ස්පාඤ්ඤ බයිබලයක් සඳහා කාස්යෝඩෝරෝ ඩෙ රේනාගේ සටන
දහසයවන සියවසේදී, බයිබලය කියවීම සඳහා ස්පාඤ්ඤය අනතුරුදායක ස්ථානයක් විය. පිළිගත් ධර්මයට විරුද්ධ වන සේයාවක් හෝ වෙතොත්, එය මකා දැමීමට කතෝලික පල්ලිය අධර්ම මර්දනාධිකරණයට උපදෙස් දී තිබිණ. එහෙත් ශුද්ධ ලියවිලි කියෙව්වාවූ පමණක් නොව, නමුත් සෑම ස්පාඤ්ඤ ජාතිකයෙකුට ඒවා කියවීමට හැකි වන පරිදි, ඒවා ස්වභාෂාවට පරිවර්තනය කිරීමට පොරොන්දු වූ යෞවන පුරුෂයෙක් දකුණුදිග ස්පාඤ්ඤයේ සිටියේය. ඔහුගේ නම කාස්යෝඩෝරෝ ඩෙ රේනාය.
බයිබලය පිළිබඳ රේනාගේ උනන්දුව පුබුදුවනු ලැබුවේ, ස්පාඤ්ඤයේ සවිල් අවට ප්‍රදේශයේ, සැන් ඉසීඩ්රෝ ඩෙල් කැම්පෝ නම් පූජකාරාමයෙහි ඔහු ගත කළ වසර ගණනාව තුළදීය. වර්ෂ 1550 ගණන්වල, මෙම විශේෂ පූජකාරාමයේ පැවිද්දන් වැඩිදෙනෙක් තමන්ගේ ආගමික කටයුතුවල නිරත වෙනවා වෙනුවට, ශුද්ධ ලියවිලි කියවීම සඳහා වඩා වැඩි කාලයක් වැය කළෝය. තවද බයිබලයේ පණිවුඩය ඔවුන්ගේ චින්තන රටාව වෙනස් කළේය. පිළිම භාවිතය මෙන්ම ශුද්ධගිනිස්ථානය පිළිබඳ විශ්වාසය හා සම්බන්ධ කතෝලික මූලධර්මය ඔවුහු ප්‍රතික්ෂේප කළෝය. ඔවුන්ගේ මත එම ප්‍රදේශයෙහි ඉඳුරාම ප්‍රසිද්ධ වූ අතර, ස්පාඤ්ඤ අධර්ම මර්දනාධිකරණය මගින් අත්අඩංගුවට ගනු ලැබීමේ බියෙන්, ඔවුහු විදේශ රටකට පලායෑමට තීරණය කළෝය. රේනා, ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට සාර්ථකව පලායෑමට හැකි වූ 12දෙනාගෙන් කෙනෙකු විය.
එලෙස යන්තම් බේරීමෙන් පසු, ඔහු එක් යුරෝපීය නගරයක සිට තවත් නගරයකට ගමන් කළ අතර, කෙසේ හෝ තම පීඩාකරන්නන්ව මඟහැර සිටීමට ඔහුට හැකි විය. වර්ෂ 1562දී, කලකිරීමට පත් අධර්ම මර්දනාධිකාරීන් රේනාගේ ප්‍රතිමූර්තිය සවිල්හි පුලුස්සා දැමුවත්, එම කෲර තර්ජනයට පවා ඔහුව ශුද්ධ ලියවිලි පරිවර්තනය කිරීමේ කටයුත්තෙන් ඉවත් කිරීමට නොහැකි විය. ඔහුව අල්ලා දීම සඳහා ත්‍යාගයක් පිරිනමනු ලැබුවත්, අත්අඩංගුවට ගැනීමේ බියෙන් නොකඩවා පසු වුවද, ඔහු තම ස්පාඤ්ඤ පරිවර්තනය සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම වැඩ කළේය. “මා අසනීප වූ විට හෝ ගමන් කරමින් සිටි වේලාව හැර, . . . අනික් සැමවිටම පෑන මගේ අතේ තිබුණා” යනුවෙන් ඔහු පැහැදිලි කළේය.
රේනා එම කාර්යය වසර දහයක් ඇතුළත නිම කළේය. වර්ෂ 1569දී, ඔහු පරිවර්තනය කළ මුළු බයිබලය ස්විට්සර්ලන්තයේ, බාස්ල්හිදී ප්‍රකාශයට පත් කරන ලදි. මෙම විශිෂ්ට කර්තව්‍යය වනාහි, මුල් භාෂාවලින් සකස් කරන ලද ප්‍රථම ස්පාඤ්ඤ පරිවර්තනය විය. සියවස් ගණනාවක් පුරා ලතින් බයිබල් ලබාගැනීමට හැකිව තිබූ නමුත්, ලතින් භාෂාව රදළ පැළැන්තිකයන්ගේ භාෂාවක් විය. බයිබලය සෑම කෙනෙකු විසින්ම වටහාගත යුතු බව රේනා විශ්වාස කළ අතර, එම ඉලක්කය කරා වර්ධනය වීමට ඔහු තම ජීවිතය පවා පරදුවට තැබුවේය.
තම පරිවර්තනයේ හැඳින්වීමේදී, ඔහු තම හේතු පැහැදිලි කළේය. “පොදුවේ භාවිත කරන භාෂාවෙන් ශුද්ධ ලියවිලි ලබාගැනීම තහනම් කිරීමෙන්, දෙවියන්වහන්සේට අනිවාර්යයෙන්ම මහත් අපහාසයක් ගෙනෙන අතර, මනුෂ්‍යයන්ගේ ශුභසිද්ධියටද හානි පමුණුවයි. මෙම වැඩය සාතන්ගේ හා ඔහුගේ පාලනයට නතු වී සිටින අයගේ ක්‍රියාවක් බව පැහැදිලිය. . . . දෙවියන්වහන්සේ ස්වකීය වචනය මනුෂ්‍යයන්ට දී තිබෙන්නේ සියලුදෙනා විසින්ම එය වටහාගෙන ක්‍රියාවට නඟනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් බැවින්, මොන යම් හේතුවක් නිසා හෝ එය ඕනෑම භාෂාවකින් තහනම් කරන කවරෙකුටවත් හොඳ චේතනාවක් තිබිය නොහැක.”
ස්පාඤ්ඤ අධර්ම මර්දනාධිකරණය විසින් කියවීමට තහනම් කරන ලද පොත් ලැයිස්තුවේ, විශේෂයෙන්ම බයිබලය “කස්ටිලියානු රොමාන්ස් [ස්පාඤ්ඤ] භාෂාවෙන් හෝ වෙනත් ඕනෑම ස්වභාෂාවකින්” තහනම් කරනු ලැබ තිබීමෙන් වසර 18කට පසු එය ප්‍රකාශයට පත් කළ බැවින්, මෙම ප්‍රකාශය නිර්භීත එකක් විය. මනුෂ්‍යයන්ට ඇති බිය නිසා, රේනා සත්‍යයට ඇති තම ප්‍රේමය මැඩපැවැත්වීමට ඉඩ නොදුන් බව පැහැදිලිය.
ස්පාඤ්ඤ භාෂාව කතා කරන සියලු මනුෂ්‍යයන්ට බයිබලය ලබාගැනීමට හැකි කරවීමේ දැඩි ආශාවක් තිබීමට අමතරව, හැකි තාක් දුරට වඩාත් නිවැරදි පරිවර්තනයක් පිරිනැමීමටද රේනාට අවශ්‍ය විය. මුල් භාෂාවලින් කෙළින්ම පරිවර්තනය කිරීමේ තිබෙන වාසි පිළිබඳව ඔහු තම හැඳින්වීමෙහි විස්තර කළේය. ලතින් වල්ගේට් පිටපතට දෝෂයන් සමහරක් ඇතුල් වී තිබූ බව රේනා පැහැදිලි කළේය. දිව්‍ය නාමය ඉවත් කරනු ලැබීම, මින් වඩාත්ම පැහැදිලිව දක්නට ලැබුණු එක විය.
ස්පාඤ්ඤ පරිවර්තනවල දිව්‍ය නාමය
යෙහෝවා යන දෙවියන්වහන්සේගේ නාමය, මුල් පිටපතෙහි මෙන්, හෘදය සාක්ෂියට එකඟව කරනු ලබන ඕනෑම බයිබල් පරිවර්තනයක තිබිය යුතු බව රේනා වටහාගත්තේය. දිව්‍ය නාමය වෙනුවට, “දෙවියන්වහන්සේ” හෝ “ස්වාමීන්වහන්සේ” වැනි පදවි නම් භාවිත කිරීමේ පුරුද්ද අනුගමනය කිරීම ඔහු ප්‍රතික්ෂේප කළේය. ඔහුගේ පරිවර්තනයේ සංඥාපනයේ, ඔහු තම හේතු නියම ඍජුභාවයෙන් යුතුව පැහැදිලි කළේය.
“වඩාත් බරපතළ හේතු නිසා, අප එම නාමය (ඉයෝවා) සංරක්ෂණය කර තිබේ. ප්‍රථමයෙන්ම, අපගේ පිටපතේ කොතැනකින් හෝ එය සොයාගත හැකි වේද, එයාකාරයෙන්ම හෙබ්‍රෙව් පිටපතේද සොයාගැනීමට හැකි වූ අතර, කිසිවක් ඉවත් නොකිරීමට හෝ එකතු නොකිරීමට අණ කර තිබෙන දේවනීතියට ද්‍රෝහි නොවී හා එය නොකෙලෙසා, අපට එය ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට නොහැකි බව පෙනෙන්ට තිබිණ. . . . දිව්‍ය නාමය ඉතා ගරු කොට සලකන බව පවසා සිටියත්, එය ඇත්තවශයෙන්ම වළලා තිබෙන අතර, එයින් අන් සියලු . . . දෙවිවරුන්ගෙන් . . . දෙවියන්වහන්සේ තමන්ව වෙන් කර හඳුනාගැනීමට සතුටුය යන කාරණය ස්වකීය සෙනඟට අමතක කිරීමට සලස්වමින්, යක්ෂයා විසින් අනුබල දෙන [නාමය ඉවත් කිරීමේ] සිරිත නවීන රබ්බිවරුන්ගේ මිථ්‍යා විශ්වාසයකින් මතු විය.”
දෙවියන්වහන්සේගේ නාමය මහිමවත් කිරීමේ රේනාගේ ප්‍රශංසාකටයුතු ආශාවෙහි මහත් ඵලවිපාක තිබිණ. අපගේ දවස දක්වා, කතෝලික හා රෙපරමාදු යන දෙගොල්ලන්ගේ ස්පාඤ්ඤ භාෂා පරිවර්තකයන්ගෙන් වැඩිදෙනෙක්, සෑම තැනකම දිව්‍ය නාමය භාවිත කිරීමේ මෙම පූර්වාදර්ශය අනුගමනය කර ඇත්තාහ. රේනාට කෘතඥපූර්වක වන්න, අන් සියලු දෙවිවරුන්ගෙන් දෙවියන්වහන්සේව වෙන් කර හඳුනාගැනීම සඳහා උන්වහන්සේට පෞද්ගලික නාමයක් තිබෙන බව, බයිබලයේ ඕනෑම ස්පාඤ්ඤ පරිවර්තනයක් කියවන කෙනෙකුට පහසුවෙන්ම වටහාගැනීමට හැකි වේ.
රේනාගේ බයිබලයේ මුල් පිටුවේ, යෙහෝවඃවහන්සේගේ නාමය හෙබ්‍රෙව් භාෂාවෙන් පැහැදිලිව දක්නට තිබීම කැපීපෙනෙන යමකි. මිලියන සංඛ්‍යාත අයට කියවිය හැකි භාෂාවකින් දේවවචනය ලබාගත හැකි වන පිණිස එය සංරක්ෂණය කිරීමේ ශ්‍රේෂ්ඨ හේතුව වෙනුවෙන් රේනා තම ජීවිතය කැප කළේය.