විශ්වාසය නොසැලී ඉන්න උදව් වන ගුණාංගයක්
දෙවියන් එක්ක අපිට තියෙන බැඳීම කඩන්න සාතන් කොච්චර නම් උත්සාහ කරනවාද! ඒත් අපි තුළ විශ්වාසය තියෙනවා නම් අපිට පුළුවන් ‘දුෂ්ටයා අපි දෙසට විදින සියලුම ගිනිමය ඊතල නිවා දමන්න.’ (එෆී. 6:16) යේසුස් ගෝලයන්ට කිව්වේ “අබ ඇටයක් තරම්වත් විශ්වාසයක් ඔබ තුළ ඇත්නම් ඔබ මේ කන්දට, ‘මෙතැනින් අතනට යන්න’ කියා කිව්වොත් එය එතැනට යයි” කියලා. (මතෙ. 17:20) දෙවියන් එක්ක අපිට තියෙන බැඳීම තව ශක්තිමත් කරගන්න විශ්වාසය අත්‍යවශ්‍ය නිසා අපි මේ ප්‍රශ්නවලට උත්තර බලමු. නොසැලෙන විශ්වාසයක් තියෙන කෙනෙක් කොයි වගේද? විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් කොයි වගේ කෙනෙක්ටද? විශ්වාසය ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද? අපි විශ්වාසය තියන්න ඕනෙ කවුරු මතද?—රෝම 4:3.
නොසැලෙන විශ්වාසයක් තියෙන කෙනෙක්
කෙනෙක් තුළ නොසැලෙන විශ්වාසයක් තියෙනවා නම් එයා බයිබලේ තියෙන දේවල් නිකම්ම පිළි අරන් නවතින්නේ නැහැ. මොකද ‘භූතයන් පවා [ඇත්තේ එක දෙවි කෙනෙකු කියා] විශ්වාස කරනවා. ඒ විශ්වාසය නිසා ඔවුන් බියෙන් වෙවුලනවා’ කියලා බයිබලේ කියනවා. (යාකො. 2:19) එහෙමනම් නොසැලෙන විශ්වාසයක් තියෙන කෙනෙක් කොයි වගේද?
හැම දවසකම ඉර පායනවා කියලා අපිට විශ්වාසයි වගේ දෙවියන්ගේ පොරොන්දු ඉටු වෙනවා කියලා අපිට විශ්වාසයි
මේ පැති දෙක එයාගෙන් දකින්න පුළුවන්. (1) එයා ‘තමන් බලාපොරොත්තු වන දේවල් ඉටු වන බව කිසි ලෙසකින්වත් සැක කරන්නේ නැහැ.’ (හෙබ්‍රෙ. 11:1අ) ඔයාට නොසැලෙන විශ්වාසයක් තියෙනවා නම් යෙහෝවා දෙවියන් කියන හැම දෙයක්ම සත්‍යයයි කියලත් ඒවා ඉටු වෙනවා කියලත් ඔයාට සැකයක් නැහැ. දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට කියපු මේ දේ බලන්න. ‘රාත්‍රියත් දවාලත් නියමිත වේලාවට නොපැමිණෙන පිණිස මා දවාල සහ රාත්‍රිය සමඟ ඇති කරගත් ගිවිසුම කඩ කිරීමට කිසිවෙකුට කිසිදා නුපුළුවන. එසේම මාගේ සේවකයා වන දාවිත් සමඟ මා ඇති කරගත් ගිවිසුමත් කිසිදා කඩ නොවන්නේය.’ (යෙරෙ. 33:20, 21) ‘හෙට ඉර පායන එකක් නැති වෙයිද’ කියලා හිතලා ඔයා කවදා හරි කලබල වෙලා තියෙනවාද? පොළොව ඒකේ අක්ෂය වටේ කැරකෙන ගමන් හිරු වටේ කැරකෙන්න පිහිටුවලා තියෙන නීති ගැන ඔයාට සැකයක් නැහැ. එහෙමනම් ඒ නීති පිහිටවපු තැනැත්තාගේ පොරොන්දු සැක කරන්න හේතුවක් තියෙනවාද?—යෙසා. 55:10, 11; මතෙ. 5:18.
(2) එයා ‘තමන් විශ්වාස කරන දේ ඇසට නොපෙනුණත් ඒවා සැබෑ බවට ස්ථිර සාක්ෂි ඇති නිසා ඒවා නිසැකව පිළිගන්නවා.’ (හෙබ්‍රෙ. 11:1ආ) මේ ගැන හිතන්න. දරුවෙක් ඔයාගෙන් අහනවා ‘පේන්නේ නැති දේවල් කොහොමද අපි විශ්වාස කරන්නේ’ කියලා. එතකොට ඔයා කියයි ‘පුතේ, හුළඟ ගැන හිතන්න. අපිට ඒක පේන්නේ නැහැ. ඒත් ඒක තියෙනවා කියලා අපිට විශ්වාසයි. මොකද හුළං හමද්දී ඒක අපිට දැනෙනවා. ගස් කොළන් හෙළවෙනවා අපි දකිනවා.’ නොපෙනෙන දෙයක් වුණත් තියෙනවා කියන්න සාක්ෂි තියෙද්දී ඒ ගැන විශ්වාස කරන්න පුළුවන් කියලා දරුවා තේරුම්ගන්නවා.—රෝම 1:20.
විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් කොයි වගේ කෙනෙක්ටද?
විශ්වාසය ගොඩනැඟෙන්නේ ස්ථිර සාක්ෂි මත නිසා විශ්වාසයක් ඇති කරගන්න නම් කෙනෙක් මුලින්ම “සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක්” ලබාගන්න ඕනේ. (1 තිමෝ. 2:4) ඒත් දැනුම විතරක් මදි. පාවුල් කිව්වා “කෙනෙකු විශ්වාසය ඇති කරගන්නේ ඔහුගේ හදවතින්ය” කියලා. (රෝම 10:10) කෙනෙක් සත්‍ය ඉගැන්වීම් පිළිගත්තාට මදි. ඒවා ගැන එයාට ලොකු අගයක් ඇති වෙන්නත් ඕනේ. එතකොටයි එයා විශ්වාස කරන දේවල් ජීවිතේට අදාළ කරගන්නේ. (යාකො. 2:20) කෙනෙක්ට සත්‍ය ඉගැන්වීම් ගැන අගයක් නැත්නම් මොන තරම් පැහැදිලි සාක්ෂි තිබුණත් එයා ඒවා පිළිගන්නේ නැහැ. මොකද එයා වෙනස් වෙන්න කැමති නැහැ. (2 පේතෘ. 3:3, 4; යූද් 18) ඒ නිසයි අතීතයේදී සමහරු ආශ්චර්යයන් දැක්කත් දෙවියන් ගැන විශ්වාසයක් ඒ අයට ඇති වුණේ නැත්තේ. (ගණන්. 14:11; යොහ. 12:37) සත්‍ය ඉගැන්වීම් අගය කරන කෙනෙක් තුළ විතරයි දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වෙලා විශ්වාසය කියන ගුණාංගය ඇති වෙන්නේ.—ගලා. 5:22; 2 තෙස. 2:10, 11.
ශක්තිමත් විශ්වාසයක් දාවිත් ඇති කරගත්තේ කොහොමද?
දාවිත්ට ශක්තිමත් විශ්වාසයක් තිබුණා. (හෙබ්‍රෙ. 11:32, 33) ඒත් එයාගේ පවුලේ හැමෝටම ඒ වගේ විශ්වාසයක් තිබුණේ නැහැ. උදාහරණෙකට ගොලියත් ගැන දාවිත් ප්‍රශ්න කරපු වෙලාවේ එයාගේ අයියා එලියාබ් හැසිරුණ විදිහෙන් එයාට ශක්තිමත් විශ්වාසයක් තිබුණේ නැහැ කියලා තේරෙනවා. (1 සාමු. 17:26-28) ශක්තිමත් විශ්වාසයක් කියන්නේ දෙමාපියන්ගෙන් උරුම වෙන දෙයක් නෙමෙයි. දාවිත්ට ශක්තිමත් විශ්වාසයක් ඇති වුණේ එයා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගත්ත නිසයි.
ඒ ගැන 27වෙනි ගීතිකාවේ එයා සඳහන් කරනවා. (1වෙනි පදය) අතීතයේදී එයා අද්දැක්ක දේවල් ගැනත් එයාගේ සතුරන්ට යෙහෝවා දෙවියන් දඬුවම් කරපු විදිහ ගැනත් දාවිත් හොඳින් කල්පනා කළා. (2වෙනි සහ 3වෙනි පද) නමස්කාර කරන්න දෙවියන් ඇති කරලා තිබුණ සැලැස්ම එයා අගය කළා. (4වෙනි පදය) දාවිත් අනිත් අයත් එක්ක ශුද්ධ කූඩාරමේදී දෙවියන්ට නමස්කාර කළා. (6වෙනි පදය) එයා යාච්ඤා කරලා දෙවියන්ගේ උදව් ඉල්ලුවා. (7වෙනි සහ 8වෙනි පද) යෙහෝවා දෙවියන්ගෙන් මඟ පෙන්වීම් ලබන්න එයාට ලොකු කැමැත්තක් තිබුණා. (11වෙනි පදය) දෙවියන් ගැන තිබුණ විශ්වාසය දාවිත් වැදගත් දෙයක් විදිහටයි සැලකුවේ. “විශ්වාසය නොතිබුණේ නම්, අද මාගේ තත්වය කුමක් වේද” කියලා එයා කිව්වේ ඒ නිසයි.—13වෙනි පදය.
විශ්වාසය ශක්තිමත් කරගන්නේ කොහොමද?
විශ්වාසයක් ගොඩනැඟෙන්නේ නිවැරදි දැනුම මත. ඒ නිසා බයිබලය, ඒ මත පදනම් ප්‍රකාශන අපි අධ්‍යයනය කරද්දී අපි තුළ තියෙන විශ්වාසය ශක්තිමත් වෙනවා. (ගීතා. 1:2, 3) අධ්‍යයනය කරද්දී හිතන්නත් කාලේ ගන්න. එතකොට යෙහෝවා දෙවියන් ගැන අපිට තියෙන අගය වැඩි වෙනවා. අගය වැඩි වෙද්දී දෙවියන්ට නමස්කර කරන්න අපි තුළ ආසාවක් ඇති වෙයි. එතකොට අපි රැස්වීම්වලට සහභාගි වෙලා, දේශනා සේවයේ හවුල් වෙලා අපේ විශ්වාසය ක්‍රියාවෙන් පෙන්නනවා. (හෙබ්‍රෙ. 10:23-25) නොසැලෙන විශ්වාසයක් තියෙන කෙනෙක් අධෛර්යය නොවී ‘නිතරම යාච්ඤා’ කරනවා. (ලූක් 18:1-8) ඒ නිසා දෙවියන් ‘ඔයා ගැන සැලකිලිමත්’ කියන විශ්වාසයෙන් “නොකඩවා යාච්ඤා කරන්න.” (1 තෙස. 5:17; 1 පේතෘ. 5:7) හරි දේ කරන්න විශ්වාසය අපිව පොලඹවනවා. අපි හරි දේ කරද්දී අපේ විශ්වාසය තව ශක්තිමත් වෙනවා.—යාකො. 2:22.
යේසුස් ගැන විශ්වාසය තියන්න
යේසුස් ගෝලයන්ට මෙහෙම කිව්වා. “දෙවි කෙරෙහි විශ්වාසය තබන්න. මා කෙරෙහිත් විශ්වාසය තබන්න.” (යොහ. 14:1) ඒ කියන්නේ අපි යෙහෝවා දෙවියන් ගැන විතරක් නෙමෙයි යේසුස් ගැනත් විශ්වාසය තියන්න ඕනේ. ඒක කරන්න පුළුවන් විදි 3ක් බලමු.
යේසුස් ගැන විශ්වාසය තියන්න පුළුවන් කොහොමද?
(1) යේසුස්ගේ ජීවිත පූජාව දෙවියන් ඔයා වෙනුවෙන්ම දුන්න තෑග්ගක් කියලා හිතන්න. පාවුල් මෙහෙම කිව්වා. “මට ප්‍රේම කර මා වෙනුවෙන් තම ජීවිතය පුද කළ දෙවිගේ පුත්‍රයා කෙරෙහි විශ්වාසය තබන්න.” (ගලා. 2:20) ඔයා යේසුස් ගැන විශ්වාසය තියනවා නම් ඔහුගේ ජීවිත පූජාව නිසා ඔයාගේ පව්වලට සමාව ලැබෙනවා කියලත් සදහටම ජීවත් වීමේ බලාපොරොත්තුව තියෙනවා කියලත් ඔයා විශ්වාස කරනවා. ඒක යෙහෝවා දෙවියන් ඔයාට ආදරේ පෙන්නපු උතුම්ම විදිහ කියලත් ඔයා විශ්වාස කරනවා. (රෝම 8:32, 38, 39; එෆී. 1:7) යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ලබන්න ඔයාට පුළුවන් කියලා ඔයා විශ්වාස කරද්දී අධෛර්යය කරවන හැඟීම් පරද්දන්න ඔයාට පුළුවන්.—2 තෙස. 2:16, 17.
(2) යාච්ඤා කරලා දෙවියන්ට තව ළං වෙන්න. යේසුස්ගේ ජීවිත පූජාව නිසා ‘කිසි බියක් සැකක් නොමැතිව දෙවියන්ට යාච්ඤා කරන්න අපිට පුළුවන්. එහෙයින් අපිට උපකාර අවශ්‍ය වේලාවේදීම ඔහුගේ දයාව හා මහත් කරුණාව අපිට ලැබෙනවා.’ (හෙබ්‍රෙ. 4:15, 16; 10:19-22) වැරදි දෙයක් කරන්න අපි තුළ පෙලඹීමක් ඇති වෙද්දී ඒකට අහු නොවී ඉන්න යාච්ඤාව උදව්වක්.—ලූක් 22:40.
(3) යේසුස්ට කීකරු වෙන්න. යොහන් මෙහෙම කිව්වා. “පුත්‍රයා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තාට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලැබෙයි. නමුත් පුත්‍රයාට අකීකරු වන තැනැත්තා සමඟ දෙවි උදහස් වන අතර ඔහුට ජීවනයද අහිමි වෙයි.” (යොහ. 3:36) එතන කියන්නේ යේසුස් ගැන විශ්වාසය තියන්නේ නැති කෙනෙක් ඔහුට අකීකරු වෙනවා කියලයි. ඒ කියන්නේ යේසුස්ට කීකරු වෙද්දී අපි පෙන්නන්නේ අපිට ඔහුව විශ්වාසයි කියලා. යේසුස්ට කීකරු වෙන්න පුළුවන් එක විදිහක් තමයි ඔහු උගන්වපු, ආඥා කරපු දේවලට කීකරු වෙන එක. (ගලා. 6:2) “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” මාර්ගයෙන් ඔහු දෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න එකත් යේසුස්ට කීකරු වෙන්න පුළුවන් විදිහක්. (මතෙ. 24:45) අපි යේසුස්ට කීකරු වෙද්දී කුණාටු වගේ එන ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්න අපිට පුළුවන්.—ලූක් 6:47, 48.
“ඔබේ විශ්වාසය ගොඩනඟාගන්න”
දවසක් කෙනෙක් යේසුස්ට මෙහෙම කිව්වා. “මට විශ්වාසය තිබෙනවා. ඒත් මගේ විශ්වාසය ශක්තිමත් කරගන්න මට උපකාර කරන්න.” (මාක් 9:24) තමන්ගේ විශ්වාසය තව වැඩි කරගන්න ඕනෙ කියලා එයා නිහතමානීව පිළිගත්තා. ඒ කෙනා වගේ අපිටත් යම් අවස්ථාවලදී අපි තුළ තියෙන විශ්වාසය තව වැඩි කරගන්න වෙයි. ඒ නිසා දැන් ඉඳන්ම අපේ විශ්වාසය තව ශක්තිමත් කරගමු. බයිබලේ අධ්‍යයනය කරලා, ඒ ගැන හොඳට හිතද්දී දෙවියන් ගැන අපේ හිතේ තියෙන අගය තව වැඩි වෙනවා. අගය වැඩි වෙද්දී අපේ විශ්වාසයත් ශක්තිමත් වෙනවා. අපි සභාවේ අය එක්ක දෙවියන්ට නමස්කාර කරද්දී, අපේ බලාපොරොත්තුව ගැන මිනිසුන්ට කියද්දී, අත් නෑර යාච්ඤා කරද්දී අපේ විශ්වාසය තව වැඩි වෙනවා. අපි අපේ විශ්වාසය තව ශක්තිමත් කරගද්දී අපිට ලබන්න පුළුවන් වටිනාම දේ අපිට ලැබෙනවා. ඒ තමයි දෙවියන්ගේ ආදරය.—යූද් 20, 21.