ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w03 5/1 19-24 පි.
  • ශෝක වෙන අයට සැනසීම දෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ශෝක වෙන අයට සැනසීම දෙන්න
  • 2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දෙවි දෙන සැනසීම සමඟින්
  • ප්‍රචණ්ඩත්වයෙන් හා ආර්ථික දුෂ්කරතාවලින් ජීවිතය කටුක එකක් වන විට
  • කුණාටු සහ භූමිකම්පාවලට මුහුණ පාන විට
  • පවුලේ සාමාජිකයෙක් මිය ගිය විට
  • ‘සියලු සැනසිල්ලේ දෙවියන්වහන්සේගෙන්’ සැනසීම
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “සියලු සැනසිල්ලේ දෙවි” කෙරෙහි විශ්වාසය තබන්න
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවියන් අපිව සනසවන විදිහ
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සැබෑ සැනසීම සොයාගත හැක්කේ කොහෙන්ද?
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w03 5/1 19-24 පි.

ශෝක වෙන අයට සැනසීම දෙන්න

‘යෙහෝවා මා ආලේප කළේ, . . . වැලපෙන සියල්ලන් සනසන්ටය.’—යෙසායා 61:1, 2, NW.

1, 2. අප සැනසීම දිය යුත්තේ කාටද, මන්ද?

යෙහෝවා, එනම් සියලු සැබෑ සැනසීමේ දෙවි, වෙනත් අය විපත්ති අද්දකින විට ඔවුන් ගැන සැලකිලිමත් වීමට අපට උගන්වයි. තවද ‘අධෛර්යයට පත්ව සිටින අයට සැනසිලිදායක අන්දමින් කතා කිරීමටද’ වැලපෙන සියල්ලන් සැනසීමටද ඔහු අපට උගන්වයි. (1 තෙසලෝනික 5:14, NW) එවන් උපකාර අවශ්‍ය වූ විට, අපි අපේ සෙසු නමස්කාරකයන්ට ඒවා සපයන්නෙමු. තවද අපි සභාවෙන් පිටත අයටද ප්‍රේමය පෙන්වන්නෙමු. අතීතයේදී අප කෙරෙහි කිසිදු ප්‍රේමයක් පෙන්වා නැති අයට පවා අපි ප්‍රේමය පෙන්වන්නෙමු.—මතෙව් 5:43-48; ගලාති 6:10.

2 යේසුස් ක්‍රිස්තුස් මෙම අනාවැකිමය පැවරුම කියවා තමාටම අදාළ කරගත්තේය. “ස්වාමිවූ යෙහෝවාගේ ආත්මය මා කෙරෙහිය. මක්නිසාද දිළිඳුන්ට [මොළොක් ගුණැති අයට, NW] ශුභාරංචිය දේශනා කරන්ට යෙහෝවා මා ආලේප කළේය. බිඳුණු සිත් ඇත්තන් සුව කරන්ටද, . . . වැලපෙන සියල්ලන් සනසන්ටද, . . . ඔහු මා එවුවේය.” (යෙසායා 61:1, 2, 3ආ; ලූක් 4:16-19) මෙම බලපැවරුම තමන්ටද අදාළ වන බව නවීන දින ආලේප ලත් ක්‍රිස්තියානීන් බොහෝ කලක සිට වටහාගෙන තිබෙන අතර, ‘වෙනත් බැටළුවෝද’ එම වැඩයට සතුටින් ඔවුන් හා හවුල් වෙති.—යොහන් 10:16.

3. ‘දෙවියන් විපත්තිවලට ඉඩ දෙන්නේ ඇයි’ කියා ජනයා අසන විට අපට කෙසේ උපකාර කළ හැකිද?

3 හදිසි විපත්තිවලින් වේදනාවට පත් වන ජනයා බොහෝවිට අසන්නේ ‘දෙවියන් ඒ වගේ විපත්තිවලට ඉඩ දෙන්නේ ඇයි’ කියායි. බයිබලය පැහැදිලිවම එම ප්‍රශ්නයට පිළිතුරු දෙයි. කෙසේවෙතත්, බයිබලය පාඩම් කර නැති කෙනෙකුට ඊට පිළිතුර සම්පූර්ණයෙන්ම තේරුම්ගැනීමට යම් කලක් ගත විය හැකියි. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනවල ඒ සඳහා උපකාර සපයා ඇත.a කෙසේවෙතත්, සමහරක් අයට යෙසායා 61:1, 2හි සඳහන් පාඨ වැනි බයිබල් පාඨ ප්‍රථම වරට අසන්න ලැබෙන විට මහත් සැනසීමක් ලැබෙන බව පෙනී යයි. මන්ද දෙවිගේ ආශාව වන්නේ මිනිසුන් සැනසීම ලැබීම බව ඒවායේ පවසා ඇති හෙයිනි.

4. පෝලන්තයේ මානසික අවපීඩනයෙන් පෙළුණ එක්තරා පාසැල් දැරියකට උපකාර කිරීමට සාක්ෂිකාරියකට හැකි වූයේ කෙසේද? අනුන්ට උපකාර කිරීමට එම අද්දැකීම ඔබට උපකාරවත් විය හැක්කේ කෙසේද?

4 යෞවනයන්ට මෙන්ම වැඩිහිටියන්ටද සැනසීම අවශ්‍යයි. පෝලන්තයේ, මානසික අවපීඩනයෙන් පෙළුණු එක්තරා නහඹර වියේ යෞවනියක් තම හිතවතියකගෙන් යම් අවවාදයක් පැතුවාය. යෙහෝවාගේ සාක්ෂිකාරියකව සිටි මෙම මිතුරිය ඉතා කාරුණික අන්දමින් ඇගෙන් ප්‍රශ්න අසා දැනගත්තේ ඇය යම් යම් ප්‍රශ්නවලින් සහ සැකයන්ගෙන් යටපත් වී සිටින බවයි.“ඇයි මෙච්චර නපුරුකම පැතිරිලා තියෙන්නේ? ඇයි මිනිස්සු දුක් විඳින්නේ? මගේ නංගි අංශභාග රෝගයෙන් දුක් විඳින්නේ ඇයි? මගේ හෘදය වස්තුව එතරම් නිරෝගි නැත්තේ ඇයි? පල්ලියෙන් කියන්නේ ඒක දෙවියන්ගේ කැමැත්ත කියලයි. ඇත්ත ඒක නම්, මට ඕනෑ නැහැ දෙවියන් කෙරෙහි විශ්වාසයක් තියන්න.” මෙම සාක්ෂිකාරිය නිහඬව යෙහෝවාට යාච්ඤා කර මෙසේ පැවසුවාය. “මං හරි සතුටුයි ඔයා මේවා ගැන මගෙන් ඇහැව්වාට. මං උත්සාහ කරන්නම් ඔයාට උදව් කරන්න.” තවද ඇය තමා දැරියකව සිටින විට තමාට සැකයන් තිබූ බවත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඇයට උපකාර කළ බවත් ඇය පැවසුවාය. ඇය පැහැදිලි කළේ මෙසේයි. “මම දැනගත්තා දෙවි මිනිස්සුන්ට දුක් විඳින්න ඉඩහරින්නේ නැහැ කියලා. ඔහු මිනිස්සුන්ට ප්‍රේම කරනවා. ඔවුන්ට උපරිම යහපත වෙනවාටයි ඔහු කැමති. ඒ වගේම ඉතා ඉක්මනින්ම ඔහු මේ පොළොවේ විශාල වෙනස්කම් සිදු කරාවි. අසනීප, මහලු වයසේ ගැටලු, මරණය වගේ දේවල් නැතිවෙලා තියේවි. කීකරු මිනිස්සු සදාකල් ජීවත් වේවි. ඔව්, මේ පොළොවේම ජීවත් වේවි.” ඇය එම යෞවනියට එළිදරව් 21:3, 4; යෝබ් 33:25; යෙසායා 35:5-7 සහ 65:21-25 පෙන්නුවාය. දිගු සාකච්ඡාවකින් පසුව, එම ගැහැනු ළමයාට සහනයක් ලැබී තිබූ බව මෙම වදන්වලින් හෙළි විය. “මං දැන් දන්නවා මං ජීවත් වෙන හේතුව. මං ඔයාව හම්බ වෙන්න ආයෙත් එන්නද?” ඇය සමඟ සතියට දෙවතාවක්ම බයිබල් පාඩමක් පැවැත්විණි.

දෙවි දෙන සැනසීම සමඟින්

5. අප දයානුකම්පාව පළ කරද්දී නියම සැනසීම ලැබෙන්නේ කුමකින්ද?

5 අප වෙනත් අයව සැනසීමට උත්සාහ කරන විට, සානුකම්පිත වචනවලින් කතා කිරීම ඉතාම සුදුසුයි. ශෝක වෙන පුද්ගලයෙකුට අපේ වචනවලින් හා කටහඬේ ස්වරයෙන් පෙන්වන්නට වෑයම් කරන්නේ ඔහුගේ හෝ ඇගේ තත්වය ගැන අප ගැඹුරින් සැලකිල්ල දක්වන බවයි. නිකම්ම හිස් වචන කීමෙන් මෙය ඉටු කරගන්නට බැරිය. බයිබලය අපට පවසන්නේ ‘අපේ විඳදරාගැනීම මාර්ගයෙන්ද, ශුද්ධ ලියවිල්ලෙන් ලැබෙන සැනසිල්ල මාර්ගයෙන්ද අප බලාපොරොත්තුව ඇතිව සිටිමු’ කියායි. (රෝම 15:4, NW) මේ අදහස පෙරදැරි කරගෙන, සුදුසු වෙලාවකදී දෙවිගේ රාජ්‍යය යනු කුමක්දැයි අපට පැහැදිලි කර දිය හැකි අතර, එය වත්මන් ගැටලු විසඳන ආකාරය ගැන බයිබලයෙන් අපට පෙන්විය හැකියි. අනතුරුව එය රඳා පැවතිය හැකි බලාපොරොත්තුවක් වන්නේ මන්දැයිද අපට තර්කානුකූලව පහදා දිය හැකියි. මේ අන්දමින්, අපි සැනසීම ලබා දෙන්නෙමු.

6. ශුද්ධ ලියවිල්ලෙන් ලැබෙන සැනසීමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අපට හැකි වන පිණිස, අප ජනයාට තේරුම්ගැනීමට උපකාර කළ යුත්තේ කුමන කාරණාද?

6 පුද්ගලයෙකුට පිරිනැමෙන සැනසීමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම්, සැබෑ දෙවි කවුද යන්නත්, ඔහු කුමන ආකාරයේ පුද්ගලයෙකුද යන්නත් ඔහුගේ පොරොන්දු කෙරෙහි රඳා පැවතිය හැකි බවත් එම තැනැත්තා දැනගත යුතුයි. යෙහෝවාට තවමත් නමස්කාර නොකරන පුද්ගලයෙකුට උපකාර කිරීමට අප උත්සාහ කරන විට, පහත සඳහන් කාරණා පැහැදිලි කිරීම යෙහෙකි. (1) බයිබලයෙන් ලැබෙන සැනසීම සැබෑ දෙවි වන යෙහෝවාගෙනි. (2) යෙහෝවා වනාහි සර්වබලධාරී, අහසේද පොළොවේද මැවුම්කරුය. ඔහු ප්‍රේමණීය කරුණාවෙන් සහ සත්‍යතාවෙන් පූර්ණ වූ ප්‍රේමයේ දෙවි කෙනෙක්ය. (3) දෙවිගේ වචනයෙන් නිවැරදි දැනුම ලබාගැනීමෙන් අපි දෙවිට ළං වන්නෙමු නම්, එම තත්වය සමඟ සාර්ථකව කටයුතු කිරීමට අප ශක්තිමත් විය හැකිය. (4) විවිධ පුද්ගලයන් මුහුණ දෙන යම් යම් පරීක්ෂාකාරී තත්වයන්ට සම්බන්ධ වූ ශුද්ධ ලියවිලි පාඨයන් බයිබලයේ අඩංගුය.

7. (අ) දෙවි දෙන සැනසීම “ක්‍රිස්තුස් මාර්ගයෙන් අධික වන්නේය” යන කාරණය කාවැද්දීමෙන් කුමක් ඉටු කරගත හැකි වේද? (ආ) තමාගේ හැසිරීම නරකයයි වටහාගෙන සිටින කෙනෙකුව ඔබට කෙසේ සැනසිය හැකිද?

7 තවත් සමහරක් අය 2 කොරින්ති 1:3-7 [NW] දක්වා පද බයිබලයෙන් කියවීමෙන් ශෝක වෙන්නන්ට ආත්මික ආශීර්වාදයක් ලබාගැනීමට උපකාර කර සිටිත්. එසේ කරද්දී ඔවුන් කාවද්දා තිබෙන්නේ “අපට ලැබෙන සැනසිල්ලද ක්‍රිස්තුස් මාර්ගයෙන් අධික වන්නේය” යන ප්‍රකාශයයි. බයිබලය සැනසීමේ උල්පතක් බවත් ඒ ගැන තමා වඩාත් සැලකිල්ල දැක්විය යුතු බවත් වටහාගැනීමට මෙම ශුද්ධ ලියවිලි පදය යම් පුද්ගලයෙකුට මහෝපකාරී විය හැකියි. තවද, සමහරවිට එය වෙනත් අවස්ථාවලදී තවදුරටත් සාකච්ඡා කිරීමට පදනමක්ද දැමිය හැකියි. යම් පුද්ගලයෙක් තමා කර ඇති යම් වැරදි දේවල් නිසා මානසිකව වේදනා විඳින බව අපට පෙනේ නම්, කිසිම විදිහකින් ඔහුව විනිශ්චය කරන්නට යන්නේ නැතුව, 1 යොහන් 2:1, 2 සහ ගීතාවලිය 103:11-14හි වාර්තා කර ඇති දේ දැනගැනීමෙන් සැනසීමක් ලැබිය හැකි බව ඔහුට කියන්නට අපට පුළුවන. මේ අන්දමින් අප කරන්නේ දෙවි දෙන සැනසීමෙන් අනුන්ව ඇත්තටම සැනසීමයි.

ප්‍රචණ්ඩත්වයෙන් හා ආර්ථික දුෂ්කරතාවලින් ජීවිතය කටුක එකක් වන විට

8, 9. ප්‍රචණ්ඩත්වයෙන් වේදනා විඳ ඇති පුද්ගලයන්හට සුදුසු අන්දමින් සැනසීම දීමට අපට හැක්කේ කෙසේද?

8 ගණනය කළ නොහැකි මිලියන සංඛ්‍යාවකගේ ජීවිත ප්‍රචණ්ඩත්වය නිසා, එනම් තම ප්‍රජාව තුළ හෝ යුද්ධයේ සාපරාධී ප්‍රචණ්ඩත්වය නිසා කටුක එකක් වී තිබේ. අපට ඔවුන්ව සැනසිය හැක්කේ කෙසේද?

9 ලෝකයේ පවතින ගැටුම්වලදී, සැබෑ ක්‍රිස්තියානීහු වචනයෙන් හෝ ක්‍රියාවෙන් කාගේවත් පැත්තක් නොගැනීමට වගබලා ගනිති. (යොහන් 17:16) නමුත් වර්තමානයේ මෙම කටුක තත්වයන් සදහටම පවතින්නේ නැති බව පෙන්වීමට ඔවුහු යෝග්‍ය ලෙස බයිබලය පාවිච්චි කරති. බලහත්කාරකම් කිරීමට ලැදි අය ගැන යෙහෝවාට හැඟෙන විදිහ පෙන්වීමට ගීතාවලිය 11:5 කියවන්නට ඔවුන්ට හැකියි. නැතහොත් අප විසින්ම පළිනොගෙන දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් තබන මෙන් ගීතාවලිය 37:1-4හි දෙවි කර ඇති දිරිගැන්වීම පෙන්වා දිය හැකියි. එමෙන්ම ගීතාවලිය 72:12-14 දක්වා පෙන්වන්නේ, ස්වර්ගික රජු වශයෙන් දැන් පාලනය කරමින් සිටින උතුම් සාලමොන් වන යේසුස් ක්‍රිස්තුස්ට, ප්‍රචණ්ඩත්වය නිසා දුක් විඳින අහිංසක ජනයා ගැන හැඟෙන්නේ කෙසේද යන්නයි.

10. යුද්ධ වාතාවරණයක් මැද වසර ගණනාවක් පුරා ඔබ ජීවත් වී ඇත්නම්, මෙහි සඳහන් කර ඇති ශුද්ධ ලියවිලි පද ඔබට සැනසිල්ලක් විය හැක්කේ කෙසේද?

10 ඇතැම් ජනයා ජීවත් වී ඇත්තේ, එක් එක් පාර්ශ්වයන් විසින් පාලනය තමන්ට නතු කරගැනීම සඳහා නොනවත්වා කරන සටන් මැදයි. යුද්ධය සහ යුද්ධයේ අමිහිරි ප්‍රතිඵල තමන්ගේ එදිනෙදා ජීවිතයේ කොටසක්යයි සිතා එම කාරණය ඔවුහු සැහැල්ලුට ගනිති. ඔවුන්ට තිබෙන එකම බලාපොරොත්තුසහගත අපේක්ෂාව නම් තමන් වෙනත් රටකට පලා ගියොත් තමන්ට වඩාත් හොඳ ජීවිතයක් ලැබෙනු ඇති බවයි. නමුත් ඔවුන්ගෙන් වැඩිදෙනෙකුට එය ලබාගැනීමට කවදාවත් හැකි වී නැති අතර, එසේ පලා යෑමට උත්සාහ දරද්දී සෑහෙනදෙනෙකුට සිදු වී ඇත්තේ තමන්ගේ ජීවිතය අහිමි වීමයි. කෙසේ හෝ වෙනත් රටකට ගිය විට, බොහෝවිට ඔවුන්ට හැඟෙන්නේ එක්තරා ගැටලු සමුදායක සිට තවත් ගැටලු සමුදායකට තමන් මුහුණ දෙන බවයි. තවත් රටකට යනවාට වඩා බොහෝසෙයින් විශ්වාසවන්ත යමක් කෙරෙහි තමන්ගේ බලාපොරොත්තුව රඳවාගන්නට එවන් පුද්ගලයන්ට උපකාර කිරීම පිණිස ගීතාවලිය 146:3-6 යොදාගත හැකියි. නියම පිංතූරය වඩාත් පැහැදිලිව දැකීමටත් තමන් විඳින තත්වයේ අර්ථය, එනම් අප ජීවත් වෙමින් සිටින්නේ මෙම පැරණි සමාජ ක්‍රමයේ අන්තිම දවස්වල බව වටහාගැනීමටත් මතෙව් 24:3, 7, 14 හෝ 2 තිමෝති 3:1-5 දක්වා අනාවැකි ඔවුන්ට උපකාරවත් විය හැකියි. ගීතාවලිය 46:1-3, 8, 9 සහ යෙසායා 2:2-4 ඔවුන්ට උපකාරවත් විය හැකියි සාමකාමී අනාගතයක බලාපොරොත්තුවක් සැබවින්ම ඇති බව වටහාගන්නට.

11. බටහිර අප්‍රිකාවේ ස්ත්‍රියකට සැනසීම ලැබුණේ කිනම් පාඨවලින්ද? ඒ මන්ද?

11 බටහිර අප්‍රිකාවේ දිගටම යුද්ධ පැවති එක්තරා කාල පරිච්ඡේදයක, එක් ස්ත්‍රියක් තම නිවසින් පලා ගියේ වෙඩි වරුසාවක් හමුවෙයි. ඇගේ ජීවිතය භයෙන්, ශෝකයෙන් සහ දැඩි හෘද වේදනාවක් සහිත අපේක්ෂාභංගත්වයෙන්පිරී තිබිණි. පසුව, එම පවුල වෙනත් රටක ජීවත්ව සිටින විට, ඇගේ සැමියා ඔවුන්ගේ විවාහ සහතිකය පුලුස්සා දමන්නට තීරණය කළ අතර, එවකට ගැබ්ගෙන සිටි තම බිරිඳව සහ ඔවුන්ගේ දස හැවිරිදි පුතාව පිටමං කර පූජකයෙකු වෙන්නට තීරණය කළේය. මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල අඩංගු ශුද්ධ ලියවිලිමය ලිපි මෙන්ම පිලිප්පි 4:6, 7 සහ ගීතාවලිය 55:22 වැනි පද ඇය සමඟ බෙදාගත් විට, අන්තිමේදී ඇයට සැනසීමක් සහ ජීවිතයට අරමුණක් ලැබිණි.

12. (අ) ඉතා දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන අයට ශුද්ධ ලියවිලිවලින් ගෙන දෙන්නේ කිනම් සහනයක්ද? (ආ) ආසියාවේ එක් සාක්ෂිකාරියකට පාරිභෝගික කාන්තාවකට උපකාර කරන්නට හැකි වුණේ කෙසේද?

12 ආර්ථිකමය දුෂ්කරතා නිසා මිලියන ගණනකගේ ජීවිත නාස්ති වී ගොස් තිබේ. ඇතැම්විට මෙයද සිදු වෙන්නේ යුද්ධයේ හා එහි අමිහිරි යථාර්ථයේ ප්‍රතිඵල නිසයි. තවත් අවස්ථාවලදී, ආණ්ඩුවල අඥාන ප්‍රතිපත්ති සහ බලධාරීන්ගේ ගිජුකමද, වංකකමද නිසා මහජනයාගේ ඉතිරි කිරීම් නාස්ති වීඇති අතර, ජනයාට ඊට වන්දි ගෙවන්නට සිදු වී ඇත්තේ තමන්ගේ දේපොළවලිනි. තවත් අයට කිසිවිටෙකත් මේ ලෝකයේ හොඳ දේවල් ලබාගැනීමට හැකි වී නැත. මේ සියල්ලන්ව සැනසිය හැකි ක්‍රමය නම් දෙවි කෙරෙහි විශ්වාසය තබන අයට සහනය දෙන බවට සහතික කර ඇති බවත්, තමන්ගේ අත්වලින් කරන වැඩ භුක්ති විඳිය හැකි ධර්මිෂ්ඨ ලෝකයක් සහතික කර ඇති බවත් ප්‍රකාශ කිරීමෙනි. (ගීතාවලිය 146:6, 7; යෙසායා 65:17, 21-23; 2 පේතෘස් 3:13) එක් ආසියාතික රටක පාරිභෝගික කාන්තාවක්එම රටේ ආර්ථික තත්වය ගැන කනස්සල්ලෙන් යුතුව කතා කළ විට, එක් සාක්ෂිකාරියක් ඇයට පැහැදිලි කළේ එම තත්වය ලෝකය වටාම සිදු වෙන සිද්ධීන්වල කොටසක් බවයි. මතෙව් 24:3-14 සහ ගීතාවලිය 37:9-11 සාකච්ඡා කිරීමෙන් අනතුරුව බයිබල් පාඩමකට මං සැලසිණි.

13. (අ) ජනයා හිස් පොරොන්දුවලින් රැවටී සිටින විට, ඔවුන්ට උපකාර කිරීම පිණිස බයිබලය පාවිච්චි කරන්නට අපට කෙසේ හැකිද? (ආ) නරක තත්වයන්ගෙන් ඔප්පු වෙන්නේ දෙවි කෙනෙක් නැත යන්න මිනිසුන්ගේ හැඟීම නම්, ඔවුන්ට කාරණා පහදා දෙන්නට ඔබට උත්සාහයක් දැරිය හැක්කේ කෙසේද?

13 මිනිසුන් වසර ගණනාවක් පුරා දුක් විඳ ඇති විට හෝ බොරු පොරොන්දුවලින් රැවටී සිටින විට, ඔවුන්, ඊජිප්තුවේ සිටි “හෘද වේදනාව නිසා” සවන් නොදුන් අයට සමාන විය හැකියි. (නික්මයාම 6:9) එවන් අවස්ථාවලදී, වත්මන් ගැටලු සමඟ සාර්ථකව කටයුතු කරන්නටත්, බොහෝදෙනෙකුගේ ජීවිත නිකරුණේ නාස්ති කරන බොරු වලවල්වලින් වැලකෙන්නටත් බයිබලයට උපකාර කළ හැකි ආකාරයන් ගැන උලුප්පා දැක්වීම ප්‍රයෝජනදායක විය හැකියි. (1 තිමෝති 4:8ආ) ඇතැමුන් දකින්නේ තමන් ජීවත් වන නරක තත්වයන්ගෙන් ඔප්පු වෙන්නේ දෙවි කෙනෙකු නැති බවය. නොඑසේනම් ඔහුට ඔවුන් ගැන කිසිදු සැලකිල්ලක් නැති බවය. නමුත් දෙවි උපකාර සපයා ඇති නමුදු බොහෝදෙනෙකු එය පිළිගෙන නැත යන කාරණය සුදුසු ශුද්ධ ලියවිලි පදවලින් පහදා දෙන්නට ඔබට පුළුවනි.—යෙසායා 48:17, 18.

කුණාටු සහ භූමිකම්පාවලට මුහුණ පාන විට

14, 15. එක් විපතක් නිසා බොහෝදෙනෙක් කම්පනයකට ලක් වූ අවස්ථාවක, යෙහෝවාගේ සාක්ෂිකරුවන් තම සැලකිල්ල පෙන්වූයේ කෙසේද?

14 කුණාටුවක්, භූමිකම්පාවක්, ගින්නක් හෝ යම් පිපිරීමක් නිසා විපත් හදිසියේ කඩා වැටිය හැකියි. හැම තැනකම ශෝකයේ රාවයන් පැතිර යා හැකියි. විපතින් බේරුණු අයව සැනසීමට කුමක් කළ හැකිද?

15 යමෙක් තමාට සැලකිල්ල දක්වනවා යන්න ජනයා දැනගත යුතුයි. එක් රටක ත්‍රස්තවාදී ප්‍රහාරයකින් පසු, බොහෝදෙනෙක් දැඩි කම්පනයකට ලක් වූහ. ඔවුන්ගෙන් ගණනාවකටම තම පවුලේ අයව, පවුල නඩත්තු කළ තැනැත්තාව සහ මිතුරන්ව අහිමි විය. ඇතමුන්ට තම රැකියාව අහිමි වූ අතර, බොහෝදෙනෙකුට තමන්ට තිබුණා කියා හැඟුණු මොන යම් ආකාරයක හෝ ආරක්ෂාවේ හැඟීම නැති විය. යෙහෝවාගේ සාක්ෂිකරුවෝ තමන්ගේ ප්‍රජාව තුළ ජීවත් වූ අසල්වාසීන් කරා ගොස්, ඔවුන්ට අහිමි වුණු අය සම්බන්ධයෙන් ශෝකය පළ කර, බයිබලයෙන් සැනසීමේ වචන බෙදාගත්හ. මෙලෙසින් දැක්වූ සැලකිල්ලට බොහෝදෙනෙක් ගැඹුරින් කෘතඥතාව පළ කළහ.

16. එල් සැල්වදෝර්හි එක් ප්‍රදේශයක විපතක් සිදු වූ අවස්ථාවේදී, එම ප්‍රදේශයේ විසූ සාක්ෂිකාරියන්ගේ ක්ෂේත්‍ර සේවය ඉතා බලපෑමෙන් යුක්ත වූයේ මන්ද?

16 වර්ෂ 2001දී, එල් සැල්වදෝර්හි ප්‍රබල භූමිකම්පාවකින් පසුව ඇති වූ දැවැන්ත මඩ නාය යෑමක් හේතුවෙන් බොහෝදෙනෙකුට සිය ජීවිත අහිමි විය. සාක්ෂිකාරියකගේ 25හැවිරිදි පුත්‍රයා සහ ඔහු විවාහ ගිවිසගෙන සිටි තැනැත්තියගේ බාල සහෝදරියන් දෙදෙනා මරුමුවට පත් වූහ. මේ යෞවනයාගේ මව සහ ඔහු හා විවාහ ගිවිසගෙන සිටි තැනැත්තිය හනික ක්ෂේත්‍ර සේවයේ කඩිසර ලෙස හවුල් වූහ. බොහෝදෙනෙකු කීවේ මිය ගිය අයව ගත්තේ දෙවියන්ය කියායි. එසේ නොවේ නම් එය දේවකැමැත්ත කියායි. හිතෝපදේශ 10:22 උපුටා දැක්වූ සාක්ෂිකරුවෝ වේදනාව ගෙන දීමට දෙවිට කිසිදු වුවමනාවක් නැති බව පෙන්වූහ. රෝම 5:12 කියවා, ඔවුන් පෙන්වා දුන්නේ මරණය යනු මිනිසාගේ පාපය තුළින් පැමිණි දෙයක් බවත්, එය දෙවිගේ කැමැත්ත නොවන බවත්ය. තවද, ගීතාවලිය 34:18, ගීතාවලිය 37:29, යෙසායා 25:8 සහ එළිදරව් 21:3, 4 සඳහන් සැනසීමේ පණිවුඩයද ඔවුහු පෙන්වා දුන්හ. බොහෝ අය ඉතා ඕනෑකමින් සවන් දුන්නේ විශේෂයෙන්ම මේ කාන්තාවන් දෙදෙනාටම විපත නිසා තම පවුලේ අයව අහිමිව සිටි බැවිනි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, බොහෝ බයිබල් පාඩම් ආරම්භ කෙරිණි.

17. විපත්ති කාලවලදී අපට කිනම් උපකාර දිය හැකි වේද?

17 විපතක් ඇති වූ විට, ක්ෂණිකව යම් උදව් උපකාරයක් අවශ්‍යව සිටින කෙනෙකුව ඔබට මුණ ගැසෙන්න පුළුවනි. වෛද්‍යවරයෙකුව ඇමතීම, රෝහලකට යෑමට පුද්ගලයෙකුට උපකාර කිරීම, හෝ ආහාර හෝ නිවාස පහසුකම් සලසා දීමට හැකි යමක් කිරීම මීට ඇතුළත් වෙන්නට පුළුවනි. වර්ෂ 1998 ඉතාලියේ එක් විපතක් සිදු වූ අවස්ථාවේදී, එක්තරා පුවත්පත් ලේඛකයෙක් නිරීක්ෂණය කළේ, යෙහෝවාගේ සාක්ෂිකරුවන් “කිසිම ආගම් භේදයක් බලන්නේ නැතුව දුක් විඳින අය වෙතට ගොස් ප්‍රායෝගික ක්‍රමවලින් අත හිත දෙන” බවයි. සමහරක් ප්‍රදේශවල, අන්තිම දවස්වල සිදු වෙනවායයි පුරෝකථනය කර තිබූ යම් සිද්ධීන්ද ඉමහත් වේදනාවලට හේතු වෙයි. එවන් ප්‍රදේශවල වෙසෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන් බයිබල් අනාවැකි පෙන්නුම් කරමින් ජනයාව සනසන්නේ, දෙවිගේ රාජ්‍යය මිනිස් සංහතියට සැබෑ සුරක්ෂිතභාවය ගෙනෙනු ඇති බවට බයිබලය සහතික ලෙස කියා සිටින බව පෙන්වා දෙමිනි.—හිතෝපදේශ 1:33; මීකා 4:4.

පවුලේ සාමාජිකයෙක් මිය ගිය විට

18-20. පවුලේ කෙනෙකුගේ මරණයක් සිදු වූ විට, සැනසීම දීම සඳහා ඔබට කියන්නට හෝ කරන්නට හැක්කේ කුමක්ද?

18 දිනපතාම මිලියන ගණනක් ජනයා තමන් ආදරය කළ කෙනෙකු මිය යෑම හේතුවෙන් ශෝක වෙති. ඔබ ක්‍රිස්තියානි දේවසේවයේ හවුල් වන විට හෝ එදිනෙදා ජීවිතයේ වැඩකටයුතුවලදී ඔවුන්ව ඔබට මුණ ගැසෙන්නට පුළුවන. සැනසීම ගෙන දෙන පිණිස ඔබට කුමක් කියන්නට හෝ කරන්නට පුළුවන්ද?

19 යම් පුද්ගලයෙක් චිත්තවේගීයව පීඩාකාරී තත්වයක සිටින්නේද? ශෝක වෙන පවුලේ අය හා නෑදෑයන්ගෙන් නිවස පිරී තිබේද? කියන්නට ඔබට බොහෝ දේවල් තිබෙන්නට පුළුවනි. නමුත් මෙහිදී ඥානවන්තව හොඳ බුද්ධියකින් කටයුතු කිරීම අවශ්‍යයි. (දේශනාකාරයා 3:1, 7) සමහරවිට වඩාත් සුදුසුම දේ නම් ශෝකය පළ කිරීමයි. සුදුසු බයිබල් ප්‍රකාශනයක් (විවරණිකාවක්, සඟරාවක් හෝ පත්‍රිකාවක්) තබා යෑමයි. ඉන් දවස් කිහිපයකට පසුව අමතා තවත් උපකාර දිය හැකිදැයි සොයා බැලීමයි. සුදුසු වේලාවකදී බයිබලයෙන් දිරිගැන්වෙන යම් අදහස් කිහිපයක් බෙදාගන්නදැයි විමසන්න. මේ මගින් සන්සුන් කරවන හා සුව කරන යම් බලපෑමක් ඇති කළ හැකියි. (හිතෝපදේශ 16:24; 25:11) යේසුස් කළාක් මෙන් ඔබට මළවුන්ව නැඟිටුවන්නට බැරිය. නමුත් වැරදි මතයන් නිෂ්ප්‍රභ කිරීමට උත්සාහ කළ යුතු අවස්ථාව මෙය නොවුණත්, මළවුන්ගේ තත්වය සම්බන්ධයෙන් බයිබලය කියන දෙය ඔබට බෙදාගත හැකියි. (ගීතාවලිය 146:4; දේශනාකාරයා 9:5, 10; එසකියෙල් 18:4) නැවත නැඟිටීම පිළිබඳව බයිබලයේ දී ඇති පොරොන්දු ගැන ඔබට එක්ව කියවන්නට පුළුවනි. (යොහන් 5:28, 29; ක්‍රියා 24:15) ඉන් අදහස් කරන දේ ගැන සාකච්ඡා කිරීම පිණිස, සමහරවිට නැවත නැඟිටීම පිළිබඳව බයිබලීය වාර්තාවක් යොදාගන්නටද ඔබට හැකියි. (ලූක් 8:49-56; යොහන් 11:39-44) තවද එවන් බලාපොරොත්තුවක් දෙන ප්‍රේමණීය දෙවිගේ ගුණාංගවලට අවධානය යොමු කරන්න. (යෝබ් 14:14, 15; යොහන් 3:16) මෙම ගුණාංග ඔබට ප්‍රයෝජනවත් වී ඇති අන්දමද, ඔබ ඒවා විශ්වාස කරන්නේ මන්ද කියාද පහදා දෙන්න.

20 ශෝක වෙමින් සිටින කෙනෙකුට රාජ්‍ය ශාලාවට ආරාධනා කිරීමෙන් තමන්ගේ අසල්වාසීන්ට සැබවින්ම ප්‍රේම කරන අයවද, එකිනෙකාව ගොඩනැංවීමට දන්නාවූ අයවද දැනහඳුනා ගැනීමට අවස්ථාව ලැබේවි. ස්විඩනයේ සිටි එක් ස්ත්‍රියක් දැනගත්තේ මෙය ඇය මුළු ජීවිත කාලය පුරා සොයමින් සිටි දෙය බවයි.—යොහන් 13:35; 1 තෙසලෝනික 5:11.

21, 22. (අ) අප විසින් සැනසීම දීමට නම් අවශ්‍ය වන්නේ කුමක්ද? (ආ) දැනටමත් ශුද්ධ ලියවිලි පිළිබඳව හොඳ දැනුමක් තිබෙන යම් කෙනෙකුව සැනසීමට ඔබට හැක්කේ කෙසේද?

21 ක්‍රිස්තියානි සභාවේ හෝ ඉන් පිටත යමෙක් ශෝකය අද්දකිමින් සිටින බවක් ඔබ දන්නේ නම්, කුමක් කියන්නද හෝ කුමක් කරන්නද කියා ඇතැම්විට නිශ්චය කර ගැනීමට නොහැකි බවක් ඔබට දැනෙනවාද? බයිබලයේ “සැනසීම” යන්නෙන් බොහෝවිට ගෙනහැර දක්වා ඇති ග්‍රීක් වචනයෙන් අදහස් කරන්නේ “යමෙකුගේ පැත්තට කැඳවීමක්ය.” සැබෑ සනසන්නෙක් කීමෙන් අඟවන්නේ ශෝක වෙන අය සමඟ ඔවුන්ගේ දුකේදී සැපේදී ඔහු ඔවුන් ළඟින්ම සිටිනවා යන්නයි.—හිතෝපදේශ 17:17.

22 ඔබ සනසන්න යන පුද්ගලයා දැනටමත් මරණය, මිදීමේ මිලය සහ නැවත නැඟිටීම ගැන දන්නවා නම් කුමක් කළ හැකිද? එකම විශ්වාසය දරන මිතුරෙකු පැමිණ සිටීමම සැනසීමක් විය හැකියි. ඔහුට කතා කරන්නට ඕනෑ නම්, හොඳින් සවන් දෙන්න. ඔබ ඔහුට දේශනාවක් දෙන්න ඕනෑයයි සිතන්න එපා. ශුද්ධ ලියවිලි පද කියවනු ලැබේ නම්, මේවා ඔබ දෙදෙනාගේම හදවත් ශක්තිමත් කරන දෙවිගේ කියමන් බව සිතටගන්න. එම ශුද්ධ ලියවිලි පදවලින් පොරොන්දු වෙන දෙයෙහි ස්ථිරභාවය කෙරෙහි ඔබ දෙදෙනාගේම ප්‍රබල විශ්වාසයන් පළ කරන්න. දේවභක්තික දයානුකම්පාව දැක්වීමෙන් සහ දෙවිගේ වචනයේ සඳහන් වටිනා සත්‍යතාවන් බෙදාගැනීමෙන් ඔබට හැකියි “සියලු සැනසිල්ලේ දෙවි” වන යෙහෝවාගෙන් ලැබෙන සැනසීම හා ශක්තිය ලබාගැනීම පිණිස ශෝක වෙන අයට උපකාර කිරීමට.—2 කොරින්ති 1:3, NW.

[පාදසටහන]

a සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම පොතේ 8වන පරිච්ඡේදයද, Reasoning From the Scriptures පොතේ පිටු 393-400 සහ 427-31 දක්වා, ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? පොතේ 10වන පරිච්ඡේදය, සහ ඇත්තටම දෙවි අප ගැන සලකන්නේද? නමැති විවරණිකාව බලන්න.

ඔබේ අදහස කුමක්ද?

• බොහෝදෙනෙක් විපත්ති ගැන දොස් කියන්නේ කාටද? ඔවුන්ට උපකාර කිරීමට අපට හැක්කේ කෙසේද?

• බයිබලය ඉදිරිපත් කරන්නාවූ සැනසීමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අපට අනුන්හට කෙසේ උපකාර කළ හැකිද?

• ඔබේ ප්‍රදේශයේ සිටින බොහෝදෙනෙකුව ශෝකයට පත්කරන්නේ කිනම් තත්වයන්ද? ඔවුන්ව සැනසීමට ඔබට හැක්කේ කෙසේද?

[23වන පිටුවේ පින්තූර]

විපත්ති කාලවලදී නියම සැනසීම දෙන්නාවූ පණිවුඩයක් බෙදාගැනීම

[හිමිකම් විස්තර]

Refugee camp: UN PHOTO 186811/J. Isaac

[24වන පිටුවේ පින්තූරය]

මිතුරෙකු පැමිණ සිටීමම සැනසීමක් විය හැකියි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න