-
ඉතිරි වූ කොටසකට යෙහෝවා දෙවි දයාව පෙන්වයියෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන I
-
-
“යෙහෝවාගේ පැළෑටිය”
5, 6. (අ) පැමිණෙන්නාවූ කැලඹිලි සහිත කාලයෙන් පසුව පැමිණෙන සාමදායී කාලය යෙසායා විස්තර කරන්නේ කෙසේද? (ආ) “පැළෑටිය” යන වචනයේ තේරුම කුමක්ද? යූදා දේශය ගැන මෙය අඟවන්නේ කුමක්ද?
5 පැමිණෙන මාරුතයෙන් ඔබ්බට ඇති සාමකාමී කාලය දකිද්දී, යෙසායාගේ හඬ ප්‍රසන්න ස්වභාවයක් ගන්නවා. ඔහු මෙසේ ලියනවා. “ඒ දවසේදී යෙහෝවා පැළ කරන දෙය [“යෙහෝවාගේ පැළෑටිය,” පාදසටහන] අලංකාරය සහ ගෞරවය පිණිස වන්නේය; එමෙන්ම දේශයේ ඵල, ගැළවුණු ඉශ්‍රායෙල්වරුන්ට ආඩම්බර වීමට සහ අලංකාරය සඳහා යමක් වනු ඇත.”—යෙසායා 4:2, NW.
6 යෙසායා මෙහිදී නැවත පිහිටුවීමක් ගැන කතා කරනවා. “පැළෑටිය” යන හෙබ්‍රෙව් නාම පදයෙන් යොමු දක්වන්නේ, ‘රිකිල්ලක් හෝ අත්තක් වැනි රෝපණය වන දෙයකටයි.’ එය සමෘද්ධිය, වර්ධනය සහ යෙහෝවාගේ ආශීර්වාදය සමඟ බැඳී තිබෙනවා. සිදුවීමට යන පාළුවීම දිගටම පවතින්නේ නැහැ කියා යෙසායා පොරොන්දු වෙනවා. යෙහෝවාගේ ආශීර්වාදයෙන්, වරක් සමෘද්ධිමත්ව තිබූ යූදා දේශය නැවතත් බහුලව ඵල දරන්ට යනවා.a—ලෙවී කථාව 26:3-5.
7. යෙහෝවාගේ පැළෑටිය “අලංකාරය සහ ගෞරවය පිණිස” වන්නේ කිනම් ආකාරයෙන්ද?
7 යෙසායා ඉතාමත් පැහැදිලි වචනවලින් ඉදිරියේ තිබෙන්ට යන තේජවත් පරිවර්තනය විස්තර කරනවා. යෙහෝවා පැළ කරන දෙය “අලංකාරය සහ ගෞරවය [පිණිසයි].” “අලංකාරය” යන වචනය සියවස් ගණනාවකට ප්‍රථම යෙහෝවා ඉශ්‍රායෙල්වරුන්ට දුන් පොරොන්දු දේශයේ අලංකාරය මතකයට නංවනවා. එය කොතරම් ශෝභනව තිබුණාද කිවහොත්, එය ‘සියලු දේශවලට වඩා උතුම්වූ [“මැණිකක් වූ,” නියූ අමෙරිකන් බයිබල්] දේශයක්’ ලෙස සැලකුවා. (එසකියෙල් 20:6) යූදා දේශය එහි තිබූ පළමු තේජසට සහ අලංකාරයට යළි පත් වෙන්ට යන බව යෙසායාගේ වචන එම සෙනඟට සහතිකයක් ලබා දෙනවා. ඇත්තෙන්ම, එය පොළොව මත බබළන මැණිකක් මෙන් වෙන්ට යනවා.
8. දේශයේ පිහිටෙවූ අලංකාරය භුක්ති විඳීමට යන්නේ කවුද? යෙසායා ඔවුන්ගේ හැඟීම් විස්තර කරන්නේ කෙසේද?
8 කෙසේවෙතත්, මේ දේශයේ යළි පිහිටෙවූ අලංකාරය භුක්ති විඳීමට යන්නේ කවුද? “ගැළවුණු ඉශ්‍රායෙල්වරුන්” කියා යෙසායා ලියනවා. ඔව්, සමහරෙක් පුරෝකථනය කර තිබූ නින්දාසහගත විනාශයෙන් ගැළවෙන්ට යනවා. (යෙසායා 3:25, 26) ගැළවෙන කොටසක් යූදාවට නැවත ගොස් යළි පිහිටුවීමෙහි හවුල් වෙනවා. නැවත යන මේ අයට, නැතහොත් “ගැළවුණු අයට” නැවත පිහිටෙවූ දේශයේ ඵලදාව “ආඩම්බර වෙන්ට සහ අලංකාරය සඳහා යමක්” වෙන්ට යනවා. (යෙසායා 4:2, NW පාදසටහන) පාළුවීම හේතුවෙන් ඇති වූ නින්දාව දැන් ප්‍රකෘතිමත් වූ අභිමානවත් හැඟීමකට පෙරළිලා!
9. (අ) යෙසායාගේ වචනයේ ඉටුවීමක් වශයෙන් පො.යු.පෙ. 537දී සිදු වූයේ කුමක්ද? (ආ) වහලුන්ව සිටිද්දී උපන් සමහරුන් “ගැළවුණු අයට” ඇතුළත්යයි කිව හැක්කේ මන්ද? (පාදසටහන බලන්න.)
9 යෙසායාගේ වචන සැබෑ කරමින්, පො.යු.පෙ. 607දී බබිලෝනිවරුන් විසින් යෙරුසලම විනාශ කර ඉශ්‍රායෙල්වරුන් බොහෝදෙනෙකුව සිඳදැමීමත් සමඟ ඒ විනිශ්චමය මාරුතය පැමිණියා. සමහරුන් බේරුණු අතර ඔවුන්ව බබිලෝනියේ වහල්භාවයට ගෙන ගියා. එහෙත්, දෙවිගේ දයාව නොතිබෙන්ට, කිසිවෙක් ගැළවීම නොදකින්ට ඉඩ තිබුණා. (නෙහෙමියා 9:31) අවසානයේදී, යූදා දේශය සම්පූර්ණයෙන්ම පාළු වෙන්ට ඉඩහැරියා. (2 ලේකම් 36:17-21) ඉන්පසුව, පො.යු.පෙ. 537දී දයාවේ දෙවි “ගැළවුණු අයට” සැබෑ නමස්කාරය යළි පිහිටුවීම සඳහා යූදා දේශයට නැවත යෑමට ඉඩහැරියා.b (එස්රා 1:1-4; 2:1) ඇතැම්විට වහල්භාවයේදී නැත්නම් ඉන් ටික කලකට පසු ලියූ ගීතාවලිය 137වන පරිච්ඡේදයෙහි, නැවත පැමිණෙන වහලුන්ගේ හෘදයාංගම පසුතැවිල්ල ලස්සනට විස්තර කර තිබෙනවා. ඔවුන් යූදා දේශයේ භූමිය අස්වද්දා බීජ වැපිරුවා. යෙහෝවා දේශය, “ඒදන් උයන” මෙන් පැළ හටගන්වා ඵල දරන තත්වයකට පත් කර දුන්නා. තමන් දරන වෙහෙසට යෙහෝවා ආශීර්වාද කරන බව සෙනඟ දුටු විට ඔවුන්ට කෙසේ හැඟෙන්ට ඇද්දැයි සිතා බලන්න!—එසකියෙල් 36:34-36.
10, 11. (අ) විසිවන සියවසේ මුල් කාලයේදී, බයිබල් ශිෂ්‍යයන් ‘මහා බබිලෝනියේ’ වහල්භාවය යටතේ සිටියේ කිනම් ආකාරයටද? (ආ) ආත්මික ඉශ්‍රායෙල්ගේ ඉතිරි කොටසට යෙහෝවා ආශීර්වාද කළේ කෙසේද?
10 අපගේ දවසේදිත් ඒ හා සමානම යළි පිහිටුවීමක් සිදු වී තිබෙනවා. විසිවන සියවස මුලදී, කලින් බයිබල් ශිෂ්‍යයන් ලෙස හැඳින්වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්, බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන ‘මහා බබිලෝනියේ’ ආත්මික වහල්භාවය යටතට පැමිණියා. (එළිදරව් 17:5) බයිබල් ශිෂ්‍යයන් බොරු ආගමික ඉගැන්වීම් බොහොමයක් ප්‍රතික්ෂේප කර තිබුණත්, ඒ වන විටත් ඇතැම් බබිලෝනීය අදහස් උදහස් සහ වත් පිළිවෙත් සම්පූර්ණයෙන්ම අත්හැර තිබුණේ නැහැ. පූජකයන් විසින් විරෝධතා දියත් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට සමහරුන්ව ඇත්තටම සිරගත කළා. ඔවුන්ගේ ආත්මික නැතහොත් ආගමික දේශය පාළුවට ගියා.
11 එහෙත්, 1919 වසන්තයේදී මේ ආත්මික ඉශ්‍රායෙල්ගේ ඉතිරි කොටසට යෙහෝවා දයාව පෙන්නුවා. (ගලාති 6:16) ඔහු ඔවුන්ගේ පසුතැවිල්ල දුටුවා. සැබෑකමෙන් ඔහුට නමස්කාර කරන්ට තිබූ ඔවුන්ගේ ආශාව නිසා දෙවි ඔවුන්ව සැබෑ සිරගෙවලින් නිදහස් කළා. ඊටත් වඩා වැදගත් දෙය වූයේ ඔහු ඔවුන්ව ආත්මික වහල්භාවයෙන් මුදවාගැනීමයි. ‘ගැළවුණු අයව’ දෙවිගෙන් ලද ආත්මික දේශය තුළ යළි පිහිටෙවූ අතර, ඔවුන්ට බහුල ලෙස වර්ධනය වෙන්ට සැලැස්වුවා. සැබෑ නමස්කාරයේ ඉතිරි කොටස හා එක්වීමට තව දශලක්ෂ ගණනක් දේවභයැති මිනිසුන්ව ආකර්ෂණය කරගැනීමට එමගින් හැකි වී තිබෙනවා.
12. යෙහෝවා තම සෙනඟ කෙරෙහි දක්වා ඇති දයාව යෙසායාගේ වචනවලින් පෙන්වා ඇත්තේ කෙසේද?
12 දෙවි තම සෙනඟට දක්වා ඇති ඉමහත් දයාව යෙසායාගේ වචනවලින් මනාව පෙන්වනවා. ඉශ්‍රායෙල්වරුන් ජාතියක් හැටියට යෙහෝවාට පිටුපෑවත්, පසුතැවිලි වූ ඉතිරි කොටස කෙරෙහි ඔහු දයාව පෙන්නුවා. බරපතළ පව් කර තිබෙන අයට පවා බලාපොරොත්තුවක් ඇතුව යෙහෝවා වෙත හැරෙන්ට හැකි බව දැනගැනීමට ලැබීමෙන් අපිට සැනසීමක් අත් කරගත හැකියි. ඔහු තැළුණු හෘද සුළු කරන්නේ නැති නිසා, පසුතැවිලි වුණාවූ අය තමන්ට යෙහෝවාගේ දයාව නොලැබේවි කියා නොසිතිය යුතුයි. (ගීතාවලිය 51:17) බයිබලය අපට මෙසේ සහතික කරනවා. ‘යෙහෝවා අනුකම්පාවෙන් හා දයාවෙන් පිරී සිටින්නේය, කෝපවීමට ප්‍රමාදය, අතිශයින් කරුණාවන්තය. පියෙක් තම දරුවන්ට අනුකම්පා කරන්නාක් මෙන් ඔහු තමන් කෙරෙහි භය ඇත්තන්ට අනුකම්පා කරන්නේය.’ (ගීතාවලිය 103:8, 13) එවැනි දයාවන්ත දෙවි කෙනෙකු අපේ හෘදයාංගම ප්‍රශංසාව ලබන්ට වටින බව නිසැකයි.
-
-
ඉතිරි වූ කොටසකට යෙහෝවා දෙවි දයාව පෙන්වයියෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන I
-
-
a “යෙහෝවාගේ පැළෑටිය” යන වාක්‍ය ඛණ්ඩය යෙරුසලමේ නැවත පිහිටුවීම සිදු වන තුරු මෙසියස් පැමිණෙන්නේ නැති බවට ඉඟියක් සපයනවා කියා සමහර විශාරදයන් යෝජනා කරනවා. ඇරමයික ටාගම්හි මේ කියමනෙහි අදහස විස්තර කර ඇත්තේ “යෙහෝවාගේ මෙසියස් [ක්‍රිස්තුස්]” කියායි. දාවිත්ගේ පෙළපතින් පැමිණි මෙසියස් නමැති “ධර්මිෂ්ඨවූ පැළෑටියක්” ගැන කතා කරද්දී, පසු කාලයේදී යෙරෙමියා එම හෙබ්‍රෙව් නාම පදයම (ට්සෙʹමේඛ්) පාවිච්චි කිරීම සිත්ගන්නා කරුණක්.—යෙරෙමියා 23:5; 33:15.
b වහලුන්ව සිටිද්දී උපන් සමහරුන්ද “ගැළවුණු අයට” ඇතුළත්. මොවුන් “ගැළවුණු” අයයයි කිව හැක්කේ ඔවුන්ගේ මුතුන් මිත්තන් විනාශයෙන් නොගැළවුණා නම් ඔවුන් කිසිදාක නොඉපදෙන්ට ඉඩ තිබූ නිසයි.—එස්රා 9:13-15; සසඳන්න හෙබ්‍රෙව් 7:9, 10.
-