පාඨකයන් අසයි
දෙවි එක ජාතියක් පමණක් උසස් කොට සලකනවාද?
▪ ‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බවත් කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්න බවත්’ බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 10:34, 35) ඉන් පැහැදිලි වෙන්නේ දෙවි එක ජාතියක් තවත් ජාතියකට වඩා උසස් ලෙස සලකන්නේ නැති බවයි.
බොහෝ මිනිසුන් සිතන්නේ තමන්ගේ ජාතිය අනික් ජාතීන්වලට වඩා උසස් කියායි. චාල්ස් ඩාවින්ද එසේ සිතුවා. තමන්ගේ ජාතිය උසස් කියා සලකන අය අනිකුත් ජාතීන්ව පොළොවෙන් නැති කර දමයි කියා ඩාවින් පැවසුවා. එම ආකල්පයෙන් ක්‍රියා කරන ජාතීන් නිසා එතරම් බලයක් නැති ජාතීන් පීඩා විඳීම ඇත්තටම කනගාටුවට කරුණක්.
කොහොමවුණත් එක් ජාතියක් තවත් ජාතියකට වඩා උසස් කියා පැවසීමට පදනමක් තිබෙනවාද? උදාහරණයකට එක් ජාතියකට අයත් මිනිසුන්ගේ ජාන තවත් ජාතියකට අයත් මිනිසුන්ගේ ජානවලට වඩා උසස් කියා විද්‍යාවෙන් ඔප්පු වී තිබෙනවාද? මහාචාර්යවරයෙක් වන බ්‍රයන් සයික්ස් ඒ ගැන මෙසේ පැවසුවා. “එක ජාතියක් තව ජාතියකට වඩා උසස් කියා පවසන්න කිසිම පදනමක් නැහැ. ඒක මිනිසුන්ගේ ආකල්පයක් විතරයි. ගොඩක් වෙලාවට මිනිස්සු මගෙන් අහනවා ග්‍රීක මිනිසුන්ගේ DNA, ඉතාලි මිනිසුන්ගේ DNA කියලා වෙනසක් තියෙනවාද කියලා. ඇත්තම කියනවා නම් එහෙම දෙයක් නැහැ. අපි හැමෝම එකම පවුලක සාමාජිකයන්.”
ඔහු පැවසූ වදන් බයිබලයේ තිබෙන තොරතුරුවලට එකඟයි. බයිබලයේ සඳහන් වෙන්නේ දෙවි මුලින් නිර්මාණය කළ මිනිසා සහ ස්ත්‍රියගෙන් මුළු මිනිස් සංහතියම පැවතෙන බවයි. (උත්පත්ති 3:20; ක්‍රියා 17:26) ඒ නිසා සියලුම ජාතීන්ට අයත් මිනිසුන්ව දෙවි සලකන්නේ එකම පවුලකට අයිති සාමාජිකයන් ලෙසයි.
ඇත්තෙන්ම දෙවි වැදගත් කොට සලකන්නේ මිනිසුන්ගේ ජාතිය නොව ඔවුන්ගේ ආකල්පයි. බයිබලයේ සඳහන් මේ දෙයින් එය පැහැදිලි වෙනවා. “දෙවි දේවල් දෙස බලන්නේ මනුෂ්‍යයන් බලන ආකාරයට නොවෙයි. මනුෂ්‍යයන් දකින්නේ පිටතින් පෙනෙන දේ පමණය. නමුත් යෙහෝවා දෙවි වන මම සිතේ තිබෙන දේ දකිමි.” (1 සාමුවෙල් 16:7) එය දැනගන්න ලැබීම මොන තරම් සහනයක්ද!
අපගේ ආකල්ප දෙවිගේ කැමැත්තට එකඟ නැති බව අපට අවබෝධ වුණොත් කුමක් කළ යුතුද? අපගේ ආකල්ප වෙනස් කරගැනීමට අප උත්සාහ කළ යුතුයි. (කොලොස්සි 3:9-11) අවංකවම කියනවා නම් අප හැමෝම අනික් ජාතීන්ට වඩා අප උසස් කියා සිතීමට පෙලඹෙනවා. නමුත් දෙවි එවැනි සිතුවිලිවලට කැමති නැහැ. ඒ නිසා එවැනි සිතුවිලි අපගේ සිතින් ඉවත් කරගන්න අප සියලුදෙනාම වෑයම් කළ යුතුයි.—ගීතාවලිය 139:23, 24.
අප ගැනත් අනික් අය ගැනත් යෙහෝවා දෙවි සිතන ආකාරයට සිතන්න අප උත්සාහ කරනවා නම් යෙහෝවා දෙවි අපට ආශීර්වාද කරන බවට කිසිම සැකයක් නැහැ. බයිබලයේ සඳහන් මෙම වදන්වලින් එය පැහැදිලි වෙනවා. “යෙහෝවා දෙවි තම දෙනෙත් පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා. ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි.” (2 ලේකම් 16:9) අප කුමන ජාතියකට අයත් වුණත් අපට උපකාර කරන්න දෙවි කැමැත්තෙන් සිටිනවා.