-
ඔබ විනිශ්චාසනය ඉදිරියේ සිටිනු ඇත්තේ කෙසේද?1995 මුරටැඹ | ඔක්තෝබර් 15
-
-
ඔබ විනිශ්චාසනය ඉදිරියේ සිටිනු ඇත්තේ කෙසේද?
“මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමඟ තමන්ගේ තේජසින් එන කල, ස්වකීය තේජසේ සිංහාසනයෙහි වැඩ හිඳිනසේක.”—මතෙව් 25:31.
1-3. යුක්තිය සම්බන්ධයෙන් ශුභවාදී වීම සඳහා අපට තිබෙන හේතුව කුමක්ද?
වැරදිකරුද නැත්නම් නිවැරදිකරුද?’ යම් අධිකරණ නඩුවක් පිළිබඳ වාර්තා අසන විට, බොහෝදෙනෙක් කුතුහලයෙන් මෙසේ අසති. විනිසුරුවරුන් සහ ජූරි සභිකයන් අවංක වීමට උත්සාහ කරනවා වන්ට පුළුවන, නමුත් සාමාන්‍යයෙන් යුක්තිය ජයගනීද? විනිශ්චමය ක්‍රියාවලියේදී සිද්ධවෙන අයුක්තිය සහ අසාධාරණය ගැන ඔබ අසා නැද්ද? ලූක් 18:1-8හි සඳහන් යේසුස්වහන්සේගේ උපහැරණය තුළ අප දකින පරිදි, එවන් අයුක්තිසහගතභාවය අලුත් යමක් නොවේ.
2 මිනිස් යුක්තිය සම්බන්ධව ඔබ කුමක් අද්දැක තිබුණත්, යේසුස්වහන්සේගේ නිගමනය සැලකිල්ලට ගන්න: “දෙවියන්වහන්සෙත් තමන්ට රෑ දාවල් හඬගසන්නාවූ තමන් තෝරාගත්තවුන් ගැන යුක්තිය ඉෂ්ට නොකරනසේක්ද? . . . උන්වහන්සේ ඔවුන්ට වහාම යුක්තිය ඉෂ්ටකරනසේකැයි නුඹලාට කියමි. එසේවී නුමුත් මනුෂ්‍ය පුත්‍රයා එන කල්හි පොළොවේ ඇදහිල්ල සම්බවේ[ද]?”
3 එසේය, ස්වකීය සේවකයන්ට අවසානයේදී යුක්තිය ඉෂ්ට කරනු ලබන බවට යෙහෝවඃවහන්සේ වගබලා ගන්නාසේක. මීට යේසුස්වහන්සේද ඇතුළත්ය, මන්ද, විශේෂයෙන් දැන් අප ජීවත් වෙමින් සිටින්නේ වත්මන් දුෂ්ට පිළිවෙළේ “අන්තිම දවස්වල” බැවින්ය. යෙහෝවඃවහන්සේ ඉතා ඉක්මනින් පොළොවේ දුෂ්ටකම පිසදැමීම සඳහා ස්වකීය බලසම්පන්න පුත්‍රයාණන්ව යොදාගන්නවා ඇත. (2 තිමෝති 3:1; 2 තෙසලෝනික 1:7, 8; එළිදරව් 19:11-16) යේසුස්වහන්සේ දුන් අන්තිම උපහැරණවලින් එකක් වන, එළුවන් සහ බැටළුවන් පිළිබඳ උපහැරණයයයි බොහෝවිට හැඳින්වෙන උපහැරණයෙන් අපට තීක්ෂ්ණ බුද්ධිය ලබාගත හැක.
4. බැටළුවන් හා එළුවන් පිළිබඳ උපමාවේ කාලය අප තේරුම්ගෙන තිබෙන්නේ කෙසේද, නමුත් අප දැන් මෙම උපමාවට අවධානය යොමු කිරීමට යන්නේ මන්ද? (හිතෝපදේශ 4:18)
4 බොහෝ කලක් තිස්සේ අපට හැඟී ගොස් තිබෙන්නේ, 1914 සිට යේසුස්වහන්සේ රජ වශයෙන් හිඳිමින්, එතැන් පටන් විනිශ්චයන්—එනම් බැටළුවන් බඳු අය බවට ඔප්පු කරන්නන්ට සදාකාල ජීවනයත්, එළුවන්ට ස්ථිර මරණයත් නියම කරනු ඇති අන්දම මෙම උපමාවෙන් විස්තර කළ බවය. එහෙත්, මෙම උපමාවේ කරුණු නැවත සලකා බලන විට, එය ඉටුවන කාලය සහ එයින් උපහැරණය කරන දෙය පිළිබඳව සකස් කරන ලද අවබෝධයකට එය යොමු දක්වයි. අවබෝධයේ මෙම ශෝධනය, අපගේ දේශනා වැඩයේ වැදගත්කම හා ජනයාගේ ප්‍රතිචාරයේ වැදගත්කම තවත් තහවුරු කරයි. මෙම උපමාවේ වඩාත් ගැඹුරු අවබෝධය සඳහා පදනම දැකගත හැකිවනු පිණිස, රජවරුන් සහ විනිශ්චයකරුවන් වන යෙහෝවඃවහන්සේ සහ යේසුස්වහන්සේ ගැන බයිබලය පවසන දෙය අපි සලකා බලමු.
ශ්‍රේෂ්ඨතම විනිශ්චයකරුවාණන් වශයෙන් යෙහෝවඃවහන්සේ
5, 6. යෙහෝවඃවහන්සේ වනාහි රජකෙනෙකු මෙන්ම විනිශ්චයකාරයාණන් ලෙස සැලකීම සුදුසු වන්නේ මන්ද?
5 යෙහෝවඃවහන්සේ සියල්ලන්ටම ඉහළින් බලයෙන් යුතුව විශ්වය පාලනය කරනසේක. පටන්ගැන්මක් සහ අන්තිමයක් රහිත උන්වහන්සේ, “සදාකාල රජ්ජුරුවන්වහන්සේ[ය].” (1 තිමෝති 1:17; ගීතාවලිය 90:2, 4; එළිදරව් 15:3) ව්‍යවස්ථා හෙවත් නීති සෑදීමටත්, මේවා ක්‍රියාත්මක කිරීමටත් උන්වහන්සේට අධිකාරය ඇත. එහෙත් විනිශ්චයකරුවෙකු වීම උන්වහන්සේගේ අධිකාරයට ඇතුළත් වෙයි. යෙසායා 33:22 මෙසේ කියයි: “ස්වාමීන්වහන්සේම අපේ විනිශ්චයකාරයාණෝය, ස්වාමීන්වහන්සේ අපේ නීතිදායකයාණෝය, ස්වාමීන්වහන්සේ අපේ රජ්ජුරුවෝය; උන්වහන්සේම අප ගළවනසේක.”
6 යෙහෝවඃවහන්සේ වූ කලි නඩුවල සහ වාද විෂයන්හි විනිශ්චයකරුවාණන් බවට දිගුකලක් මුළුල්ලේ දෙවියන්වහන්සේගේ සේවකයෝ වටහාගෙන සිටිති. නිදසුනක් වශයෙන්, “මුළු පොළොවේ විනිශ්චයකාරයාණන්වහන්සේ,” සොදොම් සහ ගොමොරාවේ දුෂ්ටකම පිළිබඳ සාක්ෂි කිරා මැන බැලීමෙන් පසු, එහි වැසියන් විනාශය ලැබීමට වටින බව විනිශ්චය කරමින්, එම ධර්මිෂ්ඨ විනිශ්චය ක්‍රියාත්මක කළසේක. (උත්පත්ති 18:20-33; යෝබ් 34:10-12) යෙහෝවඃවහන්සේ වනාහි ස්වකීය විනිශ්චයන් සෑමවිටම ක්‍රියාත්මක කළ හැකි ධර්මිෂ්ඨ විනිශ්චයකාරයාණන් කෙනෙකු බව දැනගැනීම කොතරම් සහනදායී විය යුතුද!
7. ඉශ්‍රායෙල් සමඟ කටයුතු කිරීමේදී, යෙහෝවඃවහන්සේ විනිශ්චයකාරයාණන් ලෙස ක්‍රියා කළේ කෙසේද?
7 ඉපැරණි ඉශ්‍රායෙලයේ, යෙහෝවඃවහන්සේ ඇතැම් අවස්ථාවලදී, ඍජු ලෙස විනිශ්චය ඉෂ්ට කළසේක. ඔබ එවකට ජීවත් වූවා නම්, පරිපූර්ණ විනිශ්චයකරුවෙකු කාරණා තීරණය කරමින් සිටින බව දැනගැනීම ඔබට සහනයක් නොවනු ඇද්ද? (ලෙවී කථාව 24:10-16; ගණන් කථාව 15:32-36; 27:1-11) දෙවියන්වහන්සේ ‘විනිශ්චමය තීරණද’ සැපයූ අතර, කාරණා විනිශ්චය කිරීම සඳහා ප්‍රමිතියක් ලෙස ඒවා මුළුමනින්ම යහපත්ව තිබිණ. (ලෙවී කථාව 25:18, 19; නෙහෙමියා 9:13; ගීතාවලිය 19:9, 10; 119:7, 75, 164; 147:19, 20) උන්වහන්සේ වනාහි “සියල්ලන්ගේ විනිශ්චයකාර[යාය],” එනිසා අප සියල්ලන්ටම එය බලපායි.—හෙබ්‍රෙව් 12:23.
8. දානියෙල් දුටුවේ මීට සම්බන්ධිත කිනම් දර්ශනයද?
8 මෙම කාරණාවලට සාක්ෂි දරන “ඇසින් දුටු සාක්ෂි” අපට ඇත. ප්‍රොපේත දානියෙල්ට දරුණු මෘගයන් පිළිබඳ දර්ශනයක් දෙනු ලැබූ අතර, උන්ගෙන් ආණ්ඩු හෝ අධිරාජ්‍ය ඇඟවීය. (දානියෙල් 7:1-8, 17) ඔහු මෙසේද පැවසීය: “සිංහාසන පිහිටුවා, පුරාතන කෙනෙක් වාඩිවුණේය. උන්වහන්සේගේ වස්ත්‍ර හිම මෙන් සුදුව තිබුණේය.” (දානියෙල් 7:9) දානියෙල්, සිංහාසනද, එහි “පුරාතන කෙනෙක් [යෙහෝවඃවහන්සේ] වාඩිවු[ණ]” බවද දුටු බව සැලකිල්ලට ගන්න. ඔබෙන්ම මෙසේ අසන්න, ‘මෙහි දානියෙල් දකිමින් සිටින්නේ දෙවියන්වහන්සේ රජ බවට පත්වීම ගැනද?’
9. සිංහාසනයක් මත ‘වාඩිවීම’ සම්බන්ධව එක් අර්ථයක් කුමක්ද? උදාහරණ දෙන්න.
9 හොඳයි, යම් කෙනෙකු සිංහාසනයක “වාඩිවු[ණ]” බව අප කියවන විට, ඒ තැනැත්තා රජකෙනෙකු බවට පත්වීම ගැන අප සිතන්ට පුළුවන, මන්ද බයිබලය ඇතැම් විට එවන් භාෂාවක් භාවිත කරන බැවිනි. නිදසුනක් වශයෙන්: “තවද ඔහු [සිම්රි] රජවී තමාගේ සිංහාසනය පිට හිඳගත් වහාම . . . ” (1 රාජාවලිය 16:11; 2 රාජාවලිය 10:30; 15:12; යෙරෙමියා 33:17) මෙසියානු අනාවැකියක් මෙසේ පැවසීය: “උන්වහන්සේම . . . තමන් සිංහාසනයෙහි වැඩහිඳ ආණ්ඩුකරනසේක.” මෙබැවින්, ‘සිංහාසනයක වැඩ හිඳීම’ යන්න, රජකෙනෙකු බවට පත්වීම අදහස් කළ හැක. (සෙකරියා 6:12, 13) සිංහාසනයක වැඩ හිඳින රජකෙනෙකු වශයෙන් යෙහෝවඃවහන්සේව විස්තර කොට තිබේ. (1 රාජාවලිය 22:19; යෙසායා 6:1; එළිදරව් 4:1-3) උන්වහන්සේ වනාහි ‘සදාකාල රජ්ජුරුවන්වහන්සේය.’ එහෙත්, උන්වහන්සේ පරමාධිපත්‍යයේ නව අංගයක් ඉදිරියට ගෙනෙද්දී, උන්වහන්සේ හරියටම යළිත් වරක් සිංහාසනාරූඪ වූවාක් මෙන්, උන්වහන්සේ රජු බවට පත්වූ බව පැවසිය හැක.—1 ලේකම් 16:1, 31; යෙසායා 52:7; එළිදරව් 11:15-17; 15:3; 19:1, 2, 6.
10. ඉශ්‍රායෙල්හි රජවරුන්ගේ මූලික ක්‍රියාවලිය කුමක් වීද? නිදර්ශනය කරන්න.
10 එහෙත්, මූලික කරුණ මෙයයි: ඉපැරණි රජවරුන්ගේ ප්‍රධාන කාර්යභාරයක් වූයේ නඩු ඇසීම සහ විනිශ්චයන් ක්‍රියාත්මක කිරීමය. (හිතෝපදේශ 20:8; 29:14) ස්ත්‍රීන් දෙදෙනෙකු එකම දරුවෙකු ගැන අයිතිවාසිකම් කියා සිටි අවස්ථාවේදී සාලමොන් දුන් ප්‍රඥාවන්ත විනිශ්චය මතක් කරන්න. (1 රාජාවලිය 3:16-28; 2 ලේකම් 9:8) ඔහුගේ නිල ගොඩනැඟිලිවලින් එකක් වූයේ “ඔහු විනිශ්චයකරන පිණිස සිංහාසනයේ ශාලාව[ය],” තවද එය “අධිකරණ ශාලාව[ය]” යනුවෙන්ද හැඳින්විණ. (1 රාජාවලිය 7:7) යෙරුසලම වනාහි “සිංහාසන, විනිශ්චය පිණිස” පිහිටා තිබූ ස්ථානය වශයෙන් විස්තර කොට තිබේ. (ගීතාවලිය 122:5) ‘සිංහාසනයක හිඳගැනීම’ විනිශ්චමය අධිකාරය ක්‍රියාත්මක කිරීම යනුවෙන්ද අදහස් කළ හැකිය.—නික්මයාම 18:13; හිතෝපදේශ 20:8.
11, 12. (අ) දානියෙල් 7වන පරිච්ඡේදයේ සඳහන්, යෙහෝවඃවහන්සේ වාඩිවීම යන්නෙහි වැදගත්කම කුමක් වීද? (ආ) යෙහෝවඃවහන්සේ විනිශ්චය කිරීම සඳහා වාඩිවන බව වෙනත් පාඨ සනාථ කරන්නේ කෙසේද?
11 ‘පුරාතන තැනැන්වහන්සේ වාඩිවෙනවා’ දානියෙල් දුටු දර්ශනය වෙතට දැන් අපි හැරෙමු. දානියෙල් 7:10 මෙසේද එකතු කරයි: “විනිශ්චයකාර සභාව හිඳගත්තාය, පොත්ද දිග අරිනලද්දේය.” එසේය, පුරාතන තැනැන්වහන්සේ වාඩිවුණේ, ලෝක පාලකත්වය ගැන විනිශ්චය ඉටු කිරීමටත් පාලනය කිරීමට සුදුස්සා මනුෂ්‍ය පුත්‍රයා බව තීන්දු කිරීමටත්ය. (දානියෙල් 7:13, 14) “පුරාතන තැනැන්වහන්සේ ඇවිත්, මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන්ට” එනම් මනුෂ්‍ය පුත්‍රයාණන් සමඟ පාලනය කිරීමට සුදුසුයයි විනිශ්චය කරනු ලැබ සිටින අයට “යුක්තිය [පක්ෂව තීන්දු, NW] කරන” බව අපට අනතුරුව කියවීමට තිබේ. (දානියෙල් 7:21) අන්තිමේදී, “විනිශ්චයකාර සභාව හිඳගන්නවා ඇත,” තවද අන්තිම ලෝක බලය මතට අහිතකර විනිශ්චයක් ඉටු කරනවා ඇත.—දානියෙල් 7:26.a
12 එබැවින්, දානියෙල් දෙවියන්වහන්සේව ‘සිංහාසනය මත වාඩිවී’ සිටිනවා දැකීමෙන් අදහස් කළේ, උන්වහන්සේ විනිශ්චය ඉටු කිරීමට පැමිණීමය. මීට කලින් දාවිත් මෙසේ ගායනා කළේය: “මක්නිසාද ඔබ [යෙහෝවඃවහන්සේ, NW] මාගේ කාරණයද යුක්තියද ඉෂ්ටකළසේක; ඔබ ධර්මිෂ්ඨලෙස විනිශ්චයකරමින් සිංහාසනයෙහි වැඩහුන්සේක.” (ගීතාවලිය 9:4, 7) තවද යෝවෙල් මෙසේ ලීවේය: “ජාතීහු නැගිට යෙහෝෂාපාත් මිටියාවතට නැගී එත්වා. මක්නිසාද වටකර සිටින සියලු ජාතීන් විනිශ්චයකරන්ට එහි [යෙහෝවඃවහන්සේ] හිඳගන්නෙමි.” (යෝවෙල් 3:12; සසඳන්න යෙසායා 16:5.) යේසුස්වහන්සේ සහ පාවුල් යන දෙදෙනාමද විනිශ්චයක් කළ යම් අවස්ථාවකට හවුල්වූ අතර, එම අවස්ථාවලදී නඩුව ඇසීමටත්, විනිශ්චය දීමටත්, යම් මිනිසෙක් ආසනයක හිඳගත්තේය.b—යොහන් 19:12-16; ක්‍රියා 23:3; 25:6.
යේසුස්වහන්සේගේ තත්වය
13, 14. (අ) යේසුස්වහන්සේ රජවනු ඇති බවට දෙවියන්වහන්සේගේ ජනයාට තිබූ සහතිකය කුමක්ද? (ආ) යේසුස්වහන්සේ සිය සිංහාසනයේ වාඩිවූයේ කවදාද, තවද උන්වහන්සේ පො.යු. 33දී පටන් පාලනය කළේ කිනම් අර්ථයකින්ද?
13 යෙහෝවඃවහන්සේ රජකෙනෙක්ද, විනිශ්චයකාරයෙක්ද වනසේක. යේසුස්වහන්සේ ගැන කුමක් කිව හැකිද? උන්වහන්සේගේ උපත ගැන නිවේදනය කළ දේවදූතයා මෙසේ පැවසුවේය: “උන්වහන්සේගේ පියවූ දාවිත්ගේ සිංහාසනය දෙවිවූ ස්වාමීන්වහන්සේ උන්වහන්සේට දෙනසේක. . . . උන්වහන්සේගේ රාජ්‍යය කෙළවර නොවන්නේය.” (ලූක් 1:32, 33) යේසුස්වහන්සේ වනාහි දාවිත්ගේ රාජ්‍ය තන්ත්‍රයේ ස්ථිර උරුමක්කාරයා වනු ඇත. (2 සාමුවෙල් 7:12-16) උන්වහන්සේ ස්වර්ගයේ සිට පාලනය කරනවා ඇත, මන්ද දාවිත් මෙසේ පැවසූ බැවිනි: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] මාගේ ස්වාමීන්ට [යේසුස්වහන්සේට] කථාකොට: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරනතෙක් මාගේ දකුණු පැත්තෙහි හිඳින්නැයි කීසේක. ස්වාමීන්වහන්සේ සියොන්හි සිට ඔබගේ ශක්තිය නැමති සැරයටිය එවනසේක. ඔබගේ සතුරන් මැද ආණ්ඩුකළ මැනව.”—ගීතාවලිය 110:1-4.
14 එය සිදුවනු ඇත්තේ කවදාද? මිනිසෙකුව සිටිද්දී, යේසුස්වහන්සේ රජෙකු වශයෙන් පාලනය නොකළසේක. (යොහන් 18:33-37) පොදු යුගය 33දී උන්වහන්සේ මියගොස්, නැවත නැඟිටුවනු ලැබ, ස්වර්ගයට නැඟුණුසේක. හෙබ්‍රෙව් 10:12 මෙසේ කියයි: “මුන්වහන්සේ සෑම කලටම පව් නිසා එක පූජාවක් ඔප්පුකොට, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක.” යේසුස්වහන්සේට තිබුණේ කිනම් අධිකාරයක්ද? “[දෙවියන්වහන්සේ] . . . සියලු අධිපතිකමටත් බලයටත් පරාක්‍රමයටත් ස්වාමිකමටත් . . . වඩා උසස්කොට ස්වර්ගීය ස්ථානවල තමන් දකුණු පැත්තෙහි හිඳුවා, . . . සභාව උදෙසා සියල්ලට ප්‍රධානියා වෙන්ට උන්වහන්සේ නියම කළසේක.” (එපීස 1:20-22) ඒ වන විට යේසුස්වහන්සේට ක්‍රිස්තියානීන් කෙරෙහි රාජකීය අධිකාරයක් තිබූ බැවින්, යෙහෝවඃවහන්සේ “අන්ධකාරයේ බලයෙන් අප මුදා, තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවාගත්සේක” කියා ලිවීමට පාවුල්ට හැකි විය.—කොලොස්සි 1:13; 3:1.
15, 16. (අ) පොදු යුගය 33දී යේසුස්වහන්සේ රජ බවට පත් නොවූ බව අප කියන්නේ මන්ද? (ආ) යේසුස්වහන්සේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යය පාලනය කිරීමට පටන්ගත්තේ කවදාද?
15 කෙසේවෙතත්, ඒ කාලයේදී, යේසුස්වහන්සේ ජාතීන් කෙරෙහි රජ සහ විනිශ්චයකරුවාණන් ලෙස ක්‍රියා කළේ නැත. දෙවියන්වහන්සේට යාබදව අසුන්ගත කරනු ලැබූ උන්වහන්සේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රජ ලෙස ක්‍රියා කිරීමට නියමිත කාලය එන තෙක් බලා සිටිසේක. පාවුල් උන්වහන්සේ ගැන මෙසේ ලීවේය: “මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳගනින්නැයි දේවදූතයන්ගෙන් කවරෙකුට කොයි කලක උන්වහන්සේ කීසේක්ද?”—හෙබ්‍රෙව් 1:13.
16 යේසුස්වහන්සේ විසින් බලා සිටි කාලපරිච්ඡේදය 1914දී අවසන් වූ බවට සාක්ෂි සාධක බොහොමයක් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කොට ඇති අතර, එවිට උන්වහන්සේ අදෘශ්‍යමාන ස්වර්ගයේ දෙවියන්වහන්සේගේ රාජ්‍ය පාලකයා බවට පත්විය. එළිදරව් 11:15, 18 මෙසේ කියයි: “ලෝකයේ අධිපතිකම අපගේ ස්වාමීන්වහන්සේටද තමන් ක්‍රිස්තුස්වහන්සේටද වූයේය. උන්වහන්සේ සදාකාලේටම රජකම්කරනසේක.” “ජාතීහු උදහස්වූවෝය, ඔබගේ උදහසද . . . පැමුණුණේය.” එසේය, ජාතීහු පළමු ලෝක මහා යුද්ධය අතරතුරේදී එකිනෙකාට විරුද්ධව උදහස ප්‍රකාශ කළෝය. (ලූක් 21:24) අප 1914 පටන් දැක තිබෙන යුද්ධ, භූමිකම්පා, වසංගත, ආහාර හිඟකම් සහ එවැනි දේවලින් සනාථ කරන්නේ, යේසුස්වහන්සේ දැන් දෙවියන්වහන්සේගේ රාජ්‍යය පාලනය කරමින් සිටින බවත්, ලෝකයේ අවසාන අන්තිමය ළඟ බවත්ය.—මතෙව් 24:3-14.
17. අප මේ වන විට කිනම් මූලික කරුණු ස්ථාපිත කර තිබේද?
17 සමාලෝචනයක් වශයෙන් ගත් කල: දෙවියන්වහන්සේ රජ වශයෙන් සිංහාසනයේ වාඩිවී සිටිනවායයි කිව හැක, නමුත් තවත් අර්ථයකින්, විනිශ්චය කිරීමටද උන්වහන්සේට ස්වකීය සිංහාසනයේ වාඩිවිය හැක. පොදු යුගය 33දී, යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තෙහි වාඩිවූසේක, තවද උන්වහන්සේ දැන් රාජ්‍යයේ රජු වශයෙන් පාලනය කරමින් සිටිනසේක. එහෙත්, රජු වශයෙන් පාලනය කරමින් සිටින යේසුස්වහන්සේත් විනිශ්චයකරුවා හැටියට ක්‍රියා කරනසේක්ද? තවද විශේෂයෙන්ම මේ කාලයේදී මේ ගැන අපගේ උනන්දුව යොමුවිය යුත්තේ මන්ද?
18. යේසුස්වහන්සේ විනිශ්චයකරුවාණන් වශයෙන්ද සිටිනු ඇති බවට තිබෙන සාක්ෂි මොනවාද?
18 විනිශ්චයකරුවන් පත් කිරීමට අයිතිය සතු යෙහෝවඃවහන්සේ, ස්වකීය ප්‍රමිති සපුරාලන විනිශ්චයකරුවා ලෙස තෝරාගත්තේ යේසුස්වහන්සේවය. ආත්මිකව ප්‍රාණවත් වෙමින් සිටි ජනයා ගැන කතා කරන විට, යේසුස්වහන්සේ මේ බව පෙන්වූසේක: “පියාණන්වහන්සේ කවරෙකුවත් විනිශ්චය නොකොට සියලු විනිශ්චයම පුත්‍රයාටදී තිබේ.” (යොහන් 5:23) එහෙත්, යේසුස්වහන්සේගේ විනිශ්චමය කාර්යභාරය, විනිශ්චය කරන රජෙකුටත් වඩා ඔබ්බට යයි, මන්ද උන්වහන්සේ වනාහි ජීවතුන්ගෙත් මළවුන්ගෙත් විනිශ්චයකාරයාණෝය. (ක්‍රියා 10:42; 2 තිමෝති 4:1) පාවුල් වරක් මෙසේ ප්‍රකාශ කළේය: “[දෙවියන්වහන්සේ] විසින් පත්කළ මනුෂ්‍යයා [යේසුස්වහන්සේ] ලවා ලෝකයා ධර්මිෂ්ඨකමින් විනිශ්චයකරවන්ට එක් දවසක් නියමකර තිබේ; උන්වහන්සේ ඒ මනුෂ්‍යයා මළවුන්ගෙන් නැගිටවීමෙන් සියල්ලන්ට ඒ ගැන සහතිකයක් දී තිබේ.”—ක්‍රියා 17:31; ගීතාවලිය 72:2-7.
19. යේසුස්වහන්සේ විනිශ්චයකරුවාණන් ලෙස වාඩිවීම පිළිබඳව කතා කිරීම නිවැරදි වන්නේ මන්ද?
19 විනිශ්චයකරුවන්ගේ සුවිශේෂිත කාර්යභාරයක් තුළ, යේසුස්වහන්සේ මහිමාන්විත සිංහාසනයක වාඩිවී සිටිනවායයි අප නිගමනය කළොත්, එය නිවැරදිද? එසේය. යේසුස්වහන්සේ ප්‍රේරිතයන්ට මෙසේ පැවසූසේක: “අලුත් උත්පාදයේදී මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේ තේජසේ සිංහාසනය පිට වැඩහිඳින කල, මා අනුව ආවාවූ නුඹලාත් ඉශ්‍රායෙල්ගේ ගෝත්‍රයන් දොළොස විනිශ්චයකරමින් සිංහාසන දොළොසක් පිට හිඳින්නහුය.” (මතෙව් 19:28) දැන් යේසුස්වහන්සේ රාජ්‍යයේ රජව සිටියත්, මතෙව් 19:28හි සඳහන් උන්වහන්සේගේ වැඩිමනත් ක්‍රියාකාරකම්වලට, දහස් අවුරුදු පාලනය අතරතුර විනිශ්චය කිරීමට සිංහාසනයක වාඩිවීමද ඇතුළත් වෙනවා ඇත. එම කාලයේදී උන්වහන්සේ, ධර්මිෂ්ඨ සහ අධර්මිෂ්ඨ මුළු මිනිස්වර්ගයාවම විනිශ්චය කරනවා ඇත. (ක්‍රියා 24:15) අපගේ කාලයට සහ අපගේ ජීවිතවලට සම්බන්ධ වන යේසුස්වහන්සේගේ උපමාවකට අප අවධානය යොමු කරත්ම, එය අපගේ මනසේ තබාගැනීම උපකාරවත් වනු ඇත.
උපමාවෙන් කියවෙන්නේ කුමක්ද?
20, 21. අපගේ කාලය සම්බන්ධයෙන් යේසුස්වහන්සේගේ ප්‍රේරිතයන් ඇසුවේ කුමක්ද, තවද මෙය කිනම් ප්‍රශ්නවලට තුඩු දෙයිද?
20 යේසුස්වහන්සේ මියයෑමට ටික වේලාවකට පෙර, උන්වහන්සේගේ ප්‍රේරිතයෝ උන්වහන්සේගෙන් මෙසේ ඇසුවෝය: “මෙම දේවල් සිදුවනු ඇත්තේ කවදාද? ඔබගේ පැමිණ සිටීමටත් දේවල පිළිවෙළේ සමාප්තියටත් ලකුණ කුමක් වනු ඇද්ද?” (මතෙව් 24:3, NW) ‘අන්තිමය පැමිණීමට පෙර’ පොළොව මත සිදුවෙන්ට යන සුවිශේෂි සිදුවීම් යේසුස්වහන්සේ පුරෝකථනය කළසේක. එම අවසානයට ටික කලකට පෙර, ජාතීහු “මනුෂ්‍ය පුත්‍රයා බලයෙන්ද මහත් තේජසින්ද අහසේ වලාකුල් පිට එනවා දකින්නෝය.”—මතෙව් 24:14, 29, 30.
21 එහෙත්, මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේ තේජසින් එන කල, එම ජාතීන්ට අයත් ජනයාට සිදුවෙන්නේ කුමක්ද? බැටළුවන් සහ එළුවන් පිළිබඳ උපමාවෙන් අපි මෙය සොයාගනිමු, එය ආරම්භ වන්නේ මෙම වචනවලිනි: “මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමඟ තමන්ගේ තේජසින් එන කල, ස්වකීය තේජසේ සිංහාසනයෙහි වැඩ හිඳිනසේක. එවිට සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියට රැස්කරනු ලබන්නෝය.”—මතෙව් 25:31, 32.
22, 23. බැටළුවන් සහ එළුවන් පිළිබඳ උපමාවේ ඉෂ්ටවීම 1914දී ආරම්භ නොවූ බවට අඟවන්නේ කිනම් කරුණුද?
22 අප බොහෝ කලක් මුළුල්ලේ තේරුම්ගත් පරිදි, මෙම උපමාව අදාළ වන්නේ, යේසුස්වහන්සේ රාජ්‍ය බලයෙන් යුක්තව 1914දී වාඩිවූ අවස්ථාවටද? හොඳයි, මතෙව් 25:34, උන්වහන්සේ රජකෙනෙකු වශයෙන් ඇත්තටම කතා කරයි, එබැවින්, මෙම උපමාව තර්කානුකූලව අදාළ වන්නේ 1914 පටන් යේසුස්වහන්සේ රජ බවට පත්වූ කාලයටය. එහෙත්, ඒ සමඟම උන්වහන්සේ කළ විනිශ්චය කුමක්ද? එය “සියලු ජාතීන්ව” විනිශ්චය කිරීමක් නොවීය. ඒ වෙනුවට, “දෙවියන්වහන්සේගේ ගෘහ[ය]” සාදන බවට කියා සිටි අය වෙත උන්වහන්සේ සිය අවධානය යොමු කළසේක. (1 පේතෘස් 4:17) මලාකී 3:1-3ට අනුකූලව, යෙහෝවඃවහන්සේගේ පණිවුඩකරුවාණන් වශයෙන්, යේසුස්වහන්සේ පොළොව මත ඉතිරි වී සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව විනිශ්චමය ආකාරයෙන් පරීක්ෂා කළසේක. එය වූ කලි, “දෙවියන්වහන්සේගේ ගෘහ[ය]” යයි බොරුවට කියා සිටි ක්‍රිස්තියානි ලෝකය මතට විනිශ්චමය දඬුවම ගෙන ඒම සඳහාද කාලය විය.c (එළිදරව් 17:1, 2; 18:4-8) එහෙත් ඒ කාලයේ, එසේ නැතහොත් එවක් පටන්, යේසුස්වහන්සේ සියලු ජාතීන් බැටළුවන් හෝ එළුවන් ලෙස විනිශ්චය කිරීමට වාඩිවූ බව අඟවන කිසිවක් නැත.
23 උපමාව තුළ යේසුස්වහන්සේගේ ක්‍රියාකාරකම ගැන අප සෝදිසි කර බලන්නේ නම්, උන්වහන්සේ අවසානයේදී සියලු ජාතීන් විනිශ්චය කරනවා අපි දකින්නෙමු. මෙම පසුගිය දශක කිහිපය අතරතුරේදී, මියගිය සෑම පුද්ගලයෙකුම, සදාකාල මරණයට හෝ සදාකාල ජීවනයට වටින බවට විනිශ්චය කරනු ලැබුවාක් මෙන්, එවන් විනිශ්චයක් අවුරුදු බොහොමයක කාලපරිච්ඡේදයක් පුරා නොකඩවා විහිදෙන බවක් මෙම උපමාවෙන් පෙන්වන්නේ නැත. මෙම මෑත දශකවල ජීවත්වූ බහුතරයක් මිනිස්වර්ගයාගේ පොදු මිනීවලට ගොස් ඇති බවට පෙනෙන්ට තිබේ. (එළිදරව් 6:8; 20:13) එහෙත්, මෙම උපමාවෙන් විස්තර කරන්නේ, එවකට ජීවත්වන “සියලු ජාතීන්[ට]” අයත් ජනයා යේසුස්වහන්සේ විසින් විනිශ්චය කරනු ලබන සහ උන්වහන්සේගේ විනිශ්චමය තීන්දුව ක්‍රියාත්මක කිරීමට මුහුණ දෙන කාලයයි.
24. බැටළුවන් සහ එළුවන් පිළිබඳ උපමාව ඉෂ්ට වනු ඇත්තේ කවදාද?
24 වෙනත් වචනවලින් කියතොත්, මෙම උපමාවෙන් යොමු දක්වන්නේ, මනුෂ්‍ය පුත්‍රයා තම තේජසින් යුක්තව එන්ට යන අනාගතයටය. එවකට ජීවත්වන ජනයාව විනිශ්චය කිරීමට උන්වහන්සේ වාඩිවනු ඇත. තමන් කුමන ආකාරයේ අයද කියා ඔවුන් විසින්ම නිරූපණය කර ඇති දෙය මත, උන්වහන්සේගේ විනිශ්චය පදනම් වනු ඇත. එම කාලයේදී, “ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා අතරේ . . . ඇති වෙනස” පැහැදිලිව ස්ථාපිත කර තිබෙනවා ඇත. (මලාකී 3:18) විනිශ්චය නියම ලෙස ප්‍රකාශ කිරීම සහ ඉෂ්ට කිරීම සීමිත කාලයක් තුළ කරනු ලබනවා ඇත. පුද්ගලයන් සම්බන්ධයෙන් පැහැදිලි වී ඇති දෙය මත පදනම්ව, යේසුස්වහන්සේ යුක්තිසහගත තීරණ දෙනු ලබනවා ඇත.—2 කොරින්ති 5:10ද බලන්න.
25. මනුෂ්‍ය පුත්‍රයාණන් සිය තේජසේ සිංහාසනයේ වාඩිවන බවට පැවසීමේදී, මතෙව් 25:31හි විස්තර කරන්නේ කුමක්ද?
25 එසේනම්, මින් අදහස් කරන්නේ, මතෙව් 25:31හි සඳහන්, යේසුස්වහන්සේ විනිශ්චය සඳහා ‘සිය තේජසේ සිංහාසනයේ වාඩිවීම,’ පොළොව මත ජාතීන්ට විනිශ්චය ප්‍රකාශ කොට එය ඉෂ්ට කිරීම සඳහා, මෙම බලවත් රජ වාඩිවනු ඇති අනාගත කාලයට යොමු දක්වන බවයි. එසේය, මතෙව් 25:31-33, 46හි යේසුස්වහන්සේ හා සම්බන්ධ විනිශ්චය පිළිබඳ දර්ශනය, දානියෙල් 7වන පරිච්ඡේදයේ පාලනය කරන රජ, එනම් පුරතන තැනැන්වහන්සේ, විනිශ්චයකරුවාණන් වශයෙන් සිය කාර්යභාරය ඉෂ්ට කිරීමට වාඩිවීම සමඟ සැසඳිය හැක.
26. මෙම උපමාව සම්බන්ධයෙන් අපට හෙළි වන නව පැහැදිලි කිරීම කුමක්ද?
26 බැටළුවන් සහ එළුවන් පිළිබඳ මෙම උපමාව මේ ආකාරයට තේරුම්ගැනීමෙන් අඟවන්නේ, බැටළුවන් සහ එළුවන් මත විනිශ්චය ගෙන ඒම අනාගතයේදී සිදුවන බවය. මතෙව් 24:29, 30හි සඳහන් “පීඩා[ව]” ආරම්භ වී, මනුෂ්‍ය පුත්‍රයා ‘සිය තේජසින් ඒමට’ පසුව, එය සිදුවනවා ඇත. (මාර්ක් 13:24-26 සසඳන්න.) අනතුරුව, මුළු දුෂ්ට පිළිවෙළ නිමාවීමත් සමඟම, යේසුස්වහන්සේ විනිශ්චාසනයේ වාඩිගෙන, විනිශ්චය ඉෂ්ට කරනවා ඇත.—යොහන් 5:30; 2 තෙසලෝනික 1:6-10.
27. යේසුස්වහන්සේගේ අවසාන උපමාව පිළිබඳව අප උනන්දු විය යුත්තේ කුමක් දැනගැනීමටද?
27 යේසුස්වහන්සේගේ උපමාවේ කාලය ගැන අපගේ අවබෝධය මෙමගින් පැහැදිලි කරන අතර, බැටළුවන් සහ එළුවන් විනිශ්චය කරනු ලබන කාලයද පෙන්වයි. එහෙත්, රාජ්‍යයේ ශුභාරංචිය ජ්වලිත ලෙස දේශනා කරන අපට මෙය බලපාන්නේ කෙසේද? (මතෙව් 24:14) එය අපගේ වැඩය වැදගත්කමින් මඳක් අඩු එකක් කරනවාද, නැතහොත්, එය අපට වඩා මහත් බර වගකීමක් ගෙනේද? අපට මෙය බලපාන ආකාරය අපි ඊළඟ ලිපියෙන් බලමු.
-
-
බැටළුවන් සහ එළුවන් සඳහා ඇති අනාගතය කුමක්ද?1995 මුරටැඹ | ඔක්තෝබර් 15
-
-
බැටළුවන් සහ එළුවන් සඳහා ඇති අනාගතය කුමක්ද?
“උන්වහන්සේ එඬේරෙකු විසින් එළුවන් කෙරෙන් බැටළුවන් වෙන් කරන්නාක්මෙන් ඔවුන් වෙන්[කරනසේක.]”—මතෙව් 25:32.
1, 2. බැටළුවන් සහ එළුවන් පිළිබඳ උපමාව අපට උනන්දුව දනවන යමක් විය යුත්තේ මන්ද?
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වනාහි පොළොව මත විසූ ශ්‍රේෂ්ඨතම ගුරුවරයාණන් බව සහතිකය. (යොහන් 7:46) උන්වහන්සේගේ ඉගැන්වීම් ක්‍රමවලින් එකක් වූයේ උපමා හෙවත් උපහැරණ භාවිත කිරීමය. (මතෙව් 13:34, 35) මේවා සරල විය, එහෙත් ගැඹුරු ආත්මික හා අනාවැකිමය සත්‍යතාවන් ගෙනහැර දැක්වීමෙහිලා ඒවා ප්‍රබල වූයේය.
2 බැටළුවන් සහ එළුවන් පිළිබඳ උපමාවේ, තමන්ට විශේෂ තත්වයක ක්‍රියා කිරීමට සිදුවන කාලයක් ගැන යේසුස්වහන්සේ යොමු දැක්වූසේක, එනම්: “මනුෂ්‍ය පුත්‍රයා . . . තමන්ගේ තේජසින් එන කල . . . ” (මතෙව් 25:31) මෙය අප තුළ උනන්දුව ඇති කළ යුතුය, මන්ද “ඔබගේ පැමිණ සිටීමටත් මෙම දේවල පිළිවෙළේ සමාප්තියටත් ලකුණ කුමක් වනු ඇද්ද?” යන පැනයට යේසුස්වහන්සේ දුන් පිළිතුර නිමා කරන්නේ මෙම උපහැරණයත් සමඟය. (මතෙව් 24:3, NW) එහෙත් අපට මින් අදහස් කරන්නේ කුමක්ද?
3. කලින් තම කතාවේදී, මහත් පීඩාව ආරම්භ වූ කෙණෙහිම කුමක් වර්ධනය වනු ඇති බවක් යේසුස්වහන්සේ පැවසූසේක්ද?
3 මහත් පීඩාව පටන්ගැනීමෙන් පසු, “කෙනෙහිම” සිදුවන්ට යන චමත්කාරජනක සිදුවීම්, එනම් අප බලා සිටින සිදුවීම් යේසුස්වහන්සේ පුරෝකථනය කළසේක. එවිට, “මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ” පෙනෙනු ඇත. මෙය “මනුෂ්‍ය පුත්‍රයා බලයෙන්ද මහත් තේජසින්ද අහසේ වලාකුල් පිට එනවා දකි[න]” ‘පොළොවේ සියලු ගෝත්‍රයන්ට’ ගැඹුරු බලපෑමක් කරනු ඇත. මනුෂ්‍ය පුත්‍රයා “තමන් දූතයන්” පිරිවරා එනවා ඇත. (මතෙව් 24:21, 29-31)a බැටළුවන් සහ එළුවන් පිළිබඳ උපමාව ගැන කුමක් කිව හැකිද? නවීන බයිබල්වල එය මතෙ 25වන පරිච්ඡේදයේ දක්නට ලැබුණත්, උන්වහන්සේගේ තේජසින් යුක්තව පැමිණීම ගැනත්, උන්වහන්සේ “සියලු ජාතී[න්ව]” විනිශ්චය කිරීම ගැනත්, වැඩිමනත් තොරතුරු ඉදිරිපත් කරන යේසුස්වහන්සේගේ පිළිතුරෙහි කොටසක් වේ.—මතෙව් 25:32.
උපමාව තුළ සිටින පුද්ගලයෝ
4. බැටළුවන් සහ එළුවන් පිළිබඳ උපමාව ආරම්භයේදී යේසුස්වහන්සේ ගැන කරන සඳහන කිමෙක්ද, තවද මෙම පින්තූරයට තවත් පිවිසෙන්නේ කවුද?
4 “මනුෂ්‍ය පුත්‍රයා . . . එන කල” යනුවෙන් පවසමින් යේසුස්වහන්සේ මෙම උපමාව පටන්ගන්නාසේක. “මනුෂ්‍ය පුත්‍රයා” කවුද කියා ඔබ දන්නවා වන්ට පිළිවන. සුවිශේෂ ලේඛකයන් බොහෝවිට එම ප්‍රකාශය අදාළ කළේ යේසුස්වහන්සේටය. යේසුස්වහන්සෙත් එය එසේම කළසේක, එසේ කළේ, “ආණ්ඩු බලයද ගෞරවයද රාජ්‍යයක්ද” ලබන පිණිස පුරාතන තැනැන්වහන්සේ වෙතට එළඹෙන “මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන කෙනෙක්” ගැන දානියෙල්ගේ දර්ශනය මනසේ තිබූ බවට කිසිදු සැකයක් නැත. (දානියෙල් 7:13, 14; මතෙව් 26:63, 64; මාර්ක් 14:61, 62) මෙම උපමාවේ ප්‍රධාන තැනැත්තා යේසුස්වහන්සේ වන අතර, උන්වහන්සේ තනිව සිටිනවා නොවේ. මතෙව් 24:30, 31හි උපුටා දක්වා ඇති පරිදි, මෙම අනුශාසනාවේ කලින් අවස්ථාවක, මනුෂ්‍ය පුත්‍රයා “බලයෙන්ද මහත් තේජසින්ද” යුතුව පැමිණෙන විට, සිය දේවදූතයන් අතිවැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බව උන්වහන්සේ පැවසූසේක. ඒ හා සමානව, බැටළුවන් සහ එළුවන් පිළිබඳ උපමාවෙන් පෙන්වන්නේ, යේසුස්වහන්සේ ‘සිය තේජසේ සිංහාසනයේ වැඩ හිඳින කල’ දේවදූතයන්ද උන්වහන්සේ සමඟ සිටින බවයි. (මතෙව් 16:27 සසඳන්න.) එහෙත්, විනිශ්චයකරුවාණන් සහ උන්වහන්සේගේ දේවදූතයන් සිටින්නේ ස්වර්ගයේය, එසේනම්, මෙම උපමාවේ මිනිසුන් ගැන සාකච්ඡා කොට තිබේද?
5. යේසුස්වහන්සේගේ ‘සහෝදරයන්’ හඳුනාගැනීමට අපට හැක්කේ කෙසේද?
5 මෙම උපමාව දෙස බැලීමේදී අපට හඳුනාගැනීමට අවශ්‍ය කණ්ඩායම් තුනක් ගැන හෙළිවේ. බැටළුවන් සහ එළුවන්ට අමතරව, බැටළුවන් සහ එළුවන් හඳුනාගැනීමට අතිවැදගත් සම්බන්ධයක් සහිත අනන්‍යතාවකින් යුත් තුන්වන කණ්ඩායම ගැනද මනුෂ්‍ය පුත්‍රයා එකතු කරයි. යේසුස්වහන්සේ මෙම තුන්වන කණ්ඩායම හඳුන්වන්නේ තම ආත්මික සහෝදරයන් හැටියටය. (මතෙව් 25:40, 45) ඔවුන් සැබෑ නමස්කාරකයන් විය යුතුය, මන්ද යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන කවුරු නුමුත් මාගේ සහෝදරයාත් සහෝදරීත් මෑණියෝත්ය.” (මතෙව් 12:50; යොහන් 20:17) මේ ගැන වඩාත් යෝග්‍ය ලෙස කතා කරමින්, ‘ආබ්‍රහම්ගේ වංශයේ’ කොටසක් වන දෙවියන්වහන්සේගේ පුත්‍රයන් වන ක්‍රිස්තියානීන් ගැන පාවුල් ලීවේය. ඔහු මොවුන්ව හැඳින්වූයේ යේසුස්වහන්සේගේ “සහෝදරයන්” සහ “ස්වර්ගීය කැඳවීමකට පංගුකාරවූ” අය හැටියටය.—හෙබ්‍රෙව් 2:9–3:1; ගලාති 3:26, 29.
6. යේසුස්වහන්සේගේ සහෝදරයන්ගේ “කුඩා තැනැත්තා” කවුද?
6 තම සහෝදරයන්ගේ “කුඩා තැනැත්තා” ගැන යේසුස්වහන්සේ සඳහන් කළේ මන්ද? උන්වහන්සේ මීට කලින් පැවසූ බවට ප්‍රේරිතයන් ඇසූ දෙය කුමක්ද කියා එම වචන ප්‍රතිනාද කරයි. යේසුස්වහන්සේට පෙර මියගියාවූද, ඒ නිසා භූමික බලාපොරොත්තුවක් ඇත්තාවූද, යොහන් බව්තීස්තට වෙනස්ව, ස්වර්ගික ජීවනය ලබන අය පිළිබඳව යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “යොහන් බව්තීස්තට වඩා උතුම් කෙනෙක් නොනැගුටුණේය. නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි කුඩා තැනැත්තේ ඔහුට වඩා උතුම්ය.” (මතෙව් 11:11) ස්වර්ගයට යෑමට සිටි ඇතැම් අය, ප්‍රේරිතයන් මෙන් සභාවේ ප්‍රධාන තත්වයන්හි සිටියා විය හැක, නමුත් ඔවුහු සියල්ලෝම යේසුස්වහන්සේගේ ආත්මික සහෝදරයෝය. (ලූක් 16:10; 1 කොරින්ති 15:9; එපීස 3:8; හෙබ්‍රෙව් 8:11) මෙසේ, ඇතමුන් පොළොව මත වැදගත්කමින් අඩු අය බවට පෙනී ගියද, ඔවුන් උන්වහන්සේගේ සහෝදරයන් වූ අතර, ඒ අනුව ඔවුන්ට සැලකිය යුතුව තිබිණ.
බැටළුවෝ සහ එළුවෝ කවරහුද?
7, 8. බැටළුවන් ගැන යේසුස්වහන්සේ පැවසුවේ කුමක්ද, එබැවින් ඔවුන් ගැන අපට කුමක් නිගමනය කළ හැකිද?
7 බැටළුවන් විනිශ්චය කිරීම සම්බන්ධයෙන් අපි මෙසේ කියවමු: “[යේසුස්වහන්සේ] තමන්ගේ දකුණු පැත්තේ සිටින්නන්ට කියනසේක්: මාගේ පියාණන්ගෙන් ආශීර්වාදලත්තෙනි, වරෙල්ලා, ලෝකය පටන්ගැන්මේ සිට නුඹලාට සූදානම්කර තිබෙන රාජ්‍යය උරුම කරගනිල්ලා. මක්නිසාද මම බඩගිනිව සිටියෙමි, නුඹලා මට කන්ට දුන්නහුය. පිපාසිතව සිටියෙමි, නුඹලා මට බොන්ට දුන්නහුය. ආගන්තුකව සිටියෙමි, නුඹලා මා පිළිගත්තහුය; වස්ත්‍ර නැතුව සිටියෙමි, නුඹලා මට ඇඳුම් දුන්නහුය. රෝගාතුරව සිටියෙමි, නුඹලා මා බලන්ට ආවහුය. හිරගෙයි සිටියෙමි, නුඹලා මා වෙතට ආවහුයයි කියනසේක. එකල ධර්මිෂ්ඨයන් උත්තරදෙමින්: ස්වාමිනි, කොයි කලෙක ඔබවහන්සේ බඩගිනිව සිටිනවා දැක කෑම දුනිමුද? නොහොත් පිපාසිතව සිටිනවා දැක බොන්ට දුනිමුද? කොයි කලෙක ඔබවහන්සේ ආගන්තුකව සිටිනවා දැක පිළිගතිමුද? නොහොත් වස්ත්‍ර නැතුව සිටිනවා දැක ඇඳුම් දුනිමුද? කොයි කලෙක ඔබ රෝගාතුරවවත් හිරගෙයිවත් සිටිනවා දැක ඔබ ළඟට ආවෙමුදැයි කියනවා ඇත. එවිට රජ්ජුරුවෝ උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි—මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් නුඹලා ඒක කළහුද ඒක කළේ මටයයි කියනසේක.”—මතෙව් 25:34-40.
8 ගෞරවය සහ අනුග්‍රහය සහිත යේසුස්වහන්සේගේ දකුණු පැත්තේ සිටීමට වටින ලෙසට විනිශ්චය කරනු ලබන බැටළුවන්ගෙන් නියෝජනය කරන්නේ මිනිසුන් පංතියක් බවට ප්‍රත්‍යක්ෂය. (එපීස 1:20අ, 21ආ; හෙබ්‍රෙව් 1:3) ඔවුන් කළේ කුමක්ද සහ කවදාද? තමන් අසනීපව හෝ සිරගතව සිටි විට ඔවුන් කාරුණිකව, ගෞරවයෙන් යුතුව සහ නොමසුරු ලෙස තමන්වහන්සේට කෑම, බීම සහ ඇඳුම් සහ ආධාරෝපකාර දුන් බව යේසුස්වහන්සේ පවසනසේක. තමන් යේසුස්වහන්සේට පෞද්ගලිකව එසේ කර නැති බව බැටළුවන් පවසන විට, ඔවුන් තමන්වහන්සේගේ ආත්මික සහෝදරයන්ට, එනම් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ ඉතිරි කොටසට අනුබල දුන් බවත් ඒ අර්ථයෙන් ගත් කල, ඔවුන් කළේ තමන්වහන්සේට බවත් උන්වහන්සේ පැහැදිලි කරනසේක.
9. මෙම උපමාව දහස් අවුරුදු පාලනයට අදාළ නොවන්නේ මන්ද?
9 මෙම උපමාව දහස් අවුරුදු පාලනයට අදාළ නොවේ, මක්නිසාද අභිෂේක ලත් අය එවකට කුසගින්නෙන්, පිපාසයෙන්, අසනීපවලින් හෝ සිරගත වීමෙන් දුක් විඳින මිනිසුන් නොවනු ඇති බැවිනි. එහෙත්, මොවුහු බොහෝදෙනෙක් මෙම දේවල පිළිවෙළේ සමාප්තිය අතරතුරේදී එවන් දේ අද්දැක ඇත්තාහ. සාතන් පොළොවට හෙළූ දා පටන්, මෙම ඉතිරි අය ඔහුගේ මහත් වියරුවට භාජන වී ඇති අතර, ඔවුන් මතට අපහාස, වධහිංසා සහ මරණයද ගෙනැවිත් තිබේ.—එළිදරව් 12:16ආ.
10, 11. (අ) යේසුස්වහන්සේගේ සහෝදරයන්ට කාරුණික ක්‍රියාවක් කරන සෑමකෙනෙකුම බැටළුවන්ට ඇතුළත් බව සිතීම අසාධාරණ වන්නේ මන්ද? (අ) බැටළුවන්ගෙන් සුදුසු ලෙස නියෝජනය වන්නේ කාවද?
10 යේසුස්වහන්සේ පවසමින් සිටින්නේ, පාන් කැබැල්ලක් හෝ වතුර වීදුරුවක් දීම වැනි සුළු කාරුණික ක්‍රියාවක් කරන සෑමකෙනෙකුම මෙම බැටළුවෙකු වීමට සුදුසුකම් ලබන බවද? එවන් කරුණාවන්තකමක් දැක්වීම, මිනිස් කරුණාව පිළිබිඹු කිරීමක් බවට පිළිගත හැකි නමුදු, මෙම උපමාවේ බැටළුවෙකු සම්බන්ධයෙන් වෙන බොහෝ දේ ඇතුළත් බව පෙනෙන්ට තිබේ. නිදසුනක් වශයෙන්, තම සහෝදරයන්ගෙන් කෙනෙකුට කාරුණික ක්‍රියාවක් කරන්ට අවස්ථාව උදාවූ අදේවවාදියෙකුට හෝ පැවිද්දෙකුට යේසුස්වහන්සේ මෙහි යොමු දක්වමින් නොසිටි බව සහතිකය. මීට පටහැනිව, මෙම බැටළුවන් “ධර්මිෂ්ඨයන්” කියා යේසුස්වහන්සේ දෙවතාවක් හැඳින්වූසේක. (මතෙව් 25:37, 46) එසේනම්, මෙම බැටළුවන් වනාහි යම් කාලපරිච්ඡේදයක් පුරා ක්‍රිස්තුස්වහන්සේගේ සහෝදරයන්ට ක්‍රියාශීලී ලෙස ආධාර කරමින්, එමෙන්ම අනුබල දෙමින්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨ තත්වයක් ලබාගැනීමේ තරමට ඇදහිල්ල ක්‍රියාවට නංවා ඇති අය විය යුතුය.
11 ශතවර්ෂ ගණනාවක් පුරා, ආබ්‍රහම් වැනි බොහෝදෙනෙක්, ධර්මිෂ්ඨ තත්වයක් භුක්තිවිඳ ඇත්තාහ. (යාකොබ් 2:21-23) නෝවා, ආබ්‍රහම් සහ වෙනත් විශ්වාසිකයෝ, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ පාරාදීසමය ජීවිතය උරුම කරගනු ඇති “වෙනත් බැටළුවෝ” අතරට ගණන් ගැනෙති. අභිෂේක ලත් අය සමඟ “එක රැළ” බවට පත්වෙමින් වෙනත් බැටළුවන් වශයෙන්, මෑත කාලවලදී, මිලියන ගණනක් සැබෑ නමස්කාරය වැලඳගෙන තිබේ. (යොහන් 10:16; එළිදරව් 7:9) භූමික බලාපොරොත්තුවක් ඇති මෙම අය, යේසුස්වහන්සේගේ සහෝදරයන් රාජ්‍යයේ තානාපතීන් ලෙසට හඳුනාගන්නා අතර, එමනිසා ඔවුන්ට පදගතාර්ථයෙන්මද ආත්මිකවද ආධාර කොට ඇත. වෙනත් බැටළුවන් පොළොව මත සිටින තම සහෝදරයන්ට කරන දෙය යේසුස්වහන්සේ සලකන්නේ තමන්ට කරන ලද දෙයක් හැටියටය. ජාතීන්ව විනිශ්චය කිරීමට උන්වහන්සේ පැමිණෙන විට ජීවත්වන එවන් අය, බැටළුවන් ලෙස විනිශ්චය කරනු ලබනවා ඇත.
12. තමන් යේසුස්වහන්සේට කාරුණිකව සැලකුවේ කෙසේදැයි බැටළුවන් අසනවා විය හැක්කේ මන්ද?
12 වෙනත් බැටළුවන් දැන් අභිෂේක ලත් අය සමඟ ශුභාරංචිය දේශනා කරමින්, ඔවුන්ට ආධාර දෙමින් සිටින්නේ නම්, “ස්වාමිනි, කොයි කලෙක ඔබවහන්සේ බඩගිනිව සිටිනවා දැක කෑම දුනිමුද? නොහොත් පිපාසිතව සිටිනවා දැක බොන්ට දුනිමුද” කියා අසන්නේ මන්ද? (මතෙව් 25:37) විවිධ හේතු තිබිය හැක. මෙය උපමාවකි. මේ මාර්ගයෙන් යේසුස්වහන්සේ පෙන්වන්නේ, තම ආත්මික සහෝදරයන් උදෙසා උන්වහන්සේගේ ඇති ගැඹුරු සැලකිල්ලයි; ඔවුන්ට දැනෙන දෙය උන්වහන්සේට දැනෙයි, ඔවුන් විඳින දෙය උන්වහන්සේ විඳියි. යේසුස්වහන්සේ මීට පෙර මෙසේ පවසා තිබිණ: “නුඹලා පිළිගන්නා මා පිළිගන්නේය, මා පිළිගන්නා මා එවූ තැනැන්වහන්සේ පිළිගන්නේය.” (මතෙව් 10:40) මෙම උපමාවේදී යේසුස්වහන්සේ ප්‍රතිපත්තිය පුළුල් කරමින් පෙන්වන්නේ, තම සහෝදරයන්ට කරන දෙය (හොඳ හෝ නරක), ස්වර්ගයට පවා ළඟාවන බවය; එය හරියට ස්වර්ගයේ සිටින තමන්වහන්සේට ඒ දේවල් කළා හා සමානය. තවද දෙවියන්වහන්සේගේ විනිශ්චය හිතකර එකක් වුවත්, අහිතකර එකක් වුවත්, එය වලංගු සහ යුක්තිසහගත එකක් බවට පැහැදිලි කරමින්, විනිශ්චය සඳහා වූ යෙහෝවඃවහන්සේගේ ප්‍රමිතිය යේසුස්වහන්සේ මෙහිදී අවධාරණය කරනසේක. ‘අහෝ, අපි ඔබවහන්සේව හැබැහින් දැක්කා නම්’ යනුවෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට එළුවන්ට නොහැක.
13. එළුගුණැති අය යේසුස්වහන්සේට “ස්වාමිනි” කියා අමතනවා විය හැක්කේ මන්ද?
13 මෙම උපමාවේ සඳහන් විනිශ්චය දෙනු ලබන අවස්ථාව අප වරක් අවබෝධ කරගත් විට, එළුවන් යනු කවුරුන්ද යන්න පිළිබඳව අපි වඩාත් පැහැදිලි දෘෂ්ටියක් ලබමු. ඉෂ්ටවීම සිදුවන්නේ, ‘මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙන, එවිට පොළොවේ සියලු ගෝත්‍රයෝ වැලපෙන, ඔවුන් මනුෂ්‍ය පුත්‍රයා බලයෙන්ද මහත් තේජසින්ද . . . එනවා දකින’ අවස්ථාවේදීය. (මතෙව් 24:29, 30) රජ්ජුරුවන්ගේ සහෝදරයන්ට ද්වේෂසහගත අන්දමින් සලකා තිබෙන, මහ බබිලෝනිය පිට ගෙනෙන පීඩාවෙන් බේරී ජීවත්වන්නෝ, තමන්ගේ ජීවිත ගළවාගැනීමේ බලාපොරොත්තුවෙන්, කිරීමට වෙන දෙයක් නොමැති බැවින්, යේසුස්වහන්සේට “ස්වාමිනි” යයි එවිට ඇමතිය හැක.—මතෙව් 7:22, 23.
14. යේසුස්වහන්සේ බැටළුවන් සහ එළුවන්ව විනිශ්චය කරනු ඇත්තේ කිනම් පදනම මතද?
14 කෙසේවෙතත් කලින් පල්ලි ගියවුන්ගෙන්, අදේවවාදීන්ගෙන් හෝ වෙනත් අය වෙතින් පැමිණෙන අන්තිම මොහොතේ කරන බලවත් කියමන් මත යේසුස්වහන්සේගේ විනිශ්චය පදනම් නොවනු ඇත. (2 තෙසලෝනික 1:6ආ, 7) ඒ වෙනුවට, “[තමන්ගේ සහෝදරයන්ගේ] කුඩාම තැනැත්තා” කෙරෙහි පවා ජනයා කළ අතීත ක්‍රියා සහ ඔවුන්ගේ හෘද තත්වයන් විනිශ්චයකරුවාණන් සැලකිල්ලට භාජන කරනවා ඇත. පොළොව මත සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ සංඛ්‍යාව පිරිහෙමින් තිබෙන බව පිළිගත හැක. කෙසේවෙතත්, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” සාදන අභිෂේක ලත් අය ආත්මික ආහාර සහ එහි මඟ පෙන්වීම දිගටම සපයන තාක් කල්, ‘සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් යුත් මහත් සමූහය’ කර ඇත්තාක් මෙන්, බැටළුන් වීමට සිටින අයට, දාස පංතියට යහපත කිරීමට ප්‍රස්තාවක් තිබේ.—එළිදරව් 7:9, 14.
15. (අ) බොහෝදෙනෙක් තමන්ම එළුවන් බවට ඔප්පු කර ඇත්තේ කෙසේද? (ආ) යමෙකු බැටළුවෙක්ද නැත්නම් එළුවෙක්ද කියා පැවසීමෙන් අප වැළකිය යුත්තේ මන්ද?
15 ක්‍රිස්තුස්වහන්සේගේ සහෝදරයන්ට සහ එක රැළක් ලෙස ඔවුන් සමඟ එක්සත් වී සිටින වෙනත් බැටළුවන්ගෙන් යුත් මිලියන ගණනක්දෙනාට සලකනු ලැබ ඇත්තේ කෙසේද? බොහෝ ජනයන් ක්‍රිස්තුස්වහන්සේගේ නියෝජිතයන්ට පෞද්ගලිකව ප්‍රහාර එල්ල කර නැතුවා වන්ට පිළිවන, නමුත් ඔවුන් උන්වහන්සේගේ ජනයාට ප්‍රේමනීය අන්දමින් සලකාද නැත. දුෂ්ට ලෝකයට වඩාත් කැමති වී ඇති මෙම එළු ගුණැති අය, රාජ්‍ය පණිවුඩය ඍජුව ඇසුවත්, වක්‍රව ඇසුවත් එය ප්‍රතික්ෂේප කරති. (1 යොහන් 2:15-17) ඇත්තවශයෙන්ම, අවසන් පරීක්ෂණයේදී විනිශ්චය දීමට පත් කරනු ලැබ සිටින්නේ යේසුස්වහන්සේවය. බැටළුවන් කවුද එළුවන් කවුද කියා නිර්ණය කිරීම අපට අයිති වැඩක් නොවේ.—මාර්ක් 2:8; ලූක් 5:22; යොහන් 2:24, 25; රෝම 14:10-12; 1 කොරින්ති 4:5.
මේ එක් එක් කණ්ඩායමට තිබෙන අනාගතය කුමක්ද?
16, 17. බැටළුවන්ට තිබෙනු ඇත්තේ කිනම් අනාගතයක්ද?
16 යේසුස්වහන්සේ බැටළුවන්ට සිය විනිශ්චය දුන්නේ මෙසේය: “මාගේ පියාණන්ගෙන් ආශීර්වාදලත්තෙනි, වරෙල්ලා [එන්න, NW], ලෝකය පටන්ගැන්මේ සිට නුඹලාට සූදානම්කර තිබෙන රාජ්‍යය උරුම කරගනිල්ලා.” මොනතරම් උණුසුම් ආරාධනයක්ද—“වරෙල්ලා”! කුමකටද? සදාකාල ජීවනයටය, සමාලෝචනයක් වශයෙන්, උන්වහන්සේ ප්‍රකාශ කළ පරිදිය: “ධර්මිෂ්ඨයෝ සදාකාල ජීවනයටත් යන්නෝය [ඇතුළත් වන්නෝය].”—මතෙව් 25:34, 46.
17 තලෙන්ත පිළිබඳ උපමාවේදී, තමන්වහන්සේ සමඟ ස්වර්ගයේ පාලනය කරන්ට යන අයගෙන් අපේක්ෂා කෙරෙන දෙය යේසුස්වහන්සේ පෙන්වූසේක, නමුත් මෙම උපමාව තුළ උන්වහන්සේ පෙන්නුම් කරන්නේ රාජ්‍යයේ යටත් වැසියන්ගෙන් අපේක්ෂා කරනු ලබන දෙයයි. (මතෙව් 25:14-23) නිශ්චිත වශයෙන්ම, යේසුස්වහන්සේගේ සහෝදරයන්ට ලබා දෙන හෘදයාංගම අනුබලය නිසා, බැටළුවන් උන්වහන්සේගේ රාජ්‍යයේ භූමික විෂයෙහි ස්ථානයක් උරුම කරගන්නවා ඇත. ඔවුන් පාරාදීස පොළොවක ජීවිතය භුක්තිවිඳිනවා ඇත—මෙය වනාහි, දෙවියන්වහන්සේ, ගළවනු ලැබිය හැකි මිනිසුන්ගෙන් යුත් ඔවුන් උදෙසා, “ලෝකය මැවීමේ පටන්” සූදානම් කර තිබූ අපේක්ෂාවකි.—ලූක් 11:50, 51.
18, 19. (අ) යේසුස්වහන්සේ එළුවන් මත ගෙනෙනු ඇත්තේ කිනම් විනිශ්චයක්ද? (ආ) එළුවන් සදාකාලික දුක් විඳීමට මුහුණ නොදෙන බවට අපට ස්ථිර විය හැක්කේ මන්ද?
18 එළුවන් මතට ගෙනෙනු ලබන විනිශ්චය මොනතරම් වෙනස් එකක්ද! “එවිට උන්වහන්සේ වම් පැත්තේ සිටින්නන්ට කියනසේක්: ශාපලත්තෙනි, මා කෙරෙන් පහව යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම්කර තිබෙන සදාකාල ගින්නට පලයල්ලා. මක්නිසාද මම බඩගිනිව සිටියෙමි, නුඹලා මට කන්ට නුදුන්නහුය. පිපාසිතව සිටියෙමි, නුඹලා මට බොන්ට නුදුන්නහුය. ආගන්තුකව සිටියෙමි, නුඹලා මා පිළිනොගත්තහුය; වස්ත්‍ර නැතිව සිටියෙමි, නුඹලා මට ඇඳුම් නුදුන්නහුය; රෝගාතුරවද හිරගෙයිද සිටියෙමි, නුඹලා මා බලන්ට නාවහුයයි කියනසේක. එවිට ඔවුනුත් උත්තරදෙමින්: ස්වාමිනි, අපි කොයි කලෙක ඔබ බඩගිනිව හෝ පිපාසිතව හෝ ආගන්තුකව හෝ වස්ත්‍ර නැතුව හෝ රෝගාතුරව හෝ හිරගෙයි හෝ සිටිනවා දැක ඔබවහන්සේට උපස්ථාන නොකළෙමුදැයි කියනවා ඇත. එවිට උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි—මොවුන්ගෙන් ඉතා කුඩා කෙනෙකුටවත් එසේ නොකර සිටියහුද ඒක නොකළේ මටයයි කියනසේක.”—මතෙව් 25:41-45.
19 එළුගුණැති අයගේ අමරණීය ආත්ම සදාකාල ගින්නක දුක් විඳින බවක් මින් අදහස් නොකරන බව බයිබල් ශිෂ්‍යයෝ දනිති. නැත, මිනිස්සු ආත්ම වෙති; ඔවුන්ට අමරණීය ආත්ම තිබෙනවා නොවේ. (උත්පත්ති 2:7; දේශනාකාරයා 9:5, 10; එසකියෙල් 18:4) එළුවන්ව “සදාකාල ගින්නට” නියම කරනු ලැබීමෙන් විනිශ්චයකරුවාණන් අදහස් කරන්නේ, අනාගත බලාපොරොත්තුවලින් තොර විනාශයක්ය, තවද එය යක්ෂයා සහ ඔහුගේ භූතයන්ගේ ස්ථිර නිමාවද වනවා ඇත. (එළිදරව් 20:10, 14) මෙබැවින්, යෙහෝවඃවහන්සේගේ විනිශ්චයකරුවාණන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ විනිශ්චයන් දෙකක් ඉෂ්ට කරනසේක. උන්වහන්සේ බැටළුවන්ට “එන්න” කියාද; එළුවන්ට “මා කෙරෙන් පහව . . . පලයල්ලා” කියාද පවසනසේක. බැටළුවන් “සදාකාල ජීවනය” උරුම කරගන්නවා ඇත. එළුවන් “සදාකාල දඬුවම” ලබනවා ඇත.—මතෙව් 25:46.b
අපට එයින් අදහස් කරන්නේ කුමක්ද?
20, 21. (අ) ක්‍රිස්තියානීන්ට කිරීමට තිබෙන වැදගත් කර්තව්‍යය කුමක්ද? (ආ) කිනම් බෙදීමක් දැන් සිදුවෙමින් තිබේද? (ඇ) බැටළුවන් සහ එළුවන් පිළිබඳ උපමාව ඉටුවීම ආරම්භ වන විට, ජනයාගේ තත්වය කුමක් වනු ඇද්ද?
20 යේසුස්වහන්සේගේ පැමිණ සිටීම සහ පිළිවෙළේ සමාප්තිය ගැන ලකුණ පිළිබඳව යේසුස්වහන්සේගේ පිළිතුර ඇසූ ප්‍රේරිතයන් හතරදෙනාට බොහෝ දේ සලකා බැලීමට තිබිණ. අවදියෙන් සිට සුපරීක්ෂාකාරි වීමට ඔවුන්ට අවශ්‍ය වනු ඇත. (මතෙව් 24:42) මාර්ක් 13:10හි සඳහන් සාක්ෂිදැරීමේ වැඩයද කිරීමට ඔවුන්ට අවශ්‍ය වනු ඇත. අදදින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරයෝ ඉතා ප්‍රාණවත් ලෙස එම කර්තව්‍යයේ නියැලී සිටිති.
21 එහෙත්, බැටළුවන් සහ එළුවන් පිළිබඳ මෙම උපමාව පිළිබඳ නව අවබෝධයෙන් අප සඳහා කුමක් අදහස් කරයිද? ඇත්තෙන්ම, ජනයා දැනටමත් පැති ගනිමින් සිටිති. ඇතැම් අය ‘විනාශයට යන පළල් පාරේ’ සිටියදී, තවත් අය ‘ජීවනයට යන පටු පාරේ’ රැඳී සිටීමට උත්සාහ කරති. (මතෙව් 7:13, 14) එහෙත්, උපමාවේ සඳහන් ලෙස, යේසුස්වහන්සේ බැටළුවන් සහ එළුවන් මත අවසාන විනිශ්චය ගෙනෙන කාලය තවමත් ඉදිරියෙන් තිබේ. මනුෂ්‍ය පුත්‍රයා විනිශ්චයකරුවාණන් ලෙසට විනිශ්චය කිරීමට පැමිණෙන විට, බොහෝ සැබෑ ක්‍රිස්තියානීන්—ඇත්තෙන්ම කැපවූ බැටළුවන්ගෙන් යුත් “මහත් සමූහයක්”—‘මහත් පීඩාවේ’ අවසාන අදියර තුළින් නව ලෝකය තුළට සුදුසුකම් ලබන බවට උන්වහන්සේ තීරණය කරනවා ඇත. එම අපේක්ෂාව දැන් ප්‍රීතියේ උල්පතක් විය යුතුය. (එළිදරව් 7:9, 14) අනික් අතට, “සියලු ජාතීන්ගෙ[න්]” අතිමහත් සංඛ්‍යාවක්, තමන්ම උද්දච්ච එළුවන් බවට ඔප්පු කර තිබෙනවා ඇත. ඔවුහු “සදාකාල දඬුවමට . . . යන්නෝය.” පොළොවට මොනතරම් සහනයක්ද!
22, 23. උපමාවේ පූර්ණ ඉටුවීම තවමත් අනාගතයේ තිබෙන බැවින්, අදදින අපගේ දේශනා වැඩය අතිවැදගත් වන්නේ මන්ද?
22 උපමාවේ විස්තර කර ඇති විනිශ්චය කිරීම නුදුරු අනාගතයේදී තිබෙන අතරේදී, දැන් පවා අතිවැදගත් දෙයක් සිදුවෙමින් තිබේ. අප නියැලී සිටින්නේ, ජනයාව වෙන් කිරීමක් කරන පණිවුඩයක් ප්‍රකාශ කිරීමෙහිලා ජීවිත ගළවන වැඩකය. (මතෙව් 10:32-39) පාවුල් මෙසේ ලීවේය: “මක්නිසාද: ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤාකරන කවුරු නුමුත් ගළවනු ලබන්නේය. එසේ නම් ඔවුන් තමුන් විසින් අදහා නොගත්තාවූ කෙනෙකුට යාච්ඤාකරන්නේ කොහොමද? තමුන් නොඇසූවාවූ කෙනෙකු කෙරෙහි අදහන්නේ කොහොමද? දේශනාකරන්නෙක් නැතුව ඔවුන් අසන්නේ කොහොමද?” (රෝම 10:13, 14) අපගේ ප්‍රසිද්ධ දේවසේවය, දෙවියන්වහන්සේගේ නාමය සහ උන්වහන්සේගේ ගැළවීමේ පණිවුඩය සමඟින් රටවල් 230කට වඩා ජනයා කරා ළඟාවෙමින් තිබේ. ක්‍රිස්තුස්වහන්සේගේ අභිෂේක ලත් සහෝදරයෝ තවමත් මෙම කර්තව්‍යය මෙහෙයවමින් සිටිති. දැන් මහත් සමූහයේ මිලියන පහක් පමණ ඔවුන්ට හවුල්ව සිටිති. තවද ලොව වටා සිටින ජනයා, යේසුස්වහන්සේගේ සහෝදරයන් විසින් ප්‍රකාශිත මෙම පණිවුඩයට ප්‍රතිචාර දක්වමින් සිටිති.
23 අප ගෙයින් ගෙට හෝ අවිධිමත් ලෙස දේශනා කරන විට, බොහෝදෙනෙක් අපේ පණිවුඩයට නිරාවරණය වෙති. තවත් අය අප නොදන්නා ආකාරවලින් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ගැනත්, අප නියෝජනය කරන දෙය ගැනත් දැනගන්නවා විය හැක. විනිශ්චය කාලය ළඟාවන විට, ප්‍රජා වගකීම සහ පවුල නිසා ලබන අනුග්‍රහය සහිත තත්වය යේසුස්වහන්සේ විසින් කොතරම් දුරට සලකා බලනු ලැබේද? අපට කිව නොහැක, ඇරත් දේවල් අනුමාන කිරීම නිෂ්ඵලය. (1 කොරින්ති 7:14 සසඳන්න.) දැන් බොහෝදෙනෙක් දෙවියන්වහන්සේගේ ජනයාට බිහිරි කන් යොමති, සරදම් කරති, නැතහොත් ඍජු ලෙසම පීඩා කරති. මෙබැවින්, මෙය වනාහි අර්බුදකාරි කාලයක්ය; එවන් අය වර්ධනය වෙමින් සිටින්නේ, එළුවන් ලෙස යේසුස්වහන්සේ විනිශ්චය කරන්ට යන අය ලෙස වන්ට පිළිවන.—මතෙව් 10:22; යොහන් 15:20; 16:2, 3; රෝම 2:5, 6.
24. (අ) පුද්ගලයන් අපගේ පණිවුඩයට හොඳින් ප්‍රතිචාර දැක්වීම වැදගත් මන්ද? (ආ) ඔබේ දේවසේවය කෙරෙහි කිනම් ආකල්පයක් ඇතුව සිටීමට මෙම පාඩම ඔබට පෞද්ගලිකව උපකාර කොට තිබේද?
24 එහෙත්, බොහෝදෙනෙක්, හොඳ අතට ප්‍රතිචාර දක්වති, දෙවියන්වහන්සේගේ වචනය අධ්‍යයනය කරති, එමෙන්ම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ බවට පත්වෙති. දැනට එළුවන් මෙන් පෙනෙන්ට සිටින අය වෙනස් වී, බැටළුවන් බවට පත්වන්ට පුළුවන. මෙහි තිබෙන මූලික කරුණ නම්, මේ අන්දමින් ක්‍රිස්තුස්වහන්සේගේ සහෝදරයන්ගේ ඉතිරි කොටසට ක්‍රියාශීලී ලෙස අනුබල දෙමින් ප්‍රතිචාර දක්වන අය, යේසුස්වහන්සේ විනිශ්චය ඉටු කිරීමට සිය සිංහාසනය මත වාඩිවන විට, තමන්ව උන්වහන්සේගේ දකුණු පැත්තේ තැබීම සඳහා පදනම සපයන සාක්ෂි දැන් ඉදිරිපත් කරමින් සිටිති. මේ අය ආශීර්වාද ලබමින් සිටින අතර, දිගටම ආශීර්වාද ලබනවා ඇත. මේ අනුව, ක්‍රිස්තියානි සේවයේ වඩාත් ජ්වලිතව ක්‍රියාශීලී වීමට මෙම උපමාව අපව පෙලඹවිය යුතුය. එය ප්‍රමාද වීමට පෙර, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අපට කළ හැකි සියල්ලම කිරීමට අපට වුවමනා වන අතර, ඒ අන්දමින් වෙනත් අයටද ප්‍රතිචාර දැක්වීමට අපි ප්‍රස්තාවක් දෙන්නෙමු. ශාපයට හෝ ආශීර්වාදයට විනිශ්චය දීම තීරණය කිරීම එවිට යේසුස්වහන්සේට භාරය.—මතෙව් 25:46.
-