-
යාච්ඤා කරන්නේ ඇයි?2015 මුරටැඹ | ඔක්තෝබර් 1
-
-
මුල් පිටුවෙන් | යාච්ඤා කරන එකෙන් ප්‍රයෝජනයක් තියෙනවාද?
යාච්ඤා කරන්නේ ඇයි?
“මම සූදුවට ඇබ්බැහි වෙලා හිටිය කෙනෙක්. මාව දිනවන්න කියලා යාච්ඤා කෙරුවත් වැඩක් වුණේ නැහැ.”—කෙන්යාවේ, සැමුවෙල්.a
“ඉස්කෝලෙදි අපි කිව්වේ කටපාඩම් කරගත්ත යාච්ඤා.”—පිලිපීනයේ, ටෙරේසා.
“ප්‍රශ්න එද්දී මම යාච්ඤා කරනවා. ඒ වගේම වැරදිවලට සමාව දෙන්න කියලත් ක්‍රිස්තියානි ගුණාංග දියුණු කරගන්න උදව් කරන්න කියලත් ඉල්ලනවා.”—ඝානාවේ, මැග්ඩලීන්.
සැමුවෙල්, ටෙරේසා, මැග්ඩලීන් කිව්ව දේවලින් පේන්නේ විවිධ හේතුවලට මිනිසුන් යාච්ඤා කරනවා කියලයි. සමහර යාච්ඤාවලට හොඳ හේතු තියෙනවා. සමහරු මුළු හිතින්ම යාච්ඤා කරනවා. ඒත් සමහරුන්ගේ යාච්ඤා හරිම යාන්ත්‍රිකයි. කියන්නේ කටපාඩමින්. එක්කෝ ඒ අය යාච්ඤා කරන්නේ විභාගෙන් පාස් වෙන්න, කැමතිම ක්‍රීඩා කණ්ඩායම දිනවන්න නැත්නම් පවුල් ජීවිතයට දෙවියන්ගේ මඟ පෙන්වීම් ලබාගන්න. ඒ වගේ දේවලට යාච්ඤා කරන්න ඕන කියලා හුඟදෙනෙක්ට හැඟෙනවා. සමීක්ෂණවලින් පෙන්වන්නේ ආගමික විශ්වාසයන් නැති අය පවා යාච්ඤා කරනවා කියලයි.
ඔයා යාච්ඤා කරනවාද? එහෙමනම් මොනවා ගැනද යාච්ඤා කරන්නේ? යාච්ඤා කරන එක ඔයාගේ පුරුද්දක් වුණත් නැතත් මෙහෙම කල්පනා කරනවා ඇති. ‘යාච්ඤා කරන එකෙන් යහපතක් වෙයිද? මං කරන යාච්ඤාව කවුරු හරි අහගෙන ඉන්නවාද?’ යාච්ඤාව කියන්නේ “සුරතල් මාළුවෙක් දිහා බලාගෙන කතා කරලා . . . හිත සනසගන්න කරන ප්‍රතිකාරයක් වගේ දෙයක්” කියලා ලේඛකයෙක් කිව්වා. “යාච්ඤාව හිතට සුවය ගෙනෙන ප්‍රතිකාරයක්” කියලා වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්න සමහරු හිතනවා. සමහර අය යාච්ඤා කරන්නේ පුරුද්දටද? නැත්නම් හිතට සුවයක් ලැබෙන ප්‍රතිකාරයක් කියලා හිතාගෙනද?
ඒත් බයිබලයේ යාච්ඤාව ගැන කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. හරි විදිහට හරි දේවල් වෙනුවෙන් කරන යාච්ඤාවලට කෙනෙක් සවන් දෙනවා කියලා ඒකේ කියනවා. ඒක ඇත්තද? ඒ ගැන සාක්ෂි බලමු.
a සමහර නම් වෙනස් කර ඇත.
-
-
කවුරු හරි අහගෙන ඉන්නවාද?2015 මුරටැඹ | ඔක්තෝබර් 1
-
-
මුල් පිටුවෙන් | යාච්ඤා කරන එකෙන් ප්‍රයෝජනයක් තියෙනවාද?
කවුරු හරි අහගෙන ඉන්නවාද?
කවුරුත් ඇහුම්කන් දෙන්නේ නැති හින්දා යාච්ඤා කරන එක තේරුමක් නැති දෙයක් කියලයි සමහරු හිතන්නේ. තවත් අය කියනවා කොච්චර යාච්ඤා කළත් උත්තර ලැබිලා නෑ කියලා. දෙවියන්ව විශ්වාස නොකරන කෙනෙක් දෙවියන් ගැන හිතෙන් පින්තූරයක් මවාගෙන යාච්ඤා කළේ මෙහෙමයි. “රහසින් හරි මට උත්තරයක් දෙන්න.” ඒත් දෙවියන් “නිහඬව හිටියා” කියලයි ඔහු කියන්නේ.
ඒත් බයිබලේ සහතික කරනවා යාච්ඤාවලට සවන් දෙන දෙවි කෙනෙක් ඉන්නවා කියලා. ඒකේ කියන්නේ මේ වගේ දෙයක්. “ඔබ හඬ නඟා දෙවිට කන්නලව් කරන විට ඔහු ඔබට කරුණාවෙන් සවන් දෙන්නේය. ඔබ හඬගසන මොහොතේදීම ඔහු ඔබට පිළිතුරු දෙන්නේය.” (යෙසායා 30:19) තවත් බයිබල් පදයක “ප්‍රතිපත්තිගරුක අයගේ යාච්ඤා ඔහුට ප්‍රසන්නය” කියලා කියනවා.—හිතෝපදේශ 15:8.
යේසුස් ඔහුගේ පියාණන්ට යාච්ඤා කළාම ‘දෙවි ඔහුට සවන් දුන්නා.’—හෙබ්‍රෙව් 5:7
බයිබලයේ සඳහන් වෙනවා යාච්ඤාවලට පිළිතුරු ලැබුණු අය ගැන. හෙබ්‍රෙව් 5:7 කියන්නේ යේසුස් ‘ගැලවීමට හැකි තැනැත්තාණන් ඉදිරියේ බලවත් ලෙස ඉල්ලීම් සහ කන්නලව් ඉදිරිපත් කෙරුව’ වෙලාවේ ‘දෙවි ඔහුට සවන් දුන්නා’ කියලයි. ඒ වගේ පිළිතුරු ලැබුණු තවත් දෙන්නෙක් ගැන දානියෙල් 9:21 සහ 2 ලේකම් 7:1 කියනවා.
ඒත් තමන්ගේ යාච්ඤාවලට දෙවියන් පිළිතුරු දෙන්නේ නැහැ කියලා සමහරුන්ට හැඟෙන්නේ ඇයි? පිළිතුරු ලබාගන්න නම් වෙන දෙවිවරුන්ටවත් මුතුන්මිත්තන්ටවත් නෙමෙයි යෙහෝවාa දෙවියන්ට විතරයි යාච්ඤා කරන්න ඕනේ. ඒ වගේම “දෙවිගේ කැමැත්තට එකඟව” යාච්ඤා කරයි කියලත් ඔහු බලාපොරොත්තු වෙනවා. එහෙම කළොත් ඔහු අපිට ‘සවන් දෙනවා.’ (1 යොහන් 5:14) අපේ යාච්ඤා දෙවියන් අහන්න නම් බයිබලයේ සඳහන් දෙවියන් ගැනත් ඔහුගේ කැමැත්ත ගැනත් අපි දැනගන්න ඕනේ.
යාච්ඤාව නිකම්ම ආගමික පිළිවෙතක් නෙමෙයි කියලත් දෙවියන් ඇත්තටම යාච්ඤාවලට පිළිතුරු දෙනවා කියලත් හුඟක් අයට විශ්වාසයි. කෙන්යාවේ අයිසැක් මෙහෙම කියනවා. “බයිබලය තේරුම්ගන්න උදව් ඉල්ලලා යාච්ඤා කරලා ටික දවසක් යද්දී කෙනෙක් ආවා මට උදව් කරන්න.” පිලිපීනයේ හිල්ඩා කීප සැරයක්ම උත්සාහ කෙරුවත් දුම්බීම නතර කරගන්න බැරි වුණා. එයාගේ මහත්තයා ඇහුවා “ඇයි ඔයා දෙවියන්ට යාච්ඤා කරලා උදව් ඉල්ලන්නේ නැත්තේ” කියලා. දෙවියන්ගෙන් උදව් ඉල්ලුව ඇය මෙහෙම කියනවා. “දෙවියන් මට උදව් කරපු විදිහ හරි පුදුමයි. දුම් බොන්න තිබුණ ආසාව නැතුව ගියා වගෙයි දැනුණේ. අන්තිමේදී ඒක නතර කරන්න පුළුවන් වුණා.”
ඔයාගේ පෞද්ගලික දේවල් වුණත් දෙවියන්ගේ කැමැත්තට එකඟව ඉල්ලනවා නම් දෙවියන් ඔයාට උදව් කරයිද?
a සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.
-
-
දෙවියන් අපිට යාච්ඤා කරන්න කියන්නේ ඇයි?2015 මුරටැඹ | ඔක්තෝබර් 1
-
-
මුල් පිටුවෙන් | යාච්ඤා කරන එකෙන් ප්‍රයෝජනයක් තියෙනවාද?
දෙවියන් අපිට යාච්ඤා කරන්න කියන්නේ ඇයි?
දෙවියන් කැමතියි අපිව මිතුරන් කරගන්න.
කතාබහ කරද්දී මිතුදමක් ශක්තිමත් වෙනවා. දෙවියනුත් අපිට කියන්නේ ඔහු එක්ක කතා කරන්න කියලයි. ඒක ඔහු එක්ක කිට්ටු මිතුදමක් ඇති කරගන්න උදව්වක්. ඔහු කියන්නේ මෙහෙමයි. “ඔබ මා වෙතට හැරී මට හඬගසනු ඇත. මට කන්නලව් කරනු ඇත. එවිට මම ඔබට සවන් දෙන්නෙමි.” (යෙරෙමියා 29:12) දෙවියන්ට කතා කරලා ළං වෙනවා නම් ‘ඔහුත් ඔබට ළං වෙනවා.’ (යාකොබ් 4:8) බයිබලයේ මේ සහතිකය දෙනවා. “යෙහෝවා දෙවි තමාට හඬගසන සියල්ලන්ට සමීපව සිටියි.” (ගීතාවලිය 145:18) දෙවියන්ට වැඩි වැඩියෙන් යාච්ඤා කරද්දී ඔහු එක්ක තියෙන අපේ බැඳීම ශක්තිමත් වෙනවා.
“යෙහෝවා දෙවි තමාට හඬගසන සියල්ලන්ට සමීපව සිටියි.”—ගීතාවලිය 145:18
දෙවියන්ට ඕන ඔයාට උදව් කරන්නයි.
‘ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් තමන්ගේ පුතා රොටියක් ඉල්ලුවොත් ඔහුට ගලක් දෙයිද? මාළුවෙක් ඉල්ලුවොත් සර්පයෙකු දෙයිද? ඔබේ දරුවන්ට හොඳම දේ දෙන්නේ කෙසේද කියා ඔබ දන්නවා. එසේනම් ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන් තමන්ගෙන් ඉල්ලන්නන්ට ඊටත් වඩා කොපමණ වැඩියෙන් හොඳම දේ දෙයිද’ කියලා යේසුස් කිව්වා. (මතෙව් 7:9-11) ‘ඔයා ගැන සැලකිලිමත් වන’ දෙවියන්ට ඕන ඔයාට උදව් කරන්නයි. (1 පේතෘස් 5:7) ‘කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න. යාච්ඤාවෙන් හා කන්නලව්වලින් සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න’ කියලා බයිබලයේ කියන්නේ ඒ නිසයි.—ෆිලිප්පි 4:6.
මිනිසුන්ට දෙවියන්ගේ මඟ පෙන්වීම් අවශ්‍යයි.
මිනිසුන් ගැන අධ්‍යයනය කරන ප්‍රවීණයන් කියන්නේ දෙවියන්ට යාච්ඤා කරන්න ඕන කියලා හුඟක් අයට දැනෙනවා කියලයි. දෙවියන්ව විශ්වාස නොකරන සමහරුන්ටත් ඒක දැනෙනවා.a මේකෙන් ඔප්පු වෙනවා දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ ඒ අවශ්‍යතාව ඇතුව කියලා. යේසුස් කිව්වේ “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්” කියලයි. (මතෙව් 5:3) ඒක ඉටු කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි නිතරම දෙවියන්ට යාච්ඤා කරන එක.
දෙවියන්ට යාච්ඤා කරනවා නම් අපිට ලැබෙන්නේ මොන වගේ ප්‍රයෝජනද?
a එක ආයතනයක් (Pew Research Center) 2012දී කරපු සමීක්ෂණයකින් හෙළි වුණේ, ඇමරිකාවේ, දෙවියන්ව විශ්වාස නොකරන අයගෙන් සියයට 11ක් මාසෙකට සැරයක් හරි යාච්ඤා කරනවා කියලයි.
-
-
යාච්ඤාවෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන2015 මුරටැඹ | ඔක්තෝබර් 1
-
-
මුල් පිටුවෙන් | යාච්ඤා කරන එකෙන් ප්‍රයෝජනයක් තියෙනවාද?
යාච්ඤාවෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන
යම් දෙයක් කරන්න කලින් කෙනෙක් මෙහෙම හිතන එක සාමාන්‍යයි. ‘මේකෙන් මට ලැබෙන්නේ මොකක්ද?’ ඒත් යාච්ඤාව ගැන එහෙම හිතන එක ආත්මාර්ථකාමී දෙයක්ද? කවුරුත් කැමතියි තමන්ට වෙන්නේ යහපතක්ද කියලා දැනගන්න. යහපත් කෙනෙක් වුණ යෝබ් පවා මේ විදිහට ඇහුවා. “මා ඔහුට හඬගැසුවත් ඔහු මට පිළිතුරු දෙයිද?”—යෝබ් 9:16.
කලින් ලිපිවලින් දැනගත්තා යාච්ඤාව නිකම්ම ආගමික පිළිවෙතක්වත් මනසට සුවය ගෙන දෙන ප්‍රතිකාරයක්වත් නෙමෙයි කියලා. හරි විදිහට, හරි දේවල් ගැන යාච්ඤා කරනවා නම් සැබෑ දෙවියන් අනිවාර්යයෙන්ම සවන් දෙනවා. ඔහුට ළං වෙන්න කියලයි ඔහු අපිට කියන්නේ. (යාකොබ් 4:8) යාච්ඤාව අපේ ජීවිතයේ කොටසක් කරගන්නවා නම් අපිට ලැබෙන්නේ මොනවාද? අපිට යාච්ඤාවෙන් ලැබෙන ප්‍රයෝජන කීපයක් බලමු.
සන්සුන් මනසක් ලැබෙනවා.
යම් ප්‍රශ්න, අභියෝග එද්දී ඔයාගේ හිතට ලොකු බරක් දැනෙනවාද? ඒ වගේ වෙලාවට “නොකඩවා යාච්ඤා කරන්න” කියලත් “ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න” කියලත් බයිබලයේ කියනවා. (1 තෙසලෝනික 5:17; ෆිලිප්පි 4:6) දෙවියන්ට යාච්ඤා කරනවා නම් “දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක්” කියලත් ඒකේ සහතික කරනවා. (ෆිලිප්පි 4:7) හිතේ තියෙන හැම දේම දෙවියන්ට කියනවා නම් යම් සහනයක් ලැබෙනවා. ගීතාවලිය 55:22 කියන්නේ “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය” කියලයි.
“ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය.”—ගීතාවලිය 55:22
ලෝකේ පුරාම හුඟදෙනෙක්ට යාච්ඤාවෙන් සහනය ලැබිලා තියෙනවා. හී රාන් කියන කොරියාවේ කාන්තාව මෙහෙම කියනවා. “මට ලොකු ප්‍රශ්න තිබුණත් ඒවා ගැන දෙවියන්ට කිව්වාම හිතට සහනයක් දැනෙනවා. දරාගන්න ශක්තියත් ලැබෙනවා.” පිලිපීනයේ සිසිලියා කියන්නේ මෙහෙමයි. “මගේ දුවලා දෙන්නා ගැනත් මාව අඳුරගන්න බැරි තරමට අසනීපෙන් ඉන්න මගේ අම්මා ගැනත් මං හුඟක් වධ වෙනවා. ඒත් යාච්ඤා කරන නිසා එදිනෙදා දේවල් කරගන්න ශක්තිය ලැබෙනවා. එයාලව බලාගන්න යෙහෝවා දෙවියන් මට උදව් කරනවා කියලා ස්ථිරයි.”
ප්‍රශ්න එද්දී සැනසීම සහ ශක්තිය ලැබෙනවා.
ජීවිතයට තර්ජනයක් වන දෙයක්, හදිසියේ උද්ගත වුණ තත්වයක් නිසා ඔයා ඉන්නේ ලොකු පීඩනයකින්ද? ‘සියලු සැනසිල්ලේ දෙවියන්ට’ යාච්ඤා කරන එකෙන්ම සහනයක් ලබාගන්න පුළුවන්. බයිබලයේ කියන්නේ ඔහු ‘අපගේ සියලු පීඩාවලදී අපව සනසනවා’ කියලයි. (2 කොරින්ති 1:3, 4) යේසුස් ලොකු පීඩනයකින් හිටිය වෙලාවක ‘දණින් වැටී යාච්ඤා කරන්න පටන්ගත්තා.’ ඒ වෙලාවේ ‘ස්වර්ගයෙන් දේවදූතයෙක් පැමිණ ඔහුව ශක්තිමත් කළා.’ (ලූක් 22:41, 43) විශ්වාසවන්ත නෙහෙමියාත් දුෂ්ට මිනිසුන්ගෙන් පීඩා වින්දා. ඔවුන් හැදුවේ ඔහුට දෙවියන් දුන්න වැඩේ නතර කරන්නයි. එතකොට ඔහු “මට අවශ්‍ය ධෛර්යය දෙන්න” කියලා දෙවියන්ගෙන් ඉල්ලුවා. ඊටපස්සේ වුණ දේවලින් පේනවා බිය සැක දුරු කරගෙන වැඩේ සාර්ථකව කරන්න දෙවියන් ඔහුට උදව් කළා කියලා. (නෙහෙමියා 6:9-16) ඝානාවේ රෙජිනෝල්ඩ් යාච්ඤාවෙන් ලැබුණු ප්‍රතිඵල ගැන මෙහෙම කිව්වා. “දරාගන්න බැරි වෙලාවලදී යාච්ඤා කළාම දැනෙන්නේ, මට උදව් කරන්න, මගේ බය නැති කරන්න පුළුවන් කෙනෙක් එක්ක මම කතා කරනවා කියලයි.” අපි යාච්ඤා කරනවා නම් ඔහු අපිට සැනසීමක් ලබා දෙනවා.
දෙවියන්ගෙන් ප්‍රඥාව ලැබෙනවා.
අපි ගන්න සමහර තීරණ අපිටත් අපේ ආදරණීයයන්ටත් හැමදාටම බලපාන්න පුළුවන්. ඥානවන්ත තීරණ ගන්න පුළුවන් කොහොමද? බයිබලයේ මෙහෙම කියනවා. “තමාට ප්‍රඥාව අඩුයි කියා යමෙකුට හැඟෙනවා නම් එය ඔහුට නොකඩවා දෙවිගෙන් ඉල්ලිය හැකියි. ඔහුගේ ඉල්ලීමට අනිවාර්යයෙන්ම පිළිතුරක් ලැබෙයි. මන්ද දෙවි අදිමදි නොකර සියල්ලන්ට ප්‍රඥාව ත්‍යාගශීලීව ලබා දෙයි.” (යාකොබ් 1:5) තීරණ ගන්න ප්‍රඥාව ඉල්ලලා යාච්ඤා කෙරුවොත් දෙවියන් ඔහුගේ බලය මාර්ගයෙන් අපිට මඟ පෙන්වනවා. අපි ‘ස්වර්ගයෙහි සිටින පියාණන්ගෙන් ඔහුගේ බලය ඉල්ලුවොත් ඒ දේ ලබා දෙනවා’ කියලා යේසුස් සහතික කළා.—ලූක් 11:13.
“යාච්ඤා කරලා මම දෙවියන් මතම රඳා ඉන්නවා.”—ඝානාවේ ක්වාබෙනා
වැදගත් තීරණ ගනිද්දී දෙවියන්ගේ උපකාර පතන්න ඕන කියලා යේසුස්ටත් දැනුණා. නියෝජිතයන් හැටියට සේවය කරන්න 12දෙනාව තෝරගන්න උපකාර ඉල්ලලා යේසුස් ‘මුළු රාත්‍රිය පුරාම දෙවියන්ට යාච්ඤා කළා’ කියලා බයිබලයේ කියනවා.—ලූක් 6:12.
අද දිනත් හුඟක් අයට ඥානවන්ත තීරණ ගන්න දෙවියන්ගෙන් උදව් ලැබිලා තියෙනවා. ඒකෙන් ඔවුන්ගේ විශ්වාසයත් ශක්තිමත් වෙලා. උදාහරණෙකට පිලිපීනයේ රෙජිනාගේ මහත්තයා මැරුණාම ඇයට සිද්ධ වුණා පවුලේ අයව බලාගන්න. ඇගේ රැකියාවත් අහිමි වුණා. දරුවන්ව රැකබලා ගන්න එකත් ලේසි වුණේ නැහැ. ඇයට ඥානවන්ත තීරණ ගන්න උදව් වෙලා තියෙන්නේ මොකක්ද? ඇය කියන්නේ “යාච්ඤා කරලා දෙවියන් මතම රඳා ඉන්නවා” කියලයි. ඝානාවේ ක්වාබෙනාත් මෙහෙම කියනවා. “ඉදි කිරීම් ක්ෂේත්‍රයේ තිබුණු හොඳ රැකියාව අහිමි වුණා.” අලුත් රැකියාවක් තෝරගනිද්දී “හරි තීරණයක් ගන්න උදව් කරන්න කියලා මම නිතරම යාච්ඤා කළා. නමස්කාරයේ යෙදෙන්නත් අවශ්‍යතාවන් සපුරගන්නත් පුළුවන් විදිහේ රැකියාවක් තෝරගන්න මට උදව් කළේ යෙහෝවා දෙවියන්.” දෙවියන් එක්ක තියෙන බැඳීමට බලපාන ඕනම දෙයක් ගැන ඔහුගේ මඟ පෙන්වීම් ලබාගන්න ඔයාටත් පුළුවන්.
අපි සඳහන් කළේ යාච්ඤාවෙන් ලැබෙන ප්‍රයෝජන කීපයක් ගැන විතරයි. (තවත් උදාහරණ, “යාච්ඤාවේ ප්‍රයෝජන” කියන කොටුවෙන් බලන්න.) ඒත් ඒවා ලබාගන්න නම් ඔයා මුලින්ම දෙවියන් ගැනත් ඔහුගේ කැමැත්ත ගැනත් දැනගන්න ඕනේ. ඔයා ඒකට කැමති නම්, බයිබලයේ තියෙන දේවල් දැනගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් උදව් ගන්න කියලා අපි ඔයාව දිරිගන්වනවා.a ‘යාච්ඤා අසන තැනැත්තාණන්ට’ ළං වෙන්න ඔයා ගන්න පළවෙනි පියවර ඒක වෙන්න පුළුවන්.—ගීතාවලිය 65:2.
a වැඩි විස්තර දැනගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වෙන්න. නැත්නම් www.pr418.com/si වෙබ් අඩවියට පිවිසෙන්න.
-