-
අන්තිම පාස්කුවේදී යටහත් පහත්කම පෙන්වීමමෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
-
-
වැඩි වේලාවක් යන්න කලින් යේසුස් හා ඔහු සමඟ සිටින අය නුවරට ඇතුල් වී පාස්කුව පැවැත්වීමට නියමිතව තිබෙන නිවස වෙතට ගමන් කරනවා. ඔවුන් විශාල උඩුමහල් කාමරය වෙතට පියමං කරද්දී දකින්නේ ඔවුන් ටිකදෙනා විතරක් සහභාගි වන මේ පාස්කුව සැමරීම සඳහා සියලුම කටයුතු සූදානම් කර ඇති බවයි. යේසුස් මෙම අවස්ථාව එන තුරු ඉතා උනන්දුවෙන් බලා සිටි බව අඟවමින් ඔහු මෙසේ පවසනවා. “මා වධ විඳින්න කලින් ඔබ සමඟ මේ පාස්කු භෝජනය කන්න මම බොහෝ සේ ආශා කළෙමි.”
සම්ප්‍රදායානුකූලව පාස්කුව සමරන අය වයින් කුසලාන සතරක් පානය කරනවා. පෙනෙන විදියට තුන්වන කුසලානය ගැනීමෙන් පසු, යේසුස් දෙවිට ස්තුති කර මෙසේ කියනවා. “මෙය ගෙන ඔබ එකිනෙකා අත යවන්න. මන්ද, මම ඔබට කියමි, දෙවිගේ රාජ්‍යය එන තුරු, මෙතැන් පටන් මම මිදි වැලෙන් ලැබෙන පලයෙන් නොබොන්නෙමි.”
ආහාර ගන්නා අතරතුරේදී, යේසුස් නැඟිට තමාගේ පිට වස්ත්‍රය අයින් කර තුවායක් අතට ගෙන භාජනයකට ජලය පුරවනවා. සාමාන්‍යයෙන්, නිවසට අමුත්තෙක් පැමිණෙන විට ගෙහිමියා ඔහුගේ පාද සේදීමට කටයුතු සැලසුම් කරනවා. එහෙත් මේ අවස්ථාවේදී ආගන්තුක සත්කාරය පිරිනැමීමට කිසිවෙකු ඉදිරිපත් නොවන බැවින් මෙම සේවාව පිරිනමනු ලබන්නේ යේසුස් විසිනුයි. මෙම සේවාව පිරිනැමීම සඳහා ප්‍රේරිතයන්ගෙන් ඕනෑම කෙනෙකුට ඉදිරිපත් වෙන්න තිබුණා. එහෙත් පෙනෙන ආකාරයට, ඔවුන් අතරෙහි තවමත් පවතින තරඟකාරී ස්වභාවය හේතුවෙන් කිසිවෙකු එසේ කරන්නේ නැහැ. ඉතිං යේසුස් ඔවුන්ගේ පාද සේදීමට පටන්ගන්නා විට ඔවුන් ලජ්ජාවට පත් වෙනවා.
යේසුස් පේතෘස් ළඟට ගිය විට ඔහු විරෝධය පාමින් මෙසේ පවසනවා. “ඔබට කවදාවත් මාගේ පාද නම් සෝදන්න ලැබෙන්නේ නැත.”
“මා ඔබව නොසේදුවොත් මා සමඟ කිසි පංගුකාරකමක් ඔබට නැත” කියා යේසුස් පවසනවා.
පේතෘස් ඊට ප්‍රතිචාරය දක්වන්නේ මෙලෙසයි. “ස්වාමිනි, මාගේ පාද පමණක් නොව, මාගේ අත්ද හිසද සෝදන්න.”
එවිට යේසුස් පිළිතුරු දෙන්නේ මෙසේයි. “නෑවාවූ තැනැත්තාගේ පාද සෝදනවාට වඩා වැඩි යමක් ඔහුට අවශ්‍ය වන්නේ නැත. ඔහු මුළුමනින්ම පවිත්‍රය. ඔබ පවිත්‍රව සිටින්නහුය; නමුත් සැමෝම නොවේ.” යූදස් ඉස්කාරියොත් තමාව පාවා දීමට කල්පනා කරමින් සිටින බව දන්නා නිසයි ඔහු එසේ පවසන්නේ.
යේසුස් 12දෙනාගේම පාද සෝදනවා. ඔහු තමාව පාවා දීමට යන යූදස්ගේ පාදත් සෝදනවා. ඉන්පසු, ඔහු තම පිට වස්ත්‍රය ඇඳගෙන නැවතත් වාඩි වී පවසන්නේ මෙසේයි. “මා ඔබට කළ දේ කුමක්දැයි ඔබ දන්නහුද? ‘ගුරුතුමෙනි,’ ‘ස්වාමිනි’ කියා ඔබ මට අමතන්නහුය. ඔබ කියනවා හරිය. මන්ද මම එසේ වෙමි. එබැවින්, ස්වාමීන්ද ගුරුතුමාද වන මා ඔබේ පාද සේදුවා නම්, ඔබත් එකිනෙකාගේ පාද සේදිය යුතුය. මන්ද, මා ඔබට කළාක් මෙන් ඔබත් කළ යුතු බවට වූ ආදර්ශය මම ඔබට දුනිමි. සැබවින්ම මම ඔබට කියමි, දාසයෙකු තම ස්වාමියාට වඩා උතුම් නොවේ. එමෙන්ම එවන ලද තැනැත්තා තමාව එවූ තැනැත්තාට වඩා උතුම් නොවේ. ඔබ මේ දේවල් දන්නේ නම්, ඒවා පවත්වනවා නම් ඔබ සන්තෝෂවත්ය.”
යටහත් පහත්කම සම්බන්ධයෙන් මොන තරම් කදිම පාඩමක්ද! ප්‍රේරිතයන් තමන් අන්‍යයන්ගේ සේවය ලැබීමට තරම් වැදගත් පුද්ගලයන්යයි සිතමින් නිතරම පළමු ස්ථානය ලබාගැනීමට උත්සාහ නොකළ යුතුයි. ඔවුන් අනුගමනය කළ යුත්තේ යේසුස්ගේ ආදර්ශයයි. මෙසේ කරන්නේ නිකම්ම චාරිත්‍රයක් ලෙස පාද සේදීම මගින් නොවෙයි. නමුත් වැඩය මොන තරම් පහත් හෝ අප්‍රසන්න වුවත් තරාතිරම් නොබලා නිහතමානීව සේවය කිරීමට කැමැත්තක් දැක්වීමෙනුයි. මතෙව් 26:20, 21; මාක් 14:17, 18; ලූක් 22:14-18; 7:44; යොහන් 13:1-17; NW.
-
-
සිහි කිරීමේ සන්ධ්‍යා භෝජනයමෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
-
-
114වෙනි පරිච්ඡේදය
සිහි කිරීමේ සන්ධ්‍යා භෝජනය
යේසුස් තම ප්‍රේරිතයන්ගේ පාද සේදීමෙන් පසුව ගීතාවලිය 41:9හි ඇති ශුද්ධ ලියවිලි පාඨය උපුටා දක්වමින් මෙසේ පවසනවා. “මාගේ ආහාරයෙන් කෑවාවූ තැනැත්තා මට විරුද්ධව විලුඹ එසෙව්වේය.” ඊළඟට, ඔහු බොහෝ සෙයින් කැලඹී පැහැදිලි කරන්නේ මෙසේයි. “ඔබ අතරින් එක් කෙනෙක් මාව පාවා දෙන්නේය.”
ඔවුන් ශෝක වී එකිනෙකා, “ඒ මා නොවෙයි නේද” කියා යේසුස්ගෙන් අසනවා. යූදස් ඉස්කාරියොත් පවා එසේ අසනවා. යේසුස් ළඟින් වාඩි වී සිටින යොහන් ඔහුගේ ළයට හේත්තු වී අසන්නේ “ස්වාමීනි, ඒ කවුද” කියායි.
යේසුස් පිළිතුරු දෙන්නේ මෙසේයි. “ඒ තැනැත්තා මා සමඟ මේ පොදු බඳුනට අත ලන දොළොස්දෙනාගෙන් එක් කෙනෙක්ය. මනුෂ්‍ය පුත්‍රයා ගැන ලියා තිබෙන ලෙසම ඔහු යන බව සැබෑය. නමුත් මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙන මිනිසාට දුක් වේ! ඒ මිනිසා ඉපදුණේ නැතිනම් ඔහුට වඩා හොඳය.” ඉන්පසු යූදස්ගේ දූෂ්‍ය වී තිබෙන සිත තමාගේ වාසියට හරවාගනිමින් සාතන් නැවත වරක් එතුළට ඇතුල් වෙනවා. පසුව, එම රාත්‍රියේදීම යේසුස් ඉතා යෝග්‍ය ලෙස යූදස්ව හඳුන්වන්නේ “විනාශයේ පුත්‍රයා” වශයෙනුයි.
දැන් යේසුස් යූදස්ට පවසන්නේ, “ඔබ කරන දේ ඉක්මනින් කරන්න” කියායි. යේසුස් අදහස් කරන්නේ කුමක්ද කියා අනිත් ප්‍රේරිතයන්ට තේරෙන්නේ නැහැ. යූදස් මුදල් පෙට්ටිය භාරව සිටින නිසා “මංගල්‍යයට අවශ්‍ය දේවල් මිලට ගන්න” නැත්නම් ඔහු දිලිඳුන්ට යමක් දිය යුතුයි කියා යේසුස් කියන බව සමහරෙක් සිතනවා.
යූදස් පිටත්ව යෑමෙන් පසුව යේසුස් තම විශ්වාසවන්ත ප්‍රේරිතයන්ට මුළුමනින්ම අලුත් සැමරීමක් හඳුන්වා දෙනවා. ඔහු රොටියක් ගෙන දෙවිට ස්තුති කළ පසු එය කඩා ඔවුන්ට දෙමින් පවසන්නේ මෙසේයි. “රැගෙන කන්න.” ඉන්පසු ඔහු මෙසේ පැහැදිලි කරනවා. “ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරය මෙයින් නියෝජනය කරන්නේය. මා සිහි කරන පිණිස මෙය නොකඩවා කරන්න.”
සෑමදෙනාම රොටියෙන් කෑ පසු, යේසුස් වයින් කුසලානක් අතට ගන්නවා. සාමාන්‍යයෙන් පාස්කුව සමරන විට වයින් කුසලාන සතරක් පානය කරනවා. පෙනෙන ආකාරයට මෙය අන්තිම කුසලානයයි. ඔහු මේ අවස්ථාවේදීත් දෙවිට ස්තුති කර කුසලානය ඔවුන්ගේ අතින් අත යවා ඉන් පානය කරන ලෙස ඔවුන්ට කියා සිටිනවා. අනතුරුව ඔහු පවසන්නේ මෙසේයි. “මේ කුසලානය, ඔබ උදෙසා වගුරුවනු ලබන මාගේ රුධිරයෙන් ඇති වන අලුත් ගිවිසුම නියෝජනය කරන්නේය.”
ඒ නිසා, මෙය සැබෑවටම යේසුස්ගේ මරණය සිහි කිරීමක් වෙනවා. යේසුස් පවසන පරිදි, ඔහුව සිහි කිරීම පිණිස එය සෑම වසරකම නීසාන් 14වනදා සැමරිය යුතුයි. මරණ දණ්ඩනය නියම වූ මනුෂ්‍යයන්ව ගැලවීම සඳහා යේසුස් හා ඔහුගේ පියා කර තිබෙන දෙය මේ සැමරීම පවත්වන අයගේ සිහියට නැඟෙනවා. මෙතැන් පටන්, ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් බවට පත් වන යුදෙව්වරුන් පාස්කුව වෙනුවට සමරන්නේ මෙම සිහි කිරීමයි.
යේසුස්ගේ වගුරුවන ලද රුධිරය තුළින් ක්‍රියාත්මක වන අලුත් ගිවිසුම මගින් පරණ නීතික ගිවිසුම අහෝසි කරනු ලබනවා. එම ගිවිසුම තිබෙන්නේ යෙහෝවා දෙවි හා ආත්මයෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් 1,44,000දෙනා අතරයි. එහි මැදහත්කරු වන්නේ යේසුස් ක්‍රිස්තුස්. පාපවලට සමාව දීමට අමතරව, පූජක රජවරුන්ගෙන් යුත් ස්වර්ගික ජාතියක් සකස් කිරීමටත් මෙම ගිවිසුමෙන් අවකාශ සැලසෙනවා. මතෙව් 26:21-29; මාක් 14:18-25; ලූක් 22:19-23; යොහන් 13:18-30; 17:12; 1 කොරින්ති 5:7; NW.
▪ යේසුස් තම ආශ්‍රිතයෙකු ගැන පවසද්දී උපුටා දක්වන්නේ කිනම් බයිබල් අනාවැකියද? ඔහු එය අදාළ කරන්නේ කෙසේද?
▪ ප්‍රේරිතයන් අතිශයෙන් ශෝක වන්නේ මන්ද? ඔවුන්ගෙන් සෑම කෙනෙක්ම අසන්නේ කුමක්ද?
▪ යේසුස් පවසන්නේ යූදස්ට කුමක් කරන්න කියාද? නමුත් අනෙක් ප්‍රේරිතයන් මෙම උපදෙස් තේරුම්ගන්නේ කොහොමද?
▪ යූදස් පිටත්ව යෑමෙන් පසු, යේසුස් හඳුන්වා දෙන්නේ කුමන සැමරීමද? ඉන් ඉටු වන අරමුණ කුමක්ද?
▪ අලුත් ගිවිසුමට හවුල් වන්නේ කවුරුන්ද? ගිවිසුමෙන් ඉටු වන කාර්යභාරය කුමක්ද?
-
-
විවාදයක් හටගනීමෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
-
-
115වෙනි පරිච්ඡේදය
විවාදයක් හටගනී
මීට සුළු මොහොතකට කලින්, යේසුස් තම ප්‍රේරිතයන්ගේ පාද සෝදා ඔවුන්ට යටහත් පහත්කම පිළිබඳව කදිම පාඩමක් ඉගැන්වූවා. ඉන්පසු, අත ළඟ තිබෙන ඔහුගේ මරණය සිහි කිරීම පිණිස ඔහු අලුත් සැමරීමක් හඳුන්වා දුන්නා. දැන් ටිකකට කලින් සිදු වූ එම දේවල් ගැන සිතා බලද්දී, ඊළඟට සිදු වන දෙය ඇත්තෙන්ම පුදුමයට පත් කරවන්නක්. ඔහුගේ ප්‍රේරිතයන් අතර සැර විවාදයක් හටගන්නවා! ඔවුන් විවාද කරන්නේ ඔවුන් අතරෙන් උතුම්ම තැනැත්තා කවුද යන කාරණය ගැනයි. පෙනෙන ආකාරයට, මෙය කාලයක් තිස්සේ පැවත එන විවාදයක්.
යේසුස් එක්තරා කන්දක් මත අන් ස්වරූපයකට පත් වූ පසුවත් ප්‍රේරිතයන් ඔවුන් අතරේ උතුම්ම තැනැත්තා කවුද යන්න ගැන වාද කළ බව ඔබට මතක ඇති. ඒ විතරක් නොවෙයි, යාකොබ් හා යොහන් රාජ්‍යයෙහි ප්‍රධාන තැන් ඉල්ලූ පසු ප්‍රේරිතයන් අතර පැවති අමනාපකම් තවත් වැඩි වුණා. දැන් ඔහු සමඟ ගත කරන අන්තිම රාත්‍රියේදීත් ඔවුන් නැවත වරක් වාද කරනවා දකින විට යේසුස් මොන තරම් දුක් වන්න ඇද්ද! ඔහු ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?
ප්‍රේරිතයන් හැසිරෙන ආකාරය පිළිබඳව ඔවුන්ට බැණ වදිනවා වෙනුවට, යේසුස් නැවත වරක් ඉවසිලිවන්තව ඔවුන්ට කරුණු පහදා දෙනවා. “ජාතීන්ගේ රජවරු ඔවුන් කෙරෙහි අනිසි ලෙස බලය පවත්වති. ඔවුන් කෙරෙහි අධිකාරිය ඇත්තන්ව දානපතීන් ලෙස හඳුන්වයි. එහෙත් ඔබ එසේ නොවන්න. . . . වඩා උතුම් කවුද? කෑමට ඉඳගෙන සිටින්නාද නැතහොත් උපස්ථාන කරමින් සිටින්නාද? කෑමට ඉඳගෙන සිටින්නා නොවේද?” ඉන්පසු ඔහු ඔවුන්ට තමාගේ ආදර්ශය ගැන මතක් කර දෙමින් පවසන්නේ මෙසේයි. “නමුත් මම ඔබ අතරේ උපස්ථාන කරන්නා මෙන් සිටිමි.”
ප්‍රේරිතයන් අසම්පූර්ණ වුණත් යේසුස් පරීක්ෂාවලට මුහුණ දුන් විට ඔහුව අත්හැර යනවා වෙනුවට ඔවුන් පක්ෂපාතීව ඔහු සමඟ සිටියා. ඉතිං ඔහු මෙසේ පවසනවා. “මාගේ පියාණන් මා සමඟ ගිවිසුමක් කර තිබෙන්නාක් මෙන්, මම ඔබ සමඟ රාජ්‍යයක් සඳහා ගිවිසුමක් ඇති කරමි.” යේසුස් තම පක්ෂපාතී අනුගාමිකයන් සමඟ පෞද්ගලිකව කරන මේ ගිවිසුම නිසා ඔහු ඔවුන් සමඟ බැඳී සිටින අතර ඔහුගේ රාජකීය ආණ්ඩුවේ පංගුකාරයන් වීමේ ප්‍රස්තාවද ඔවුන්ට හිමි වෙනවා. රාජ්‍යයක් උදෙසා කරන ලද මෙම ගිවිසුම තුළට ගන්නේ 1,44,000දෙනෙක්ව පමණයි.
ප්‍රේරිතයන්ට රාජ්‍ය පාලනයෙහි ක්‍රිස්තුස් සමඟ හවුල් වීමේ මේ පුදුමාකාර ප්‍රස්තාව උදා කර තිබුණත්, ඔවුන් තවමත් සිටින්නේ ආත්මිකව දුර්වල තත්වයකයි. “ඔබ සැමදෙනාම අද රාත්‍රියේ මා ගැන බාධාවට පත් වන්නහුය” කියා යේසුස් පවසනවා. එහෙත්, ඔහු පේතෘස් වෙනුවෙන් යාච්ඤා කළ බව ඔහුට පැවසීමෙන් අනතුරුව උනන්දු කරන්නේ මෙසේයි. “ඔබ හැරුණු පසු ඔබේ සහෝදරයන්ව ශක්තිමත් කරන්න.”
යේසුස් මෙසේ පැහැදිලි කරනවා. “කුඩා දරුවෙනි, මා ඔබ සමඟ සිටින්නේ තව ටික කාලයකි. ඔබ මාව සොයනවා ඇත. ‘මා යන තැනට එන්න ඔබට නොහැක’ කියා මම යුදෙව්වරුන්ට කී ලෙසම දැන් ඔබටද කියමි. මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන්ම ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත.”
එවිට, “ස්වාමිනි, ඔබ යන්නේ කොතැනටද” කියා පේතෘස් අසනවා.
යේසුස් ප්‍රතිචාරය දක්වන්නේ “මා යන තැනට ඔබට දැන්ම මා පසුපස පැමිණිය නොහැක. නමුත් පසුව ඔබ එන්නෙහිය” කියායි.
“ස්වාමිනි, මට දැන්ම ඔබ පසුපස එන්න බැරි ඇයි” කියා පේතෘස් අසනවා. “ඔබ උදෙසා මම මගේ ජීවිතය දෙන්නෙමි.”
“ඔබ මා උදෙසා ඔබේ ජීවිතය දෙන්නෙහිද” කියා යේසුස් අසනවා. “සැබවින්ම මම ඔබට කියමි, අදම, මේ රාත්‍රියේම, කුකුළෙකු දෙවතාවක් හඬලන්න කලින්, ඔබ පවා මා හඳුනන්නේ නැතැයි තුන් වතාවක් කියන්නේය.”
“මට ඔබ සමඟ මැරෙන්න සිදු වුණත්, ඔබව නාඳුනමි කියා කිසිසේත් නොකියමි” කියා පේතෘස් තරයේ කියා සිටිනවා. අනෙක් ප්‍රේරිතයනුත් එලෙසම පවසද්දී පේතෘස් තමා ගැන පුරසාරම් දොඩමින් මෙසේ කියනවා. “අන් හැමදෙනාම බාධාවට පත් වුණත්, මම නම් එසේ නොවන්නෙමි.”
පසුම්බියක්වත් මල්ලක්වත් නොමැතිව ප්‍රේරිතයන්ව ගලීලයේ දේශනා සංචාරයකට යැවූ අවස්ථාව ගැන සඳහන් කරමින් යේසුස් මෙසේ අසනවා. “ඔබට කිසිවක් හිඟ වුණාද?”
ඔවුන් “නැත” යනුවෙන් පිළිතුරු දෙනවා.
“නමුත් දැන්, පසුම්බියක් ඇති තැනැත්තා එයද, කෑම මල්ලක්ද ගන්න. කඩුවක් නැති තැනැත්තා තම පිට වස්ත්‍රය විකුණා කඩුවක් මිලට ගන්න. මන්ද, ‘නීති විරෝධී ක්‍රියා කරන්නන් සමඟ ඔහුවත් ගණන් ගනු ලැබීය’ යි ලියා තිබෙන මේ දේ මා තුළින් ඉටු විය යුතු බව මම ඔබට කියමි. එබැවින් මා සම්බන්ධයෙන් ලියා තිබෙන දේ දැන් ඉටු වන්නේය.”
යේසුස් කතා කරමින් සිටින්නේ දුෂ්ටයන් හෝ නීති විරෝධී ක්‍රියා කරන අය සමඟ ඔහුව ඇණ ගැසීමට යන අවස්ථාව ගැනයි. ඔහුගේ අනුගාමිකයන්ට ඉන්පසු කුරිරු පීඩාවලට මුහුණ දීමට සිදු වන බවත් ඔහු අඟවමින් සිටිනවා. “ස්වාමිනි, මෙන්න! කඩු දෙකක් මෙහි තිබේ” කියා ඔවුන් කියනවා.
“එය සෑහේ” කියා ඔහු පිළිතුරු දෙනවා. අප පසුව දකින්න යන පරිදි, ඔවුන් ගාව කඩු දෙකක් තිබෙන නිසා තවත් වැදගත් පාඩමක් ඉගැන්වීමට යේසුස්ට පුළුවන් වෙනවා. මතෙව් 26:31-35; මාක් 14:27-31; ලූක් 22:24-38; යොහන් 13:31-38; එළිදරව් 14:1-3; NW.
▪ ප්‍රේරිතයන්ගේ විවාදය එතරම් පුදුමසහගත වන්නේ මන්ද?
▪ යේසුස් විවාදය නිරාකරණය කරන්නේ කෙසේද?
▪ තම ගෝලයන් සමඟ යේසුස් ඇති කරගන්නා ගිවිසුමෙන් කුමක් ඉටු වේද?
▪ යේසුස් දෙන අලුත් ආඥාව කුමක්ද? එය කොපමණ වැදගත්ද?
▪ පේතෘස් පමණට වඩා ආත්ම විශ්වාසයක් විදහා පෙන්වන්නේ කෙසේද? යේසුස් ඒ ගැන කුමක් පවසයිද?
▪ පසුම්බියක් හා කෑම මල්ලක් ගෙන යෑම සම්බන්ධයෙන් යේසුස් කලින් දුන් උපදෙස්වලට වඩා දැන් දෙන උපදෙස් වෙනස් වන්නේ මන්ද?
-
-
සමුගැනීමට පෙර ප්‍රේරිතයන්ව සූදානම් කිරීමමෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
-
-
116වෙනි පරිච්ඡේදය
සමුගැනීමට පෙර ප්‍රේරිතයන්ව සූදානම් කිරීම
සිහි කිරීමේ භෝජනය අනුභව කර හමාරයි. එහෙත් යේසුස් සහ ඔහුගේ ගෝලයන් තවමත් සිටින්නේ උඩුමහල් කාමරය තුළයි. යේසුස් තව ටික වේලාවකින් ඔවුන්ගෙන් සමුගැනීමට යන නමුත් ඔහුට තවත් බොහෝ දේ කීමට තිබෙනවා. ඔහු ඔවුන්ව සනසමින් පවසන්නේ, “ඔබේ සිත් කැලඹීමට ඉඩ නොදෙන්න. දෙවි කෙරෙහි ඇදහිල්ල පෙන්වන්න” කියායි. “මා කෙරෙහිද ඇදහිල්ල පෙන්වන්න” කියාද ඔහු පවසනවා.
ඔහු තවදුරටත් කියා සිටින්නේ මෙසේයි. “මාගේ පියාණන්ගේ ගෘහයෙහි බොහෝ වාසස්ථාන තිබේ. . . . මා යන්නේ ඔබ සඳහා ස්ථානයක් සූදානම් කිරීමටය. . . . [ඒ] මා සිටින තැන ඔබත් සිටින [පිණිසයි.] . . . මා යන ස්ථානයට මඟ ඔබ දන්නහුය.” යේසුස් කතා කරමින් සිටින්නේ ස්වර්ගයට යෑම පිළිබඳවයි කියා ප්‍රේරිතයන්ට වැටහෙන්නේ නැහැ. ඉතිං තෝමස් මෙසේ අසනවා. “ස්වාමිනි, ඔබ කොතැනට යනවාදැයි අපි නොදනිමු. අප කොහොමද ඒ මඟ දන්නේ?”
යේසුස් පිළිතුරු දෙන්නේ මෙසේයි. “මාර්ගයද සත්‍යයද ජීවනයද මමය.” ඇත්තෙන්ම, යමෙකුට පියාණන්ගේ ස්වර්ගික ගෘහයට ඇතුල් වීමට හැකි වන්නේ යේසුස්ව පිළිගැනීමෙන් හා ඔහුගේ ජීවන මඟ අනුකරණය කිරීමෙන් පමණයි. මන්ද යේසුස් පවසන පරිදි “මා තුළින් මිස කිසිවෙක් පියාණන් වෙතට පැමිණෙන්නේ නැත.”
ෆිලිප් දැන් මෙසේ ඉල්ලා සිටිනවා. “ස්වාමිනි, අපට පියාණන්ව පෙන්වන්න. එය අපට සෑහේ.” අතීතයේදී දර්ශන මාර්ගයෙන් මෝසෙස්, එලියා සහ යෙසායා දෙවිගේ තේජස දැක තිබුණා. ඒ ආකාරයෙන්ම දෙවිව පෙන්වා දෙන්න කියා ෆිලිප් යේසුස්ගෙන් ඉල්ලා සිටින බව පැහැදිලියි. එහෙත්, ප්‍රේරිතයන්ට එවැනි දර්ශනවලට වඩා විශිෂ්ට යමක් තිබෙනවා. යේසුස් එය පැහැදිලි කරන්නේ මෙසේයි. “ෆිලිප්, මා මෙපමණ කලක් ඔබ සියල්ලන් සමඟ සිටලාත්, ඔබ මාව හඳුනන්නේ නැද්ද? මාව දැක ඇති තැනැත්තා පියාණන්වද දැක තිබේ.”
යේසුස් තම පියාගේ පෞද්ගලිකත්වය කොයි තරම් පරිපූර්ණ ආකාරයකින් පිළිබිඹු කරනවාද කිව්වොත් ඔහු සමඟ ජීවත් වීම හා ඔහුගේ ක්‍රියා නිරීක්ෂණය කිරීම හරියට ඔහුගේ පියාව දුටුවා හා සමානයි. එහෙත් පියා පුත්‍රයාට වඩා උතුම් කියා යේසුස්ම පිළිගන්නවා. “මා ඔබ සැමට කියන දේවල් මා කියන්නේ මාගේම අදහසකට අනුව නොවේ” කියාත් ඔහු පවසනවා. යේසුස් ඉතා යෝග්‍ය ලෙස තම ඉගැන්වීම් වෙනුවෙන් ලැබෙන සෑම ගෞරවයක්ම ලබා දෙන්නේ තම ස්වර්ගික පියාටයි.
“මා කෙරෙහි ඇදහිල්ල පෙන්වන්නා මා කරන ක්‍රියාද කරන්නේය; . . . ඔහු මීටත් වඩා මහත් ක්‍රියාද කරන්නේය” කියා යේසුස් පවසද්දී ප්‍රේරිතයන් කොයි තරම් දිරිගැන්වීමක් ලබන්න ඇද්ද! යේසුස් මෙයින් අදහස් කරන්නේ ආශ්චර්යයන් සිදු කිරීමට ඔහුට වඩා වැඩි බලයක් ඔහුගේ අනුගාමිකයන්ට ලැබෙන බව නොවෙයි. ඒ වෙනුවට ඔහු පෙන්වා දෙන්නේ, ඔහුට වඩා වැඩි කාලයක් දේවසේවයේ යෙදී සිටින්නත් ඊට වඩා විශාල ප්‍රදේශයක් පුරා පණිවිඩය පතළ කරන්නත් වැඩි පිරිසක් වෙතට එළඹෙන්නත් ඔවුන් සමත් වන බවයි.
යේසුස් සමුගත් පසු තම ගෝලයන්ව අත්හරින්නේ නැහැ. ඔහු මෙසේ පොරොන්දු වෙනවා. “ඔබ මාගේ නාමයෙන් ඉල්ලන ඕනෑම දෙයක් . . . මම ඉටු කරන්නෙමි.” ඔහු තවදුරටත් මෙසේ පවසනවා. “මම පියාණන්ගෙන් ඉල්ලන්නෙමි. එවිට ඔබ සමඟ සදහටම සිටින වෙනත් උපකාරකයෙකුව ඔහු ඔබට දෙන්නේය. ඒ සත්‍යතාවේ ආත්මයය.” ස්වර්ගයට ගිය පසු යේසුස් මෙම අනිත් උපකාරකයා වන ශුද්ධාත්මය තම ගෝලයන් මත වගුරුවනවා.
යේසුස් වැඩි කල් යන්න කලින් තම ගෝලයන්ගෙන් සමුගන්නා බව අඟවමින් පවසන්නේ මෙසේයි. “තව කෙටි කලකින් පසු ලෝකය මාව තවත් නොදකියි.” යේසුස් කිසි මිනිසෙකුට දැකිය නොහැකි ආත්ම ජීවියෙක් බවට පත්වීමට නියමිතයි. එහෙත් නැවත වරක් යේසුස් තම විශ්වාසවන්ත ප්‍රේරිතයන්ට පොරොන්දු වන්නේ මෙලෙසයි. “නමුත් ඔබ මාව දකිනවා ඇත. මන්ද, මමත් ඔබත් ජීවත්ව සිටින්නෙමු.” යේසුස්ගේ නැවත නැඟිටීමෙන් පසු ඔහුව මනුෂ්‍ය ස්වභාවයෙන් ඔවුන්ට දැකගත හැකි වෙනවා පමණක් නොව, යථා කාලයේදී ආත්ම ජීවීන් වශයෙන් ඔහු සමඟ ස්වර්ගික ජීවිතයක් භුක්ති විඳීමට හැකි වන පිණිස ඔහු ඔවුන්ව නැවත නැඟිටුවනවා.
යේසුස් දැන් මෙම සරල ප්‍රතිපත්තිය සඳහන් කරනවා. “මාගේ ආඥා ලැබී ඇති තැනැත්තා ඒවා පවත්වනවා නම්, මට ප්‍රේම කරන්නේ ඔහුය. තවද, මට ප්‍රේම කරන්නාට මාගේ පියාණන් ප්‍රේම කරන අතර, මමද ඔහුට ප්‍රේම කොට, ඔහුට පැහැදිලිව ප්‍රකාශ වන්නෙමි.”
මෙහිදී තදියස් ලෙසත් හඳුන්වන ප්‍රේරිත යූදස් කතාවට බාධා කරමින් මෙසේ අසනවා. “ස්වාමිනි, ඔබ ලෝකයට ප්‍රකාශ නොවී අපට පැහැදිලිව ප්‍රකාශ වීමට හේතුව කුමක්ද?”
එවිට යේසුස් පිළිතුරු දෙන්නේ මෙසේයි. “යමෙක් මට ප්‍රේම කරනවා නම්, ඔහු මාගේ වචනය පවත්වන්නේය. මාගේ පියාණන් ඔහුට ප්‍රේම [කරන්නේය.] . . . මට ප්‍රේම නොකරන්නා මාගේ වචන පවත්වන්නේ නැත.” ඔහුගේ කීකරු අනුගාමිකයන්ට වඩා වෙනස්ව ලෝකයා ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් නොසලකා හරිනවා. ඒ නිසා ඔහු ලෝකයාට ප්‍රකාශ නොවෙයි.
මිහිපිට තම දේවසේවය කරගෙන යද්දී, යේසුස් තම ප්‍රේරිතයන්ට බොහෝ දේවල් ඉගැන්නුවා. එහෙත් ඔවුන්ට උගන්වා ඇති බොහෝ දේවල් මේ වන විටත් වටහාගැනීමට නොහැකි වූවා නම්, ඔවුන් යේසුස්ගේ සෑම ඉගැන්වීමක්ම මතකයේ රඳවාගන්නේ කොහොමද? යේසුස් මෙසේ පොරොන්දු වීම ඇත්තෙන්ම සතුටට කරුණක්. “මාගේ නාමයෙන් පියාණන් එවන උපකාරකයා, එනම් ශුද්ධාත්මය, ඔබට සියල්ල උගන්වා, මා ඔබට පැවසූ සියල්ල ඔබට සිහි කරවන්නේය.”
නැවත වරක් ඔවුන්ව සනසමින් යේසුස් මෙසේ පවසනවා. “මම ඔබට සමාදානය තබා යමි. මාගේ සමාදානය ඔබට දෙන්නෙමි. . . . ඔබේ සිත් කැලඹෙන්න . . . ඉඩ නොදෙන්න.” යේසුස් ඔවුන්ගෙන් සමුගන්නා බව ඇත්තයි. නමුත් ඔහු පැහැදිලි කරන පරිදි, “ඔබ මට ප්‍රේම කළා නම්, මා පියාණන් වෙතට යන බැවින් ඔබ ප්‍රීති වන්නහුය. මන්ද, පියාණන් මට වඩා උතුම්ය.”
ඔවුන් සමඟ ගත කිරීමට යේසුස්ට ඉතිරිව ඇත්තේ කෙටි කාලයක් පමණයි. “තවදුරටත් මම ඔබ සමඟ බොහෝ දේ කතා නොකරමි” කියා ඔහු පවසනවා. මන්ද, “ලෝකයේ පාලකයා එන්නේය. ඔහුට මා කෙරෙහි බලයක් නැත.” මේ ලෝකයේ පාලකයා වන්නේ යූදස්ගේ සිතට ඇතුල් වී ඔහු කෙරෙහි බලපෑම් කිරීමට හැකි වූ සාතන් නමැති යක්ෂයායි. එහෙත් යේසුස් තුළ මොනම ආකාරයේ පව්කාරකමක්වත් දුර්වලකමක්වත් නැති නිසා, දෙවිට කරන සේවය අත්හැරීමට යේසුස්ව පෙලඹවීම සඳහා සාතන්ට කිසිම දෙයක් කළ නොහැකියි.
කුලුපග සබඳතාවක් භුක්ති විඳීම
සිහි කිරීමේ භෝජනය අනුභව කිරීමෙන් පසු, යේසුස් තම ප්‍රේරිතයන්ගේ හදවතටම කතා කරමින් ඔවුන්ව දිරිගැන්වූවා. දැන් සමහරවිට මැදියම් රාත්‍රියත් ඉකුත් වී ඇති. ඒ නිසා යේසුස් උනන්දු කරන්නේ, “නැඟිටින්න, අපි මෙතැනින් යමු” කියායි. එහෙත් එතැනින් නැඟිට යෑමට පෙර යේසුස් ඔවුන් කෙරෙහි තමාට ඇති ප්‍රේමයෙන් පෙලඹී ඔවුන්ට දිරිගන්වනසුලු උපමාවක් කියා දෙමින් දිගටම කතා කරනවා.
ඔහු එය අරඹන්නේ මෙසේයි. “සැබෑ මිදිවැල මමය. වැවිලිකරු මාගේ පියාණන්ය.” ශ්‍රේෂ්ඨ වැවිලිකරු වන යෙහෝවා දෙවි මෙම සංකේතවත් මිදිවැල පැළ කළේ ක්‍රි.ව. 29 ශරත් ඍතුවේදීයි. එනම්, යේසුස් බව්තීස්ම වී ඔහුව ශුද්ධාත්මයෙන් අභිෂේක කරනු ලැබූ අවස්ථාවේදීයි. නමුත් මිදිවැලෙන් නියෝජනය කරන්නේ තමාව විතරක් නොවෙයි කියා යේසුස් පෙන්නුම් කරනවා. “මා තුළ ඇති, පල නොදරන සෑම අත්තක්ම ඔහු ඉවත් කරන්නේය. නමුත් පල දරන සෑම අත්තක්ම, වැඩියෙන් පල දරන පිණිස ඔහු පවිත්‍ර කරන්නේය. . . . අත්ත මිදිවැලෙහිම පැවතී පල දරනවා මිස, තනිව පල දරන්න බැරුවාක් මෙන්, ඔබ මා සමඟ එකඟත්වයෙන් සිටින්නේ නැත්නම්, ඔබටත් පල දරන්න නොහැකිය. මිදිවැල මමය, අතු ඔබය.”
දවස් 51කට පසුව පෙන්තකොස්ත දවසේදී, ප්‍රේරිතයන් හා වෙනත් ගෝලයන් මත ශුද්ධාත්මය වගුරුවන විට ඔවුන් මිදිවැලේ අතු බවට පත් වෙනවා. කල් යත්ම, මෙම සංකේතවත් මිදිවැලේ අතු බවට පත් වන සංඛ්‍යාව 1,44,000ක්. කඳ වන යේසුස් ක්‍රිස්තුස්ගෙන් සහ මොවුන්ගෙන් සමන්විත මෙම සංකේතවත් මිදිවැල දෙවිගේ රාජ්‍යය උදෙසා පල දරනවා.
පල දැරීමේ රහස යේසුස් පැහැදිලි කරන්නේ මේ ආකාරයටයි. “යමෙක් මා සමඟ එකඟත්වයෙන් සිටින්නේද, මා ඔහු සමඟ එකඟත්වයෙන් සිටින්නේද, ඔහු බොහෝ පල දරයි. මන්ද, මාගෙන් වෙන්ව ඔබට කිසිවක් කළ නොහැක.” එහෙත් යමෙකු පල දැරීමට අසමත් වුණොත්, “ඔහු අත්තක් මෙන් ඉවත දමනු ලැබ වියළී යයි. මිනිසුන් ඒ අතු එකතු කර ගින්නට හෙළූ විට, ඒවා දැවී යන්නේය” කියා යේසුස් පවසනවා. අනෙක් අතට යේසුස් මෙවන් පොරොන්දුවක් දෙනවා. “ඔබ මා සමඟ එකඟත්වයෙන් සිටිනවා නම්, මාගේ වදන් ඔබ තුළ පවතිනවා නම්, ඔබ කැමති ඕනෑම දෙයක් ඉල්ලන්න. එය ඔබට ලැබෙන්නේය.”
යේසුස් තම ප්‍රේරිතයන්ට මෙසේද පවසනවා. “ඔබ බොහෝ පල දරමින් මාගේ ගෝලයන් බව ඔප්පු කිරීම තුළින් මාගේ පියාණන්ව මහිමයට පමුණුවන්නේය.” ක්‍රිස්තුස්ට තිබුණා වූ ගුණාංග අතුද විදහා පාවී කියා දෙවි අපේක්ෂා කරනවා. මේ අතුරින් ඔහු විශේෂයෙන්ම අපේක්ෂා කරන්නේ ප්‍රේමය නමැති ගුණාංගයයි. මීට අමතරව, ක්‍රිස්තුස් දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරන්නෙකු වූ බැවින්, ක්‍රිස්තුස් මෙන් ඔවුන්ද ගෝලයන් සෑදීමේ කාර්යයෙහි නිරත විය යුතුයි. ඔවුන්ගෙන් අපේක්ෂා කරන පලවලට එයද අයත් වෙනවා.
යේසුස් දැන් උනන්දු කරන්නේ, “මාගේ ප්‍රේමයෙහි පවතින්න” කියායි. එහෙත්, ප්‍රේරිතයන්ට එසේ කළ හැක්කේ කෙසේද? “ඔබ මාගේ ආඥා පවත්වනවා නම්, ඔබත් මාගේ ප්‍රේමයෙහි පවතිනවා ඇත” යනුවෙන් පැහැදිලි කරමින් යේසුස් තවදුරටත් මෙසේ කියනවා. “මාගේ ආඥාව මෙයයි. එනම්, මා ඔබට ප්‍රේම කළාක් මෙන්ම, ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. යමෙකු තම මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දෙනවාට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැත.”
තව පැය කිහිපයකින්, ඔහුගේ ප්‍රේරිතයන් මෙන්ම ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සියලුදෙනාම උදෙසා තම ජීවිතය දීමෙන් යේසුස් මෙම උතුම් ප්‍රේමය විදහා පෙන්වනවා. ඔහු තැබූ ආදර්ශය මගින් එකිනෙකාට එවැනිම ආත්ම පරිත්‍යාගී ප්‍රේමයක් පෙන්වීමට ඔහුගේ අනුගාමිකයන් පෙලඹිය යුතුයි. යේසුස් කලින් සඳහන් කළ පරිදි “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත.” එබැවින් මෙම ප්‍රේමය ඔවුන්ව හඳුනාගැනීමේ ලක්ෂණයක් බවට පත් වෙනවා.
තම මිතුරන් කවුදැයි පැහැදිලි කරමින්, යේසුස් මෙසේ පවසනවා. “මා ඔබට අණ කරන දේ ඔබ කරනවා නම් ඔබ මාගේ මිත්‍රයෝ වන්නහුය. මෙතැන් පටන් මම ඔබට දාසයන්යයි නොකියමි. මන්ද, දාසයෙක් තම ස්වාමියා කරන්නේ කුමක්දැයි දන්නේ නැත. නමුත් මම මාගේ පියාණන්ගෙන් ඇසූ සියල්ල ඔබට දන්වා තිබෙන හෙයින්, ඔබට මිත්රයන්යයි කියන්නෙමි.”
යේසුස්ගේ කුලුපග මිතුරන් වෙන්න ලැබීම මොන තරම් අනර්ඝ වරප්‍රසාදයක්ද! නමුත් මෙම සබඳතාව දිගටම භුක්ති විඳීමට නම් ඔහුගේ ගෝලයන් ‘දිගටම පල දරමින්’ සිටිය යුතුයි. ඔවුන් එසේ කළොත්, “ඔබ මාගේ නාමයෙන් පියාණන්ගෙන් ඉල්ලන ඕනෑම දෙයක් ඔහු ඔබට දෙනවා ඇත” යනුවෙන් යේසුස් පවසනවා. රාජ්‍යයේ පල දැරීම වෙනුවෙන් ලැබෙන එම දීමනාව ඇත්තෙන්ම උදාර එකක් නොවේද! ‘එකිනෙකාට ප්‍රේම කිරීමට’ නැවත වරක් ප්‍රේරිතයන්ට උනන්දු කිරීමෙන් අනතුරුව ලෝකයා ඔවුන්ට වෛර කරන බව යේසුස් පැහැදිලි කරනවා. එහෙත්, ඔහු ඔවුන්ව සනසමින් පවසන්නේ මෙසේයි. “ලෝකය ඔබට වෛර කරනවා නම්, ඔබට වෛර කරන්න කලින් එය මට වෛර කළ බව ඔබ දන්නහුය.” තම අනුගාමිකයන්ට ලෝකයා වෛර කරන්නේ ඇයි කියා යේසුස් ඊළඟට පැහැදිලි කරනවා. “ඔබ ලෝකයේ කොටසක් නොවන නිසාත්, මා ඔබව ලෝකයෙන් වෙන් කොට තෝරාගෙන තිබෙන නිසාත්, ලෝකය ඔබට වෛර කරන්නේය.”
ලෝකයාගේ වෛරයට හේතුව තවදුරටත් පැහැදිලි කරමින් යේසුස් මෙසේ පවසනවා. “ඔවුහු මාව එවූ තැනැත්තාව [යෙහෝවා දෙවිව] නාඳුනන හෙයින්, මාගේ නාමය නිසා ඔබට විරුද්ධව මේ සියල්ල කරන්නෝය.” ඇත්තෙන්ම, යේසුස්ගේ ආශ්චර්යවත් ක්‍රියා මගින් ඔහුට වෛර කරන අය වරදකරුවන් බව ඔප්පු වෙනවා. ඒ ගැන යේසුස් මෙසේ කියනවා. “වෙන කිසිවෙකු විසින් නොකළ ක්‍රියා මා ඔවුන් අතරේ නොකළා නම්, ඔවුන්ට කිසි පාපයක් නැත. නමුත් දැන් ඔවුහු මාගේ ක්‍රියා දැක, මටද පියාණන්ටද වෛර කළෝය.” මෙසේ, යේසුස් පවසන ආකාරයට, “ඔවුහු කිසි හේතුවක් නැතිව මට වෛර කළෝය” යන ශුද්ධ ලියවිලිමය අනාවැකිය ඉටු වී තිබෙනවා.
ඔහු කලින් කළාක් මෙන්, උපකාරකයා වන දෙවිගේ ප්‍රබල ක්‍රියාකාරික බලය හෙවත් ශුද්ධාත්මය එවීමට පොරොන්දු වීමෙන් යේසුස් නැවත වරක් ඔවුන්ව සනසනවා. “ඒ තැනැත්තා මා ගැන සාක්ෂි දරනවා ඇත. තවද, . . . ඔබත් සාක්ෂි දැරිය යුතුය.”
සමුගැනීමට කලින් තවත් අවවාද
යේසුස් හා ප්‍රේරිතයන් දැන් උඩුමහල් කාමරයෙන් පිටත්ව යෑමට සූදානම්. ඔහු තවදුරටත් මෙසේ පවසනවා. “මේ දේවල් මා ඔබට පැවසුවේ ඔබ බාධාවට පත් නොවන පිණිසය.” ඊළඟට සැහැල්ලුවට නොගත යුතු අනතුරු ඇඟවීමක් දෙමින් ඔහු මෙසේ පවසනවා. “මිනිසුන් ඔබව සිනගෝගයෙන් නෙරපා දමනු ඇත. ඇත්තෙන්ම ඔබව මරණයට පත් කරන සැමදෙනා, එය තමන් විසින් දෙවිට කරන පරිශුද්ධ සේවයක්යයි සිතන පැය පැමිණෙන්නේය.”
මෙම අවවාදයෙන් ප්‍රේරිතයන් මහත් සේ කැලඹෙන බව පැහැදිලියි. ඔවුන්ට ලෝකයා වෛර කරන බව යේසුස් කලින් පවසා තිබුණත් ඔවුන්ව මරණයට පත් කරන බව මෙතරම් ඍජු ලෙස යේසුස් ප්‍රකාශ කර තිබුණේ නැහැ. “මා ඔබට [මේ ගැන] මුලින්ම නොපැවසුවේ, මා ඔබ සමඟ සිටි නිසාය” කියා යේසුස් පැහැදිලි කරනවා. එහෙත් සමුගැනීමට පෙර මේ ගැන පවසමින් අනාගතය සඳහා ඔවුන්ව සූදානම් කිරීම මොන තරම් කාරුණික දෙයක්ද!
යේසුස් තවදුරටත් මෙසේ පවසනවා. “දැන් මම, මාව එවූ තැනැත්තා වෙතට යන්නෙමි. එහෙත්, ‘ඔබ යන්නේ කොතැනටද?’ කියා ඔබෙන් කිසිවෙක් මාගෙන් අසන්නේ නැත.” මීට ටිකකට කලින්, ඔහු යන්නේ කොතැනටද කියා ඔවුන් අසා තිබුණා. එහෙත් දැන් ඔහු පැවසූ දෙයින් ඔවුන් කොතරම් කැලඹී ඇද්ද යත් ඔවුන් ඒ ගැන තවදුරටත් ප්‍රශ්න කරන්නේ නැහැ. යේසුස් පවසන පරිදි, “මා මේ දේවල් ඔබට කී බැවින් ඔබේ සිත් ශෝකයෙන් පිරී තිබේ.” ප්‍රේරිතයන් ශෝකයට පත් වී සිටින්නේ ඔවුන්ට දැඩි පීඩාවලට මුහුණ දීමට සිදු වන බවත් ඔවුන්ව මරණයට පත් කරනු ලබන බවත් ඔවුන් දැනගෙන සිටින නිසයි. ඒ විතරක් නොවෙයි, ඔවුන්ගේ ස්වාමියා ඔවුන්ව අත්හැර යන නිසාත් ඔවුන් ශෝකයෙන් සිටිනවා.
ඉතිං යේසුස් මෙසේ පැහැදිලි කරනවා. “මා පිටත්ව යන්නේ ඔබේම ප්‍රයෝජනය සඳහාය. මන්ද, මා පිටත්ව නොගියොත්, උපකාරකයා ඔබ වෙතට කිසිසේත් පැමිණෙන්නේ නැත. නමුත් මම යන්නේ නම්, ඔහුව ඔබ වෙතට එවන්නෙමි.” මනුෂ්‍යයෙකු වශයෙන්, යේසුස්ට එකම වේලාවක සිටිය හැක්කේ එක තැනක පමණයි. එහෙත් ඔහු ස්වර්ගයෙහි සිටින විට, ඔහුගේ අනුගාමිකයන් පොළොවේ කොතැනක සිටියත් උපකාරකයා හෙවත් දෙවිගේ ශුද්ධාත්මය ඔවුන් වෙතට එවන්න ඔහුට පුළුවන්. ඉතිං යේසුස් පිටත්ව යෑම ප්‍රයෝජනදායක දෙයක්.
ශුද්ධාත්මය “පාපය ගැනත්, ධර්මිෂ්ඨකම ගැනත්, විනිශ්චය ගැනත් ඒත්තුගන්වනසුලු සාක්ෂි ලෝකයට දෙන්නේය” කියා යේසුස් පවසනවා. දෙවිගේ පුත්‍රයා කෙරෙහි ඇදහිල්ල පෙන්වීමට අසමත් වීම නම් වූ ලෝකයේ පාපය හෙළි කිරීමට නියමිතයි. මීට අමතරව, යේසුස් ස්වර්ගයට නැඟ පියා වෙතට යන විට යේසුස්ගේ ධර්මිෂ්ඨකම පිළිබඳව නිසැක සාක්ෂි ඉදිරිපත් වෙනවා. ඒ වගේම, යේසුස්ගේ අඛණ්ඩතාව බිඳ හෙළීමට සාතන් සහ ඔහුගේ දුෂ්ට ලෝකය අසමත් වී තිබීම, මේ ලෝකයේ අධිපතියාට දරුණු විනිශ්චයක් ලැබී ඇති බවට ඒත්තුගන්වනසුලු සාක්ෂියක්.
යේසුස් තවදුරටත් පවසන්නේ මෙසේයි. “ඔබට කියන්න තව බොහෝ දේ මට තිබේ. නමුත් දැන් ඒවා දරන්න ඔබට නොහැක.” ඒ නිසා, යේසුස් පොරොන්දු වන්නේ ඔහු දෙවිගේ ක්‍රියාකාරී බලය වන ශුද්ධාත්මය වගුරුවන විට ඔවුන්ගේ තේරුම්ගැනීමේ හැකියාවන්ට අනුව මෙම කාරණා වටහාගැනීමට ශුද්ධාත්මය ඔවුන්ට මඟ පෙන්වන බවයි.
යේසුස් මිය යෑමෙන් අනතුරුව නැවත නැඟිටින බවත් ඉන්පසු ඔවුන්ට නැවත දැකගන්න ලැබෙන බවත් ප්‍රේරිතයන්ට විශේෂයෙන්ම වටහාගත නොහැකියි. ඉතිං ඔවුන් එකිනෙකාගෙන් මෙසේ අසාගන්නවා. “‘තව කෙටි කලකින් පසු ඔබ මාව දකින්නේ නැත. එහෙත් තව කෙටි කලකින් පසු නැවතත් ඔබට මාව පෙනෙනවා ඇත’ කියාත්, ‘මන්ද මම පියාණන් වෙතට යන්නෙමි’ කියාත් ඔහු අපට කියන මේ දෙයින් අදහස් කරන්නේ කුමක්ද?”
මේ පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කිරීමට ඔවුන්ට අවශ්‍ය බව තේරුම්ගනිමින් යේසුස් මෙසේ පැහැදිලි කරනවා. “සැබවින්ම මම ඔබට කියමි, ඔබ හඬා වැලපෙන්නහුය. නමුත් ලෝකය ප්‍රීති වන්නේය. ඔබ ශෝකයෙන් සිටින්නහුය. නමුත් ඔබේ ශෝකය ප්‍රීතියට හැරෙනු ඇත.” එදිනම දහවල් කාලයේ, යේසුස්ව මරණයට පත් කරන විට, ලෝකයට අයත් ආගමික නායකයන් ප්‍රීති වෙනවා. එහෙත් ගෝලයන් ශෝක වෙනවා. නමුත්, යේසුස් නැවත නැඟුටුවනු ලබන විට ඔවුන්ගේ ශෝකය ප්‍රීතියට හැරේ! තවද ඔහු පෙන්තකොස්ත දවසේදී ඔවුන් පිට දෙවිගේ ශුද්ධාත්මය වගුරුවමින් ඔහුගේ සාක්ෂිකරුවන් වීමට බලතල දෙන විට ඔවුන්ගේ ප්‍රීතිය දිගටම පවතී!
ප්‍රේරිතයන්ගේ තත්වය ප්‍රසව වේදනාව විඳින ස්ත්‍රියකට සමාන කරමින් යේසුස් මෙසේ පවසනවා. “ස්ත්‍රියක් දරුවෙකු බිහි කරද්දී, ඇගේ පැය පැමිණ තිබෙන නිසා ශෝකයෙන් සිටින්නීය.” එහෙත් ඇගේ දරුවා උපන් කල ඇයට තවදුරටත් එම වේදනාව මතක් නොවන බව යේසුස් පෙන්වා දෙමින් ගෝලයන්ව මෙසේ දිරිගන්වනවා. “එබැවින් ඇත්තෙන්ම ඔබත් දැන් ශෝකයෙන් සිටින්නහුය. නමුත් [මාව නැවත නැඟිටුවනු ලබන විට] මම ඔබව නැවත දකින්නෙමි. එවිට ඔබේ සිත් ප්‍රීති වන්නේය. ඔබේ ප්‍රීතියද කිසිවෙක් ඔබෙන් පැහැර නොගන්නේය.”
මේ වන තෙක්, ප්‍රේරිතයන් යේසුස්ගේ නාමයෙන් කිසිවක් ඉල්ලා නැහැ. එහෙත් දැන් ඔහු මෙසේ කියනවා. “ඔබ පියාණන්ගෙන් ඉල්ලන ඕනෑම දෙයක් ඔහු මාගේ නාමයෙන් ඔබට දෙන්නේය. . . . මන්ද, පියාණන්ටද ඔබ කෙරෙහි සෙනෙහසක් තිබේ. මන්දයත්, ඔබ මා කෙරෙහි සෙනෙහසක් ඇතිව සිටියා සේම, මා පියාණන්ගේ නියෝජිතයා ලෙස ඔහු වෙතින් පැමිණි බව ඔබ විශ්වාස කළහුය. මම පියාණන් වෙතින් ලෝකයට පැමිණියෙමි. දැන් මම ලෝකය අත්හැර පියාණන් වෙතට යන්නෙමි.”
යේසුස්ගේ වචනවලින් ප්‍රේරිතයන් බොහෝ සෙයින් දිරිගැන්වෙනවා. ඒ නිසා, “ඔබ දෙවි වෙතින් පැමිණි බව අපි විශ්වාස කරමු” යයි ඔවුන් පවසන විට යේසුස් පවසන්නේ මෙසේයි. “ඔබ මේ වෙලාවේ විශ්වාස කරනවාද? බලන්න! ඔබ සැමෝම තම තමාගේ ගෙට විසිර ගොස්, මාව තනි කර දමන පැය පැමිණෙන්නේය.” අදහාගත නොහැකි ලෙස, රාත්‍රිය අවසන් වීමට පෙර මෙය සිදු වෙනවා!
“මා ඔබට මේ දේවල් පැවසුවේ මා මාර්ගයෙන් ඔබට සාමය ලැබෙන පිණිසය.” යේසුස් අන්තිම වශයෙන් ඔවුන්ට පවසන්නේ මෙසේයි. “ලෝකයෙහි ඔබට පීඩා තිබේ. නමුත් ධෛර්යවත් වන්න! මම ලෝකයෙන් ජයගත්තෙමි.” සාතන් හා ඔහුගේ ලෝකය යේසුස්ගේ අඛණ්ඩතාව බිඳීමට කළ හැකි සෑම දෙයක්ම කළත් දෙවිගේ කැමැත්ත විශ්වාසවන්තව ඉටු කිරීමෙන් යේසුස් ලෝකයෙන් ජයගත්තා.
උඩුමහල් කාමරයේ අවසන් යාච්ඤාව
සුළු මොහොතකින් යේසුස් තම ප්‍රේරිතයන්ගෙන් සමුගැනීමට නියමිතයි. ඔහු ප්‍රේරිතයන්ව ඒ සඳහා සූදානම් කරන්නේ ඔවුන් කෙරෙහි ඇති ගැඹුරු ප්‍රේමය නිසයි. ඔවුන්ට අවවාද දීමටත් ඔවුන්ව සැනසීමටත් ඔහු පැය කිහිපයක්ම ගත කර තිබෙනවා. දැන් ඔහු ස්වර්ගය දෙස බලමින් තම පියාට කන්නලව් කරන්නේ මෙලෙසයි. “ඔබේ පුත්‍රයා ඔබව මහිමයට පමුණුවන පිණිස, ඔබේ පුත්‍රයාව මහිමයට පමුණුවන්න. ඔබ විසින් ඔහුට දෙන ලද සියල්ලන්ට ඔහු සදාකාල ජීවනය දෙන පිණිස මුළු මනුෂ්‍යවර්ගයා කෙරෙහි අධිකාරිය ඔබ ඔහුට දුන්නේය.”
යේසුස් මෙහිදී ගෙනහැර දක්වන කාරණය මොන තරම් උනන්දුව දනවන එකක්ද! සදාකාල ජීවනය! යේසුස්ට “මුළු මනුෂ්‍යවර්ගයා කෙරෙහි අධිකාරිය” දී තිබෙන නිසා මිය යමින් සිටින මිනිසා වෙතට තම මිදීමේ පූජාවේ ප්‍රයෝජන දානය කළ හැකියි. එහෙත්, ඔහු “සදාකාල ජීවනය” ප්රදානය කරන්නේ පියාණන් අනුමත කරන අයට පමණයි. සදාකාල ජීවනය යන විෂය පදනම් කරමින් යේසුස් මෙසේ යාච්ඤා කරනවා.
“සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.” ඔව්, අපේ ගැලවීම රඳා පවතින්නේ දෙවි හා ඔහුගේ පුත්‍රයා පිළිබඳ දැනුම ලබාගැනීම මතයි. එහෙත් නිකම්ම දැනුම රැස් කිරීමට වඩා වැඩි යමක් මින් අදහස් වෙනවා.
ඒ දෙදෙනා පිළිබඳව ඉතා හොඳින් දැනහඳුනා ගත යුතු අතර ඔවුන් පිළිබඳව හොඳ අවබෝධයකින් යුක්තව ඔවුන් සමඟ මිත්‍රත්වයක් ගොඩනැඟීම මීට ඇතුළත් වෙනවා. ඔවුන්ට හැඟෙන ආකාරයෙන්ම හැඟෙන්නත් ඔවුන්ගේ දෘෂ්ටියෙන්ම කාරණා දෙස බලන්නත් පුරුදු විය යුතුයි. වඩාත් වැදගත් වන්නේ, අන්‍යයන් සමඟ කටයුතු කිරීමේදී ඒ දෙදෙනා සතු අසමසම ගුණාංග පිළිබිඹු කිරීමට වෑයම් කිරීමයි.
ඊළඟට, යේසුස් මෙසේ යාච්ඤා කරනවා. “ඔබ මට කරන්න දුන් වැඩය සම්පූර්ණ කිරීමෙන් පොළොවෙහිදී මම ඔබව මහිමයට පත් කළෙමි.” ඔහු මේ වන තුරු තම පැවරුම සාර්ථකව ඉටු කර තිබෙන අතර අනාගතයේදීත් එසේ කරන බවට නිසැකයි. එම නිසැකකම ඇතුව ඔහු දැන් මෙසේ කන්නලව් කරනවා. “පියාණෙනි, මහිමයෙන් යුක්තව ඔබ ළඟ සිටීම සඳහා ලෝකය පවතින්න කලින් ඔබ ළඟ සිටියදී මට තිබුණ මහිමයෙන් දැන් මාව මහිමයට පත් කරන්න.” ඔහු දැන් ඉල්ලා සිටින්නේ, තමාව නැවත නැඟිටුවමින් කලින් ස්වර්ගයේ තිබූ මහිමයට ඔහුව නැවතත් පත් කරන්න කියායි.
ඔහු මිහිපිට ඉටු කළ ප්‍රධානතම කාර්යය කැටි කොට දක්වමින් යේසුස් මෙසේ පවසනවා. “ඔබ ලෝකයෙන් මට දුන් මිනිසුන්ට ඔබේ නාමය මම ප්‍රකාශ කළෙමි. ඔවුන් ඔබ සතු විය. ඔබ ඔවුන්ව මට දුන්නෙහිය. ඔවුහු ඔබේ වචනය පිළිපැද්දෝය.” යේසුස් තම දේවසේවයේදී යෙහෝවා යන දෙවිගේ නාමය භාවිත කළා. ඔහු එය නිවැරදිව උච්චාරණය කළා පමණක් නොව දෙවිගේ නාමය තම ප්‍රේරිතයන්ට ප්‍රකාශ කිරීම සඳහා ඔහු ඊට වඩා වැඩි යමක් කළා. යෙහෝවාගේ පෞද්ගලිකත්වය හා අරමුණු සම්බන්ධයෙන් ඔවුන්ට මෙතෙක් තිබූ දැනුම සහ අගය ඔහු වැඩි කළා.
යෙහෝවා තම ස්වාමියා බවත් තමා ඔහුට යටත් වී සේවය කරන බවත් යේසුස් යටහත් පහත් ලෙස මෙසේ පිළිගන්නවා. “ඔබ මට දුන් වදන් මම ඔවුන්ට දුන්නෙමි. ඔවුහු ඒවා පිළිගෙන, මා ඔබේ නියෝජිතයා ලෙස ඔබ වෙතින් පැමිණි බව සැබවින්ම දැනගෙන සිටිති. ඔබ මාව එවූ බවද ඔවුහු විශ්වාස කරති.”
තම අනුගාමිකයන් හා සෙසු මනුෂ්‍යවර්ගයා අතර ඇති වෙනස පෙන්වමින් යේසුස් ඊළඟට යාච්ඤා කරන්නේ මෙසේයි. “මා අයැදින්නේ ලෝකය ගැන නොව, නමුත් ඔබ මට දුන් අය ගැනය. . . . මා ඔවුන් සමඟ සිටියදී, . . . මම ඔවුන්ව ආරක්ෂා කළෙමි. මම ඔවුන්ව පරෙස්සම් කළෙමි. . . . විනාශයේ පුත්‍රයා [වන යූදස් ඉස්කාරියොත්] හැර ඔවුන්ගෙන් කිසිවෙකු විනාශ නොවීය.” යූදස් මේ මොහොතේදී, යේසුස්ව පාවා දීම නමැති තම නින්දිත සැලැස්ම ක්‍රියාත්මක කරමිනුයි සිටින්නේ. මෙයාකාරයෙන් යූදස්, නොදැනුවත්වම ශුද්ධ ලියවිල්ලේ සඳහන් අනාවැකි ඉටු කරලීමට දායක වෙනවා.
යේසුස් යාච්ඤාවේදී තවදුරටත් පවසන්නේ මෙසේයි. “ලෝකය ඔවුන්ට වෛර කළේය. මා ඔබෙන් ඉල්ලන්නේ, ඔවුන්ව ලෝකයෙන් ඉවතට ගන්නා මෙන් නොව, නමුත් දුෂ්ටයා නිසා ඔවුන්ව ආරක්ෂා කරන මෙන්ය. මා ලෝකයේ කොටසක් නොවන්නා සේම ඔවුහුද ලෝකයේ කොටසක් නොවෙති.” යේසුස්ගේ අනුගාමිකයන් ජීවත් වන්නේ සාතන් පාලනය කරමින් සිටින ලෝකය හෙවත් මිනිස් සමාජය තුළයි. එහෙත් ඔවුන් ජීවත් වන්නේ ලෝකයට සහ එහි දුෂ්ටකමට සම්බන්ධ නොවෙමිනුයි. ඔවුන් සැමවිටම එම ස්ථාවරයෙහි සිටිය යුතුයි.
යේසුස් තවදුරටත් මෙසේ යාච්ඤා කරනවා. “සත්‍යතාවෙන් ඔවුන්ව විශුද්ධි කරන්න. ඔබේ වචනය සත්යතාවයය.” යේසුස් “සත්‍යතාව” වශයෙන් හැඳින්වූයේ ඔහු නිතරම උපුටා දැක්වූ දේවානුභාවය ලත් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලයි. එහෙත්, ඔහු තම ගෝලයන්ට ඉගැන්වූ දේවල් තුළද ගෝලයන් ඉන්පසු දේවානුභාවයෙන් ලියූ ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලි තුළද “සත්‍යතාව” අඩංගුයි. මෙහි සඳහන් සත්‍යය මගින් යමෙකුව විශුද්ධි කරන්නත් ඔහුගේ ජීවිතය මුළුමනින්ම වෙනස් කරන්නත් ලෝකයෙන් වෙන් වූ පුද්ගලයෙකු බවට ඔහුව පත් කරන්නත් හැකියි.
“ඔවුන් ගැන පමණක් නොව, ඔවුන්ගේ වචනය මාර්ගයෙන් [තමා] කෙරෙහි ඇදහිල්ල තබන අය ගැනත්” යේසුස් දැන් යාච්ඤා කරනවා. ඔහු මෙසේ යාච්ඤා කරන්නේ අනාගතයේදී ඔහුගේ අභිෂේක ලත් අනුගාමිකයන් ලෙස තෝරාගැනීමට නියමිත අය වෙනුවෙන් සහ අනාගතයේ “එක රැළක්” තුළට එක්රැස් කිරීමට සිටින වෙනත් ගෝලයන් වෙනුවෙනුයි. මේ සියල්ලන් උදෙසා යේසුස් ඉල්ලා සිටින්නේ කුමක්ද?
‘ඔබ මා සමඟ එකඟත්වයෙන්ද මා ඔබ සමඟ එකඟත්වයෙන්ද සිටින්නා සේම, ඔවුන් සියලුදෙනාම එකඟත්වයෙන් සිටින පිණිසය. අප එකඟත්වයෙන් සිටින්නාක් මෙන් ඔවුන්ද එකඟත්වයෙන් සිටින පිණිසය.’ යේසුස් හා ඔහුගේ පියා එක පුද්ගලයෙකු නොවෙයි. එහෙත් ඔවුන් සෑම කාරණයකදීම එකඟත්වයෙන් සිටිනවා. මේ හා සමාන එකඟත්වයක් තම අනුගාමිකයන්ට භුක්ති විඳීමට හැකි වන සේ යේසුස් යාච්ඤා කරනවා. එසේ කරන්නේ “ඔබ මාව එවූ බවත් ඔබ මට ප්‍රේම කළාක් මෙන් ඔවුන්ටත් ප්‍රේම කළ බව ලෝකය [දැනගන්නා]” පිණිසයි.
ඔහුගේ අභිෂේක ලත් අනුගාමිකයන් බවට පත් වන අය වෙනුවෙන් යේසුස් දැන් තම ස්වර්ගික පියාගෙන් ඉල්ලීමක් කරනවා. එම ඉල්ලීම කුමක්ද? “ලෝකය පිහිටුවීමට [එනම්, ආදම් සහ ඒව දරුවන් බිහි කිරීමට] කලින් ඔබ මට ප්‍රේම කළ හෙයින් ඔබ මට දුන් මාගේ මහිමය ඔවුන් දකින පිණිස, ඔවුන්ද මා සිටින තැන මා සමඟ සිටිනවාට කැමැත්තෙමි.” දෙවි, යේසුස් ක්‍රිස්තුස් බවට පත් වූ ඔහුගේ ඒක-ජාතක පුත්‍රයාට ප්‍රේම කළේ මීට බොහෝ කලකට පෙරයි.
යේසුස් යාච්ඤාව අවසන් කරමින් නැවතත් මෙසේ අවධාරණය කරනවා. “ඔබ මට දැක්වූ ප්‍රේමය ඔවුන් තුළ තිබෙන පිණිසත්, මා ඔවුන් සමඟ එකඟත්වයෙන් සිටින පිණිසත් මම ඔබේ නාමය ඔවුන්ට දැන්වීමි, තවත් දන්වන්නෙමි.” ප්‍රේරිතයන්ට, දෙවිගේ නාමය ඉගෙනගැනීම යනුවෙන් අදහස් කරන්නේ, පෞද්ගලිකවම දෙවිගේ ප්‍රේමය දැනහඳුනා ගැනීමයි. යොහන් 14:1–17:26; 13:27, 35, 36; 10:16; ලූක් 22:3, 4; NW; නික්මයාම 24:10; 1 රාජාවලිය 19:9-13; යෙසායා 6:1-5; ගලාති 6:16; ගීතාවලිය 35:19; 69:4; හිතෝපදේශ 8:22, 30.
▪ යේසුස් යන්නේ කොතැනටද? එතැනට යන මාර්ගය පිළිබඳව තෝමස් අසන ප්‍රශ්නයට ලැබෙන පිළිතුර කුමක්ද?
▪ ෆිලිප්ගේ ඉල්ලීමෙන් පැහැදිලි වන්නේ යේසුස් කුමක් කරනවාට ඔහු කැමති බවද?
▪ යේසුස්ව දැක ඇති තැනැත්තා පියාවත් දැක තිබෙනවා කියා පැවසිය හැක්කේ මන්ද?
▪ යේසුස්ගේ අනුගාමිකයන් ඔහුට වඩා මහත් ක්‍රියා කරන්නේ කෙසේද?
▪ සාතන්ට යේසුස් කෙරෙහි බලයක් නැතැයි යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
▪ යෙහෝවා සංකේතවත් මිදිවැල පැළ කළේ කවදාද? වෙනත් අය මිදිවැලේ කොටසක් බවට පත් වන්නේ කවදාද? ඒ කෙසේද?
▪ අවසානයේදී, සංකේතවත් මිදිවැලට කොපමණ අතු සංඛ්‍යාවක් තිබේද?
▪ දෙවි කැමති වන්නේ අතු විසින් කිනම් පල දරනවාටද?
▪ අපට යේසුස්ගේ මිත්‍රයන් විය හැක්කේ කෙසේද?
▪ ලෝකයා යේසුස්ගේ අනුගාමිකයන්ට වෛර කරන්නේ මන්ද?
▪ යේසුස්ගේ ප්‍රේරිතයන් කලබලයට පත් වන්නේ ඔහුගේ කිනම් අවවාදය නිසාද?
▪ යේසුස් යන තැන පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කිරීමට ප්‍රේරිතයන් අපොහොසත් වන්නේ මන්ද?
▪ ප්‍රේරිතයන් විශේෂයෙන්ම අපොහොසත් වන්නේ කුමක් වටහාගැනීමටද?
▪ ප්‍රේරිතයන්ගේ ශෝකය ප්‍රීතියට හැරෙන බව යේසුස් කෙසේ නිදර්ශනය කරයිද?
▪ ප්‍රේරිතයන් වැඩි කල් නොගොස් කුමක් කරන බවද යේසුස් පවසන්නේ?
▪ යේසුස් ලෝකයෙන් ජයගන්නේ කෙසේද?
▪ “මුළු මනුෂ්‍යවර්ගයා කෙරෙහි අධිකාරිය” යේසුස්ට දෙනු ලබන්නේ කිනම් අර්ථයකින්ද?
▪ දෙවි හා ඔහුගේ පුත්‍රයා පිළිබඳව දැනුම ලබාගැනීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
▪ යේසුස් දෙවිගේ නාමය ප්‍රකාශ කරන්නේ කිනම් ආකාරවලින්ද?
▪ “සත්‍යතාව” යනු කුමක්ද? එය ක්‍රිස්තියානියෙකුව “විශුද්ධි” කරන්නේ කෙසේද?
▪ දෙවි, ඔහුගේ පුත්‍රයා හා සැබෑ නමස්කාරකයන් යන සියල්ලන්ම එකඟත්වයෙන් සිටින්නේ කුමන අර්ථයකින්ද?
▪ ‘ලෝකයේ පිහිටුවීම’ සිදු වූයේ කවදාද?
-