-
වියෝදුක2018 පිබිදෙව්! | අංක 3
-
-
වියෝදුකට සහනයක්!
වියෝදුක
“කාලයක් තිස්සේ අසනීපෙන් ඉඳලා මගේ බිරිඳ මැරුණා. ඒ වෙද්දී අපි බැඳලා අවුරුදු 39යි. ඒ ගැනම හිතහිතා ඉන්නේ නැතුව මොනවා හරි වැඩක් කරන්නයි මං බැලුවේ. මගේ යාළුවොත් මට හුඟක් උදව් කළා. හැබැයි මුල් අවුරුද්ද ගෙවාගන්න එක පොඩ්ඩක්වත් ලේසි වුණේ නැහැ. මට දැනුණේ මගේ ඇඟෙන් කොටසක් නැහැ වගෙයි. සොෆියාa මැරිලා දැන් අවුරුදු තුනක් විතර වෙනවා. ඒත් තාමත් ඉඳලා හිටලා මට එයාව මතක් වෙලා ලොකු වේදනාවක් දැනෙනවා.”—කොස්ටාස්.
ඔයාත් වියෝදුකින් ඉන්න කෙනෙක් නම් කොස්ටාස්ට හැඟෙන විදිහ ඔයාට තේරෙනවා ඇති. අපි ආදරේ කරන කෙනෙක් මැරෙන එක තරම් වේදනාකාරී අද්දැකීමක් තවත් නැහැ. වියෝදුක ගැන අධ්‍යයනය කරන අයත් ඒ දේට එකඟ වෙනවා. සඟරාවක මෙහෙම සඳහන් වුණා. “ආදරය කරන කෙනෙක් මැරුණාම ඒ කෙනාව ආයේ දකින්න ලැබෙන්නේ නැහැ කියලා හිතන නිසා හුඟක් අය ඉන්නේ ලොකු වේදනාවකින්.” (The American Journal of Psychiatry) වියෝදුකින් ඉන්න කෙනෙක්ට මෙහෙම හිතෙන්න පුළුවන්. ‘මට කවදාවත් මේ දුකින් ගොඩ එන්න බැරි වෙයිද? මට ආයේ හිනා වෙලා ඉන්න පුළුවන් වෙයිද? මේ දුක දරාගන්න පුළුවන් කොහොමද?’
මේ සඟරාවෙන් ඒ ප්‍රශ්නවලට උත්තර දැනගන්න පුළුවන්. අපි ආදරය කරන කෙනෙක් මැරුණොත් අපිට මොන වගේ දේවලට මුහුණ දෙන්න වෙයිද කියලා ඊළඟ ලිපියේ කතා කරනවා. වියෝදුකින් ගොඩ එන්න උදව් වෙන තොරතුරු අනිත් ලිපිවලින් දැනගන්න පුළුවන්.
මේ සඟරාවේ සඳහන් වෙන තොරතුරුවලින් ඔයාට සහනයක් ලැබෙයි කියලත් වියෝදුකින් ගොඩ එන්න ඒවා ඔයාට උදව් වෙයි කියලත් අපි හිතනවා.
a මේ ලිපි මාලාවේ සමහර නම් වෙනස් කර ඇත.
-
-
මොන වගේ දේවලට මුහුණ දෙන්න වෙයිද?2018 පිබිදෙව්! | අංක 3
-
-
වියෝදුකට සහනයක්!
මොන වගේ දේවලට මුහුණ දෙන්න වෙයිද?
වියෝදුක ගැන අධ්‍යයනය කරන සමහර අය කියනවා වියෝදුකින් පෙළෙන හැමෝම දුක ප්‍රකාශ කරන්නේ එකම විදිහට කියලා. ඒත් ඒක ඇත්තක් නෙවෙයි. මොකද කෙනෙක් කෑගහලා ඇඬුවාට තව කෙනෙක් එහෙම කරන්නේ නැහැ. ඒ, දුක නැති නිසාද? නැත්නම් දුක තද කරගෙන ඉන්න නිසාද? එහෙම කියන්න බැහැ. දුක පිට කරන එක දුක දරාගන්න උදව් වුණත් දුක ප්‍රකාශ කරන්න ඕනෙ “මේ විදිහටයි” කියලා නිශ්චිතවම කියන්න බැහැ. සංස්කෘතිය, පෞද්ගලිකත්වය, අද්දැකීම් සහ මැරුණු විදිහ අනුව දුක ප්‍රකාශ කරන විදිහ වෙනස් වෙනවා.
දරාගන්න පුළුවන් වෙයිද?
ඉස්සරහට තමන්ට මොන වගේ දේවලට මුහුණ දෙන්න වෙයිද කියලා වියෝදුකින් ඉන්න අය දන්නේ නැහැ. හැබැයි පොදුවේ හැමෝටම වගේ අද්දකින්න වෙන දේවල් කීපයක් තියෙනවා.
මානසිකව කඩා වැටීම. වෙලාවකට අඬන්න හිතෙයි. ලොකු පාළුවක් දැනෙයි. හිටිහැටියෙම හැඟීම් වෙනස් වෙයි. මැරුණු කෙනා ගැන තියෙන මතකයන්, එයාව හීනෙන් දකින එක වගේ දේවල් නිසා ලොකු වේදනාවක් දැනෙයි. ආදරය කරන කෙනෙක් මැරුණා කියලා දැනගත්ත ගමන්ම සමහර අයට ලොකු කම්පනයක් දැනිලා ඒක වෙන්න බැහැ කියලා හිතෙනවා. තමන්ගේ සැමියා වුණු ටීමෝ මැරුණායි කියලා දැනගත්තාම හැඟුණු විදිහ ගැන ටීනා කිව්වේ මෙහෙමයි. “මගේ මුළු ඇඟම හිරි වැටුණා. මට ඇඬුණෙත් නැහැ. වෙලාවකට මට දැනුණේ මගේ හුස්ම හිර වෙනවා වගෙයි. වෙච්ච දේ මට අදහාගන්නවත් බැරි වුණා.”
කනස්සල්ල, කේන්තිය, හිත වධ දීම. අයිවන්ගේ අද්දැකීම බලන්න. “සාමාන්‍යයෙන් මටයි, මගේ නෝනා යොලන්ඩාටයි වැඩිය කේන්ති යන්නේ නැහැ. හැබැයි අවුරුදු 24දී අපේ පුතා එරික් මැරුණාට පස්සේ අපි දෙන්නා හැම තිස්සෙම හිටියේ හරිම කේන්තියෙන්. අපිට එරික් වෙනුවෙන් මීට වඩා දෙයක් කරන්න තිබුණානේ කියලත් හිතුණා.” ආලේහන්ද්‍රෝ කාලයක් තිස්සේ අසනීපෙන් හිටපු තම බිරිඳ මැරුණාට පස්සේ තමන්ට හැඟුණු විදිහ ගැන මෙහෙම කියනවා. “මං අතින් ගොඩක් වැරදි වෙලා ඇති. ඒ නිසා වෙන්න ඇති දෙවියන් මට මේ තරම් දුකක් විඳින්න ඉඩහැරියේ කියලා මට හිතුණා. ඒත් පස්සේ මට හිතුණා අපරාදේ මං දෙවියන් ගැන එහෙම හිතුවේ කියලා.” කලින් ලිපියේ සඳහන් වුණු කොස්ටාස් මෙහෙම කියනවා. “සොෆියා මැරුණු එක ගැන සමහර වෙලාවට මට සොෆියා එක්කත් කේන්ති ගියා. ඒත් පස්සේ ඒ ගැන මගේ හිත මට වධ දුන්නා.”
හිත අවුල් වීම. සමහර වෙලාවට කිසිම තේරුමක් නැති සිතුවිලි මනසට එන්න පුළුවන්. උදාහරණෙකට වියෝදුකින් ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් මිය ගිය කෙනාගේ කටහඬ ඇහෙනවා, එයාව පේනවා, එයා ළඟින් ඉන්නවා කියලා. ඒ වගේම කිසිම දේකට හරියට අවධානය දෙන්නත් දේවල් මතක තියාගන්නත් අමාරු වෙයි. ටීනාගේ අද්දැකීම බලන්න. “කාත් එක්ක හරි කතා කරකර ඉද්දී සමහර වෙලාවට මං වෙනමම ලෝකෙකට ගියා. ඒ වගේ වෙලාවට එයා මැරුණු දවසේ වුණු දේවල් එකින් එක මගේ ඔළුවට ආවා. කිසිම දේකට හරියට අවධානය දෙන්න මට බැරි වුණා. ඒක මට මහා වධයක් වුණා.”
තනි වෙන්න ඕනෙ කියන සිතුවිල්ල. වියෝදුක අද්දකින කෙනෙක්ට කට්ටියක් එක්ක ඉද්දී ලොකු අපහසුතාවක් දැනෙන්න ඉඩ තියෙනවා. කොස්ටාස් මෙහෙම කිව්වා. “බැඳපු අය එක්ක ඉද්දී මට හිතුණා මං එතනට ගැළපෙන්නේ නැහැ කියලා. තනිකඩයන් එක්ක ඉද්දිත් මට එහෙම හිතුණා.” අයිවන්ගේ බිරිඳ යොලන්ඩා මෙහෙම මතක් කරනවා. “පුංචි පුංචි දේවල් ගැන මිනිස්සු කන්කෙඳිරි ගාද්දි අපිට හිතුණා අපේ ප්‍රශ්න එක්ක බලද්දී ඒවා මොනාද කියලා. සමහර අය එයාලගේ දරුවන් ගැන හරිම සතුටින් මාත් එක්ක දේවල් කියද්දී මට සතුටක් දැනුණා. හැබැයි ඒත් එක්කම ලොකු දුකකුත් දැනුණා. පුතා නැති වුණා කියලා ජීවිතේ නතර වෙන්නේ නැහැ තමයි. ඒත් ජීවත් වෙන්න අපිට කිසිම ආසාවක් තිබුණේ නැහැ.”
සෞඛ්‍ය ගැටලු. කෑම අරුචිය, සිරුරේ බර වෙනස් වීම, නින්ද නොයෑම වගේ දේවල් වියෝදුකින් ඉන්න හැමෝම වගේ අද්දකිනවා. තාත්තා මැරිලා ගෙවුණු මුල් අවුරුද්ද ගැන ඒරන් මෙහෙම කියනවා. “ඒ දවස්වල හැමදාම රෑ එකම වෙලාවට වගේ මට ඇහැරුණා. ඒ වෙලාවට තාත්තා ගැන එක එක දේවල් මගේ ඔළුවට ආවා.”
දැනුණු අමුතු රෝග ලක්ෂණ ගැන ආලේහන්ද්‍රෝ මෙහෙම කිව්වා. “කීප සැරයක්ම බෙහෙත් ගන්න ගියත් මට ලෙඩක් නැහැ කියලයි දොස්තර කිව්වේ. පස්සේ මට තේරුණා එහෙම වුණේ හිතේ වේදනාව නිසයි කියලා.” කල් යද්දී එයාට දැනුණු අසනීප ගතිය නැති වුණා. ඒත් ආලේහන්ද්‍රෝ වෛද්‍යවරයෙක් මුණගැහෙන්න ගිය එක හොඳ දෙයක්. මොකද වියෝදුක නිසා කෙනෙක්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙලා, තියෙන ලෙඩ වැඩි වෙන්නත් අලුත් ලෙඩ හැදෙන්නත් ඉඩ තියෙනවා.
අත්‍යවශ්‍ය වැඩකටයුතු කරගෙන යන්න අමාරු වීම. අයිවන් කිව්වේ මෙහෙමයි. “පුතා මැරුණා කියලා නෑදෑයන්ට, යාළුවන්ට විතරක් නෙවෙයි පුතාගේ බොස්ට, පුතා කුලියට හිටිය ගෙදර අයිතිකාරයාට වගේ තව කීපදෙනෙක්ටම කියන්න වුණා. ලියකියවිලි ගොඩක් පුරවන්නත් තිබුණා. ඒවා කළාට පස්සේ පුතාගේ බඩු අස්පස් කරන්නත් වුණා. මානසිකව වැටිලා හෙම්බත් වෙලා හිටපු මට ඒ හැම දේම කරන එක පොඩ්ඩක්වත් ලේසි වුණේ නැහැ.”
වියෝදුකින් ඉන්න සමහර අය තමන්ට මුහුණ දෙන්න වෙන ලොකුම අභියෝගය විදිහට දකින්නේ මැරුණු කෙනා ඉටු කරපු වගකීම් ඉටු කරන්න වෙන එකයි. ටීනාගේ අද්දැකීම බලන්න. “බැංකුවට අදාළ වැඩ විතරක් නෙවෙයි අනිත් හැම ගනු දෙනුවක්ම කෙරුවේ ටීමෝ. එයා මැරුණාට පස්සේ ඒ ඔක්කොම මගේ කර පිට වැටුණා. ඒකෙන් පීඩනය තවත් වැඩි වුණා. මට හිතුණා කිසිම දෙයක් හරියට කරගන්න බැරි වෙයි කියලා.”
වියෝදුක දරාගන්න එක මොන තරම් අමාරුද කියලා ඒ තොරතුරුවලින් හොඳින්ම පැහැදිලි වෙනවා. හැබැයි ඒ ගැන කලින්ම දැනගෙන ඉන්න එක ඒ දුක දරාගන්න ලොකු උදව්වක් වෙයි. ඒ වගේම ආදරය කරන කෙනෙක් මැරුණාම ලොකු වේදනාවක් දැනෙන එක අසාමාන්‍ය දෙයක් නෙවෙයි කියලා දැනගෙන ඉන්න එකත් ලොකු සහනයක්. හැමෝටම වියෝදුක දැනෙන්නේ එකම විදිහට නෙවෙයි කියලත් මතක තියාගන්න.
මට ආයේ හිනා වෙලා ඉන්න පුළුවන් වෙයිද?
ගොඩ එන්න පුළුවන්. කාලයත් එක්කම දැනෙන වේදනාව ටිකෙන් ටික අඩු වෙයි. හැබැයි “ඒ දුක නැති වෙලාම යනවා” කියලවත් මැරුණු කෙනාව අමතක වෙනවා කියලවත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. බලාපොරොත්තු නොවුණු වෙලාවක සමහර මතකයන් අලුත් වෙද්දී එහෙමත් නැත්නම් විවාහ වුණු දවස වගේ විශේෂ දවස්වලදී ඒ දුක තදින් දැනෙන්න පුළුවන්. ඒත් කාලයත් එක්කම හුඟක් අය තමන්ගේ එදිනෙදා වැඩකටයුතු හොඳින් කරගෙන යන්න පුළුවන් තත්වයකට එනවා. පවුලේ අයගෙන් නැත්නම් යාළුවන්ගෙන් ලැබෙන සහයෝගය වගේම තමන්ගේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් කරන එක වියෝදුකින් ගොඩ එන්න උදව් වෙනවා.
කොච්චර කල් යයිද? සමහර අයට මාස කිහිපයක් ඇතුළත වියෝදුකින් ගොඩ එන්න පුළුවන් වෙනවා. හැබැයි හුඟක් අයට අවුරුද්දක්, දෙකක් විතර යනවා. තවත් අයට ඊටත් වඩා වැඩි කාලයක් යන්නත් ඉඩ තියෙනවා.a ආලේහන්ද්‍රෝ කිව්වේ “අවුරුදු තුනක් යන කල් මට වේදනාව දරාගන්න අමාරු වුණා” කියලයි.
කරන්න බැරි දේවල් ගැන ළත වෙන්න එපා. එදා දවසට කරන්න තියෙන දේවල් ගැන විතරක් හිතන්න. ඔයාට කරන්න පුළුවන් දේවල් කරන්න. වියෝදුකින් ගොඩ එන්න ඒක උදව් වෙයි. වියෝදුක හැමදාම එකම විදිහට තියෙන්නේ නැහැ කියලත් මතක තියාගන්න. දුක දරාගන්න ඔයාගේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් ගැන ඊළඟට බලමු.
ආදරය කරන කෙනෙක් මැරුණාම ලොකු වේදනාවක් දැනෙන එක අසාමාන්‍ය දෙයක් නෙවෙයි
a ටිකදෙනෙක්ට වියෝදුක හුඟක් දරුණු විදිහට බලපාන්න පුළුවන්. ඒ වගේ අයට ඒ හා සම්බන්ධ උපදේශකයෙක්ගෙන් උදව් ගන්න වෙයි.
-
-
දුක දරාගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?2018 පිබිදෙව්! | අංක 3
-
-
වියෝදුකට සහනයක්!
දුක දරාගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?
වියෝදුකින් ගොඩ එන එක ගැන අද ඕන තරම් උපදෙස් තියෙනවා. ඒත් ඒ හැම එකක්ම ඔයාට ගැළපෙන්නේ නැහැ කියලා ඔයාට හිතෙයි. එහෙම හිතෙන්නේ වියෝදුක දැනෙන විදිහ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන නිසයි.
වියෝදුකින් ගොඩ එන්න හුඟක් අයට උදව් වෙලා තියෙන දේවල් කිහිපයක් ගැන මනෝ වෛද්‍යවරුන් සඳහන් කරනවා. හැබැයි ඒවා අලුත් මඟ පෙන්වීම් නෙවෙයි. මොකද හැම කාලෙටම ගැළපෙන උපදෙස් තියෙන පැරණි පොතක් වන බයිබලයේ ඒවා සඳහන් වෙලා තිබුණා.
1: පවුලේ අයගෙන්, යාළුවන්ගෙන් ලැබෙන උදව් පිළිගන්න
ඒක වියෝදුකින් ගොඩ එන්න උදව් වෙන ප්‍රධානම දෙයක් කියලා සමහර විශාරදයන් කියනවා. ඒත් වෙලාවකට ඔයාට හිතෙයි ටිකක් තනියම ඉන්න ඕනෙ කියලා. අනිත් අය උදව් කරන්න හදද්දී ඒක ඔයාට මහා වධයක් වගේ දැනෙන්නත් ඉඩ තියෙනවා.
හැම වෙලේම ඔයා අනිත් අයත් එක්ක ඉන්න ඕනෙ කියලා හිතන්න එපා. හැබැයි ඔයාට උදව් කරන්න හදද්දී ඒක වළක්වන්නත් එපා. මොකද දවසක අනිත් අයගේ උදව් ඔයාට ඕන වෙයි. ඒ නිසා මේ වෙලාවේ ඔයා බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා එයාලට කාරුණිකව කියන්න.
අනිත් අයගේ උදව් අවශ්‍ය කොයි අවස්ථාවලද තනියෙන් ඉන්න ඕනෙ කොයි අවස්ථාවලද කියලා හොඳට හිතලා බලලා ඒ අනුව සකස් වෙන්න.
ප්‍රතිපත්තිය: ‘එක් කෙනෙකුට වඩා දෙදෙනෙකු හොඳය. මන්ද ඔවුන්ගෙන් එක් කෙනෙකු වැටුණොත් අනික් තැනැත්තා ඔහුව නැඟිටුවයි.’—දේශනාකාරයා 4:9, 10.
2: පෝෂ්‍යදායි කෑම කන්න. ව්‍යායාම් කරන්න
වියෝදුක නිසා ඇති වෙන පීඩනය අඩු කරගන්න පෝෂ්‍යදායි කෑම කන එක උදව් වෙනවා. පළතුරු, එළවළු සහ ප්‍රෝටීන් බහුල ආහාර ගන්න.
ඇති තරම් වතුර සහ ගුණදායක බීම වර්ග බොන්න.
කෑම රුචියක් නැත්නම් සැරෙන් සැරේ, පොඩ්ඩ පොඩ්ඩ කන්න. පෝෂණ අතිරේකයක් ඒ කියන්නේ අමතර පෝෂණයක් ලබාගන්න පුළුවන් විදිහක් ගැන වෛද්‍යවරයෙක්ගෙන් අහලා දැනගන්න පුළුවන්.a
වේගයෙන් ඇවිදින එක සහ වෙනත් ව්‍යායාම් කරන එක අධෛර්යය කරවන සිතුවිලි ජය ගන්න උදව් වෙනවා. සමහර අයට ජීවිතේ වුණු වෙනස්කම් ගැන හිතන්න ඒක උදව් වෙලා තියෙනවා. තවත් අයට වෙච්ච දේවල් ටිකකට අමතක කරන්න ඒක උදව් වෙලා තියෙනවා.
ප්‍රතිපත්තිය: “කිසි මිනිසෙක් කිසිදාක තමාගේම ශරීරයට වෛර කළේ නැත. ඒ වෙනුවට ඔහු තම ශරීරයට අවශ්‍ය පෝෂණය සහ සැලකිල්ල මහත් ආදරයකින් ලබා දෙයි.”—එෆීස 5:29.
3: ප්‍රමාණවත් නින්දක් ලබාගන්න
වියෝදුකින් ඉන්න අයට ලොකු වෙහෙසක් දැනෙන නිසා හොඳ නින්දක් ලබාගන්න එක ගැන එයාලා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ.
කැෆේන් සහ මධ්‍යසාර අඩංගු දේවල් ගන්න ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න. මොකද ඒ දේවල් නින්දට බාධාවක් වෙන්න පුළුවන්.
ප්‍රතිපත්තිය: “වෙහෙස මහන්සි වී බොහෝ වේලාවක් වැඩ කරමින් සුළඟ පසුපස හඹා යනවාට වඩා සුළු විවේකයක් ගැනීම හොඳය.”—දේශනාකාරයා 4:6.
4: ඔයාට උදව් වෙන දේ ඔයාම තේරුම්ගන්න
වියෝදුක දැනෙන විදිහ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් නිසා දුක දරාගන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද කියලා ඔයාම තීරණය කරන්න.
හිතේ තියෙන දේ තව කෙනෙක්ට කියන එක දුක දරාගන්න උදව් වුණා කියලා සමහර අය කියනවා. ඒත් තවත් අය තමන්ගේ හිතේ තියෙන දේ කියන්න කැමති නැහැ. හිතේ තියෙන දේ කාත් එක්ක හරි කතා කරන්න ඕනෙ කියලා ඔයාට හිතුණත් ඒක ලේසි නැති වෙන්න ඉඩ තියෙනවා. එහෙනම් ඔයාගේ කිට්ටුම යාළුවෙක්ට හිතේ තියෙන දේවල් ටිකෙන් ටික කියන්න.
කෑගහලා අඬන එක වියෝදුක දරාගන්න උදව් වුණා කියලා සමහර අය කියනවා. ඒත් තවත් අය කියන්නේ එච්චර අඬන්නේ නැතුව වුණත් වියෝදුක දරාගන්න පුළුවන් කියලයි.
ප්‍රතිපත්තිය: “යමෙකුගේ සිතේ තිබෙන වේදනාව දන්නේ ඔහු පමණි.”—හිතෝපදේශ 14:10.
5: හානිකර පුරුදුවලින් වළකින්න
වියෝදුක දරාගන්න උදව් වෙයි කියලා හිතලා සමහරු මත්පැන්වලට සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා. ඒවා ගන්න එකෙන් තාවකාලික සහනයක් ලැබෙන්න පුළුවන්. හැබැයි වෙන හානිය ඊට වඩා වැඩියි. ඒ නිසා ඒ වගේ දේවලින් සහනයක් ලබාගන්න උත්සාහ කරන්න එපා.
ප්‍රතිපත්තිය: ‘අපිව අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගනිමු.’—2 කොරින්ති 7:1.
6: සමබර වෙන්න
මැරුණු කෙනා ගැන හිතලා දුක පිට කරන්න ඕනෙ තමයි. ඒත් හැම වෙලේම ඒ ගැනම හිතහිතා ළත වෙනවා වෙනුවට වෙන දෙයක් කරන්නත් කාලය යොදවන එක ප්‍රයෝජනවත් කියලා හුඟක් අය අද්දැකලා තියෙනවා.
අලුත් යාළුවෝ ඇති කරගන්න, මිතුදම් ශක්තිමත් කරගන්න, අලුත් දේවල් ඉගෙනගන්න සහ විනෝද වෙන්න වගේ දේවලට කාලය ගන්න. ඒ දේවල් කරන එකෙන් යම් සහනයක් ලබාගන්න ඔයාට පුළුවන් වෙයි.
මැරුණු කෙනා ගැන මතක් වෙලා දුක් වෙන කාලය ටිකෙන් ටික අඩු වෙනවා කියලත් ඉස්සරට වඩා වැඩිපුර කාලයක් වෙනත් වැඩවල යෙදිලා ඉන්න පුළුවන් කියලත් ඔයාට තේරෙයි.
ප්‍රතිපත්තිය: “සෑම දෙයකටම නියමිත කාලයක් ඇත. අඬන්න කාලයක්ද සිනාසෙන්න කාලයක්ද වැලපීමට කාලයක්ද නටන්න කාලයක්ද [තිබේ].”—දේශනාකාරයා 3:1, 4.
7: හැම දේටම කාලයක් වෙන් කරගන්න
පුළුවන් තරම් ඉක්මනින් එදිනෙදා වැඩකටයුතු ටික පටන්ගන්න.
නිදාගන්න එක, වැඩ කරන එක සහ අනිත් හැම දේටම යම් කාලයක් වෙන් කරන එක ආපහු සාමාන්‍ය ජීවිතේට හැඩගැහෙන්න ඔයාට උදව් වෙයි.
හිතට සතුටක් ගෙන දෙන දේවල් කරන එක දුක අඩු කරගන්න ඔයාට උදව් වෙයි.
ප්‍රතිපත්තිය: “ඔහු ජීවත් වන කෙටි කාලය පුරා ඔහු අද්දකින අසීරුතා ගැන කල්පනා කරන්නේ කලාතුරකිනි. මන්ද සැබෑ දෙවි ඔහුට සතුටු සිතින් ජීවත් වීමට ඉඩ සලසා ඇත.”—දේශනාකාරයා 5:20.
8: ලොකු කාරණා ගැන තීරණ ගන්න ඉක්මන් වෙන්න එපා
ආදරය කරපු කෙනා මැරුණ අලුතම ලොකු ලොකු කාරණා ගැන තීරණ ගත්ත හුඟක් අය පස්සේ කාලෙක ඒ ගැන පසුතැවිලා තියෙනවා.
පදිංචිය මාරු කරන එක, රැකියාව වෙනස් කරන එක නැත්නම් ආදරය කරපු කෙනාගේ දේවල් අයින් කරන එක වගේ තීරණ ගන්න ඉක්මන් වෙන්න එපා.
ප්‍රතිපත්තිය: “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි. එහෙත් දුර දිග නොබලා ක්‍රියා කරන්නා දිලිඳෙකු බවට පත් වෙයි.”—හිතෝපදේශ 21:5.
9: සොඳුරු මතකයන් අවදි කරන්න
ආදරය කරපු කෙනා ගැන තියෙන මතකයන් අලුත් වෙන දේවල් කරන එකෙන් සහනයක් ලැබෙනවා කියලා වියෝදුකින් ඉන්න හුඟක් අයට හිතෙනවා.
ආදරය කරපු කෙනාගේ පින්තූර එකතු කරන එක, එයා ගැන තියෙන සොඳුරු මතකයන් පොතක ලියන එක වගේ දේවල් ඔයාට සහනයක් වෙයි.
අතීත මතකයන් අවදි වෙන දේවල් එකතු කරලා, ඒවා බලන්න ඕනෙ කියලා හිතෙද්දී අරන් බලන්න.
ප්‍රතිපත්තිය: “අතීත දවස් සිහි කරන්න.”—ද්විතීය කතාව 32:7.
10: කොහේ හරි ගිහින් විවේකයක් ගන්න
නිවාඩුවක් ගන්න.
දිග නිවාඩුවක් ගන්න එක ප්‍රායෝගික නැත්නම් කොහේ හරි ඇවිදින්න යන එක, කෞතුකාගාරයක් බලන්න යන එක, සුන්දර තැනක් බලන්න යන එක වගේ දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක යෙදෙන්න.
ඒකාකාරී ජීවිතෙන් මිදිලා මොකක් හරි පොඩි දෙයක් කරන එකෙන් වුණත් සහනයක් ලබාගන්න පුළුවන්.
ප්‍රතිපත්තිය: “එන්න, අපි පාළු තැනකට යමු. අපිට පුළුවන් ටිකකට විවේක ගන්න.”—මාක් 6:31.
11: අනිත් අයට උදව් කරන්න
පොඩි දෙයක් හරි කරලා අනිත් අයට උදව් කරන එකෙන් ඔයාගේ හිතට සහනයක් ලබාගන්න පුළුවන්.
මුලින්ම, ඔයා ආදරය කරපු කෙනා මැරුණු එක ගැන දුක් වෙන යාළුවන්ට නැත්නම් නෑදෑයන්ට උදව් කරන්න උත්සාහ කරන්න.
අනිත් අයට උදව් කරන එක, ජීවත් වෙලා වැඩක් නැහැ කියලා හිතන එකෙන් ගොඩ එන්න ඔයාට උදව්වක් වෙයි.
ප්‍රතිපත්තිය: “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා.”—ක්‍රියා 20:35.
12: මුල් තැන දෙන්න ඕනෙ මොනවාටද කියලා හිතන්න
වියෝදුක උදව් වෙනවා ජීවිතේ මුල් තැන දෙන්න ඕනෙ මොනවාටද කියලා තේරුම්ගන්න.
ඔයා ජීවිතය ගත කරන විදිහ ගැන හොඳට හිතලා බලන්න.
මුල් තැන දෙන්න ඕන කාරණා සම්බන්ධයෙන් යම් වෙනස්කම් කරන්න ඕනෙ කියලා හිතුණොත් ඒ වෙනස්කම් කරන්න.
ප්‍රතිපත්තිය: “උත්සව ගෙදරට යෑමට වඩා මරණ ගෙදරට යෑම හොඳය. මන්ද අවසානයේදී සෑම මිනිසෙකුම මිය යන බව ජීවත්ව සිටින අය හොඳින් සිතට ගත යුතුය.”—දේශනාකාරයා 7:2.
මොන දේ කළත් වියෝදුක සම්පූර්ණයෙන් නැති වෙන්නේ නැහැ. හැබැයි වියෝදුක දරාගන්න උදව් වෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න එකෙන් ලොකු සහනයක් ලැබෙනවා කියලා හුඟක් අය අද්දැකලා තියෙනවා. වියෝදුක දරාගන්න උදව් වෙන හැම කාරණයක් ගැනම මේ ලිපියේ සඳහන් වෙන්නේ නැහැ. හැබැයි මේ ලිපියේ තියෙන යෝජනා කිහිපයක් හරි ඔයා අදාළ කරගන්න උත්සාහ කළොත් ඔයාට ලොකු සහනයක් දැනෙයි.
a ‘පිබිදෙව්!’ සඟරාව යම් නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් නිර්දේශ කරන්නේ නැහැ.
-
-
වියෝදුකින් ඉන්න අයට සැබෑ සහනයක්!2018 පිබිදෙව්! | අංක 3
-
-
වියෝදුකට සහනයක්!
වියෝදුකින් ඉන්න අයට සැබෑ සහනයක්!
මෑත කාලවලදී හුඟදෙනෙක් වියෝදුක ගැන අධ්‍යයනය කරන්න පෙලඹිලා තියෙනවා. හැබැයි දක්ෂම විද්වතුන් හොයාගෙන තියෙන අදහස් බයිබලයේ කලින්ම සඳහන් වෙලා තිබුණා. ඒකෙන් හොඳින්ම පැහැදිලි වෙනවා බයිබලයේ තියෙන මඟ පෙන්වීම් කවදාවත් යල් පනින්නේ නැහැ කියලා. වියෝදුකින් ඉන්න අයට සැබෑ සහනයක් ගෙන දෙන, වෙන කිසිම තැනකින් හොයාගන්න බැරි තොරතුරු බයිබලයේ තියෙනවා. පහත තියෙන්නේ ඒවායින් කිහිපයක්.
මැරුණු අය දුක් විඳින්නේ නැහැ
දේශනාකාරයා 9:5 කියනවා “මිය ගිය අය කිසිවක් දන්නේ නැත” කියලා. එයාලගේ ‘කල්පනාව නැති වෙලා’ යනවා. (ගීතාවලිය 146:4) බයිබලයේ මරණය සමාන කරලා තියෙන්නේ තද නින්දකට.—යොහන් 11:11.
අපිට ආදරේ කරන දෙවි කෙනෙක් ඉන්නවා
බයිබලයේ ගීතාවලිය 34:15 කියනවා “යෙහෝවාa දෙවිගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ අයැදීම් වෙතටත් යොමු වී තිබේ” කියලා. හැම දෙයක්ම නිර්මාණය කරපු යෙහෝවා දෙවියන්ට අපේ හිතේ තියෙන දුක කියද්දී තමයි අපිට නියම සහනයක් ලැබෙන්නේ. මොකද එහෙම කරද්දී ඔහුගේ යාළුවෙක් වෙන්න අපිට අවස්ථාවක් ලැබෙන නිසා ඔහුගෙන් අපිට අවශ්‍ය ශක්තිය, සැනසීම ලබාගන්න පුළුවන් වෙනවා.
අනාගතය ගැන ප්‍රීතිමත් බලාපොරොත්තුවක් තියෙනවා
මිය ගිය අයට ආයෙත් ජීවිතය ලැබෙන කාලයක් ගැන හිතින් මවාගන්න. අනාගතයේදී දෙවියන් ඒ වගේ දෙයක් කරනවා කියලා බයිබලයේ කිහිප වතාවක්ම පොරොන්දු වෙලා තියෙනවා. ඒ කාලයේ අද්දකින ආශීර්වාද ගැන එක තැනක මෙහෙම සඳහන් වෙලා තියෙනවා. “දෙවි [අපේ] ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.”—එළිදරව් 21:3, 4.
මිය ගිය අයට ආයෙත් ජීවිතය දෙනවා කියලා යෙහෝවා දෙවියන් දීලා තියෙන ඒ පොරොන්දුව ඔහුට නමස්කාර කරන අයට වියෝදුක දරාගන්න උදව් වෙනවා. උදාහරණෙකට වැන්දඹුවක් වන ඈන්ගේ අද්දැකීම බලන්න. “කෙනෙක් මැරුණාට පස්සේ දුක් විඳින්නේ නැහැ. දෙවියන් ඔහුගේ මතකයේ ඉන්න අයට ආයෙත් ජීවිතය දෙනවා. බයිබලයේ කියලා තියෙන ඒ දේවල් මතක් කරගන්න එක මගේ සැමියා නැති දුක දරාගන්න මට හුඟක් උදව් වෙලා තියෙනවා.”
මේ සඟරාවේම කලින් ලිපියක සඳහන් වුණු ටීනා මෙහෙම කියනවා. “ටීමෝ මැරුණ දවසේ ඉඳන්ම මට දැනුණේ යෙහෝවා දෙවියන් මගේ ළඟින්ම ඉඳන් මට උදව් කරනවා කියලයි. මැරුණු අයට ආයෙත් ජීවිතය දෙනවා කියලා දෙවියන් දීලා තියෙන පොරොන්දුවත් මට ලොකු ශක්තියක් වෙලා තියෙනවා. ඒ දවස හිතින් මවාගන්න එක මට උදව් වෙනවා දුක දරාගෙන ඉන්න.”
බයිබලයේ තියෙන තොරතුරු විශ්වාස කරන මිලියන ගාණක් සෙනඟ ඒ දේ අද්දැකලා තියෙනවා. ඒත් බයිබලය කියන්නේ නිකම්ම සුරංගනා කතා පොතක් කියලා ඔයාට හිතෙනවාද? එහෙනම් බයිබලයේ තියෙන තොරතුරු ඇත්තයි කියලා පිළිගන්න තියෙන සාක්ෂි ගැන ඔයාම හොයලා බලන්න. වියෝදුකින් ඉන්න අයට සැබෑ සහනයක් ලැබෙන්නේ බයිබලයෙන් විතරයි කියලා තේරුම්ගන්න ඒක ඔයාට උදව් වෙයි.
මැරුණු අය ගැන බයිබලයේ තියෙන පොරොන්දුව ගැන තවත් දැනගන්න
jw.org වෙබ් අඩවියේ තියෙන වීඩියෝ බලන්න.
මැරුණු අයට ආයෙත් ජීවිතය ලැබෙනවා කියලා බයිබලයේ පොරොන්දු වෙලා තියෙනවා
කෙනෙක් මැරුණාම මොකද වෙන්නේ? බයිබලයේ ඒ ගැන කියන දේ අපිට ලොකු සහනයක්
හොඳ පණිවිඩයක් දැනගන්න ආසද?
නරක ආරංචි පිරුණු මේ කාලේ හොඳ පණිවිඩයක් දැනගන්න පුළුවන් කොහෙන්ද?
බයිබල් ඉගැන්වීම් > සතුට සහ සාමය යටතේ බලන්න
a සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.
-