පොරොන්දු දේශයෙන් ප්‍රායෝගික පාඩම්
බයිබලයේ වාර්තා කර තිබෙන පොරොන්දු දේශය ඇත්තෙන්ම අද්විතීය එකක් විය. සාපේක්ෂ වශයෙන් කුඩා වූ මෙම ප්‍රදේශයේ, විවිධාකාර භූගෝලීය ලක්ෂණ රැසක් අපට දැකගත හැක. උතුරේ, හිමෙන් වැසී ගිය කඳු මුදුන්ද, දකුණේ, උෂ්ණ ප්‍රදේශද පිහිටා තිබේ. එහි සශ්‍රීක පහත් බිම්ද, පාළුකර ප්‍රදේශද, පලතුරු වතු හා සත්ව රැළවල් සඳහා තණ බිම් සහිත කඳුකර ප්‍රදේශද ඇත.
භූමි මට්ටමේ උස, දේශගුණය සහ පස යනාදියේ විවිධත්වය නිසා, විවිධාකාර ගස්, පඳුරු සහ වෙනත් පැළෑටි මෙහි හොඳින් වැඩේ. මෙයට, ශීත ඇල්පයින් ප්‍රදේශවල වැවෙන ඒවාද, උෂ්ණාධික කාන්තාරවල වැවෙන ඒවාද, එමෙන්ම දියළු තැන්නේ හෝ පාෂාණ සානු මත සශ්‍රීකව වැවෙන ඒවාද ඇතුළත් වේ. එම ප්‍රදේශයෙන් පැළෑටි වර්ග 2,600ක් පමණ සොයාගත හැකි බවට එක් උද්භිද විද්‍යාඥයෙක් තක්සේරු කරයි! දේශය පරීක්ෂා කළ මුල්ම ඉශ්‍රායෙලිතයෝ එහි සශ්‍රීකත්වය පිළිබඳ සාක්ෂි එවෙලේම දුටුවෝය. ඔවුන් එක් මිටියාවතකින් ගෙනා මිදි පොකුරක් කෙතරම් විශාලද කිවහොත් එය ලීයක බැඳ පුරුෂයන් දෙදෙනෙකුට ගෙන ඒමට සිදු විය! මිටියාවත උචිත ලෙස එෂ්කොල් යන නමින් හඳුන්වනු ලැබීය, තවද එහි අර්ථය “මුද්‍රික පොකුර” යන්නය.a—ගණන් කථාව 13:21-24.
එහෙත් මෙම අද්විතීය බිම් තීරයේ, විශේෂයෙන්ම දකුණු දිග කොටසේ, සමහරක් භූගෝලීය ලක්ෂණ වෙත, අපි සමීප බැල්මක් හෙළමු.
ෂෙෆීලා
මධ්‍යධරණී මුහුදේ වෙරළ පොරොන්දු දේශයේ බටහිර දේශ සීමාව වේ. කිලෝමීටර් 40ක් පමණ රට අභ්‍යන්තරයට වන්ට ෂෙෆීලා පිහිටා තිබේ. “ෂෙෆීලා” යන වදනේ අර්ථය “පහතරට” යන්නයි, නමුත් ඇත්තවශයෙන්ම මෙය කඳු සහිත ප්‍රදේශයක් වන අතර, ඊට පහතරටයයි කිව හැක්කේ නැඟෙනහිරට වන්ට තිබෙන යුදාහි කඳු හා සැසඳූ කල පමණි.
මේ සමඟ තිබෙන හරස් කඩ සිතියම දෙස බලා ෂෙෆීලා සමඟ ඒ අවට තිබෙන ප්‍රදේශවලට ඇති සම්බන්ධය සැලකිල්ලට ගන්න. නැඟෙනහිර දෙසට යුදාහි කඳුද; බටහිර දෙසට පිලිස්තියාවේ මුහුදුබඩ තැන්නද පිහිටා තිබේ. මෙලෙස, ෂෙෆීලා, ආරක්ෂක කලාපයක් හෙවත්, බයිබල් කාලවලදී දෙවියන්වහන්සේගේ ජනතාවව ඔවුන්ගේ ඉපැරණි සතුරන්ගෙන් වෙන් කරන බාධකයක් විය. බටහිරින් ආක්‍රමණය කරන ඕනෑම හමුදාවකට, ඉශ්රායෙලයේ අගනුවර වූ යෙරුසලමට විරුද්ධව නැඟී සිටීමට පෙර ෂෙෆීලා හරහා යෑමට සිදු විය.
එවන් සිද්ධියක් පො.යු.පෙ. 9වන ශතවර්ෂයේදී සිදු විය. සිරියේ රජවූ හසායෙල් “ඇවිත් ගාද්ට [ෂෙෆීලාහි මායිම අසල විය හැක] විරුද්ධව යුද්ධකොට ඒක අල්ලාගෙන, යෙරුසලමටත් විරුද්ධව එන්ට තමාගේ මුහුණ යොමු” කළ බවට බයිබලය වාර්තා කරයි. දේවමාළිගාවෙන් හා රජමාළිගාවෙන් ලබාගත් විවිධ වටිනා දේවල් දී ඔහුව සතුටු කිරීමෙන්, යෙහෝවාෂ් රජුට හසායෙල්ව නැවැත්වීමට හැකි විය. ඒ කෙසේවෙතත්, යෙරුසලමේ ආරක්ෂාවට ෂෙෆීලා ඉතා වැදගත් වූ බව මෙම සිද්ධිය නිදර්ශනය කරයි.—2 රාජාවලිය 12:17, 18.
මින් අපට ප්‍රායෝගික පාඩමක් උගත හැක. හසායෙල්ට යෙරුසලම යටත් කිරීමට අවශ්‍ය වුවද, පළමුව ඔහුට ෂෙෆීලා පසු කිරීමට සිදු විය. ඒ හා සමානවම, සාතන් නමැති යක්ෂයා, දේවසේවකයන්ව “ගිලිම්දෝහෝයි සොයමින්” සිටියි, එහෙත් බොහෝවිට ඔහු පළමුව ශක්තිමත් ආරක්ෂක කලාපයක් පසු කර යා යුතුය—එම කලාපය නම්, නරක ආශ්‍රය හා ද්‍රව්‍යවාදය වැනි දේවල් සම්බන්ධයෙන් තිබෙන බයිබල් ප්‍රතිපත්තිවලට වූ ඔවුන්ගේ ඇලී ගැලී සිටීමය. (1 පේතෘස් 5:8; 1 කොරින්ති 15:33; 1 තිමෝති 6:10) බයිබල් ප්‍රතිපත්ති පාවා දීම වනාහි, බොහෝවිට බරපතළ පාපවලට මඟ පෙන්වන පළමු පියවරයි. එනිසා ඔබගේ ආරක්ෂක කලාපය සුරක්ෂිතව තබාගන්න. අද බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කරන්න, එවිට ඔබ හෙට දින දෙවියන්වහන්සේගේ නීති කඩ නොකරනු ඇත.
යුදාහි කඳුකරය
ෂෙෆීලාහි සිට තවත් රට අභ්‍යන්තරට වන්ට යුදාහි කඳුකරය තිබේ. මෙය හොඳ ධාන්‍ය, ඔලීව තෙල් සහ මුද්‍රිකපානය නිපදවූ කඳුකර ප්රදේශයකි. එහි උස් පිහිටීම නිසා යුදා අනගි රක්ෂස්ථානයක්ද විය. එනිසා, යෝතාම් රජ එහි “බලකොටුද මුරකොටුද” ගොඩනැඟුවේය. කලබලකාරි අවස්ථාවලදී, මිනිසුන්ට ආරක්ෂාව සඳහා මේවා වෙත පලායෑමට හැකි විය.—2 ලේකම් 27:4.
සියොන් යනුවෙන්ද හඳුන්වනු ලැබූ යෙරුසලම, යුදාහි කඳුකරයේ කැපීපෙනෙන කොටසක් විය. යෙරුසලම පැති තුනකින් අධික බෑවුම් සහිත නිම්නවලින් වට වී තිබුණ නිසාත්, පළමු ශතවර්ෂයේ ඉතිහාසඥ ජොසීෆස්ට අනුව, උතුරු පැත්ත පිළිවෙළින් පිහිටි පවුරු තුනකින් සමන්විත වූ නිසාත් ආරක්ෂිතයයි පෙනෙන්ට විය. එහෙත් රක්ෂස්ථානයකට එහි සුරක්ෂිතභාවය පවත්වා ගැනීමට නම් පවුරු හා ආයුධවලට වඩා වැඩි යමක් අවශ්‍ය වේ. එයට ජලයද තිබිය යුතුය. වටලනු ලැබූ විටකදී මෙය අත්‍යවශ්‍ය වේ, මන්දයත් ජලය නොමැති නම් වටලනු ලැබූ පුරවැසියන්ව යටත්වීමට බලෙන් පෙලඹවිය හැකි බැවිනි.
යෙරුසලමට ජලය ලැබුණේ සිලෝවම් පොකුණෙනි. කෙසේවෙතත්, පො.යු.පෙ. 8වන ශතවර්ෂයේදී, අෂූරිවරුන් විසින් වටලනු ලැබේය යන බලාපොරොත්තුවෙන් හෙසකියා රජු සිලෝවම් පොකුණ ආරක්ෂා කරගැනීම සඳහා නගරය තුළ පොකුණ වටේට පවුරක් ගොඩනැඟුවේය. වැටලීමට පැමිණි අෂූරිවරුන්ට ජලය සොයාගැනීම අපහසු යමක් කරවීම සඳහා නගරයෙන් පිටත වූ උල්පත්ද ඔහු වසා දැමුවේය. (2 ලේකම් 32:2-5; යෙසායා 22:11) එපමණක්ද නොවේ. යෙරුසලමට අතිරේක ජල සැපයුමක් ලබා දීමට මාර්ගයක්ද හෙසකියා සොයාගත්තේය!
පුරාතනයේ කළ ශ්‍රේෂ්ඨ ඉංජිනේරු වික්රමයන්ගෙන් එකක් ලෙස හඳුන්වනු ලබන, ගීහොන් දිය උල්පතේ සිට සිලෝවම් පොකුණ දක්වා උමඟක් හෙසකියා රජ හෑරුවේය.b සාමාන්‍යයක් වශයෙන් උසින් මීටර 1.8ක් පමණ වූ මෙම උමඟ දිගින් මීටර 533ක් විය. සිතා බලන්න—ගල් පර්වතයක් හරහා කිලෝමීටර භාගයක් පමණ දිගට කනින ලද උමඟක්! අදදින, එනම් වසර 2,700ක් පමණ ගතවූවාට පසුවත්, යෙරුසලමට පැමිණෙන සංචාරකයන්ට හෙසකියාගේ උමඟ යනුවෙන් පොදුවේ හඳුන්වනු ලබන, මෙම ඉංජිනේරු ශිල්පයේ ශ්‍රේෂ්ඨ නිර්මාණයෙහි ඇති වතුරට බැස ගමන් කළ හැක.—2 රාජාවලිය 20:20; 2 ලේකම් 32:30.
යෙරුසලමේ ජල සැපයුම ආරක්ෂා කිරීමට හා වැඩි කිරීමට වූ හෙසකියාගේ උත්සාහයන්ගෙන් අපට ප්‍රායෝගික පාඩමක් ඉගෙනගත හැක. යෙහෝවඃවහන්සේ “ජීවන වතු[රේ] උල්පත” වනසේක. (යෙරෙමියා 2:13) බයිබලයේ සඳහන් වන උන්වහන්සේගේ සිතුවිලි, ජීවිතය පවත්වාගැනීමට උපකාරවත් වේ. බයිබල් අධ්‍යයනය අත්‍යවශ්‍ය වන්නේ එනිසාය. එහෙත් අධ්‍යයනය කිරීමට ප්‍රස්තාව සහ එහි ප්‍රතිඵලය වන දැනුම ඉබේම ඔබ වෙතට ගලා එන්නේ නැත. ඒ සඳහා ඉඩ සලසාගැනීමට ඔබගේ වැඩ බහුල දිනචර්යාව වැනි දේවල් මගින් ‘උමං කැණීමට’ ඔබට සිදුවනු ඇත. (හිතෝපදේශ 2:1-5; එපීස 5:15, 16) ඔබ පටන්ගත් පසු, පෞද්ගලික පාඩමට ඉහළ ප්‍රමුඛතාවක් දීමෙන්, ඔබගේ කාලසටහනට ඇලී සිටින්න. මෙම අගනා ජල සැපයුමෙන් ඔබව අහක් කරදැමීමට කිසිවෙකුට හෝ කිසි දෙයකට හෝ ඉඩ නොදීමට පරෙස්සම් වන්න.—පිලිප්පි 1:10, 11.
පාළුකර ප්‍රදේශ
යුදාහි කඳුවලට නැඟෙනහිරින් යුදාහි පාළුකරය පිහිටා තිබේ, එය “කාන්තාරය” යන අරුත දෙන යෙෂිමොන් යනුවෙන්ද හැඳින්වේ. (1 සාමුවෙල් 23:19, NW පාදසටහන) ලුණු මුහුද අසලදී, මෙම නිසරු ප්‍රදේශයේ ගල් සහිත දොරු සහ කඩතොලු සහිත දඹවලින් යුත් ලක්ෂණ දක්නට ලැබේ. යුදා පාළුකරයේ භූමි මට්ටම, කිලෝමීටර 24කදී පමණක් මීටර 1,200ක් දක්වා පහත වැටෙන නිසා, බටහිරින් හමන වැසි සහිත සුළංවලින් ආරක්ෂා කරනු ලබන හෙයින් එයට වර්ෂාව ලැබෙන්නේ සීමිත ප්‍රමාණයක් පමණි. වාර්ෂික සමගි කිරීමේ දවසේදී අශාශෙල්ට වූ එළුවාව යවන ලද්දේ මෙම පාළුකරයට බවට කිසිදු සැකයක් නැත. දාවිත් සාවුල්ගෙන් පලාගියේද මෙම ප්‍රදේශයටය. මෙහිදී යේසුස්වහන්සේ දවස් 40ක් නිරාහාරව සිට ඉන්පසුව යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලැබීය.—ලෙවී කථාව 16:21, 22; ගීතාවලිය 63, පූර්ව වැකිය; මතෙව් 4:1-11.
යුදාහි පාළුකරයට නිරිත දිගින් ආසන්න වශයෙන් කිලෝමීටර 160කට එහායින් පාරාන් පාළුකරය පිහිටා තිබේ. මිසරයේ සිට පොරොන්දු දේශයට ඉශ්‍රායෙලිතයන් ගමන් කළ වසර 40ක කාලය තුළ ඔවුන් කඳවුරු බැඳගත් ස්ථාන බොහොමයක් පිහිටා තිබුණේ මෙහිය. (ගණන් කථාව 33:1-49) “ගිනි සර්පයන් සහ ගෝනුස්සන් ඇත්තාවූ, වතුර නැති, නියංසායෙන් යුක්තවූ ඒ මහත් භයංකර කාන්තාරය” පිළිබඳව මෝසෙස් ලීවේය. (ද්විතීය කථාව 8:15) මිලියන ගණන් ඉශ්‍රායෙලිතයන්ට ජීවිත ගළවාගැනීමට හැකිවීම පුදුමයකි! එහෙත් යෙහෝවඃවහන්සේ ඔවුන්ව ඉසිලූසේක.
ආත්මික අතින් නිසරු වූ මෙම ලෝකයේ පවා, යෙහෝවඃවහන්සේට අපවත් උසුලන්ට හැකි බව මෙය අපට මතක් කළ යුතුය. එසේය, වචනානුසාරයෙන් සැබෑ එවුන් නොවුවත්, අපිද සර්පයන් සහ ගෝනුස්සන් අතර සැරිසරන්නෙමු. පහසුවෙන්ම අපගේ සිතුවිලි දූෂ්‍ය කළ හැකි අනතුරුදායක ආකාරයකින් කතා කිරීම ගැන කිසිදු තැකීමක් නැති මිනිසුන් සමඟ අපට දිනපතා සම්බන්ධකම් පැවැත්වීමට සිදු විය හැක. (එපීස 5:3, 4; 1 තිමෝති 6:20) මෙවන් බාධා තිබියදීත් දෙවියන්වහන්සේට සේවය කිරීමට වෙර දරන අය ප්‍රශංසා ලැබීමට වටින්නෝය. ඔවුන්ගේ ඇදහිලිවන්තකම වනාහි, සැබවින්ම යෙහෝවඃවහන්සේ ඔවුන්ව උසුලමින් සිටින බවට ප්‍රබල සාක්ෂියකි.
කර්මෙල්හි කඳු
කර්මෙල් යන නමෙහි තේරුම “පලතුරු වත්ත” යන්නයි. කිලෝමීටර 50ක පමණ දිගින් යුත් උතුරු දෙසට වන්ට පිහිටි මෙම සශ්‍රීක ප්‍රදේශය, මිදි වතු, ඔලිව ගස් සහ පලතුරු ගස්වලින් අලංකාර වී තිබේ. මෙම කඳු වැටි සහිත ප්‍රදේශයේ පිහිටි තුඩුව එහි සුන්දරත්වය සහ අලංකාරය නිසා අමතක කළ නොහැකි තරම්ය. නැවත පිහිටුවන ලද ඉශ්රායෙල් දේශයේ ඵලදායී යසසේ සංකේතයක් වශයෙන් ‘කර්මෙල්හි අලංකාරකම’ ගැන යෙසායා 35:2 කතා කරයි.
කර්මෙල්හි කැපීපෙනෙන සිද්ධීන් කිහිපයක් සිදු විය. එලියා බාල් අනාගතවක්තෲන්ට අභියෝග කළෙත්, යෙහෝවඃවහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය සහතික කිරීම සඳහා “ස්වාමීන්වහන්සේ වෙතින් ගිනි බැස” ආවෙත් මෙහිදීය. එමෙන්ම, මහත් වර්ෂාවක් ඇති කළ කුඩා වලාකුළක් වෙත එලියා අවධානය යොමු කරවීමට සැලැස්වූයේද කර්මෙල් කඳු මුදුනේ සිටය. මෙලෙස ඉශ්රායෙල් මත තිබූ නියඟය ආශ්චර්යවත් අන්දමින් නිම විය. (1 රාජාවලිය 18:17-46) ෂුනෙම් ස්ත්‍රීය ඇගේ මියගිය දරුවා සඳහා උපකාරයක් පතමින් පැමිණි විට, එලියාගේ අනුප්‍රාප්තිකයා වූ එලීෂා සිටියේද කර්මෙල් කන්දේය, පසුව ඔහු එම දරුවාව නැවත නැඟිටවීය.—2 රාජාවලිය 4:8, 20, 25-37.
කර්මෙල්හි බෑවුම්වල තවමත් පලතුරු වතු, ඔලිව ගස් සහ මිදි වතු දක්නට තිබේ. වසන්ත සමයේදී, මෙම බෑවුම්වල මනහර මල් ඇතිරිල්ලක් එළා තිබෙනවා හා සමානය. “නුඹ මතුයෙහි තිබෙන නුඹේ සිරස කර්මෙල් කන්ද මෙන්ය,” කියා සාලමොන් ෂූලම්මීය ස්ත්‍රියට පැවසුවේය, සමහරවිට ඇගේ ලස්සන කෙස් කළඹට හෝ බෙල්ලට ඉහළින් ඇගේ හිස පිහිටා තිබූ ශෝභමාන ආකාරය නිසා ඔහු එසේ පවසන්ට ඇත.—සාලමොන්ගේ ගීතිකාව 7:5.
කර්මෙල්හි කඳුවලට අවේණික වූ අලංකාරය, යෙහෝවඃවහන්සේ ස්වකීය නමස්කාරකයන්ගේ නවීන දින සංවිධානය මත වගුරුවා තිබෙන ආත්මික අලංකාරය ගැන අපට සිහි කරවයි. (යෙසායා 35:1, 2) යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ ඇත්තෙන්ම ආත්මික පාරාදීසයක ජීවත් වෙති. එමනිසා ඔවුහු දාවිත් රජු ප්‍රකාශ කළ මෙම හැඟීම්වලට එකඟ වෙති: “මට මායිම් වුණේ ප්‍රසන්න තැන්වලය; එසේය, මට ප්‍රියකරු උරුමයක් ඇත.”—ගීතාවලිය 16:6.
ඉපැරණි ඉශ්‍රායෙලිතයන් නොකඩවා දෙවියන්වහන්සේගේ සතුරන්ගේ විරුද්ධවාදිකම්වලට මුහුණ දුන්නාක් මෙන්, අදදින දෙවියන්වහන්සේගේ ආත්මික ජාතියට මුහුණ දිය යුතු අපහසු අභියෝගයන් තිබෙන බව සැබෑවකි. එහෙත්, යෙහෝවඃවහන්සේ සපයා තිබෙන ආශීර්වාද සැබෑ ක්‍රිස්තියානීන් කෙදිනකවත් අමතක කරන්නේ නැත. ඊට, නොකඩවා වැඩි වෙමින් පවතින බයිබල් සත්‍යයන් පිළිබඳ ආලෝකය, ලෝක ව්‍යාප්ත සහෝදරත්වය සහ පාරාදීස පොළොවක් මත සදාකාල ජීවිතය ලබාගැනීමේ ප්‍රස්තාව ඇතුළත් වේ.—හිතෝපදේශ 4:18; යොහන් 3:16; 13:35.
‘යෙහෝවඃවහන්සේගේ උයන මෙන්’
ඉපැරණි පොරොන්දු දේශය දැකුම්කලු ස්ථානයක් විය. එය උචිත ලෙස “කිරි සහ මීපැණි ගලායන්නාවූ” දේශයක් ලෙස විස්තර කර තිබේ. (උත්පත්ති 13:10; නික්මයාම 3:8) මෝසෙස් එය හැඳින්වූයේ මෙසේය, “හොඳ දේශය[ක්ය]. . . මිටියාවත්වලිනුත් හෙල්වලිනුත් නික්මෙන දිය ඔයවල්ද උල්පත්ද වැව්ද ඇති දේශයක්ය; එය තිරිඟුද යවද මුද්‍රික වැල්ද අත්තික්කා ගස්ද දෙළුම් ගස්ද ඇති දේශයක්ය; තෙල් ඔළීවද මීපැණිද ඇති දේශයක්ය; ඒ දේශයේ නුඹට හිඟ නැතුව කෑම කන්ට පුළුවන, එහිදී නුඹට කිසි දෙයකින් අඩු පාඩුවක් නොවන්නේය; ඒ දේශයේ ගල් යකඩය, එහි හෙල්වලින් නුඹට පිත්තල හාරාගන්ට පුළුවන.”—ද්විතීය කථාව 8:7-9.
යෙහෝවඃවහන්සේට, ස්වකීය ඉපැරණි ජනයා සඳහා එබඳු සශ්‍රීක අලංකාර මව්බිමක් සපයා දීමට හැකිකම තිබුණා නම්, කඳු, නිම්න, ගංගා හා විල් සහිතව පෘථිවිය පුරා පැතිර යන තේජාන්විත පාරාදීසයක් ස්වකීය නවීන දින විශ්වාසවන්ත සේවකයන්ට දීමට උන්වහන්සේට නිසැකවම හැක. එසේය, අදදින ස්වකීය සාක්ෂිකරුවන් භුක්තිවිඳින ආත්මික පාරාදීසය හා නව ලෝකයේ තිබෙන අනාගතික පාරාදීසය සඳහා සියලුම විවිධත්වයන්ගෙන් යුත් ඉපැරණි පොරොන්දු දේශය හුදෙක් පූර්ව රස විඳීමක් වේ. ගීතාවලිය 37:29හි වාර්තා කර තිබෙන පොරොන්දුව එවිට ඉටු වනු ඇත: “ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.” කීකරු මනුෂ්‍යවර්ගයා සඳහා යෙහෝවඃවහන්සේ එම පාරාදීස නිවස දෙන විට, එහි “කාමර” සියල්ලම පරීක්ෂා කර බැලීමටත්, එලෙස සදාකාලයටම කිරීමටත් ඔවුන් කෙතරම් සතුටු වනු ඇද්ද!
[පාදසටහන්වල]
a මෙම ප්‍රදේශයේ එක්තරා මිදි පොකුරක් කිලෝග්‍රෑම් 12ක්ද, තවත් එකක් කිලෝග්‍රෑම් 20ක්ද වූ බව වාර්තා වේ.
b ගීහොන්හි දිය උල්පත පිහිටා තිබුණේ, යෙරුසලමේ නැඟෙනහිර සීමාවට පිටතින්ය. එය ගුහාවක සැඟවී තිබිණ; මෙනිසා, ඇතැම්විට එය පවතින බව අෂූරිවරුන් නොදැන සිටින්ට ඇත.
[4වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
ගලීලය
කර්මෙල් කන්ද
ගලීල මුහුද
සමාරිය
ෂෙෆීලා
යුදා කඳුකරය
ලුණු මුහුද
[හිමිකම් විස්තර]
NASA photo
[4වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
ෂෙෆීලා, දෙවියන්වහන්සේගේ සෙනඟ හා උන්වහන්සේගේ සතුරන් අතර බාධකයක් විය
සැ 0 5 10
කි.මී. 0 8 16
පිලිස්තියාවේ තැන්න
ෂෙෆීලා
යුදාහි කඳුකරය
යුදාහි පාළුකරය
සුවිභේද නිම්නය
ලුණු මුහුද
අම්මොන් සහ මෝවබ් දේශය
[5වන පිටුවේ සිතියම⁄පින්තූරය]
(මුද්‍රිත පිටපත බලන්න)
හෙසකියාගේ උමඟ: දිගින් මීටර 533ක්ය, ගල් පර්වතයක් හරහා කපා ඇත
තිරෝපියොන් මිටියාවත
සිලෝවම්
දාවිත්ගේ නුවර
කිද්‍රොන් මිටියාවත
ගීහොන්
[6වන පිටුවේ පින්තූර]
දාවිත් සාවුල්ගෙන් ආරක්ෂා වීමට පලාගියේ යුදාහි පාළුකරයටය. පසුව මෙහිදී යක්ෂයා විසින් යේසුස්වහන්සේව පරීක්ෂා කරනු ලැබීය
[හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.
[7වන පිටුවේ පින්තූර]
කර්මෙල් කන්ද, එලියා බාල් පූජකයන්ව නින්දාවට පත් කළේ මෙහිදීය
[හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.
[8වන පිටුවේ පින්තූර]
“නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ හොඳ දේශයකට පමුණුවනසේක. එය මිටියාවත්වලිනුත් හෙල්වලිනුත් නික්මෙන දිය ඔයවල්ද උල්පත්ද වැව්ද ඇති දේශයක්ය.” —ද්විතීය කථාව 8:7.