-
බයිබලයේ සඳහන් ආශ්චර්යයන් විශ්වාස කළ හැකිද?2012 මුරටැඹ | අගෝස්තු 1
-
-
බයිබලයේ සඳහන් ආශ්චර්යයන් විශ්වාස කළ හැකිද?
ඔබට යම් දෙයක් අසන්න ලැබුණොත් එය විශ්වාස කරනවාද නැද්ද කියා ඔබ තීරණය කරන්නේ ඒ දේ පැවසූ කෙනා කොයි තරම් විශ්වාසවන්ත කෙනෙක්ද යන්න මතයි. ඒ පුද්ගලයා මීට පෙර ඔබට බොරුවක් පවසා නැත්නම් ඔහු පැවසූ දේ විශ්වාස නොකර සිටීමට ඔබට හේතුවක් නැහැ.
බයිබලයේ සඳහන් ආශ්චර්යයන් සිදු වූ කාලයේ අප සිටියේ නැති වුණත් ඒවා විශ්වාස කිරීමට හොඳ හේතු තිබෙනවා. ඒවා සලකා බැලීමෙන් ඒ දේවල් ඇත්තටම සිදු වුණාද නැද්ද කියා ඔබටම තීරණය කළ හැකියි. එම හේතු කිහිපයක් දැන් අපි බලමු.
ආශ්චර්යයන් බොහෝදෙනෙක් දැක්කා. ආශ්චර්යයන් සිදු වුණේ හොර රහසේ නොවෙයි. ඒවා සිදු වූ බොහෝ අවස්ථාවල ඒ අවට මිලියන ගණන් සෙනඟ සිටියා.—නික්මයාම 14:21-31; 19:16-19.
ආශ්චර්යයන් සිදු කළේ ප්‍රදර්ශනයට නොවෙයි. ඒවා සිදු කළේ අන් අයගේ අවධානය ඇදගැනීමේ අදහසින් හෝ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් නොවෙයි. බොහෝ ආශ්චර්යයන් සිදු කළේ නොසිතූ වේලාවන්වල සහ එක් එක් පුද්ගලයාගේ ඉල්ලීම්වලට අනුවයි.—මාක් 5:25-29; ලූක් 7:11-16.
ආශ්චර්යයන් සිදු කළේ ප්‍රසිද්ධිය, ප්‍රශංසාව හෝ මුදල් ලබාගැනීමේ අරමුණින් නොවෙයි. ඒවා සිදු කළේ දෙවිව ගෞරවයට පත් කිරීම සඳහායි. (යොහන් 11:1-4, 15, 40) ආශ්චර්යයන් තමාගේ වාසියට යොදාගත් අයව දෙවි හෙළාදැක්කා.—2 රාජාවලිය 5:15, 16, 20, 25-27; ක්‍රියා 8:18-23.
ආශ්චර්යයන්වල විවිධත්වයක් තිබුණා. නියඟයක් ඇති වීමට සැලැස්වීම, වර්ෂාව ඇදහැලීමට සැලැස්වීම, කුණාටුවක් නිහඬ කිරීම, අසනීප අයව සුව කිරීම, වතුර වයින් කිරීම, අන්ධ කෙනෙකුට පෙනීම ලබා දීම වැනි ආශ්චර්යයන් ගැන බයිබලයේ සඳහන් වෙනවා. එවැනි විවිධත්වයකින් යුත් ආශ්චර්යයන්වලින් පැහැදිලි වන්නේ ඒවා සිදු කළ අයට ඒ සඳහා බලය ලැබුණේ සියලු දේවල් කෙරෙහි බලයක් තිබෙන කෙනෙකුගෙන් බවයි.—1 රාජාවලිය 17:1-7; 18:41-45; මතෙව් 8:24-27; ලූක් 17:11-19; යොහන් 2:1-11; 9:1-7.
යේසුස් කළ ආශ්චර්යයන් ඔහුගේ සතුරෝ පවා පිළිගත්තා. යේසුස්ගේ මිත්‍රයෙකු වූ ලාසරුස් මිය ගොස් දවස් හතරකට පසු යේසුස් ඔහුව නැවත නැඟිට්ටෙව්වා. යේසුස්ට සතුරුකම් කළ ආගමික නායකයන් පවා එය පිළිගත්තා. (යොහන් 11:45-48; 12:9-11) යේසුස් මිය ගොස් අවුරුදු සියගණනකට පසු යුදෙව් ආගමික පොතක් ලියූ අයද යේසුස් බලවත් ක්‍රියා කළ බව පිළිගත්තා. ඔවුන් ප්‍රශ්න කළේ යේසුස්ට ඒ සඳහා බලය ලැබුණේ කොහෙන්ද කියායි. ඒ වගේම ආශ්චර්යයන් සිදු කළ යේසුස්ගේ අනුගාමිකයන්ව යුදෙව් මන්ත්‍රණ සභාව ඉදිරියට කැඳවූ අවස්ථාවේ ඔවුන්ගෙන් ප්‍රශ්න කළේ ඔවුන් එම බලවත් ක්‍රියා කළාද නැද්ද කියා නොවෙයි. ඒ වෙනුවට ඔවුන් ඇසුවේ, “ඔබ මේ දේ කළේ කාගේ අවසරයෙන්ද? කාගේ නාමයෙන්ද” කියායි.—ක්‍රියා 4:1-13.
බයිබලයේ සඳහන් වී තිබෙන ආශ්චර්යයන් ගැන දැන් ඔබට සිතෙන්නේ කුමක්ද? ඒවා විශ්වාස කළ හැකියි කියා ඔබට සිතෙනවාද? මෙතෙක් සලකා බැලූ තොරතුරුවලට අමතරව එම ආශ්චර්යයන් විශ්වාස කිරීමට තවත් හේතු තිබෙනවා. බයිබලයේ යම් සිද්ධියක් ගැන සඳහන් කරන විට එය සිදු වූ කාලය, ස්ථානය වගේම ඊට අදාළ පුද්ගලයන්ගේ නම් ගැනත් එහි සඳහන් වෙනවා. එම තොරතුරුවල ඇති නිවැරදිභාවය ගැන බයිබලය විවේචනය කරන විශාරදයන් පවා පුදුම වෙනවා. ඒ විතරක් නොවෙයි, බයිබලයේ ඇති අනාවැකිවල සඳහන් සෑම තොරතුරක්ම ඒ විදිහටම ඉටු වී තිබෙනවා. ඊට අමතරව සන්තෝෂවත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම්ද එහි සඳහන් වෙනවා. එම මඟ පෙන්වීම් ලැබී තිබෙන්නේ දෙවිගෙන් නිසා ඒවා අදාළ කරගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන වෙන කිසිවකින් ලැබෙන්නේ නැහැ.
බයිබලයේ තිබෙන දේවල් විශ්වාස කිරීමට ඔබට තවත් සාක්ෂි අවශ්‍යයි කියා සිතෙනවාද? එසේනම් ඒ ගැන සොයා බැලීමට කාලය යෙදවීම ඥානවන්ත නැද්ද? බයිබලයේ තිබෙන දේවල් ගැන වැඩි වැඩියෙන් ඉගෙනගන්නා විට ඒ ගැන ඔබට තිබෙන විශ්වාසය වැඩි වෙයි. (යොහන් 17:17) එවිට බයිබලයේ සඳහන් ආශ්චර්යයන් ඇත්තටම සිදු වුණාද නැද්ද කියා තවත් සැක කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ වෙනුවට අනාගතයේදී ඉටු කරන බවට සඳහන් කර තිබෙන සෑම දෙයක්ම අනිවාර්යයෙන්ම ඉටු වෙයි කියා විශ්වාස කිරීමට ඔබට හැකි වෙයි.
[7වන පිටුවේ පින්තූරය]
යේසුස් ලාසරුස්ව නැවත නැඟිටෙවූ බව යේසුස්ගේ සතුරෝ පවා පිළිගත්තා
-
-
ළඟදීම සිදු වන ආශ්චර්යයන්2012 මුරටැඹ | අගෝස්තු 1
-
-
ළඟදීම සිදු වන ආශ්චර්යයන්
ඔබට බරපතළ සැත්කමක් කරන්න තිබෙන බව වෛද්‍යවරයෙක් ඔබට පවසනවා කියා සිතන්න. එම සැත්කම කිරීමට ඔබ තෝරාගත් වෛද්‍යවරයා එතරම් අද්දැකීම් නැති කෙනෙක් කියා දැනගන්න ලැබුණොත් ඔබට කොහොම හැඟෙයිද? ඔබ ඒ සඳහා අද්දැකීම් ලත් වෙනත් සුදුසු වෛද්‍යවරයෙකු තෝරාගන්නා බවට සැකයක් නැහැ. නමුත් ඔබ මුලින්ම තෝරාගත් වෛද්‍යවරයා ඉතා දක්ෂ, අද්දැකීම් ලත් කෙනෙක් කියා ඔබට දැනගන්න ලැබුණොත් ඔබේ සැත්කමත් ඔහු සාර්ථකව කරයි කියා ඔබ තුළ මහත් විශ්වාසයක් ඇති වන බව නිසැකයි.
බරපතළ අසනීප සහ සියලුම දුෂ්ටකම්වලට නිමාවක් ගෙනෙන බවට මුළු විශ්වයේම නිර්මාතෘ වන යෙහෝවා දෙවි පොරොන්දු වී තිබෙනවා. ඒ කාලයේදී ධර්මිෂ්ඨ පාලනයක් යටතේ සියලුදෙනාම සාමයෙන් හා සතුටින් ජීවත් වන බවත් බයිබලයේ සඳහන් වෙනවා. (2 පේතෘස් 3:13; ගීතාවලිය 37:9-11; හිතෝපදේශ 2:21, 22) මිනිසුන්ව දුකට පත් කරන කිසිම දෙයක් ඒ කාලයේදී සිද්ධ වෙන්නේ නැහැ. නමුත් එවැනි දෙයක් සිදු වීමට නම් යම් ආශ්චර්යයක් සිදු විය යුතුයි කියා ඔබ සිතයි.—එළිදරව් 21:4, 5.
ඒ වෙනස්කම් අනිවාර්යයෙන්ම සිද්ධ වන බව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරනවා. ඊට හේතුව යෙහෝවා දෙවි පුරාණයේදී සිදු කළ බොහෝ ආශ්චර්යයන් ගැන ඔවුන් හොඳින් අධ්‍යයනය කර තිබීමයි. ඒ නිසා දෙවි පොරොන්දු වී තිබෙන දේවල් අනිවාර්යයෙන්ම ඉටු කිරීමට ඔහුට හැකියාව තිබෙන බව ඔවුන් විශ්වාස කරනවා.
අනාගතය සම්බන්ධයෙන් බයිබලයේ දී තිබෙන පොරොන්දු දිගටම සොයා බලන්න කියා ඔබට ආරාධනා කරන්න කැමතියි. අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇතුව ජීවත් වීමට එය ඔබට උපකාරවත් වන බවට සැකයක් නැහැ.
[9, 10වන පිටුවල පින්තූර⁄කොටුව]
ආශ්චර්යය:
රොටි සහ මසුන් සුළු ප්‍රමාණයකින් දහස් ගණනකට කෑම දීම.—මතෙව් 14:13-21; මාක් 8:1-9; යොහන් 6:1-14.
පොරොන්දුව:
“අප් දෙවි අපට ආශීර්වාද කරන්නේය. එබැවින් භූමිය බොහෝ පල දරනු ඇත.”—ගීතාවලිය 67:6.
බලාපොරොත්තුව:
කිසිම කෙනෙක් කුසගින්නේ සිටින්නේ නැහැ.
ආශ්චර්යය:
යේසුස් අන්ධ අයට පෙනීම ලබා දුන්නා.—මතෙව් 9:27-31; මාක් 8:22-26.
පොරොන්දුව:
“අන්ධ අයගේ ඇස් පැහැදෙන්නේය.”—යෙසායා 35:5.
බලාපොරොත්තුව:
අන්ධව සිටින සියලුදෙනාට පෙනීම ලැබෙනවා.
ආශ්චර්යය:
යේසුස් ආබාධිත අයව සුව කළා.—මතෙව් 11:5, 6; යොහන් 5:3-9.
පොරොන්දුව:
“කොර අය මුවෙකු මෙන් පැන යන්නෝය.”—යෙසායා 35:6.
බලාපොරොත්තුව:
ආබාධිත අයට සුවය ලැබෙනවා.
ආශ්චර්යය:
සියලු ආකාරයේ රෝගීන්ව යේසුස් සුව කළා.—මාක් 1:32-34; ලූක් 4:40.
පොරොන්දුව:
“කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත.”—යෙසායා 33:24.
බලාපොරොත්තුව:
කිසිම කෙනෙක් අසනීප වෙන්නේ නැහැ. සෑම කෙනෙක්ම නිරෝගී ජීවිතයක් ගත කරනවා.
ආශ්චර්යය:
යේසුස් කුණාටු මැඩපැවැත්වුවා.—මතෙව් 8:23-27; ලූක් 8:22-25.
පොරොන්දුව:
‘ඔවුහු ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය. මිදිවතු වවා එහි පලදාව භුක්ති විඳින්නෝය. ඔවුන්ගේ වෙහෙස මහන්සිය කිසිවිටෙක අපතේ යන්නේ නැත.’—යෙසායා 65:21, 23
“ඔබ හිංසා පීඩා අද්දකින්නේ නැත. ඔබ කිසිම දෙයකට භය වන්නේවත් තැතිගන්නේවත් නැත.”—යෙසායා 54:14.
බලාපොරොත්තුව:
ස්වාභාවික විපත්වලින් බැට කන්නේ නැහැ.
ආශ්චර්යය:
මිය ගිය අයට යේසුස් නැවත ජීවිතය දුන්නා.—මතෙව් 9:18-26; ලූක් 7:11-17.
පොරොන්දුව:
‘සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාම නැවත නැඟිටිනවා.’—යොහන් 5:28, 29.
“මුහුද එහි මිය ගොස් සිටි අයව භාර දුන්නේය. මරණය සහ මිනී වළද එහි මිය ගොස් සිටි අයව භාර දුන්නේය.”—එළිදරව් 20:13.
බලාපොරොත්තුව:
මිය ගිය අපේ හිතවතුන්ව නැවත දැකගන්න පුළුවන්.
-