පාඨකයන් අසයි
ගැලවෙන්නේ තමන් පමණයි කියා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරනවාද?
තමන් අදහන්නේ සැබෑ ආගම කියා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරනවා. එමෙන්ම ඔවුන් ගැලවීමද බලාපොරොත්තු වෙනවා. කොහොමවුණත් ගැලවෙන්නේ කවුද කියා ඔවුන් විනිශ්චය කරන්නේ නැහැ. ඇත්තෙන්ම එය තීරණය කරන්නේ යෙහෝවා දෙවියි.—යෙසායා 33:22.
ගැලවීමට කැමති අය ගැලවීම ලබා දෙන තැනැත්තාගේ මඟ පෙන්වීම්වලට කීකරු විය යුතු බව බයිබලයේ සඳහන් වෙනවා. එය තේරුම්ගැනීමට කාන්තාරයක අතරමං වූ පුද්ගලයෙකු ගැන සිතන්න. ඔහු බේරෙයිද? නැත්නම් කාන්තාරයේම මිය යයිද? එය තීරණය වන්නේ ඔහු තමන්ට උපකාර කිරීමට ඉදිරිපත් වන තැනැත්තාට දක්වන ප්‍රතිචාරය මතයි. ඔහු උඩඟු කෙනෙක් නම් එම තැනැත්තාව ප්‍රතික්ෂේප කරයි. නමුත් ඔහු නිහතමානීව එම තැනැත්තාගේ මඟ පෙන්වීම පිළිගන්නවා නම් ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකි වෙයි.
ඒ හා සමානව මිනිසුන්ගේ ගැලවීම රඳා පවතින්නේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වීම මතයි. ගැලවීම දෙවිගෙන් ලැබෙන දීමනාවක්. නමුත් එය සෑම කෙනෙකුටම ලැබෙන්නේ නැහැ. ඒ නිසයි යේසුස් මෙසේ පැවසුවේ. “ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්ගේ කැමැත්ත කරන්නා මිස, මට ‘ස්වාමිනි, ස්වාමිනි’ කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නෝය.”—මතෙව් 7:21.
යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තබමින් ඔහුගේ ඉගැන්වීම් පිළිගන්නා අයට ගැලවීම ලැබෙන බව සාක්ෂිකරුවන් විශ්වාස කරනවා. (ක්‍රියා 4:10-12) බයිබලයේ සඳහන් වන ආකාරයට ගැලවීම ලබාගැනීම සඳහා අවශ්‍ය සාධක තුනක් අපි සලකා බලමු.
(1) “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත” කියා යේසුස් පැවසුවා. (යොහන් 13:35) යේසුස් අන් අය වෙනුවෙන් තමාගේ ජීවිතය පූජා කිරීමෙන් ප්‍රේමය පෙන්වීම ගැන වටිනා ආදර්ශයක් තැබුවා. යේසුස් මෙන් අන් අයට ප්‍රේමය පෙන්වන අය ගැලවීම ලැබීමට අවශ්‍ය එක් සුදුසුකමක් අත් කරගන්නවා.
(2) යේසුස් තම පියාට කළ යාච්ඤාවකදී “මම ඔබේ නාමය ඔවුන්ට දැන්වීමි” කියා පැවසුවා. (යොහන් 17:26) දෙවි තමන්ගේ නාමය ගැන ඉතා සැලකිලිමත් බව යේසුස් හොඳින් දැන සිටියා. ඒ නිසා ඔබගේ නාමය “විශුද්ධ වේවා” කියා ඔහු යාච්ඤා කළා. (මතෙව් 6:9) දෙවිගේ නාමයට ගෞරව කිරීමට නම් එය දැනගැනීමත් එය ශුද්ධ දෙයක් ලෙස සැලකීමත් අවශ්‍යයි. ගැලවීම ලබාගැනීමට කැමති අය දෙවිගේ නාමය භාවිත කළ යුතුයි. එමෙන්ම එම නාමය ගැනත් දෙවිගේ ගුණාංග ගැනත් අන් අයට පැවසීම අවශ්‍යයි. (මතෙව් 28:19, 20) ඒ නිසයි දෙවිගේ නාමයට අයැදින අය පමණක් ගැලවෙනවා කියා බයිබලයේ සඳහන් වෙන්නේ.—රෝම 10:13.
(3) “මාගේ රාජ්‍යය මේ ලෝකයේ කොටසක් නොවේ” කියා යේසුස් රෝම ආණ්ඩුකාරයා වූ පිලාත්ට පැවසුවා. (යොහන් 18:36) නමුත් අද සිටින බොහෝදෙනා දේවරාජ්යයවත් එහි පාලකයා වන යේසුස්වවත් පිළිගන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් විශ්වාස කරන්නේ මිනිස් පාලන ක්‍රම හා සංවිධානයි. නමුත් ගැලවීම ලබාගැනීමට බලාපොරොත්තු වන අය විශ්වාස කරන්නේ දේවරාජ්‍යයයි. එමෙන්ම කීකරු මිනිසුන්ට දේවරාජ්‍යය මාර්ගයෙන් නිදහස ලැබෙන්නේ කෙසේද කියාත් ඔවුන් උගන්වනවා.—මතෙව් 4:17.
ගැලවීම සඳහා කළ යුතු දේවල් දැනගැනීමෙන් පසු යේසුස්ගේ ගෝලයන් ඔහුගෙන් මෙසේ ඇසුවා. “ගැලවීම ලැබිය හැක්කේ කාටද?” එවිට යේසුස් පැවසුවේ “මිනිසුන්ට කළ නොහැකි දේවල් දෙවිට කළ හැකි” බවයි. (ලූක් 18:18-30) ගැලවීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සාක්ෂිකරුවන් උත්සාහ කරන අතර අන් අයට ගැලවීම ලබාගැනීම සඳහාත් ඔවුන් උපකාර කරනවා.