ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මිනිස් වර්ගයා සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
    • 3වෙනි පරිච්ඡේදය

      මිනිස් වර්ගයා සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?

      • දෙවි පොළොව නිර්මාණය කළේ ඇයි?

      • දෙවිට විරුද්ධව එල්ල කර තිබෙන චෝදනාව කුමක්ද?

      • අනාගතයේදී භුක්ති විඳින ජීවිතය මොන වගේ එකක් වෙයිද?

      1. දෙවිගේ අරමුණ වුණේ කුමක්ද?

      යෙහෝවා දෙවි පොළොව නිර්මාණය කළ කාලයේදී, ‘ඔහු ඒදන්හි උයනක් සාදා ඇසට ප්‍රිය වූ කෑමට හොඳ වූ සියලු ගස් ඒ උයනේ හටගන්න සැලැස්වූවේය’ කියා බයිබලයේ සඳහන් වෙනවා. දෙවි මුල් පුරුෂයා හා ස්ත්‍රිය වූ ආදම් සහ ඒවව සාදා ඔවුන්ව ඒ ලස්සන උයනේ පදිංචි කෙරෙව්වා. ඉන්පසු ඔහු ඔවුන්ට මෙසේ පැවසුවා. “දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න.” (උත්පත්ති 1:28; 2:8, 9, 15) ඉන් පැහැදිලි වන්නේ මිනිසුන් දරුවන් බිහි කරමින් ඒ ලස්සන උයන පොළොව පුරාම ව්‍යාප්ත කරනවා දැකීම දෙවිගේ අරමුණ වූ බවයි. ඔවුන් සියලුම සතුන්ව රැකබලා ගැනීමද ඊට ඇතුළත් වුණා. යෙහෝවා දෙවි කැමති වුණේ මිනිසුන් ප්‍රීතියෙන් හා නිරෝගීව මේ පොළොව පුරාම ජීවත් වෙනවා දකින්නයි. එය මොන තරම් විශිෂ්ට අරමුණක්ද!

      2. (අ) දෙවි අරමුණු කළ දේ ඉටු වන බවට ස්ථිර විය හැක්කේ කෙසේද? (ආ) බයිබලයේ සඳහන් ආකාරයට සදාකල් ජීවත් වීමට සුදුස්සන් වන්නේ මොන වගේ අයද?

      2 යෙහෝවා දෙවි අරමුණු කළ ඒ දේ ඉටු වන බව නිසැකයි. මන්ද දෙවිම ඒ ගැන පවසන්නේ මෙසේයි. “මා කියූ දේ මම ඒ අයුරින්ම ඉටු කරන්නෙමි.” (යෙසායා 46:9-11; 55:11) “[දෙවි] පොළොව සෑදුවේ හිස්, පාළු ස්ථානයක් වීමට නොව, මිනිසුන්ගේ වාසය සඳහා” බවත් බයිබලයේ සඳහන් වෙනවා. (යෙසායා 45:18) ඒ කාරණා දෙකෙන්ම පැහැදිලි වන්නේ දෙවි පොළොව නිර්මාණය කළ අරමුණ ඉටු වන බවයි. නමුත් දෙවි කැමති වන්නේ පොළොවේ මොන වගේ මිනිසුන් ජීවත් වෙනවාටද? එමෙන්ම ඔවුන් කොතරම් කාලයක් ජීවත් වෙනවාටද? බයිබලයේ ඊට පිළිතුරු දෙන්නේ මෙසේයි. “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:29; එළිදරව් 21:3, 4.

      3. පොළොවේ සිදු වන කනගාටුදායක දේවල් නිසා මතු වන ප්‍රශ්නය කුමක්ද?

      3 අද මිනිසුන්ට ලෙඩ රෝග හැදෙනවා. ඔවුන් මිය යනවා. මිනිසුන් යුද්ධ කරමින් එකිනෙකාව මරා දමනවා. ඒ සෑම දෙයකින්ම පැහැදිලි වන්නේ දෙවි අරමුණු කළ දේ තවමත් ඉටු වී නැති බවයි. දෙවිගේ අරමුණ ඉටු නොවීමට හේතුව කුමක්ද? ඒ ප්‍රශ්නයට පිළිතුර මිනිසුන් ලියා තිබෙන කිසිම පොතකින් සොයාගත නොහැකියි. මන්ද දෙවිගේ අරමුණට හරස් වූ තැනැත්තා මිහිපිට කෙනෙකු නොවීමයි. ඔහු ගැන වාර්තා වන්නේ බයිබලයේ පමණයි.

      දෙවිගේ අරමුණට හරස් වූ තැනැත්තා

      4, 5. (අ) ඇත්තටම ඒවට කතා කළේ කවුද? (ආ) කෙනෙකු සොරෙකු බවට පත් වන්නේ කෙසේද?

      4 බයිබලයේ මුල්ම පොතෙහි සඳහන් වන්නේ ඒ තැනැත්තා ඒදන් උයනේදී දෙවිට විරුද්ධව නැඟී සිටි බවයි. ඔහු එසේ කළේ ආදම් සහ ඒවව වරදට පෙලඹවීමෙනුයි. එහි ඔහුව හඳුන්වන්නේ, “සර්පයා” ලෙසයි. නමුත් ඔහු ඇත්තටම සර්පයෙක් නොවෙයි. ඔහු සාතන් නමැති යක්ෂයායි. ඒ කාරණය බයිබලයේ අවසන් පොතේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. එහි පවසන්නේ, “යක්ෂයා කියාද සාතන් කියාද හඳුන්වන, මුළු පොළොවම නොමඟ යවන” තැනැත්තා, “මුල් සර්පයා” බවයි. (උත්පත්ති 3:1; එළිදරව් 12:9) එසේනම් සාතන්ව සර්පයෙකු ලෙස හඳුන්වා තිබෙන්නේ ඇයි? ඔහු ඒව සමඟ කතා කරන්න යොදාගත්තේ සර්පයෙකුවයි. එය හරියට පුද්ගලයෙකු රූකඩයක් මාර්ගයෙන් කතා කරනවා වගෙයි. දෙවි පොළොව මිනිස් වාසය සඳහා සූදානම් කළ කාලයේදීත් ඔහු ස්වර්ගයේ සිටියා.—යෝබ් 38:4, 7.

      5 යෙහෝවා දෙවි සෑදූ සෑම දෙයක්ම යහපත්. එසේනම් සාතන් නමැති යක්ෂයා ඇති වුණේ කෙසේද? යක්ෂයා බවට පත් වුණේ දෙවි ස්වර්ගයේ ජීවත් වීමට සෑදූ බලවත් දේවදූතයන්ගෙන් කෙනෙක්. නමුත් දේවදූතයෙක් යක්ෂයෙකු බවට පත් වුණේ කෙසේද? සොරෙකු ගැන සිතන්න. ඔහු උපතින්ම සොරෙක් නොවෙයි. නමුත් සොරකම් කිරීමට ඔහු පෙලඹුණේ ඔහු තුළ ඇති වූ වැරදි ආශාවක් පාලනය නොකර ඔහු ඒ ගැන දිගින් දිගටම සිතූ නිසයි.—යාකොබ් 1:13-15 කියවන්න.

      6. බලවත් දේවදූතයෙකු සාතන් නමැති යක්ෂයා බවට පත් වුණේ කෙසේද?

      6 සාතන්ටත් සිදු වුණේ ඒ හා සමාන දෙයක්. දරුවන් බිහි කරමින් පොළොව පුරා පැතිර යන්න කියා දෙවි ආදම් සහ ඒවට පැවසූ දේ සාතන් අසාගෙන සිටින්න ඇති. (උත්පත්ති 1:27, 28) ඒ සියලුදෙනාම දෙවිට කරන නමස්කාරය තමාට ලබාගැනීමට ඔහු තුළ ආශාවක් ඇති වුණා. ඒ වැරදි ආශාව ඔහුගේ සිතේ වැඩෙන්න ඔහු ඉඩහැරියා. අවසානයේදී ඔහු දෙවි ගැන ඒවට බොරු කියා ඇයව රැවටීමට උපක්‍රමයක් යෙදුවා. (උත්පත්ති 3:1-5 කියවන්න.) දේවදූතයෙකුව සිටි ඔහු, ‘සාතන් නමැති යක්ෂයා’ බවට පත් වුණේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. ඔහුව එලෙස හැඳින්වීම උචිතයි. මන්ද “සාතන්” යන නමේ තේරුම “විරුද්ධකාරයා” යන්නයි. “යක්ෂයා” ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක වචනයෙන් අදහස් කරන්නේ “අපහාස කරන්නා” යන්නයි.

      7. (අ) ආදම් සහ ඒව මිය ගියේ ඇයි? (ආ) ආදම්ගෙන් පැවතෙන සෑම කෙනෙකුම මහලු වී මිය යන්නේ ඇයි?

      7 සාතන් නමැති යක්ෂයා බොරු කියමින් ඉතා කපටි ලෙස ආදම් සහ ඒවව දෙවිට අකීකරු වීමට පෙලඹුවා. (උත්පත්ති 2:17; 3:6) දෙවිට අකීකරු වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට මරණය උරුම වුණා. මන්ද අකීකරු වුණොත් ඔවුන් අනිවාර්යයෙන්ම මැරෙන බව දෙවි කලින්ම පවසා තිබුණා. (උත්පත්ති 3:17-19) දෙවිට අකීකරු වීමෙන් ඔවුන් පව්කාරයන් බවට පත් වූ අතර ඔවුන්ගෙන් පැවතෙන සෑම කෙනෙකුටම පව්කාර ස්වභාවය උරුම වුණා. (රෝම 5:12 කියවන්න.) එය පැහැදිලි කරගැනීමට මේ උදාහරණය සලකා බලමු. පාන් පිලිස්සීමට භාවිත කරන අච්චුවක කඩතොල්ලක් ඇත්නම් එයින් පුලුස්සන සෑම පාන් ගෙඩියකම ඒ කඩතොල්ල දැකිය හැකියි. එලෙසම “කඩතොල්ලක්” හා සමාන ආදම්ගේ පව්කාර ස්වභාවය ඔහුගෙන් පැවතෙන සෑම කෙනෙකුටම උරුම වුණා. මිනිසුන් මහලු වී මිය යන්නේ ඒ නිසයි.—රෝම 3:23.

      8, 9. (අ) සාතන් කළ චෝදනාව කුමක්ද? (ආ) දෙවි කැරලිකරුවන්ව ඒ මොහොතේම විනාශ නොකළේ මන්ද?

      8 සාතන්, ආදම් සහ ඒවව පව් කිරීමට පෙලඹවීමෙන් ඔහු දෙවිට විරුද්ධව කැරැල්ලක් ඇති කළා. යෙහෝවා දෙවි පාලනය කරන ආකාරය වැරදි බව ඔහු කියා සිටියා. ඔහු ඒවට පැවසූ දේවලින් දෙවි නපුරු පාලකයෙකු බවත් දෙවි බොරු කියන බවත් හැකියාව තිබුණත් ඔහු යටතේ සිටින අයට හොඳ දේවල් නොදෙන බවත් ඇඟෙව්වා. එමෙන්ම ඔහු කියා සිටියේ මිනිසුන්ට දෙවිගේ පාලනය අවශ්‍ය නැති බවයි. හරි වැරැද්ද කුමක්ද කියා තමන්ටම තීරණය කිරීමට මිනිසුන්ට හැකි බවයි. ඔහු ඇඟවීමට උත්සාහ කළේ ඔහු පැවසූ දේවල් කළොත් ආදම් සහ ඒවට මීට වඩා හොඳ ජීවිතයක් ගත කළ හැකි බවයි. සාතන් දෙවිට කළ ඒ අපහාසය හමුවේ දෙවි කටයුතු කළේ කෙසේද? සමහරුන් සිතන්නේ දෙවිට ඒ මොහොතේම කැරලිකරුවන්ව මරණයට පත් කරන්න තිබුණා කියායි. නමුත් දෙවි එසේ කළා නම් සාතන් ඇඟවීමට උත්සාහ කළ දේවල් හරිද වැරදිද කියා ඔප්පු කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එමෙන්ම වඩාත් හොඳ කාගේ පාලනයද කියා පැහැදිලිව දැකගැනීමට හැකි වන්නේ නැහැ.

      9 යෙහෝවා දෙවි යුක්තිසහගතව ක්‍රියා කරන කෙනෙක් නිසා ඒ මොහොතේම කැරලිකරුවන්ව විනාශ කර දැමුවේ නැහැ. දෙවි තීරණය කළේ සාතන් පැවසූ දේවලට හොඳ පිළිතුරක් දීමට හා ඔහු බොරුකාරයෙකු බව ඔප්පු කිරීමට නම් යම් කාලයක් අවශ්‍ය බවයි. ඒ නිසා සාතන් පැවසූ ලෙස යම් කාලයකට මිනිසුන්ට මිනිසුන්වම පාලනය කිරීමට දෙවි ඉඩහැරියා.a මේ ගැන සිතා බලන්න. ආදම් සහ ඒව ඔවුන්ගේ යහපත වෙනුවෙන් කවදාවත් කිසිම දෙයක් නොකළ සාතන්ව විශ්වාස කිරීම සාධාරණද? ඔවුන් භුක්ති විඳි සෑම දෙයක්ම ඔවුන්ට දී තිබූ යෙහෝවා දෙවි බොරුකාරයෙකු කියා විශ්වාස කිරීම හරිද? එදා ඔබ එතැන සිටියා නම් ඔබ කරන්නේ කුමක්ද?

      10. දෙවිගේ පැත්ත ගනිමින් සාතන් පැවසූ දේ බොරු බව ඔප්පු කිරීමට ඔබටත් හැක්කේ කෙසේද?

      10 ඉහත සඳහන් කළ ප්‍රශ්න ගැන සිතා බැලීම ඉතා වැදගත්. මන්ද ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අප සියලුදෙනාටම සිදු වෙනවා. යෙහෝවා දෙවිගේ පැත්ත ගනිමින් සාතන් පැවසූ දේ බොරු බව ඔප්පු කිරීමට ඔබටත් අවස්ථාවක් තිබෙනවා. ඔබට පුළුවන් යෙහෝවා දෙවිව ඔබේ පාලකයා ලෙස පිළිගන්නා බව පෙන්වන්න. (ගීතාවලිය 73:28; හිතෝපදේශ 27:11 කියවන්න.) නමුත් ලොව පුරා වෙසෙන මිනිසුන් බිලියන ගණනක් අතරින් එසේ කිරීමට කැමැත්තෙන්ම තීරණය කර තිබෙන්නේ ටිකදෙනෙකු පමණයි. වැඩිදෙනෙක් දෙවිව තම පාලකයා ලෙස පිළිගෙන නැහැ. එසේනම් ඔවුන් සිටින්නේ කාගේ පාලනය යටතේද? ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?

      මේ මිනිස් සමාජය පාලනය කරන්නේ කවුද?

      සාතන් ලෝකයේ තියෙන සියලුම රාජ්‍යයන් යේසුස්ට පෙන්වනවා

      සියලුම රාජ්‍යයන් යේසුස්ට ලබා දෙන බව සාතන් පැවසීමෙන් අප තේරුම්ගන්නේ කුමක්ද?

      11, 12. (අ) මිනිස් සමාජයේ පාලකයා සාතන් බව පැහැදිලි වන්නේ කුමකින්ද? (ආ) සාතන් මිනිස් සමාජයේ පාලකයා කියා පැවසීමට තිබෙන තවත් සාක්ෂි මොනවාද?

      11 යේසුස් පොළොවේ සිටියදී සිදු වූ දෙයකින් ඒ ගැන දැනගත හැකියි. සාතන් එක් අවස්ථාවක, “ලෝකයේ සියලු රාජ්‍යයන්ද ඒවායේ තේජසද” යේසුස්ට දකින්න සැලැස්වූවා. ඉන්පසු ඔහු, “ඔබ වැඳ වැටී මට එක් වරක් නමස්කාර කළොත් මම මේ සියල්ල ඔබට දෙනවා” කියා යේසුස්ට පොරොන්දු වුණා. (මතෙව් 4:8, 9; ලූක් 4:5, 6) සියලුම රාජ්‍යයන්වල පාලකයා සාතන් නොවෙයි නම් යේසුස්ට එවැනි දේවල් ඉදිරිපත් කිරීමට සාතන්ට පුළුවන්ද? මන්ද සාතන් තමාට අයිති නැති දෙයක් ඉදිරිපත් කර යේසුස්ව වරදට පෙලඹවීමට උත්සාහ කළා නම් ඉන් පලක් නැහැ. ඒ අවස්ථාවේදී සාතන් ඉදිරිපත් කළ දේවල් ගැන යේසුස් කිසිවක් පැවසුවේ නැහැ. මන්ද මිනිස් සමාජයත් එහි සියලු රාජ්‍යයනුත් තිබෙන්නේ සාතන්ගේ පාලනය යටතේ බව යේසුස් හොඳින් දැන සිටියා.

      12 මුළු විශ්වයේ නිර්මාතෘ යෙහෝවා දෙවියි. සියලු බලැති දෙවිත් ඔහුයි. (එළිදරව් 4:11) නමුත් මේ මිනිස් සමාජය තිබෙන්නේ යෙහෝවා දෙවිගේ හෝ යේසුස්ගේ පාලනය යටතේ බව බයිබලයේ කිසිම තැනක සඳහන් වී නැහැ. ඒ වෙනුවට අවස්ථා කිහිපයකදීම යේසුස්, “මේ ලෝකයේ පාලකයා” ලෙස සාතන්ව හැඳින්වූ බව බයිබලයේ සඳහන් වෙනවා. (යොහන් 12:31; 14:30; 16:11) එමෙන්ම ඔහුව, “මේ සමාජයේ දෙවියා” කියාද හඳුන්වා තිබෙනවා. (2 කොරින්ති 4:3, 4) “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්ව තිබෙන බවත්” බයිබලයේ තවදුරටත් සඳහන් වෙනවා.—1 යොහන් 5:19.

      පාලනයේ වෙනසක්

      13. පාලනයේ වෙනසක් අවශ්‍ය වන්නේ ඇයි?

      13 දවසින් දවස මේ මිනිස් සමාජය තව තවත් දරුණු වෙනවා. ලෝකයේ සෑම තැනකම පාහේ යුද්ධ දකින්න තිබෙනවා. වංක පාලකයන් හා කුහක ආගමික නායකයන් නිසා මිනිසුන් අසරණ වෙලා. දරුණු අපරාධකරුවන් නැති තැනක් නැහැ. මේ මිනිස් සමාජය ගොඩගැනීමට නොහැකි තරමටම පිරිහිලා. බයිබලයේ සඳහන් වන්නේ මේ දුෂ්ට සමාජය පහ කර දැමීමට දෙවි ඉතාමත් ළඟදී පියවර ගන්නා බවයි. එම අවස්ථාව, “සියලු බලැති දෙවිගේ මහත් දවසේදී සිදු වන යුද්ධය” ලෙස හඳුන්වා තිබෙනවා. ඉන්පසු මේ පොළොව මත ධර්මිෂ්ඨ මිනිස් සමාජයක් ඇති කිරීමට දෙවි කටයුතු කරනවා.—එළිදරව් 16:14-16.

      14. පාලකයා ලෙස දෙවි තෝරාගෙන තිබෙන්නේ කාවද? ඒ ගැන කලින් පවසා තිබුණේ කුමක්ද?

      14 ඒ සෑම දෙයක්ම ඉටු කිරීමට දෙවි දැනටමත් පියවර ගෙන හමාරයි. ඔහු ස්වර්ගයේ පාලනයක් පිහිටුවා එහි පාලකයා ලෙස යේසුස්ව පත් කර තිබෙනවා. එසේ කිරීමට බොහෝ කලකට පෙර ඒ ගැන මෙසේ සඳහන් වී තිබුණා. “අපට ළදරුවෙක් උපන්නේය. අපට පුත්‍රයෙකු දෙන ලද්දේය. රාජ්‍ය බලය ඔහුට භාර දෙනු ලබන්නේය. ඔහුව . . . සමාදානයේ කුමාරයා ලෙස හඳුන්වනු ඇත. . . . ඔහුගේ රාජ්‍ය බලයට සීමාවක් නොතිබෙයි. සමාදානය සදහටම පවතිනු ඇත.” (යෙසායා 9:6, 7) යේසුස් ඔහුගේ ගෝලයන්ට, “[දෙවිගේ] රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියා යාච්ඤා කිරීමට ඉගැන්වූවා. එමගින් ඒ රාජ්‍යයේ වැදගත්කම ගැන ඔහු ඔවුන්ට කාවැද්දුවා. (මතෙව් 6:10) බයිබලයේ සඳහන් වන්නේ ළඟදීම ඒ රාජ්‍යය දැන් පවතින සියලුම පාලනයන් සහමුලින්ම නැති කර දමා මුළු ලෝකයම එහි පාලනය යටතට ගන්නා බවයි. (දානියෙල් 2:44 කියවන්න.) දෙවිගේ එම පාලනය යටතේ මුළු පොළොවම පාරාදීසයක් බවට පත් වෙයි.

      පාරාදීස පොළොවක් අත ළඟයි

      පාරාදීස පොළොවේ සින්දු කියමින් සතුටින් ඉන්න පිරිසක්

      15. “අලුත් පොළොවක්” කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

      15 බයිබලයේ ස්ථිර ලෙස මෙසේ පවසා තිබෙනවා. “[දෙවි] දී ඇති පොරොන්දුවට එකඟව සැමදා ධර්මිෂ්ඨකම රජයන අලුත් අහසක් සහ අලුත් පොළොවක් පැමිණෙන තුරු අපි බලා සිටින්නෙමු.” (2 පේතෘස් 3:13; යෙසායා 65:17) බයිබලයේ “පොළොව” කියා සඳහන් කර තිබෙන ඇතැම් අවස්ථාවලදී ඉන් අදහස් කරන්නේ පොළොවේ ජීවත් වන මිනිසුන්වයි. (උත්පත්ති 11:1) ඒ අනුව ධර්මිෂ්ඨකම රජයන “අලුත් පොළොවක්” කියන්නේ දෙවි කැමති ආකාරයට ජීවත් වන මිනිස් සමාජයකටයි.

      16. දෙවි ලබා දෙන වටිනා තෑග්ග කුමක්ද? එය ලබාගැනීමට නම් අප කළ යුත්තේ කුමක්ද?

      16 දෙවි කැමති ආකාරයට ජීවත් වන අයට “සදාකාල ජීවනය” ලැබෙන බව යේසුස් පැවසුවා. (මාක් 10:30) දෙවි කැමති අයුරින් ජීවත් වීමට නම් අප මුලින්ම කළ යුතු දේවල් ගැන යේසුස් පැහැදිලි කළා. ඒ ගැන දැනගැනීමට යොහන් 3:16 සහ 17:3 කියවා බලමු. පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමට ලැබීම දෙවිගෙන් ලැබෙන මොන තරම් වටිනා තෑග්ගක්ද! ඒ කාලයේදී මිනිස් වර්ගයා අද්දකින ආශීර්වාද ගැන බයිබලයේ සඳහන් දේ දැන් සලකා බලමු.

      17, 18. සාමය හා සුරක්ෂිතභාවය ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද?

      17 දුෂ්ටකම, යුද්ධ, අපරාධ හා ප්‍රචණ්ඩත්වයට අවසානයක්. “තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය. . . . නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය.” (ගීතාවලිය 37:10, 11) ‘පොළොවේ සිදු වන සියලු යුද්ධ දෙවි නවත්වා දමන්නේය.’ ඒ නිසා පොළොවට සාමය උදා වෙයි. (ගීතාවලිය 46:9; යෙසායා 2:4) ඒ කාලයේදී, “ධර්මිෂ්ඨයා සාර්ථක වන්නේය. සඳ පවතින තෙක් [එනම් සදහටම] බොහෝ සමාදානය තිබෙන්නේය.”—ගීතාවලිය 72:7.

      18 බියක් සැකක් නැති ජීවිතයක්. පුරාණයේ සිටි ඊශ්‍රායෙල්වරුන් දෙවිට කීකරුව සිටි කාලයේදී සුරක්ෂිතව ජීවත් වුණා. (ලෙවී කතාව 25:18, 19) ඒ හා සමානව දෙවිට කීකරු වන අයට කිසි බියක් සැකක් නැතුව සුරක්ෂිතව පාරාදීස පොළොවක ජීවත් වීමට හැකි වෙනවා.—යෙසායා 32:18 කියවන්න; මීකා 4:4.

      19. ඒ කාලයේදී කෑමවලින් කිසි හිඟයක් නැති බව පැවසිය හැක්කේ කෙසේද?

      19 කෑම හිඟයක් නැති කාලයක්. “පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යයි. කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 72:16) යෙහෝවා දෙවි සියලුදෙනාටම ආශීර්වාද කරන නිසා, “භූමිය බොහෝ පල දරනු ඇත.”—ගීතාවලිය 67:6.

      20. මුළු පොළොවම පාරාදීසයක් වන බවට නිසැක විය හැක්කේ ඇයි?

      20 මුළු පොළොවම පාරාදීසයක්. මිනිසුන් විනාශ කර තිබෙන මේ පොළොව පුරාම අලංකාර නිවෙස් හා උද්‍යාන ඉදිරියේදී දැකගත හැකියි. (යෙසායා 65:21-24 කියවන්න; එළිදරව් 11:18) කල් යත්ම මුළු පොළොවම ඒදන් උයන මෙන් ලස්සන පාරාදීසයක් වෙනවා. දෙවි නොවරදවාම, ‘ඔහුගේ හස්තය විදහා ජීවමාන සියල්ලන්ගේ ආශාව තෘප්තිමත් කරන්නේය.’—ගීතාවලිය 145:16.

      21. මිනිසුන් සහ සතුන් අතර ඇති වන සාමය ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද?

      21 මිනිසුන් සහ සතුන් අතර සාමයක්. වනසතුන් සහ හීලෑ සතුන් අතර කිසි ගැටුමක් ඇති වන්නේ නැහැ. දරුණු සතුන්ට කුඩා දරුවන්වත් භය වන්නේ නැහැ.—යෙසායා 11:6-9 කියවන්න; 65:25.

      22. අසනීප වී සිටින අයට සිදු වන්නේ කුමක්ද?

      22 අසනීපවලට කෙළවරක්. යේසුස් පොළොවේ සිටි කාලයේදී බොහෝ අසනීප සුව කළා. දෙවි පත් කර ඇති පාලකයා ලෙස ඊටත් වඩා මහා පරිමාණයෙන් ඔහු මිනිසුන්ට සුවයක් ගෙන දෙයි. (මතෙව් 9:35; මාක් 1:40-42; යොහන් 5:5-9) ඒ කාලයේදී “කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත.”—යෙසායා 33:24; 35:5, 6.

      23. නැවත නැඟිටීමේ බලාපොරොත්තුව අපට සැනසීමක් වන්නේ ඇයි?

      23 මිය ගිය අය නැවත නැඟිටින කාලයක්. මරණය නමැති නින්දෙහි පසු වුණත් දෙවි මතකයේ තබාගන්නා සෑම කෙනෙකුවම ඔහු නැවත නැඟිටුවනවා. “ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයත් නැවත නැඟිටින බව” බයිබලයේ සඳහන් වෙනවා.—ක්‍රියා 24:15; යොහන් 5:28, 29 කියවන්න.

      24. පාරාදීස පොළොවේ ජීවිතය ගැන ඔබ සිතන්නේ කුමක්ද?

      24 අපගේ ශ්‍රේෂ්ඨ නිර්මාතෘ වන යෙහෝවා දෙවි ගැන ඉගෙනගනිමින් ඔහුට නමස්කාර කිරීමට තීරණය කරන අයට තිබෙන්නේ මොන තරම් දීප්තිමත් අනාගතයක්ද! යේසුස් ඔහු සමඟ මිය ගිය මිනිසාට පැවසුවේ මෙයයි. “ඔබ මා සමඟ පාරාදීසයේ සිටින බවට අද මම ඔබට සහතිකවම පොරොන්දු වෙනවා.” (ලූක් 23:43) ඒ අවස්ථාවේදී යේසුස් සඳහන් කළේ අනාගතයේදී පැමිණෙන පාරාදීස පොළොව ගැනයි. අප මෙතෙක් සලකා බැලූ සියලු ආශීර්වාද දෙවි අපට ලබා දෙන්නේ යේසුස් මාර්ගයෙනුයි. ඒ නිසා ඔහු ගැන තවදුරටත් ඉගෙනගැනීම අත්‍යවශ්‍යයි.

      a දෙවි ඒ සඳහා මෙතරම් කාලයක් ඉඩහැරීමට හේතුව ගැන 11වෙනි පරිච්ඡේදයේ සාකච්ඡා කරනවා.

      බයිබලයේ උගන්වා තිබෙන ආකාරයට

      • දෙවිගේ අරමුණ වන්නේ පොළොව පාරාදීසයක් කිරීමයි. ඔහු එය ඉටු කරන බව නිසැකයි.—යෙසායා 45:18; 55:11.

      • මේ මිනිස් සමාජය තිබෙන්නේ සාතන්ගේ පාලනය යටතේයි.—යොහන් 12:31; 1 යොහන් 5:19.

      • ඉදිරියේදී දෙවි මිනිසුන්ට බොහෝ සෙයින් ආශීර්වාද කරයි.—ගීතාවලිය 37:10, 11, 29.

  • දේවරාජ්‍යය යනු කුමක්ද?
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
    • 8වෙනි පරිච්ඡේදය

      දේවරාජ්‍යය යනු කුමක්ද?

      • දේවරාජ්‍යය ගැන බයිබලයේ පවසා තිබෙන්නේ කුමක්ද?

      • දේවරාජ්‍යය මගින් කරනු ලබන්නේ මොනවාද?

      • දේවරාජ්‍යය පොළොව සඳහා දෙවිගේ කැමැත්ත ඉටු කරන්නේ කවදාද?

      1. ආදර්ශ යාච්ඤාවේ තොරතුරු සලකා බැලීම ප්‍රයෝජනවත් වන්නේ ඇයි?

      යේසුස් තම ගෝලයන්ට ආදර්ශ යාච්ඤාවක් දෙමින් දෙවිට යාච්ඤා කළ යුතු ආකාරය පැහැදිලි කර දුන් අවස්ථාවේදී දෙවිගේ රාජ්‍යයේ වැදගත්කම කාවැද්දුවා. බොහෝදෙනෙකු ස්වාමීන්ගේ යාච්ඤාව ලෙස හඳුන්වන එය, සමහරවිට ඔබත් අසා ඇති. ගැඹුරු අර්ථයක් ගැබ්ව තිබෙන ඒ යාච්ඤාවේ තොරතුරු සලකා බැලීම ඉතා ප්‍රයෝජනවත්. මන්ද එහි මුල් කොටසෙන් දේවරාජ්‍යය ගැනත් එමගින් ඉටු වන දේවල් ගැනත් අපට ඉගෙනගත හැකියි.

      2. යේසුස් පැවසූ යාච්ඤාවේ මුල් කොටසේ සඳහන් වන්නේ මොනවාද?

      2 යේසුස් පැවසුවේ, “ඔබ යාච්ඤා කළ යුත්තේ මෙයාකාරයටයි. ‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා! ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා’” කියායි.—මතෙව් 6:9-13.

      3. අප සලකා බලන කාරණා මොනවාද?

      3 යේසුස්, “ඔබගේ රාජ්‍යය පැමිණේවා” කියා පැවසූ විට ඔහු කතා කළ ඒ රාජ්‍යය කුමක්ද? එමෙන්ම ඒ රාජ්‍යය දෙවිගේ නාමය සැමදා ශුද්ධව තැබීමට නැත්නම් දෙවිගේ නාමයට ඇති වී තිබෙන කැළැල ඉවත් කිරීමට දායක වන්නේ කෙසේද? එම රාජ්‍යය දෙවිගේ අරමුණ ඉටු කිරීම හා සම්බන්ධ වන්නේ කෙසේද? දැන් අපි ඒ කාරණා ගැන සලකා බලමු.

      දේවරාජ්‍යය යනු කුමක්ද?

      4. දේවරාජ්‍යය යනු කුමක්ද? එහි රජු කවුද?

      4 දේවරාජ්‍යය යනු යෙහෝවා දෙවි ස්වර්ගයේ පිහිටුවා තිබෙන ආණ්ඩුවක්. එහි රජු ලෙස දෙවි පත් කර තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වයි. යේසුස් සියලුම මිනිස් පාලකයන්ට වඩා ඉතා උසස්. මන්ද මිනිසුන් වෙනුවෙන් යහපත් දේවල් කිරීම සඳහා ඔහුට තිබෙන බලය තරම් බලයක් වෙන කිසිම පාලකයෙකුට නැහැ. ඒ නිසයි බයිබලයේ ඔහුව, “රජවරුන්ගේ රජය, ස්වාමිවරුන්ගේ ස්වාමීන්ය” කියා හඳුන්වා තිබෙන්නේ.—1 තිමෝති 6:15.

      5. දේවරාජ්‍යයේ රජු පාලනය කරන්නේ කොහේ සිටද? එය පාලනය කරන්නේ කුමක්ද?

      5 දේවරාජ්‍යයේ රජු ලෙස යේසුස් පාලනය කරන්නේ කොහේ සිටද? යේසුස් මිය ගොස් දවස් කිහිපයකට පසු ස්වර්ගයේ ජීවත් වීම සඳහා දෙවි ඔහුව නැවත නැඟිටෙවූ බව අප ඉගෙනගත්තා ඔබට මතක ඇති. ඒ නිසා ඔහු දැන් සිටින්නේ ස්වර්ගයේයි. (ක්‍රියා 2:33) ස්වර්ගයේ පිහිටා තිබෙන රාජ්‍යයේ රජු ලෙස ඔහු පාලනය කරන්නේ ස්වර්ගයේ සිටයි. (2 තිමෝති 4:18) දේවරාජ්‍යය ස්වර්ගයේ පිහිටා තිබුණත් එහි යටත්වැසියන් සිටින්නේ පොළොවෙයි.—එළිදරව් 11:15 කියවන්න.

      6, 7. යේසුස්ගේ පාලනය සාර්ථක එකක් වෙයි කියා සහතික විය හැක්කේ ඇයි?

      6 යේසුස්ගේ පාලනය ඉතා සාර්ථක එකක් වෙයි කියා අපට සහතික විය හැකියි. මන්ද ඔහු හා මිනිස් පාලකයන් අතර ඉතා පැහැදිලි වෙනස්කම් තිබෙනවා. උදාහරණයකට බයිබලයේ ඔහු ගැන මෙසේ පවසනවා. “අමරණීයභාවය සතු එකම තැනැත්තා ඔහුය. කිසිවෙකුට ළඟා විය නොහැකි ආලෝකයක් තුළ ඔහු වාසය කරයි.” (1 තිමෝති 6:16) ඒ අනුව යේසුස් නැවත කිසිදාක මිය නොයන නිසා පොළොවේ රජු ලෙස ඔහු කරන යහපත් දේවලට අවසානයක් නැහැ.

      7 යේසුස් ගැන තවදුරටත් බයිබලයේ මෙසේ පවසනවා. “ඔහුට යෙහෝවා දෙවිගේ බලය නොඅඩුව ලැබෙයි. එමගින් ඔහුට ප්‍රඥාවද දැනුමද තේරුම්ගැනීමේ හැකියාවද නැණවත් උපදෙස් දීමේ හැකියාවද ශක්තියද ලැබෙන්නේය. ඔහු යෙහෝවා දෙවිට ගරුබිය ඇතුව ජීවත් වෙයි. යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමෙන් ඔහු මහත් ප්‍රීතියක් ලබයි. ඔහු මතුපිටින් දකින දේ අනුව විනිශ්චය නොකරයි. ඔහුට යමක් ඇසුණු පමණින්ද ඔහු දඬුවම් නොකරයි. ඔහු දිලිඳු අයව ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරයි. ඔහු සාධාරණව කටයුතු කර යටහත්පහත් අයගේ ප්‍රයෝජනය සඳහා අවවාද දෙයි.” (යෙසායා 11:2-4) ඉන් පැහැදිලි වන්නේ යේසුස්ට දෙවිගේ බලය නොඅඩුව ලැබෙන නිසා ඔහු ධර්මිෂ්ඨකමින් හා සාධාරණව මිනිසුන්ව පාලනය කරන බවයි. එවැනි රජ කෙනෙකුගේ පාලනයේ යටත්වැසියෙකු වෙන්න ඔබත් සතුටු නැද්ද?

      8. යේසුස් සමඟ පාලනයට හවුල් වන්නේ කවුද?

      8 දේවරාජ්‍යයේ රජු ලෙස යෙහෝවා දෙවි යේසුස්ව පත් කර තිබුණත් ඔහු පාලනය කරන්නේ තනිවම නොවෙයි. ඔහුගේ පාලනයට තවත් පිරිසක් හවුල් වෙනවා. එක් අවස්ථාවකදී දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක් වූ පාවුල් ඔහුගේ මිත්‍ර තිමෝතිට මෙසේ පැවසුවා. “අප දිගටම විඳදරාගෙන සිටියොත් අපි ඔහු සමඟ රජකම් කරන්නෙමු.” (2 තිමෝති 2:12) ඉන් අපට පෙනී යන්නේ යේසුස් සමඟ පාලනය කිරීමට පාවුල්, තිමෝති ඇතුළු තවත් විශ්වාසවන්ත සේවකයන් පිරිසක්ව දෙවි තෝරාගෙන ඇති බවයි. ඒ ප්‍රස්තාව ලැබෙන්නේ කීදෙනෙකුටද?

      9. යේසුස් සමඟ පාලනය කිරීමට කීදෙනෙක් හවුල් වෙනවාද? දෙවි ඔවුන්ව තෝරාගැනීමට ආරම්භ කළේ කවදා සිටද?

      9 කලින් අප සලකා බැලූ ලෙස එළිදරව් 14:1හි සඳහන් වන්නේ, “බැටළු පැටවා [එනම් යේසුස් ක්‍රිස්තුස්] සියොන් කන්ද මත සිටගෙන සිටින ආකාරය [එනම් ස්වර්ගයේ රජු ලෙස සිටින අයුරු] මම දුටුවෙමි. ඔහු සමඟ එක්ලක්ෂ හතළිස් හාරදහස්දෙනෙක් සිටියෝය. ඔවුන්ගේ නළල් මත ඔහුගේ නාමයද ඔහුගේ පියාණන්ගේ නාමයද ලියා තිබිණ” කියායි. ඒ 1,44,000දෙනා ගැන තවදුරටත් බයිබලයේ පවසන්නේ, “බැටළු පැටවා කොතැනකට ගියත් ඔවුහු දිගටම ඔහු පසුපස යන්නෝය. දෙවි සහ බැටළු පැටවා වෙනුවෙන් පළමු පල ලෙස මිනිසුන් අතරින් මිල දී ගෙන තිබෙන්නේ ඔවුන්වය” කියායි. (එළිදරව් 14:4) ඒ අනුව පොළොව කෙරෙහි රජකම් කිරීමට මිනිසුන් අතරින් තෝරාගත් ඒ 1,44,000දෙනා යේසුස්ව ඉතා කිට්ටුවෙන් අනුගමනය කරන පිරිසක්. (එළිදරව් 5:10) ඔවුන් මිය ගිය පසු නැවත නැඟිටුවනු ලබන්නේ ස්වර්ගයේ ජීවත් වීමටයි. ඔවුන්ව තෝරාගැනීම දෙවි ආරම්භ කළේ යේසුස්ගේ ගෝලයන් සේවය පටන්ගත් කාලයේදීයි.

      10. මිනිසුන්ව පාලනය කිරීම සඳහා යේසුස්ව සහ 1,44,000දෙනාව තෝරාගැනීම ප්‍රේමණීය දෙයක් වන්නේ ඇයි?

      10 දේවරාජ්‍යයේ රජු ලෙස යේසුස්ව හා ඔහුගේ හවුල් පාලකයන් ලෙස 1,44,000දෙනාව දෙවි තෝරාගැනීමෙන් මිනිසුන් කෙරෙහි දෙවිට මොන තරම් ප්‍රේමයක් තිබෙනවාද කියා පැහැදිලි වෙනවා. මන්ද යේසුස් මිනිසෙකු ලෙස පොළොව මත ජීවත් වූ නිසා මිනිසුන් අද්දකින දුෂ්කරතා ඔහුට හොඳින් තේරෙනවා. ඒ නිසයි බයිබලයේ මෙවැනි දෙයක් පවසා තිබෙන්නේ. “අපට සිටින්නේ අපගේ දුර්වලකම් ගැන අනුකම්පාවක් නොදැනෙන උත්තම පූජකයෙකු නොවේ. ඔහු අප මෙන් සෑම අතින්ම බොහෝ දුක් පීඩාවලට මුහුණ දී ඇති කෙනෙකි. නමුත් ඔහු කිසි පාපයක් නොකළ උත්තම පූජකයෙකි.” (හෙබ්‍රෙව් 4:15; 5:8) එමෙන්ම යේසුස් සමඟ පාලනයට හවුල් වන අයත් දුක් වේදනාවලට මුහුණ දුන් අයයි. අප මෙන් ඔවුන්ද පව්කාර ස්වභාවය සමඟ දැඩි සටනක නිරත වෙමින් බොහෝ අසනීප, ලෙඩ රෝග විඳදරාගෙන තිබෙනවා. ඒ නිසා යේසුස්ට හා 1,44,000දෙනාට මිනිසුන් අද්දකින සියලු ප්‍රශ්න ගැටලු හොඳින් තේරුම්ගත හැකියි. එවැනි අයව පාලකයන් ලෙස දෙවි පත් කිරීම මොන තරම් ප්‍රේමණීය දෙයක්ද!

      දේවරාජ්‍යය මගින් කරනු ලබන දේවල්

      11. යම් කාලයකට දෙවිගේ කැමැත්ත ස්වර්ගයේ සිදු නොවුණේ ඇයි? ඒ තත්වය වෙනස් වුණේ කෙසේද?

      11 යේසුස්, “ඔබගේ රාජ්‍යය පැමිණේවා” කියා පැවසීමෙන් පසු, “ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියා පැවසුවා. දේවරාජ්‍යය හා දෙවිගේ කැමැත්ත ඉටු වීම අතර සම්බන්ධයක් තිබෙනවාද? ස්වර්ගයේ සිටි සියල්ලන් දෙවිගේ කැමැත්ත කරමිනුයි සිටියේ. නමුත් එක් දේවදූතයෙකු දෙවිට විරුද්ධව කැරලිගසා ඒ කැරැල්ලට පොළොව මත ජීවත් වූ ආදම් සහ ඒවවත් එක් කරගත් බව අප මීට කලින් ඉගෙනගත්තා. ඔහුව හඳුන්වන්නේ සාතන් ලෙසයි. ඔහුගේ කැරැල්ලට දේවදූතයන් පිරිසකුත් එකතු වුණා. ඔවුන්ව හඳුන්වන්නේ භූතයන් ලෙසයි. සාතන්ට හා භූතයන්ට යම් කාලයකට ස්වර්ගයේ සිටීමට දෙවි ඉඩහැරියා. ඒ නිසා ඒ කාලයේදී දෙවිගේ කැමැත්ත සියයට සියයක්ම ස්වර්ගයේ සිදු වුණා කියා පැවසිය නොහැකියි. නමුත් දේවරාජ්‍යයේ ආරම්භයත් සමඟම එම තත්වය වෙනස් වුණා. මන්ද බයිබලයේ පවසන්නේ යේසුස් රජු ලෙස පත් වූ විගස සාතන්ට හා භූතයන්ට විරුද්ධව යුද්ධ කළ බවයි.—එළිදරව් 12:7-9 කියවන්න.

      12. එළිදරව් 12:10හි සඳහන් වැදගත් සිදුවීම් දෙක මොනවාද?

      12 ඒ සිද්ධිය බයිබලයේ විස්තර කර තිබෙන්නේ මෙසේයි. “ස්වර්ගයෙහි මහත් හඬක් මට ඇසිණ. ඒ හඬ මෙසේ පැවසුවේය. ‘බලන්න, අපගේ දෙවි මිනිසුන්ට ගැලවීම ලබා දී ඇත. ඔහුගේ බලය තහවුරු වී ඇත. ඔහුගේ රාජ්‍යයද පිහිටුවා හමාරය. ඔහුගේ ක්‍රිස්තුස්ගේ බලය මෙතැන් සිට ක්‍රියාත්මක වේ. මන්ද අපගේ දෙවි ඉදිරියේ අපගේ සහෝදරයන්ට විරුද්ධව දිවා රෑ දෙකෙහි නොකඩවා චෝදනා එල්ල කරන තැනැත්තාව [එනම් සාතන්ව] පහතට හෙළා ඇත.’” (එළිදරව් 12:10) එම බයිබල් පදයේ වැදගත් සිදුවීම් දෙකක් ගැන සඳහන් වෙනවා. පළමු සිද්ධිය යේසුස් දේවරාජ්‍යයේ පාලනය ආරම්භ කිරීමයි. දෙවෙනි සිද්ධිය සාතන්ව ස්වර්ගයෙන් පොළොවට හෙළීමයි.

      13. සාතන්ව පහතට හෙළූ නිසා ස්වර්ගයේ දැන් තිබෙන තත්වය කුමක්ද?

      13 එම සිදුවීම් දෙකෙන් පසු ස්වර්ගයේ ඇති වූ තත්වය ගැන බයිබලයේ මෙසේ පවසනවා. “ස්වර්ගයද එහි වාසය කරන සියල්ලන්ද ප්‍රීති වන්න!” (එළිදරව් 12:12) සාතන්ව හා ඔහුගේ කැරැල්ලට හවුල් වූ භූතයන්ව ස්වර්ගයෙන් පහතට හෙළූ නිසා දැන් එහි සිටින්නේ දෙවිගේ කැමැත්ත කරන දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් පමණයි. දැන් දෙවිගේ කැමැත්ත සියයට සියයක්ම ස්වර්ගයේ සිදු වන නිසා එහි සිටින සියලුදෙනාම සිටින්නේ මහත් ප්‍රීතියකිනුයි.

      යුද්ධ, අපරාධ, පරිසර දූෂණය

      සාතන්ව හා භූතයන්ව ස්වර්ගයෙන් පහතට හෙළූ නිසා පොළොවේ දුක් පීඩා ඇති වී තිබෙනවා. ඒ දුක් පීඩා ළඟදීම අවසන් වෙයි

      14. සාතන්ව පොළොවට හෙළා දැමීමේ ප්‍රතිඵලය වී තිබෙන්නේ කුමක්ද?

      14 සාතන්ව පහතට හෙළූ නිසා පොළොවට සිදු වුණේ කුමක්ද? ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “පොළොවටත් මුහුදටත් මොන තරම් දරුණු විපතකට මුහුණ දෙන්න සිදු වේද! මන්ද තමාට ඉතුරු වී ඇත්තේ ඉතා කෙටි කාල පරිච්ඡේදයක් බව දැන සිටින යක්ෂයා, මහත් කෝපයෙන් ඔබ වෙතට බැස ඇවිත් සිටියි.” (එළිදරව් 12:12) තමන්ව ස්වර්ගයෙන් පහතට හෙළූ නිසාත් තමන්ට ඇත්තේ තව කෙටි කාලයක් බව දන්නා නිසාත් සාතන් දැන් සිටින්නේ මහත් කෝපයෙන්. ඒ නිසා ඔහු පොළොවේ සිටින අය පිටට ‘දරුණු විපත්ති’ පමුණුවනවා.a ඉන් පැහැදිලි වන්නේ දෙවිගේ කැමැත්ත දැන් පොළොවේ සිදු නොවන බවයි. පොළොව මත දෙවිගේ කැමැත්ත නැවත ඉටු වීමට නම් කුමක් සිදු විය යුතුද?

      15. පොළොව සඳහා දෙවිගේ කැමැත්ත කුමක්ද?

      15 පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද කියා අප තුන්වෙනි පරිච්ඡේදයේදී ඉගෙනගත්තා. ඔහුගේ කැමැත්ත වුණේ ධර්මිෂ්ඨ මිනිසුන් පාරාදීස පොළොවක සැමදා ජීවත් වෙනවා දැකීමයි. නමුත් සාතන්, ආදම් හා ඒවව වරදට පෙලඹවූ දවසේ සිට පොළොව මත දෙවිගේ කැමැත්ත ඉටු වුණේ නැහැ. කෙසේවෙතත් දෙවි තම අරමුණ වෙනස් කළේ නැහැ. පොළොව සඳහා ඔහුගේ මුල් අරමුණ දේවරාජ්‍යය මගින් ඉටු වන බව නිසැකයි. ඒ නිසයි බයිබලයේ මෙවැනි දෙයක් පවසා තිබෙන්නේ. “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:29.

      16, 17. දානියෙල් 2:44හි සඳහන් දෙයින් පැහැදිලි වන කාරණා තුන මොනවාද?

      16 පොළොව සඳහා දෙවිගේ මුල් අරමුණ දේවරාජ්‍යය මගින් ඉටු වන ආකාරය දානියෙල් 2:44හි සඳහන් වෙනවා. “ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවයි. එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි. එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි. නමුත් එය සදහටම පවතියි.” ඉන් අපට පැහැදිලි වන්නේ මොනවාද?

      17 මුලින්ම දේවරාජ්‍යය පිහිටුවන කාලය අපට ඉන් හඳුනාගත හැකියි. එහි පවසන්නේ, “ඒ රජුන්ගේ දවස්වලදී” එය පිහිටුවන බවයි. එනම් මිනිස් ආණ්ඩු පවතින කාලයක එය පිහිටුවන බවයි. දෙවනුව දේවරාජ්‍යය සදාකාලයටම පවතින බව ඉන් අපට පැහැදිලි වෙනවා. වෙනත් කිසිම ආණ්ඩුවකට එම රාජ්‍යය පරාජය කළ නොහැකියි. තුන්වනුව අපට පැහැදිලි වන්නේ දේවරාජ්‍යය හා ලෝකයේ තිබෙන ආණ්ඩු අතර මහත් යුද්ධයක් ඇති වන බවයි. එම යුද්ධයෙන් ජය ගන්නේ දේවරාජ්‍යයයි. ඉන්පසු මිනිස් වර්ගයාව පාලනය කරනු ලබන්නේ එක ආණ්ඩුවක් මගිනුයි. ඒ දේවරාජ්‍යයයි.

      18. දේවරාජ්‍යය හා මිනිස් ආණ්ඩු අතර ඇති වන අවසාන යුද්ධය හඳුන්වන්නේ කුමන නමින්ද?

      18 දේවරාජ්‍යය හා ලෝකයේ තිබෙන ආණ්ඩු අතර ඇති වන ඒ මහත් යුද්ධය ගැන බයිබලයේ විස්තර සපයා තිබෙනවා. එහි සඳහන් වන්නේ දුෂ්ට සමාජයේ අවසානය ළං වී තිබෙන විට භූතයන්, ‘මුළු ලොව පුරාම සිටින රජුන්ව’ නොමඟ යැවීම සඳහා බොරු පතුරුවන බවයි. ඔවුන් එසේ කරන්නේ, ‘සියලු බලැති දෙවිගේ මහත් දවසේදී සිදු වන යුද්ධය සඳහා රජුන්ව රැස් කිරීමටයි.’ එලෙස පොළොවේ සියලු රජවරු, “හෙබ්‍රෙව් බසින් හඳුන්වනු ලබන හර්–මගෙදොන් නමැති ස්ථානයට” රැස් වෙනවා. (එළිදරව් 16:14, 16) ඒ අනුව මිනිස් ආණ්ඩු හා දේවරාජ්‍යය අතර සිදු වන ඒ අවසාන මහා යුද්ධය හඳුන්වන්නේ හර්–මගෙදොන් ලෙසයි.

      19, 20. දෙවිගේ කැමැත්ත අද සිදු නොවන්නේ ඇයි?

      19 ඒ යුද්ධයෙන් පසු සිදු වන්නේ කුමක්ද? දෙවිගේ අරමුණ පොළොව මත ඉටු වන බවට සැකයක් නැහැ. දෙවි අරමුණු කළේ කිසිම අඩුවක් නැති පරිපූර්ණ ධර්මිෂ්ඨ මිනිස් සමාජයක් බිහි කිරීමටයි. දෙවි අරමුණු කළ දේ දැන් ඉටු නොවීමට හේතු කිහිපයක් තිබෙනවා. එක් හේතුවක් නම් අප සියලුදෙනාටම පව්කාර ස්වභාවය උරුම වී තිබීමයි. ඒ නිසා අප අසනීප වන අතර මරණයද අද්දකිනවා. නමුත් බයිබලයේ අපට මෙම පොරොන්දුව දී තිබෙනවා. “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.” (යොහන් 3:16) ඒ අනුව හර්–මගෙදොන් යුද්ධයෙන් පසු යේසුස්ගේ ජීවිත පූජාව පදනමක් ලෙස යොදාගෙන දෙවි මිනිසාට සදාකාල ආශීර්වාද ලබා දෙනවා.

      20 දෙවි අරමුණු කළ දේ ඉටු නොවීමට තවත් හේතුවක් නම් අද පවතින දුෂ්ට සමාජයයි. අද ජීවත් වන බොහෝදෙනෙක් බොරු කියමින් වංචා කරමින් අනාචාර ජීවිත ගත කරනවා. ඔවුන්ට දෙවිගේ කැමැත්ත කරන්න කිසිම ආශාවක් නැහැ. නමුත් හර්–මගෙදොන් යුද්ධයේදී දුෂ්ට මිනිසුන් සියලුදෙනාම විනාශ වෙනවා. (ගීතාවලිය 37:10 කියවන්න.) දෙවි අරමුණු කළ දේ ඉටු නොවීමට බලපාන තවත් හේතුවක් නම් පවතින මිනිස් පාලනයි. බයිබලයේ පවසන්නේ, “මිනිසා අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක කර ඇත” කියායි. (දේශනාකාරයා 8:9) අද පවතින බොහෝ මිනිස් පාලන දුර්වලයි. පාලකයෝ කුරිරුයි. ඔවුන් අතින් බොහෝ වංචා දූෂණ සිදු වෙනවා. එමෙන්ම ඒ පාලන කිසිවිටක දෙවිගේ කැමැත්ත කිරීමට මිනිසුන්ව දිරිගන්වන්නේ නැහැ. ඒ පාලන සියල්ලත් හර්–මගෙදොන් යුද්ධයේදී විනාශ වීමට නියමිතයි.

      21. දේවරාජ්‍යය මගින් මිනිස් වර්ගයාට අත් වන ආශීර්වාද මොනවාද?

      21 හර්–මගෙදොන් යුද්ධයෙන් පසු මිනිසුන් අද්දකින ආශීර්වාද ගැන ඔබට සිතාගත හැකිද! ඒ කාලයේදී මුළු පොළොවම පාලනය කරන්නේ දේවරාජ්‍යය මගිනුයි. එය දෙවිගේ කැමැත්ත ඉටු කිරීම සඳහා මුලින්ම සාතන්වත් ඔහු යටතේ සිටින භූතයන්වත් ඉවත් කර දමයි. (එළිදරව් 20:1-3) අසනීපද මරණයද නැති කර දමයි. එමෙන්ම විශ්වාසවන්තව දෙවිට සේවය කරන අයට පොළොව මත සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලැබෙයි. මුළු මිනිස් වර්ගයාටම එවැනි ආශීර්වාද භුක්ති විඳීමට හැකි වන්නේ යේසුස්ගේ ජීවිත පූජාව නිසයි. (එළිදරව් 22:1-3 කියවන්න.) එමෙන්ම දෙවිගේ කැමැත්ත කරන මිනිසුන්ගෙන් පොළොව පිරී යන නිසා දෙවි අරමුණු කළ ලෙස මුළු පොළොවම පාරාදීසයක් බවට පත් වෙයි. දේවරාජ්‍යය මගින් තවත් වැදගත් දෙයක් ඉටු කරයි. එනම් දෙවිගේ නාමයට ඇති වී තිබෙන කැළැල ඉවත් කිරීමයි. මන්ද ඒ කාලයේදී සිටින සියලුදෙනාම දෙවිගේ නාමය ගෞරවයට පත් කරමින් ඔහුට ප්‍රශංසා කරයි.

      දේවරාජ්‍යයේ පාලනය ආරම්භ වුණේ කවදාද?

      22. යේසුස් පොළොවේ සිටි කාලයේදී හෝ ස්වර්ගයට ගිය විගස දේවරාජ්‍යයේ පාලනය ආරම්භ වුණේ නැති බව අප දන්නේ කෙසේද?

      22 එතරම් ආශීර්වාද මිනිස් වර්ගයාට ලබා දෙන ඒ රාජ්‍යයේ පාලනය ආරම්භ වුණේ කවදාද? යේසුස් පොළොවේ සිටි කාලයේදී ඒ රාජ්‍යයේ පාලනය ආරම්භ වී තිබුණේ නැහැ. ඒ නිසයි, “ඔබගේ රාජ්‍යය පැමිණේවා” කියා යාච්ඤා කරන ලෙස යේසුස් තම ගෝලයන්ට පැවසුවේ. යේසුස් ස්වර්ගයට ගිය විගසත් දේවරාජ්‍යයේ පාලනය ආරම්භ වුණේ නැහැ. එසේ පැවසිය හැක්කේ ගීතාවලිය 110:1හි සඳහන් දෙය පසු කාලයක බයිබල් ලේඛකයන් දෙදෙනෙකු වූ පේතෘස් හා පාවුල් නැවත නැඟිටුවනු ලැබූ යේසුස්ට අදාළ කළ නිසයි. එහි පවසන්නේ, “යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය. ‘මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු මාගේ දකුණු පැත්තේ හිඳගන්න’” (ක්‍රියා 2:32-35; හෙබ්‍රෙව් 10:12, 13) ඒ අනුව යේසුස් ස්වර්ගයට ගිය පසු රජු ලෙස පත් වීම සඳහා ඔහුට යම් කාලයක් බලා සිටීමට සිදු වූ බව පැහැදිලියි.

      දේවරාජ්‍යය මගින් පොළොව පාලනය කරද්දී දෙවිගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවෙහිද ඉටු වෙයි

      23. (අ) දේවරාජ්‍යයේ පාලනය ආරම්භ වුණේ කවදාද? (ආ) අප ඊළඟ පරිච්ඡේදයේදී සලකා බලන්නේ කුමක් ගැනද?

      23 යේසුස්ට කොතරම් කාලයක් එසේ බලා සිටීමට සිදු වුණාද? දහනවවෙනි හා විසිවෙනි සියවස්වලදී බයිබලය අධ්‍යයනය කරමින් සිටි කණ්ඩායමක් එම කාලය 1914දී අවසන් වන බව තේරුම්ගත්තා.b යේසුස් රජු ලෙස පත්ව දේවරාජ්‍යයේ පාලනය ස්වර්ගයේ ආරම්භ වන කාලයේ සිට සිදු වන දේවල් ගැන බයිබලයේ කලින්ම පවසා තිබුණා. ඒවා 1914 සිට සිදු වන නිසා එම වර්ෂයේදී යේසුස් දේවරාජ්‍යයේ රජු ලෙස පත් වූ බව පැහැදිලියි. එමෙන්ම දැන් අප ජීවත් වන්නේ සාතන්ට ඉතුරු වී තිබෙන, “ඉතා කෙටි කාල පරිච්ඡේදය” තුළ බව ඉන් පැහැදිලි වෙනවා. (එළිදරව් 12:12; ගීතාවලිය 110:2) පොළොව සඳහා දෙවිගේ අරමුණ ඉටු කිරීමට ඉතාමත් ළඟදී දේවරාජ්‍යය මැදිහත් වී කටයුතු කරන බව නිසැකයි. ඒ කාරණය ඔබට විශ්වාස කළ හැකිද? එය විශ්වාස කිරීමට තිබෙන සාක්ෂි අපි ඊළඟ පරිච්ඡේදයේදී සලකා බලමු.

      a ඒ ගැන වැඩි විස්තර අපි ඊළඟ පරිච්ඡේදයේදී සලකා බලමු.

      b වැඩි විස්තර දැනගන්න උපග්‍රන්ථයේ “සුවිශේෂී වසරක් වන 1914” කියන ලිපිය බලන්න.

      බයිබලයේ උගන්වා තිබෙන ආකාරයට

      • දේවරාජ්‍යය ස්වර්ගයේ පිහිටුවා තිබෙන ආණ්ඩුවක්. එහි රජු යේසුස් ක්‍රිස්තුස්. ඔහු සමඟ පාලනය කිරීම සඳහා මිනිසුන් අතරින් 1,44,000දෙනෙකුව තෝරාගෙන තිබෙනවා.—එළිදරව් 14:1, 4.

      • දේවරාජ්‍යයේ පාලනය ආරම්භ වුණේ 1914දීයි. සාතන්ව ස්වර්ගයෙන් පොළොවට හෙළා දැමුවේ එවිටයි.—එළිදරව් 12:9.

      • වැඩි කල් නොගොස් දේවරාජ්‍යය මගින් මිනිස් පාලන විනාශ කර දමා පොළොව පාරාදීසයක් බවට පත් කරයි.—එළිදරව් 16:14, 16.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න