-
දෙවිගෙන් කවදාවත් ඈත් වෙන්න එපා!2013 මුරටැඹ | ජනවාරි 15
-
-
දෙවිගෙන් කවදාවත් ඈත් වෙන්න එපා!
“ඔබ නමස්කාර කරන්නේ කාටද කියා අදම තීරණය කරන්න.”—යොෂු. 24:15.
1-3. (අ) යොෂුවා ගත්ත තීරණය අපිට ආදර්ශයක් වෙන්නේ ඇයි? (ආ) අපිටත් තීරණ ගන්න සිදු වෙනකොට මතක තියාගන්න ඕනෙ මොනවද?
හිතන්න කොහේ හරි තැනකට යන්න ඔබ පාරට බැස්සා කියලා. ටික දුරක් යනකොට පාර දෙපැත්තට බෙදෙනවා. දැන් ඔබ තෝරගන්නේ මොන පාරද? යන්න ඕනෙ තැන හරියටම දන්නවා නම් ඔබ අනිවාර්යයෙන්ම තෝරගන්නේ ඒ තැනට වැටෙන පාරයි කියලා කිසිම සැකයක් නැහැ.
2 අපේ ජීවිත ගමනේදිත් ඒ වගේ මංසන්ධි හමු වෙනවා. එහෙම අවස්ථාවලදී හරි තීරණ ගන්න එක අපේ වගකීමක්. යොෂුවා හා කායින් කියන්නේ ඒ වගේ මංසන්ධිකට ආපු දෙන්නෙක්. යොෂුවාට සිද්ධ වුණා සැබෑ දෙවිට නමස්කාර කරනවද නැත්නම් බොරු දෙවිවරුන්ට නමස්කාර කරනවද කියලා තීරණයක් ගන්න. (යොෂු. 24:15) ඔහුට ඕනෙ වුණේ දෙවි එක්ක තිබුණු බැඳීම තවත් ශක්තිමත් කරගන්න නිසා ඔහු තෝරගත්තේ දෙවිට ළං වෙන්න පුළුවන් මාර්ගයේ යන්නයි. කායින් වැඩ කළේ ඊට වඩා වෙනස් විදිහට. ඔහුට සිදු වුණා කෝපයෙන් වැඩ කරනවද නැත්නම් කෝපය පාලනය කරගන්නවද කියලා තීරණයක් ගන්න. (උත්. 4:6, 7) ඔහුට දෙවි එක්ක බැඳීමක් ඇති කරගන්න උවමනාවක් තිබුණේ නැති නිසා ඔහු ගත්ත තීරණයෙන් ඔහු තව තවත් දෙවිගෙන් ඈත් වුණා.
3 ජීවිතේ අපිටත් තීරණ ගන්න සිදු වෙන වෙලාවලදී අපේ අරමුණ වෙන්න ඕනෙ දෙවිට කිට්ටු වෙලා ඔහුට ප්‍රශංසාවක් ලැබෙන විදිහට වැඩ කරන්න. (හෙබ්‍රෙව් 3:12 කියවන්න.) මේ ලිපියෙන් සහ ඊළඟ ලිපියෙන් අපි කාරණා හතක් ගැන බලන්න යනවා. ඒ කාරණාවලදී ගන්න තීරණ අනුව දෙවිට අපි තවත් ළං වෙයිද නැත්නම් තව තවත් ඈත් වෙයිද කියලා හිතලා බලමු.
රැකියාව
4. රැකියාවක් අත්‍යවශ්‍ය ඇයි?
4 ක්‍රිස්තියානීන් හැටියට පවුලේ අයව රැකබලා ගන්න අපි බැඳිලා ඉන්නවා. කෙනෙක් පවුලේ අයට අවශ්‍ය දේවල් සපයන්න කැමති නැත්නම් ඔහු දෙවිට සේවය නොකරන කෙනෙකුටත් වඩා නරකයි කියලා බයිබලේ කියනවා. (2 තෙස. 3:10; 1 තිමෝ. 5:8) ඒ නිසා රැකියාවක් කරන එක අපේ ජීවිතයේ අත්‍යවශ්‍ය දෙයක්. ඒත් ඔබ පරෙස්සම් වුණේ නැත්නම් ඒ රැකියාවට පුළුවන් ඔබව දෙවිගෙන් ඈත් කරන්න.
5. රැකියාවක් තෝරගන්න ඉස්සෙල්ලා බලන්න ඕනෙ පැති මොනවද?
5 ඔබ ජීවත් වෙන්නේ රැකියාවක් හොයාගන්න අමාරු රටක නම් ලැබෙන ඕනෙම රැකියාවක් කරන්න ඔබට හිතෙයි. ඒත් ඒ රැකියාව නිසා ඔබට බයිබල් ප්‍රතිපත්ති කඩ කරන්න වෙයිද? නැත්නම් ඒ රැකියාව නමස්කාර කටයුතු අතපසු කරන්න වෙන, ඔබේ පවුලේ අයගෙන් ඔබව දුරස් කරන එකක්ද? රැකියාවක් නැතුව ඉන්නවට වඩා එහෙම එකක් හරි ලැබෙන එක හොඳයි කියලා ඔබට හිතෙනවද? ඒ වගේ වෙලාවකදී හරි තීරණය ගත්තේ නැත්නම් අපි දෙවිගෙන් ඈත් වෙන්න ඉඩ තියෙනවා. (හෙබ්‍රෙ. 2:1) ඔබ රැකියාවක් හොයන කෙනෙක් වුණත්, කරන රැකියාව වෙනස් කරන්න ඕනෙ කියලා හිතන කෙනෙක් වුණත් ඒ ගැන හරි තීරණයක් ගන්නේ කොහොමද?
6, 7. (අ) රැකියාවක් තෝරගද්දී කෙනෙක් හිතන්න ඕනෙ පැති දෙක මොකක්ද? (ආ) යෙහෝවා දෙවිට ළං වෙන්න පුළුවන් මොන අරමුණෙන් රැකියාවක් කළොත්ද? ඒ ඇයි?
6 පොඩ්ඩක් මේ ගැන හිතන්න. ඔබට ඇත්තටම රැකියාවක් ඕනෙ කරන්නේ ඇයි? ඔබට රැකියාවක් ඕනෙ පවුලේ අයගේ මූලික අවශ්‍යතා ලබා දෙමින් ඔවුන් එක්ක දිගටම දෙවිට සේවය කරන්න නම් දෙවි ඔබට උදව් කරයි. (මතෙ. 6:33) ඔබට හදිසියේ රැකියාව අහිමි වෙයි කියලා හරි, ආර්ථිකය කඩා වැටෙයි කියලා හරි හිතලා භය වෙන්න එපා. දෙවි අනිවාර්යයෙන්ම ඔබට උදව් කරනවා. (යෙසා. 59:1) “දෙවිට භක්තියක් ඇතුව ජීවත් වන අයව හිංසා පීඩාවලින් ගලවාගන්නේ කෙසේද” කියලා දෙවි දන්නවා.—2 පේතෘ. 2:9.
7 හැබැයි ඔබට රැකියාවක් ඕනෙ කරන්නේ පොහොසත් වෙන්න තියෙන ආසාව නිසා කියලා හිතමු. සමහරවිට ඔබ පොහොසත් වෙයි. ඒත් ඒ අරමුණෙන් විතරක් රැකියාවක් කරන එක හරිම භයානකයි. (1 තිමෝති 6:9, 10 කියවන්න.) ඔබේ ජීවිතයේ වැදගත්ම දේ රැකියාව නම් ඔබ ටිකෙන් ටික දෙවිගෙන් ඈත් වෙයි.
8, 9. තමන්ගේ රැකියාව දරුවන්ට බලපාන විදිහ ගැන දෙමව්පියන් හිතන්න ඕනෙ මොනවද? පැහැදිලි කරන්න.
8 ඔබට දරුවන් ඉන්නවද? එහෙමනම් ඔවුන් ඔබ දිහා බලාගෙන ඉන්නවා කියලා අමතක කරන්න එපා. ‘අපේ අම්මටයි තාත්තටයි වැඩියෙන්ම වටින්නේ එයාලගේ තත්වයයි රස්සාවයි විතරයි’ කියලා ඔවුන් කියනවටද ඔබ කැමති, නැත්නම් ‘ඒ දෙන්නා වැඩියෙන්ම ආස දෙවිට සේවය කරන්න’ කියලා කියනවටද ඔබ කැමති? දරුවන් ටිකෙන් ටික ලොකු මහත් වෙද්දී ඔවුන් වැඩ කරන්නෙත් ඔබව ආදර්ශයට අරගෙනයි කියලා මතක තියාගන්න. ඔවුන් ඔබට ගෞරව කරනවද නැද්ද කියන එක රඳා පවතින්නේ ඔබ ගන්න තීරණ මතයි. එක සහෝදරියක් මෙහෙම කියනවා. “මතක තියෙන කාලෙක ඉඳන් තාත්තා හිතුවේ රස්සාව ගැන විතරයි. අපේ පවුලේ අයට හොඳ දේවල් දෙන්න ඕනෙ නිසයි තාත්තා මෙච්චර මහන්සි වෙන්නේ කියලා අපි හිතුවත් ඒක වැරදියි. තාත්තට ඕනෙ වුණේ හොඳම බඩු ගන්න. ඒ නිසා අපේ පවුල පොහොසත් පවුලක් කියලා පෙනුණා තමයි. ඒත් දෙවිට සේවය කරන පවුලක් කියලා නම් කවුරුත් දැක්කේ නැහැ. අපේ පවුල, දෙවිට කිට්ටු බැඳීමක් තියෙන පවුලක් කරන්න තාත්තා මහන්සි වුණා නම් මේ සල්ලිවලට වඩා ඒක කොච්චර වටිනවද කියලා මට හිතුණු වාර අනන්තයි.”
9 දෙමව්පියෙනි, ඔබව යෙහෝවා දෙවිගෙන් ඈත් කරන්න ඔබේ රැකියාවට ඉඩ දෙන්න එපා. ‘මං නං කවදා හරි තාත්තා වගේ දෙවිට සේවය කරනවා’ කියලා ඔබේ දරුවා ඔබ ගැන ආඩම්බරෙන් කියයිද? එහෙම කියන්න නම් ඔබත් මුදල්වලට වඩා දෙවි එක්ක තියෙන බැඳීම ගොඩක් වටිනවා කියලා ඔබේ ජීවිතයෙන් දරුවන්ට පෙන්වන්න.—මතෙ. 5:3.
10. රැකියාවක් තෝරගන්න කලින් යෞවනයෙක් හිතන්න ඕනෙ මොනවද?
10 ඔබ පාසැල් යන යෞවනයෙක්ද? එහෙමනම් අනාගතයේදී කරන රැකියාව ගැන ඔබ හිතනවා ඇති. එහෙම නැත්නම් යම් රැකියාවක් කිරීමේ අරමුණෙන් ඒ සඳහා පුහුණු වෙනවා ඇති. එහෙමනම් ‘ඒ රැකියාව යෙහෝවා දෙවිට කරන සේවයට මුල් තැන දෙන්න මට උදව් කරයිද නැද්ද’ කියලා ටිකක් හිතන්න. (2 තිමෝ. 4:10) ඔබටත් ඕනෙ මුදල් තිබුණොත් විතරක් සතුටු වෙන මිනිස්සු වගේ වෙන්නද? නැත්නම් දාවිත් වගේ දෙවිව විශ්වාස කරලා වැඩ කරන්නද? දාවිත් කිව්වේ මෙහෙමයි. “දැන් මම මහලු වයසේ සිටිමි. මාගේ තරුණ කාලයේ සිට මේ වන තෙක් ධර්මිෂ්ඨයෙකුව කිසිසේත් අත්හැර දැමූ අවස්ථාවක් මම දැක නැත. ඔහුගේ දරුවන් කෑම හිඟනවාවත් මම දැක නැත.” (ගීතා. 37:25) ඔබ ඉදිරියෙත් පාරවල් දෙකක් තියෙනවා කියලා අමතක කරන්න එපා. එක පාරක් ඔබව දෙවිගෙන් තව තවත් ඈතට ගෙන යයි. අනිත් පාර, ලබන්න පුළුවන් හොඳම ජීවිතයක් ඔබට ලබා දෙයි. (හිතෝපදේශ 10:22; මලාකි 3:10 කියවන්න.) ඔබ තෝරගන්නේ මොන පාරද?a
විනෝදාංශ
11. විනෝද වීම ගැන බයිබලයේ කියන්නේ මොනවද? අපි මතක තියාගන්න ඕනෙ මොනවද?
11 විනෝදයත් ජීවිතයට අවශ්‍ය දෙයක්. විනෝදය වැරදියි කියලවත් ඒක කාලේ නාස්ති කරන දෙයක් කියලවත් බයිබලයේ කියන්නේ නැහැ. ඒ වගේ දේවලින් ප්‍රයෝජනයක් තියෙනවා කියලා පාවුල් කිව්වා. (1 තිමෝ. 4:8) ඒ වගේම “සිනාසෙන්න කාලයක්” තියෙනවා කියලත්, “නටන්න කාලයක්” තියෙනවා කියලත්, ප්‍රමාණවත් විවේකයක් ගැනීම අවශ්‍යයි කියලත් බයිබලේ පෙන්වනවා. (දේශ. 3:4; 4:6) ඒත් අපි පරෙස්සම් නොවුණොත් විනෝදාංශවලට පුළුවන් අපිව දෙවිගෙන් ඈත් කරන්න. ඒ නිසා අපි තෝරගන්නේ මොන වගේ විනෝදාංශද, ඒ සඳහා කොයි තරම් කාලයක් වැය කරනවද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ.
විනෝදාංශවලින් ප්‍රයෝජන ලැබෙන්නේ තෝරගන්න විනෝදාංශය හා ඒ සඳහා වැය කරන කාලය අනුවයි
12. විනෝදාංශයක් තෝරගද්දී ඔබ සිතන්න ඕනෙ මොනවද?
12 අපි මොන වගේ විනෝදාංශද තෝරගන්න ඕනෙ කියලා මුලින්ම බලමු. අද ලෝකයේ බලන බලන තැන තියෙන්නේ දෙවි කැමති නැති විනෝදාංශ. ඒවා අතර සැහැසියාව, මායාව, අනාචාරය මුල් තැනක් ගන්නවා. ඒ නිසා අපි පරෙස්සම් වෙන්න ඕනෙ. හිතන්න හොඳ ප්‍රශ්න ටිකක් බලමුද! මං කරන විනෝදාංශ නිසා මං දරුණු විදිහට හැසිරෙයිද? මගේ රට ජාතිය ගැන ආඩම්බරයක් ඇති වෙයිද? මං හැම තිස්සෙම දිනන්න ඕනෙ කියන හැඟීම ඇති වෙයිද? (හිතෝ. 3:31) මගේ විනෝදාංශ ගැන අනිත් අය දැනගත්තොත් මං ගැන වැරදියට හිතයිද? ඒවාට ලොකු මුදලක් වැය වෙනවද? මම විනෝද වෙන්නේ මොන වගේ අය එක්කද? (හිතෝ. 13:20) මගේ විනෝදාංශ නිසා මගේ අතින් වැරදි දෙයක් වෙයිද?—යාකො. 1:14, 15.
13, 14. විනෝදාංශවලට වැය කරන කාලය ගැන අපි හිතන්න ඕනෙ පැති මොනවද?
13 විනෝදයට මං කොයි තරම් කාලයක් වැය කරනවද කියලත් කල්පනා කරලා බලන්න. නමස්කාර කටයුතුවල යෙදෙන්න බැරි තරමට මම විනෝදාංශවල ඇලීගැලී ඉන්නවද? ඕනෑවට වඩා වැඩි කාලයක් ඒවායේ ඇලීගැලී හිටියොත් ඒකෙන් ලැබෙන සතුටත් නැතුව යයි. ඒත් පාලනයක් ඇතුව විනෝදාංශවල යෙදෙන අය ඒකෙන් ලොකු සතුටක් ලබනවා. ඒකට හේතුව ජීවිතයේ වඩා වැදගත් දේවලට මුල් තැන දෙන නිසා හිතේ නිදහසෙන් විනෝද වෙන්න ඒ අයට පුළුවන් වීමයි.—ෆිලිප්පි 1:10, 11 කියවන්න.
14 විනෝදාංශවලට වැඩි කාලයක් වැය කිරීමෙන් සතුටක් ලැබෙනවා කියලා පේන්න තිබුණත් ඔබව දෙවිගෙන් ඈත් කරන්න එයට පුළුවන් කියන එක මතක තියාගන්න. කිම් කියන අවුරුදු 20ක් වයසැති සහෝදරිය මෙහෙම කියනවා. “හැම සති අන්තයකම වගේ මම පාටිවලට ගියා. ඒත් ඊට වඩා වැදගත් දේවල් තියෙනවා කියලා මට දැන් තේරෙනවා. මම දැන් පුරෝගාමි සේවය කරන නිසා සේවේ යන්න උදේ හයට නැඟිටින්න ඕනෙ. ඒ නිසා දැන් මට කලින් වගේ පාන්දර එක දෙක වෙනකල් පාටිවල ඉන්න බැහැ. පාටිවලට යන එකේ වරදක් නැහැ. ඒත් ඕනෑවට වඩා ඒවාට කාලය වැය කරන එක දෙවිට කරන සේවයට ලොකු බාධාවක් කියලා මම තේරුම්ගත්තා.”
15. ගැළපෙන විනෝදාංශයක් තෝරගන්න දරුවන්ට උදව් කරන්නේ කොහොමද?
15 දරුවන්ගේ අවශ්‍යතාවන් සපයන එකත්, දෙවි එක්ක තියෙන ඔවුන්ගේ බැඳීම ශක්තිමත් කරන එකත්, ඔවුන්ට ආදරය කරන එකත් දෙමව්පියන්ගේ වගකීමක්. ඒ වගේම පවුලේ අයගේ සතුට ගැනත් ඔබ හිතන්න ඕනෙ. සමහර විනෝදාංශ නරකයි තමයි. ඒ නිසා හැම විනෝදාංශයක්ම නරකයි කියලා හිතන්න එපා. (1 කොරි. 5:6) පවුලේ අයට ගැළපෙන විනෝදාංශ මොනවද කියලා පරෙස්සමින් තෝරගත්තොත් පවුලක් හැටියට එකතු වෙලා සතුටු වෙන්න ඒකෙන් අවස්ථාව ලැබෙනවා.b ඒ විදිහට හොඳට හිතලා බලලා වැඩ කළොත් දෙවිගෙන් ඈත් නොවී තවත් දෙවිට කිට්ටු වෙන්න මුළු පවුලටම පුළුවන් වෙයි.
පවුල් බැඳීම්
16, 17. බොහෝ දෙමව්පියන්ට දුකක් ඇති වෙන්නේ මොන හේතුව නිසාද? ඔවුන්ගේ දුක යෙහෝවා දෙවිට තේරෙනවා කියලා කියන්න පුළුවන් ඇයි?
16 දෙමව්පියන්ට තමන්ගේ දරුවන් එක්ක තියෙන්නේ පුදුමාකාර බැඳීමක්. යෙහෝවා දෙවි තමන්ගේ සෙනඟට මොන තරම් ආදරය කරනවද කියලා තේරුම් කරන්න පාවිච්චි කළෙත් මවක් සහ දරුවෙක් අතර තියෙන බැඳීමයි. (යෙසා. 49:15) පවුලේ අයත් එක්ක එකට බැඳිලා දෙවිට නමස්කාර කරමින් හිටිය දරුවෙක් එක පාරටම දෙවිව අත්හැරලා ගියා කියලා හිතන්න. ඒ අම්මටයි තාත්තටයි කොච්චර ලොකු දුකක් දැනෙයිද? තමන්ගේ දුවව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළාට පස්සේ එක සහෝදරියක් මෙහෙම කියනවා. “මට දැනුණේ දරාගන්න බැරි දුකක්. ‘ඇයි මගේ දුව යෙහෝවා දෙවිව අත්හැරියේ, එයා වෙනුවෙන් කරන්න ඕනෙ දේවල් මම කළේ නැද්ද’ කියලා මගේ හිත හැම තිස්සෙම මට වධ දුන්නා.”
17 ඔබ ඉන්නෙත් ඒ වගේ තත්වයක නම් යෙහෝවා දෙවිට ඔබේ දුක තේරෙනවා කියලා මතක තියාගන්න. ඒ දුක ඔබ වගේම යෙහෝවා දෙවිත් වින්දා කියලා ඔබ දන්නවද? ඒ තමන් හදපු මුල්ම මිනිසා දෙවිව අතහැරිය වෙලාවේ. ඒකෙන් දෙවිගේ ‘සිතට මහත් වේදනාවක් දැනුණා.’ ඒ වගේම නෝවාගේ කාලයේ හිටපු මිනිස්සු නෝවාට සවන් නොදුන්න එක ගැනත් දෙවිට කොයි තරම් දුකක් දැනෙන්න ඇද්ද! (උත්. 6:5, 6) ඔබට දැනෙන දුක හැමෝටම තේරෙන්නේ නැතුව ඇති. ඒත් දෙවිගෙන් ඔබව ඈත් කරන්න සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු දරුවාට ඉඩ දෙන්න එපා. ඒ වගේ වෙලාවක දුක දරාගන්න ඔබට කරන්න පුළුවන් මොනවද?
18. දරුවෙක් යෙහෝවා දෙවිව අතහැරියොත් දෙමව්පියන් තමන්ටම දොස් කියාගන්න එක සුදුසු නැත්තේ ඇයි?
18 සිද්ධ වෙච්ච දේට ඔබ වග කිව යුතුයි කියලා හිතලා ඔබටම දොස් කියාගන්න එපා. දෙවිට කැප වුණාට පස්සේ අපි එක් එක් කෙනා “තමාට පැවරී ඇති වගකීම ඉටු කළ යුතුයි.” (ගලා. 6:5) කෙනෙක් වරදක් කළොත් ඒකට වග කියන්න ඕනෙ ඒ පුද්ගලයා මිසක් ඔබ නෙවෙයි. (එස. 18:20) ඒ වගේම අනිත් අය ඒකට වග කිව යුතුයි කියලා හිතන්නත් එපා. ඒ වෙනුවට යෙහෝවා දෙවි දේවල් හසුරුවන විදිහට ගරු කරන්න. ඔබේ සතුරා සාතන් මිසක් සභාව ආරක්ෂා කිරීමට ඉන්න වැඩිමහල්ලන් කියලා හිතන්න එපා. ඔබව දෙවිගෙන් ඈත් කරන්න මේ වගේ අවස්ථාවකට කොහොමටවත් ඉඩ දෙන්න එපා.—1 පේතෘ. 5:8, 9.
දරුවා නැවත දෙවිට සේවය කරයි කියන බලාපොරොත්තුවෙන් ඉන්න එක වැරදි නැහැ
19, 20. (අ) දුක දරාගන්න දෙමව්පියන්ට පුළුවන් කොහොමද? (ආ) ඒ වගේ දෙමව්පියන්ට තියාගන්න පුළුවන් බලාපොරොත්තුව මොකක්ද?
19 දරුවාට වුණු දේ නිසා ඔබට දෙවි එක්ක අමනාපයක් ඇති වුණොත් ඔබ ටිකෙන් ටික දෙවිගෙන් ඈත් වෙයි. ඒ වගේ දේකට ඉඩ දෙන්න එපා. ඔබේ දරුවාට ඔබ පණ වගේ ආදරේ ඇති. ඒත් ඊටත් වඩා ඔබ යෙහෝවා දෙවිට ආදරෙයි කියලා පෙන්වන්න. දෙවි එක්ක තියෙන බැඳීම තව තවත් වැඩි කරගන්න වැඩ කළොත් දුක දරාගන්න ඒක ඔබට උදව් වෙයි. සහෝදර සහෝදරියන් එක්ක නිතරම ආශ්‍රය කරන්න. (හිතෝ. 18:1) ඔබට දැනෙන දේ ගැන නොසඟවා දෙවිට කියන්න. (ගීතා. 62:7, 8) සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු පවුලේ සාමාජිකයා එක්ක ආශ්‍රය කරන්න බොරු හේතු හොයන්න එපා. කිසිම විදිහකින් අඩුම තරමින් ඊ-මේල් පණිවිඩවලින් හෝ ලියුම්වලින්වත් ඒ පුද්ගලයා එක්ක සම්බන්ධයක් තියාගන්න එපා. (1 කොරි. 5:11) දෙවිට තවත් වැඩියෙන් සේවය කරන්න. (1 කොරි. 15:58) කලින් සඳහන් කළ සහෝදරිය මෙහෙම කියනවා. “මම දෙවිට කරන සේවය තවත් වැඩි කරලා දෙවිත් එක්ක තියෙන මගේ බැඳීම ශක්තිමත් කරගන්න ඕනෙ. එහෙම කළොත් මගේ දුව ආපහු දෙවිට සේවය කරන්න ආපු දවසට එයාට උදව් කරන්න පුළුවන් තත්වයක මම ඉඳියි.”
20 ප්‍රේමය “සියල්ල ගැන බලාපොරොත්තුවෙන් සිටියි.” (1 කොරි. 13:4, 7) ඒ නිසා ඔබේ දරුවා කවදා හරි දවසක නැවත දෙවිට සේවය කරයි කියන බලාපොරොත්තුවෙන් ඉන්න එක වැරදි දෙයක් නෙවෙයි. හැම අවුරුද්දකම සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු හුඟක් අය පසුතැවිලි වෙලා දෙවිට සේවය කරන්න නැවත සභාවට එකතු වෙනවා. දෙවි “සමාව දීමට කැමති” කෙනෙක් නිසා ඒ අයත් එක්ක දෙවි හැමදාමත් අමනාපයෙන් ඉන්නේ නැහැ.—ගීතා. 86:5.
හරි තීරණ ගන්න
21, 22. ඔබ ගන්න කැමති මොන වගේ තීරණද?
21 තමන්ගේ ජීවිතය ගැන තීරණ ගැනීමේ අයිතිය දෙවි මිනිසුන්ට දීලා තියෙනවා. (ද්විතීය කතාව 30:19, 20 කියවන්න.) ඒ නිසා හරි තීරණ ගන්න එක අපේ වගකීමක්. ‘මම ගන්න තීරණවලින් මම ඉන්නේ හරි පාරේ කියලා පේනවද? යෙහෝවා දෙවිගෙන් මාව ඈත් කරන්න මගේ රැකියාවට, විනෝදාංශවලට, පවුල් බැඳීම්වලට මම ඉඩ දෙනවද?’ අපි ටිකක් ඒ ගැන බැරෑරුම්ව හිතමු.
22 දෙවි තමන්ගේ සෙනඟට ආදරය කරන එක කවදාවත් නතර කරන්නේ නැහැ. අපි වැරදි තීරණයක් ගත්තොත් හැරෙන්න, අපිව දෙවිගෙන් ඈත් කරන්න කිසිම දේකට බැහැ. (රෝම 8:38, 39) ඒ නිසා ඔබව දෙවිගෙන් ඈත් කරන්න කිසිම දේකට ඉඩ දෙන්න එපා. තීරණ ගද්දී පරෙස්සම් වෙන්න ඕනෙ තවත් පැති හතරක් ගැන ඊළඟ ලිපියෙන් බලමු.
a රැකියාවක් තෝරගැනීම සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහා යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොතේ 38වන පරිච්ඡේදය බලන්න.
b තව විස්තර දැනගන්න 2011 නොවැම්බර් පිබිදෙව්! කලාපයේ 17-19 දක්වා පිටු බලන්න.
-
-
දෙවිට තවත් ළං වෙන්න2013 මුරටැඹ | ජනවාරි 15
-
-
දෙවිට තවත් ළං වෙන්න
“දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.”—යාකො. 4:8.
1, 2. (අ) සාතන්ට ඕනෙ කරන්නේ මොකක්ද? (ආ) දෙවිට ළං වෙන්න අපිට උදව් වෙන්නේ මොනවද?
යෙහෝවා දෙවි අපිව නිර්මාණය කළේ ඔහු එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගැනීමේ අවශ්‍යතාව ඇතුවයි. ඒත් සාතන් උත්සාහ කරන්නේ මිනිසුන්ට දෙවිව අවශ්‍ය නැහැ කියන හැඟීම ඇති කරන්න. ඒදන් උයනේදී ඒවව රවට්ටපු වෙලාවේ ඉඳන් අද වෙනකල්ම සාතන් ඒ උත්සාහය අතහැරලා නැහැ.—උත්. 3:4-6.
2 ඒත් අපිට ඕනෙ නැහැ සාතන්ට රැවටෙන්න. ඔහු ‘කොයි තරම් කපටි විදිහට ක්‍රියා කරනවද’ කියලා අපි දන්නවා. (2 කොරි. 2:11) ඔහුට ඕනෙ අපි දෙවිගෙන් ඈත් වෙන විදිහේ තීරණ ගන්නවා දකින්නයි. අපේ රැකියාවෙදී, විනෝදාංශවලදී සහ පවුල් බැඳීම්වලදී හරි තීරණ ගන්නේ කොහොමද කියලා කලින් ලිපියේ අපි බැලුවා. මේ ලිපියේදී සාතන් අපිව දෙවිගෙන් ඈත් කිරීමට යොදාගන්න තවත් දේවල් හතරක් එනම් (1) පරිගණක හා ඉලෙක්ට්‍රොනික උපකරණ, (2) සෞඛ්‍යය, (3) මුදල් සහ (4) ආඩම්බරකම ගැන කතා කරමු. ඒ කාරණාවලදී අපි හරි තීරණ ගත්තොත් ‘දෙවිට ළං වෙන්න’ අපිට පුළුවන් වෙයි.—යාකො. 4:8.
පරිගණක හා ඉලෙක්ට්‍රොනික උපකරණ
3. පරිගණක සහ ඉලෙක්ට්‍රොනික උපකරණවල තියෙන වාසි හා අවාසි මොනවද?
3 පරිගණක හා ඉලෙක්ට්‍රොනික උපකරණ හරි විදිහට පාවිච්චි කළොත් හුඟක් ප්‍රයෝජන ගන්න පුළුවන්. උදාහරණයකට ඔබේ අතේ තියෙන මේ මුරටැඹ සඟරාව ලියන්නත් මුද්‍රණ කටයුතුවලටත් පරිගණක යොදාගන්නවා. ඒ වගේම අධ්‍යයන කටයුතුවලටත්, අදහස් හුවමාරු කරගන්නත් පරිගණකයෙන් ලැබෙන්නේ පුදුම පහසුවක්. ඒත් ඒ වගේ උපකරණ වැරදි විදිහට පාවිච්චි කළොත් දෙවිගෙන් අපිව ඈත් කරන්න ඒවාට පුළුවන්. උදාහරණයකට ඒවා පාවිච්චි කරන්නත්, ඒ ගැන හිතහිතා ඉන්නත් වැඩි කාලයක් ගත්තොත් ඒක අනතුරුදායකයි. වෙළඳ දැන්වීම්වලින් නිතරම අපි තුළ ආසාවක් ඇති කරන්නේ එන අලුත්ම ඉලෙක්ට්‍රොනික උපකරණ මිල දී ගන්නයි. ඒ වගේ දැන්වීම්වලට රැවටුණ යෞවනයෙක් හොර රහසේම ඔහුගේ වකුගඩුවක් විකුණලා නවීනතම පරිගණකයක් මිල දී ගත්තා. මොන තරම් කනගාටුදායක දෙයක්ද!
4. පරිගණකය පාවිච්චි කරන විදිහ එක සහෝදරයෙක් වෙනස් කරගත්තේ කොහොමද?
4 ඒ උපකරණ නිසා අපිට දෙවිත් එක්ක තියෙන බැඳීමට හානියක් වුණොත් ඒක ඊටත් වඩා කනගාටුවට හේතුවක්. ඒවාත් එක්ක ඕනෑවට වඩා කාලය ගත කළොත් හරි, සුදුසු නැති දේවල් සඳහා පාවිච්චි කළොත් හරි එහෙම වෙන්න පුළුවන්. අවුරුදු 28ක් වන යොන් මෙහෙම කියනවා.a “මම බයිබලය අධ්‍යයනය කරනවට වඩා වැඩි වෙලාවක් පරිගණකය ඉස්සරහා ගත කළා. මට මහන්සියක් දැනුණත් මම තව තවත් චැට් කරන්නත් සමහර වෙලාවට සුදුසු නැති වීඩියෝ බලන්නත් පෙලඹුණා.” ඔහුට ඕනෙ වුණා ඒ පුරුද්ද නැති කරගන්න. ඒ නිසා නිදාගන්න අවශ්‍ය වෙලාව තීරණය කරලා ඒ වෙලාවට පරිගණකය ක්‍රියා විරහිත වෙන විදිහට ඔහු ඒක සකස් කළා.—එෆීස 5:15, 16 කියවන්න.
ඉලෙක්ට්‍රොනික උපකරණ ඥානවන්තව පාවිච්චි කරන්න දරුවන්ට උදව් කරන්න
5, 6. (අ) දෙමව්පියන් කරන්න ඕනෙ මොකක්ද? (ආ) දරුවන්ට ආශ්‍රය කරන්න සුදුසු අය කවුද?
5 දෙමව්පියෙනි, ඔබේ දරුවන් කරන හැම දේකටම ඇඟිලි ගහන්න ඕනෙ නැහැ තමයි. ඒත් ඔවුන් පරිගණකය පාවිච්චි කරන විදිහ ගැන නම් හොයලා බලන්න ඕනෙමයි. අනාචාරය හරි, මායාකාරී දේවල් හරි තියෙන වෙබ් අඩවිවලට යන්න දෙන්න එපා. ප්‍රචණ්ඩකාරී දේවල් තියෙන වීඩියෝ ක්‍රීඩාවල නියැලෙන්නවත් අඳුරන්නේ නැති අය එක්ක චැට් කරන්නවත් ඉඩ දෙන්න එපා. ඔබේ පහසුව ගැන හිතලා ඔවුන්ට ඕනෙම දෙයක් කරන්න හරි, බලන්න හරි ඉඩ දුන්නොත් ඔවුන් හිතයි ඒ දේවල්වල කිසිම වරදක් නැහැ කියලා. දෙවිගෙන් ඔබේ දරුවන්ව ඈත් කරන ඕනෑම දේකින් ඔවුන්ව ආරක්ෂා කරන එක ඔබේ වගකීමක්. සතුන් වුණත් තමන්ගේ පැටවුන්ව ආරක්ෂා කරගන්න සටන් කරනවා ඔබ දැකලා ඇති. (හොෂෙයා 13:8 බලන්න.) එහෙමනම් ඔබට ඔබේ ජීවිතයටත් වඩා වටින දරුවන්ව ආරක්ෂා කරගන්න ඔබ කොච්චර ලොකු සටනක් කරන්න ඕනෙද!
6 මොනවද කරන්න පුළුවන්? විවිධ වයස්වල ඉන්න, හොඳ තීරණ ගන්න සහෝදර සහෝදරියන් එක්ක ආශ්‍රය කරන්න දරුවන්ව දිරිගන්වන්න. ඒත් දෙමව්පියෙනි, ඔවුන් ඔබත් එක්ක ඇසුරු කරන එක වෙන ඕනෙම කෙනෙක් එක්ක ඇසුරු කරනවට වඩා වටිනවා කියන එක මතක තියාගන්න. වෙන කාටවත් වඩා ඔවුන්ට ඕනෙ ඔබවයි. ඒ නිසා ඔබේ දරුවන් එක්ක කාලය ගත කරන්න. එකට හිනා වෙන්න, එකට සෙල්ලම් කරන්න, එකට වැඩ කරන්න. එහෙම කළොත් පවුලේ හැමෝම තව තවත් දෙවිට ළං වේවි.b
සෞඛ්‍යය
7. අපි හැමෝම සෞඛ්‍ය සම්පන්නව ඉන්න ඕනෙ ඇයි?
7 අපිට කෙනෙක්ව මුණගැහුණම ‘ආ, කොහොමද’ කියලා අහද්දී ‘හොඳයි’ කියලා කියනවා නේද? ඒත් අපි දන්නවා අපේ මුල් දෙමව්පියන් සාතන්ට රැවටුණ දා ඉඳලා මිනිස්සු හැමෝම අසනීප වෙනවා කියලා. අපි ලෙඩ වෙනවට සාතන් කැමතියි. එතකොට අපිට දෙවිට සේවය කරන්න අමාරුයි. අපි මැරෙනවා නම් සාතන් ඊටත් වඩා කැමතියි. මොකද එතකොට අපිට කොහොමටවත් දෙවිට සේවය කරන්න බැරි වෙනවා. (ගීතා. 115:17) ඒ නිසා සෞඛ්‍ය සම්පන්නව ඉන්න අපිට කරන්න පුළුවන් දේ කරමු.c ඒ වගේම අපේ සහෝදර සහෝදරියන්ගේ සෞඛ්‍යය ගැනත් සැලකිලිමත් වෙමු.
8, 9. (අ) අපේ ඔළුවේ තියෙන්නේ නිරෝගීකම ගැන විතරක් නෙවෙයි කියලා පෙන්වන්නේ කොහොමද? (ආ) අපි ප්‍රීතියෙන් ඉන්න ඕනෙ ඇයි?
8 අපේ ඔළුවේ තියෙන්න ඕනෙ එකම දේ නිරෝගීකම විතරක් නෙවෙයි. බේත්හේත් ගැන, රූපලාවණ්‍ය නිෂ්පාදන ගැන, ආහාරවල ගුණ අගුණ ගැන සමහරු ඕනෑවට වඩා උනන්දුවෙන් කතා කරනවා. හැබැයි ඔවුන් දේශනා සේවයේ ගිහින්වත් එච්චර උනන්දුවෙන් කතා කරන්නේ නැහැ. අනිත් අයට කොච්චර ප්‍රයෝජනවත් කියලා හිතුවත් බේත්හේත් ගැන, ආලේපන ගැන ප්‍රචාරය කරන්නවත් ඒවා විකුණන්නවත් රැස්වීම්, සමුළු වගේ අවස්ථා යොදාගන්න එපා. එහෙම කියන්නේ ඇයි?
9 අපි රැස්වීම් යන්නෙත් සමුළුවලට යන්නෙත් බයිබලයේ තියෙන තොරතුරු ඉගෙනගෙන එකිනෙකාව ආශ්‍රය කරලා ප්‍රීතියක් ලබන්න. (ගලා. 5:22) නිරෝගීව ඉන්න විදිහ ගැනත් ඒ සඳහා ඕනෙ කරන බේත්හේත් ගැනත් වෙන කෙනෙක් අපෙන් ඇහුවත් නැතත් ඒ ගැන කතා කරන එක හරිද? එහෙම කළොත් අපි රැස්වීම් යන අරමුණ ඉටු වෙන්නේ නැහැ. සමහරවිට ඒකෙන් අනිත් අයගේ සතුටත් නැති වෙන්න පුළුවන්. (රෝම 14:17) අනිත් අයගේ සෞඛ්‍යය ගැන තීරණ ගන්න ඒ අයටම ඉඩ දෙන්න. කිසිම කෙනෙකුට අඩුම තරමින් වෛද්‍යවරුන්ටවත් හැම ලෙඩක්ම හොඳ කරන්න බැහැ. ඒ නිසා සෞඛ්‍යය ගැන හිතලා හිත කරදර කරගන්න එකේ කිසි තේරුමක් නැහැ. (ලූක් 12:25) බයිබලයේ කියන්නේ ‘ප්‍රීතිමත් සිතක් හොඳ ඖෂධයක්’ කියලයි.—හිතෝ. 17:22.
10. (අ) යෙහෝවා දෙවිට ලස්සන මොන වගේ අයද? (ආ) අපිට පරිපූර්ණ සෞඛ්‍යයක් ලැබෙන්නේ කවදාද?
10 අපේ පෙනුම ගැනත් අපි හිතන්න ඕනෙ තමයි. ඒත් ඕනෑවට වඩා තරුණ වෙන්න හදන එක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. “ධර්මිෂ්ඨ මිනිසෙකුගේ පැසුණු හිසකෙස් අලංකාර ඔටුන්නක් මෙනි” කියලා බයිබලෙත් කියනවා. (හිතෝ. 16:31) ඇත්තටම දෙවි බලන්නේ අපේ පෙනුමට වඩා අපි මොන වගේ අයද කියන එකයි. අපි හිතන්න ඕනෙත් එහෙමයි. (1 පේතෘස් 3:3, 4 කියවන්න.) ඒ නිසා අපේ පෙනුම වැඩි කරන ශල්‍යකර්ම කිරීම හා අනතුරුදායක බේත්හේත් ගැනීම වැනි දේවල් කරලා අපේ ජීවිත අනතුරේ දාගන්නේ ඇයි? අපේ වයස කීය වුණත්, අපේ ශරීර සෞඛ්‍යය කොහොම තිබුණත් අපි ඇත්තටම ලස්සන පුද්ගලයන් වෙන්නේ “යෙහෝවා දෙවි දෙන ප්‍රීතිය” නිසයි. (නෙහෙ. 8:10) පාරාදීස පොළොවෙදී අපි හැමෝටම පරිපූර්ණ සෞඛ්‍යයක් ඇතුව යෞවනයන් වගේ ඉන්න ලැබෙනවා. (යෝබ් 33:25; යෙසා. 33:24) ඒ වෙනකල් දෙවිගේ පොරොන්දු ගැන විශ්වාසය තියලා හරි තීරණ ගමු. එහෙම කළොත් සෞඛ්‍යය ගැන සමබරව හිතන්නත් සතුටින් ඉන්නත් අපිට පුළුවන් වෙයි.—1 තිමෝ. 4:8.
මුදල්
11. මුදල් අපිව දෙවිගෙන් ඈත් කරන්නේ කොහොමද?
11 මුදල් තියෙන එකවත් මුදල් හම්බ කරන එකවත් වැරදි නැහැ. (දේශ. 7:12; ලූක් 19:12, 13) ඒත් අපි මුදල්වලට ඕනෑවට වඩා ඇලුම් කරන්න ගියොත් අපි දෙවිගෙන් ඈත් වෙන්න පුළුවන්. (1 තිමෝ. 6:9, 10) “මේ සමාජයේ තිබෙන දේවල් ගැන අනවශ්‍ය ලෙස කරදර” වෙනවා කියන්නේ අපිට අවශ්‍ය දේවල් ලබාගන්න එක ගැන ඕනෑවට වඩා හිතන එකයි. ඒ කනස්සල්ල අපිව දෙවිගෙන් ඈත් කරාවි. “ධනය පසුපස ගොස් එයින් මුළා වන” කෙනෙක් හිතන්නෙම ජීවිතයට සතුටත් ආරක්ෂාවත් ලැබෙන්නේ මුදල්වලින් විතරයි කියලා. (මතෙ. 13:22) යේසුස් කිව්වේ කිසිම කෙනෙකුට දෙවිට සේවය කරන අතරම මුදල් පසුපස යන්න බැහැ කියලයි.—මතෙ. 6:24.
12. ඉක්මනින් මුදල් ලබාගන්න මිනිස්සු කරන දේවල් මොනවද? අපි පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි?
12 මුදල් අපේ ජීවිතයේ වැදගත්ම දේ කියලා හිතුවොත් අපි වැරදි දේවල් කරන්න පෙලඹෙන්න පුළුවන්. (හිතෝ. 28:20) සමහරුන් එකවර විශාල මුදලක් ලබාගැනීමේ ආසාවෙන් ලොතරැයි මිල දී ගන්නවා. තවත් අය ඉක්මනින් විශාල මුදලක් ලබාගත හැකි ව්‍යාපාරවලට හවුල් වෙනවා. ඒ විතරක් නෙවෙයි සභාවේ සහෝදර සහෝදරියන්ටත් ලොකු ලාභයක් ලබාගන්න පුළුවන් කියලා පොරොන්දු වෙලා ඔවුන්වත් ඒවාට හවුල් කරගන්න හදනවා. තවත් සමහරු ව්‍යාපාරයක් සඳහා කියලා විශාල මුදලක් සහෝදරයන්ගෙන් ඉල්ලන්නේ ලොකු පොලියකුත් දෙන පොරොන්දුව පිටයි. තණ්හාව නිසා ඒ වගේ යෝජනාවකට කැමති වුණ සමහරුන් තමන්ට තියෙන මුදල් ටිකත් නැති කරගෙන තියෙනවා. ඒ නිසා පරෙස්සම් වෙන්න. ඉක්මනින් විශාල මුදලක් ලබාගන්න හදන එක අනතුරුදායකයි.
13. බොහෝදෙනෙක් මුදල් ගැන හිතන්නේ කොහොමද? ඒත් අපි හිතන්න ඕනෙ කොහොමද?
13 අපේ ජීවිතයේ පළමු තැන “දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත්” දෙමු. එහෙම කළොත් අපිට ඇත්තටම ඕනෙ කරන දේවල් ගන්න මහන්සි වෙලා වැඩ කරද්දී දෙවි ඒකට ආශීර්වාද කරයි. (මතෙ. 6:33; එෆී. 4:28) ඒත් අපි ඕනෑවට වඩා මහන්සි වෙලා වැඩ කරලා රැස්වීම්වලට ගිහින් නිදිකිරා වැටෙනවටවත් මුදල් ගැන හිතහිතා ඉන්නවටවත් දෙවි කැමති නැහැ. අද හුඟදෙනෙක් හිතන්නේ ‘නාස්ති කරකර ඉන්න කාලයක් නැහැ. පුළුවන් කාලේ හැම දේම කරලා සල්ලි ටිකක් හොයාගත්තොත් වයසට ගියාම භය නැතුව සැනසිල්ලේ ඉන්න පුළුවන්’ කියලයි. ඔවුන් තමන්ගේ දරුවන්ට දිරිගන්වන්නෙත් එහෙම කරන්නයි. ඒත් ඒක අඥාන දෙයක්. (ලූක් 12:15-21 කියවන්න.) ගෙහාසීගේ කතාව මතකද? ඔහු හිතුවේ තණ්හාවෙන් වස්තුව පස්සේ දිව්වත් දෙවි එක්ක හොඳ බැඳීමක් තියාගන්න පුළුවන් කියලයි.—2 රාජා. 5:20-27.
14, 15. මුදල්වලින් ආරක්ෂාවක් ලැබෙනවා කියලා හිතන එක අඥාන දෙයක් වෙන්නේ ඇයි? උදාහරණයක් දෙන්න.
14 උස්සගන්න බැරි තරම් බර මාළුවෙක් අල්ලගත්ත රාජාලියෙක් ගැන හිතන්න. මාළුවාව අතහැරියේ නැත්නම් රාජාලියා වතුරේ ගිලෙන්න පුළුවන්. අපිට දරාගන්න බැරි දේවල් කරලා සල්ලි හොයන්න ගියොත් අපිට වෙන්නෙත් ඒ දේමයි. ඇලෙක්ස් කියන්නේ වැඩිමහල්ලෙක්. ඔහු හුඟක් අරපිරිමැස්මෙන් වැඩ කරපු කෙනෙක්. ඔහු හිතුවා වැඩියෙන් සල්ලි ටිකක් හොයාගෙන රස්සාවෙන් අස් වෙලා පුරෝගාමි සේවය කරන්න. ඒ නිසා ඔහු තමන්ගේ හැම සතේම කොටස් වෙළඳපොළේ ආයෝජනය කළා. ණයටත් සල්ලි අරන් කොටස් මිල දී ගත්තා. ඒත් නොහිතපු විදිහට ඔහු ගත්ත කොටස්වල මිල බින්දුවටම බැස්සා. ඇලෙක්ස් මෙහෙම කියනවා. “අඩුම තරමින් යොදවපු සල්ලි ටිකවත් ගන්න ඕනෙ නිසා කොටස්වල මිල ආපහු ඉහළ යනකල් මම බලාගෙන හිටියා.”
15 ඇලෙක්ස්ගේ ඔළුවේ තිබුණේ ඒ ප්‍රශ්නෙමයි. ඒ නිසා දෙවිට සේවය කරන එකට මනස යොමු කරන්නවත් අඩු තරමින් හරියට නිදාගන්නවත් ඔහුට බැරි වුණා. අන්තිමට ඇලෙක්ස්ගේ සල්ලි ටික ඔක්කොම වතුරේ ගියා. ගේත් විකුණන්න වුණා. ඔහු කරපු දේ නිසා මුළු පවුලටම දුක් විඳින්න වුණා. සිද්ධ වුණ දෙයින් පාඩමක් ඉගෙනගත්ත ඇලෙක්ස් මෙහෙම කියනවා. “සාතන්ගේ ලෝකෙන් සතුටක් ආරක්ෂාවක් හොයන්න ගියොත් අපි අමාරුවේ වැටෙනවාමයි.” (හිතෝ. 11:28) අපි මුදල් ගැන ඕනෑවට වඩා විශ්වාස කරනවා කියන්නේ “මේ සමාජයේ දෙවියා” වන සාතන්ව විශ්වාස කරනවා වගේ දෙයක්. (2 කොරි. 4:4; 1 තිමෝ. 6:17) දැන් ඇලෙක්ස් තමන්ගේ ජීවිතේ සරල කරගෙන වැඩි කාලයක් දේශනා සේවයේ හවුල් වෙනවා. ඒ නිසා මුළු පවුලටම සතුටින් ඉන්නත් දෙවිට තව තවත් කිට්ටු වෙන්නත් පුළුවන් වෙලා තියෙනවා.—මාක් 10:29, 30 කියවන්න.
ආඩම්බර වීම
16. ආඩම්බර වෙන එක වැරදිද? ඕනෑවට වඩා ආඩම්බර වුණොත් මොකක් වෙයිද?
16 සමහර දේවල් ගැන ආඩම්බර වීම වැරදි නැහැ. උදාහරණයකට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වීම ගැන අපිට ආඩම්බර වෙන්න පුළුවන්. (යෙරෙ. 9:24) ඒ නිසා හරි තීරණ ගන්නත් දෙවිගේ ප්‍රමිති අනුව ජීවත් වෙන්නත් අපි නිතරම උත්සාහ කරනවා. ඒත් අපි, අපි ගැනම ආඩම්බර වුණොත් අපි දෙවිටත් වඩා දේවල් දන්නවා කියලා හිතයි. ඒක අපිව දෙවිගෙන් ඈත් කරන්න හේතුවක්.—ගීතා. 138:6; රෝම 12:3.
සභාවේ වගකීම් ලබාගන්න එක ගැන හිතහිතා ඉන්නවා වෙනුවට සේවයෙන් ප්‍රීතියක් ලබන්න
17, 18. (අ) නිහතමානී සහ උඩඟු අය ගැන බයිබලයෙන් උදාහරණ දෙන්න. (ආ) උඩඟුකම නිසා දෙවිගෙන් ඈත් වෙන එක වළක්වගන්න සහෝදරයෙක් කළේ මොකක්ද?
17 තමන් ගැන ආඩම්බර වෙලා උඩඟු විදිහට වැඩ කරපු අය ගැනත් නිහතමානීව වැඩ කරපු අය ගැනත් ආදර්ශ බයිබලයේ ඕනෙ තරම් තියෙනවා. දාවිත් රජ නිහතමානීව දෙවිගේ මඟ පෙන්වීම් පැතූ කෙනෙක්. ඒ නිසා දෙවි ඔහුට ආශීර්වාද කළා. (ගීතා. 131:1-3) ඒත් උඩඟු නෙබුකද්නෙෂර් රජටත් බෙල්ෂසර් රජටත් දෙවි දඬුවම් කළා. (දානි. 4:30-37; 5:22-30) අපි උඩඟු වුණොත් සමහර තත්වයන්ට මුහුණ දෙන්න අමාරු වෙයි. රයන් කියන්නේ වයස අවුරුදු 32ක සහායක සේවකයෙක්. ඔහු හිතුවා ඔහුව ඉක්මනින්ම වැඩිමහල්ලෙක් කරයි කියලා. ඒත් අවුරුද්දක් ගත වුණත් එහෙම වුණේ නැහැ. රයන් උඩඟු වෙලා වැඩිමහල්ලන් එක්ක කේන්තියෙන් වැඩ කළාද? රැස්වීම් යන එක නවත්වලා දෙවිගෙනුත් සභාවෙනුත් ඈත් වුණාද? හිතන්න ඔබ රයන් කියලා. ඔබ මොකද්ද කරන්නේ?
18 මේ වගේ වෙලාවක වැඩ කරන විදිහ ගැන රයන් අපේ ප්‍රකාශනවලින් අධ්‍යයනය කළා. (හිතෝ. 13:12) ඔහු මෙහෙම කියනවා. ‘නිහතමානීව ඉවසීමෙන් වැඩ කරන්න ඕනෙ කියලත් මාව පුහුණු කරන්න දෙවිට ඉඩ දෙන්න ඕනෙ කියලත් මම තේරුම්ගත්තා. වැඩිමහල්ලෙක් වෙන එක ගැන හිතහිතා ඉන්නේ නැතුව සභාවේ අයටත් දේශනා සේවයේ හම්බ වෙන අයටත් උදව් කරන්න මම වැඩිපුර කාලය යෙදෙව්වා. ඒ නිසා මට බයිබල් පාඩම් කිහිපයක්ම පටන්ගන්න පුළුවන් වුණා. ඒ දේවල් කොයි තරම් සතුටින් කරගෙන හිටියද කියනවා නම් වැඩිමහල්ලෙක් වෙන එක ගැන මට අමතක වෙලයි තිබුණේ. අවුරුදු එකහමාරකට පස්සේ මාව වැඩිමහල්ලෙක් කළා කියලා මම දැනගත්තාම මට පුදුම හිතුණා.’—ගීතාවලිය 37:3, 4 කියවන්න.
දෙවිට ළං වී ජීවත් වෙන්න
19, 20. (අ) වැරදි නැති දේවල් ගැන වුණත් අපිට පරෙස්සම් වෙන්න පුළුවන් කොහොමද? (ආ) අපිට ආදර්ශයට ගන්න පුළුවන් අය කවුද?
19 මේ ලිපි දෙකෙන්ම අපි කතා කරපු දේවල් හතෙන් කිසිම එකක් වැරදියි කියලා කියන්න බැහැ. සාක්ෂිකරුවෙක් වෙන එක ගැන ආඩම්බර වෙන එක හොඳයි. පවුල් බැඳීම්වලිනුත් හොඳ සෞඛ්‍යයකිනුත් අපිට සතුටක් ලැබෙනවා. අපේ පවුලේ අයව රැකබලා ගන්න අපිට මුදල් හා රැකියාව අත්‍යවශ්‍යයි. විනෝදාංශවලින් සතුටකුත් ඉලෙක්ට්‍රොනික උපකරණවලින් ප්‍රයෝජනයකුත් ලැබෙනවා. ඒත් අපි ඕනෑවට වඩා ඒවා ගැන හිතනවා නම් අපිව දෙවිගෙන් ඈත් කරන්න ඒ දේවලට පුළුවන්.
ඔබව දෙවිගෙන් ඈත් කිරීමට කිසිම දෙයකට ඉඩ දෙන්න එපා!
20 සාතන්ට ඕනෙ ඔබේ මුළු පවුලම දෙවිගෙන් ඈත් කරන්න. ඒකට ඉඩ දෙන්න එපා. දෙවිට ළං වෙන්න කරන්න පුළුවන් හැම දේම කරන්න. (හිතෝ. 22:3) එහෙම කරපු අය ගැන ආදර්ශවලින් බයිබලය පිරිලා. ඒනොක් සහ නෝවා කියන්නේ ‘සැබෑ දෙවි සමඟ ගමන් කළ’ දෙන්නෙක්. (උත්. 5:22; 6:9) ‘නොපෙනෙන තැනැත්තාණන්ව දකිනවා හා සමාන විශ්වාසයකින් දිගටම ස්ථිරව සිටි’ මෝසෙස් තවත් ආදර්ශයක්. (හෙබ්‍රෙ. 11:27) යේසුස් හැම වෙලාවෙම කළේ දෙවි කැමති දෙයයි. ඒ නිසා ඔහුට දෙවි ආශීර්වාද කළා. (යොහ. 8:29) ඒ වගේ අයව ආදර්ශයට ගන්න. “නිතරම ප්‍රීතියෙන් සිටින්න. නොකඩවා යාච්ඤා කරන්න. සෑම දෙයක් සඳහාම ස්තුති දෙන්න.” (1 තෙස. 5:16-18) ඔබව දෙවිගෙන් ඈත් කරන්න කිසිම දේකට ඉඩ දෙන්න එපා!
a නම් වෙනස් කර ඇත.
b “දරුවාගේ අනාගතය ඔබේ අතේ!” යන 2011 ඔක්තෝබර් පිබිදෙව්! කලාපය බලන්න.
c “නිරෝගී දිවියකට පියවර පහක්” යන 2011 මාර්තු පිබිදෙව්! කලාපය බලන්න.
-