ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සිකුරාදා තැන්පත් කළ දේහය ඉරිදා අතුරුදහන් වෙයි
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
    • යේසුස්ගේ දේහය මත සුවඳ ද්‍රව්‍ය ආලේප කිරීමට ඉරු දින පාන්දරින්ම මරියා මග්දලේනා හා යාකොබ්ගේ මව වන මරියාද, සලෝමි, යොවානා හා වෙනත් ස්ත්‍රීන් කිහිපදෙනක්ද සොහොන් ගෙය වෙතට එනවා. ගමන් කරන අතරතුරේදී ඔවුනොවුන් අතරේ කතා කරමින් සිටින්නේ “සොහොන් ගෙයි දොරකඩින් අපට ගල පෙරළා දෙන්නේ කවුද” යන කාරණය ගැනයි. එහෙත් එතැනට එද්දී, භූමිකම්පාවක් ඇති වී තිබෙන බව ඔවුන් දකින අතර යෙහෝවාගේ දූතයෙක් ගල පෙරළා දමා තිබෙනවා. මුරකරුවන් පලා ගිහින්. සොහොන් ගෙය හිස්! මතෙව් 27:57–28:2; මාක් 15:42–16:4; ලූක් 23:50–24:3, 10; යොහන් 19:14, යොහන් 19:31–20:1; යොහන් 12:42; ලෙවී කථාව 23:5-7; ද්විතීය කථාව 21:22, 23; ගීතාවලිය 34:20; සෙකරියා 12:10; NW.

  • යේසුස් ජීවමානයි!
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
    • 128වෙනි පරිච්ඡේදය

      යේසුස් ජීවමානයි!

      යේසුස්ගේ සොහොන් ගෙය හිස් බව ස්ත්‍රීන් දකින විට, මරියා මග්දලේනා පේතෘස් හා යොහන් වෙතට දිව යන්නේ ඒ බව දැනුම් දීමටයි. අනික් ස්ත්‍රීන් නම් සොහොන් ගෙය අසලම රැඳී සිටින බව පැහැදිලියි. කෙටි වේලාවකින් පසු, ඔවුන් ඉදිරියේ දේවදූතයෙකු පෙනී සිටිනවා. ඔහු ඔවුන්ට ආරාධනා කරනවා ඇතුළට එන්න කියා.

      ඇතුළට යද්දී ස්ත්‍රීන් තවත් දේවදූතයෙකුව දකිනවා. එක් දූතයෙක් ඔවුන්ට පවසන්නේ මෙසේයි. “බිය නොවන්න. කණුවක ඇණ ගසන ලද යේසුස්ව ඔබ සොයන බව මම දනිමි. ඔහු මෙහි නැත. ඔහු කී ලෙසම, ඔහුව මළවුන්ගෙන් නැඟිටුවනු ලැබීය. ඇවිත් ඔහු සැතපී සිටි ස්ථානය බලන්න. ඉක්මනින් ගොස් ඔහුව මළවුන්ගෙන් නැඟිටුවනු ලැබූ බව ඔහුගේ ගෝලයන්ට කියන්න.” භයෙන් සහ මහත් ප්‍රීතියකින් යුතුව මෙම ස්ත්‍රීන්ද දුව යනවා.

      මේ වන විට, මරියාට පේතෘස්ව හා යොහන්ව හමු වෙලා. ඇය ඔවුන්ට මෙසේ වාර්තා කරනවා. “ඔවුන් සොහොන් ගෙයින් ස්වාමීන්ව ඉවතට ගෙන ගොස් තිබේ. ඔවුන් ඔහුව තැන්පත් කළේ කොතැනදැයි අපි නොදනිමු.” විගසම, ප්‍රේරිතයන් දෙදෙනා සොහොන් ගෙය වෙතට දිව යනවා. පෙනෙන විදිහට, යොහන් පේතෘස්ට වඩා තරුණයි. ඔහු පේතෘස්ට වඩා වේගයෙන් දිව යන අතර ඔහුට කලින් සොහොන් ගෙය ළඟට පැමිණෙනවා. මේ වන විට ස්ත්‍රීන් එතැනින් පිටත් වී ගිහින්. අවට කිසිවෙකු දැකගන්න නැහැ. යොහන් සොහොන් ගෙය තුළට එබී බලද්දී රෙදි පටි දකිනවා. එහෙත් ඔහු ඇතුළට යන්නේ නැහැ.

      පේතෘස් එතැනට පැමිණි විගසම සොහොන් ගෙය ඇතුළට යන්නේ කිසිම පසුබෑමකින් තොරවයි. ඔහු රෙදි පටිත් යේසුස්ගේ හිස මත තිබූ රෙදි කඩත් දකිනවා. එම රෙදි කඩ අකුළා තබා තිබෙන්නේ වෙනම තැනකයි. යොහනුත් දැන් සොහොන් ගෙට ඇතුල් වන අතර මරියා වාර්තා කළ දේවල් ඔහු විශ්වාස කරන්න පටන්ගන්නවා. එහෙත් යේසුස් තමා නැවත නැඟිටීමට යන බව කිහිප වතාවක්ම ඔවුන්ට කියා තිබුණත් එසේ සිදු වී ඇති බව පේතෘස්වත් යොහන්වත් වටහාගෙන නැහැ. සිදු වී ඇති දේ තේරුම්ගත නොහැකිව ඔවුන් දෙදෙනා ආපසු තම නිවෙස් බලා යනවා. නමුත් සොහොන් ගෙට ආපසු පැමිණ සිටින මරියා එතැනම රැඳී සිටිනවා.

      මේ අතරතුරේදී දේවදූතයන්ගේ අණ පරිදි, අනික් ස්ත්‍රීන් කඩිමුඩියේ ගෝලයන් වෙතට ගමන් කරන්නේ යේසුස් නැවත නැඟිට ඇති බව දැනුම් දීමටයි. ඔවුන් පුළුවන් තරම් වේගයෙන් ගමන් කරනවා. අතරමඟදී ඔවුන්ට යේසුස්ව මුණ ගැසෙන අතර ඔහු “සුබ දවසක් වේවා” යනුවෙන් ඔවුන්ට පවසනවා. ඔවුන් විගසම යේසුස්ගේ පාද ඉදිරියේ වැඳ වැටෙනවා. එවිට යේසුස් මෙලෙස පවසනවා. “බිය නොවන්න! ගොස් මාගේ සහෝදරයන්ට දන්වන්න. එවිට ඔවුහු ගලීලයට යන්නෝය. එහිදී ඔවුහු මාව දකින්නෝය.”

      මීට කලින් භූමිකම්පාව ඇති වී දේවදූතයන් පෙනී සිටි විට, මුර කරමින් සිටි හේවායන් අන්දුන්කුන්දුන් වී ගල් ගැසී බලා සිටියා. ඔවුන් යථා තත්වයට පැමිණි විගසම නුවරට ගොස් සිදු වූ දෙය නායක පූජකයන්ට දැනුම් දෙනවා. යුදෙව්වරුන්ගේ “වැඩිමහල්ලන්” සාකච්ඡා කළ පසු තීරණය කරන්නේ ඇත්ත සැඟවීම සඳහා හේවායන්ට අල්ලසක් දෙන්නයි. “‘ඔහුගේ ගෝලයෝ රාත්‍රියෙහි ඇවිත් අප නිදා සිටියදී ඔහුව සොරාගෙන ගියෝය’ යි කියන්න” යනුවෙන් ඔවුන්ට අණ කරනු ලැබුවා.

      රෝම හේවායන් තම මුරපොළේ සිටියදී නින්දට වැටුණොත් ඔවුන්ට මරණ දඬුවම පවා නියම විය හැකියි. ඒ නිසා පූජකයන් හේවායන්ට මෙසේ පොරොන්දු වෙනවා. “මෙය [ඔබ නිදා සිටිය බව] ආණ්ඩුකාරයාට ආරංචි වුණොත්, අපි ඔහු සමඟ එය බේරුමක් කරගෙන, ඔබට කරදරයක් වන්න ඉඩ නොතබන්නෙමු.” අල්ලස් මුදල විශාල එකක් වූ නිසා හේවායන් තමන්ට අණ කළ පරිදි කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, යේසුස්ගේ දේහය සොරකම් කළ බවට වූ බොරු ආරංචිය යුදෙව්වරුන් අතරේ පුළුල්ව පැතිරුණා.

      සොහොන් ගෙය ළඟ රැඳී සිටි මරියා මග්දලේනා දැඩි සේ ශෝකයට පත් වී අඬමින් සිටිනවා. යේසුස් සිටින්නේ කොහේද? සොහොන් ගෙය තුළට එබී බලද්දී, ඇය සුදු වස්ත්‍ර පැළඳ සිටින දේවදූතයන් දෙදෙනාව දකිනවා! ඔවුන් නැවත එතැනට පැමිණ සිටිනවා. එක් කෙනෙක් යේසුස්ගේ දේහය තිබූ තැනෙහි හිස ළඟද අනික් කෙනා පාද ළඟද ඉඳගෙන ඉන්නවා. “ස්ත්‍රිය, ඔබ හඬන්නේ මන්ද” කියා ඔවුන් අසනවා.

      ඇය පිළිතුරු දෙන්නේ මෙලෙසයි. “ඔවුන් මාගේ ස්වාමීන්ව රැගෙන ගොස් ඇත. ඔවුන් ඔහුව තැන්පත් කළේ කොතැනදැයි මම නොදනිමි.” ඉන්පසු, ඇය හැරී බලද්දී, තවත් කෙනෙකුව දකින අතර ඔහුද “ස්ත්‍රිය, ඔබ හඬන්නේ මන්ද? ඔබ සොයන්නේ කාවද” කියා අසනවා.

      ඔහු සොහොන් ගෙය පිහිටා තිබෙන වත්තේ භාරකරුවායයි සිතමින් ඇය පවසන්නේ මෙසේයි. “මහත්මයාණෙනි, ඔබ ඔහුව ගෙන ගියා නම්, ඔහුව තැන්පත් කළේ කොතැනකද කියා මට කියන්න. මම ඔහුව රැගෙන යන්නෙමි.”

      එම තැනැත්තා “මරියා” යනුවෙන් පවසද්දී, ඔහු කතා කරන ස්වභාවයෙන්ම ඒ යේසුස් බව ඇය විගස වටහාගන්නවා. ඇය දැඩි උද්‍යෝගයකින් “රබ්බෝනි!” (එනම් “ගුරුතුමෙනි!”) යනුවෙන් පවසමින් නිම කරන්න බැරි ප්‍රීතියකින් ඔහුව වැලඳගන්නවා. නමුත් යේසුස් ඇයට පවසන්නේ මෙසේයි. “මාව අත්හරින්න. මන්ද මා තවමත් පියාණන් වෙතට නැංගේ නැත. නමුත් ඔබ මාගේ සහෝදරයන් වෙතට ගොස්, ‘මම මාගේ පියාණන් හා ඔබේ පියාණන්ද මාගේ දෙවි හා ඔබේ දෙවිද වෙතට නඟිමි’ කියා ඔවුන්ට කියන්න.”

      මරියා දැන් ප්‍රේරිතයන් හා සෙසු ගෝලයන් රැස්ව සිටින ස්ථානය වෙතට දුව යනවා. නැවත නැඟිටුවන ලද යේසුස්ව තමන් දුටුවායයි අනෙකුත් ස්ත්‍රීන් දැනටමත් වාර්තා කරලයි තියෙන්නේ. මරියා දැන් ඇගේ අද්දැකීමත් විස්තර කරනවා. එහෙත්, කලින් වාර්තාව ගෙනා ස්ත්‍රීන්ව විශ්වාස නොකළාවූ මේ පුරුෂයන් මරියාගේ වාර්තාවත් පිළිගන්නේ නැති බව පෙනේ. මතෙව් 28:3-15; මාක් 16:5-8; ලූක් 24:4-12; යොහන් 20:2-18; NW.

      ▪ සොහොන් ගෙය හිස් බව දුටු විට මරියා මග්දලේනා කරන්නේ කුමක්ද? අනික් ස්ත්‍රීන්ගේ අද්දැකීම කුමක්ද?

      ▪ සොහොන් ගෙය හිස් බව දකින විට පේතෘස් හා යොහන් ක්‍රියා කරන්නේ කෙසේද?

      ▪ යේසුස්ගේ නැවත නැඟිටීම ගැන ගෝලයන්ට පැවසීමට යද්දී අනික් ස්ත්‍රීන්ට මුණගැසෙන්නේ කාවද?

      ▪ හේවායන්ගෙන් යුත් මුරකරුවන් කණ්ඩායමට සිදු වන්නේ කුමක්ද? පූජකයන්ට මේ පිළිබඳව පැවසූ විට ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය කුමක්ද?

      ▪ මරියා මග්දලේනා සොහොන් ගෙය අසල තනිව සිටින විට සිදු වන්නේ කුමක්ද? ස්ත්‍රීන් ගෙන එන වාර්තාවලට ගෝලයන් ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?

  • පෙනී සිටින තවත් අවස්ථා
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
    • ගෝලයන් තවමත් සිටින්නේ දුකින්. සොහොන් ගෙය හිස්ව තිබීමට හේතුව ඔවුන් වටහාගෙන නැහැ. ඒ වගේම, ස්ත්‍රීන් ඔවුන්ට දැනුම් දෙන දේවල් ඔවුන් විශ්වාස කරන්නෙත් නැහැ. ඉරු දින සවස ළං වෙත්ම, ක්ලෙයෝපස් හා තවත් ගෝලයෙක් යෙරුසලමෙන් පිට වී කිලෝමීටර් 11ක් පමණ දුරින් පිහිටි එම්මාවුස් කියන නගරයට ගමන් කරනවා.

      ඔවුන් ගමන් ගන්නා අතරතුරේදී සාකච්ඡා කරමින් සිටින්නේ එදින සිදුවීම් ගැනයි. එවිට අමුත්තෙක් ඔවුන්ට එකතු වී මෙසේ අසනවා. “ඔබ වාද කරමින් යන්නේ කුමන කාරණා ගැනද?”

      එවිට දුක්මුසු මුහුණින් සිටින ගෝලයන් මඟ නතර වෙනවා. ඔවුන්ගෙන් එක් කෙනෙකු වන ක්ලෙයෝපස් පිළිතුරු දෙන්නේ මෙසේයි. “ඔබ යෙරුසලමේ තනිවම වාසය කරන අමුත්තෙක්ද? මේ දවස්වල යෙරුසලමේ සිදු වී තිබෙන දේවල් ඔබ නොදැන සිටින්නේ ඒ නිසාද?” එවිට අමුත්තා, “කුමන දේවල්ද” යනුවෙන් අසනවා.

      “නාසරිය යේසුස් පිළිබඳ දේවල්” යනුවෙන් ඔවුන් පිළිතුරු දෙනවා. ඔවුන් තවදුරටත් පවසන්නේ මෙලෙසයි. “අපේ නායක පූජකයන් සහ පාලකයන් ඔහුව මරණ දණ්ඩනයට භාර දී කණුවක ඇණ ගැසූ ආකාරය ගැනත් කතා කළෙමු. නමුත් ඊශ්‍රායෙලය මුදාගැනීමට නියමිත තැනැත්තා ඔහුයයි අපි බලාපොරොත්තුවෙන් සිටියෙමු.”

      ආශ්චර්යවත් ලෙස දේවදූතයන් පෙනී සිටීම හා සොහොන් ගෙය හිස්ව තිබීම යන කාරණා ඇතුළු එදින සිදු වූ පුදුමසහගත දේවල් ගැන ක්ලෙයෝපස් හා ඔහුගේ මිතුරා ඔහුට විස්තර කරනවා. නමුත් ඔවුන් පිළිගන්නවා මේ සිදුවීම්වල අර්ථය කිසිසේත් තේරුම්ගත නොහැකි බව හා ඔවුන් විස්මයට පත් වී සිටින බව. එවිට අමුත්තා ඔවුන්ට මෙසේ තරවටු කරනවා. “අනාගතවක්තෘවරුන් පැවසූ සියල්ල කෙරෙහි විශ්වාසය තබන්න සිතින් ප්‍රමාද වන අඥාන වූ තැනැත්තෙනි! ක්‍රිස්තුස් ඒ දේවල් විඳින්නත් පසුව තම තේජසට පැමිණෙන්නත් අවශ්‍යව තිබුණා නොවේද?” ඉන්පසු, ඔහු ක්‍රිස්තුස් පිළිබඳව සඳහන් ශුද්ධ ලියවිලි පාඨවල අර්ථය ඔවුන්ට පහදා දෙනවා.

      ඔවුන් එම්මාවුස් වෙතට ළඟා වන විට අමුත්තා ඔවුන්ගෙන් වෙන් වී වෙනත් දිශාවකට ගමන් කිරීමට සූදානම් වෙනවා. ඒත් තවත් තොරතුරු දැනගැනීමට කැමතිව සිටින ගෝලයන් ඔහුට පෙරැත්ත කරන්නේ මෙසේයි. “දැනටමත් දවස ගෙවී සවස් වේගන එන නිසා අප සමඟ නැවතී සිටින්න.” ඉතිං, ඔහු නැවතී ඔවුන් සමඟ කෑම වේලක් ගන්නවා. ඔහු යාච්ඤා කර රොටි කඩා ඔවුන්ට දෙන විට ඔවුන් විගස තේරුම්ගන්නවා ඔහු ඇත්තටම මනුෂ්‍ය ශරීරයකින් මූර්තිමත් වී පෙනී සිටින යේසුස් බව. එහෙත් හදිසියේම ඔහු නොපෙනී යනවා.

      අමුත්තාට ඒ තරම් හොඳ දැනුමක් තිබුණේ කොහොමද කියා ඔවුන්ට දැන් වැටහෙනවා! ඔවුන් එකිනෙකාට මෙසේ පවසනවා. “ඔහු අප සමඟ මඟදී කතා කරද්දීත්, ශුද්ධ ලියවිලි හොඳාකාරයෙන් පහදා දෙද්දීත් අපේ සිත් දැවුණා නොවේද?” ඔවුන් ප්‍රමාද නොවී ආපසු යෙරුසලම බලා ගමන් කරන අතර එතැනදී, ඔවුන්ට ප්‍රේරිතයන්ව හා ඔවුන් සමඟ එක්රැස්ව සිටින අයව මුණ ගැසෙනවා. ක්ලෙයෝපස් හා ඔහුගේ මිතුරාගේ මුවින් වචනයක්වත් පිට වෙන්න කලින්, අනික් අය මහත් උද්‍යෝගයකින් කියා සිටින්නේ මෙසේයි. “සැබවින්ම ස්වාමීන් මළවුන්ගෙන් නැඟිටුවනු ලැබීය. ඔහු සීමොන්ට පෙනුණේය!” එවිට යේසුස් තමන්ටත් පෙනුණ ආකාරය මොවුන් දෙදෙනා විස්තර කරනවා. මේ දැන් යේසුස් එම දවස ඇතුළත තම ගෝලයන්ට පෙනී සිටි සතරවන වතාවයි.

      එවිට, යේසුස් එකපාරටම පස්වන වතාවටත් පෙනී සිටිනවා. ගෝලයන් යුදෙව්වරුන්ට භයෙන් සිටින නිසා දොරවල් අගුලු දමා වසා තිබෙනවා. ඒත් යේසුස් ගෙට ඇතුල් වී ඔවුන් මැද සිටගෙන පවසන්නේ මෙයයි. “ඔබට සමාදානය වේවා!” ඔවුන් අවතාරයක් දුටුවායයි සිතමින් ගෝලයන් හොඳටම භය වෙනවා. ඉතිං, තමා අවතාරයක් නොවන බව පැහැදිලි කරමින් ඔහු පවසන්නේ මෙසේයි. “ඔබ කලබල වී සිටින්නේ ඇයි? ඔබේ සිත්වල සැකයන් ඇති වන්නේ ඇයි? මාගේ අත් පා දෙස බලන්න. මේ මා බව තේරුම්ගන්න. මාව අතගා බලන්න. ඔබට පෙනෙන ලෙස ඇට මස් සහිත සිරුරක් මට ඇත. ආත්මයෙකුට එවැන්නක් නැත.” ඒත් ඔවුන් විශ්වාස කරන්නේ නැහැ.

      ඔහු ඇත්තෙන්ම යේසුස් බව ඔවුන්ට ඒත්තුගැන්වීමට ඔහු මෙසේ අසනවා. “ඔතැන කෑමට යමක් ඔබ ළඟ තිබේද?” ඔවුන් ළඟ තිබූ පිලිස්සූ මාළු කෑල්ලක් අතට ගෙන කෑමෙන් අනතුරුව ඔහු මෙසේ පවසනවා. “[මාගේ මරණයට පෙර] මා ඔබ සමඟ සිටියදී ඔබට පැවසූ මාගේ වදන් මේය. එනම් මෝසෙස්ගේ නීතියේත් අනාගතවාක්‍යයේත් ගීතාවලියේත් මා ගැන ලියා තිබෙන සියල්ල ඉටු විය යුතුය.”

      යේසුස් බයිබල් පාඩමක් පවත්වන්නාක් මෙන් දිගින් දිගටම ඔවුන්ට මෙසේ උගන්වනවා. “ක්‍රිස්තුස් වධ විඳ තුන්වන දා මළවුන්ගෙන් නැඟිටින බව ලියා තිබේ. තවද, ඔහුගේ නාමයෙන් පව්වලට සමාව ලබාගැනීමට අවශ්‍ය පසුතැවිල්ල ගැන යෙරුසලමේ පටන් සියලු ජාතීන්ට දේශනා කරනු ලැබේ. ඔබ මේ දේවල් ගැන සාක්ෂිකරුවෝ වන්නහුය.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න