ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w14 7/1 8-9 පි.
  • ජීවිත වෙනස් කළ පොතක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජීවිත වෙනස් කළ පොතක්
  • 2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • “මං හිටියේ මගේම වළ කපා ගනිමින්”
    ජීවිත වෙනස් කළ පොතක්
  • “මට හොස්ස ළඟින් මැස්සා යන්න බැහැ කේන්ති යනවා”
    ජීවිත වෙනස් කළ පොතක්
  • අවුරුද්දක්වත් සැනසීමෙන් ඉන්න දෙන්න
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • “මට ජීවත් වෙන්න වුණේ පාරේ”
    ජීවිත වෙනස් කළ පොතක්
තව තොරතුරු
2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w14 7/1 8-9 පි.
ආනුන්සියාතො ලූගාරා ඔහුගේ භාර්යාව වන කාමන් එක්ක

ජීවිත වෙනස් කළ පොතක්

මම තුවක්කුව නැතුව මොහොතක්වත් හිටියේ නැහැ

ආනුන්සියාතො ලූගාරා

  • ඉපදුණ අවුරුද්ද: 1958

  • රට: ඉතාලිය

  • අතීතයේදී: කල්ලියක දරුණු සාමාජිකයෙක්

ජීවිතේ වෙනස් කරගන්න කලින් කොණ්ඩෙයි රැවුලයි දිගට වවලා හිටිය ආනුන්සියාතො ලූගාරා

මගේ අතීතය:

මම ඉපදුණෙත් හැදුණේ වැඩුණෙත් රෝමයට කිට්ටු නගරයක. එහේ ජීවත් වුණේ එදිනෙදා ජීවිතය ගැටගහගන්න ලොකු සටනක් කරපු දුප්පත් අය. මගේ අම්මා කවුද කියලා මං ඇත්තටම දැනගෙන හිටියේ නෑ. තාත්තා හිටියත් මායි තාත්තයි අතර බැඳීමක් තිබුණෙත් නෑ. ඒත් ඒ දරුණු සමාජයේ ජීවත් වෙන්න ඕන විදිහ මම දැනගෙන හිටියා.

මට අවුරුදු 10ක් වෙද්දී හොරකම් කරන්න පුරුදු වෙලා හිටියා. අවුරුදු 12දී මං පළවෙනි වතාවට ගෙදරිනුත් පැනලා ගියා. කීප වතාවක්ම මගේ තාත්තට මාව පොලිස්සියෙන් බේරගෙන ගෙදර එක්කං එන්න සිද්ධ වුණා. මං හැම තිස්සෙම මිනිස්සු එක්ක එකට එක කිව්වා. මට හැමෝම එක්ක තිබුණේ ලොකු වෛරයක්. අවුරුදු 14දී මං ගෙදරින් යන්නම ගියා. ඊටපස්සේ මම ජීවත් වුණේ පාරවල් ගානේ. රෑට නිදාගන්න තැනක් තිබුණේ නැති නිසා කාගේ හරි වාහනේක අගුල් කඩලා නිදාගෙන උදේට වතුර තියෙන තැනකින් මූණ කට හෝදගත්තා. ඒ වෙනකොට මම මත්ද්‍රව්‍ය ගන්නත් පුරුදු වෙලයි හිටියේ.

කාලයක් යද්දී මම පළපුරුදු හොරෙක් වුණා. කාගේ හරි අතේ තියෙන බෑග් එකක් උදුරගන්න විතරක් නෙමෙයි රෑට ගෙවල් බිඳින්නත් පුරුදු වුණා. ඒ වගේ වැඩ කරන කෙනෙක් විදිහට මාව ප්‍රසිද්ධ වුණු නිසා මට නම ගිය හොර කල්ලියකට බැඳෙන්න ආරාධනා කෙරුවා. මං කලින් කළේ ගෙවල් මංකොල්ල කන එක විතරයි. ඒත් ඒ කල්ලියට බැඳුණට පස්සේ බැංකු මංකොල්ල කන්නත් පටන්ගත්තා. දරුණු චරිතයක් නිසා කල්ලියේ කවුරුත් මට ගරු කළා. මම තුවක්කුව නැතුව මොහොතක්වත් හිටියේ නැහැ. නිදාගත්තෙත් තුවක්කුව කොට්ටේ යටින් තියාගෙනයි. දාමරිකකම, හොරකම, මත්ද්‍රව්‍ය, පහත් භාෂාව, දුරාචාර ජීවිතය මගේ ජීවිතයේ සාමාන්‍ය දේවල් වුණා. පොලිස්සිය නිතරම මගේ පස්සෙන් පැන්නුවා. මං කීප වතාවක්ම හිරේ ගිහින් ආවා.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි:

මම හිරෙන් නිදහස් වුණ එක වතාවකදී කෙළින්ම ගියේ මගේ පුංචි අම්මගේ ගෙදරට. ඒ වෙද්දී පුංචි අම්මයි එයාගේ දරුවෝ දෙන්නයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙලා කියලා මං දැනගෙන හිටියේ නැහැ. ඒ අය සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට එන්න කියලා මට කිව්වා. මමත් කුතුහලය නිසා ඒ අය එක්ක ගියා. ශාලාවට ගියාම මං කිව්වා මට දොර ළඟම ඉන්න ඕන කියලා. එහෙම කිව්වේ යන එන අය ගැන සෝදිසියෙන් ඉන්න පුළුවන් නිසයි. එහේ ගියෙත් තුවක්කුව අරගෙනයි.

ඒ රැස්වීම මගේ මුළු ජීවිතයම වෙනස් කළා. මාව ආදරයෙන් පිළිගත්ත ඒ අය අවංකයි කියලා මට තේරුණා. එදා මට දැනුණේ වෙනම ලෝකයක ඉන්නවා වගෙයි. මං ආශ්‍රය කරපු අයයි මේ අයයි අතර වෙනස අහසට පොළොව වගෙයි.

මම සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. පාඩම් කරගෙන යද්දී මට තේරුණා මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕන කියලා. බයිබලයේ තියෙන මේ උපදෙස මම හිතට ගත්තා. “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය. නමුත් අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.” (හිතෝපදේශ 13:20) එහෙම කරන්න නම් කල්ලියෙන් අයින් වෙන්න ඕන කියලා මම තේරුම්ගත්තා. ඒක අමාරු වුණත් යෙහෝවා දෙවියන්ගේ උපකාරයෙන් ඒක කරන්න පුළුවන් වුණා.

මට මගේ ජීවිතයේ පළවෙනි වතාවට මාවම පාලනය කරගන්න පුළුවන් වුණා

වෙනස් පුද්ගලයෙක් වෙන්න මට ලොකු සටනක් කරන්න සිද්ධ වුණා. මගේ දිග කොණ්ඩේ කපලා කරාබුත් අයින් කළා. සිගරට් බොන එකයි මත්ද්‍රව්‍ය ගන්න එකයි විතරක් නෙමෙයි නරක වචන කියන එකත් නැවැත්තුවා. ජීවිතේ පළවෙනි වතාවට මට මාවම පාලනය කරගන්න පුළුවන් වුණා.

මට එක තැන ඉඳලා ඉගෙනගන්න පුරුද්දක් තිබුණේ නැහැ. ඒ නිසා බයිබලයේ කියලා තියෙන දේවල් හිතට ගන්න එක ලොකු අභියෝගයක් වුණා. ඒත් මම උත්සාහ කරලා ඉගෙනගත්තු නිසා යෙහෝවා දෙවියන් ගැන ආදරයක් ඇති වුණා. ඒත් එක්කම මගේ හෘදය සාක්ෂිය මට වධ දෙන්න පටන්ගත්තා. මං කරලා තියෙන වැරදිවලට දෙවියන් සමාව දෙයිද කියලා සැකයක් ඇති වුණා. ඒත් දාවිත් රජ කරපු බරපතළ පව්වලට දෙවියන් සමාව දීපු විදිහ ගැන කියෙව්වම මට ලොකු සහනයක් දැනුණා.—2 සාමුවෙල් 11:1–12:13.

මට තිබුණු ඊළඟ අභියෝගය තමයි ගෙයින් ගෙට සේවයේ යන එක. (මතෙව් 28:19, 20) මගෙන් වරදක් වුණු කෙනෙක්ව මුණගැහෙයිද කියන බය මට තිබුණා. කාලයක් යද්දී ඒ බය නැති කරගන්න පුළුවන් වුණා. අපේ වැරදි මතකයේ තියාගන්නේ නැතුව අපිට සම්පූර්ණයෙන්ම සමාව දෙන අපේ දෙවි පියාණන් ගැන අනිත් අයට කියලා දෙන එකෙන් මං ලොකු තෘප්තියක් ලබන්න පටන්ගත්තා.

ජීවිතේ වෙනස් කරගත්තට පස්සේ කොණ්ඩෙ කපලා ඉන්න ආනුන්සියාතො ලූගාරා, සතුටින්

මං දැන් අද්දකින ආශීර්වාද:

කලින් මට හිටපු මගේ සමහර යාළුවෝ දැන් මැරිලා. නැත්නම් හිරේ. ඒත් මගේ ජීවිතේ බේරුණේ මම යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගත්තු නිසයි. දැන් සතුටින් ජීවත් වෙනවා වගේම මට අනාගතය ගැන ලස්සන බලාපොරොත්තුවකුත් තියෙනවා. යටහත්පහත් වෙන්නත් කීකරු වෙන්නත් කේන්තිය පාලනය කරගන්නත් මම ඉගෙනගත්තා. ඒ නිසා අනිත් අය බය නැතුව මාව ආශ්‍රය කරනවා. මගේ ආදරණීය කාමන් එක්ක මම ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා. බයිබලයේ සත්‍යයන් අනිත් අයට කියලා දෙන එකෙන් අපි දෙන්නා ලොකු සතුටක් ලබනවා.

මම දැන් සල්ලි හම්බ කරන්නේ අවංකවම වැඩ කරලා. දැනුත් මං බැංකුවලට යනවා. හැබැයි ඒ යන්නේ මංකොල්ල කන්න නෙමෙයි පිරිසිදු කරන්නයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න