අතීතයෙන් බිඳක්
“ආයේ සමුළුවක් තියෙන්නේ කවදාද?”
ඒ 1932 නොවැම්බර් මාසේ අගභාගයයි. මීට සතියකට කලින් වැඩිදෙනාගේ කතාබහට ලක් වුණේ මෙක්සිකෝවේ අගනුවර මුල්ම වතාවට සවි කරපු මාර්ග සංඥා එළි ගැනයි. ඒත් දැන් දැන් මාධ්‍යවේදීන්ගේ අවධානය වෙනත් දේකට යොමු වෙමින් තිබුණා. කැමරා ලෑස්ති කරගෙන ඒ අය දුම්රියපොළට ගිහින් බලාගෙන ඉන්නේ විශේෂ අමුත්තෙක් එන කල්. කවුද ඒ අමුත්තා? ඒ වෙන කවුරුත් නෙමෙයි “වොච් ටවර්” සමිතියේ සභාපති සහෝදර ජෝසෆ් එෆ්. රදෆර්ඩ්. මෙක්සිකෝවේ පවත්වපු විශේෂ තුන්දින සමුළුවට ආපු සහෝදර රදෆර්ඩ්ව ආදරෙන් පිළිගන්න ඒ රටේ සාක්ෂිකරුවන් හුඟදෙනෙකුත් දුම්රියපොළට එකතු වුණා.
ඒ සමුළුව ගැන “ද ගෝල්ඩන් ඒජ්” සඟරාවේ මෙහෙම සඳහන් වුණා. “මෙක්සිකෝවේ පවත්වපු මේ සමුළුව එහේ ඉන්න සාක්ෂිකරුවන්ගේ වර්ධනයට දායක වුණු සමුළුවක් විදිහට ඉතිහාසගත වෙයි කියලා කිසිම සැකයක් නැහැ.” 150දෙනෙක් විතර සහභාගි වුණු ඒ සමුළුව එච්චරම විශේෂ එකක් වුණේ ඇයි?
ඒ සමුළුව තියන්න කලින් මෙක්සිකෝවේ සාක්ෂිකරුවන්ගේ ලොකු වර්ධනයක් දකින්න ලැබුණේ නැහැ. 1919 ඉඳන් පොඩි පොඩි සමුළු පැවැත්තුවත් සභාවන් ගණන එන්න එන්නම අඩු වෙමිනුයි තිබුණේ. 1929දී මෙක්සිකෝවේ ශාඛා කාර්යාලයක් පිහිටෙව්වාම සහෝදරයන්ගේ හිත්වල බලාපොරොත්තුවේ සේයාවක් දැල්වුණා. ඒත් එයාලට ගොඩක් බාධා තිබුණා. ශුභාරංචිය දේශනා කරන ගමන් ව්‍යාපාර කටයුතු කරන්න එපා කියලා මඟ පෙන්වීමක් ලැබුණාම අමනාප වුණ පුරෝගාමියෙක් සංවිධානයෙන් අයින් වෙලා එයාගේම කණ්ඩායමක් හදාගත්තා. ඒ වෙද්දී හිටපු ශාඛා කාර්යාලයේ සම්බන්ධීකාරක අතින් සිදු වුණු බරපතළ වැරදි නිසා එයාව වගකීම්වලින් අයින් කළා. ඒ කාලය මෙක්සිකෝවේ හිටපු සාක්ෂිකරුවන්ට සේවය උද්‍යෝගයෙන් කරන්න ලොකු තල්ලුවක් ඕනෙ වුණු කාලයක්.
ඒ වගේ කාලෙක සහෝදර රදෆර්ඩ් එහෙට ආපු එක එයාලට ලොකු දිරිගැන්වීමක් වුණා. එයා සමුළුවේදී ප්‍රබල දේශන 2ක් දුන්නා. ගුවන්විදුලි සේවාවක් හරහා එයාගේ දේශන 5ක් රට පුරාම විකාශනය කළා. මෙක්සිකෝවේ ඒ දේ කරපු මුල්ම වතාව ඒකයි. ශාඛා කාර්යාලයේ අලුත් සම්බන්ධීකාරක සමුළුවෙන් පස්සේ වැඩකටයුතු හොඳින් සැලසුම් කළා. සමුළුවෙන් අලුත් පණක් ලබපු සහෝදරයන් ඒ සැලසුම්වලට සහයෝගය දුන්නේ පුදුම උද්‍යෝගයකින්. එයාලගේ වෑයමට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ලැබුණා.
1941 මෙක්සිකෝ සිටිවල තිබුණු සමුළුවකදී
ඊළඟ අවුරුද්දේ සමුළු 2ක්ම තියන්න එහේ සහෝදරයන්ට පුළුවන් වුණා. එකක් වේරාකෲෂ්වලත් අනික මෙක්සිකෝ සිටිවලත් තිබුණා. සහෝදරයන් දරපු වෙහෙසට හොඳ ප්‍රතිඵල ලැබුණා. 1931දී හිටියේ ප්‍රචාරකයන් 82ක් විතරයි. ඒත් අවුරුදු 10කට පස්සේ ඒ ගණන 10 ගුණයකින් වැඩි වෙලා තිබුණා. 1941 මෙක්සිකෝ සිටිවල තිබුණු සමුළුවට 1000ක් විතර ආවා.
“පාරවල් අයිති කරගෙන”
1943දී “නිදහස් ජාතිය” කියන තේමාවෙන් මෙක්සිකෝවේ නගර 12ක සමුළු තියන්න සැලසුම් කළා. සාක්ෂිකරුවන් ඒ ගැන අනිත් අයට දැනුම් දුන්නේ දැන්වීම් පුවරු කරේ එල්ලගෙන වීථිවල ඇවිදලයි.a ඒක 1936 ඉඳන් සාක්ෂිකරුවන් දේශනා කරන්න යොදාගත්ත ක්‍රමයක්.
1944 මෙක්සිකෝවේ සහෝදරයන් වීථිවල කරපු සේවය ගැන සඟරාවක පළ වුණා
දැන්වීම් පුවරු කරේ එල්ලගෙන මෙක්සිකෝ සිටිවල කරපු සේවය ගැන එක සඟරාවක මෙහෙම පළ වුණා. “තවත් අයට ආරාධනා කරන්න කියලා සමුළුවේ පළවෙනි දවසට සහභාගි වුණ අයට කිව්වා. දෙවෙනි දවසේ කොච්චර ආවාද කියනවා නම් ඉඩත් මදි වුණා.” (La Nación) වීථිවල කරපු ඒ සේවයට පූජකයන් නම් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. එයාලා සාක්ෂිකරුවන්ට විරුද්ධව පියවර ගත්තා. විරුද්ධවාදිකම් ආවත් සාක්ෂිකරුවන් නිර්භීතව ඒ සේවය දිගටම කළා. ඒ සඟරාවේම මෙහෙම පළ වුණා. “දැන්වීම් පුවරු කරේ එල්ලගෙන හිටපු එයාලා මුළු නගරයේම අයගේ අවධානයට ලක් වුණා.” ඒ ලිපියේ වීථිවල හිටපු සාක්ෂිකරුවන්ගේ පින්තූරයක් පළ වුණේ මේ වැකියත් එක්කයි. “පාරවල් අයිති කරගෙන.”
“සුවපහසු ඇඳවල්”
සමුළුවලට එන්න ඒ කාලේ හිටපු සහෝදරයන්ට හුඟක් කැප කිරීම් කරන්න වුණා. හුඟක් අය ආවේ පිටිසර ගම්මානවලින්. ඒ ගම්වලට යන්න කොච්චියක් තියා පාරක්වත් තිබුණේ නැහැ. සමුළුව තිබුණු නගරයට යන්න කොච්චියක් ගන්න එයාලට දවස් ගාණක් තිස්සේ කොටළුවන්ගේ පිටේ නැත්නම් පයින් එන්න වුණා.
සහෝදරයන් හුඟදෙනෙක් හරිම දුප්පත්. සමුළුවට එන්න විතරක් යන වියදමත් එයාලා දැරුවේ අමාරුවෙන්. එහෙම ආපු අයට නගරයේ හිටපු සහෝදරයන් කැමැත්තෙන්ම තමන්ගේ නිවෙස් විවෘත කළා. තවත් අය නමස්කාර මධ්‍යස්ථානවල නතර වුණා. එක අවස්ථාවක ඈත පළාත්වලින් ආපු 90දෙනෙක්ට ශාඛා කාර්යාලයේ නවාතැන් ලෑස්ති කළා. ඒ ගැන ‘වාර්ෂික පොතේ’ සඳහන් වුණේ මෙහෙමයි. “එයාලට නිදාගන්න ලෑස්ති කළේ පොත් පෙට්ටි පේළියට තියලයි.” සහෝදරයන් ඒ නවාතැන හුඟක් අගය කළා. එයාලා කිව්වේ ඒවා “සුවපහසු ඇඳවල්” කියලයි.
ඒ සහෝදරයන් සමුළු කොච්චර අගය කළාද කියනවා නම් එයාලා දරපු වෑයම පොඩ්ඩක්වත් අපතේ ගියේ නැහැ කියලයි එයාලට හැඟුණේ. මේ වෙද්දී මෙක්සිකෝවේ ප්‍රචාරකයන්ගේ ගණන මිලියනයකට ළං වෙමින් තියෙනවා. එදා සහෝදරයන්ට තිබුණු උද්‍යෝගය, අගය අදටත් වෙනස් වෙලා නැහැ.b 1949 මෙක්සිකෝවේ ශාඛා කාර්යාලයෙන් ලැබුණ වාර්තාවක සඳහන් වුණේ මෙහෙමයි. “අමාරුකම් අද්දැක්කා කියලා සමුළුවලට යන්න සහෝදරයන්ට තිබුණු උද්‍යෝගය නම් අඩු වුණේ නැහැ. සමුළුවක් ඉවර වෙලා කාලයක් යන කල්ම සහෝදරයෝ නිතරම කතා කළේ ඒ සමුළුව ගැනයි. එයාලා ආසාවෙන් අහන්නේ ‘ආයේ සමුළුවක් තියෙන්නේ කවදාද’ කියලා.” මෙක්සිකෝවේ සහෝදරයන් ගැන අදටත් කියන්න තියෙන්නේ ඒ දේමයි.—මධ්‍යම ඇමරිකාවේ අතීතයෙන් බිඳක්.
a ‘1944 වාර්ෂික පොතේ’ කියන විදිහට ඒ සමුළුව නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන මෙක්සිකෝවේ හුඟදෙනෙක් දැනගත්තා.
b 22,62,646දෙනෙක් 2016දී සිහි කිරීමට සහභාගි වුණා.