-
වසර 50කටත් වැඩි කාලයකට ‘ගොඩ වැදීම’1996 මුරටැඹ | නොවැම්බර් 1
-
-
වසර 50කටත් වැඩි කාලයකට ‘ගොඩ වැදීම’
එමන්විල් පටෙරකීස් පැවසූ පරිදි
ශතවර්ෂ 19කට කලින්, ප්‍රේරිත පාවුල්ට මෙවැනි අමුතු ආරාධනාවක් ලැබුණා: “මකිදෝනියට ගොඩ වැදී, අපට උපකාර කරන්න.” “ශුභාරංචිය දේශනා කිරීමේ” මෙම අලුත් ප්‍රස්තාව, පාවුල් කැමැත්තෙන්ම පිළිගත්තා. (ක්‍රියා 16:9, 10, NW) මට ආරාධනාව ලැබුණේ එතරම් ඈත කාලයකදී නොවුණත්, “මෙන්න මා මෙහිය; මා යැවුව මැනව” යන යෙසායා 6:8හි සඳහන් කරලා තියෙන ස්ප්‍රීතුව ඇතුව මං අලුත් බලප්‍රදේශවලට ‘ගොඩ වැදීමට’ එකඟ වුණේ, මීට අවුරුදු 50කටත් ඉස්සෙල්ලයි. මං බොහෝ සංචාරයන්වල යෙදුණු හින්දා, මට නිතර ඇවිදින්නා යන නම පටබැඳුණත්, මගේ ක්‍රියාකාරකම්වල සංචාරක ව්‍යාපාරයට කිසිම සමානකමක් තිබුණේ නැහැ. මං හෝටලේ මගේ කාමරයට ගියායින් පස්සේ මං දණගහලා යෙහෝවඃවහන්සේ දුන් ආරක්ෂාව සඳහා උන්වහන්සේට ස්තුති කළා.
වර්ෂ 1916 ජනවාරි 16වනදා, මං ක්‍රීතයේ යෙරාපට්‍ර නගරයේ, ඔර්තඩොක්ස් ආගමට ගොඩක් ලැදි පවුලක ඉපදුණා. මගේ ළදරු කාලයේ ඉඳලම අම්මා මාවයි, අක්කවයි, නංගිලා දෙන්නවයි ඉරිදා පල්ලියට අරගෙන යනවා. තාත්තා කැමති වුණේ, ගෙදර ඉඳලා බයිබලය කියවන්නයි. අවංක, යහපත් ඒ වගේම මොළොක් ගතිගුණ තියෙන කෙනෙක් වූ මගේ තාත්තාට මං ගොඩාක් ආදරය කළා. ඒ හින්දා, මට වයස අවුරුදු නවයේදී තාත්තා මැරුණාම, ඒක මට සෑහෙන්න බලපෑවා.
“අප අවට තියෙන හැම දෙයකින්ම දෙවියන්වහන්සේ පවතින බව අපට ප්‍රකාශ කරනවා” යන පාඨය, වයස අවුරුදු පහේදී ඉස්කෝලේදී මම කියෙව්වා මට මතකයි. මං තව ටිකක් ලොකු වුණාම, මේක ඇත්ත කියලා මට තද විශ්වාසයක් ඇති වුණා. ඒ හින්දා, මට අවුරුදු 11දී, මං ගීතාවලිය 104:24 තේමාව හැටියට තෝරගෙන රචනාවක් ලිව්වා: “ස්වාමිනි, ඔබගේ කර්මාන්ත කොපමණ නානාප්‍රකාරද! ඔබ මේ සියල්ල ප්‍රඥාවෙන් සෑදූසේක. පොළොව ඔබගේ සම්පත්තියෙන් පූර්ණය.” සුළඟේ උදව්වෙන්, මව් ශාකයේ හෙවණැල්ලවත් නොවදින තැනක පැළ වෙන්න කුඩා පියාපත් තියෙන ඇට වර්ග වැනි ඉතා සරල, ස්වභාවධර්මයේ පුදුමාකාර දේවල් මගේ සිත්ගත්තා. මං රචනාව ඉදිරිපත් කරපු සතියට පස්සේ සතියේ, මගේ ගුරුතුමා ඒක මුළු පංතියටත්, ඊට පස්සේ මුළු ඉස්කෝලෙටත් ඇහෙන්න කියෙව්වා. ඒ කාලෙදී, ගුරුවරුන් කොමියුනිස්ට් අදහස්වලට විරුද්ධව සටන් කරමින් හිටපු හින්දා, දෙවියන්වහන්සේගේ පැවැත්මට පක්ෂව මං ලිවූ අදහස් ඇසීමෙන් ඒගොල්ලෝ සතුටු වුණා. මැවුම්කරුවෙක් කෙරෙහි විශ්වාස කරන බව ප්‍රකාශ කරන්න මමත් ගොඩාක් සතුටු වුණා.
මගේ ප්‍රශ්නවලට උත්තර
එක්දහස් නවසිය තිස්ගණන්වල මුල්භාගයේ, මට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව හමු වුණ මුල් අවස්ථාව මට තවමත් හොඳට මතකයි. එමන්විල් ලිආනූඩාකිස්, ක්‍රීතයේ හැම නගරයකම හා ගමකම දේශනා කරමින් හිටියා. මං එයාගෙන් පොත්පිංච කිහිපයක්ම ගත්තත්, වෙයාර් ආර් ද ඩෙඩ්? (මළාහු කොතැනද?) යන මාතෘකාවෙන් යුත් එක තමයි මගේ අවධානයට වැඩියෙන්ම යොමු වුණේ. මං මරණයට කොච්චර භය වුණාද කිව්වොත්, මගේ තාත්තා මැරුණු කාමරයටවත් මං යන්නේ නැහැ. මං මේ පොත්පිංචය කිහිප සැරයක්ම කියවලා, මළ අයගේ තත්වය ගැන බයිබලය උගන්වන දේ දැනගත්තායින් පස්සේ, මිථ්‍යා මතවලින් පෝෂ්‍ය වූ මත නිසා මා තුළ ඇති වී තිබුණු බිය නැති වෙනවා වගේ මට තේරුණා.
ග්‍රීෂ්ම ඍතු කාලය තුළ, සාක්ෂිකරුවන් අවුරුද්දකට සැරයක් අපේ නගරයට ඇවිල්ලා මට කියවන්න තව ප්‍රකාශන ගෙනත් දුන්නා. ශුද්ධ ලියවිලි පිළිබඳ මගේ දැනුම ටිකෙන් ටික වැඩි වුණත්, මං නොකඩවා ඔර්තඩොක්ස් පල්ලියට ගියා. කොහොම වුණත්, මට ලොකු වෙනස් වීමක් සිදු කරන්න ඩිලිවරන්ස් කියන පොත හේතු වුණා. එය යෙහෝවඃවහන්සේගේ සංවිධානය හා සාතන්ගේ එක අතර වෙනස පැහැදිලිවම පෙන්නුම් කළා. මේ කාලයේ ඉඳලා, බයිබලය හා මට ලබාගන්න පුළුවන් වුණ ඕනෑම වොච් ටවර් සමිතියේ ප්‍රකාශනයක් මං නිතිපතා පාඩම් කරන්න පටන්ගත්තා. ග්‍රීසියේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව තහනම් කරලා තිබුණු හින්දා, මං රහසින් රෑට පාඩම් කළා. ඒ වුණත්, මං පාඩම් කරකර හිටපු දේවල් ගැන කොච්චර උද්‍යෝගයෙන් හිටියද කිව්වොත්, මේ ගැන හැම කෙනෙක් එක්කම කතා කරන්න පෙලඹුණා. වැඩි කල් යන්න කලින්, පොලිසිය මං ගැන උනන්දුවෙන් හොයන්න පටන්ගත්තා. මගේ ළඟ ප්‍රකාශන තියෙනවද කියලා බලන්න, ඒගොල්ලෝ මාව පරීක්ෂා කරන්න දවල් වගේම රෑත් එක එක වෙලාවට නිතරම ආවා.
වර්ෂ 1936දී, මං කිලෝමීටර් 120ක් ඈතින් පිහිටි ඉරාක්ලියොන්හි, මගේ මුල් රැස්වීමට ගියා. සාක්ෂිකරුවන්ව මුණගැහෙන්න මං ගොඩාක් සතුටු වුණා. ඒගොල්ලන්ගෙන් වැඩිදෙනෙක් සාමාන්‍ය මනුෂ්‍යයන්, ඒ කියන්නේ ගොවීන්; ඒ වුණත් මේක සත්‍යය කියලා මට ඒත්තුගන්න ඒගොල්ලෝ උදව් කළා. ඒ මොහොතේම මං යෙහෝවඃවහන්සේට මගේ කැපවීම කළා.
මගේ බව්තීස්මය මට කවදාවත් අමතක කරන්න බැරි සිද්ධියක්. වර්ෂ 1938 එක් රැයක, සහෝදර ලිආනූඩාකිස් මගේ බයිබල් ශිෂ්‍යයන් දෙන්නෙක්ව හා මාව ඝන අන්ධකාරේ වෙරළට අරගෙන ගියා. යාච්ඤාවක් කළායින් පස්සේ, එයා අපිව වතුරේ ගිල්වලා ගත්තා.
අත්අඩංගුවේ
ඇත්තටම කියනවා නම්, මං දේශනා කරන්න ගිය මුල් දවසම සිහිකටයුතු එකක් වුණා. පූජකයෙක් වෙලා හිටිය මගේ ඉස්කෝලෙ පරණ යහළුවෙක්ව මට මුණගැහුණා. අපි එකට හොඳ සාකච්ඡාවක් කෙරුවා. ඒත්, බිෂොප්ගේ අණට අනුව, එයාට මාව අත්අඩංගුවට ගන්න සිද්ධ වෙන බව එයා මට පස්සේ පැහැදිලි කළා. අසල ගමක ඉඳලා පොලිසිය එනකං අපි නගරාධිපතිගේ කාර්යාලයේ බලා ඉඳිද්දී, සෑහෙන සෙනඟක් එළියේ රැස් වුණා. ඒ හින්දා, මං කාර්යාලයේ තිබුණු ග්‍රීක් අලුත් ගිවිසුමක් අරගෙන, මතෙව් 24වන පරිච්ඡේදයෙන් ඒගොල්ලන්ට කතාවක් දෙන්න පටන්ගත්තා. මුලින්ම ඒ මිනිස්සු අහන්න අකමැති වුණත්, එම පූජකයා මං වෙනුවෙන් මැදිහත් වුණා. “ඔහුට කතා කරන්න දෙන්න,” කියලා එයා කිව්වා. “ඒක අපේ බයිබලය.” මට පැය එකහමාරකට කතා කරන්න පුළුවන් වුණා. ඒ හින්දා, මං දේවසේවයේ ගිය මුල් දවස, මං මුලින්ම ප්‍රසිද්ධ කථාවක් දුන්න දවසත් වෙනවා. මං ඉවර වුණාට පස්සෙත්, පොලිසිය ඇවිල්ලා හිටියේ නැති හින්දා, මිනිස්සු කට්ටියක් ලවා මාව බලෙන්ම නගරයෙන් එලවලා දාන්න නගරාධිපති හා පූජකයා තීරණය කළා. පාරේ පළවෙනි වංගුවේ ඉඳලා, ඒගොල්ලෝ විසි කරපු ගල් වැදෙන්නේ නැති වෙන්න මං පුළුවන් තරම් හයියෙන් දුවන්න පටන්ගත්තා.
ඊළඟ දවසේ, මං වැඩ කරකර ඉන්න කොට බිෂොප්වරයා පොලිස් රාළහාමිලා දෙන්නෙක් එක්ක ඇවිල්ලා මාව අත්අඩංගුවට ගත්තා. පොලිසියේදී, මට බයිබලයෙන් ඒගොල්ලන්ට දේශනා කරන්න පුළුවන් වුණත්, නීතියෙන් වුවමනා වුණ විදිහට මගේ බයිබල් ප්‍රකාශනවල බිෂොප්ගේ මුද්‍රණය කිරීමේ අවසර ලකුණ තිබුණේ නැති හින්දා, මං වෙනත් ආගමකට මිනිස්සුන්ව හරවනවා කියලත්, තහනම් කරලා තිබුණු ප්‍රකාශන බෙදාහරිනවා කියලත් මට චෝදනා කරනු ලැබුවා. නඩු විභාගය වෙනත් දවසකට කල් දාලා මාව නිදහස් කළා.
මගේ නඩු විභාගය මාසෙකට පස්සේ අසනු ලැබුවා. දේශනා කරන්න කියලා තියෙන ක්‍රිස්තුස්වහන්සේගේ අණට විතරයි මං කීකරු වුණේ කියලා මං මගේ නිදොස් බව ඔප්පු කරන්න කිව්වා. (මතෙව් 28:19, 20) විනිසුරු තැන ඇනුම්පදත් එක්ක මෙහෙම උත්තර දුන්නා: “මගේ දරුවා, ඒ අණ දුන්න කෙනාව ඇණ ගැසුවා. අවාසනාවට වගේ ඒකට සමාන දඬුවමක් ඔයාට දෙන්න මට බලයක් නැහැ.” කොහොම වුණත්, අපි අවට මෙච්චර කොමියුනිස්ට්වාදය හා අදේවවාදය තියෙන හින්දා, දෙවියන්වහන්සේගේ වචනයට පක්ෂ වෙන්න සූදානමින් ඉන්න යෞවන පුරුෂයන් ඉන්න එක ගැන අධිකරණය ආඩම්බර වෙන්න ඕනෙ කියලා කියමින් මං අඳුරන්නේ නැති තරුණ නීතිඥවරයෙක් මං වෙනුවෙන් කතා කළා. ඊට පස්සේ, එයා මගේ ලිපිගොනුවල තිබුණු මගේ නිදොස්බව ඔප්පු කිරීමේ ලියකියවිලි ගැන මාව උණුසුම් ලෙස පැසසුමට ලක් කළා. මම හුඟාක් තරුණ හින්දා, ඔහු ඒ ගැන පුදුම වෙලා, මගේ නිදොස්බව ඔප්පු කරලා දෙන්න නොමිලේ ඉදිරිපත් වුණා. මාස තුනකට සිර කරලා තියෙනවා වෙනුවට මාව දවස් දහයකට සිර කරලා ඩ්‍රැක්මා 300ක දඩයක් විතරක් මට නියම කළා. එවැනි විරුද්ධවාදිකම්, යෙහෝවඃවහන්සේට සේවය කරන්නයි, සත්‍යයට පක්ෂ වෙන්නයි තියෙන මගේ අධිෂ්ඨානය ශක්තිමත් කළා විතරයි.
වෙනත් අවස්ථාවක, මාව අත්අඩංගුවට ගත්ත වෙලාවක, මං බයිබලය පහසුවෙන් උපුටා දැක්වූ ආකාරය විනිසුරුවාගේ අවධානයට යොමු වුණා. ඊට පස්සේ, ඔහු බිෂොප්වරයාට මෙහෙම කියමින් තමාගේ කාර්යාලයෙන් පිට වෙලා යන්න කිව්වා: “ඔයාගේ කොටස ඔයා කරලා ඉවරයි. මං මෙයා ගැන ඉතුරු ටික බලාගන්නම්.” ඊට පස්සේ එයා එයාගේ බයිබලය අරගෙන, අපි මුළු දවල් කාලයේම දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන කතා කළා. දුෂ්කරතා තිබුණත්, දිගටම මෙම සේවයේ යෙදී ඉන්න මේ වගේ අවස්ථා මට දිරිගැන්වීමක් ලබා දුන්නා.
මරණ දඬුවම
වර්ෂ 1940දී, මාව හමුදා සේවයට කැඳවීමක් කරනු ලැබූ අතර, එම නිලය භාරගන්න එකඟ වෙන්න බැරි හේතුව පැහැදිලි කරලා මං ලියුමක් ලිව්වා. ඊට දවස් දෙකකට පස්සේ, පොලිසිය මාව අත්අඩංගුවට අරගෙන මට හොඳටම තැලුවා. ඊට පස්සේ මාව ඇල්බේනියාවේ යුද්ධයට යවනු ලැබූ අතර, මං සටන් කරන්න බැහැ කියලා කියපු හින්දා මාව යුද අධිකරණයට ගෙනයනු ලැබුවා. මං යුද්ධයේ සටන් කරන්න ප්‍රතික්ෂේප කරන හේතුව දැනගන්න හමුදා අධිකාරීන් එතරම් උනන්දුවක් දැක්වුවේ නැති වුණත්, මගේ ආදර්ශය අනික් යුද භටයන්ට කොයි විදිහට බලපායිද කියන එක ගැන ඒගොල්ලෝ සැලකිලිමත් වන බව මට කිව්වා. මාව මරණයට නියම කරනු ලැබුවත්, නීත්‍යනුකූල දෝෂයක් හින්දා, මගේ මහත් සහනයට හේතු වෙමින් මේ දණ්ඩනය අවුරුදු දහයකට බරපතළ වැඩ එක්ක සිරගත කිරීමකට මාරු කළා. ඊට පස්සේ, මං මගේ ජීවිතයේ ඊළඟ මාස කිහිපය ග්‍රීසියේ යුද හමුදා බන්ධනාගාරයක ගොඩාක් දුෂ්කර තත්වයන් යටතේ ගත කළ අතර, මං ඒකෙන් ඇති වුණ ශරීර බලපෑම්වලින් තවමත් පීඩා විඳිනවා.
මාව බන්ධනාගාරයට දැම්මත්, මං දේශනා කිරීම නතර කළේ නැහැ. මෙහි සිද්ධ වුණේ, හාත්පසින්ම වෙනස් දෙයක්! සිවිල් පුද්ගලයෙක් යුද හමුදා බන්ධනාගාරයක ඉන්නේ ඇයි කියලා දැනගන්න බොහෝදෙනෙක්ට ඕනෙ වුණ හින්දා, සාකච්ඡා පටන්ගන්න පහසු වුණා. යෞවනයෙක් එක්ක කරපු මෙවැනි සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන්, බන්ධනාගාර මිදුලේ බයිබල් පාඩමක් පවත්වන්න පුළුවන් වුණා. අවුරුදු තිස්අටකට පස්සේ, මට මේ පුද්ගලයාව එක්රැස්වීමකදී නැවතත් මුණගැහුණා. එයා සත්‍යය පිළිගෙන තිබුණු අතර, ලෙෆ්කාස් දූපතේ සභා අවේක්ෂකයෙක් හැටියට සේවය කරමින් හිටියා.
වර්ෂ 1941දී, හිට්ලර්ගේ යුද හමුදාව යුගොස්ලාවියාව ආක්‍රමණය කරද්දී, අපිව තවත් දකුණට ඒ කියන්නේ ප්‍රෙවර්සාහි බන්ධනාගාරයකට යවනු ලැබුවා. ගමන අතරතුරේදී, අපව ගෙනගිය ට්‍රක් රථ සමූහයට ජර්මානු බෝම්බකරුවන් විසින් පහර දෙනු ලැබූ අතර, සිරකරුවන් වන අපිට කෑම ටිකක්වත් ලැබුණෙ නැහැ. මට තිබුණු පාන් ටික ඉවර වුණාට පස්සේ, මං දෙවියන්වහන්සේට මෙහෙම යාච්ඤා කළා: “ඔබවහන්සේ මාව මරණ දණ්ඩනයෙන් බේරුවට පස්සේ, මං හාමතේ මැරෙන එක ඔබේ කැමැත්ත නම්, ඔබවහන්සේගේ කැමැත්ත හැටියට වේවා!”
ඊළඟ දවසේ පෙරට්ටුවේ නම් අඬ ගසන වෙලාවෙදී, නිලධාරියෙක් මාව පැත්තකට අඬ ගහලා, මං කොහෙන්ද ආවේ, මගේ දෙමාපියන් කවුද ඒ වගේම, මං බන්ධනාගාරයේ ඉන්න හේතුව දැනගත්තායින් පස්සේ, මට ඔහුගේ පස්සෙන් එන්න කියලා කිව්වා. එයා මාව නගරයේ තිබුණු නිලධාරීන්ගේ කෑම ශාලාවට ගෙනියලා, පාන්, කේජු හා බදින ලද බැටළු මස් තිබුණු මේසයක් පෙන්නලා මට ඇති තරම් කන්න කියලා කිව්වා. ඒත් අනික් සිරකරුවන් 60දෙනාට මොකුත් තිබුණේ නැති හින්දා, මගේ හෘදය සාක්ෂිය කෑම කන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මං පැහැදිලි කළා. ඒ නිලධාරියා මෙහෙම උත්තර දුන්නා: “මට හැම කෙනෙක්ටම කන්න දෙන්න බැහැ. ඔයාගේ තාත්තා මගේ තාත්තාට ගොඩාක් කරුණාවන්ත වෙලා තිබුණා. ඒ හින්දා මං උදව් කරන්න බැඳිලා ඉන්නේ ඔයාට මිසක අනික් අයට නෙවෙයි.” “එහෙම නං මං ආයෙත් යන්නං” කියලා මං උත්තර දුන්නා. එයා ටික වෙලාවක් කල්පනා කරලා මට පුළුවන් තරම් කෑම අරං යන්න කියලා ලොකු මල්ලක් දුන්නා.
බන්ධනාගාරයට ආයෙත් ආවට පස්සේ, මං මල්ල බිම තියලා මෙහෙම කිව්වා: “මහත්වරුනි, මේවා ඔයගොල්ලන්ට.” මං අනික් සිරකරුවන් එක්ක කන්‍ය මරියාට යාච්ඤා කරන්න එකතු වුණේ නැති හින්දා, ඒගොල්ලන් හිටපු තත්වයට මං වගකියන්න ඕනෙ කියලා මට කලින් දවසේ හවස දොස් තබලා තිබුණා. කොහොම වුණත්, කොමියුනිස්ට්වාදියෙක් මගේ පැත්ත ගත්තා. කෑම ටික දැකලා එයා අනික් අයට මෙහෙම කිව්වා: “ඔයගොල්ලන්ගේ කන්‍ය මරියා කෝ? මේ මිනිහා හින්දා අපි මැරෙයි කියලා ඔයගොල්ලන් කිව්වත්, අපිට කෑම ගේන්නේ එයයි.” ඊට පස්සේ එයා මං දිහා බලලා මෙහෙම කිව්වා: “එමන්විල්! එන්න, ඇවිල්ලා ස්තුති යාච්ඤාවක් කරන්න.”
ඊට ටික කලකට පස්සේ, ජර්මානු යුද හමුදාව ඉදිරියට ඇදුණු හින්දා, බන්ධනාගාරයේ ආරක්ෂක නිලධාරීන් එතැනින් පලාගිය අතර, ඒ හේතුවෙන් අපිට නිදහස් වෙන්න අවස්ථාව ලැබුණා. වර්ෂ 1941 මැයි මාසයේ අවසානයේදී, ඇතන්ස්වලට යන්ට කලින්, මං අනික් සාක්ෂිකරුවන්ව හොයාගන්න පැට්‍රස් වෙත ගියා. එහිදී, මට ඇඳුම් හා සපත්තු අරගන්නත්, අවුරුද්දකටත් වඩා වැඩි කාලයකට පස්සේ නාගන්නත් පුළුවන් වුණා. ජර්මානුවන්ගේ පාලනයේ අවසානය වෙනකම්ම, මං දේශනා කරන කොට ඒගොල්ලෝ මාව නිතරම නැවැත්තුවත්, මාව කවදාවත් අත්අඩංගුවට ගත්තේ නැහැ. ඒගොල්ලන්ගෙන් කෙනෙක් මෙහෙම කිව්වා: “ජර්මනියේ නම් අපි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට වෙඩි තියනවා. ඒත් මෙහෙ ඉන්න අපේ සතුරෝ ඔක්කොම සාක්ෂිකරුවන් වෙනවා නම් අපි කැමතියි.”
යුද්ධයෙන් පසු වැඩකටයුතු
ග්‍රීසියට සටන් කිරීම් හරියට මදි වෙලා වගේ, 1946 ඉඳලා 1949 දක්වා තවත් සිවිල් යුද්ධයකින් දහස් ගණනක් අයව මරණයට පත් කරනු ලැබුවා. නිකම්ම රැස්වීම්වලට ගියත් අත්අඩංගුවට ගනු ලබන හින්දා, ශක්තිමත්ව රැඳී සිටීම සඳහා සහෝදරයන්ට දිරිගැන්වීමක් වුවමනා වුණා. ඔවුන්ගේ මධ්‍යස්ථ ස්ථාවරය හින්දා සහෝදරයන් කිහිපදෙනෙක්ව මරණයට නියම කරනු ලැබුවා. ඒත් මේ තත්වය උඩ පවා, මනුෂ්‍යයන් බොහෝදෙනෙක් රාජ්‍ය පණිවිඩයට ප්‍රතිචාරය දැක්වූ අතර, හැම සතියකම බව්තීස්ම එකක් හෝ දෙකක් සිදු කරනු ලැබුවා. වර්ෂ 1947 පටන්, මං ඇතන්ස්හි සමිතියේ කාර්යාලවල දවල් කාලයේ වැඩ කරන්න පටන්ගත් අතර, රාත්‍රි කාලයේ සංචාරක අවේක්ෂකයෙක් හැටියට සභාවන් බැහැදකින්න ගියා.
වර්ෂ 1948දී, මට එක්සත් ජනපදයේ වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ් එකට සහභාගි වෙන්න ආරාධනාවක් ලැබීමෙන් ප්‍රීතියක් අද්දුටුවා. ඒත් ගැටලුවක් තිබුණා. කලින් මට විරුද්ධව තිබූ චෝදනා හින්දා, ගුවන් බලපත්‍රයක් ගන්න මට පුළුවන් වුණේ නැහැ. කොහොමවුණත්, මගේ බයිබල් ශිෂ්‍යයන්ගෙන් කෙනෙක් සෙන්පතියෙක් එක්ක මිත්‍රව හිටියා. මේ ශිෂ්‍යයාට ස්තුතිවන්ත වෙන්න, සති කිහිපයකින්ම මට මගේ ගුවන් බලපත්‍රය ලැබුණා. ඒත් මං එහාට යන්න සෑහෙන්න කලින්, මුරටැඹ සඟරාව බෙදා දුන්න හින්දා, මාව අත්අඩංගුවට ගත්තහම මං කනස්සලු වුණා. පොලිස් රාළහාමි කෙනෙක් මාව ඇතන්ස්හි රාජ්‍ය ආරක්ෂක පොලිසියේ ප්‍රධානියෙක් ළඟට එක්කගෙන ගියා. ඒ කෙනා මගේ අසල්වාසීන්ගෙන් කෙනෙක් බව දැනගැනීමෙන් මං පුදුමයට පත් වුණා! මාව අත්අඩංගුවට ගත්ත හේතුව පොලිස් රාළහාමි පැහැදිලි කරලා, සඟරා මිටිය ඔහුට දුන්නා. මගේ අසල්වැසියා එයාගේ මේසයෙන් මුරටැඹ සඟරා මිටියක් අරගෙන මට මෙහෙම කිව්වා: “අලුත්ම කලාපය මගේ ළඟ නැහැ. මං පිටපතක් ගන්නද?” එවැනි කාරණාවලදී යෙහෝවඃවහන්සේගේ හස්තය ක්‍රියා කරනවා දැකීමෙන් මට කොච්චර සහනයක් දැනුණාද!
වර්ෂ 1950දී, ගිලියඩ්හි 16වන පංතිය, රසවත් අද්දැකීමක් වුණා. ඒකෙ අවසානයේදී, මාව සයිප්‍රස්වලට යවනු ලැබූ අතර, එම ප්‍රදේශයේ පූජක පක්ෂයේ විරුද්ධවාදිකම් ග්‍රීසියේ මෙන්ම දරුණු වූ බව මට ඉක්මනින්ම තේරුම්ගියා. ඔර්තඩොක්ස් පූජකයන් විසින් මහත් කලබලයක් ඇති කරන්න අවුස්සනු ලැබූ ආගමික උන්මත්තකයන් බොහෝදෙනෙක්ට, මුහුණ දෙන්න හුඟාක් වෙලාවලදී අපිට සිද්ධ වුණා. වර්ෂ 1953දී, සයිප්‍රස් රටට මගේ වීසා බලපත්‍රය අලුත් කරනු ලැබුවෙ නැති හින්දා මට තුර්කියේ ඉස්තාන්බුල් නගරයට පැවරුමක් ලැබුණා. මං එතනත් හිටියේ ටික කාලයකටයි. දේශනා සේවයේ හොඳ ප්‍රතිඵල ලැබුණත්, තුර්කිය හා ග්‍රීසිය අතර තිබූ දේශපාලනික පීඩන හින්දා, මට වෙනත් පැවරුමකට එනම් ඊජිප්තුවට යන්න සිද්ධ වුණා.
බන්ධනාගාරයේ ඉඳිද්දී, මං ගීතාවලිය 55:6, 7 සිහි කරගන්නවා. ඒ පදවල, දාවිත් කාන්තාරයට පලායන්න දැඩි කැමැත්තක් ප්‍රකාශ කළා. දවසක මටත් එහෙට යන්න සිද්ධ වෙයි කියලා මං කවදාවත් හිතුවෙ නැහැ. වර්ෂ 1954දී, කෝච්චියේ හා නයිල් ගඟ දිගේ බෝට්ටුවකින් දවස් කිහිපයක ඉතා මහන්සි ගමනකින් පස්සේ, මං අවසානයේදී මගේ ගමනාන්තයට, ඒ කියන්නේ සූඩානයේ කාර්ටුම් නගරය කරා ළඟා වුණා. මට කරන්න ඕන වුණ එකම දේ වුණේ ඇඟ පත හෝදගෙන නිදාගන්නයි. ඒත් එය දවල් කියලා මට අමතක වුණා. වහලෙ උඩ ටැංකියේ එකතු කරලා තිබුණු වතුරෙන් මාව පිච්චුන හින්දා, මගේ ඔළුවේ තුවාල සුව වෙනකම් මට මාස කිහිපයක් අව්වට පළඳින සැහැල්ලු හිස් වැස්මක් දාන්න සිද්ධ වුණා.
ළඟම තිබූ සභාවෙන් සැතපුම් දහස් ගණනක් ඈතින්, සහරා කාන්තාරය මැද හිටපු මට බොහෝ අවස්ථාවලදී තනිකමක් හැඟුණත්, යෙහෝවඃවහන්සේ මාව උසුලලා දිගටම සේවය කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ලබා දුන්නා. සමහර අවස්ථාවලදී, මට දිරිගැන්වීම් ලැබුණේ කවදාවත් බලාපොරොත්තු නොවුණු ආකාරවලින්. දවසක්, කාර්ටුම් කෞතුකාගාරයේ අධ්‍යක්ෂකවරයාව මට මුණගැහුණා. එයා විවෘත මනසකින් යුත් කෙනෙක් වුණ අතර, අපි උනන්දුමත් සාකච්ඡාවක යෙදුණා. මට ග්‍රීක මූලාරම්භයක් තිබුණු බව දැනගැනීමෙන් පස්සේ, හයවන සියවසේ පල්ලියක හොයාගත් පුරාවස්තුවල ලියා තිබූ දේවල් සමහරක් පරිවර්තනය කරන්න කෞතුකාගාරයට එයා එක්ක එනවාද කියා මගෙන් ඇහැව්වා. වාතාශ්‍රයක් නැති එම ගොඩනැඟිල්ලේ පොළොවෙන් යට තට්ටුවේ පැය පහක් ගත කිරීමෙන් පස්සේ, යෙහෝවඃවහන්සේගේ නමට එන අක්ෂර සතර කොටලා තියෙන පීරිසියක් මට සම්බ වුණා. හිතලා බලන්න, මං කොච්චර ප්‍රීති වුණාද! යුරෝපයේ පල්ලිවල දිව්‍ය නාමය හොයාගන්න එක අමුතු දෙයක් වුණේ නැති වුණත්, සහරා කාන්තාරය මැද ඒක වෙනකොට මොනතරම් අසාමාන්‍ය දෙයක්ද!
වර්ෂ 1958දී ජාත්‍යන්තර එක්රැස්වීමෙන් පස්සේ, මැදපෙරදිග, ආසියාවේ හා අප්‍රිකාවේ වගේම මධ්‍යධරණිය අවට රටවල් හා බලප්‍රදේශ 26ක ඉන්න සහෝදරයන්ව බැහැදකින්න, කලාපීය අවේක්ෂකයෙක් හැටියට මාව යවනු ලැබුවා. බොහෝ අවස්ථාවලදී, දුෂ්කර තත්වයකින් ගැළවෙන්නේ කොහොමද කියලා මං දැනගෙන හිටියේ නැතත්, යෙහෝවඃවහන්සේ හැම අවස්ථාවකදීම මට උපකාර කළා.
ඇතැම් රටවල තනි වී සිටින සාක්ෂිකරුවන්ට යෙහෝවඃවහන්සේගේ සංවිධානය දක්වන සැලකිල්ල හැමවිටම වාගේ මගේ සිතට කාවැදුණා. එක් අවස්ථාවක, තෙල් ආකරයක වැඩ කරන ඉන්දියානු සහෝදරයෙක් මට මුණගැහුණා. පෙනෙන විදිහට එම රටේ හිටිය එකම සාක්ෂිකාරයා එයා විතරයි. එයා එක්ක සේවය කරන අයට දෙන, විවිධ භාෂා 18ක ප්‍රකාශන එයාගේ කබඩ් එක ඇතුලේ තිබුණා. සියලු විදේශ ආගම් දැඩිව තහනම් කරලා තිබුණු මෙම රටේ පවා, ශුභාරංචිය දේශනා කරන්න තියෙන එයාගේ වගකීම අපේ මේ සහෝදරයා අමතක කළේ නැහැ. එයාව බැහැදකින්න එයාගේ ආගමේ නියෝජිතයෙක්ව එවනු ලැබීම, එයා එක්ක වැඩ කළ අයගේ සිත්ගත්තා.
වර්ෂ 1959දී මං ස්පාඤ්ඤයට හා පෘතුගාලයට ගියා. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තදින්ම තහනම් කරලා තිබුණු අතර, ඒ කාලයේදී ඒ රටවල් දෙකම යුද හමුදා ආඥාදායක පාලනයක් යටතේ පැවතුණා. දුෂ්කරතා පැවතුණත්, අතඅරින්න එපා කියා සහෝදරයන්ට දිරිගන්වමින්, මට මාසයකදී රැස්වීම් සීයකටත් වැඩිය පවත්වන්න පුළුවන් වුණා.
තවදුරටත් තනිව නොවේ
අවුරුදු 20කටත් වැඩි කාලයකට, මං තනිකඩයෙක් හැටියට පූර්ණ කාලීන සේවයේ යෙහෝවඃවහන්සේට සේවය කරමින් හිටියත්, ස්ථිර නිවසක් නැතුව නිතරම සංචාරය කරන්න සිද්ධ වෙන එක ගැන මම හදිසියෙන්ම වගේ වෙහෙසට පත් වුණා. මේ කාලය අතරතුර තමයි මට තුනිසියාවේ විශේෂ පුරෝගාමියක් හැටියට සේවය කරන ඇනී බ්‍යානූචිව හමු වුණේ. වර්ෂ 1963 අපි දෙන්නා විවාහ වුණා. යෙහෝවඃවහන්සේටත් සත්‍යයටත් තිබුණු ඇගේ ප්‍රේමය, ඇගේ ඉගැන්වීමේ කලාව හා දේවසේවය කෙරෙහි තිබුණු ඇගේ භක්තිය වගේම භාෂා සම්බන්ධයෙන් තිබුණු ඇගේ දැනුම, උතුරු හා බටහිර අප්‍රිකාවේ වගේම ඉතාලියේ අපේ මිෂනාරි හා චාරිකා වැඩයට ඇත්තටම ආශීර්වාදයක් වුණ බවට ඔප්පු වුණා.
වර්ෂ 1965 අගෝස්තු මාසයේදී, මගේ භාර්යාවටයි, මටයි, සෙනගොල්හි ඩකාර් නුවරට පැවරුම් ලැබුණු අතර, මට එම ප්‍රදේශයේ ශාඛා කාර්යාලය සංවිධානය කරන්න වරප්‍රසාදය ලැබුණා. ආගමට ඉඩ දීම සම්බන්ධයෙන් සෙනගොල් විශිෂ්ට රටක් වුණේ එහි ජනාධිපති, ලේඕපෝල් සෙංහෝ හින්දා කියලා කිසිම සැකයක් නැහැ. එයා, 1970 ගණන්වල මලාවිවල සිද්ධ වුණ දරුණු පීඩා කිරීම් සම්බන්ධයෙන්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පැත්ත ගෙන මලාවියේ ජනාධිපති බන්ඩාට ලියපු අප්‍රිකානු රජයේ ප්‍රධානීන් කිහිපදෙනෙක්ගෙන් කෙනෙක්.
යෙහෝවඃවහන්සේගේ මහඟු ආශීර්වාද
වර්ෂ 1950දී, මං ගිලියඩ්වලින් ඉවත් වෙලා සයිප්‍රස්වලට යද්දී, මං සූට්කේස් හතක් අරන් ගියා. තුර්කියට යද්දී මට තිබුණේ පහක් විතරයි. ඒත් කොච්චර ගමන් කරන්න තිබුණාද කිව්වොත්, මට කිලෝග්‍රෑම් 20ක (රාත්තල් 44ක) බරකින් යුත් ගමන් මල්ලකට සීමා කරන්න පුරුදු වෙන්න සිද්ධ වුණා. මේකට මගේ ලිපිගොනු හා “කුඩා” යතුරු ලියනයද ඇතුළත් වුණා. ඒ කාලයේදී වොච් ටවර් සමිතියේ සභාපතිව හිටපු සහෝදර නෝර්ට මං දවසක් මෙහෙම කිව්වා: “ඔයා මාව ද්‍රව්‍යවාදයෙන් ආරක්ෂා කරනවා. ඔයා මට කිලෝග්‍රෑම් 20ක බරකින් යුත් බඩුවලින් ජීවත් වෙන්න සලස්සනවා, ඒත් මං සෑහීමට පත් වෙලයි ඉන්නේ.” හුඟක් දේවල් තිබුණේ නැති හින්දා මට කවදාවත් හිඟකමක් හැඟුණෙ නැහැ.
මගේ ගමන් බිමන් අතරතුර මට ඇති වූ මූලික ගැටලුව තමයි, රටවල්වලට ඇතුල්වීම හා පිටවීම. දවසක්, සේවය තහනම් කරලා තිබුණු රටක, රේගු නිලධාරියෙක් මගේ ලිපිගොනු අවුස්සන්න පටන්ගත්තා. මේක ඒ රටේ සිටින සාක්ෂිකරුවන්ට අවදානමක් ඇති කළ හින්දා, මං මගේ භාර්යාවගෙන් ලැබුණු ලියුමක් මගේ කබායෙන් අරගෙන රේගු නිලධාරියාට මෙහෙම කිව්වා: “ඔබ ලියුම් කියවන්න ආසයි කියලා මට පේනවා. මගේ භාර්යාව එවපු, ලිපිගොනුවල නැති මේ ලියුමත් කියවන්න ඔබ කැමතිද?” ලජ්ජා හිතිලා, එයා සමාව ඉල්ලා මට ඇතුළට යන්න ඉඩහැරියා.
වර්ෂ 1982 ඉඳලා මගේ භාර්යාවයි මායි ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ නීස්වල, මිෂනාරිවරුන් හැටියට සේවය කරමින් සිටිනවා. දුර්වල සෞඛ්‍ය තත්වය හින්දා, කලින් කළ තරමටම මට තවත් කරන්න බැහැ. ඒත් අපේ ප්‍රීතිය අඩු වෙලා ගිහින් කියලා ඒකෙන් අදහස් කරන්නේ නැහැ. ‘අපේ මෙහෙය නිෂ්ඵල වී නැහැ කියලා’ අපි දැකලා තියෙනවා. (1 කොරින්ති 15:58) ගත වූ වසරවල මට පාඩම් කරන්න වරප්‍රසාදය ලැබී තිබුණු බොහෝ අය වගේම, මගේ පවුලේ සාමාජිකයන් 40කට වැඩිදෙනෙක් යෙහෝවඃවහන්සේට විශ්වාසවන්තව සේවය කරන ආකාරය දැකීමේ ප්‍රීතිය මට තියෙනවා.
මගේ ජීවිත කාලය පුරාම වාගේ මං විවිධ තැන්වලට ‘ගොඩ වදිද්දී’ මං කළ පරිත්‍යාගයන් ගැන මං කොයි ආකාරයකින්වත් දුක් වෙන්නේ නැහැ. කොහොම වුණත්, අපි කරන ඕනෑම පරිත්‍යාගයක්, යෙහෝවඃවහන්සේ හා උන්වහන්සේගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපිට කරලා තියෙන පරිත්‍යාග එක්ක සසඳන්න බැහැ. මං සත්‍යය දැනගෙන සිටි අවුරුදු 60 දිහා නැවත හැරිලා බලන කොට, යෙහෝවඃවහන්සේ මට ගොඩාක් ආශීර්වාද කරලා තියෙනවා කියලා මට කියන්න පුළුවන්. හිතෝපදේශ 10:22 කියන ආකාරයට, “ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය පොහොසත්කම ලබාදෙ[නවා.]”
යෙහෝවඃවහන්සේගේ “කරුණාගුණය ජීවිතයට වඩා යහප[ත්]” බවට කිසිම සැකයක් නැහැ. (ගීතාවලිය 63:3) මහලු වයසේ අපහසුතාවන් වැඩි වෙත්ම, දේවානුභාවය ලත් ගීතිකාකරුගේ වචන මං බොහෝ වෙලාවලට, මගේ යාච්ඤාවල සඳහන් කරනවා: “ස්වාමිනි, ඔබ විශ්වාසකරමි. කිසිකලකත් ලජ්ජා නොවෙම්වා. මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්ස, මාගේ බලාපොරොත්තුව ඔබය. තරුණ වයස පටන් මාගේ විශ්වාසය ඔබය. දෙවියන්වහන්ස, මාගේ යෞවන කාලයේ පටන් ඔබ මට ඉගැන්වූ සේක; මේ දක්වා ඔබගේ ආශ්චර්ය ක්‍රියා ප්‍රකාශකෙළෙමි. . . . මහලුව හිස පැසුණු කල්හි පවා මා අත්නෑරිය මැනව.”—ගීතාවලිය 71:1, 5, 17, 18.
[25වන පිටුවේ පින්තූරය]
අද, මගේ භාර්යාව ඇනී සමඟ
-
-
“යෙහෝවඃවහන්සේගෙන් ලද පුදුමාකාර ත්‍යාගයක්”1996 මුරටැඹ | නොවැම්බර් 1
-
-
“යෙහෝවඃවහන්සේගෙන් ලද පුදුමාකාර ත්‍යාගයක්”
එක්දහස් නවසිය අනූහයේ මැයි 1වනදා මුරටැඹ කලාපයේ, ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය ගැන කරන ලද ගැඹුරු සාකච්ඡාවක් සහ යෙහෝවඃවහන්සේට මෙන්ම “කායිසර්ට” ඇති අපගේ වගකීම් සමබරව පවත්වා ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ලිපි අඩංගු විය. (මතෙව් 22:21) සපයන ලද අලුත් තොරතුරු වෙනුවෙන් අගය කිරීමෙන් යුත් බොහෝ ප්‍රකාශයන් ලැබිණ. ඒවා අතර ග්‍රීසියේ පදිංචිව සිටින සාක්ෂිකරුවෙකු විසින් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය වෙත ලියන ලද ලිපියක් විය; එය පහත සඳහන් වේ:
“අපගේ ආත්මිකත්වය පිළිබඳව මෙතරම් කදිම සැලකිල්ලක් දැක්වීම සම්බන්ධයෙන් ප්‍රිය සහෝදරයන් වන ඔබ සියලුදෙනාටම මගේ ගැඹුරුම කෘතඥතාව ප්‍රකාශ කිරීමට මම කැමැත්තෙමි. මගේ ක්‍රිස්තියානි ඇදහිල්ල නිසා අවුරුදු නවයක් පමණ මම සිරබාරයේ ගත කර ඇත්තෙමි; එසේම 1996 මැයි 1 මුරටැඹ කලාපයේ තිබූ විශිෂ්ට අදහස් මම ඇත්තෙන්ම අගය කරමි. (යෙසායා 2:4) මෙය යෙහෝවඃවහන්සේගෙන් ලද පුදුමාකාර ත්‍යාගයකි.—යාකොබ් 1:17.
“මා මේ ලිපි සතුටින් කියවන විට, මීට පෙර පළ වූ මුරටැඹ කලාපයක අදහසක් මට මතක් විණ (1994 අගෝස්තු 1, 14 පිටුව): ‘පැහැදිලිවම, සාධාරණකම යනු ඉතා අගනා ගුණාංගයකි, සියල්ලටම වඩා වැඩියෙන් යෙහෝවඃවහන්සේට ප්‍රේම කිරීමට අපව පොලඹවන ගුණාංගයකි.’ ඔව් සහෝදරයෙනි, යෙහෝවඃවහන්සේගේ ඥානය පැහැදිලිවම පිළිබිඹු කරන උන්වහන්සේගේ කාරුණික සංවිධානයේ කොටසක් වීම ගැන මම උන්වහන්සේට ස්තුතිවන්ත වෙමි.—යාකොබ් 3:17.
“මෙහි ග්‍රීසියේ සිටින අය, මැයි 1 මුරටැඹ සඟරාවෙහි තිබුණාවූ වැඩි කරන ලද ඥානාවබෝධය සන්තෝෂයෙන් පිළිගෙන ඇති අතර, විශේෂයෙන්ම මෙසේ පිළිගෙන තිබෙන්නේ වසර ගණනාවක් සිරබාරයේ ගත කර තිබෙන නැතහොත් තම ඇදහිල්ල නිසා තවමත් සිරබාරයේ සිටින අයය. නැවත වරක් ඔබලාට ස්තුතියි. මෙම කලබලකාරි කාලවලදී වටිනා ආත්මික ආහාර නොකඩවා අපට සැපයීමට, යෙහෝවඃවහන්සේ ඔබ සියලුදෙනාවම උන්වහන්සේගේ ආත්මයෙන් ශක්තිමත් කරනු ලැබේවා!”
-