පාඨකයන්ගෙන් ප්‍රශ්න
එසකියෙල් 37වෙනි පරිච්ඡේදයේ සඳහන් දිගටි අතු දෙක එකට ළං කරන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?
යෙහෝවා දෙවි එසකියෙල් මාර්ගයෙන් පොරොන්දු වුණේ ඊශ්‍රායෙල් ජාතියව ඔවුන්ගේ දේශයේදීම එක්සත් සෙනඟක් කරනවා කියලයි. අවසාන කාලයේදී දෙවි ඔහුගේ සෙනඟව එක්සත් කරන විදිහත් ඒ අනාවැකියෙන් නියෝජනය වෙනවා.
දෙවි එසකියෙල්ට මෙහෙම කිව්වා. “ගසක දිගටි අත්තක් ගෙන, ‘යූදා සහ ඔහුගේ සහෝදරයන් වූ ඊශ්‍රායෙල් සෙනඟ සඳහාය’ කියා ඒ මත ලියන්න. තවත් දිගටි අත්තක් ගෙන, ‘යෝසෙප් සහ ඔහුගේ සහෝදරයන් වූ මුළු ඊශ්‍රායෙල් සෙනඟ සඳහා වූ එෆ්‍රායිම්ගේ අත්ත’ කියා ඒ මත ලියන්න. පසුව ඒ අතු දෙක එකට ළං කරන්න. එවිට ඒවා ඔබේ අතේ එක අත්තක් බවට පත් වනු ඇත.”—එස. 37:15-17.
“එෆ්‍රායිම්ගේ අත්තෙන්” නියෝජනය වුණේ මොකක්ද? ගෝත්‍ර 10කින් සෑදී තිබුණු උතුරු රාජ්‍යයේ පළවෙනි රජ වුණේ යෙරොබොවම්. ඔහු එෆ්‍රායිම් ගෝත්‍රයේ කෙනෙක්. ඒ වගේම ඒ ගෝත්‍ර 10 අතරින් බලවත්ම ගෝත්‍රය වුණෙත් එෆ්‍රායිම් ගෝත්‍රය. (ද්වි. 33:13, 17; 1 රාජා. 11:26) ඒ ගෝත්‍රය පැවතෙන්නේ යෝසෙප්ගේ පුතෙක් වුණු එෆ්‍රායිම්ගෙන්. (ගණන්. 1:32, 33) යෝසෙප්ට ඔහුගේ පියා වුණු යාකොබ්ගෙන් විශේෂ ආශීර්වාදයක්ද ලැබුණා. ඒ හේතු නිසා උතුරු රාජ්‍යය නියෝජනය කරපු අත්ත “එෆ්‍රායිම්ගේ අත්ත” හැටියට හඳුන්වන්න පුළුවන්. දිගටි අතු 2 ගැන අනාවැකිය එසකියෙල් සඳහන් කරද්දී ඇසිරියානුවන් ක්‍රි.පූ. 740දී උතුරු රාජ්‍යය යටත් කරගෙන අවුරුදු ගණනාවක් ගත වෙලා තිබුණා. (2 රාජා. 17:6) ඒ වෙද්දී බැබිලෝනිය, ඇසිරියානු අධිරාජ්‍යය යටත් කරගෙන තිබුණ නිසා ඊශ්‍රායෙල්වරුන්ගෙන් වැඩිදෙනෙක් බැබිලෝනිය අධිරාජ්‍යය පුරාම විසිරිලයි හිටියේ.
ක්‍රි.පූ. 607දී ගෝත්‍ර 2කින් සෑදී තිබුණු දකුණු රාජ්‍යයේ සෙනඟවත් උතුරු රාජ්‍යයට අයත් අයගෙන් කිහිපදෙනෙක් හරි දේශයේ ඉතුරු වෙලා හිටියා නම් ඒ අයවත් වහලුන් හැටියට බැබිලෝනියට අරන් ගියා. දකුණු රාජ්‍යය පාලනය කළේ යූදා ගෝත්‍රයෙන් ආපු රජවරුන්. පූජකයන් සේවය කළේ යෙරුසලමේ තිබුණු දේවමාලිගාවේ නිසා ඒ අය අයිති වුණෙත් දකුණු රාජ්‍යයටයි. (2 ලේක. 11:13, 14; 34:30) ඒ හේතු නිසා ‘යූදා සඳහා’ කියලා තිබුණු අත්තෙන් දකුණු රාජ්‍යය නියෝජනය වුණා කියලා කියන්න පුළුවන්.
මේ අතු දෙක ළං කළේ කවදාද? ඒක වුණේ ක්‍රි.පූ. 537දී ඊශ්‍රායෙල්වරුන් දේවමාලිගාව ආපහු ගොඩනඟන්න යෙරුසලමට ආපු අවස්ථාවේදියි. රාජ්‍යයන් දෙකම නියෝජනය කළ අය බැබිලෝනියෙන් නිදහස් වෙලා ආවේ එක සෙනඟක් විදිහටයි. ඊටපස්සේ ඊශ්‍රායෙල් සෙනඟ අතරේ බෙදීම් තිබුණේ නැහැ. (එස. 37:21, 22) එයාලා එක්සත්ව දෙවිට නමස්කාර කරන්න පටන්ගත්තා. ඒ ගැන යෙසායාත්, යෙරෙමියාත් අනාවැකි කියලා තිබුණා.—යෙසා. 11:12, 13; යෙරෙ. 31:1, 6, 31.
යෙහෝවා දෙවි ඔහුට නමස්කාර කරන අයව එක්සත් කරනවා කියන දේ එසකියෙල් කියපු අනාවැකියෙන් පැහැදිලියි. (එස. 37:18, 19) ඒ අනාවැකිය අපේ කාලෙදී ඉටු වෙන්න පටන්ගත්තේ 1919දී. දෙවිට ඇත්තටම සේවය කරන්නේ කවුද කියලා හඳුනගෙන, ඒ අයව ක්‍රමානුකූලව එක්සත් සෙනඟක් හැටියට අලුතෙන් සංවිධානය කළේ ඒ අවුරුද්දේදියි. ඒ අයව විසුරුවන්න සාතන් දරපු වෑයම ඒත් එක්කම අසාර්ථක වුණා.
දෙවි එක්සත් කරපු ඒ සෙනඟගෙන් වැඩිදෙනෙක්ට තිබුණේ යේසුස් එක්ක ස්වර්ගයේ රජවරුන් සහ පූජකයන් විදිහට සේවය කරන බලාපොරොත්තුව. (එළි. 20:6) ‘යූදා සඳහා’ කියලා සඳහන් වුණු අත්තෙන් සංකේතාත්මකව නියෝජනය වුණේ එයාලවයි. ඒත් කාලයත් එක්කම පොළොවේ ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය එයාලට එකතු වෙන්න පටන්ගත්තා. (සෙක. 8:23) එකතු වුණු ඒ අලුත් පිරිසට යේසුස් එක්ක රජකම් කරන බලාපොරොත්තුව තිබුණේ නැහැ. ‘යෝසෙප් සඳහා’ කියලා සඳහන් වුණු අත්තෙන් සංකේතවත් වුණේ එයාලවයි.
දැන් ඒ කණ්ඩායම් දෙකම රජු වන යේසුස් යටතේ එක්සත්ව සේවය කරනවා. එසකියෙල්ගේ අනාවැකියේ “මාගේ සේවක දාවිත්” හැටියට හඳුන්වලා තියෙන්නේ යේසුස්වයි. (එස. 37:24, 25) “ඔබ මා සමඟත් මම ඔබ සමඟත් එකට බැඳී සිටින්නා සේ ඔවුන් සියලුදෙනා අතරත් එකඟතාවක් ඇති වෙයි” කියලා යේසුස් දෙවිට කරපු යාච්ඤාවක සඳහන් කළේ දෙවිගේ සෙනඟ අද අද්දකින ඒ එක්සත්කම ගැනයි.a (යොහ. 17:20, 21) අභිෂේක ලත් අයගෙන් සෑදුණු කුඩා රැළ, “වෙනත් බැටළුවන්” එක්ක එකතු වෙලා “එක එඬේරෙක්” යටතේ “එක රැළක්” විදිහට ඉන්නවා කියලත් යේසුස් කිව්වා. (යොහ. 10:16) අනාගත බලාපොරොත්තුව ස්වර්ගයේ ජීවිතයක් වුණත් පොළොවේ ජීවිතයක් වුණත් අද ඉන්න දෙවිගේ සෙනඟ අතරේ තියෙන්නේ පුදුම එක්සත්කමක්. යේසුස් කියපු වචන කොයි තරම් ඇත්තක් වෙලාද!
a යේසුස් ඔහුගේ පැමිණ සිටින කාලය හඳුනගන්න උදව් වෙන ලකුණ දෙද්දී ඒකේ කොටසක් විදිහට උපමා කිහිපයක් කිව්වා. ඒ උපමාවල තොරතුරු දිහා බලද්දී යම් පිළිවෙළක් තියෙනවා. ඒකෙන් යමක් තේරුම්ගන්න පුළුවන්. මුලින්ම ඔහු කිව්වේ මූලිකත්වය අරන් වැඩ කරන, අභිෂේක ලත් සහෝදරයන් කිහිපදෙනෙකුගෙන් සෑදුණු “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ගැනයි. (මතෙ. 24:45-47) ඊළඟ උපමාවේ ඔහු කතා කරන්නේ සියලුම අභිෂේක ලත් අය ගැනයි. (මතෙ. 25:1-30) අන්තිමට ඔහු කතා කළේ යේසුස්ගේ සහෝදරයන්ට සහය දෙන වෙනත් බැටළුවන් ගැනයි. (මතෙ. 25:31-46) ඒ හා සමානව එසකියෙල්ගේ අනාවැකියේ ඉටු වීම මෑත කාලේ මුලින්ම අද්දකින්නේ අභිෂේක ලත් අයයි. ගෝත්‍ර 10න් සෑදුණු උතුරු රාජ්‍යයෙන් වෙනත් බැටළුවන්ව සාමාන්‍යයෙන් නියෝජනය වෙන්නේ නැහැ. ඒත් එසකියෙල්ගේ අනාවැකියේ කතා කරන එක්සත්කම පොළොවේ ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය සහ ස්වර්ගයේ ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය අතරේ තියෙන එක්සත්කමට හොඳින්ම ගැළපෙනවා.