පරීක්ෂා මැද යෙහෝවා තුළ ප්‍රීති වෙමින්
ජෝර්ජ් ස්කිපිඕ පැවසූ පරිදි
වර්ෂ 1945 දෙසැම්බර්වලදී, මගේ ශරීරයේ අත් පා හැර අනිත් සියල්ල සම්පූර්ණයෙන්ම පණ නැති වී ගිහින් මම රෝහල්ගතව සිටියා. මගේ මේ තත්වය තාවකාලික එකක් කියා මා සිතුවත්, මට ආපහු කවදාකවත් ඇවිදින්න ලැබෙන එකක් නැහැයි කියා වෙනත් අය සැක කළා. ක්‍රියාශීලී 17-හැවිරිද්දෙකුට එය මොනතරම් වේදනාකාරි දෙයක්ද! ඒ විදිහේ ලෙඩක් තියෙනවා කියන එක පිළිගන්න මම කැමති වුණේ නැහැ. ඊළඟ අවුරුද්දේදී මගේ ලොක්කා එක්ක එංගලන්තයට යන්නත්, තවත් දේවල් බොහොමයක් කරන්නත් මම අදහස් කරගෙන සිටියා.
අප විසූ ශා. හෙලේනා දිවයින හරහා පැතිර ගිය පෝලියෝමයිලයිටිස් වසංගත රෝගයට මාව ගොදුරු වුණා. එය 11දෙනෙකුව මරණයට පත් කළ අතර, බොහෝදෙනෙකුව අබල දුබල තත්වයකට පත් කළා. ඇඳේ හාන්සිව සිටින අතරතුරේදී, මගේ කෙටි ජීවිත කාලය සම්බන්ධයෙන් හා මගේ අනාගතය සම්බන්ධයෙන් කල්පනා කරන්න මට ඕන තරම් කාලය තිබුණා. මම එසේ කරද්දී, මගේ ආබාධය තිබුණත්, ප්‍රීති වෙන්න හේතුවක් තිබෙන බව මට වැටහෙන්න පටන්ගත්තා.
සුළු ආරම්භයක්
වර්ෂ 1933 මට වයස පහේදී, පොලිස්භටයෙකු හා බැප්ටිස්ට් පල්ලියේ පහළ දේවගැතියෙකු වූ මගේ තාත්තා ටොම්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් පොත් කීපයක් ලබාගත්තා. ඔවුන් කෙටි කාලයකට දිවයිනට පැමිණ සිටි පූර්ණ-කාලීන එවැන්ජලිස්තවරුන් නැතහොත් පුරෝගාමීන්ව සිටියා.
එක පොතක් දෙවිගේ වීණාව (ඉංග්‍රීසියෙන්) ලෙසින් හැඳින්වුණා. අපේ පවුලේ අය සමඟ හා උනන්දුව දැක්වූ පුද්ගලයන් කීපදෙනෙක් සමඟ බයිබලය අධ්‍යයනය කිරීමේදී මගේ තාත්තා ඒක පාවිච්චි කළා. එහි ගැඹුරු කාරණා තිබුණ නිසා මට ඒකෙන් අල්පයක් විතරයි තේරුණේ. නමුත් අපි සාකච්ඡා කළ හැම බයිබල් පදයක්ම මගේ බයිබල් පිටපතේ සටහන් කරගත් හැටි මට මතකයි. අපි පාඩම් කරමින් සිටි දෙය සත්‍යය බවත්, ඔහු බැප්ටිස්ට් පල්ලියේදී දේශනා කරමින් සිටි දෙයට වඩා එය වෙනස් බවත් මගේ තාත්තා වැඩි කල් නොගොස් වටහාගත්තා. ඔහු වෙන අයට ඒ ගැන කියන්නත්, දේශනා කූඩුවේ ඉඳන් ත්‍රිත්වයක්, නිරාගින්නක් හා අමරණීය ආත්මයක් නැහැයි කියා දේශනා කරන්නත් පටන්ගත්තා. මෙය පල්ලියේ සෑහෙන ආන්දෝලනයක් ඇති කළා.
අන්තිමේදී, ප්රශ්නය සමතයකට පත් කිරීමේ වෑයමක් වශයෙන්, පල්ලි සාමාජිකයන්ගේ රැස්වීමක් පැවැත්තුවා. “බැප්ටිස්ට් භක්තිකයන්ගේ පැත්තේ සිටින්න යන්නේ කවුද?” කියා ප්‍රශ්න කළා. වැඩිදෙනෙක් ඒ පැත්තට සිටියා. ඊළඟ ප්රශ්නය වුණේ, “යෙහෝවාගේ පැත්තේ සිටින්නේ කවුද?” කියන එකයි. ඒ පැත්තේ දහදෙනෙක් නැත්නම් 12දෙනෙක් විතර සිටියා. ඒ අයට පල්ලියෙන් යන්න කියලා කිව්වා.
මේක ශා. හෙලේනාහි අලුත් ආගමක සුළු පටන්ගැනීමක් වුණා. පටිගත කළ බයිබල් දේශනයන් මහජනයාට සවන් දීමට සැලැස්වීම සඳහා මගේ තාත්තා එක්සත් ජනපදයේ වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයෙන් පිටපත් කිරීමේ යන්ත්‍රයක් ඉල්ලුම් කළා. ශා. හෙලේනා වෙත එවීමට නොහැකි තරමට යන්ත්‍රය විශාල වැඩි බව ඔහුට පවසනු ලැබුවා. කුඩා ශබ්දවාහිනි යන්ත්‍රයක් එවූ අතර, සහෝදරයන් පසුව තවත් දෙකක් ඉල්ලුම් කළා. ජනයා වෙත පණිවුඩය ගෙන යමින් ඔවුන් පයින් හා බූරුවන්ගේ පිටෙන් දිවයින පුරාම ගියා.
පණිවුඩය පැතිර යනවාත් සමඟම, විරුද්ධවාදිකම්ද ඇති වෙන්න පටන්ගත්තා. මගේ පාසැලේ ළමයින් මේ වගේ සිංදුවක් කිව්වා: “එන්න, එන්න හැමදෙනාම ඇවිත් අහගන්න, ටොමි ස්කිපිඕගේ ශබ්දවාහිනිය අහගන්න!” මගේ වයසේ මිතුරන්ගේ අනුමැතිය ඕන වෙලා හිටිය මට මේක දරුණු පරීක්ෂණයක් වුණා. විඳදරාගන්න මට උපකාර වුණේ මොකක්ද?
දරුවන් හයදෙනෙකු සිටි අපේ ලොකු පවුල, නිතිපතා පවුලේ බයිබල් පාඩමක් පැවැත්වුවා. උදේ ආහාර ගන්න ඉස්සෙල්ලා හැම උදයකම අපි එකට බයිබලයත් කියෙව්වා. අවුරුදු ගණනාව පුරා අපේ පවුලේ අයට සත්‍යයෙහි දිගටම විශ්වාසවන්තව සිටීමට මෙය උපකාරයක් වී තිබෙනවාට කිසිම සැකයක් නැහැ. මම බාල කාලේදීම බයිබලය සඳහා ඇල්මක් ඇති කරගත් අතර, ඉන්පසු ගත වූ අවුරුදු ගණනාව පුරා මම බයිබලය කියවීමේ පුරුද්ද පවත්වාගෙන තිබෙනවා. (ගීතාවලිය 1:1-3) වයස අවුරුදු 14දී පාසැල හැර යන විට මම සත්‍යය තුළ ස්ථිරව පිහිටා සිටි අතර, මගේ හෘදයේ යෙහෝවා කෙරෙහි භයක් තිබුණා. පරීක්ෂාවන් මැද යෙහෝවා තුළ ප්‍රීතියෙන් සිටීමට මෙය මට උපකාර කළා.
තවදුරටත් පරීක්ෂා සහ ප්‍රීතිවීම්
බාල කාලය ගැනත්, මගේ අනාගත අපේක්ෂාවන් ගැනත් සිතමින් මම ඒ රෝගී ඇඳේ සිටිද්දී, මේ රෝගය දෙවිගෙන් එන යම් පරීක්ෂාවක්වත්, දඬුවමක්වත් නොවන බව මගේ බයිබල් පාඩම තුළින් මම දැනගෙන හිටියා. (යාකොබ් 1:12, 13) කෙසේනමුත්, පෝලියෝ බරපතළ පරීක්ෂාවක් වූ අතර, එය මගේ ජීවිත කාලයටම බලපෑම් ඇති කරයි කියා මම දැන සිටියා.
මම යථා තත්වයට පත් වෙද්දී මට ආපහු ඇවිදින්න ඉගෙනගන්න සිද්ධ වුණා. මගේ අත්වල සමහර මාංස පේශීන් පවා ක්‍රියා විරහිත වුණා. හැමදාකම මාව වැටුණු වාර ගණන මට ගණන් කරන්නත් බැරි තරම්. ඒ වුණත්, දරපු වෑයම් තුළින් සහ ඕනෑකමින් යාච්ඤා කිරීම තුළින් 1947 වන විට, බස්තමක ආධාරයෙන් මට ඇවිදින්න පුළුවන් වුණා.
මේ කාලයේදී මම ඩොරිස් කියන යෞවනිය සමඟ ආලයෙන් බැඳුණා; ඇයටත් මගේ ආගමික විශ්වාසයන්මයි තිබුණේ. අප විවාහ වීම ගැන සිතන්න තරම් සුදුසු වයසක සිටියේ නැති නමුත් තවත් හොඳින් ඇවිදින්න මා පෙලඹී සිටියා. විවාහ වී, පවුලක් රකින්න තරම් ප්‍රමාණවත් වේතනයක් ලැබුණේ නැති නිසා මම මගේ රැකියාවත් අත්හැරියා; මම මගේම දන්ත රසායනාගාරයක් පිහිටුවාගත් අතර ඊළඟ අවුරුදු දෙකේදී එහි වැඩ කරගෙන ගියා. අපි 1950දී විවාහ වුණා. ඒ වෙන කොට මම පුංචි කාර් එකක් මිල දී ගන්න ප්‍රමාණවත් මුදලක් උපයාගෙන තිබුණා. එවිට සහෝදරයන්ව රැස්වීම්වලටත්, දේශනා සේවයෙහිත් ගෙනියන්න මට පුළුවන් වුණා.
දිවයිනේ දිව්‍යාණ්ඩු ක්‍රියාකාරකම්වල ප්‍රගතියක්
වර්ෂ 1951දී සමිතිය, ඔවුන්ගේ පළමුවෙනි නියෝජිතයාව අප වෙත එව්වා. ඔහු දකුණු අප්‍රිකාවේ තරුණයෙක් වූ යාකෝබ්යූස් වාන් ස්ටාඩන්. ඒ අවදියේදීම අපි ඉඩ කඩ තිබෙන නිවසකට ගොස් තිබුණු නිසා අපිට පුළුවන් වුණා ඔහුට මුළු අවුරුද්දක්ම එහි නවාතැන් දෙන්න. මම මගේම පෞද්ගලික රැකියාවක නිරතව සිටි නිසා, අපි එකට දේශනා වැඩයෙහි වැඩි වේලාවක් ගත කළ අතර, මට ඔහුගෙන් ඉතා වටිනා පුහුණුවක් ලැබුණා.
යාකෝබ්යූස් නැත්නම් අප හඳුන්වන විදිහට කෝස්, නිතිපතා සභා රැස්වීම් සංවිධානය කළා. අපි හැමෝම ඒවාවලට සතුටින් ගියා. උනන්දුව දැක්වූ සියල්ලන්ම අතරේ තිබුණේ කාර් දෙකක් පමණක් නිසා අපිට ප්‍රවාහණ ගැටලුවක් තිබුණා. භූමි ප්‍රදේශය රළු හා කඳු සහිත වූ අතර, ඒ කාලයේදී පහසුවෙන් ගමන් කළ හැකි පාරවල් තිබුණේ කීපයක් පමණයි. මේ නිසා හැමදෙනාවම රැස්වීම්වලට ගෙන යෑම සෑහෙන භාරදූර කටයුත්තක්ව තිබුණා. සමහරු උදේ පාන්දරින්ම ඇවිදගෙන යන්න පටන්ගත්තා. මම මගේ පුංචි කාර් එකේ තුන්දෙනෙක්ව දාගෙන තරමක් දුර ගිහින් බැස්සුවා. එතැන ඉඳලා ඔවුන් ඇවිද්දා. මම ආපහු ගිහින් තව තුන්දෙනෙකුව දාගෙන ඇවිත් ඔවුන්වත් බස්සලා ආපහු ගියා. අන්තිමේදී, මේ විදිහට හැමෝම රැස්වීමට ගියා. රැස්වීමෙන් පස්සේ, හැම කෙනෙකුවම ගෙවල්වලට ඇරලවන්න මේ ක්රමයම අනුගමනය කළා.
ගෙවල්වලදී බලපෑමෙන් යුතු ඉදිරිපත් කිරීම් කරන්නේ කොහොමද කියලත් කෝස් අපට කියා දුන්නා. අපිට හොඳ අද්දැකීම් හුඟක් තිබුණ අතර සමහර ඒවා ඒ තරම්ම හොඳ ඒවා වුණේ නැහැ. නමුත් ක්ෂේත්‍ර සේවයේදී අපට ලැබුණ ප්‍රීතිය, අපේ දේශනා සේවයේදී විරුද්ධවාදීන්ගෙන් පැමිණි සියලු පරීක්ෂා අබිබවා ගියා. එක දවසක් උදේ වරුවක මම කෝස් එක්ක සේවයේ යමින් හිටියා. අපි ගෙයකට ළං වෙද්දී, අපිට ගේ ඇතුලෙන් හඬක් ඇහුණා. කෙනෙක් හඬ නඟා බයිබලය කියවමින් හිටියා. යෙසායා 2වෙනි පරිච්ඡේදයේ හුරුපුරුදු වචන අපට පැහැදිලිවම ඇසුණා. ඔහු හතරවෙනි පදය කියවද්දී අපි දොරට තට්ටු කළා. මිත්‍රශීලී වයසක මනුස්සයෙක් අපිට ඇතුලට ආරාධනා කළ අතර, අපි දේවරාජ්‍යයේ ශුභාරංචිය ඔහුට පැහැදිලි කරන්න යෙසායා 2:4 යොදාගත්තා. ඔහු ජීවත් වුණේ පහසුවෙන් යන්න එන්න පුළුවන් තැනක නොවුණත් ඔහු සමඟ බයිබල් පාඩමක් පටන්ගත්තා. අපිට කන්දකින් පහළට ගමන් කර, දොළ පාරක් හරහා ඇති ගල්වලින් පැන පැන ගිහින් තවත් කන්දක් නඟින්නත්, ඉන්පස්සේ ඔහුගේ නිවසට බැහැලා යන්නත් සිද්ධ වුණා. නමුත් ඒක ඇත්තෙන්ම නිෂ්ඵල වෑයමක් වුණේ නැහැ. මේ මෘදු මහලු මනුස්සයා සත්‍යය පිළි අරන්, බව්තීස්ම වුණා. රැස්වීම්වලට යෑම සඳහා මට ඔහුව කාර් එකෙන් ගෙනියන්න පුළුවන් තැනට, ඔහු පොලු දෙකක ආධාරයෙන් ඇවිදගෙන ආවා; ඊට පස්සේ මම ඔහුව කාර් එකෙන් අරගෙන ගියා. ඇදහිලිවන්ත සාක්ෂිකරුවෙක්ව සිටියදී පස්සේ කාලෙක ඔහු මියගියා.
පොලිස් අධිකාරිවරයා අපේ වැඩයට විරුද්ධ වූ අතර, කෝස්ව පිටුවහල් කරන බවට නිතර නිතර තර්ජනය කළා. හැම මාසයකට වරක්ම ඔහු කෝස්ව ගෙන්නුවා ප්‍රශ්න කරන්න. කෝස් හැමවිටම ඔහුට බයිබලයෙන් ඍජු පිළිතුරු දුන් නිසා ඔහුට තවත් කේන්ති ගියා. දේශනා සේවය නැවැත්විය යුතුයි කියා ඔහු හැම අවස්ථාවකදීම කෝස්ට අනතුරු ඇඟෙව්වත්, හැම වතාවේදීම ඔහුට සාක්ෂියක් ලැබුණා. කෝස් ශා. හෙලේනාවලින් ගියායින් පසුව පවා ඔහු දිගටම වැඩයට විරුද්ධවාදිකම් පෑවා. ඉන්පසු හැඩි දැඩි මනුෂ්‍යයෙක් වූ අධිකාරිවරයා හදිසියේම ලෙඩ වෙලා, හුඟක් කෙට්ටු වුණා. ඔහුගේ අසනීපය මොකක්ද කියලා හොයාගන්න වෛද්‍යවරුන්ට බැරි වුණා. ප්‍රතිඵලයක් වශයෙන්, ඔහු දිවයින හැර ගියා.
බව්තීස්මය හා ස්ථිර වර්ධනය
කෝස්, දිවයිනට පැමිණ මාස තුනක් ගත වුණාට පස්සේ, බව්තීස්ම මෙහෙයක් පැවැත්වීම යෝග්‍යයයි කියා ඔහුට හැඟුණා. සුදුසු තටාකයක් සෙවීම අපහසු දෙයක්ව තිබුණා. අපි තීරණය කළා ලොකු වළක් කපලා, සිමෙන්ති දාලා, වතුර අරගෙන ඇවිල්ලා ඒක පුරවන්න. බව්තීස්මයට කලින් දා රාත්රියේදී වැස්සා; පහුවෙනිදා උදේ බලනකොට වළේ කට ළඟටම වතුර පිරිලා තිබුණා; අපිට ලොකු සතුටු ඇති වුණා.
ඒ ඉරිදා උදේ කෝස් බව්තීස්ම කතාව දුන්නා. බව්තීස්ම අපේක්ෂකයන්ට හිටගන්න කියා ඔහු පැවසූ විට, සිරිත් පරිදි අහන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න අපි 26දෙනෙක් නැඟිට්ටා. දිවයිනේ මුල්ම සාක්ෂිකරුවන් හැටියට බව්තීස්ම වීමේ වරප්‍රසාදය අපිට ලැබුණා. මම බව්තීස්ම වෙන්න ඉස්සෙල්ලා අර්මගෙදොන් එයි කියලා මම හැම තිස්සෙම කනස්සලු වුණ නිසා මගේ ජීවිතයේ සන්තෝෂවත්ම දවස වුණේ ඒකයි.
අන්තිමේදී ලෙවල්වුඩ්හි හා ජේම්ස්ටවුන්හි සභා දෙකක් පිහිටුවනු ලැබුවා. හැම සතියකම, සෙනසුරාදා හැන්දෑවේ දිව්‍යාණ්ඩු සේවා පාසැල හා සේවා රැස්වීම පැවැත්වීමට අපි තුන්දෙනෙක් හෝ හතරදෙනෙක් කිලෝමීටර් 13ක දුරක් ගමන් කළා. ඉරිදා උදේ ක්ෂේත්‍ර සේවයෙන් පස්සේ, අපි ආපහු ගිහින් එම රැස්වීම්ම සහ මුරටැඹ පාඩමම දවාලේ හා සැන්දෑවේ අපේම සභාවල පැවැත්වුවා. එනිසා අපේ සති අන්තයන් ප්‍රීතිමත් දිව්‍යාණ්ඩු ක්‍රියාකාරකම්වලින් පිරී තිබුණා. පූර්ණ-කාලීනව දේශනා සේවයේ යෙදෙන්න මම ආශාවෙන් සිටිය නමුත් මට පවුලක් නඩත්තු කරන්න තිබුණා. එනිසා 1952දී, මම රජයේ පූර්ණ-කාලීන දන්ත වෛද්‍යවරයෙකු හැටියට යළිත් සේවය කරන්න පටන්ගත්තා.
වර්ෂ 1955දී සමිතියේ සංචාරක නියෝජිතයන්, චාරිකා අවේක්ෂකයන් සෑම වසරකම දිවයිනට පැමිණෙන්න පටන්ගත් අතර, ඔවුන් පැමිණුණහම මගේ නිවසෙත් දවස් කීපයක් නැවතුණා. ඔවුන් අපේ පවුලට ඒකාන්ත බලපෑමක් වුණා. ඒ කාලයේදීම වාගේ, දිවයින වටා සමිතියේ චිත්‍රපටි තුනක් පෙන්වීමේ වරප්‍රසාදයත් මට තිබුණා.
දිව්‍ය කැමැත්ත නමැති හද දනවන එක්රැස් වීම
නියූ යෝක්හි දිව්‍ය කැමැත්ත ජාත්‍යන්තර එක්රැස් වීමට යෑමට 1958දී මම යළිත් රජයේ සේවයෙන් ඉල්ලා අස් වුණා. යෙහෝවා තුළ ප්‍රීතිවීම සඳහා මට බොහෝ හේතු දුන් අවස්ථාවක් වූ ඒ එක්රැස් වීම මගේ ජීවිතයේ වැදගත් සිද්ධියක් වුණා. දිවයිනට ස්ථිර ප්‍රවාහණ සේවයක් නොතිබුණ නිසා, අපි මාස පහමාරක්ම එයින් පිට සිටියා. දවස් අටකට එක්රැස් වීම පැවතුණු අතර, උදේ නවයේ සිට රාත්‍රි නවය දක්වා සැසිවාරයන් පැවතුණා. නමුත් මට කිසිවිටකත් එපා වුණේ නැහැ; ඒ හැම දවසක්ම උදා වන තුරු මම ආශාවෙනුයි හිටියේ. වැඩසටහනේ විනාඩි දෙකකට, ශා. හෙලේනා වෙනුවෙන් පෙනී සිටින්න මට වරප්‍රසාදය ලැබුණා. යැංකි ක්‍රීඩාංගණයේ හා පෝලෝ ක්‍රීඩාපිටියේ සිටි විශාල සෙනඟ අමතන විට මට හුඟක් භය හිතුණා.
ඒ එක්රැස් වීමෙන්, පුරෝගාමී සේවයේ යෙදීමට තිබුණු මගේ අධිෂ්ඨානය ශක්තිමත් වුණා. “දේවරාජ්‍යය පාලනය කරයි—ලෝකාන්තිමය ළඟද?” යන ප්‍රසිද්ධ කථාව විශේෂයෙන්ම දිරිගන්වන්නක් වුණා. එක්රැස් වීමෙන් පස්සේ, අපි බෘක්ලින්වල සමිතියේ ශාඛා කාර්යාලය හා කර්මාන්ත ශාලාව බලන්න ගියා. එවකට වොච් ටවර් සමිතියේ සභාපතිව සිටි සහෝදර නෝ’ සමඟ මම ශා. හෙලේනාහි සේවයේ ප්‍රගතිය ගැන කතා කළා. කවදාහරි මේ දිවයින බලන්න එන්න ආසයි කියලා ඔහු කිව්වා. අපි ආපහු එන කොට හැම කතාවක්ම පටිගත කළ පටි මෙන්ම එක්රැස් වීම සම්බන්ධයෙන් ඇති චලන චිත්‍ර බොහෝමයක් රැගෙන ආවා පවුලේ අයටයි මිත්රයන්ටයි පෙන්වන්න.
පූර්ණ-කාලීන සේවයේ යෙදීමේ ඉලක්කය අත් කරගත්තා
මම ආපහු ආවාම, දිවයිනේ දන්ත වෛද්‍යවරයෙක් නොසිටි නිසා මගේ පරණ රැකියාව කරන්න කියා මගෙන් ඉල්ලා සිටියා. කොහොමනමුත්, මගේ බලාපොරොත්තුව පූර්ණ-කාලීන දේවසේවකයෙකු වෙන්නයි කියලා මම පැහැදිලි කළා. සෑහෙන්න සාකච්ඡා කළාට පස්සේ මට සතියකට දවස් තුනක් වැඩ කරන්න පුළුවන් බව පැවසූ අතර, සතියකට දවස් හයක් වැඩ කරද්දී ගත්ත වේතනයට වැඩි වේතනයක් දෙන්නත් පොරොන්දු වුණා. යේසුගේ මේ වචන සැබෑවක් බව ඔප්පු වුණා: “පළමුකොට [ඔහුගේ] රාජ්‍යයද [ඔහුගේ] ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනුලබන්නේය.” (මතෙව් 6:33) මගේ දුර්වල කකුල්වලින් දිවයිනේ කඳු සහිත භූමි ප්‍රදේශයේ ඇවිදීම මට ඒ තරම් පහසු දෙයක් වුණේ නැහැ. ඒ වුණත්, මම අවුරුදු 14ක් පුරෝගාමී සේවයේ යෙදුණු අතර, සත්‍යය ඉගෙනගැනීමට දිවයිනේ බොහෝදෙනෙකුට උපකාර කරන්න මට හැකි වුණා. එය ඇත්තෙන්ම මහත් ප්‍රීතියක් ගෙන දෙන්නක්.
වර්ෂ 1961දී, වසර-දෙකක පුහුණු පාඨමාලාවක් නොමිලේ හැදෑරීමට ෆිජී දූපත්වලට මාව යවන්න රජයට ඕනෙ වුණා. එසේ කිරීමෙන් මට පූර්ණ සුදුසුකම් ලත් දන්ත වෛද්‍යවරයෙකු වීමට හැකියාව තිබුණා. මාත් එක්කම මගේ පවුලටත් යන්න පුළුවන් කියලත් ඔවුන් කිව්වා. මේක ආශාවක් ඇති කරන ඉදිරිපත් කිරීමක් වූ නමුත්, බැරෑරුම් ලෙස කල්පනා කළාට පස්සේ මම එය ප්‍රතික්ෂේප කළා. ඒ තරම් දීර්ඝ කාලයකට සහෝදරයන්ව දමා යන්නත්, ඔවුන් සමඟ සේවය කරන්න මට තිබෙන වරප්‍රසාදය අත්හරින්නත් මට ඕන වුණේ නැහැ. ගමන සංවිධානය කර තිබූ උසස් වෛද්‍ය නිලධාරියා සෑහෙන කනගාටුවට පත් වුණා. ඔහු මෙහෙම කිව්වා: “අන්තිමය ඔය තරම්ම ළඟයි කියලා හිතනවා නම්, ඔයාට පුළුවන්නේ ඒ අතරතුරේදී සල්ලි හම්බ කරලා, ඒක එන්න ඉස්සෙල්ලා ප්‍රයෝජනයට ගන්න.” නමුත් මම ස්ථිරව සිටියා.
ඊළඟ අවුරුද්දේ සභා අවේක්ෂකයන් සඳහා මාසයක පුහුණු පාඨමාලාවක් දෙන රාජ්‍ය සේවා පාසැලට සහභාගි වෙන්න දකුණු අප්‍රිකාවට එන්න කියා මට ආරාධනයක් ලැබුණා. අපේ සභා පැවරුම්වලට වැඩි බලපෑමකින් යුක්තව සැලකිල්ලක් දැක්වීමට උපකාරවත් වූ වටිනා උපදෙස් අපට දුන්නා. පාසැලෙන් පස්සේ, සංචාරක අවේක්ෂකයෙක් සමඟ වැඩ කිරීමෙන් මට තවදුරටත් පුහුණුවක් ලැබුණා. ඉන්පසු මම ආදේශක චාරිකා අවේක්ෂකයෙකු හැටියට අවුරුදු දහයකට වැඩි කාලයක් ශා. හෙලේනාහි සභා දෙකක සේවය කළා. කල් යත්ම, සුදුසුකම් ලත් වෙනත් සහෝදරයන්ව යොදාගැනීමට හැකි වුණ අතර මාරුවෙන් මාරුවට ඔවුන්වද එම සේවයෙහි යෙදෙව්වා.
මේ අතරතුර, අපි ජේම්ස්ටවුන්වල ඉඳලා වැඩි අවශ්‍යතාවක් තිබූ ලෙවල්වුඩ්වල පදිංචියට ගිහින්, එහි අවුරුදු දහයක් හිටියා. මේ අතරතුර කාලයේදී, පුරෝගාමී සේවයේ යෙදීම, රජයට දවස් තුනක් වැඩ කිරීම හා කුඩා වෙළඳ සැලක් පවත්වාගෙන යෑම නිසා මගේ ඉහටත් උඩින් වැඩ ගොඩගැහිලා තිබුණා. ඊට අමතරව, මම සභාවේ කටයුතුද කරමින් සිටි අතර, මගේ බිරිඳට හා මට, වැඩෙන දරුවෝ හතරදෙනෙක් රැකබලා ගන්නත් තිබුණා. තත්වයට හොඳින් මුහුණ දීම සඳහා, මගේ දවස් තුනේ රැකියාව අත්හැරලා, වෙළඳ සැල විකුණලා, මුළු පවුලම අරගෙන මාස තුනක නිවාඩුවක් ගත කරන්න දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්වලට ගියා. ඊට පස්සේ අපි අසෙන්ෂන් දූපතට ගිහින් එහි අවුරුද්දක් නැවතිලා හිටියා. ඒ කාලයේදී, බයිබල් සත්‍යය ගැන හරි දැනගැන්මක් ලබාගන්න බොහෝදෙනෙකුට උපකාර කරන්න අපිට හැකි වුණා.
අපි ආපහු ශා. හෙලේනාවලට ගියහම ජේම්ස්ටවුන්හි පදිංචි වුණා. අපි රාජ්‍ය ශාලාවට යාබද නිවසක් අලුත්වැඩියා කරගත්තා. ද්‍රව්‍යමය අවශ්‍යතා සැපයීම සඳහා, මගේ පුතා ජොන් හා මම ෆෝර්ඩ් රථයකින් අයිස්-ක්‍රීම් වෑන් එකක් හදාගෙන ඊළඟ අවුරුදු පහේදී අයිස් ක්‍රීම් විකුණුවා. ව්‍යාපාරය පටන් අරන් ටික කාලෙකට පස්සේ, මම වෑන් එකේ යද්දී අනතුරක් සිදු වුණා. වෑන් එක පෙරළිලා මගේ කකුල් දෙක යට වුණා. ප්‍රතිඵලයක් වශයෙන්, මගේ දණහිස්වලින් පහළ කොටස පණ නැති වෙලා ගිය අතර යළිත් සුව වෙන්න මාස තුනක් ගත වුණා.
අතීතයේ හා අනාගතයේ මහඟු ආශීර්වාද
ගත වූ අවුරුදු ගණනාව පුරා, අපට බොහෝ ආශීර්වාද ලැබී තිබෙනවා. ඒවා ප්‍රීතිවීමට තවත් හේතු වී තිබෙනවා. වර්ෂ 1985දී ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වීමට දකුණු අප්‍රිකාවට ගිය අපේ ගමනත්, ඒ වන විටත් ඉදි කෙරෙමින් තිබූ අලුත් බෙතෙල් නිවසක් බලන්න යෑමත් ඒවායින් එකක් වුණා. ජේම්ස්ටවුන් අසල අලංකාර එක්රැස් වීමේ ශාලාවක් ඉදි කිරීමට මගේ පුතා ජොන් සමඟ සුළුවෙන් හෝ සහභාගි වීමට ලැබීම තවත් හේතුවක් වුණා. අපේ පුත්තුන්ගෙන් තුන්දෙනෙක් වැඩිමහල්ලන් හැටියට සේවය කිරීමත්, එක මුනුපුරෙක් දකුණු අප්‍රිකාවේ බෙතෙල්හි සේවය කිරීමත් අපේ සතුටට කාරණයක්. එමෙන්ම බයිබලය පිළිබඳ හරි දැනගැන්මක් ලැබීමට බොහෝදෙනෙකුට උපකාර කිරීමෙන් අපි ලොකු ප්‍රීතියක් ලබා, සෑහීමට පත් වී තිබෙනවා.
අපට සේවය කරන්න තිබෙන්නේ 5,000දෙනෙක් පමණ සිටින සීමා සහිත ක්ෂේත්රයකයි. කෙසේනමුත්, එකම බලප්‍රදේශයේ නිතර නිතර වැඩ කරන්න ලැබීමෙන් කදිම ප්‍රතිඵල ලැබී තිබෙනවා. අපිට බනින්නේ ටිකදෙනයි. ශා. හෙලේනා මිත්රශීලීත්වය සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර, යමෙක් කොහේ හිටියත්, ඒ කියන්නේ පාරේ ඇවිද්දත්, කාර් එක එළෙව්වත් ඔහුව මිත්රශීලීව පිළිගන්නවා. ජනයාව හොඳින් අඳුනගන්න, අඳුනගන්න ඔවුන්ට සාක්ෂිදැරීම තව තවත් පහසු වෙන බවයි මගේ අද්දැකීම. බොහෝදෙනෙක් විදේශගත වී සිටියත් අපට දැන් ප්‍රචාරකයන් 150දෙනෙක් සිටිනවා.
අපේ දරුවන් ඔක්කොම වැඩිහිටියන් වුණාට පස්සේ අපෙන් වෙන් වෙලා ගියා; මගේ බිරිඳයි, මමයි විවාහ වෙලා අවුරුදු 47කට පස්සේ ආපහු තනි වෙලා ඉන්නවා. වසර ගණනාවක් පුරා ඇගේ පක්ෂපාත ප්‍රේමය හා උපකාරය, පරීක්ෂා මැද ප්‍රීතියෙන් දිගටම යෙහෝවාට සේවය කරන්න මට උපකාරවත් වී තිබෙනවා. අපේ ශාරීරික ශක්තිය හීන වී යන නමුත් අපේ ආත්මික ශක්තිය හැම දවසකම අලුත් වෙමින් පවතිනවා. (2 කොරින්ති 4:16) මම මගේ පවුලේ අය හා මිත්‍රයන් සමඟ මවිතාකාර අනාගතය දෙස ආශාවෙන් බලා සිටිනවා; එවිට වයස 17ක්ව තිබියදී මට තිබුණු ශාරීරික තත්වයටත් වඩා හොඳ තත්වයකට මාව යළිත් පත් වෙයි. මගේ ලොකුම ප්‍රාර්ථනාව හැම අයුරකින්ම පරිපූර්ණත්වය විඳීම හා සියල්ලටමත් වඩා, අපේ ප්‍රේමනීය හා සැලකිලිවන්ත දෙවි යෙහෝවාට හා ඔහුගේ පාලනය කරමින් සිටින රජු වන යේසුස් ක්‍රිස්තුස්ට සදහටම සේවය කිරීමයි.—නෙහෙමියා 8:10.
[26වන පිටුවේ පින්තූරය]
ජෝර්ජ් ස්කිපිඕ හා වැඩිමහල්ලන් හැටියට සේවය කරන ඔහුගේ පුතුන් තිදෙනා
[29වන පිටුවේ පින්තූරය]
ජෝර්ජ් ස්කිපිඕ, ඔහුගේ බිරිඳ වන ඩොරිස් සමඟ