අපට සැමදා හමුදාවන් අවශ්‍ය වේවිද?
හමුදාවන්, මිනිස් ධන සම්පත්වලින් විශාල කොටසක් නැති නාස්ති කර ඇති අතර, මිනිසාගේ සන්තෝෂයෙන් වැඩිහරියක්ද විනාශභංග කර තිබෙනවා. සමහර මිනිස්සු මෙසේ කල්පනා කර තිබෙනවා, ‘හමුදාවන් විසුරුවාහැරීමට සලස්වන ආකාරයේ ලෝක සුරක්ෂිතභාවයක් කවදාහරි මිනිස්වර්ගයාට අත් කරගත හැකිද?’ විශාල විනාශයක් සිදු කරන යුධායුධ මගින් සියලු ජීවීන් තුරන් කිරීමට හැකියාව තිබෙන නිසා, මෙය ඕනෑකමින් සලකා බැලිය යුතු ප්‍රශ්නයක් වෙනවා. හමුදාවන් නැති ලොවක් සඳහා බලාපොරොත්තු වීම කොයිතරම් යථාර්ථවාදීද?
හොඳ අන්තර්ජාතික සබඳතා මගින් නිසැකභාවය ඇති කළ විට, එය යම් නිරායුධකරණයකට මඟ පෑදිය හැකි බව පූර්වාදර්ශයන් විශාල ගණනක් ඔප්පු කරනවා. උදාහරණයක් වශයෙන්, කැනඩාව හා එක්සත් ජනපදය අතර සාමාන්‍ය මිත්රශීලීත්වය ඇඟවූයේ, සියවස් එකහමාරකට වැඩි කාලයක් පුරා ඔවුන්ගේ කිලෝමීටර් 5,000ක සීමාව හමුදා මගින් ආරක්ෂා කර නැති බවයි. වෙනත් බොහෝ ජාතීන් මෙන්ම නෝර්වේ සහ ස්වීඩනය එවැනිම එකඟතාවකට පැමිණ තිබෙනවා. සියලු ජාතීන් අතර එකඟතාවකින් හමුදා නැති ලෝකයක් අත් කරගත හැකිද? පළවන ලෝක යුද්ධයේ භීෂණ සමඟම, එම අදහස පෙර නොවූවිරූ ආකාරයකින් ජනප්‍රිය වුණා.
වර්ෂ 1918දී සාමය පිහිටෙවූ විට, වර්සේල්ස් සාම ගිවිසුමේ එක අරමුණක් වූයේ “සියලු ජාතීන්ගේ යුධායුධවල පොදු සීමාවක් ඇති කිරීමට මුලපිරීමයි.” ඊළඟ වසරවලදී, සාමවාදය ජනප්‍රිය වුණා. ජාතියකට සිදු විය හැකි දරුණුම දෙය යුද්ධය බවටත්, එමනිසා එය පරාජයක් විඳීමටත් වඩා දරුණු විය හැකි බවටත් සමහර සාමවාදීන් සිද්ධාන්තයක් ගොඩනැඟුවා. සියවස් ගණනාවක් පුරා ප්‍රහාරකයන්ට එරෙහිව විශාල ප්‍රදේශවල ඉන්න යුදෙව්වන් අවි සන්නද්ධ විරෝධය පෑවේ සුළුවෙන් වුවත්, ඔවුන්ව සම්පූර්ණයෙන්ම නැති කර දමන්න කෲර වෑයම්වල යෙදෙන බවට පෙන්නුම් කරමින් සාමවාදයට විරුද්ධ වූවන් එයට එකඟ වුණේ නැහැ. අමෙරිකාවට තමන්ව වහලුන් හැටියට ගෙනා අයට විරුද්ධව සිටීමට අප්‍රිකානුවන්ට තිබුණේ සුළු ප්‍රස්තාවක් වූ නමුත්, සියවස් ගණනක් පුරා ඔවුන් කෲර ලෙස හිංසා පීඩාවලට ලක් වී තිබෙනවා.
කෙසේවුවත්, IIවන ලෝක යුද්ධය හටගත් විට, රටවලට ආරක්ෂාව අවශ්‍යයි කියා බොහෝ සාමවාදීන් නිගමනය කළා. එබැවින් IIවන ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජාතීන් පිහිටෙවූ විට, නිරායුධකරණය සම්බන්ධයෙන් අවධාරණය අඩු කර, සටන් වැළැක්වීම සඳහා අන්තර්ජාතික සහයෝගය වැඩි කිරීම අවධාරණය කරනු ලැබුවා. මෙසේ සැපයෙන ආරක්ෂාව ජාතීන්ට නිරායුධ වීමට නිසැකකමක් දෙයි කියා ඊට සම්බන්ධ සාමාජිකයන් බලාපොරොත්තු වුණා.
තවත් ගැටලුවක් තිබෙන බවට පැහැදිලි වෙන්න පටන්ගත්තා. ජාතියක්, තමන්ට ආරක්ෂාව සලසගන්න දරන වෑයම් බොහෝවිට තම අසල්වැසියාට අනාරක්ෂිතබවක් ඇඟෙව්වා. මේ විෂම චක්‍රය යුධායුධ වැඩි කිරීමට මඟ පෑදුවා. නමුත් ඉතා මෑතකදී, මහත් ජාතීන් අතර වැඩිදියුණු වූ සබඳතා නිරායුධකරණයේ බලාපොරොත්තුව ශක්තිමත් කර තිබෙනවා. කෙසේවුවද, එදා පටන් ගල්ෆ් යුද්ධය හා කලින් යුගෝස්ලාවියාවේ කලබල, නිරායුධකරණය පිළිබඳ බොහෝදෙනාගේ බලාපොරොත්තු භංග කර තිබෙනවා. වසර පහකට පමණ පෙර, ටයිම් සඟරාව මෙසේ අදහස් ප්‍රකාශ කළා: “ශීත යුද්ධය අවසන් වී තිබුණත්, ලෝකය අන්තරාවල් අඩු ස්ථානයක් බවට පත් වෙනවා වෙනුවට වැඩි අන්තරාදායක තැනක් වී තිබෙනවා.”
සමස්ත ලෝක “පොලිස්භටයෙකු” ඉල්ලීම
සෑමදෙනාවම ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් හමුදා බලයක් තිබෙන තනි ලෝක අධිකාරියක් මිනිස්වර්ගයාට අවශ්‍ය බවට බොහෝ නිරීක්ෂකයන් නිගමනය කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයටවත්, ලෝකයේ ප්රමුඛ පෙළේ හමුදා බලයන්ටවත් මෙය කළ නොහැකි නිසා, අනාගතය සඳහා තිබෙන්නේ සුළු බලාපොරොත්තුවක් බව ඇතමෙකුට හැඟෙනවා. නමුත් ඔබ බයිබලය දේවවචනය වශයෙන් පිළිගන්නවා නම්, සර්වබලධාරි දෙවි මේ හදිසි අවශ්‍යතාව සපුරාලයිද කියා ඔබ කල්පනා කළ හැකියි.
“ප්‍රේමයේ හා සමාදානයේ [දෙවි]” කියා බයිබලයේ හඳුන්වන තැනැත්තා යුක්තිය ක්‍රියාත්මක කිරීමට හමුදා බලය යොදාගනීවිද? එසේනම්, මොන හමුදාවද? අදදින හමුදාවලින් බොහෝමයක් තමන්ට දෙවිගේ උපකාරය තිබෙන බව කියා සිටින නමුත්, ඔවුන් ඇත්තෙන්ම දෙවිගේ කැමැත්ත ඉටු කරමින් සිටිනවාද? නැතහොත් මැදිහත් වී, සාමය හා ආරක්ෂාව සැපයීමේ වෙනත් යම් මාර්ගයක් දෙවිට තිබෙනවාද?—2 කොරින්ති 13:11.
ආදම් සහ ඒවව ඒදන් උයනෙන් පන්නා, ඔවුන් යළි ඒම වැළැක්වීමට කෙරුබ්වරු සිටුවීමෙන් සර්වබලධාරි දෙවි මුල් කැරලිකරුවා සමඟ ක්‍රියා කළා. ඔහුගේ පරමාධිපත්‍යයට විරුද්ධව කෙරෙන සියලු කැරලිගැසීම් මර්දනය කිරීමට ඔහු තම අරමුණද නිවේදනය කළා. (උත්පත්ති 3:15) එයට දෙවි හමුදාවක් යොදාගැනීම ඇතුළත් වේවිද?
දෙවි තම විනිශ්චයන් ඉටු කිරීමට හමුදාවන් යොදාගත් අවස්ථාවල් ගැන බයිබලය පවසනවා. උදාහරණයක් වශයෙන්, කානාන් දේශයෙහි රාජ්‍යයන් මෘගයන් සමඟ ලිංගික සබඳතා පැවැත්වූ අතර දරුවන් පූජා කිරීම හා පරපීඩාකාම යුද්ධවලට සම්බන්ධ වුණා. දෙවි ඔවුන්ගේ සම්පූර්ණ විනාශය නියම කළ අතර දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට යෝෂුවාගේ හමුදාව යොදාගත්තා. (ද්විතීය කථාව 7:1, 2) එලෙසම, දෙවි තම අවසාන විනිශ්චය දවසේදී සියලු දුෂ්ටකම විනාශ කර දමනු ඇති ආකාරය සම්බන්ධයෙන් ආදර්ශයක් හැටියට දාවිත් රජුගේ හමුදාව පිලිස්තිවරුන්ට විරුද්ධව දෙවිගේ විනිශ්චය ක්‍රියාත්මක කළා.
එම සිද්ධීන් උපදේශාත්මකයි. ජනයාට ආරක්ෂාව දීමට තමාට හමුදාවක් යොදාගත හැකි බව යෙහෝවා නිරූපණය කළා. ඇත්තෙන්ම, තම පාලනයට විශ්වනීය ආකාරයකින් එරෙහි වන කැරලිකාරයා සම්බන්ධයෙන් කටයුතු කරන අද්විතීය ආකාරයක හමුදාවක් යෙහෝවාට සිටිනවා.
“හමුදාවල යෙහෝවා”
වාර 250කට වඩා [NW] බයිබලයේ “හමුදාවල යෙහෝවා” යන ප්‍රකාශය භාවිත කරනවා. විශාල දේවදූත හමුදාවලට අණ දෙන නිලධාරියෙක් හැටියට දෙවිගේ තත්වයට මේ ප්‍රකාශය ප්‍රධාන වශයෙන් යොමු දක්වනවා. එක් අවස්ථාවකදී ප්‍රොපේත මීකායා ආහබ් හා යෙහෝෂාපාට් යන රජවරුන්ට මෙසේ පැවසුවා: ‘යෙහෝවා තමන්ගේ සිංහාසනයේ හිඳිනවාත් මුළු ස්වර්ග සේනාව [ස්වර්ගික හමුදාව, NW] ඔහු ළඟ ඔහුගේ දකුණු පැත්තේද වම් පැත්තේද සිටිනවාත් දුටිමි.’ (1 රාජාවලිය 22:19) මෙහි යොමු දක්වා තිබෙන්නේ දේවදූත හමුදාවන්ටයි. යෙහෝවා ස්වකීය සෙනඟ ආරක්ෂා කිරීමට මේ හමුදාවන් යොදාගත්තා. දෝතාන් නගරය වැටලූ අවස්ථාවේදී, එලිෂාගේ සේවකයා බලාපොරොත්තුව අත්හැර දැම්මා. කෙසේවුවත්, ඔහුගේ බිය සැක දුරු කිරීම සඳහා, තම ආත්ම පුත්‍රයන්ගේ හමුදාව පිළිබඳව ප්රාතිහාර්යමය දර්ශනයක් දෙවි ඔහුට දුන්නා. “[යෙහෝවා] තරුණයාගේ ඇස් [පැහැදුවේය]. එවිට . . . ගිනි අශ්වයන්ගෙන්ද ගිනි රථවලින්ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේය.”—2 රාජාවලිය 6:15-17.
දෙවි අදදින හමුදාවන්ට සහාය දෙන බව එවැනි සිද්ධීන්වලින් අදහස් කරනවාද? ක්‍රිස්තියානි ලෝකයේ ඇතැම් හමුදාවන් දෙවිගේ හමුදාවන් බව පැවසෙනවා. බොහෝදෙනා තමන්ට ආශීර්වාද කරන්නැයි පූජක පක්ෂයෙන් ඉල්ලා තිබෙනවා. නමුත් ක්‍රිස්තියානි ලෝකයේ හමුදාවන් බොහෝවිට එකිනෙකාට විරුද්ධව, සෙසු ඇදහිලිවන්තයන්ට විරුද්ධව යුද්ධ කරනවා. ක්‍රිස්තියානියයි කියාගන්නාවූ හමුදාවන් අතර මේ සියවසේදී ලෝක යුද්ධ දෙකක් ඇරඹුණා. මෙය දෙවිගේ වැඩය විය නොහැකියි. (1 යොහන් 4:20) එවැනි හමුදා බලයන් සාමය වෙනුවෙන් සටන් කරන බව කියා සිටිය හැකි වුණත්, ලෝකයෙහි සාමයට ඇති බාධා වැළැක්වීමට වෑයමක් වශයෙන් එවැනි හමුදාවන් සංවිධානය කරන්න කියා යේසු තම අනුගාමිකයන්ට උපදෙස් දුන්නාද?
යේසු තම ගෝලයන් සමඟ උයනක යාච්ඤා කරමින් සිටියදී අවිගත් කලහකාරි කල්ලියක් යේසුව අල්ලන්න පැමිණි අවස්ථාවේදී සාමය දැඩි ලෙස බිඳී ගියා. කල්ලියේ මිනිසෙකුට ගෝලයන්ගෙන් කෙනෙක් කඩුවකින් පහර දුන්නා. වැදගත් ප්‍රතිපත්තියක් පැහැදිලි කිරීමට යේසු මේ අවස්ථාව යොදාගත්තා. ඔහු මෙසේ පැවසුවා: “නුඹේ කඩුව කොපුවේ දමන්න. මක්නිසාද කඩු ගන්න සියල්ලෝ කඩුවෙන්ම විනාශවන්නෝය. දේවදූතයන් ලෙගියොන් දොළොසකට වඩා මා ළඟට මේ දැන් එවන ලෙස මාගේ පියාණන්ගෙන් ඉල්ලන්ට මට බැරියයි නුඹ සිතනවාද?” අණ දීම සඳහා යේසුට විශාල හමුදාවක් සිටි නමුත් එහි සොල්දාදුවෙක් හැටියට පේතෘස්වවත්, වෙනත් මිනිසෙකුවවත් ඇතුළත් කර තිබුණේ නැහැ. ඒ වෙනුවට, පේතෘස් සහ යේසුගේ අනිත් අනුගාමිකයන්ව හැඳින්වූයේ “මනුෂ්‍යයන් අල්ලන්නන්” කියායි. (මතෙව් 4:19; 26:47-53) පැය කීපයකට පස්සේ, යේසු පිලාත්ට තත්වය පැහැදිලි කර දුන්නා. ඔහු මෙසේ පැවසුවා: “මාගේ රාජ්‍යය මේ ලෝකය සම්බන්ධව නොවේ. මාගේ රාජ්‍යය මේ ලෝකය සම්බන්ධවී නම්, යුදෙව්වරුන්ට මා භාරදෙනු නොලබන පිණිස මාගේ සේවකයන් සටන්කරනවා ඇත. නුමුත්, දැන් මාගේ රාජ්‍යය මෙලොවින් නොවේ.” (යොහන් 18:36) මිහිපිට තිබූ දාවිත්ගේ රාජ්‍යය මෙන් නොව, දෙවි යේසුට දී තිබෙන රාජ්‍යය ස්වර්ගයෙහි පිහිටුවා තිබෙන අතර මිහිපිටට සාමය ගෙනෙනු ඇත.
දෙවිගේ හමුදාවන් සටනට සැරසේ
දෙවිගේ හමුදාවන් වැඩි කල් නොගොස් ක්‍රියාත්මක වනු ඇත. ඉදිරියෙහි ඇති ඝට්ටනය විස්තර කරමින්, එළිදරව්ව යේසුව හඳුන්වන්නේ ‘දෙවිගේ වාක්‍යය’ කියායි. අපට මෙසේ කියවන්න තිබෙනවා: ‘ස්වර්ගයෙහි සිටින සේනාවෝ [හමුදාව, NW] සුදු වූ පවිත්‍ර සිහින් වස්ත්‍ර හැඳ, සුදු අශ්වයන් පිටින් ඔහු පස්සේ ගියෝය. ජාතීන්ට පහර දෙන පිණිස ඔහුගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මෙයි.’ මේ විරුද්ධවාදී හමුවීම අන්තිමේදී “පොළොවේ රජවරුන්ද ඔවුන්ගේ සේනාවන්ද [හමුදාවන්ද, NW]” අවසාන වීමට ප්‍රතිඵලය වනු ඇතැයි බයිබලය පවසනවා. දෙවිට තම පක්ෂපාතකම නිරූපණය කිරීමට අසමත් වන වෙනත් අය සඳහා අනාවැකිය මෙසේ එකතු කරනවා: “අනික් අය අශ්වයා පිට වැඩහුන් [තැනැත්තාගේ] කඩුවෙන් . . . මරනු ලැබුවෝය.” සාතන් වන යක්ෂයාව පවා ක්‍රියා විරහිත කරනු ඇත. මෙය ඇත්තෙන්ම හමුදාවන් නැතුව ලෝක සාමයක් ඇතිවීම සඳහා ඉඩ සලසනු ඇත.—එළිදරව් 19:11-21; 20:1-3.
යුද්ධයකින් තොර ලොවක් ගැන සිතා බලන්න
හමුදාවන් අවශ්‍ය නොකරන බෙහෙවින් ආරක්ෂාව තිබෙන ලෝකයක් ගැන ඔබට සිතේ මවාගන්න පුළුවන්ද? බයිබල් ගීතිකාකරුවෙක් මෙසේ පැවසුවා: ‘එව්, යෙහෝවාගේ ක්‍රියාවන්, එනම් ඔහු පොළොවෙහි සිදු කළ විනාශයන්, බලව්. ඔහු පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වන්නේය.’—ගීතාවලිය 46:8, 9.
මේක මොනතරම් සහනයක් වේවිද! හමුදාවන්ට හා ඔවුන්ගේ ආයුධවලට ගෙවීමේ විනාශකාරි බරකින් අන්තිමේදී මිනිස් සමාජයට නිදහස් වීමට ඇති හැකියාව ගැන හිතලා බලන්න! ජනයාට සියල්ලන්ගේම ජීවිත තත්වයන් වැඩිදියුණු කිරීමට පොළොව පිරිසිදු කිරීම හා එය යළි ගොඩනැඟීම සඳහා තමන්ගේ ශක්තීන් යෙදවීමට හැකි වනු ඇත. මිනිස්වර්ගයාට අවංකවම ප්‍රයෝජනවත් වනු ඇති දේවල් සොයාගැනීමට අලුත් ප්‍රස්තාවන් තිබෙනු ඇත.
මේ පොරොන්දුවට ලෝක ව්‍යාප්ත ඉටුවීමක් තිබෙනු ඇත: “නුඹේ දේශයෙහි බලාත්කාරයද නුඹේ සීමා ඇතුළේ නාස්තිය හා විනාශයද ගැන තවත් අසන්ට නොලැබෙන්නේය.” (යෙසායා 60:18) බලාපොරොත්තු විරහිත වූ මිලියන ගණන් සරණාගතයන් ගංගාවක් යළි කවදාවත් යුද්ධ කලාපවලින් ඇදී එන්නේවත්, ඔවුන්ගේ නිවාස සහ ඉඩකඩම් අත්හැර කාලකණ්ණිකමින් කඳවුරුවල ජීවත් වීමට බල කරනු ලබන්නේවත් නැහැ. ජාතීන් අතර ගැටුම්වලදී මැරුම් කෑ හෝ අබ්බගාත වූ ප්‍රේමනීයයන් ගැන යළි කවදාවත් ජනයා විලාප කියන්න යන්නේ නැහැ. යෙහෝවාගේ ස්වර්ගික රජ ස්ථිර ලෝක සාමය පිහිටුවනු ඇත. “[ඔහුගේ] දවස්වලදී ධර්මිෂ්ඨයා සඵලවන්නේය; සඳ නැතිවන තෙක්ම බොහෝ සමාදානයද වන්නේය. [ඔහු] ඔවුන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන්නේය.”—ගීතාවලිය 72:7, 14.
වෛර කිරීමට නොව ප්‍රේමය පිළිබඳ දෙවිගේ මාර්ග අනුකරණය කිරීමට ඉගෙනගෙන තිබෙන ජනයා අතර ජීවිතය ඊටත් වඩා වැඩියෙන් ප්‍රසන්න දෙයක් වේවි. දෙවිගේ වචනය මෙසේ පුරෝකථනය කරනවා: “මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය. මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, [යෙහෝවා] ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.” යෙහෝවාව දන්නා මෙන්ම ඔහුට ප්‍රේම කරන ජනයා අතර ජීවත් වීම මොන වගේ එකක් වෙයිද? එම පොතම මෙසේ පුරෝකථනය කරනවා: “ධර්මිෂ්ඨකමේ ක්‍රියාව සමාදානයද ධර්මිෂ්ඨකමේ ඵල සදාකාලයටම නිශ්චලය හා සුරක්ෂිත භාවයද වන්නේය. මාගේ සෙනග සමාදාන නිවාසයකද සුරක්ෂිත වාසස්ථානවලද නිවාඩු ස්ථානවලද වසන්නෝය.”—යෙසායා 11:9; 32:17, 18.
පොළොව මත සාමයට බාධා කරන සියලු සතුරන් ඉවත් කිරීමට දෙවිගේ හමුදාවන් සැරසී සිටින බව බයිබල් දැනගැන්ම මත ඇදහිල්ල ගොඩනඟා ඇති ජනයා අවබෝධ කරගන්නවා. මෙම දැනුම, “මතු දවස්වලදී [හටගත යුතුයි]” කියා බයිබලයේ පවසන දෙයට අනුව ක්‍රියා කිරීමට ඔවුන්ට නිසැකකමක් ලබා දෙනවා. එනම්: “ඔව්හු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත.”—යෙසායා 2:2-4.
බොහෝ ජාතීන්ගෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් වී සිටින ජනයා දැනටමත් ‘යුද්ධ ඉගෙනගැනීමෙන්’ වැළකී සිටිනවා. දෙවිගේ ස්වර්ගික හමුදාවෙන් ලැබෙන ආරක්ෂාව කෙරෙහි ඔවුන් තම නිසැකභාවය තබා තිබෙනවා. ඔවුන් සමඟ බයිබලය අධ්‍යයනය කිරීම මගින් ඔබටත් එවැනිම නිසැකභාවයක් වර්ධනය කරගත හැකියි.
[28වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
U.S. National Archives photo