පාඨකයන්ගෙන් ප්‍රශ්න
“පටු දොරකඩින් ඇතුල්වෙන්ට වීර්යකරන්න [මහත් වීර්යයකින් යුතුව ඔබවම වෙහෙස වන්න, NW]. මක්නිසාද බොහෝ දෙනෙක් ඇතුල්වෙන්ට සොයන නුමුත් බැරිවන්නේයයි නුඹලාට කියමි” යයි යේසු උනන්දු කළා. (ලූක් 13:24) ඔහු කුමක්ද අදහස් කළේ? තවද එය අදදිනට අදාළ වන්නේ කෙසේද?
මෙම සිත්ගන්නා කොටස එහි පසුබිමට සම්බන්ධ කළොත්, එය හොඳින්ම තේරුම්ගැනීමට අපට හැකි වෙයි. තම මරණයට මාස හයකට පමණ කලින්, දේවමාළිගාව නැවත කැප කිරීමේ සංවත්සරය පවත්වද්දී, යේසු යෙරුසලමෙහි සිටියා. තමා දෙවිගේ බැටළුවන්ගේ එඬේරා වීම ගැන ඔහු කතා කළත්, සාමාන්‍යයෙන් යුදෙව්වන් සවන් දීමට ප්‍රතික්ෂේප කළ නිසා ඔවුන් එවන් බැටළුවන් අතර නොසිටි බව ගෙනහැර දැක්වූවා. තම පියා සමඟ ඔහු ‘ඒකත්වයක’ සිටින බව පැවසූ විට යුදෙව්වන් ‘ඔහුට ගසන පිණිස ගල් අතට ගත්තා.’ ඔහු යොර්දානයෙන් එගොඩ වී පෙරියට පලාගියා.—යොහන් 10:1-40.
එහිදී මනුෂ්‍යයෙක්: “ස්වාමීනි, ගැළවීම ලබන්නෝ ස්වල්ප දෙනෙක්දැයි” ඇසුවා. (ලූක් 13:23) ඒ කාලයේ ගැළවීම ලැබීමට සුදුසු වන්නේ සීමිත සංඛ්‍යාවක් පමණක් බව යුදෙව්වන් විශ්වාස කළ නිසා, ඔහු විසින් ඇසීමට එය යෝග්‍ය ප්‍රශ්නයක් වුණා. ඔවුන්ට තිබුණු ආකල්පය සැලකිල්ලට ගත්තොත්, ඔවුන්ගේ මතයට අනුව ඒ ස්වල්පදෙනාට ඇතුළත් වූයේ කවුද කියා සිතා බැලීම අමාරු නැහැ. පසුකාලීන සිදුවීම්වලින් පැහැදිලි වූ පරිද්දෙන්, ඔවුන්ට මොනතරම් වැරදිසහගත අදහසක් තිබුණාද!
අවුරුදු දෙකකට පමණ, යේසු ඔවුන් අතර උගන්වමින්, ආශ්චර්යයන් සිදු කරමින්, ස්වර්ගික රාජ්‍යයෙහි උරුමක්කාරයන් වීමේ ප්‍රස්තාව ඉදිරිපත් කරමින් කාලය ගත කර තිබුණා. මොන ප්‍රතිඵල ඇතුවද? ඔවුන් සහ විශේෂයෙන්ම ඔවුන්ගේ නායකයන් තමුන් ආබ්‍රහම්ගේ පැවතෙන්නන් සහ දෙවිගේ ව්‍යවස්ථාවේ හිමිකාරයන් වීම ගැන ආඩම්බරව සිටියා. (මතෙව් 23:2; යොහන් 8:31-44) එනමුත් කදිම එඬේරාගේ හඬ හඳුනාගන්නවත් එයට ප්‍රතිචාරය දක්වන්නවත් ඔවුන් කැමති වුණේ නැහැ. ඔවුන් ඉදිරියෙහි ඇත්තටම දොරක් විවෘත වී තිබුණා වගෙයි. ඒ තුළින් යෑමෙන් ලබන්න තිබුණු ප්‍රධාන තිළිණය වූයේ රාජ්‍යයෙහි සාමාජිකත්වයයි. එනමුත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළා. යේසුගේ සත්‍ය පණිවිඩයට කන් දී එයට ප්‍රතිචාරය දක්වා ඔහු සමඟ රැඳී සිටියේ, බොහෝදුරට පහත් පංතිවලින් පැමිණි සාපේක්ෂ වශයෙන් යුදෙව්වන් කිහිපදෙනෙක් පමණයි.—ලූක් 22:28-30; යොහන් 7:47-49.
පෙන්තකොස්ත දවසේදී, ශුද්ධාත්මයෙන් ආලේප කරනු ලැබීමට සිටියේ එම පහත් පංතිවල අයයි. (ක්‍රියා 2:1-38) විවෘතව තිබූ ප්‍රස්තාව අල්ලාගැනීමට අසමත් වීම නිසා, හැඬීමටත් දත්මිටිකෑමටත් සිදු වන අයුතුකම් කරන්නන් අතර ඔවුන් සිටියේ නැහැ.—ලූක් 13:27, 28.
එබැවින්, පළමු සියවසේ ‘බොහෝදෙනාට’ පොදුවේ ගත්තොත් යුදෙව්වන්, විශේෂයෙන්ම ආගමික නායකයන් අයත් වුණා. මොවුන් දෙවිගේ අනුග්‍රහය ඕනෑ බවට කියා සිටියත්, දෙවිගේ ප්‍රමිතිවලට අනුව නොව තමුන්ගේ ඒවාට අනුව පමණයි එය ලබන්න කැමති වුණේ. ඊට වෙනස්ව, රාජ්‍යයෙහි කොටස්කරුවන් වීමට දැක්වූ අවංක උනන්දුව හේතුවෙන් ප්‍රතිචාරය දැක්වූ සාපේක්ෂ වශයෙන් ‘ස්වල්පදෙනා,’ ක්‍රිස්තියානි සභාවේ ආලේප ලත් සාමාජිකයන් බවට පත් වුණා.
දැන් අපේ කාලයෙහි සිදු වන වඩාත් පුළුල් අදාළ වීම සලකා බලන්න. ක්‍රිස්තියානි ලෝකයේ පල්ලිවලට යන අසංඛ්‍යාත පුද්ගලයන් සංඛ්‍යාවකට උගන්වා ඇත්තේ තමුන් ස්වර්ගයට යන බවයි. කෙසේවෙතත්, ඔවුන්ගේ අභිප්‍රාය ශුද්ධ ලියවිල්ලේ නිවැරදි ඉගැන්වීම් මත පදනම් වී නැහැ. කලින් යුදෙව්වන් සමඟ වූවාක් මෙන්, ඔවුන්ට දෙවිගේ අනුග්‍රහය අවශ්‍ය වන්නේ තම කොන්දේසි මත පමණයි.
එනමුත්, රාජ්‍ය පණිවිඩයට නිහතමානීව ප්‍රතිචාරය දක්වා, යෙහෝවාට පෞද්ගලිකව කැප වී, ඔහුගේ අනුග්‍රහය ලැබීමට සුදුසු වූ තත්වයකට පිවිස ඇති සාපේක්ෂ වශයෙන් ස්වල්ප සංඛ්‍යාවක් අපේ කාලයේදී ඉඳ තිබෙනවා. ප්‍රතිඵලයක් වශයෙන්, මෙය ඔවුන්ව “රාජ්‍යයේ පුත්‍රයෝ” බවට පත්වීමට මඟ පාදා තිබෙනවා. (මතෙව් 13:38) එවන් ආලේප ලත් ‘පුත්‍රයන්’ ඇරයුම් ලැබීමට පටන්ගත්තේ පො.යු. 33 පෙන්තකොස්තයේදියි. දෙවි තම සෙනඟ සමඟ කටයුතු කරන අන්දම බැලුවොත්, ස්වර්ගික පංතියේ සාමාජිකයන් මූලිකව කැඳවා ඇති බව පැහැදිලි වන බව යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝ කලක් පුරා පවසා තිබෙනවා. එබැවින්, මෑත වර්ෂවලදී බයිබල් සත්‍යය ඉගෙන ඇති අය තේරුම්ගෙන ඇත්තේ පාරාදීස පොළොවක් මත සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව දැන් ඉදිරිපත් කරනු ලබමින් තිබෙන බවයි. ඇත්තටම ස්වර්ගයට යෑමේ අපේක්ෂාව ඇති ආලේප ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත අඩු වෙමින් පවතින ඉතිරි කොටසට වඩා ඔවුන්ගේ සංඛ්‍යාව බෙහෙවින් වැඩි වී තිබෙනවා. ලූක් 13:24 ස්වර්ගයට යන්න අපේක්ෂා නොකරන අයට මූලික වශයෙන් අදාළ නොවුණත්, ඔවුන් සඳහා එහි ඇත්තටම ප්‍රඥාවන්ත උපදෙස් අඩංගුයි.
මහත් වීර්යයකින් යුතුව අපව වෙහෙස වීමට උනන්දු කරවීමෙන්, තමාවත් තම පියාවත් අපේ පිවිසීමට බාධා පමුණුවන්න බාධක බොහොමයක් අප ඉදිරියෙහි තබන බව යේසු පවසමින් සිටියා නොවෙයි. එනමුත් දෙවිගේ අවශ්‍යතා කොයි වගේද කිවහොත්, යෝග්‍ය නොවන අයට ඇතුල් වෙන්න අවකාශයක් නොලැබෙන බව ලූක් 13:24න් අපට අවබෝධ වෙනවා. “මහත් වීර්යයකින් යුතුව ඔබවම වෙහෙස වන්න” යන්නෙන් පොර ඇල්ලීමක්, පෞද්ගලිකව මහත් ආයාසයක් දැරීමක් අදහස් කරනවා. මේ අනුව ‘මම මහත් ආයාසයක් දරනවාද’ කියා අපට අපෙන්ම අසන්න පුළුවන්. ලූක් 13:24හි අදහස මෙසේ දක්වන්න පුළුවන්, ‘පටු දොරකඩින් ඇතුල් වන්න මම මහත් වීර්යයකින් මාවම වෙහෙස වන්න ඕනෙ; මොකද බොහෝදෙනෙක් ඇතුල් වෙන්න සෙව්වත් බැරි වෙන්න යනවා. ඇත්තටම මම මහත් වීර්යයකින් මාවම වෙහෙස කරවනවාද? පුරාණ ක්‍රීඩාංගණයක, ත්‍යාගය දිනාගන්න තමාගේ උපරිමයම දෙන මලල ක්‍රීඩකයෙකුට මම සමානද? එවැනි මලල ක්‍රීඩකයෙක් අඩ සිතකින්, උනන්දුවක් නැතුව, සැහැල්ලුවට ගෙන ක්‍රීඩා කරන්න යන්නේ නැහැ. මම ඒ වගේද?’
ඇතැම්විට සමහරුන් දොරෙන් ඇතුල් වෙන්න බලන්නේ තමුන්ට පහසු වේලාවක හෝ පහසු වේගයකින් පමණක් බව යේසුගේ වචනවලින් අදහස් වෙනවා. එවැනි ආකල්පයක් යම් යම් සාක්ෂිකරුවන්ට බලපාන්න පුළුවන්. සමහරුන් මෙසේ තර්ක කළ හැකියි: ‘අවුරුදු ගණනාවක් පුරාම මහත් ආයාසයක් දරමින්, ගොඩක් පරිත්‍යාග කරමින් ඇප කැප වී කටයුතු කළ ක්‍රිස්තියානීන් ගැන මම දන්නවා; ඒත් ඔවුන්ගේ මරණය ළං වෙද්දී පවා මෙම දුෂ්ට පිළිවෙළේ අවසානය ඇවිල්ලා තිබුණේ නැහැ. ඒ නිසා, වඩාත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න, මමත් වේගය අඩාල කළා නං, හොඳයි.’
එසේ සිතන එක පහසු වුණත්, එසේ කිරීම ඇත්තටම ප්‍රඥාවන්තද? නිදසුනක් ලෙස ප්‍රේරිතයන් එසේ කල්පනා කළාද? කිසිසේත් නැහැ. ඔවුන් තම මරණය දක්වාම සැබෑ නමස්කාරය වෙනුවෙන් මුළු වැර යොදා කටයුතු කළා. උදාහරණයකට පාවුල්ට මෙසේ කියන්න පුළුවන් වුණා: “අප ප්‍රසිද්ධ කරමින් සිටින තැනැත්තා [ක්‍රිස්තුස්ය] . . . මා ඇත්තටම වෙහෙස මහන්සි වී වැඩ කරන්නේ මෙම ඉලක්කය පෙරදැරි කරගෙනයි; බලය සමඟින් මා තුළ ක්‍රියාත්මක වන ඔහුගේ ක්‍රියා කිරීමේ ප්‍රකාරයට එකඟව මාවම වෙහෙසවමින් සිටින්නෙමි.” පසුව ඔහු මෙලෙසද ලිව්වා: ‘ඒ පිණිස අපි වැඩ කරමු, වීර්යය කරමු, මක්නිසාද සියලු මනුෂ්‍යයන්ගේ, ප්‍රධානකොට ඇදහිලිවන්තයන්ගේ ගැළවුම්කාරයා වූ ජීවමාන දෙවි කෙරෙහි අපි බලාපොරොත්තු වී සිටිමු.’—කොලොස්සි 1:28, 29, NW; 1 තිමෝති 4:10.
තමාව වෙහෙසවීමේදී පාවුල් සහතික ලෙසම හරි දේ කළ බව අප දන්නවා. “මම යහපත් යුද්ධයෙහි යුද්ධකළෙමි, මම දිවීම කෙළවරකළෙමි, මම ඇදහිල්ල රක්ෂා කළෙමි” යනුවෙන් පාවුල් පැවසුවාක් මෙන් අපට කියන්න පුළුවන් නම්, අප කොතරම් සෑහීමකට පත් වෙනවාද! (2 තිමෝති 4:7) එමනිසා ලූක් 13:24හි වාර්තා වී තිබෙන යේසුගේ වදන්වලට එකඟව අප හැමටම අපෙන් මෙසේ ඇසිය හැකියි: ‘මම කඩිසරකමකින් සහ උත්සාහවන්තකමින් දේවල නිරත වී සිටිනවාද? ‘පටු දොරකඩින් ඇතුල් වෙන්ට මහත් වීර්යයකින් යුතුව ඔබවම වෙහෙස වන්න’ යන යේසුගේ අනුශාසනාව හෘදයට ගෙන අදාළ කරගන්න බවට මම ප්‍රමාණවත් මෙන්ම නිතිපතා සාක්ෂි දෙනවාද?’