ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සැන්හෙඩ්‍රිනය ඉදිරියේ, ඉන්පසු පිලාත් වෙතට
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
    • 121වෙනි පරිච්ඡේදය

      සැන්හෙඩ්‍රිනය ඉදිරියේ, ඉන්පසු පිලාත් වෙතට

      රාත්‍රිය නිම වෙන්නත් ළඟයි. පේතෘස් තුන්වන වතාවටත් යේසුස්ව නාඳුනන බව ප්‍රකාශ කර තිබෙනවා. සැන්හෙඩ්‍රිනයේ සාමාජිකයන් ඔවුන් පවත්වමින් සිටි නීති විරෝධී නඩු විභාගය අවසන් කර දැන් විසිර ගිහින්. එහෙත් සිකුරාදා උදේ පාන්දරින්ම ඔවුන් නැවතත් එක්රැස් වෙනවා. මේ වතාවේ ඔවුන් රැස් වන්නේ සැන්හෙඩ්‍රින ශාලාවේදීයි. ඔවුන් මෙසේ රැස් වන්නේ රාත්‍රියේදී පැවැත්වූ නඩු විභාගයට යම්කිසි නීත්‍යනුකූල මුහුණුවරක් ලබා දීමට විය හැකියි. යේසුස් ඔවුන් ඉදිරියට පැමිණෙන විට, රාත්‍රියේදී පැවසූ ලෙසම ඔවුන් දැනුත් පවසන්නේ “ඔබ ක්‍රිස්තුස් නම් අපට කියන්න” යනුවෙනුයි.

      “මා ඔබට කීවත් ඔබ එය කිසිසේත් විශ්වාස කරන්නේ නැත. මා ඔබෙන් ප්‍රශ්න කළා නම් ඔබ කිසිසේත් පිළිතුරු දෙන්නේද නැත” කියා යේසුස් පවසනවා. එහෙත් යේසුස් නිර්භීත ලෙස තම අනන්‍යතාව හෙළි කරමින් පවසන්නේ මෙසේයි. “කෙසේවෙතත්, මෙතැන් පටන් මනුෂ්‍ය පුත්‍රයා දෙවිගේ බලවත් දකුණු අත පැත්තේ ඉඳගෙන සිටින්නේය.”

      “එසේ නම් ඔබ දෙවිගේ පුත්‍රයාද” කියා ඔවුන් සියලුදෙනාම අසා සිටිනවා.

      එවිට, “ඒ තැනැත්තා මමයි කියා ඔබම කියන්නහුය” යයි යේසුස් පිළිතුරු දෙනවා.

      ඔහුව කෙසේ හෝ මරණයට පත් කිරීමට අදිටන් කරගෙන සිටින මොවුන්ට එම පිළිතුර හොඳටම සෑහේ. ඔවුන් එය සලකන්නේ දේවඅපහාසයක් ලෙසයි. “අපට තව සාක්ෂි අවශ්‍ය කුමටද? අපි ඔහුගේම කටින් එය අසාගත්තෙමු” කියා ඔවුන් කියා සිටිනවා. ඒ නිසා ඔවුන් යේසුස්ව බැඳ, ඔහුව රෝම ආණ්ඩුකාර පොන්තියුස් පිලාත්ට භාර දෙනවා.

      යේසුස්ව පාවා දුන් යූදස්, සැන්හෙඩ්‍රිනය කටයුතු කරන ආකාරය නිරීක්ෂණය කර තිබෙනවා. යේසුස්ට මරණ දණ්ඩනය ලැබී ඇති බව දැනගන්නා විට ඔහු දැඩි සේ ශෝකයට පත් වෙනවා. ඉතිං ඔහු නායක පූජකයන් හා වැඩිමහල්ලන් වෙතට ගොස් රිදී කාසි 30 ආපසු භාර දෙමින් පවසන්නේ මෙලෙසයි. “ධර්මිෂ්ඨ ලේ පාවා දීමෙන් මම පව් කළෙමි.”

      ඔවුන් කිසිදු තැකීමකින් තොරව පවසන්නේ මෙසේයි. “එයින් අපට ඇති වැඩේ මොකක්ද? ඔබම එය බලාගත යුතුය!” ඒ නිසා යූදස් රිදී කාසි දේවමාලිගාව ඇතුළට විසි කර එල්ලී මැරීමට උත්සාහ දරනවා. පෙනෙන විදිහට, යූදස් විසින් කඹය ගැට ගසන ලද්දේ අත්තකයි. එම අත්ත කඩා වැටෙන නිසා ඔහු පහත තිබෙන ගල්පර මත වැටී පැළී ඔහුගේ බඩවැල් ටික එළියට වීසි වෙනවා.

      රිදී කාසිවලට කුමක් කරන්නද කියා නායක පූජකයන්ට තේරෙන්නේ නැහැ. “මේවා ලේවල මිල නිසා, පරිශුද්ධ භාණ්ඩාගාරයට දැමීම යුතු නැත” කියා ඔවුන් නිගමනය කරනවා. ඒ ගැන සාකච්ඡා කළ පසු ඔවුන් ආගන්තුකයන්ව භූමදානය කිරීම සඳහා කුඹල්කරුගේ පිට්ටනිය මිල දී ගන්නවා. එම පිට්ටනිය පසු කලෙක “ලේ පිට්ටනිය” වශයෙන් හඳුන්වනු ලැබුවා.

      යේසුස්ව ආණ්ඩුකාරයාගේ මාලිගයට ගෙන යනු ලබන විට තවමත් එළිය වැටී නැහැ. ඔහු සමඟ සිටින යුදෙව්වරු මාලිගයට ඇතුල් වීමට අකමැතියි. එයට හේතුව වන්නේ අන්‍යජාතීන් සමඟ එවැනි කුලුපග ඇසුරක් පැවැත්වීමෙන් තමන් අපවිත්‍ර වේයයි ඔවුන් විශ්වාස කරන නිසයි. ඉතිං ඔවුන්ව සතුටු කරමින් පිලාත් තම මාලිගාවෙන් පිටතට පැමිණ, “ඔබ මේ මිනිසාට විරුද්ධව ගෙනෙන චෝදනාව කුමක්ද” කියා ඔවුන්ගෙන් අසනවා.

      ඔවුන් ප්‍රතිචාරය දක්වන්නේ මෙසේයි. “මේ මිනිසා වරදකරුවෙකු නොවේ නම්, අප ඔහුව ඔබට භාර දෙන්නේ නැත.”

      මෙම කාරණාවලට ඇඟිලි ගැසීමට අකමැතිව සිටින පිලාත් මෙසේ පවසනවා. “ඔබම ඔහුව ගෙන ගොස් ඔබේ නීතියට අනුව ඔහුව විනිශ්චය කරන්න.”

      යුදෙව්වරු තමන් යේසුස්ව මැරීමට අදිටන් කරගෙන සිටින බව හෙළි කරමින් මෙසේ පවසනවා. “කිසිවෙකුව මරණයට පත් කිරීම අපට තහනම්.” බොහෝදෙනෙක් යේසුස්ව ඉතා ගෞරවයෙන් සලකන නිසා පාස්කු මංගල්‍යයේදී යේසුස්ව මරණයට පත් කළොත් කෝලහාලයක් පටන්ගන්නත් ඉඩ තිබෙනවා. එහෙත් දේශපාලනික කාරණා මත චෝදනා නඟමින් යේසුස්ව මරා දැමීමට රෝමවරුන්ව පෙලඹවිය හැකි නම් ඔවුන් ජනයා ඉදිරියේ ඒ පිළිබඳව වග කිව යුතු නැහැ.

      ඒ නිසා, ආගමික නායකයන් කලින් යේසුස් දෙවිට අපහාස කරන්නෙකු බව තීන්දු කර තිබුණත් ඔවුන් දැන් ඒ ගැන සඳහන් නොකරමින් ඔහුට විරුද්ධව වෙනත් බොරු චෝදනා නඟනවා. ඔවුන් චෝදනා කරන්නේ ඔහු කාරණා තුනක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වන බවයි. “මොහු [1] අපේ ජාතිය භේද කරන බවත්, [2] සීසර්ට බදු ගෙවීම තහනම් කරන බවත්, [3] තමාම ක්‍රිස්තුස් නම් රජෙකුයයි කියාගන්නා බවත් අපි දුටිමු” යනුවෙන් ඔවුන් කියා සිටිනවා.

      පිලාත් වැඩියෙන්ම සැලකිලිමත් වන්නේ යේසුස් තමා රජෙකුයයි කියාගන්නා බවට වූ චෝදනාව ගැනයි. ඒ නිසා, ඔහු නැවත වරක් මාලිගාවට ගොස් යේසුස්ව තමන් වෙතට කැඳවා මෙසේ අසනවා. “ඔබ යුදෙව්වරුන්ගේ රජද?” වෙනත් ආකාරයකින් පැවසුවොත් ඔහු යේසුස්ගෙන් අසා සිටින්නේ, ඔබ නීතිය කඩ කරමින් සීසර්ට එරෙහිව නැඟී සිටින රජෙකු මෙන් පෙනී සිටිනවාද යන්නයි.

      පිලාත් තමා ගැන කොතෙක් දුරට දන්නවාදැයි දැනගැනීමට යේසුස්ට අවශ්‍යයි. ඉතිං ඔහු මෙසේ අසනවා. “මෙය ඔබම කියන දෙයක්ද නැතිනම් අන් අය මා ගැන ඔබට කී දෙයක්ද?”

      පිලාත් අඟවන්නේ තමා යේසුස් ගැන කිසිවක් නොදන්න බවයි. ඔහු යේසුස් ගැන තව විස්තර දැනගන්න කැමති බව පෙන්වමින් මෙසේ ප්‍රශ්න කරනවා. “මා යුදෙව්වෙක්ද? ඔබේම ජාතියත් නායක පූජකයෝත් ඔබව මට භාර දුන්නෝය. ඔබ කළේ කුමක්ද?”

      යේසුස් රජකම පිළිබඳ විෂය මඟහැරීමට වෑයම් කරන්නේ නැහැ. ඔහු ඊළඟට පවසන දෙයින් පිලාත් පුදුමයට පත් වන බවට කිසිම සැකයක් නැහැ. ලූක් 22:66–23:3; මතෙව් 27:1-11; මාක් 15:1; යොහන් 18:28-35; ක්‍රියා 1:16-20; NW.

      ▪ සැන්හෙඩ්‍රිනය නැවත වරක් උදේ පාන්දරින්ම එක්රැස් වන්නේ කුමන අරමුණක් සඳහාද?

      ▪ යූදස් මිය යන්නේ කෙසේද? රිදී කාසි 30ට ඔහු කරන්නේ කුමක්ද?

      ▪ යුදෙව්වරුන් යේසුස්ව මරණයට පත් කරනවා වෙනුවට, රෝමවරුන් ලවා ඔහුව මරණයට පත් කරවීමට කැමති වන්නේ මන්ද?

      ▪ යුදෙව්වරුන් යේසුස්ට එරෙහිව එල්ල කරන චෝදනා මොනවාද?

  • පිලාත් වෙතින් හෙරොද් වෙතට ආපසු පිලාත් වෙතට
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
    • 122වෙනි පරිච්ඡේදය

      පිලාත් වෙතින් හෙරොද් වෙතට ආපසු පිලාත් වෙතට

      යේසුස් තමා රජෙකු යන කාරණය පිලාත්ගෙන් සැඟවීමට උත්සාහ කරන්නේ නැහැ. එහෙත් ඔහුගේ රාජ්‍යයෙන් රෝමයට කිසිදු තර්ජනයක් එල්ල නොවන බව පැහැදිලි කරමින් ඔහු මෙසේ පවසනවා. “මාගේ රාජ්‍යය මේ ලෝකයේ කොටසක් නොවේ. මාගේ රාජ්‍යය මේ ලෝකයේ කොටසක් වූවා නම්, මාව යුදෙව්වරුන් අතට පාවා දෙනු නොලබන පිණිස මා යටතේ සිටින්නන් සටන් කරනවා ඇත. නමුත් මාගේ රාජ්‍යය මේ ලෝකයෙන් නොවේ.” මෙසේ, යේසුස් තුන් වතාවක්ම තමාට රාජ්‍යයක් ඇති බව පිළිගන්නවා. එහෙත් ඔහු පෙන්වා දෙන පරිදි එය භූමික එකක් නොවෙයි.

      පිලාත් තවදුරටත් ඔහුට පෙරැත්ත කරමින් අසන්නේ “එසේනම්, ඔබ රජෙක්ද” කියායි. වෙනත් ආකාරයකින් පවසනවා නම්, ඔබගේ රාජ්‍යය මේ ලෝකයේ කොටසක් නොවුණත් ඔබ රජෙක්ද යන්නයි.

      පිලාත් නිවැරදි නිගමනයකට එළඹී ඇති බව පෙන්වමින් යේසුස් මෙසේ පිළිතුරු දෙනවා. “මා රජෙකුයයි ඔබම කියන්නේය. මා ඉපදුණෙත් ලෝකයට පැමිණියේත් සත්‍යය ගැන සාක්ෂි දැරීමටය. සත්‍යයට පක්ෂව සිටින සියල්ලෝ මාගේ හඬට සවන් දෙන්නෝය.”

      ඇත්තෙන්ම, “සත්‍යය” පිළිබඳව සාක්ෂි දැරීමේ අරමුණ ඇතුවයි යේසුස් මෙලොවට ඇවිත් සිටින්නේ. ඔහු විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ ඔහුගේ රාජ්‍යය පිළිබඳ වූ සත්‍යය වෙතටයි. ජීවිතය පරිත්‍යාග කිරීමට සිදු වුවත් එම සත්‍යයට පක්ෂව සිටීමට යේසුස් සූදානමින් සිටිනවා. “සත්‍යය කියන්නේ කුමක්ද” කියා පිලාත් ඇසුවත් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන තෙක් ඔහු බලා සිටින්නේ නැහැ. ඔහුට තීන්දුවක් දීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ලැබී තිබෙනවා.

      පිලාත් දැන් තම මාලිගය ඉදිරියේ රැස්ව සිටින සෙනඟ වෙතට යනවා. යේසුස්ද ඔහු ළඟ සිටිනවා ඇති. ඔහු නායක පූජකයන්ට හා ඔවුන් සමඟ සිටින වෙනත් අයට මෙසේ පවසනවා. “මොහු අත කිසි වරදක් මට හමු වූයේ නැත.”

      මෙම තීන්දුව නිසා කෝපයට පත් වන සෙනඟ තරයේ කියා සිටින්නේ “ඔහු ගලීලයේ සිට පටන්ගෙන මේ ස්ථානය දක්වාද, යුදය පුරාද උගන්වමින් ජනයාව [අවුස්සන]” බවයි.

      යුදෙව්වරුන්ගේ අසාධාරණ මෙන්ම අන්තවාදී ආකල්පය පිලාත්ව පුදුමයට පත් කරන බව නිසැකයි. ඉතින්, නායක පූජකයන් හා වැඩිමහල්ලන් එක දිගට කෑගසද්දී පිලාත් යේසුස් වෙතට හැරී මෙසේ අසනවා. “ඔබට විරුද්ධව ඔවුන් කොපමණ සාක්ෂි දෙනවාද කියා ඔබට ඇසෙන්නේ නැද්ද?” එහෙත් යේසුස් පිළිතුරු දෙන්නේ නැහැ. කිසිම පදනමක් නොමැතිව ඔහුට චෝදනා එල්ල කළත් ඔහු සන්සුන්ව සිටින බව දකින පිලාත් පුදුමයට පත් වෙනවා.

      යේසුස් ගලීලයෙක් බව දැනගත් පසු, පිලාත් තම වගකීමෙන් ලිස්සා යෑමට මාර්ගයක් සොයාගන්නවා. (මහා හෙරොද්ගේ පුතා එනම්,) ගලීලයේ පාලකයා වන හෙරොද් අන්තිපස් පාස්කුව සඳහා යෙරුසලමට ඇවිත් සිටිනවා. ඒ නිසා, පිලාත් යේසුස්ව ඔහු වෙතට යවනවා. මීට කලින්, හෙරොද් අන්තිපස්ගේ අණ පිට යොහන් බව්තීස්තගේ හිස ගසා දමනු ලැබුවා. ඉන්පසු, යේසුස් සිදු කරමින් සිටි ආශ්චර්යවත් ක්‍රියා ගැන දැනගන්න ලැබුණ විට යේසුස් මළවුන්ගෙන් නැඟිට සිටින යොහන්යයි සිතමින් ඔහු බියට පත් වුණා.

      දැන් යේසුස්ව දැකගැනීමට හෙරොද් ඉමහත් ආශාවකින් සිටිනවා. ඒ, යේසුස්ගේ ශුභසිද්ධිය ගැන සැලකිලිමත් වන නිසාවත් ඔහුට එල්ල කර තිබෙන චෝදනා සත්‍යයද නැද්ද කියා දැනගැනීමට තිබෙන අවංක උනන්දුව නිසාවත් නොවෙයි. ඇත්තෙන්ම ඔහුට යේසුස්ව දැකගන්න අවශ්‍ය වී තිබෙන්නේ ඔහු තුළ තිබෙන කුතුහලය නිසයි. යේසුස් යම් ප්‍රාතිහාර්යයක් සිදු කරාවි කියා ඔහු බලාපොරොත්තු වෙනවා.

      එහෙත් යේසුස් හෙරොද්ගේ අභිප්‍රාය ඉටු කර දීමට උත්සුක නොවෙයි. හෙරොද් ඔහුගෙන් ප්‍රශ්න කරද්දී පවා ඔහු නිහඬව සිටිනවා. බලාපොරොත්තු වන දේ ඉටු නොවන නිසා හෙරොද් සහ ඔහුගේ මුර සෙබළුන් යේසුස්ට අවමන් කරනවා. ඔහුට දීප්තිමත් වස්ත්‍රයක් පළඳවා ඔහුව සමච්චලයට ලක් කරනවා. ඔවුන් ඊළඟ ඔහුව ආපසු යවන්නේ පිලාත් වෙතටයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, කලින් සතුරන්ව සිටි හෙරොද් හා පිලාත් දැන් හොඳ මිතුරන් බවට පත් වෙනවා.

      යේසුස් ආපසු පිලාත් වෙතට පැමිණෙද්දී, පිලාත් නායක පූජකයන්ව, යුදෙව් පාලකයන්ව සහ සෙනඟ කැඳවා මෙසේ පවසනවා. “ඔබ මේ මිනිසා ජනයාව කැරලිගැසීමට පොලඹවන්නෙක්යයි කියා මා වෙතට ගෙන ආවහුය. බලන්න! මා ඔබ ඉදිරියෙහි ඔහුව පරීක්ෂා කළ නමුත් ඔබ ඔහුට විරුද්ධව ගෙන එන චෝදනාවලට කිසි පදනමක් මට මොහු අත සම්බ නොවීය. ඇත්තෙන්ම, හෙරොද්ටවත් සම්බ වුණේ නැත. හෙරොද් මොහුව නැවත අප වෙතට එව්වේ ඒ නිසාය. බලන්න! මරණය ලැබීමට සුදුසු කිසිවක් ඔහු කර නැත. එබැවින් මම ඔහුට දඬුවම් කර, නිදහස් කොට හරිමි.”

      මෙසේ යේසුස් නිදොස් බව පිලාත් දෙවතාවක්ම ප්‍රකාශ කර තිබෙනවා. පූජකයන් යේසුස්ව භාර දී ඇත්තේ ඔවුන්ගේ ඊර්ෂ්‍යාව නිසයි කියා වටහාගන්නා පිලාත් ඔහුව නිදහස් කිරීමට කැමතියි. යේසුස්ව නිදහස් කිරීමට පිලාත් උත්සාහ දරමින් සිටින අතරතුරේදී ඔහුට ලැබෙන ආරංචියක් නිසා ඔහු ඒ සඳහා දැඩි උත්සාහයක් ගන්නවා. ඔහු විනිශ්චය ආසනයෙහි සිටින විට, ඔහුගේ භාර්යාව පණිවිඩයක් එවමින් ඔහුගෙන් ප්‍රබල ඉල්ලීමක් කරනවා. “ඒ ධර්මිෂ්ඨ මිනිසා සම්බන්ධ කාරණයට කිසිසේත් හවුල් නොවන්න. මන්ද අද මම ඔහු නිසා සිහිනයකින් [පෙනෙන විදිහට දෙවිගෙන් ලද සිහිනයකින්] බොහෝ දුක් වින්දෙමි.”

      පිලාත් දන්නවා ඔහු මෙම අහිංසක මිනිසාව නිදහස් කළ යුතු බව. එහෙත් ඔහුට එය කළ හැක්කේ කෙසේද? යොහන් 18:36-38; ලූක් 23:4-16; මතෙව් 27:12-14, 18, 19; 14:1, 2; මාක් 15:2-5; NW.

      ▪ යේසුස් තම රජකම පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ කෙසේද?

      ▪ යේසුස් පොළොව මතදී සාක්ෂි දැරුවේ කුමන ‘සත්‍යයක්’ ගැනද?

      ▪ පිලාත්ගේ තීන්දුව කුමක්ද? සෙනඟ ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? පිලාත් යේසුස් සම්බන්ධයෙන් කරන්නේ කුමක්ද?

      ▪ හෙරොද් අන්තිපස් යනු කවරෙකුද? යේසුස්ව දැකීමට ඔහු මහත් ආශාවකින් සිටින්නේ මන්ද? යේසුස් සම්බන්ධයෙන් ඔහු කරන්නේ කුමක්ද?

      ▪ යේසුස්ව නිදහස් කිරීමට පිලාත් කැමැත්තෙන් සිටින්නේ මන්ද?

  • “මෙන්න! ඒ මිනිසා!”
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
    • 123වෙනි පරිච්ඡේදය

      “මෙන්න! ඒ මිනිසා!”

      යේසුස්ගේ හැසිරීම නිසාත් ඔහු නිදොස් බව වටහාගන්න නිසාත් පිලාත්ට ඔහු ගැන පැහැදීමක් ඇති වී ඔහුව නිදහස් කිරීමට තවත් ක්‍රමයක් සොයනවා. ඔහු සමූහයන්ට මෙසේ පවසනවා. “පාස්කුවේදී මා විසින් ඔබට මිනිසෙකුව නිදහස් කර දීමේ සිරිතක් ඔබ අතර තිබේ.”

      මිනීමරුවෙකු ලෙස අපකීර්තියට පත්ව සිටින බරබ්බස්වත් අත්අඩංගුවට ගෙන තිබෙන නිසා, ඔහු මෙසේ අසනවා. “ඔබ කැමති මා කවරෙකු නිදහස් කර දෙනවාටද? බරබ්බස්වද නැත්නම් ක්‍රිස්තුස්යයි කියන ලද යේසුස්වද?”

      නායක පූජකයන්ගේ පෙලඹීම යටතේ, බරබ්බස්ව නිදහස් කරන්නත් යේසුස්ව මරණයට පත් කරන්නත් සෙනඟ ඉල්ලා සිටිනවා. පිලාත් තම උත්සාහය අත් හරින්නේ නැහැ. “මේ දෙදෙනාගෙන් කවරෙකුව මා ඔබට නිදහස් කර දෙනවාට ඔබ කැමතිද” කියා ඔහු නැවත වරක් අසනවා.

      ඔවුන් කෑගසන්නේ, “බරබ්බස්” කියායි.

      අතිශයින්ම පුදුමයට පත්ව “එසේනම්, ක්‍රිස්තුස්යයි කියන ලද යේසුස්ට මා කුමක් කරන්නද” කියා පිලාත් ඔවුන්ගෙන් අසනවා.

      ඔවුන් සියල්ලන්ම එකවරම කන් බිහිරි කරවන හඬකින් “ඔහුව කණුවක ඇණ ගසා මරන්න!” “ඔහුව කණුවක ඇණ ගසන්න!” “ඔහුව කණුවක ඇණ ගසන්න!” කියා කෑගසනවා.

      ඔවුන් ඉල්ලා සිටින්නේ නිදොස් මනුෂ්‍යයෙකුව මරණයට පත් කිරීමට බව දන්නා පිලාත් මෙසේ කන්නලව් කරනවා. “ඇයි? මොහු කළ වරද කුමක්ද? මරණය ලැබීමට සුදුසු කිසිවක් ඔහු අත මට සම්බ වුණේ නැත. එබැවින් මම ඔහුට දඬුවම් කර ඔහුව නිදහස් කරන්නෙමි”

      ඔහු කොපමණ උත්සාහ කළත් වැඩක් වන්නේ නැහැ. ආගමික නායකයන්ගේ පෙලඹීම යටතේ කෝපයට පත්ව සිටින සෙනඟ මහා හයියෙන් කෑගසන්නේ “ඔහුව කණුවක ඇණ ගසා මරන්න” කියායි. පූජකයන්ගේ උසිගැන්වීම හේතුවෙන් වියරු වැටී සිටින සෙනඟ සිටින්නේ ලේ පිපාසයකිනුයි. ඇත්තෙන්ම කියනවා නම්, දවස් පහකට විතර කලින් මේ අයගෙන් සමහරෙක් යේසුස්ව රජු වශයෙන් යෙරුසලමට පිළිගන්නත් ඇති! මේ සියල්ල සිදු වන අතරේදී යේසුස්ගේ ගෝලයන් එහි සිටිනවාද නැද්ද යන්න නිශ්චිත නැහැ. ඒත් ඔවුන් එතැන සිටිනවා නම් කාටත් හඳුනාගත නොහැකි වන පරිදි ඔවුන් නිශ්ශබ්දව සිටිනවා ඇති.

      පිලාත් තමාගේ කන්නලව් නිෂ්ඵල බවත් කෝලහාලයක් ඇතිවීමට ඉඩ තිබෙන බවත් දැක, වතුර ගෙන සෙනඟ ඉදිරිපිට තම අත් සෝදා මෙසේ කියනවා. “මම මේ මිනිසාගේ ලෙයින් නිදොස් වෙමි. ඔබම එය බලාගත යුතුය.” එවිට, සෙනඟ මෙසේ පිළිතුරු දෙනවා. “ඔහුගේ ලේ අප පිටද අපගේ දරුවන් පිටද පැමිණේවා!”

      ඉතින්, හරි දේ කරනවාට වඩා සෙනඟ සතුටු කරන්න කැමතිව සිටින පිලාත් ඔවුන්ගේ ඉල්ලීම්වලට යටත් වී බරබ්බස්ව නිදහස් කරනවා. ඔහු යේසුස්ව අත්අඩංගුවට ගෙන ඔහුගේ ඇඳුම් ඉවත් කර ඔහුට කස පහරින් තැළීමට අණ කරනවා. මෙය සාමාන්‍ය කසයකින් දුන් පහර දීමක් නොවෙයි. රෝමවරුන් කසයෙන් තැළූ ආකාරය එක්තරා වෛද්‍යමය සඟරාවක (The Journal of the American Medical Association) විස්තර කරන්නේ මෙසේයි.

      “සාමාන්‍යයෙන් යොදාගත්තේ විවිධ දිග ප්‍රමාණයන්ගෙන් යුත් තනි හෝ ගොතන ලද හම් පටි කිහිපයකින් සමන්විත කොට කසයකි. හම් පටිවල තැනින් තැන කුඩා යකඩ බෝල හෝ බැටළු අස්ථිවලින් කඩා ලබාගත් තියුණු කටු ගැටගසා තිබිණ. . . . රෝම හේවායන් මුළු වැරෙන් එක දිගටම පහර දුන් විට, යකඩ බෝලවලින් පහර කෑ තැනැත්තාගේ පිටෙහි ගැඹුරු තුවාල ඇති විය. හම් පටිවලින් හා බැටළු කටුවලින් ඔහුගේ සමත් සමට යටින් තිබෙන මාංසයත් කැපී ගියේය. ඉන්පසු, දිගින් දිගටම පහර දෙද්දී, මස් යටින් පිහිටා තිබෙන අස්ථිමය පේශීන් ඉරී යෑම නිසා මස් තීරු තීරු ගැලවී රුධිරය ගලා හැළුණි.”

      මෙම අමානුෂික තැළීමෙන් පසු, යේසුස්ව ආණ්ඩුකාරයාගේ මාලිගයට ගෙන යන අතර මුළු හේවා කණ්ඩායමම එතැනට කැඳවනවා. එහිදී හේවායෝ කටු ඔටුන්නක් සාදා, එය ඔහුගේ හිස මත තබා තද කරමින් ඔහුට තවත් වද දෙනවා. ඔහුගේ දකුණතට බට දණ්ඩක් දී, රජවරුන් විසින් අදින ලද දම් පාට වස්ත්‍රයක් ඔහුට අන්දවනවා. ඊළඟට ඔවුන් ඔහුට සමච්චල් කරමින් කියන්නේ මෙසේයි. “යුදෙව්වරුන්ගේ රජ්ජුරුවෙනි, ඔබට සුබ දවසක් වේවා!” ඔවුන් ඔහුට කෙළ ගසා ඔහුගේ මුහුණට අතුල් පහරත් ගහනවා. ඉන්පසු, ඔහුගේ අතින් බට දණ්ඩ රැගෙන එයින් ඔහුගේ හිසට පහර දෙනවා. ප්‍රතිඵලයක් ලෙස ඔහුව නින්දා කිරීමට පළඳවා ඇති ‘ඔටුන්නේ’ තියුණු කටු හිස තුළට තව තවත් කිඳා බසියි.

      මෙම වධ හිංසා හමුවේ යේසුස් තම ගෞරවය රැකගනිමින් අධිෂ්ඨානපූර්වකව සිටින බව දකින විට පිලාත්ට කොයි තරම් පැහැදීමක් ඇති වෙනවාද කිව්වොත් ඔහු නැවත වතාවක් යේසුස්ව මුදාගැනීමට උත්සාහ කරනවා. ඔහු සෙනඟට පවසන්නේ මේ ආකාරයටයි. “මොහු තුළ කිසි වරදක් මට නොපෙනෙන බව ඔබ දැනගන්නා පිණිස, මෙන්න! මම ඔහුව ඔබ වෙතට ගෙනෙන්නෙමි.” වධ හිංසාවට ලක් වී සිටින යේසුස්ගේ තත්වය දකිද්දී ඔවුන්ගේ හදවත් උණු වී යයි කියා ඔහු සිතනවා ඇති. කටු ඔටුන්නක් සහ දම් පැහැති වස්ත්‍රයක් පැළඳ සිටින යේසුස්ගේ මුහුණින් ලේ වැගිරෙනවා. ඔහු දැඩි වේදනාවකින් සිටින බව පෙනේ. හිතක් පපුවක් නැති සෙනඟ ඉදිරියේ ඔහු මෙසේ සිටගෙන සිටිද්දී පිලාත්, “මෙන්න, ඒ මිනිසා” යනුවෙන් ප්‍රකාශ කරනවා.

      තැළීම්, පහර දීම්වලට ලක්ව සිටියත් මේ මිනිසා තරම් විශිෂ්ට චරිතයක් මෙලොවේ ජීවත් වී නැහැ. ඔහු ඇත්තෙන්ම, මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයායි! යේසුස් නිහඬව විදහාපෙන්වන ගෞරවනීය, සන්සුන් ස්වභාවය ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ කදිම සාක්ෂියක්. ගෞරවය හා අනුකම්පාව මුසු වූ හැඟීමකින් යුක්තව පිලාත් පැවසූ වචනවලින් පැහැදිලි වන්නේ ඔහුටත් එය පිළිගැනීමට සිදු වන බවයි. යොහන් 18:39–19:5; මතෙව් 27:15-17, 20-30; මාක් 15:6-19; ලූක් 23:18-25; NW.

      ▪ යේසුස්ව නිදහස් කිරීමට පිලාත් උත්සාහ කරන්නේ කෙසේද?

      ▪ පිලාත් තම වගකීමෙන් නිදහස් වීමට වෑයම් කරන්නේ කෙසේද?

      ▪ කසයෙන් පහර ලැබීම කෙබඳු අද්දැකීමක්ද?

      ▪ කසයෙන් පහර ලැබීමෙන් අනතුරුව යේසුස්ව සමච්චලයට ලක් කරන්නේ කෙසේද?

      ▪ යේසුස්ව නිදහස් කිරීමට පිලාත් තවදුරටත් වෑයම් කරන්නේ කෙසේද?

  • භාර දුන් පසු ඇණ ගසනු ලැබීමට රැගෙන යයි
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
    • 124වෙනි පරිච්ඡේදය

      භාර දුන් පසු ඇණ ගසනු ලැබීමට රැගෙන යයි

      වධ හිංසාවට ලක්ව සිටින යේසුස්ගේ සන්සුන්, ගෞරවනීය ස්වභාවය දැකීමෙන් පැහැදීමක් ඇති වන පිලාත් නැවත වරක් උත්සාහ කරනවා ඔහුව මුදාහැරීමට. එයින් නායක පූජකයන්ගේ කේන්තිය තවත් වැඩි වෙනවා. ඔවුන් තමන්ගේ දුෂ්ට අරමුණට බාධා කිරීමට කිසිම දෙයකට ඉඩ නොදීමට අදිටන් කරගෙනයි සිටින්නේ. ඒ නිසා ඔවුන් නැවත වරක් කෑගසන්නේ, “ඔහුව ඇණ ගසන්න! ඔහුව ඇණ ගසන්න!” කියායි.

      එවිට පිලාත්ගේ ප්‍රතිචාරය වන්නේ මෙයයි. “ඔබම මොහුව ගෙන ගොස් කණුවක ඇණ ගසන්න.” (අපරාධකරුවන්ට මරණ දණ්ඩනය දීමට ඔවුන්ට බලය නැති බව යුදෙව්වරුන් කලින් පවසා තිබුණත් ආගමික වශයෙන් සිදු කළ බරපතළ පාප සඳහා එසේ කිරීමට ඔවුන්ට බලය තිබෙනවා විය හැකියි.) ඊළඟට, “මොහු අත කිසි වරදක් ඇති බව මට නම් නොපෙනේ” කියා පිලාත් පවසනවා. ඔහු යේසුස් නිදොස් බව දැන් අඩුම තරමින් පස් වතාවක්වත් ප්‍රකාශ කරලා ඇති.

      යුදෙව්වරුන් තේරුම්ගන්නවා දේශපාලනික කාරණා පදනම් කරගනිමින් ඔවුන් එල්ල කරන චෝදනාවලින් කිසිම පලක් නැති බව. ඒ නිසා, මීට පැය කිහිපයකට පෙර සැන්හෙඩ්‍රිනය ඉදිරිපිට පැවැත්වූ නඩු විභාගයේදී ආගමික කාරණා පදනම් කරගනිමින් එල්ල කළ චෝදනාව, එනම් යේසුස් දෙවිට අපහාස කරන්නෙකු බව ඔවුන් නැවතත් සඳහන් කරනවා. “අපට නීතියක් ඇත. මොහු තමාවම දෙවිගේ පුත්‍රයා බවට පත් කරගත් නිසා, ඒ නීතියට අනුව ඔහු මැරුම් කෑ යුතුය” කියා ඔවුන් පවසනවා.

      පිලාත් මේ චෝදනාව කලින් අසා නැති නිසා ඔහු තවත් බියට පත් වෙනවා. ඔහුගේ භාර්යාවගේ සිහිනයෙන් හා යේසුස්ගේ නොසැලෙන මානසික ශක්තියෙන් හෙළි වන්නේ යේසුස් සාමාන්‍ය මිනිසෙකු නම් නොවන බවයි. පිලාත් එය තේරුම්ගන්නවා. එහෙත් ඔහු “දෙවිගේ පුත්‍රයා” විය හැකිද? පිලාත් දන්නවා යේසුස් පැමිණෙන්නේ ගලීලයෙන් බව. ඒත් ඔහු ඇත්තටම මීට කලින් ජීවත් වුණාද? පිලාත් ඔහුව නැවත වරක් මාලිගය තුළට ගෙන ගොස් “ඔබ කොතැනින්ද” කියා අසනවා.

      යේසුස් කිසි පිළිතුරක් දෙන්නේ නැහැ. ඔහු රජෙක් වුණත් ඔහුගේ රාජ්‍යය මේ ලෝකයට සම්බන්ධ නැහැයි කියා ඔහු මීට කලින් පිලාත්ට පවසා තිබුණා. මේ ගැන තවදුරටත් පැහැදිලි කිරීම නිෂ්ඵලයි. යේසුස් පිළිතුරු නොදෙන නිසා පිලාත්ට කේන්ති යනවා. ඔහු එය සලකන්නේ තමාට කරන මදිපුංචිකමක් හැටියටයි. ඔහු කේන්තියෙන් මෙසේ අසනවා. “ඔබ මට කතා කරන්නේ නැද්ද? ඔබව නිදහස් කර හරින්නත් ඔබව කණුවක ඇණ ගසන්නත් මට බලය තිබෙන බව ඔබ දන්නේ නැද්ද?”

      යේසුස් ගෞරවයෙන් යුතුව මෙසේ පිළිතුරු දෙනවා. “ඔබට ඉහළින් දී නොතිබුණා නම්, මට විරුද්ධව ඔබට කිසි බලයක් නැත.” දෙවි මනුෂ්‍ය පාලකයන්ට භූමික කාරණා හැසිරවීමට අවසර දී තිබෙනවා යන කාරණය ගැනයි ඔහු මෙහිදී සඳහන් කරන්නේ. යේසුස් මෙසේත් පවසනවා. “ඒ නිසා මාව ඔබට භාර දුන් මිනිසාගේ පාපය වඩා බරපතළ වන්නේය.” උත්තම පූජක කායෆස්, ඔහුගේ සගයන් මෙන්ම යූදස් ඉස්කාරියොත් යේසුස්ට කර තිබෙන අසාධාරණකම් නිසා ඔවුන් පිලාත්ට වඩා බරපතළ වරදක් කර තිබෙනවා.

      යේසුස් ගැන ඊට වඩා පැහැදීමක් ඇති වන පිලාත් ඔහුට දිව්‍යමය ආරම්භයක් තිබිය හැකියයි සිතා බියපත් වෙමින් නැවතත් ඔහුව නිදහස් කිරීමට වෑයම් කරනවා. එහෙත් යුදෙව්වරුන් පිලාත්ගේ ඉල්ලීම්වලට යටත් වන්නේ නැහැ. ඔවුන් දේශපාලනික කාරණා මත පදනම් වූ චෝදනා නැවත වරක් සඳහන් කරමින් කපටි ලෙස මෙසේ තර්ජනය කරනවා. “ඔබ මොහුව නිදහස් කර හැරියොත්, ඔබ සීසර්ගේ මිත්‍රයෙකු නොවේ. තමාවම රජෙකු බවට පත් කරගන්න සෑම මිනිසෙකුම සීසර්ට විරුද්ධව කතා කරන්නේය.”

      ඔවුන් බියගන්වනසුලු ආකාරයකින් තර්ජනය කළත් පිලාත් නැවත වරක් යේසුස්ව පිටතට රැගෙන ගොස් ආයාචනාත්මක ස්වරයකින් මෙසේ පවසනවා. “මෙන්න! ඔබේ රජ!”

      එහෙත් ඔවුන් කෑගසන්නේ, “නැති කර දමන්න! නැති කර දමන්න! ඔහුව ඇණ ගසන්න” කියායි.

      එවිට, “ඔබේ රජුව මා කණුවක ඇණ ගසන්නද” කියා පිලාත් ඉතා කනගාටුවෙන් අසනවා.

      යුදෙව්වරු රෝම පාලනයට කොහෙත්ම කැමති නැහැ. ඇත්තටම ඔවුන් රෝම ආධිපත්‍යය හෙළා දකිනවා! එහෙත් ඔවුන් කුහක ලෙස පවසන්නේ “සීසර් හැර අපට වෙන කිසි රජෙකු නැත” කියායි.

      පිලාත් තම දේශපාලනමය ස්ථාවරත්වය හා කීර්තිය අහිමි වෙයි කියා භය වී යුදෙව්වරුන්ගේ කෲර ඉල්ලීම්වලට යටත් වෙනවා. ඔහු යේසුස්ව හේවායන්ට භාර දුන් පසු ඔවුන් යේසුස්ගේ දම් පැහැති වස්ත්‍රය ගලවා ඔහුගේ පිට වස්ත්‍ර ඔහුට අන්දවනවා. ඇණ ගසනු ලැබීම සඳහා යේසුස්ව රැගෙන යද්දී ඔහුට සිදු වෙනවා ඔහුගේම වධකණුව රැගෙන යන්න.

      මේ වන විට නීසාන් 14වන සිකුරාදා උදා වෙලා. දැන් සමහරවිට මධ්‍යාහ්නයටත් ළඟ ඇති. බ්‍රහස්පතින්දා උදේ පාන්දර අවදි වූ පසු යේසුස්ට නිදාගන්න අවස්ථාවක් ලැබී නැහැ. ඔහු එක දිගටම වේදනාකාරී අද්දැකීම් රාශියකට මුහුණ දී තිබෙනවා. එහෙම නම්, වධකණුවේ බර දරමින් සිටින විට ඔහුගේ ශක්තිය හීන වී බිමට වැටීම පුදුමයක් නොවෙයි. එවිට, එතැනට දුර බැහැර ප්‍රදේශයකින් පැමිණ සිටින අප්‍රිකාවේ සිරේනියේ සීමොන්ට එය රැගෙන යෑමට පවරනු ලබනවා. ඔවුන් ගමන් කරමින් සිටියදී, ඔවුන් පසුපස ස්ත්‍රීන් ඇතුළු මහත් සෙනඟක් යන අතර ඔවුන් ශෝකයෙන් තමන්ගේ පපුවට ගසමින් වැලපෙනවා.

      යේසුස් ස්ත්‍රීන් දෙසට හැරී පවසන්නේ, “යෙරුසලමේ දූවරුනි, මා නිසා තවත් නොහඬන්න. ඒ වෙනුවට ඔබ නිසාත් ඔබේ දරුවන් නිසාත් හඬන්න. මන්ද, බලන්න! ‘වඳ ස්ත්‍රීන්ද දරුවන් බිහි නොකළ කුසද කිරි නොදුන් පියයුරුද සන්තෝෂවත්ය!’ කියා මිනිසුන් පවසන දවස් පැමිණෙන්නේය. . . . මන්ද, ගසෙහි තෙතමනය ඇති කල ඔවුන් මේ දේ කරන්නේ නම්, එය වියළුණු විට කුමක් සිදු වේද?”

      යේසුස් ගස කියා යොමු දක්වන්නේ යුදෙව් ජාතියටයි. යේසුස් තවමත් ඔවුන් අතරේ සිටින නිසාත් ඔහු කෙරෙහි විශ්වාස කරන සුළු පිරිසක් සිටින නිසාත් එය තුළ යම් තෙතමනයක් හෙවත් ප්‍රාණවත් බවක් තවමත් තිබෙනවා. එහෙත් මොවුන්ව දේශයෙන් ඉවතට ගත් විට ඉතිරි වන්නේ ආත්මික වශයෙන් මළ ගසක් පමණයි. ඔවුන් අප්‍රාණික ජාතියක් බවට පත් වෙනවා. දෙවිගේ වධකයන් ලෙස ක්‍රියා කරන රෝම හමුදා යුදෙව් ජාතිය විනාශ කරන විට ඇත්තටම වැලපීමට සිදු වේවි! යොහන් 19:6-17; 18:31; ලූක් 23:24-31; මතෙව් 27:31, 32; මාක් 15:20, 21; NW.

      ▪ දේශපාලනික කාරණා පදනම් කරගෙන එල්ල කරන චෝදනාවලින් පලක් නැහැයි කියා වටහාගත් විට ආගමික නායකයන් යේසුස්ට විරුද්ධව එල්ල කරන්නේ කුමන චෝදනාවද?

      ▪ පිලාත් තවත් බියට පත් වන්නේ මන්ද?

      ▪ යේසුස්ට සිදු වන දේ සම්බන්ධයෙන් වඩා බරපතළ ලෙස වග කිව යුත්තේ කවුරුන්ද?

      ▪ යේසුස්ව මරණයට පත් කිරීමට භාර දෙන මෙන් පූජකයන් පිලාත්ව පොලඹවන්නේ කෙසේද?

      ▪ යේසුස් තමා වෙනුවෙන් හඬන ස්ත්‍රීන්ට කියන්නේ කුමක්ද? ගසේ “තෙතමනය” හා ඊළඟට එහි ‘වියළි’ බව ගැන කතා කරන විට ඔහු එයින් අදහස් කරන්නේ කුමක්ද?

  • වධකණුවේ ඉමහත් වේදනා විඳිමින්
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
    • 125වෙනි පරිච්ඡේදය

      වධකණුවේ ඉමහත් වේදනා විඳිමින්

      යේසුස් සමඟ මරණයට පත් කිරීමට සොරුන් දෙදෙනෙකුවද රැගෙන යනවා. ගමන් ගන්නා පිරිස නතර වෙන්නේ නුවරට නුදුරින් පිහිටි ගොල්ගොතා හෙවත් ඉස්කබල යනුවෙන් හඳුන්වන ලද ස්ථානයේදීයි.

      සිරකරුවන්ගේ පිට වස්ත්‍ර ගලවා දමනවා. ඊළඟට, ඔවුන්ට බොන්න සුවඳ ලාටු මිශ්‍ර කළ වයින් දෙනවා. පෙනෙන ආකාරයට, එම වයින් සාදා ඇත්තේ යෙරුසලමේ ස්ත්‍රීන් විසිනුයි. මරණ දණ්ඩය නියම කර ඇති අයට මෙම වේදනා නාශකය ලබා දීම ගැන රෝමවරු විරෝධය පළ කරන්නේ නැහැ. එහෙත් යේසුස් එහි රස බැලූ පසු එය ප්‍රතික්ෂේප කරනවා. ඒ ඇයි? ඔහුගේ ඇදහිල්ල අන්තයටම පරීක්ෂාවට ලක් වන මේ මොහොතේදී හොඳ මානසික තත්වයකින් සිටීමට ඔහුට වුවමනා වන නිසයි.

      දැන් බිම හෙළා ඇති වධකණුව මත යේසුස්ව දිගා කරනවා. ඔහුගේ අත් දෙක තබන්නේ ඔහුගේ හිසට ඉහළිනුයි. ඊළඟට හේවායන් ඔහුගේ අත් සහ පාදවලට විශාල ඇණ ගසනවා. ඇණ මස් හා අස්ථි පසාරු කරගෙන යද්දී යේසුස්ට දැනෙන්නේ ඉමහත් වේදනාවක්. වධකණුව ඉහළට ඔසවද්දී ඇණ ගැසීමෙන් තුවාල වී ඇති ස්ථාන සිරුරේ බරට ඉරී යන නිසා ඔහුට දැනෙන වේදනාව දරාගත නොහැකි තරම්. එහෙත් යේසුස් රෝම හේවායන්ට තර්ජනය කරනවා වෙනුවට ඔවුන් වෙනුවෙන් මෙසේ යාච්ඤා කරනවා. “පියාණෙනි, ඔවුන්ට සමාව දෙන්න. මන්ද තමන් කරන්නේ කුමක්දැයි ඔවුහු නොදනිති.”

      පිලාත් වධකණුවේ පුවරුවක් එල්ලා තිබෙනවා. එහි සඳහන් වී ඇත්තේ “යුදෙව්වරුන්ගේ රජ වන නාසරිය යේසුස්” කියායි. පෙනෙන ආකාරයට ඔහු මෙය ලියන්නේ යේසුස්ට ගරු කරන නිසා පමණක් නොවෙයි. යේසුස්ට මරණ දණ්ඩනය නියම කිරීමට යුදෙව් පූජකයන් තමාට බල කළ බැවින් ඔවුන්ව පිළිකුල් කරන නිසාත් එසේ කරනවා. සියල්ලන්ටම කියවිය හැකි පරිදි පිලාත් පුවරුව භාෂා තුනකින් ලිවීමට සලස්වනවා. එනම් හෙබ්‍රෙව්, නිල භාෂාව වූ ලතින් හා පොදුවේ කතා කළ ග්‍රීක් යන භාෂාවලින්.

      කායෆස්, අන්නස් හා අනිත් නායක පූජකයන් කලබල වෙනවා. ඒ, යේසුස් පිළිබඳව කර ඇති මේ යහපත් ප්‍රකාශයෙන් ඔවුන්ගේ ජයග්‍රාහී හැඟීම් යටපත් වී යන නිසයි. ඒ නිසා, ඔවුන් විරෝධය පාමින් පවසන්නේ, “‘යුදෙව්වරුන්ගේ රජ’ කියා නොලියා, ‘මා යුදෙව්වරුන්ගේ රජුය’ කියා ඔහු පැවසුවේයයි ලියන්න” යනුවෙනුයි. පූජකයන් තමාව ඔවුන්ගේ ඉත්තෙකු කරගෙන සිටින නිසා කෝපයට පත් වී සිටින පිලාත් දැඩි පිළිකුලකින් මෙසේ පවසනවා. “මා ලියූ දේ ලිව්වාමය.”

      දැන් පූජකයෝ විශාල සෙනඟක් කැටුව යේසුස්ව වධකණුවේ ඇණ ගසා තිබෙන ස්ථානයට එක් රොක් වෙනවා. එහිදී පුවරුවේ සඳහන් වී ඇති ප්‍රකාශය නිෂ්ප්‍රභ කරමින් සැන්හෙඩ්‍රිනයේ පැවැත්වූ නඩු විභාගයේදී ඉදිරිපත් කළ බොරු සාක්ෂි ඔවුන් නැවතත් සඳහන් කරනවා. ඒ නිසා, මඟ යන්නෝ අපහාසාත්මක ලෙස කතා කරන එක පුදුමයක් නොවෙයි. ඔවුන් හිස් වන වනා මෙසේ කවටකම් කරනවා. “දේවමාලිගාව කඩා දමා දවස් තුනකින් ගොඩනඟන ඔබ ඔබවම ගලවාගන්න! ඔබ දෙවිගේ පුත්‍රයෙකු නම්, වධකණුවෙන් බැස එන්න!”

      “ඔහු අනුන්ව ගැලෙව්වේය, නමුත් තමන්ව ගලවාගන්න ඔහුට නොහැක” යයි පවසමින් නායක පූජකයෝ හා ඔවුන්ගේ මිත්‍රයෝද කවටකම් කරනවා. “ඔහු ඊශ්‍රායෙලයෙහි රජුය. ඔහු දැන් වධකණුවෙන් බැස ආවොත් අපි ඔහුව විශ්වාස කරන්නෙමු. ඔහු දෙවි කෙරෙහි විශ්වාසය තබා තිබේ. දෙවිට ඔහුව ඕනෑ නම් දෙවි ඔහුව බේරාගනීවා. මන්ද ‘මම දෙවිගේ පුත්‍රයා වෙමි’ යි ඔහු කීවේය.”

      අවට සිටින ජනයාගේ ක්‍රියාකලාපය නිසා හේවායන්ද යේසුස්ට කවටකම් කිරීමට පටන්ගන්නවා. ඔවුන් අවමන්සහගත ලෙස ඔහුට ඇඹුල් වයින් දෙනවා. පෙනෙන විදිහට, ඔහුගේ වියළුණු තොල්වලට මදක් ඈතින් එය අල්ලමින් ඔවුන් මෙසේ පවසනවා. “ඔබ යුදෙව්වරුන්ගේ රජ නම්, ඔබවම ගලවාගන්න.” යේසුස්ගේ දකුණු පැත්තේ සහ වම් පැත්තේ එල්ලා සිටින සොරුන් දෙදෙනා පවා ඔහුට සමච්චල් කරනවා. මේ ගැන මොහොතකට සිතා බලන්න! මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා, එනම් සියලු දේවල් මැවීමෙහි යෙහෝවා දෙවි සමඟ හවුල් වූ තැනැත්තා මේ හිංසා පීඩා සියල්ලම නොසැලී විඳදරාගන්නවා!

      හේවායන් යේසුස්ගේ පිට වස්ත්‍ර කොටස් සතරකට බෙදාගන්නවා. ඔවුන් එය කාට අයිති වේද කියා බැලීම සඳහා දාදු දමනවා. ඇතුල් වස්ත්‍රය මූට්ටුවක් නොසිටින සේ උඩ සිට පහළට වියා තිබෙන නිසා එය ගොඩක් වටිනවා. ඉතිං හේවායන් එකිනෙකාට පවසන්නේ මෙසේයි. “අපි එය ඉරන්නේ නැතිව, එය කාට අයත් වේද කියා දැනගැනීමට දාදු දමා බලමු.” මෙසේ, “ඔවුහු මාගේ පිට වස්ත්‍ර තමන් අතරේ බෙදාගෙන, මාගේ ඇඳුම් සඳහා දාදු දැමුවෝය” යන ශුද්ධ ලියවිලි පාඨය ඔවුන් නොදැනුවත්වම ඉටු කරනවා.

      ටික වේලාවකට පසුව, යේසුස් සැබෑවටම රජෙකු විය යුතුයි කියා එක් සොරෙක් තේරුම්ගන්නවා. ඉතිං ඔහු තම මිතුරාට තරවටු කරමින් මෙසේ පවසනවා. “ඔබටත් එම විනිශ්චයම ලැබී තිබියදීත් ඔබ කිසිසේත් දෙවිට භය නැද්ද? අපට ලැබී ඇති විනිශ්චය සාධාරණය. මන්ද, අපට මේ සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ අප කළ දේවල්වලට සුදුසු විපාකය. නමුත් මොහු කිසි වරදක් කළේ නැත.” ඊළඟට ඔහු යේසුස්ට මෙසේ කන්නලව් කරනවා. “ඔබේ රාජ්‍යයට ඔබ ඇතුල් වූ විට මාව සිහි කරන්න.”

      එවිට යේසුස් පිළිතුරු දෙන්නේ මෙසේයි. “සැබවින්ම මම අද ඔබට කියමි, ඔබ මා සමඟ පාරාදීසයේ සිටින්නෙහිය.” මෙම පොරොන්දුව ඉටු වන්නේ යේසුස් ස්වර්ගයෙහි සිට පාලනය කරද්දී පසුතැවිලි වූ මෙම වරදකරුවාව මේ පොළොව මතට නැවත නැඟිටුවන විටදීයි. එවිට අර්මගෙදොන් යුද්ධයෙන් බේරී ජීවත් වන්නන්ට හා ඔවුන්ගේ ආශ්‍රිතයන්ට මේ ලෝකය පාරාදීසයක් බවට පත් කිරීමේ මහඟු වරප්‍රසාදය හිමි වනු ඇති. මතෙව් 27:33-44; මාක් 15:22-32; ලූක් 23:27, 32-43; යොහන් 19:17-24; NW.

      ▪ යේසුස් සුවඳ ලාටු මිශ්‍ර කළ වයින් ප්‍රතික්ෂේප කරන්නේ මන්ද?

      ▪ පෙනෙන ප්‍රකාරයට යේසුස්ගේ වධකණුව මත පුවරුවක් එල්ලා ඇත්තේ මන්ද? ඒ නිසා පිලාත් හා නායක පූජකයන් අතරෙහි ඇති වන දෙබස කුමක්ද?

      ▪ යේසුස් වධකණුව මත සිටින විට දිගටම වධ හිංසාවලට ලක් වන්නේ කෙසේද? එය ඇතිවීමට හේතුව කුමක්ද?

      ▪ යේසුස්ගේ වස්ත්‍රවලට සිදු කරන දේ නිසා ඉටු වෙන්නේ කුමන අනාවැකියද?

      ▪ එක සොරෙකුගේ ආකල්පය වෙනස් වන්නේ කෙසේද? යේසුස් ඔහුගේ ඉල්ලීම ඉටු කරනු ඇත්තේ කෙසේද?

  • “සැබවින්ම මොහු දෙවිගේ පුත්‍රයාය”
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
    • 126වෙනි පරිච්ඡේදය

      “සැබවින්ම මොහු දෙවිගේ පුත්‍රයාය”

      යේසුස් කණුවේ ඇණ ගසා වැඩි වේලාවක් ගත වෙන්න කලින්, දවල් 12ට විතර මුළු ප්‍රදේශයම පුදුමාකාර ලෙස අන්ධකාරයෙන් වැසී යනවා. එය පැය තුනක් පුරාම පවතිනවා. මෙය සූර්ය-ග්‍රහණයක් නිසා ඇති වන අන්ධකාරයක් නොවෙයි. මන්ද ඒ වගේ දෙයක් සිදු වන්නේ හඳක් දකින්න නොලැබෙන කාලයේදී විතරයි. මේ පාස්කු කාලයයි. ඒ නිසා දැන් දක්නට තිබෙන්නේ පුර හඳයි. ඒ විතරක් නොවෙයි, සූර්ය ග්‍රහණයක් පවතින්නේ විනාඩි කිහිපයක් පමණයි. ඉතිං, මේ අන්ධකාරය ඇති කර තිබෙන්නේ දෙවි බව පැහැදිලියි! සමහරවිට යේසුස්ට සමච්චල් කරන අයගේ කටවල් මදකට වැසෙන්න ඇති. ඔවුන්ගේ නින්දාසහගත බස් සම්පූර්ණයෙන්ම වාගේ නතර වන්නත් ඇති.

      මෙම බියකරු විපර්යාසය සිදු වුණේ අපරාධකරුවන්ගෙන් කෙනෙක් තම මිතුරාට තරවටු කිරීමටත් තමාව සිහි කරන මෙන් යේසුස්ගෙන් ඉල්ලා සිටීමටත් පෙර නම් ඔහුගේ පසුතැවිලි වීමට එය හේතුවක් වූවා විය හැකියි. ස්ත්‍රීන් සතරදෙනෙක් වධකණුව ළඟට යන්නේ මේ අන්ධකාරය පවතින අතරතුරේ වෙන්න ඇති. එසේ යන්නේ යේසුස්ගේ මව, ඇගේ සහෝදරී වන සලෝමි, මරියා මග්දලේනා සහ කුඩා යාකොබ් නම් වූ ප්‍රේරිතයාගේ මව වන මරියායි. යේසුස් ප්‍රේම කළ ප්‍රේරිතයා වන යොහන්ද ඔවුන් සමඟ සිටිනවා.

      යේසුස්ගේ මව, කිරි දී ඇති දැඩි කළ ඇගේ පුත්‍රයා දරාගත නොහැකි වේදනාවකින් වධකණුවේ එල්ලී සිටිනවා දකිද්දී ඇයට දැනෙන වේදනාව මොන තරම්ද! එය තියුණු කඩුවක් මෙන් ඇගේ හද “පසාරු කරගෙන” යන බව නිසැකයි. ඒත් යේසුස් සිතන්නේ තමාගේ වේදනාව ගැන නොව මවගේ ශුභසිද්ධිය ගැනයි. ඔහු මහත් ආයාසයක් දරමින් ප්‍රථමයෙන් තම මව දෙස බලා ඉන්පසු යොහන් දෙසට හිස හරවමින් මෙසේ කියනවා. “ස්ත්‍රිය, මෙන්න! ඔබේ පුත්‍රයා!” ඊළඟට ඔහු යොහන්ට මරියාව පෙන්වමින් පවසන්නේ, “මෙන්න! ඔබේ මව” කියායි.

      මේ විදිහට යේසුස්, තම මවගේ ඕනෑ එපාකම් බලාගැනීමේ වගකීම විශ්වාසයෙන් යුතුව භාර දෙන්නේ තමා වැඩියෙන්ම ප්‍රේම කරන ප්‍රේරිතයාටයි. ඔහුගේ මව දැන් වැන්දඹුවක්ව සිටින බව පැහැදිලියි. ඔහු මරියාව යොහන්ට භාර දෙන්නේ ඇගේ අනෙක් පුතුන් ඔහු කෙරෙහි තවමත් ඇදහිල්ල පෙන්නුම් කර නැති නිසයි. මෙසේ තම මවගේ ශාරීරික අවශ්‍යතා ගැන පමණක් නොවෙයි, ඇගේ ආත්මික අවශ්‍යතා සපුරාලීම ගැනත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමෙන් ඔහු කදිම ආදර්ශයක් තබනවා.

      පස්වරු තුනට පමණ, “මට පිපාසය” කියා යේසුස් පවසනවා. යේසුස්ට දැනෙන්නේ තම පියා දෙන ආරක්ෂාව ඔහුගෙන් අයින් කර ඇති බවයි. මෙසේ කරන්නේ ඔහුගේ අඛණ්ඩතාව උපරිමයට පරීක්ෂා කිරීමට හැකි වන පිණිසයි. ඒ නිසා මහත් හඬකින් ඔහු මෙසේ පවසනවා. “මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මාව අත්හැරියේ මන්ද?” මෙය ඇසෙන විට, ඒ ළඟ සිටින සමහරු කියන්නේ “අන්න! ඔහු එලියාට හඬගසන්නේය” කියායි. වහාම එතැන සිටින එක්තරා කෙනෙක් දුව ගොස් ඇඹුල් වයින්වල පෙඟවූ ස්පොන්ජියක් බට දණ්ඩක ගසා ඔහුට බොන්න දෙනවා. එහෙත් අනිත් අය පවසන්නේ, “ඔහුට ඉන්න හරින්න! එලියා ඇවිත් ඔහුව පහතට ගනීවිදැයි බලමු” කියායි.

      යේසුස් ඇඹුල් වයින් ගත් පසු, “එය ඉටු වී තිබේ” කියා මහත් හඬකින් පවසනවා. ඔහුගේ පියා ඔහුට පොළොවේදී ඉටු කිරීමට දුන් සෑම දෙයක්ම දැන් ඔහු ඉටු කර තිබෙනවා. අන්තිමේදී, ඔහු පවසන්නේ මෙසේයි. “පියාණෙනි, ඔබේ අතට මාගේ ආත්මය භාර දෙමි.” යේසුස් මෙසේ, දෙවි තමාව යළි ජීවත් කරවයි යන නිසැකකම ඇතුව තම ජීව බලය දෙවිට භාර දෙනවා. ඉන්පසු ඔහු තම හිස නමා අවසන් හුස්ම හෙළනවා.

      යේසුස් තම අන්තිම හුස්ම හෙළන මොහොතේ දරුණු භූමිකම්පාවක් සිදු වී පර්වත පැළෙනවා. යෙරුසලමෙන් පිට තිබෙන සොහොන් ගෙවල් විවර වී මළ කඳන් පිටතට වීසි වන තරමටම භූමිකම්පාව ප්‍රබලයි. පිටතට වීසි වී ඇති මළ කඳන් දකින මඟීන් නුවරට ඇතුල් වී ඒ ගැන වාර්තා කරනවා.

      එපමණක්ද නොව, යේසුස් මිය යන මොහොතේදී දේවමාලිගාවේ ශුද්ධස්ථානය අතිශුද්ධස්ථානයෙන් වෙන් කරන විශාල තිරය ඉහළ සිට පහළ දක්වාම ඉරී යනවා. පෙනෙන ආකාරයට අලංකාර සැරසිලිවලින් යුත් මෙම තිරය මීටර් 18ක් පමණ උසයි. ඒ වගේම එය ඉතා බරයි! මෙම පුදුමාකාර ප්‍රාතිහාර්යය මගින් දෙවි තම පුත්‍රයාව මරණයට පත් කරන අය කෙරෙහි දක්වන උදහස පිළිබිඹු වෙනවා. ඒ විතරක් නොවෙයි, යේසුස්ගේ මරණය මාර්ගයෙන් අතිශුද්ධස්ථානයට හෙවත් ස්වර්ගයට යෑම සඳහා මඟ විවර වී ඇති බවක් ඉන් සංකේතවත් කරනවා.

      භූමිකම්පාව දැනෙන විටත් සිදු වන අනෙක් දේවල් දකින විටත් මිනිස්සු ගොඩක් භය වෙනවා. මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම භාරව සිටින හමුදා නිලධාරියා දෙවිට ප්‍රශංසා කිරීමට පටන්ගෙන, “සැබවින්ම මොහු දෙවිගේ පුත්‍රයා” කියා ඔහු ප්‍රකාශ කරනවා. පිලාත් ඉදිරියෙහි යේසුස්ගේ නඩු විභාගයේදී ඔහු දෙවිගේ පුත්‍රයා බවට වූ කාරණය සාකච්ඡා කරනු ලැබූ විට ඔහු එතැන සිටියා විය හැකියි. එහෙත් දැන්, යේසුස් දෙවිගේ පුත්‍රයා බවත් ඔහු මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා වන බවත් ඔහුට කිසිම සැකයක් නැහැ.

      මෙම ආශ්චර්යවත් සිද්ධීන් ගැන වෙනත් අයටත් පැහැදීමක් ඇති වන අතර දැඩි ශෝකයෙන් හා ලජ්ජාවෙන් යුතුව තමන්ගේ පපුවට ගසාගනිමින් ඔවුන් තම නිවෙස් බලා යනවා. යේසුස්ව අනුගමනය කරමින් සිටින කාන්තාවන් බොහෝදෙනෙක් මදක් ඈතින් සිටගෙන සිදු වන දේ බලා සිටින අතර මෙම මවිතකර සිදුවීම් ඔවුන් කෙරෙහි ගැඹුරු බලපෑමක් ඇති කර තිබෙන බව පැහැදිලියි. ප්‍රේරිත යොහන්ද එතැන සිටිනවා. මතෙව් 27:45-56; මාක් 15:33-41; ලූක් 23:44-49; 2:34, 35; යොහන් 19:25-30; NW.

      ▪ පැය තුනක් පුරා පවතින අන්ධකාරය සූර්ය ග්‍රහණයක් නොවිය හැක්කේ මන්ද?

      ▪ යේසුස් තම මරණයට සුළු මොහොතකට කලින්, මහලු දෙමාපියන් සිටින අය සඳහා තබන කදිම ආදර්ශය කුමක්ද?

      ▪ යේසුස් මිය යෑමට පෙර අවසන් වරට කරන ප්‍රකාශ සතර මොනවාද?

      ▪ භූමිකම්පාවෙන් ඇති වන ප්‍රතිඵල කුමක්ද? දේවමාලිගාවේ තිරය දෙකට ඉරී යෑමෙන් අඟවන්නේ කුමක්ද?

      ▪ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම භාරව සිටින හමුදා නිලධාරියාට ආශ්චර්යයන් මගින් ඇති වන බලපෑම කුමක්ද?

  • සිකුරාදා තැන්පත් කළ දේහය ඉරිදා අතුරුදහන් වෙයි
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
    • 127වෙනි පරිච්ඡේදය

      සිකුරාදා තැන්පත් කළ දේහය ඉරිදා අතුරුදහන් වෙයි

      දැන් සිකුරාදා සවස් වේගන එනවා. හිරු බැස යෑමත් සමඟම නීසාන් 15වන දා සබත ආරම්භ වීමට නියමිතයි. යේසුස්ගේ මෘතදේහය කණුව මත එල්ලී තිබෙනවා. නමුත් ඔහුගේ දෙපැත්තේ සිටින සොරුන් දෙදෙනා තවමත් මිය ගොස් නැහැ. සිකුරාදා පස්වරුව හඳුන්වන්නේ සූදානම් කිරීමේ දවස වශයෙනුයි. එයට හේතුව, ආහාර පිළියෙළ කරන්නෙත් සබත අවසන් වන තෙක් පසුවට කල් දැමිය නොහැකි හදිසි වැඩ කරන්නේත් එම දිනයේදී වන නිසයි.

      තව සුළු මොහොතකින් පටන්ගැනීමට යන සබත (සතියේ සත්වන දා පවත්වන) සාමාන්‍ය සබතක් නොවෙයි. එය හඳුන්වන්නේ ද්විත්ව හෝ “මහත්” සබත ලෙසයි. එය එසේ හඳුන්වන්නේ (සතියේ කුමන දවසක වැටුණත් සෑම විටම සබතක් ලෙස ගණන් ගැනෙන) නීසාන් 15වන දා මෙවර සාමාන්‍ය සබත් දවසක වැටී තිබෙන නිසයි. නීසාන් 15වන දා කියන්නේ සත් දවසක් පවත්වන මුහුන් නුමුසු රොටි මංගල්‍යයේ පළමුවන දායි.

      දෙවිගේ නීතියට අනුව, රාත්‍රිය පුරාම කණුවක මෘතදේහ එල්ලා නොතැබිය යුතුයි. ඒ නිසා කණු මත එල්ලූ අයගේ කකුල් කඩා ඔවුන්ගේ මරණය ඉක්මන් කරන මෙන් යුදෙව්වරු පිලාත්ගෙන් ඉල්ලා සිටිනවා. ඉන් අනතුරුව හේවායන් සොරුන් දෙදෙනාගේ කකුල් කඩනවා. නමුත් යේසුස් මිය ගොස් ඇති බව පෙනෙන නිසා ඔහුගේ කකුල් කඩන්නේ නැහැ. “ඔහුගේ එක ඇටයක්වත් බිඳිනු නොලබන්නේය” යන ශුද්ධ ලියවිලිමය අනාවැකිය මෙසේ ඉටු වෙනවා.

      එහෙත්, යේසුස් ඇත්තෙන්ම මිය ගොස් ඇද්දැයි සහතික කරගැනීමට හේවායෙකු හෙල්ලයකින් ඔහුගේ ඇලයට අනිනවා. හෙල්ලය ඔහුගේ හෘදය පසාරු කරගෙන යන අතර එකෙණෙහිම ලේත් වතුරත් පිටතට ගලනවා. සියැසින් දුටු සාක්ෂිකරුවෙකු වන ප්‍රේරිත යොහන් වාර්තා කරන්නේ, “තමන් විසින් අනින ලද තැනැත්තා වෙත ඔවුහු බලා සිටින්නෝය” නම් ශුද්ධ ලියවිලිමය අනාවැකිය මෙමගින් ඉටු වන බවයි.

      සැන්හෙඩ්‍රිනයේ යම් කීර්තියක් උසුලන සාමාජිකයෙකු වන අරිමාතියේ උපන් යෝසෙප්ද යේසුස්ව මරණයට පත් කරන ස්ථානයේ සිටිනවා. මහාධිකරණය යේසුස්ට විරුද්ධව ගත් අසාධාරණ ක්‍රියාමාර්ගවලට ඔහු තම අනුමැතිය දුන්නේ නැහැ. ඇත්තෙන්ම, යෝසෙප් යේසුස්ගේ ගෝලයෙක්. ඒත් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට තරම් නිර්භීතකමක් ඔහුට තිබුණේ නැහැ. දැන් ඔහු දිරිය උපදවාගෙන පිලාත් ළඟට ගොස් යේසුස්ගේ දේහය ඔහුට භාර දෙන මෙන් ඉල්ලා සිටිනවා. පිලාත් ඒ කටයුතු භාරව සිටින හමුදා නිලධාරියා කැඳවා, යේසුස් මිය ගොස් ඇති බව සහතික කරගැනීමෙන් පසුව දේහය භාර දීමට අණ කරනවා.

      යෝසෙප් දේහය රැගෙන ගොස් භූමදානය සඳහා සූදානමක් වශයෙන් එය පිරිසිදු අනර්ඝ හණ රෙදිවලින් ඔතනවා. ඔහුට උපකාර කරනු ලබන්නේ සැන්හෙඩ්‍රිනයේ තවත් සාමාජිකයෙක් වන නිකදේමස්. තමාගේ බලතල අහිමි වෙයි කියා භයෙන් පසු වන නිකදේමස් යේසුස්ව අදහන බව මෙතෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නැහැ. නමුත් දැන් ඔහු සුවඳ ලාටු සහ මිල අධික කලු අගිල් මිශ්‍ර රෝලක් රැගෙන එනවා. එය රෝම මිනුම් ක්‍රමයට අනුව කිලෝග්‍රෑම් 33ක් පමණ බරයි. යේසුස්ගේ දේහය මෙම සුවඳ ද්‍රව්‍ය අඩංගු පටිවලින් ඔතනු ලබනවා. එය කරනු ලැබුවේ මෘත දේහ භූමදානය සඳහා සූදානම් කිරීමේ යුදෙව් සිරිතට අනුකූලවයි.

      ඉන්පසු දේහය යෝසෙප්ට අයිති ළඟපාත උයනක තිබෙන පර්වතයක කපන ලද අලුත් සොහොන් ගෙයක තැන්පත් කරනු ලබනවා. පසුව සොහොන් ගෙයෙහි දොරකඩ විශාල ගලකින් වසා තබනවා. සබතට කලින් තැන්පත් කිරීම සිදු කළ යුතු නිසා දේහය සූදානම් කරන්නේ හදිසියේ. ඒ නිසා, මරියා මග්දලේනා හා කුඩා යාකොබ්ගේ මව වන මරියා තවත් සුවඳ ද්‍රව්‍ය හා සුවඳ තෙල් පිළියෙළ කිරීමට ලහි ලහියේ ගෙදර යනවා. ඔවුන්ද සූදානම් කිරීමේ වැඩකටයුතුවලට උපකාර කරමින් සිටිනවා විය හැකියි. යේසුස්ගේ දේහය ඉක්මනින්ම කුණු වී නොයන පිණිස සබතෙන් පසු ඒ මත තවත් සුවඳ ද්‍රව්‍ය ආලේප කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න