මුල් පිටුවෙන් | කනගාටුදායක සිදුවීම්වලට මුහුණ දෙන්නේ කොහොමද?
හැම දෙයක්ම නැති වුණොත් . . .
15,000කට වඩා මිනිස් ජීවිත අහිමි කරමින් ඩොලර් බිලියන 200කට වඩා අලාභහානි සිදු කරමින් 2011 මාර්තු 11වෙනිදා ජපානයේ ප්‍රබල භූමිකම්පාවක් ඇති වුණා. ඒත් සමඟම සුනාමියක්ද ඇති වෙනවා කියලා දැනගත්ත කේ ජීවිතය බේරාගන්න උස් තැනකට ගියා. ඊටපසු වුණු දේ ගැන කේ මෙහෙම කියනවා. “පහුවදා උදේ මම ගෙදරට ගියේ මට ඕන කරන දේවල් එකතු කරගෙන එන්න. ඒත් ඉතුරු වෙලා තිබුණේ ගෙදර අත්තිවාරම විතරයි. හැම දෙයක්ම මුහුදට ගහගෙන ගිහින්.
“මගේ ජීවිතෙත් එක්ක බැඳිලා තිබුණු හැම දෙයක්ම නැති වෙලා කියලා තේරුම්ගන්න මට ටික වෙලාවක් ගියා. මගේ කාර් එක, වැඩවලට පාවිච්චි කරපු පරිගණකය, පුටු, මේස, මගේ ඕගන් එක, ගිටාර්, බටනලාව, චිත්‍ර අඳින්න මම පාවිච්චි කරපු දේවල්, මගේ චිත්‍ර මේ හැම දෙයක්ම මට නැති වුණා.”
දරාගන්නේ කොහොමද?
නැති වුණු දේවල් ගැන හිතනවාට වඩා දැනටමත් තියෙන දේවල් ගැන හිතන්න. බයිබලයේ කියන්නේ “කෙනෙකුට කොතරම් දේවල් තිබුණත් ඔහුට තිබෙන දේවලින් ඔහුගේ ජීවිතය රැකගන්න ඔහුට බැහැ” කියලයි. (ලූක් 12:15) කේ මෙහෙම කිව්වා. “මුලින්ම මම ගන්න ඕන දේවල්වල ලැයිස්තුවක් හැදුවා. ඒත් ඒකෙන් වුණේ නැති වුණු දේවල් මතක් වුණ එක විතරයි. ඒ නිසා මට අත්‍යවශ්‍යම දේවල් විතරක් ලිව්වා. ඒවා ලැබුණාට පස්සේ ඕන කරන අනිත් දේවල් ගත්තා.”
තමන් ගැනම හිතහිතා ඉන්නවාට වඩා අනිත් අය වෙනුවෙන් යමක් කරන්න. කේ මෙහෙම කියනවා. “යාළුවෝ, සහන සේවා කණ්ඩායම්වල අය මට ගොඩක් උදව් කළා. ඒත් ටික දවසක් යද්දී මම අනිත් අයගෙන් යැපෙන කෙනෙක් වෙලා කියලා මට දැනුණා. ‘ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා’ කියලා බයිබලේ ක්‍රියා 20:35 කියලා තියෙන දේ මට මතක් වුණා. මගේ ළඟ දෙන්න ගොඩක් දේවල් තිබුණේ නැහැ. ඒත් අනතුරට පත් වෙලා හිටපු අයට වචනයෙන් සහනයක් වෙන්න මට පුළුවන් වුණා. ඒක මටත් ලොකු සැනසීමක්.”
ඒවගේ සිදුවීමකට මුහුණ දෙන්න වුණොත් ප්‍රඥාව ඉල්ලලා යාච්ඤා කරන්න. ‘සියල්ල අහිමි වූ අසරණයන්ගේ යාච්ඤාවලට දෙවියන් නිසැකවම සවන් දෙනවා’ කියලා කේ විශ්වාස කළා. (ගීතාවලිය 102:17) ඔබටත් ඒ දෙයම කරන්න පුළුවන්.
ඔබ දන්නවාද? ස්වභාවික විපත් සිදු වෙන්නේ නැති කාලයක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඒ නිසා තමන්ගේ දේවල් නැති වුණා කියලා එදාට කවුරුත් දුක් වෙන්නේ නැහැ.a—යෙසායා 65:21-23.
a මිනිසුන් වෙනුවෙන් දෙවියන් අරමුණ කරලා තියෙන දේ ගැන වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 3වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක්.