102වෙනි පරිච්ඡේදය
ක්‍රිස්තුස් යෙරුසලමට ජයග්‍රාහී අන්දමින් ඇතුල් වෙයි
පසුවදා උදෑසන, එනම් නීසාන් 9වන ඉරුදින, යේසුස් තම ගෝලයන් සමඟ බෙතානියෙන් පිටත් වී ඔලීව කන්ද හරහා යෙරුසලම වෙතට ගමන් කරනවා. කෙටි වේලාවකින් ඔවුන් ළඟා වන්නේ ඔලීව කන්දේ පිහිටි බෙත්පාගය වෙතටයි. එහිදී යේසුස් තම ගෝලයන් දෙදෙනෙකුට මෙසේ උපදෙස් දෙනවා.
“ඔබ ඉදිරියේ පෙනෙන්න තිබෙන ගමට යන්න. ගිය කෙණෙහිම එහි බැඳ සිටින බූරුදෙනක හා ඌ සමඟ සිටින පැටවෙකු ඔබට සම්බ වේ. උන්ව ලිහා මා වෙතට ගෙනෙන්න. යමෙකු ඔබට කිසිවක් කීවොත්, ‘ස්වාමීන්ට උන්ව අවශ්‍යව තිබේ’ යයි කියන්න. එවිට ඔහු එකෙණෙහිම උන්ව එවන්නේය.”
මෙම උපදෙස් බයිබල් අනාවැකියක ඉටුවීමට දායක වන බව වටහාගැනීමට ගෝලයන් මුලින් අසමත් වුණත් පසු කලෙක ඔවුන් එය වටහාගන්නවා. දෙවිගේ පොරොන්දු කරන ලද රජ බූරුවෙකුගේ පිට එනම්, “බූරුදෙනකගේ හොඳින් වැඩුණු පිරිමි පැටවෙකු පිට” [NW] නැඟී යෙරුසලමට ගමන් කරනු ඇතැයි අනාගතවක්තෘ සෙකරියා පුරෝකථනය කළා. සලමොන්ද රජු වශයෙන් අභිෂේක කරනු ලැබීමට ගිය අවස්ථාවේදී ගමන් කළේ බූරු දෙනකගේ පැටවෙකුගේ පිට උඩයි.
ගෝලයන් බෙත්පාගයට ඇතුළු වී බූරු පැටවාව සහ උගේ මවව රැගෙන යන විට ඒ අසල සිටගෙන සිටින අය කිහිපදෙනෙක් ඔවුන්ගෙන් අසනවා ‘ඔබ කරන්නේ කුමක්ද’ කියා. එහෙත් මෙම සතුන් ස්වාමීන්ට රැගෙන යන බව පැවසූ විට උන්ව යේසුස් ළඟට ගෙන යෑමට ඔවුන් ඉඩහරිනවා. ගෝලයන් තමන්ගේ පිට වස්ත්‍ර බූරුදෙනගේ හා ඇගේ පැටවාගේ පිට උඩ දමනවා. එහෙත් යේසුස් ඉඳගන්නේ පැටවාගේ පිට උඩයි.
යේසුස් යෙරුසලම වෙතට ගමන් කරත්ම මහත් සමූහයක් එක් රොක් වෙනවා. බොහෝදෙනෙක් තමන්ගේ පිට වස්ත්‍ර මඟ දිගේ අතුරන අතර තවත් අය ගස්වල අතු කපා මඟ අතුරනවා. ඔවුන් ශබ්ද නඟා පවසන්නේ මෙසේයි. “යෙහෝවාගේ නාමයෙන් රජ ලෙස එන තැනැත්තා ආශීර්වාද ලද්දේය! ස්වර්ගයේ සාමයද ඉතා උස් තැන්හි මහිමයද වේවා!”
සෙනඟ අතරේ සිටින සමහර පරිසිවරු මේ ප්‍රකාශයන් නිසා කලබල වී යේසුස්ට කියනවා “ගුරුතුමෙනි, ඔබේ ගෝලයන්ට තරවටු කරන්න” කියා. එහෙත් යේසුස්ගේ පිළිතුරු වන්නේ මෙයයි. “මොවුන් නිහඬව සිටියා නම්, ගල් කෑගසන්නේයයි මම ඔබට කියමි.”
යෙරුසලමට කිට්ටු වෙද්දී, ඔහු නුවර දෙස බලා ඒ ගැන අඬමින් මෙසේ පවසයි. “විශේෂයෙන්ම ඔබ සාමයට සම්බන්ධ කාරණා මේ දවසේදීවත් වටහාගත්තා නම්!—නමුත් දැන් ඒවා ඔබේ ඇස් කෙරෙන් සඟවා තිබේ.” යෙරුසලම හිතාමතාම අකීකරු වන නිසා ඇය ඒ සඳහා වන්දි ගෙවිය යුතු බව යේසුස් පුරෝකථනය කරනවා.
“ඔබේ සතුරන් [සෙන්පති ටයිටස් යටතේ රෝමවරුන්] ඔබ වටා උල් කළ කණුවලින් වැටක් සාදා ඔබව වටලා, සෑම පැත්තෙන්ම ඔබට පීඩා කරන දවස් පැමිණෙන්නේය. තවද, ඔවුහු ඔබවත් ඔබ තුළ සිටින ඔබේ දරුවන්වත් පොළොවේ ගසා ඔබ තුළ ගලක් පිට ගලක් ඉතිරි නොකරන්නෝය.” යේසුස් විසින් පුරෝකථනය කරන මේ විනාශය වසර 37කට පසුව එනම්, ක්‍රි.ව. 70දී සැබෑවක් වෙනවා.
සති කිහිපයකට කලින්, යේසුස් ලාසරුස්ව නැවත නැඟිටුවද්දී සමූහයාගෙන් බොහෝදෙනෙක් එය දැක්කා. දැන් ඔවුන් අන්‍යයන්ටත් නොකඩවා පවසනවා ඒ ප්රාතිහාර්යය ගැන. ඉතිං යේසුස් යෙරුසලමට ඇතුල් වන විට මුළු නුවරම කලබල වෙනවා. ජනයාට දැනගන්න ඕනේ “මේ කවුද” කියා. “මේ ගලීලයේ නාසරෙත්හි අනාගතවක්තෘ වන යේසුස්” කියා සමූහයා පිළිතුරු දෙනවා. සිදු වන දෙය දකින පරිසිවරු තමන්ගේ වෑයම් අසාර්ථක වී ඇති බැවින් කනගාටුව පළ කරමින් පවසන්නේ, “මෙන්න! ලෝකය ඔහු පස්සේ ගොස් ඇත” කියායි.
යේසුස් යෙරුසලමට ගිය වෙනත් අවස්ථාවලදී මෙන් මේ අවස්ථාවේදීත් සුපුරුදු ලෙස දේවමාලිගාවට ගොස් උගන්වනවා. එහිදී ඔහු වෙතට අන්ධ කොර මිනිස්සු එන විට ඔහු ඔවුන්ව සුව කරනවා! යේසුස් සිදු කරන පුදුම දේවල් දකින විටත් දේවමාලිගාවේ සිටින ළමුන් “දාවිත්ගේ පුත්‍රයාව ආරක්ෂා කරන්න!” කියා මොරගසනවා ඇසෙන විටත් නායක පූජකයන්ට හා ලියන්නන්ට කේන්ති යනවා. ඔවුන් විරෝධය පාමින් මෙසේ අසනවා. “මොවුන් කියන දේ ඔබට ඇසෙනවාද?”
“එසේය” කියා යේසුස් පිළිතුරු දෙනවා. “‘බිලිඳුන්ගේද කිරි බොන දරුවන්ගේද මුවින් ඔබ ප්‍රශංසාව ගෙන දී තිබේ’ යන පාඨය ඔබ කවදාවත් කියවා නැද්ද?”
යේසුස් දේවමාලිගාවේ අවට තිබෙන සියල්ල නිරීක්ෂණය කරමින් දිගටම උගන්වනවා. වැඩි වේලාවක් යන්න මත්තෙන් අඳුර වැටෙන්න පටන්ගනී. ඒ නිසා, ඔහු 12දෙනා සමඟ පිටත් වී කිලෝමීටර් තුනක් පමණ දුර ගමන් කරමින් නැවතත් බෙතානියට යනවා. ඔහු ඉරුදින රාත්‍රිය ගත කරන්නේ එහියි. සමහරවිට ඔහු නතර වන්නේ ඔහුගේ මිත්‍ර ලාසරුස්ගේ නිවසේ වෙන්න ඇති. මතෙව් 21:1-11, 14-17; මාක් 11:1-11; ලූක් 19:29-44; යොහන් 12:12-19; සෙකරියා 9:9; NW.
▪ යේසුස් රජු ලෙස යෙරුසලමට ඇතුල් වන්නේ කවදාද? කෙසේද?
▪ සමූහයා යේසුස්ට ප්‍රශංසා කළ යුත්තේ මන්ද?
▪ යේසුස් යෙරුසලම දෙස බලද්දී, ඔහුට හැඟෙන්නේ කෙසේද? ඔහු කිනම් අනාවැකිය ප්‍රකාශ කරයිද?
▪ යේසුස් දේවමාලිගාවට යන විට කුමක් සිදු වේද?