ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චය දවස යනු කුමක්ද?
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
    • යොහන් දුටු දර්ශනයට අනුව, ‘අකුළා තිබුණු ලියවිලි දිගහරිනු ලැබූ’ අතර “මිය ගොස් සිටි අයව ඒ ලියවිලිවල සටහන් කර තිබූ දේවලට අනුවද ඔවුන්ගේ ක්‍රියාවලට අනුවද විනිශ්චය කරනු” ලබනවා. (එළිදරව් 20:12) එහි සඳහන් ලියවිලි මිනිසුන්ගේ අතීත ක්‍රියාවන් ඇතුළත් වාර්තාවක් නොවෙයි. මන්ද ඔවුන්ව විනිශ්චය කරන්නේ ඔවුන් මිය යන්න කලින් කළ දේවල් අනුව නොවෙයි. ඒ බව මෙම පදයෙන් පැහැදිලියි. “මිය ගිය පුද්ගලයා තම පාපයෙන් නිදහස් වී” සිටිනවා. (රෝම 6:7) ඒ අනුව නැවත නැඟිටුවනු ලබන අය කලින් කළ පාප තවදුරටත් සිහි කරනු ලබන්නේ නැහැ. එසේනම් එළිදරව් පොතේ සඳහන් ලියවිලිවලින් අදහස් කරන්නේ දෙවි ඉදිරියේදී අපෙන් බලාපොරොත්තු වන දේවල් ඇතුළත් වාර්තාවක්. හර්–මගෙදොන් යුද්ධයෙන් බේරෙන අය හා නැවත නැඟිටින අය සදාකල් ජීවත් වීමට නම් දෙවි ඔවුන්ගෙන් බලාපොරොත්තු වන ඒ දේවලට ඔවුන් කීකරු විය යුතුයි. දහස් අවුරුදු පාලනයේදී යෙහෝවා දෙවි දෙන තවත් අලුත් ආඥාද ඊට ඇතුළත් විය හැකියි. ඒ අනුව පුද්ගලයන්ව විනිශ්චය කරනු ලබන්නේ විනිශ්චය දවස ඇතුළතදී ඔවුන් කරන දේවලට අනුවයි.

      දෙවිගේ කැමැත්ත ගැන ඉගෙනගැනීමටත් ඒ අනුව තම ජීවිතය හැඩගස්වා ගැනීමටත් බිලියන ගණනකට මුල් වරට අවස්ථාව ලැබෙන්නේ විනිශ්චය දවසේදීයි. දෙවිගේ කැමැත්ත ගැන ඔවුන්ව දැනුවත් කිරීමට විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙයි. ඒ කාලයේදී ‘පොළොවේ වැසියෝ ධර්මිෂ්ඨකම කුමක්ද කියා තේරුම්ගන්නවා’ කියා බයිබලයේ පවසන්නේ ඒ නිසයි. (යෙසායා 26:9) නමුත් දෙවිගේ කැමැත්තට එකඟව තම ජීවිත හැඩගස්වා ගැනීමට සියලුදෙනාම කැමති වන්නේ නැහැ. මන්ද යෙසායා 26:10හි මෙසේ පවසා තිබෙනවා. “දුෂ්ටයාට කොතරම් කරුණාව දැක්වුවත් ඔහු කිසිදා ධර්මිෂ්ඨකම ඉගෙනගන්නේ නැත. ප්‍රතිපත්තිගරුක අය වෙසෙන දේශයේදී පවා ඔහු අයුතු ලෙස කටයුතු කරන නිසා යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය දකින්න ඔහුට නොහැකිය.” ඒ නිසා ඒ කාලය අතරතුරේදී ඔවුන්ව සදහටම විනාශ කර දමනවා.—යෙසායා 65:20.

      විනිශ්චය දවස අවසන් වන තුරු ජීවත් වන අය දෙවි මුලින්ම අරමුණු කළ ලෙස පරිපූර්ණ මිනිසුන් බවට පත් වෙනවා. (1 කොරින්ති 15:24-28) දෙවි ඔවුන්ව “ජීවමාන” අය ලෙස සලකන්නේ ඉන්පසුවයි. (එළිදරව් 20:5) ඒ සෑම දෙයකින් පසු සාතන්ව කෙටි කාලයකට මුදාහරිනු ලබනවා. එවිට තම විශ්වාසවන්තකම දෙවිට ඔප්පු කර පෙන්වීමට ඒ පරිපූර්ණ මිනිසුන්ට අවස්ථාව ලැබෙනවා. (එළිදරව් 20:3, 7-10) දෙවිට විශ්වාසවන්තව සිටිමින් සාතන්ට විරුද්ධ වන අය මෙම පොරොන්දුවේ ඉටු වීම අද්දකිනවා. “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.” (ගීතාවලිය 37:29) ඒ අනුව විනිශ්චය දවස යනු දෙවිට විශ්වාසවන්තව සිටින අය මහත් ආශීර්වාද භුක්ති විඳින කාලයක්!

  • සුවිශේෂී වසරක් වන 1914
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
    • උපග්‍රන්ථය

      සුවිශේෂී වසරක් වන 1914

      වර්ෂ 1914දී සුවිශේෂී සිද්ධීන් රැසක් ලොව පුරා සිදු වන බව බයිබලය ගැඹුරින් අධ්‍යයනය කළ පිරිසක් ඊට දශක ගණනාවකට කලින් ප්‍රකාශ කළා. එම සිද්ධීන් මොනවාද? එමෙන්ම 1914 සුවිශේෂී වසරක් බව පැවසීමට හේතු මොනවාද?

      ලූක් 21:24හි යේසුස් මෙසේ පැවසුවා. “යෙරුසලම වෙනත් ජාතීන් විසින් පාගා දමනු ලබයි. එම ජාතීන් සඳහා නියමිත වූ කාලය [අන්‍යජාතීන්ගේ කාලවල්, පැ.අ.] නිම වන තුරු ඒ දේ දිගටම සිදු වෙයි.” යෙරුසලම කාලයක් පුරා ඊශ්‍රායෙල් දේශයේ අගනුවර වී තිබුණා. දාවිත් රජුගේ පෙළපතින් පැවතෙන රජවරුන් පාලනය කළේ එම නුවරේ සිටයි. (ගීතාවලිය 48:1, 2) එම රජවරුන් වෙනත් රජවරුන්ට වඩා වෙනස්. මන්ද ඔවුන් සිංහාසනයේ ඉඳගත්තේ, ‘යෙහෝවා දෙවිගේ පාලනය නියෝජනය කරන රජුන් ලෙසයි.’ (1 ලේකම් 29:23) ඉන් පැහැදිලි වන්නේ යෙරුසලම යෙහෝවා දෙවිගේ පාලනය නියෝජනය කළ බවයි.

      දෙවිගේ පාලනය ‘ජාතීන් විසින් පාගා දමන්න’ පටන්ගත්තේ කවදාද? ඒ කෙසේද? එය සිදු වුණේ ක්‍රි.පූ. 607දීයි. එනම් බැබිලෝනිවරුන් යෙරුසලම යටත් කරගත් කාලයේදීයි. එතැන් සිට ‘යෙහෝවා දෙවිගේ සිංහාසනයේ’ ඉඳගැනීමට රජෙක්, එනම් දාවිත්ගේ පෙළපතින් පැවතෙන රජෙක් සිටියේ නැහැ. (2 රාජාවලිය 25:1-26) දෙවිගේ පාලනය “පාගා දමනු” ලැබුවේ එලෙසයි. එම තත්වය සදහටම පැවතුණාද? නැහැ. එසේ පැවසිය හැක්කේ යෙරුසලමේ සිටි අවසාන රජ වූ ශෙදකියා සම්බන්ධයෙන් දෙවි එසකියෙල් මාර්ගයෙන් පැවසූ මේ දේ නිසයි. “හිස්වැස්ම ගලවා දමන්න. ඔටුන්න ඉවත් කරන්න. . . . නීත්‍යනුකූල අයිතිය ඇති තැනැත්තා පැමිණෙන තෙක් ඔටුන්න කිසිවෙකුටවත් හිමි වන්නේ නැත. ඔහු පැමිණි විට මම එය ඔහුට දෙන්නෙමි.” (එසකියෙල් 21:26, 27) එම පදයේ සඳහන් ලෙස දාවිත්ගේ ඔටුන්න හිමි වීමට “නීත්‍යනුකූල අයිතිය” ඇති තැනැත්තා වන්නේ යේසුස් ක්‍රිස්තුස්. (ලූක් 1:32, 33) ඒ අනුව යේසුස් රජ බවට පත් වන විට ‘පාගා දැමීම’ අවසන් වෙනවා.

      යේසුස් රජ බවට පත් වුණේ කවදාද? වෙනත් ජාතීන්ගේ පාලනය යම් නිශ්චිත කාලයකට පමණක් පවතින බව යේසුස් පැවසුවා. ඒ කාලය කොතරම් දීර්ඝද කියා ගණන් බැලීමට දානියෙල් 4වෙනි පරිච්ඡේදයේ සඳහන් වාර්තාව උපකාරවත් වෙනවා. බැබිලෝනියේ රජ වූ නෙබුකද්නෙෂර් දුටු සිහිනයක් ගැන එහි විස්තර කර තිබෙනවා. අනාගතයේදී ඉටු වීමට නියමිත දේවල් ඔහු ඒ සිහිනයේදී දුටුවා. එම සිහිනයේදී විශාල ගසක් කපා බිම හෙළන ආකාරයත් උගුලා නොදැමූ එහි කඳ කොටස යකඩ හා තඹ පටිවලින් බඳිනු ලැබූ ආකාරයත් ඔහු දුටුවා. ඉන්පසුව දේවදූතයෙක් මෙසේ පැවසුවා. “කාලවල් සතක් පසු වන තුරු එය එම තත්වයේම තිබුණාවේ.”—දානියෙල් 4:10-16.

      නෙබුකද්නෙෂර් සිහිනයෙන් දුටු ගස කපා දැමීමෙන් අදහස් කරන්නේ කුමක්ද? බයිබලයේ ඇතැම් ස්ථානවල ගස යන වචනය යොදා තිබෙන්නේ යම් පාලනයක් නියෝජනය කිරීමටයි. (එසකියෙල් 17:22-24; 31:2-5) ඒ අනුව නෙබුකද්නෙෂර් දුටු සිහිනයේ ගස කපා දැමීමෙන් අදහස් කළේ දෙවිගේ පාලනය නියෝජනය කළ රජවරුන් තවදුරටත් යෙරුසලම පාලනය නොකරන බවයි. නමුත් දේවදූතයා පැවසූ ලෙස යෙරුසලම එලෙස ‘පාගා දමන්නේ’ ‘කාලවල් සතකට’ පමණයි. එම කාලවල් සත කොතරම් දීර්ඝද?

      එළිදරව් 12:6, 14හි සඳහන් වන ආකාරයට කාලවල් තුනහමාරක් ‘එක්දහස් දෙසිය හැට දවසකට’ සමානයි. ඒ අනුව කාලවල් තුනහමාර මෙන් දෙගුණයක් වන “කාලවල් සත” දවස් 2,520කට සමාන විය යුතුයි. නමුත් වෙනත් ජාතීන් දෙවිගේ පාලනය ‘පාගා දැමුමේ’ දවස් 2,520ක් තරම් කෙටි කාලයකට නොවෙයි. ඒ නිසා එය ඊට වඩා දිගු කාලයක් විය යුතුයි. ගණන් කතාව 14:34 සහ එසකියෙල් 4:6ට අනුව, ‘දවසක් එක අවුරුද්දක් ලෙස’ සැලකිය හැකියි. ඒ අනුව “කාලවල් සත” අවුරුදු 2,520ක් වෙනවා.

      අවුරුදු 2,520කින් යුත් එම කාලය පටන්ගත්තේ බැබිලෝනිවරුන් විසින් යෙරුසලම යටත් කරගත් ක්‍රි.පූ. 607 ඔක්තෝබර් මාසයේදීයි. එතැන් සිට දාවිත්ගේ පෙළපතින් පැවතෙන කෙනෙක් යෙරුසලමේ රජකමට පත් වුණේ නැහැ. “ජාතීන් සඳහා නියමිත වූ කාලය” අවසන් වුණේ 1914 ඔක්තෝබර් මාසයේදීයි. දෙවි යේසුස් ක්‍රිස්තුස්ව ස්වර්ගයේ රජු ලෙස පත් කළේ ඒ කාලයේදීයි.a—ගීතාවලිය 2:1-6; දානියෙල් 7:13, 14.

      යේසුස් පැවසූ ලෙස තමන් ‘පැමිණ සිටින කාලයේ’ එනම් ස්වර්ගයේ රජු ලෙස ඔහු පත් වූ පසු ලොව පුරාම යුද්ධ, සාගත, වසංගත හා භූමිකම්පා යනාදිය දැකගත හැකියි. (මතෙව් 24:3-8; ලූක් 21:11) දෙවිගේ රාජ්‍යයේ පාලනය 1914දී ස්වර්ගයේ ආරම්භ වූ බවටත් එතැන් සිට මේ දුෂ්ට සමාජයේ ‘අවසාන කාලය’ ආරම්භ වී තිබෙන බවටත් ලොව පුරා සිදු වන දේවලින් පැහැදිලිව තේරුම්ගත හැකියි.—2 තිමෝති 3:1-5.

      වගුව: කාලවල් සත නැත්නම් වෙනත් ජාතීන් සඳහා නියම වුණ කාලය අවුරුදු 2,520යි. යෙරුසලමේ විනාශයේ ඉඳන් ඉදිරියට අවුරුදු 2,520 ගණන් කළාම ඒ කාලය අවසන් වෙන්නේ 1914 ඔක්තෝබර් මාසයේදියි.

      a ක්‍රි.පූ. 607 ඔක්තෝබර් සිට ක්‍රි.පූ. 1 ඔක්තෝබර් දක්වා තිබෙන අවුරුදු ගණන 606යි. ක්‍රි.පූ. හා ක්‍රි.ව. අතර ශූන්‍ය වසරක් නොමැති නිසා ක්‍රි.පූ. 1 ඔක්තෝබර් සිට ක්‍රි.ව. 1914 ඔක්තෝබර් දක්වා තිබෙන අවුරුදු ගණන 1914යි. අවුරුදු 606 සහ අවුරුදු 1914 එකතු කළ විට මුළු අවුරුදු ගණන 2,520යි. යෙරුසලමේ වැටීම ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලද Insight on the Scriptures නමැති පොතේ “Chronology” නම් කොටස බලන්න.

  • මිකායෙල් යනු කවුද?
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
    • උපග්‍රන්ථය

      මිකායෙල් යනු කවුද?

      මිකායෙල් කියා හඳුන්වනු ලබන දේවදූතයා ගැන බයිබලයේ සඳහන් වන්නේ ස්ථාන කිහිපයක පමණයි. ඔහු ගැන සඳහන් ඒ ස්ථානවලින් ඔහු ක්‍රියාශීලී කෙනෙකු බව පැහැදිලියි. උදාහරණයකට දානියෙල්ගේ වාර්තාවට අනුව ඔහු සාතන් ඇතුළු භූතයන්ට විරුද්ධව සටන් කරනවා. එමෙන්ම මිකායෙල් හා සාතන් අතර මතභේදයක් ඇති වූ බව යූද් සඳහන් කර තිබෙනවා. මිකායෙල්, සාතන් හා භූතයන් සමඟ යුද්ධ කරන බව එළිදරව් පොතේ සඳහන් වෙනවා. මිකායෙල් යන නමේ අර්ථය “දෙවිට සමාන කවුද” යන්නයි. දෙවිගේ පාලනය යුක්තිසහගත බව තහවුරු කිරීමට පියවර ගනිමින් දෙවිගේ සතුරන්ට විරුද්ධව ඔහු සටන් කරන නිසා එම නාමය ඔහුට කොතරම් හොඳින් ගැළපෙනවාද! ඇත්තෙන්ම මිකායෙල් යන නමින් හඳුන්වන්නේ කාවද?

      සමහර අවස්ථාවලදී එකම පුද්ගලයාව නම් කිහිපයකින් හඳුන්වනවා. උදාහරණයකට යාකොබ්ව ඊශ්‍රායෙල් යන නමින්ද පේතෘස්ව සීමොන් යන නමින්ද බයිබලයේ හඳුන්වා තිබෙනවා. (උත්පත්ති 49:1, 2; මතෙව් 10:2) බයිබලයේ සඳහන් විස්තරවලින් පැහැදිලි වන්නේ මිකායෙල් යන නම යේසුස්ව හඳුන්වන තවත් නමක් බවයි. යේසුස් පොළොවට පැමිණීමට පෙරත් පසුවත් ඔහුව එම නමින් හඳුන්වා තිබෙනවා. මිකායෙල් යන නමින් හඳුන්වන්නේ යේසුස්ව බව තහවුරු කරගැනීමට දැන් අපි බයිබලයේ සඳහන් තොරතුරු කිහිපයක් සලකා බලමු.

      අග්‍රදේවදූතයා. මිකායෙල්ව ‘අග්‍රදේවදූතයා’ ලෙස බයිබලයේ හඳුන්වා තිබෙනවා. (යූද් 9) ඉන් අදහස් කරන්නේ ඔහු ‘ප්‍රධාන දේවදූතයා’ බවයි. එම පදයේ මිකායෙල් ලෙස හඳුන්වා තිබෙන්නේ එක් දේවදූතයෙකුව පමණයි. එමෙන්ම බයිබලයේ ‘අග්‍රදේවදූතයා’ යන වචනය සෑමවිටම භාවිත කර තිබෙන්නේ ඒක වචන ස්වරූපයෙනුයි. අග්‍රදේවදූතයාට හිමි කාර්යභාරය ගැන බයිබලයේ සඳහන් විස්තරය යේසුස්ට හොඳින් ගැළපෙනවා. මන්ද නැවත නැඟිටුවන ලද ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් ගැන 1 තෙසලෝනික 4:16හි මෙසේ සඳහන් වෙනවා. “ස්වාමීන්, දෙවිගේ හොරණෑව අතැතිව ස්වර්ගයෙන් බැස එයි. ඒ අවස්ථාවේදී අග්‍රදේවදූතයා වන ඔහුගේ හඬද ඔහු නිකුත් කරන අණද ඇසෙයි.” එම පදයෙහි ස්වාමි වූ යේසුස්ව අග්‍රදේවදූතයා ලෙස හඳුන්වා තිබෙනවා. ඉන් පැහැදිලි වන්නේ අග්‍රදේවදූතයා වන යේසුස්ව මිකායෙල් යන නමින් හඳුන්වන බවයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න