලිපියක් යවනවා නම් සභාවේ නම, ලේකම්ගේ නම, ඔහුගේ ලිපිනය සහ දිනය ඇතුළත් කළ යුතුය. ඊළඟට ලිපිය ලබන පුද්ගලයාගේ හෝ සංවිධානයේ නම සහ ලිපිනය සඳහන් විය යුතුය. ඉන්පසුව, යෝග්‍ය ආමන්ත්‍රණයක් ඇතුළත් කෙරේ. ලිපියක් අවසන් කරද්දී අත්සනට ඉහළින් “මෙයට විශ්වාසී” “හිතවත්” “අවංක” වැනි යෙදුම් ඇතැම් භාෂාවල භාවිත කෙරේ. අත්සන ඔබේ අතින්ම දැමිය යුතුය.
ඕනෑම ලිපියක් ලියද්දී, අක්ෂර වින්‍යාසයට, ව්‍යාකරණ රීතිවලට, විරාම ලක්ෂණවලට සහ පිරිසිදුකමට නිසි අවධානයක් දෙන්න. එසේ කිරීම ඔබේ ලිපියේ හා එහි අන්තර්ගත පණිවිඩයේ ගෞරවය රැකගැනීමට ඉවහල් වේ.
ලියුම් කවරයේ යවන්නාගේ ලිපිනය සපයන්න. එය ඔබේම ලිපිනය නම් වඩාත් හොඳය. ලිපි මාර්ගයෙන් නාඳුනන පුද්ගලයන්ට සාක්ෂි දරන විට යවන්නාගේ ලිපිනය ලෙස ඔබේම ලිපිනය සඳහන් කිරීම නුවණට හුරු දෙයක් නොවන බව ඔබට හැඟෙනවා නම්, ඔබ යන රාජ්‍ය ශාලාවේ ලිපිනය සඳහන් කළ හැකිදැයි වැඩිමහල්ලන්ගෙන් විමසන්න. මේ සඳහා වොච් ටවර් සමිතියේ ලිපිනය නම් කිසිවිටෙකත් භාවිත නොකළ යුතුය. මීට හේතුව නම් ඔබ යැවූ ලිපිය සමිතියේ ශාඛා කාර්යාලයකින් එවූ බවට වැරදි වැටහීමක් දිය හැකි නිසාය. අනික් අතට, යවන්නාගේ ලිපිනයක් නොමැතිව සඟරා පොත් පත් ආදිය සපයනු ලැබේ නම්, එම ලිපිය සමිතිය විසින් එවූ බවට වැරදි නිගමනයකට එළඹීමට හේතු විය හැක.
තැපැල් ගාස්තුවට සරිලන සේ ප්‍රමාණවත් මුද්දර අලවා ඇද්දැයි බලන්න. මෙය විශේෂයෙන්ම වැදගත් වන්නේ සඟරා පොත් පත් ආදිය ලිපිය සමඟ යවා ඇති විටෙකය. තැපැල් ගාස්තුවට සරිලන මුද්දර අලවා නැත්නම්, ලිපිය ලබන්නාගෙන් එය අය කිරීමට ඉඩ කඩ ඇත. මෙය ඔබේ පණිවිඩයෙන් අපේක්ෂා කරන ප්‍රතිඵල නොලැබීමට හේතුවක් විය හැක. බොහෝ රටවල ලිපියක් සමඟ සඟරාවක් හෝ විවරණිකාවක් ඇතුළත් කළ විට, සාමාන්‍ය ලිපියක් සඳහා වැය වන මුද්දර ගාස්තුවට වඩා වැඩි ගණනක් අය වන බව මතක තබාගන්න.
සිත්ගන්නා ලිඛිත විලාසයක් යොදාගැනීම
ලිපිය ලියා හමාර කිරීමෙන් පසු, එය ඇගයීමට නැවත කියවන්න. කියවන විට ඔබට දැනෙන්නේ කුමක්ද? එයට හිතේෂි, උපායශීලී මුහුණුවරක් ඇද්ද? අන් අය සමඟ කටයුතු කරන විට අප විදහාපෙන්වීමට උත්සාහ කරන ගුණාංග අතර ප්‍රේමය සහ කරුණාවන්තකම යන ගුණාංග වේ. (ගලා. 5:22, 23) ඔබේ ලිපියේ භාෂා ශෛලියෙහි යම් උදාසීන හෝ අසතුටට හේතු වන ලිඛිත විලාසයක් ඇති බව දැනේ නම් එය සකස් කරන්න.
ඔබට යා නොහැකි තැන් වෙත යෑමට ලිපියකට පුළුවන. ඒ හේතුවෙන්ම ලිපි දේවසේවයෙහි භාවිත කළ හැකි ඉතා ප්‍රබල මෙවලමක් වේ. ඔබේ ලිපිය ඔබ හා ඔබේ ස්ථාවරය ගැන යමක් කියන නිසා එහි සඳහන්ව ඇති දේ, එහි සැකැස්ම සහ ලියා ඇති විලාසයට හොඳ අවධානයක් දෙන්න. සමහරවිට, ඔබ මෙසේ දරන උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් අගනා වටිනා පුද්ගලයෙකුට ජීවනයේ මඟට පිවිසීමට, එහි නොකඩවා රැඳී සිටීමට හෝ එසේ කිරීමට අවශ්‍ය දිරිගැන්වීම ලබා දීමට එය සමත් විය හැක.