අනුකරණය කිරීම සඳහා යටහත් පහත්කමේ ආදර්ශ
“ඔබගේ ම යටහත් පහත්කම මා උසස් කරනු ඇත.”—ගීතාවලිය 18:35, NW.
1. වොච් ටවර් සමිතියේ කළින් සිටි සභාපති වරයෙකු තුළ යටහත් පහත්කම පිළිබඳ ව කිනම් සාක්ෂි දැකිය හැකි වී ද?
අඩි හයක් උසැති, රාත්තල් 200කට වඩා වැඩි බරකින් යුත් ජෝසෆ් එෆ්. රදෆර්ඩ් හට තේජස් පෙනුමක් තිබිණි. ඔහුට ප්‍රබල කට හඬක් ද තිබූ අතර, පෙර කවරදාකවත් නොකළ අයුරින් යෙහෝවඃ වහන්සේගේ නාමය දැනුම් දීමට පමණක් නොව, නමුත් ක්‍රිස්තියානි ලෝකයේ ආගම් “මලපතක් හා මුදල් උපයන වංචාවක්” යයි නම් කරමින් එහි ආගමික නායකයන්ගේ දෙයාකාර ජීවිතය හෙළි කිරීමට ද ඔහු එය යොදා ගත්තේ ය. එහෙත් ඔහුගේ කථාවන් ප්‍රබල වුවද, මූලස්ථානයේ බෙතෙල් පවුල සමඟ ඔහු යාච්ඤා කරන විට, කුඩා සිඟිති පිරිමි දරුවෙක් තම තාත්තාට කථා කරන්නාක් මෙන් වූ ඔහුගේ හඬ, ඔහුගේ සැදුම්කරුවාණන් සමඟ ඔහුට තිබූ කිට්ටු සම්බන්ධය හා තමාගේ යටහත් පහත්කම ගැන මෙසේ සාක්ෂි දුන්නේ ය. එසේ ය, ඔහු කුඩා දරුවෙකු තරම් යටහත් පහත් කෙනෙකු විය.—මතෙව් 18:3, 4.
2. ලෝකයේ පුද්ගලයන්ට වඩා හාත්පසින් ම වෙනස් ව, යෙහෝවඃ වහන්සේගේ සේවකයන් කැපී පෙනෙන්නේ කිනම් විශේෂ පැත්තෙන් ද?
2 යෙහෝවඃ වහන්සේගේ සැබෑ සේවකයන් සියලු දෙනා ම යටහත් පහත් අය බවට කිසිඳු සැකයක් නැත. මේ සම්බන්ධයෙන් බලන කළ, ලෝකයේ ජනයාට වඩා ඔවුහු හාත්පසින් ම වෙනස් වෙති. කෙදිනකටත් වඩා අද දින එය උඩඟු පුද්ගලයන්ගෙන් පිරී තිබේ. උසස් පංතියේ බලවත්තු, ධනවත් හා උගත් අය, එමෙන් ම දුප්පතුන්ගෙන් බොහොමයක් හා වරප්‍රසාද නොලත් පංතිවල අය ද වෙනත් ආකාරවලින් උඩඟු අය වෙත්.
3. උඩඟුකමේ ඵල සම්බන්ධ ව කුමක් කිව හැකි ද?
3 උඬගුකම නිමාවක් නැති ආරවුල් හා දුඃඛිත තත්ත්වයන්ට හේතු වෙයි. ඇත්තෙන් ම, විශ්වයේ සියලු ම දුක් වේදනා ආරම්භ වූයේ, එක්තරා දේවදූතයෙක් උඩඟු වී, මැවුම්කරුවාණන් වන යෙහෝවඃ දෙවියන් වහන්සේට පමණක් හිමි විය යුතු ආකාරයට තමා හට නමස්කාර කරනු ලැබීමට ඔහුට වුවමනා වූ නිසා ය. (මතෙව් 4:9, 10) එපමණක් ද නොව, සාතන් වන යක්ෂයා බවට තමා ව ම පත්කර ගත්, එම තැනැත්තා පළමු ස්ත්‍රිය වූ ඒව ව රැවටීමෙහි ලා සාර්ථක වූයේ ඇගේ උඩඟුකම මත බලපෑම් කිරීමෙන් ය. තහනම් ඵලයෙන් කෑවොත් යහපත හා නපුර යන දෙක ම දැන ගෙන දෙවියන් වහන්සේ හා සමාන වීමට තමාට හැකි බව, ඔහු ඈට පොරොන්දු විය. ඈ යටහත් පහත් ව සිටියා නම්, ‘දෙවියන් වහන්සේට සමාන වීමට මට වුවමනා විය යුත්තේ මන්ද?’ යයි ඈට පවසන්නට තිබිණි. (උත්පත්ති 3:4, 5) අද දින මිනිස් වර්ගයා සිටින කායික, මානසික හා සදාචාරාත්මක අභාග්‍යසම්පන්න තත්ත්වය ගැන අප සලකා බලන විට, මිනිසුන්ගේ පැත්තෙන් උඩඟුකමට කිසි ම සමාවක් දිය නොහැකි බවට සහතික ය! යෙහෝවඃ වහන්සේ, “උඩඟුකමටත් අහංකාරයටත්” වෛර කරන බව අප කියවන විට ඒ ගැන පුදුම වීමට දෙයක් නැත! (හිතෝපදේශ 8:13) දේව වචනය වන බයිබලයේ සොයා ගත හැකි යටහත් පහත් අයගේ ආදර්ශ, උඩඟු පුද්ගලයන් සියල්ලන්ට වඩා හාත්පසින් ම වෙනස් ය.
යෙහෝවඃ දෙවියන් වහන්සේ යටහත් පහත් ය
4. යෙහෝවඃ වහන්සේ යටහත් පහත් බව කුමන ශුද්ධ ලියවිලිවලින් පෙන්වයි ද?
4 යෙහෝවඃ දෙවියන් වහන්සේ—එනම්, අති උත්තමයාණෝ, විශ්වනීය පරමාධිපති, සදාකාලික රජාණෝ—යටහත් පහත් ය. (උත්පත්ති 14:22) එය එසේ විය හැකි ද? ඇත්තෙන් ම, එසේ ය! ගීතාවලිය 18:35 හි වාර්තා කර ඇති පරිදි, දාවිත් රජු මෙසේ පැවසී ය: “තවද ඔබගේ ගැළවීම නමැති පලිහ ඔබ මට දුන්සේක. ඔබගේ දකුණත මා දැරුවේය, ඔබගේ මෘදුකම මා උසස්කෙළේය [ඔබගේ ම යටහත් පහත්කම මා උසස් කරනු ඇත NW].” තමා ව, එනම් දාවිත් රජු ව උසස් කිරීම ගැන ඔහු යෙහෝවඃ වහන්සේගේ යටහත් පහත්කම ප්‍රශංසාවට ලක් කළේ ය. යෙහෝවඃ වහන්සේ, ‘ස්වර්ගයේ ද පෘථිවියේ ද තිබෙන දේ බලන්ට තමන් ම යටත් වෙන’ බව ගීතාවලිය 113:6 හි යළිත් අපට කියවීමට තිබේ. වෙනත් පරිවර්තනයන්, “පහතට නැමෙන සේක” (නව අනුවාදය) යනුවෙන් ද, “තම තත්ත්වය නොසලකා එතරම් ම පහත බලනවා” යනුවෙන් ද පවසයි.—ද න ඉංග්ලිෂ් බයිබල්.
5. යෙහෝවඃ වහන්සේගේ යටහත් පහත්කමට කිනම් සිද්ධීන් සාක්ෂි දරත් ද?
5 සොදොම සහ ගොමොරාව නම් වූ දුෂ්ට නගරවල් විනාශ කිරීමට ස්වකීය අරමුණ ක්‍රියාත්මක කිරීමේ දී තමන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ගැන ප්‍රශ්න කිරීමට ඉඩ දෙමින් ආබ්‍රහම් සමඟ ක්‍රියා කළ ආකාරයේ දී යෙහෝවඃ දෙවියන් වහන්සේ ස්වකීය තත්ත්වය නොසලකා කටයුතු කළ බව සහතික ය.a (උත්පත්ති 18:23-32) එක් අවස්ථාවක දී රූප වන්දනාවේ යෙදීම නිසා හා තවත් අවස්ථාවක දී කැරලි ගැසීම නිසා ඊශ්‍රායෙල් ජාතිය සහමුලින් ම සිඳ දමන්නට යෙහෝවඃ වහන්සේ ස්වකීය කැමැත්ත පළ කළ විට, මේ එක් එක් අවස්ථාවේ දී, මෝසෙස් යෙහෝවඃ වහන්සේ සමඟ තර්ක කළේ, හරියට ඔහු වෙනත් මිනිසෙකුට කථා කරන්නාක් මෙනි. මේ එක් එක් අවස්ථාවේ දී යෙහෝවඃ වහන්සේ අනුග්රහශීලී ව ප්‍රතිචාරය දැක් වූ සේක. ස්වකීය ඊශ්‍රායෙල් ජනයා සම්බන්ධයෙන් මෝසෙස්ගේ ආයාචනා පිළිගන්නට උන් වහන්සේ හට සැලැස්වූයේ යටහත් පහත්කමයි. (නික්මයාම 32:9-14; ගණන් කථාව 14:11-20) යෙහෝවඃ වහන්සේ, පුද්ගලයන් දෙදෙනෙකු අතර මෙන්, යටහත් පහත් ලෙස මිනිසුන් සමඟ කටයුතු කිරීමේ වෙනත් ආදර්ශ, විනිශ්චයකාරයන් 6:36-40 සහ යෝනා 4:9-11 හි වාර්තා වී ඇති පරිදි, ගිඩියොන් සහ යෝනා සමඟ උන් වහන්සේ දැක් වූ සබඳතාවල දක්නට ඇත.
6. යෙහෝවඃ වහන්සේගේ යටහත් පහත්කම, උන් වහන්සේගේ කුමන ගතිලක්ෂණයෙන් තවදුරටත් හෙළි වේ ද?
6 ඇත්තෙන් ම, යෙහෝවඃ වහන්සේ “උදහස්වීමට ප්‍රමාද” බව, අඩු තරමින් නව වතාවක් පවසනු ලැබ ඇත.b යෙහෝවඃ වහන්සේ වසර දහස් ගණනක් මුළුල්ලේ මනුෂ්‍යයන් සමඟ කටයුතු කරන විට, බොහෝ ඉවසිලිවන්ත ව සහ කෝප වීමට ප්‍රමාද ව සිටීම, උන් වහන්සේ යටහත් පහත් බවට තවදුරටත් සාක්ෂියකි. උඩඟු පුද්ගලයන් නොඉවසිලිවන්ත ය, උදහස පළ කිරීමට ඉක්මන් ය, බොහෝ ඉවසිලිවන්තකමට වඩා බොහෝ සෙයින් වෙනස් ය. යෙහෝවඃ වහන්සේගේ යටහත් පහත්කම දෙස බලන විට, අසම්පූර්ණ මනුෂ්‍යයාගේ උඩඟුකම මොනතරම් අඥාන දෙයක් හැටියට පෙනේ ද! ‘ප්‍රේමවන්ත දරුවන් මෙන් දෙවියන් වහන්සේ ව අනුකරණය කරන මෙන්’ අපට පවසා ඇති හෙයින්, උන් වහන්සේ යටහත් පහත් වන්නාක් මෙන් අප ද යටහත් පහත් විය යුතු ය.—එපීස 5:1.
යටහත් පහත්කම සම්බන්ධයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශය
7, 8. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ යටහත් පහත්කම ගැන ශුද්ධ ලියවිලිවල පවසන්නේ කුමක් ද?
7 යටහත් පහත්කම සම්බන්ධයෙන් අපට අනුකරණය කිරීමට තිබෙන වඩාත් ම කැපී පෙනෙන දෙවැනි ආදර්ශය 1 පේතෘස් 2:21 හි සඳහන් ව ඇත: “එසේය, ඊට නුඹලා කැඳවනු ලැබුවහුය. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ නුඹලා නිසා වධවිඳ, නුඹලා උන්වහන්සේගේ අඩි පාරේ යන පිණිස නුඹලාට ආදර්ශයක් [ආකෘතියක් NW] දී ගියසේක.” උන් වහන්සේ මනුෂ්‍යයෙකු වශයෙන් පොළොවට ඒමට බෙහෝ කළකට පෙර, උන් වහන්සේ ගැන සෙකරියා 9:9 හි මෙසේ පුරෝකථනය කොට තිබුණි: “සියොන් දියණියෙනි, බොහෝසෙයින් ප්රීතිමත්වෙයන්න; යෙරුසලම් දියණියෙනි, ශබ්ද පවත්වාපන්න. බලව, නුඹේ රජ නුඹ වෙතට එනසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨය, ගැළවීම ඇත්තාය; උන්වහන්සේ යටහත්ය, කොටළුවෙකු එනම් කොටළුදෙනෙකුගේ පැටියෙකු පිට නැගී එනසේක.” යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උඩඟු ව සිටියා නම්, නමස්කාරයේ එක් ක්‍රියාවකට ලෝකයේ සියලු රාජ්‍යයන් හුවමාරුවක් ලෙස දීමට යක්ෂයා විසින් කරන ලද ඉදිරිපත් කිරීම භාර ගැනීමට උන් වහන්සේට හොඳින් හැකිකම තිබුණා විය හැක. (මතෙව් 4:9, 10) තම ඉගැන්වීම ගැන සියලු ප්‍රශංසාව යෙහෝවඃ වහන්සේ හට පවරා දීම මගින් උන් වහන්සේ තම යටහත් පහත්කම දැක්වූයේ මෙසේ පවසමිනි: “නුඹලා මනුෂ්‍ය පුත්‍රයා එසවූ කල, මා ඔහුම බවත් මාගේම කැමැත්තෙන් මා කිසිවක් නොකර මාගේ පියාණන්වහන්සේ මට ඉගැන්වූ ලෙස මේ දේවල් කියන බවත් නුඹලා දැනගන්නවා ඇත.”—යොහන් 8:28.
8 උන් වහන්සේට සවන් දී සිටි අයට හොඳාකාරයෙන් මෙසේ පැවසීමට තමන් වහන්සේට හැකි විය: “මම සිතින් මෘදුව [හදවතින් NW] යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගනිල්ලා, එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය.” (මතෙව් 11:29) මනුෂ්‍යයෙකු වශයෙන් සිය ප්‍රේරිතයන් සමඟ සිටින අවසාන රාත්‍රියේ දී ඔවුන්ගේ පාද සේදීමෙන් යටහත් පහත්කම සම්බන්ධයෙන් උන් වහන්සේ තැබුවේ මොනතරම් කදිම ආදර්ශයක් ද! (යොහන් 13:3-15) යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආදර්ශයක් වශයෙන් සඳහන් කරමින්, ප්‍රේරිත පාවුල්, පිලිප්පි 2:3-8 හි, ‘නිහතමානි මනසක් ඇතුව’ සිටින්නැයි ක්‍රිස්තියානින් හට මෙසේ උපදෙස් දීම බොහෝ සෙයින් ගැලපෙන්නකි: “ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබුණු සිතම [මානසික ආකල්පය ම NW] නුඹලා තුළත් තිබේවා. උන්වහන්සේ දෙවියන්වහන්සේගේ රූපාකාරය දරනසේක්, දෙවියන්වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගනම සිටිය යුතුවූ වස්තුවකැයි නොසිතා, එය ඉවත්කර, දාසයෙකුගේ ස්වරූපය ගෙන, මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක. මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත්, මරණය, එසේය, . . . [වධ කණුවේ NW] මරණය දක්වා කීකරුවූසේක.” තම ජීවිතයේ මහත් ම අර්බුදයට මුහුණ දෙන විට, උන් වහන්සේ සිය පියාණන්ට යටහත් පහත් ලෙස මෙසේ යාච්ඤා කළ සේක: “මා කැමතිලෙස නොව ඔබ කැමති ලෙස වේවා.” (මතෙව් 26:39) යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුකරණය කරන්නන් වී, උන් වහන්සේගේ අඩිපාර ළඟින් අනුගමනය කිරීමට නම්, අප යටහත් පහත් විය යුතු බවට කිසිඳු සැකයක් නැත.
ප්‍රේරිත පාවුල් යටහත් පහත්කමේ කදිම ආදර්ශයකි
9-12. යටහත් පහත්කම සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් කදිම ආදර්ශයක් තබන්නේ කිනම් ආකාරවලින් ද?
9 ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේ ය: “මා ක්‍රිස්තුස් වහන්සේ අනුකරණය කරන්නාක් මෙන්, ඔබත් මා අනුකරණය කරන්නන් බවට පත් වන්න.” (1 කොරින්ති 11:1, NW) ප්‍රේරිත පාවුල් නිහතමානි මනසකින් යුතු ව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අනුකරණය කරමින්, එමගින් අනුකරණය කිරීමට යටහත් පහත්කමේ තවත් ආදර්ශයක් සැපයූවා ද? ඔහු එසේ කළ බවට බොහෝ සෙයින් සහතික විය හැක. පළමු ව කියන්නට තිබෙන දෙයක් නම්, තමා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දාසයෙක් බව ඔහු යටහත් පහත් ලෙස පිළිගත් බවයි. (පිලිප්පි 1:1) තමා ‘සිතේ [මනසේ NW] සියලු ආකාර යටත්කමින් ද [නිහතමානිකමින් ද NW] කඳුළුවලින් ද යුදෙව්වරුන්ගේ උපා නිසා පැමිණි අමාරුකම්වලින් ද යුක්ත ව ස්වාමීන් වහන්සේට සේවය කිරීම’ සම්බන්ධ ව ඔහු එපීසයේ වැඩිමහල්ලන්ට පැවසුවේ ය. (ක්‍රියා 20:17-19) ඔහු යටහත් පහත් පුද්ගලයෙකු නොවී සිටියා නම්, රෝම 7:18, 19 හි සඳහන් වචන ඔහු කිසි කලෙකත් නොලියන්නට තිබුණි: “මා තුළ එනම් මාගේ මංසය තුළ කිසි යහපතක් වාසය නොකරන බව දනිමි. . . . මක්නිසාද මම කැමති යහපත නොකර අකැමති නපුර කරමි.”
10 තව ද පාවුල්ගේ යටහත් පහත්කම, 1 කොරින්ති 2:3 හි වාර්තා කර ඇති පරිදි, ඔහු විසින් කොරින්තියේ ක්‍රිස්තියානින් හට ලියන ලද දේ තුළ දක්නට ලැබේ: “මම දුර්වලකමින්ද භයින්ද වෙවුලුමෙන්ද නුඹලා සමග සිටියෙමි.” ක්‍රිස්තියානියෙකු බවට පත්වන්නට පෙර තමාගේ අතීත මාර්ගය ගැන යටහත් පහත් ලෙස යොමු දක්වමින්, ඔහු ලීවේ: “පළමුවෙන් මම අපහසකරන්නෙක්ව, පීඩාකරන්නෙක්ව, නින්දා කරන්නෙක්ව සිටියෙමි. . . . පව්කාරයන් ගළවන්ට ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ලෝකයට ආසේක . . . ඔවුන් අතුරෙන් මම ප්‍රධාන පව්කාරයාය.”—1 තිමෝති 1:13, 15.
11 ඔහුගේ යටහත් පහත්කම තවදුරටත් පෙන්වන දෙයක් නම්, සිය ප්රයත්නයන්හි ලැබූ සියලු සාර්ථකත්වයන් උදෙසා ලැබෙන ප්‍රශංසාව යෙහෝවඃ දෙවියන් වහන්සේට පවරා දීම ය. තම දේව සේවය සම්බන්ධයෙන් ඔහු මෙසේ ලීවේ ය: “මම හිටෙවුවෙමි, අපොල්ලොස් වතුර වත්කෙළේය; නුමුත් වර්ධනය දුන්නේ දෙවියන්වහන්සේය. එබැවින් වර්ධනය දෙන දෙවියන්වහන්සේ මිස හිටවන තැනැත්තේද වතුර වත්කරන තැනැත්තේද කිසිත් නැත.” (1 කොරින්ති 3:6, 7) එපීස 6:18-20 හි අපට කියවන්නට තිබෙන පරිදි, හොඳ සාක්ෂියක් දීම පිණිස තමන් වෙනුවෙන් යාච්ඤා කරන මෙන් ඔහු සිය සහෝදරයන්ගෙන් ඉල්ලා සිටියේ මෙසේ ය: “මාගේ මුඛය අරින ලෙස කථාවේ බලය මට ලැබෙන පිණිසත්, මා විසින් කථා කරන්ට යුතුව තිබෙන හැටියට ඒ ගැන [ශුභාරංචිය පිළිබඳ ව පරිශුද්ධ රහස NW] භය නැතුව කථාකරන පිණිසත්, . . . මා උදෙසා නොකඩවම . . . යාච්ඤාකරපල්ලා.”
12 වෙනත් ප්‍රේරිතයන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ ආකාරය තුළ ද පාවුල් තම යටහත් පහත්කම පෙන්වී ය: “යාකොබ්ද කේපස්ද යොහන්ද, . . . මටද බාර්ණබස්ටද පංගුකාරකමේ දකුණත දුන්නෝය. එසේ කළේ අප අන්‍යජාතීන් වෙතටද ඔවුන් චර්මච්ඡේදිතයන් වෙතටද යන පිණිසය.” (ගලාති 2:9) තව ද ඔහු යෞවන පුරුෂයන් හතර දෙනෙක් කැඳවා ගෙන දේව මාලිගාවට ගොස් ඔවුන් භාරයක් ඉෂ්ට කරද්දී ඔවුන්ගේ වියදම ගෙවීම මගින් යෙරුසලමේ සභාවේ වැඩිමහල්ලන් සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීමට තම කැමැත්ත දැක්වූයේ ය.—ක්‍රියා 21:23-26.
13. පාවුල්ගේ යටහත් පහත්කම එතරම් ම කැපී පෙනීමට සැලැස්වූයේ කුමක් ද?
13 පාවුල්ගේ යටහත් පහත්කම මේ සියල්ලට ම වඩා කැපී පෙනෙන්නේ, යෙහෝවඃ දෙවියන් වහන්සේ විසින් ඔහු ව බලවත් සේ යොදා ගත් ආකාරය ගැන අප සලකා බලන විට ය. නිදසුනක් වශයෙන්, “දෙවියන්වහන්සේ පාවුල්ගේ අත්වලින් අපූරුවූ ආශ්චර්ය්යයන් කෙරෙවූ” බව අප කියවමු. (ක්‍රියා 19:11, 12) ඊටත් වඩා, අධිස්වාභාවික දර්ශන සහ එළිදරව් කිරීම් ඔහුට දෙන ලදි. (2 කොරින්ති 12:1-7) ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල පොත් (ඇත්තෙන් ම ලිපි) 27න් 14ක් ම ලිවීමට ඔහු ආනුභාවය ලද බව අප අමතක නොකළ යුතු ය. කථාවට කියනවාක් මෙන්, ඒ එකකින්වත් ඔහු හිස උදුම්මා ගත්තේ නැත. ඔහු යටහත් පහත් ව සිටියේ ය.
නවීන-දින ආදර්ශ
14-16. (අ) වොච් ටවර් සමිතියේ පළමු සභාපති යටහත් පහත්කමේ කදිම ආදර්ශයක් වූයේ කෙසේ ද? (ආ) ඔහුගේ ආදර්ශය හාත්පසින් ම වෙනස් වූයේ කාගේ ආදර්ශයට ද?
14 ප්‍රේරිත පාවුල් හෙබ්‍රෙව් 13:7 හි මෙසේ උපදෙස් දෙනවා අපි කියවමු: “දෙවියන්වහන්සේගේ වචනය නුඹලාට කියාදුන්නාවූ නුඹලාගේ ප්‍රධානීන් [නුඹලා අතර පෙරමුණ ගන්නන් NW] සිහිකරපල්ලා; ඔවුන්ගේ හැසිරීමේ කෙළවර බලමින් ඔවුන්ගේ ඇදහිල්ල අනුවයන්නෝ වෙයල්ලා.” මෙම ප්‍රතිපත්තියට අනුකූල ව යමින්, වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි හි පළමු සභාපති වූ චාල්ස් ටේස් රසල්ගේ නවීන-දින ආදර්ශය අපට ගත හැකි අතර, අපට ඔහුගේ ඇදහිල්ල අනුකරණය කළ හැකි ය. ඔහු යටහත් පහත් මිනිසෙකු ව සිටියා ද? ඇත්තෙන් ම ඔව්! හොඳින් නිරීක්ෂණය කරනු ලැබ ඇති පරිදි, පිටු 3000කින් පමණ වෙළුම් හයකින් සමන්විත ඔහුගේ ස්ටඩීස් ඉන් ද ස්ක්‍රිප්චර්ස් හි පාඨයේ, ඔහු තමා ගැන එක වරක්වත් යොමු දක්වා නැත. වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සමිතියේ ප්‍රකාශන, ලිපි ලියන ලේඛකයන් හඳුන්වා දෙමින් මනුෂ්‍යයන්ගේ අවධානය යොමු කර නොගැනීමෙන් අද දින මෙම ප්‍රතිපත්තිය අනුගමනය කරයි.
15 රසල්ගේ විරුද්ධවාදීන් භාවිතා කළ, “රසල්වාදය” හා “රසල්වාදීන්” වැනි යෙදුම් ගැන තමා කිසිවක් නොදන්නේ යයි රසල් වරෙක වොච් ටවර් හි ලියූ අතර, ඔහු ඒවා සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කළේ ය. ඔහු මෙසේ ලීවේ ය: “අපගේ වැඩය . . . වී තිබෙන්නේ, බොහෝ කලක් පුරා විසිරී තිබූ සත්‍යයේ කොටස් එකට ගෙනැවිත්, ඒවා අලුත් ලෙස නොව, අපගේ ම ඒවා ලෙස නොව නමුත් ස්වාමීන් වහන්සේගේ සත්‍යතාවයන් ලෙස උන් වහන්සේගේ සෙනඟට ඉදිරිපත් කිරීම ය. . . . අපගේ පහත් කුසලතාවයන් යොදා ගැනීමට ස්වාමීන් වහන්සේ සතුටු වී තිබෙන මෙම වැඩය, යළි ගොඩනැංවීමේ, යළි සැකසීමේ, එකඟ කිරීමේ වැඩක් වනවා මිසක අලුතෙන් ආරම්භ කරන්නා වූ වැඩක් නොවේ.” සැබවින් ම, ඔහු හඬ නැංවූයේ 1 කොරින්ති 3:5-7 හි සඳහන් වී ඇති ප්‍රේරිත පාවුල්ගේ අදහස් ය.
16 ඔහුගේ ආකල්පය, චාල්ස් ඩාවින්ගේ ආකල්පයට වඩා හාත්පසින් ම වෙනස් විය. පරිණාම වාදය පිළිබඳ ව ඔහුට පෙර සිටි අය පවසා තිබූ දෙය නොසලකා හරිමින්, 1859 දී පළවූ ද ඔරිජින් ඔෆ් ස්පීසිස් හි (ජාති සම්භවය) තම පළමු සංස්කරණයේ, “මගේ” න්‍යාය යයි සඳහන් කරමින් ඩාවින් නැවත නැවත තමාට ම යොමු දැක්වූයේ ය. එම සියවසේ කැපී පෙනෙන ලේඛකයෙකු වූ සැමුවල් බට්ලර්, මීට පෙර බොහෝ දෙනෙක් පරිණාමවාදී කල්පිතය වැඩි දියුණු කළ බවත්; එය කෙලෙසකවත් ඩාවින්ගෙන් ආරම්භ වූ න්‍යායක් නොවන බවත් ගෙන හැර දක්වමින්, ඩාවින්ට ප්‍රබල වාචික පහරක් එල්ල කළේ ය.
17. සහෝදර රදෆර්ඩ්ගේ යටහත් පහත්කම සම්බන්ධ ව තිබෙන තවත් උදාහරණ මොනවා ද?
17 යෙහෝවඃ දෙවියන් වහන්සේ විසින් නවීන කාලවල ප්‍රබල අයුරින් යොදා ගන්නා ලද තවත් ඇදහිලිවන්ත සේවකයෙක් නම්, මෙම ලිපිය ආරම්භයේ දී සඳහන් වූ ජෝසෆ් එෆ්. රදෆර්ඩ් ය. ඔහු බයිබල් සත්‍යයේ ද, විශේෂයෙන් ම යෙහෝවඃ වහන්සේගේ නාමය සම්බන්ධයෙන් ද නිර්භීත ලෙස කථා කරන්නෙකු වූයේ ය. ජජ් (විනිසුරු) රදෆර්ඩ් නමින් ප්‍රසිද්ධ ව සිටියත්, හදවතින් ඔහු යටහත් පහත් මිනිසෙකු විය. නිදසුනක් වශයෙන්, ක්‍රිස්තියානින් හට 1925 වසර වන විට අපේක්ෂා කළ හැකි දේවල් ගැන එක් අවස්ථාවක ඔහු හිතුමතේ යම් ප්රකාශනයන් කළේ ය. සිදු වූ සිද්ධීන් ඔහුගේ අපේක්ෂාවන්ට අනුබල නුදුන් විට, තමා මෝඩ අන්දමින් කටයුතු කර තිබුණේ යයි ඔහු බෘක්ලින් හි බෙතෙල් පවුලට බැගෑපත් ලෙස කියා සිටියේ ය. සහෝදර රදෆර්ඩ්, තම සෙසු ක්‍රිස්තියානියෙකුට නොහොබිනා අයුරින් කථා කිරීම හේතුවෙන්, මතෙව් 5:23, 24ට එකඟ ව, පුද්ගලික ව ද, ප්‍රසිද්ධියේ ද බොහෝ වරක් ඔහුගෙන් සමාව අයදිනවා තමා විසින් අසා තිබේ යයි සහෝදර රදෆර්ඩ් සමඟ කිට්ටු ඇසුරක් පැවැත්වූ එක් ආලේප ලත් ක්‍රිස්තියානියෙක් සාක්ෂි දුණි. තමාට යටත් ව සිටින අයගෙන් සමාව අයදින්නට බලතල සහිත කෙනෙකු හට යටහත් පහත්කම අවශ්‍ය වේ. සභාව තුළ වේවා, සංචාරක සේවයේ වේවා, සමිතියේ ශාඛාවන්ගෙන් එකක් තුළ වේවා, සියලු ම අවේක්ෂකයන් හට සහෝදර රදෆර්ඩ් තැබුවේ කදිම ආදර්ශයකි.
18. සමිතියේ තුන්වෙනි සභාපති, මනසේ යටහත් ස්වභාවය හෙළි කරන කිනම් ප්රකාශනයක් කළේ ද?
18 වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි හි, තුන් වෙනි සභාපති වූ, නේදන් එච්. නෝර් යෙහෝවඃ වහන්සේගේ ජනයා අතර ප්රමුඛයෙකු ව සිටිය ද, තමාගේ තත්ත්වය නිසා උසස් බවක් ඔහුට හැඟුණේ නැති බව පෙන්වී ය. සංවිධානාත්මක හැකියාව සහ ප්‍රසිද්ධ ලෙස කථා කිරීම සම්බන්ධයෙන් ඔහු දක්ෂතා පෙන්වුව ද, වෙනත් අය කළ දේවල් සම්බන්ධයෙන් ඔහු මහත් ගෞරවයක් දැක්වී ය. මෙසේ, ඔහු ලේඛන අංශයේ සාමාජිකයෙකු ව ඔහුගේ කාර්යාලයේ දී බැහැ දැකීමට ගිය අවස්ථාවක මෙසේ පැවසුවේ ය: “වඩාත් වැදගත් ම හා වඩාත් අමාරු ම වැඩය වෙන්නේ මෙතැනයි. මම ඒ වැඩයෙන් බොහොම ටිකක් කරන්නේ එමනිසයි.” එසේ ය, පිලිප්පි 2:3 [NW] හි සඳහන්, ‘නිහතමානි මනසකින් යුතු ව, පුද්ගලයෙක් තමාට වඩා අනෙක් අය උසස් යයි සැලකිය යුතු ය’ යන උපදෙස ඔහු යටහත් පහත් ලෙස අදාළ කර ගනිමින් සිටියේ ය. සමිතියේ සභාපති ලෙස සේවය කිරීම වැදගත් වුවද, වෙනත් කාර්යයන් ද වැදගත් බව ඔහු අගය කළේ ය. ඒ ආකාරයට හැඟීමට ද, එතරම් පැහැදිලි ලෙස එය ප්‍රකාශ කිරීමට ද ඔහුගේ පැත්තෙන් අවශ්‍ය වූයේ යටහත් පහත්කමයි. ඔහු වනාහි, සියල්ලන්ට ම, විශේෂයෙන් ම අවේක්ෂණයේ ප්රමුඛ තත්ත්වයන්හි සිටින අයට කදිම ආදර්ශයක් වූයේ ය.
19, 20. (අ) සමිතියේ හතරවෙනි සභාපති යටහත් පහත්කම සම්බන්ධයෙන් කිනම් ආදර්ශයක් තැබුවේ ද? (ආ) අප විසින් යටහත් පහත්කම ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ඊළඟ ලිපිය සපයනු ඇත්තේ කිනම් උපකාරය ද?
19 සමිතියේ හතරවෙනි සභාපති වූ ෆ්‍රෙඩ්. ඩබ්. ෆ්රාන්ස් ද යටහත් පහත්කමේ කදිම ආදර්ශයක් විණි. සමිතියේ උප සභාපති වශයෙන් වසර 32ක් පමණ සේවය කළ ඔහු, සඟරා සඳහා සහ සමුළු වැඩසටහන් සඳහා ලිවීම බෙහෝ සෙයින් කළේ ය; එහෙත්, මේ සම්බන්ධයෙන් ඔහු පෙරමුණේ සිටීමට කිසිවිටෙකත් නොසොයමින් සෑම විට ම පසුබිමේ සිටියේ ය. මේ හා සැසඳිය හැකි ඉපැරණි ආදර්ශයක් සඳහන් කළ හැකි වෙයි. යෝවාබ් රබ්බා හි දී අම්මොන්වරුන් ව පරාජය කළ විට, එම ජයග්‍රහණය සඳහා දාවිත් රජුට ප්‍රශංසාව ලැබෙන බවට ඔහු සහතික විය.—2 සාමුවෙල් 12:26-28.
20 ඇත්තෙන් ම, යටහත් පහත්වීමට අපට ප්‍රබල පාඩම් ලබා දෙන, අතීතයේ හා වර්තමානයේ, කදිම ආදර්ශ බොහොමයක් තිබේ. කෙසේ වුවද, යටහත් පහත්වීමට අපට මීටත් වඩා බොහෝ හේතු ඇති අතර, තව ද මේවා මෙන් ම යටහත් පහත්වීමට අපට උපකාරවත් වන ආධාරක ද ඊළඟ ලිපියේ සලකා බලනවා ඇත.
[පාදසටහන්වල]
a “තම තත්ත්වය නොසලකා කටයුතු කිරීම [Condescend]” යන යෙදුම බොහෝ විට භාවිතා වෙන්නේ, “උසස් තත්ත්වයක් ආරූඪ කර ගැනීම” යන අර්ථය සමඟ ය. එහෙත්, න වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් හි එහි ප්‍රධාන අර්ථය නම්, “ලිහිල් කිරීමක්,” “තනතුරක වරප්‍රසාද අත්හැරීමක්” යනුයි.—වෙබ්ස්ටර්’ස් නයින්ත් න කොලීජියේට් ඩික්ෂනරි බලන්න.
b නික්මයාම 34:6: ගණන් කථාව 14:17; නෙහෙමියා 9:17, NW; ගීතාවලිය 86:15; 103:8; 145:8; යෝවෙල් 2:13, NW; යෝනා 4:2, NW; නාහුම් 1:3, NW;
ඔබට මතක ද?
◻ උඩඟුකමේ ප්රතිඵලයන් වී ඇත්තේ මොනවා ද?
◻ යටහත් පහත්කම සම්බන්ධයෙන් හොඳ ම ආදර්ශය තබා ඇත්තේ කවුද?
◻ යටහත් පහත්කමේ දෙවන ශ්‍රේෂ්ඨ ආදර්ශය කවරෙකු බව කුමකින් පෙනේ ද?
◻ ප්‍රේරිත පාවුල් යටහත් පහත්කම සම්බන්ධයෙන් තැබූ කදිම ආදර්ශය කුමක් ද?
◻ යටහත් පහත්කම සම්බන්ධයෙන් නවීන-දින කිනම් ප්රමුඛ ආදර්ශ අපට ඇත්තේ ද?
[15වන පිටුවේ පින්තූරය]
යේසුස් වහන්සේ යටහත් පහත්කම පිළිබඳ ව කදිම නිරූපනයක් කළ සේක
[16වන පිටුවේ පින්තූරය]
පාවුල් යටහත් පහත්කම සම්බන්ධ ව කදිම ආදර්ශයක් තැබුවේ ය
[17වන පිටුවේ පින්තූරය]
සහෝදර රසල්, තමා ලියූ දේ සඳහා තමාට ම ප්‍රශංසාව ලබා ගත්තේ නැත