සියලුදෙනාම දෙවියන්වහන්සේට ගණන් දිය යුතුය
“අප එක් එක්කෙනා තම තමා ගැන දෙවියන්වහන්සේට ගණන්දෙනවා ඇත.”—රෝම 14:12.
1. ආදම් හා ඒවගේ නිදහස මතට පනවන ලද්දේ කුමන සීමාද?
යෙහෝවඃ දෙවියන්වහන්සේ, අපේ මුල් දෙමාපියන් වූ ආදම් සහ ඒව මැව්වේ සදාචාරමය වශයෙන් තීරණ ගැනීමේ නිදහස ඇතුවයි. දේවදූතයන්ට වඩා පහත් වුවත්, ඔවුහු ඥානවන්ත තීරණ ගැනීමේ හැකියාවක් ඇති බුද්ධිමත් ජීවීහු වූහ. (ගීතාවලිය 8:4, 5) එහෙත්, දෙවියන්වහන්සේ නිදහස දානය කර තිබුණත්, හිතුමතයේ තීරණ ගැනීමට එය බලපත්‍රයක් නොවීය. ඔවුන් තම මැවුම්කරුට ගණන් දිය යුතු වූ අතර, මෙසේ ගණන් දීම ඔවුන්ගේ පැවතෙන්නන් සියලුදෙනාටම අදාළ වනු ඇත.
2. ළඟදීම යෙහෝවඃවහන්සේ කුමන ආකාරයේ ගණන් ගැනීමක් කරනු ලබයිද, ඒ මන්ද?
2 දැන් අප මේ දුෂ්ට දේවල පිළිවෙළේ උච්චාවස්ථාව කරා ළඟා වන බැවින්, යෙහෝවඃවහන්සේ පොළොව මත ගණන් ගැනීමක් කරනසේක. (රෝම 9:28, සසඳන්න.) පොළොවේ සම්පත් දූෂණය කිරීම, ජීවිත විනාශ කිරීම හා විශේෂයෙන් උන්වහන්සේගේ සේවකයන්ට පීඩා කිරීම නිසා, අභක්තික මනුෂ්‍යයන්ට ළඟදීම යෙහෝවඃ දෙවියන්වහන්සේට ගණන් දීමට සිදු වනු ඇත.—එළිදරව් 6:10; 11:18.
3. අප සලකා බලන්ට යන්නේ කුමන ප්‍රශ්නද?
3 බරපතළ ලෙස කල්පනා කිරීමට තුඩු දෙන මෙම අපේක්ෂාව අප ඉදිරියෙහි තිබෙන නිසා, යෙහෝවඃවහන්සේ අතීතයේ තම මැවිලි සමඟ ධර්මිෂ්ඨව කටයුතු කළ ආකාරය ගැන කල්පනා කර බැලීම ප්‍රයෝජනදායකය. අපේ මැවුම්කරුට පිළිගත හැකි ආකාරයකින් ගණන් දීමක් කිරීම සඳහා, අපට පෞද්ගලිකව උපකාර කිරීමට ශුද්ධ ලියවිලිවලට හැක්කේ කෙසේද? උපකාරවත් විය හැක්කේ කුමන ආදර්ශද, එමෙන්ම අප අනුකරණය කිරීමෙන් වැළකී සිටිය යුත්තේ කුමන ඒවාද?
දේවදූතයන් ගණන් දිය යුතුයි
4. දේවදූතයන් තම ක්‍රියා සඳහා දෙවියන්වහන්සේට ගණන් දිය යුතු බව අප දන්නේ කෙසේද?
4 ස්වර්ගයේ සිටින යෙහෝවඃවහන්සේගේ දේවදූතමය මැවිලි අප හා සමානව උන්වහන්සේට ගණන් දිය යුතුය. නෝවාගේ දවසේ ජලගැලීමට කලින්, ස්ත්‍රීන් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීමේ අරමුණෙන් ඇතැම් දේවදූතයෝ අකීකරුව, මනුෂ්‍ය වෙස් ගත්හ. සදාචාරමය වශයෙන් තීරණ ගැනීමට නිදහස තිබුණු පුද්ගලයන් වශයෙන්, මෙම ආත්ම මැවිලිවලට මේ තීරණය ගත හැකි වුවත්, දෙවියන්වහන්සේ ඔවුන්ගෙන් ගණන් ගත්සේක. එම අකීකරු දූතයන් නැවත ආත්ම විෂයට පැමිණි විට, ඔවුන්ගේ මුල් පදවිය නැවත ලබාගැනීමට යෙහෝවඃවහන්සේ ඉඩ දුන්නේ නැත. ඔවුන්ව “මහත් දවසේ විනිශ්චය පිණිස අන්ධකාරය යට සදාකාල බැඳුම්වලින් බැඳ” තබා ඇති බව ශ්‍රාවක යූද් අපට කියයි.—යූද් 6.
5. සාතන් සහ ඔහුගේ භූතයන් අද්දැක තිබෙන්නේ කුමන වැටීමක්ද, එමෙන්ම ඔවුන්ගේ කැරලිගැසීමට ඔවුන්ගෙන් ගණන් ගනු ලබන්නේ කෙසේද?
5 මෙම අකීකරු දූතයන් නොහොත් භූතයන්ගේ පාලකයා සාතන් නමැති යක්ෂයාය. (මතෙව් 12:24-26) මෙම දුෂ්ට දූතයා තම මැවුම්කරුට එරෙහිව කැරලි ගසා, යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යයේ යුක්තිසහගතබව සම්බන්ධයෙන් අභියෝග කළේය. සාතන් අපේ මුල් දෙමාපියන්ව පාපයට යොමු කළ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුහු අවසානයේදී මරුමුවට පත් වූහ. (උත්පත්ති 3:1-7, 17-19) ස්වර්ගයෙහි පෙනී සිටීමට ඉන්පසුව යෙහෝවඃවහන්සේ සාතන්ට ඉඩ දුන්නත්, දෙවියන්වහන්සේගේ නියමිත කාලයේදී, මෙම දුෂ්ටයාව පොළොවට හෙළනු ලබන බව එළිදරව් නමැති බයිබල් පොත කල්තියා දැන්වීය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ 1914දී රාජ්‍ය බලය ලැබීමෙන් වැඩි කලක් යෑමට පෙර මේ දේ සිදු වූ බව සාක්ෂිවලින් අඟවනු ලැබේ. අවසානයේදී, යක්ෂයාද ඔහුගේ භූතයෝද සදාකාල විනාශයට ලක් වන්නෝය. මෙසේ පරමාධිපත්‍යය පිළිබඳ මෙම වාදයට තුඩු දෙන විෂය විසඳෙද්දී, කැරලිගැසීම හා සම්බන්ධ ගණන් දීම යුක්තිසහගතව සමතයකට පත් වනු ඇත.—යෝබ් 1:6-12; 2:1-7; එළිදරව් 12:7-9; 20:10.
දෙවියන්වහන්සේගේ පුත්‍රයා ගණන් දිය යුතුයි
6. තම පියාණන්ට පෞද්ගලිකව ගණන් දිය යුතු බවට වූ කාරණය යේසුස්වහන්සේ සලකන්නේ කෙසේද?
6 දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තබා ඇත්තේ මොනතරම් කදිම ආදර්ශයක්ද! ආදම්ට සමාන පරිපූර්ණ මනුෂ්‍යයෙක් වශයෙන්, යේසුස්වහන්සේ දිව්‍ය කැමැත්ත කිරීමට බොහෝ සෙයින් සතුටු වූසේක. යෙහෝවඃවහන්සේගේ නීතිවලට අවනත වීම හේතුවෙන් ගණන් දීමටත් උන්වහන්සේ සතුටු වූසේක. උන්වහන්සේ ගැන ගීතිකාකරු යෝග්‍ය ලෙස මෙසේ අනාවැකි පළ කළේය: “මාගේ දෙවියන්වහන්ස, ඔබගේ කැමැත්ත කරන්ට ප්‍රියවෙමි; එසේය, ඔබගේ ව්‍යවස්ථාව මාගේ සිත තුළෙහිය.”—ගීතාවලිය 40:8; හෙබ්‍රෙව් 10:6-9.
7. යේසුස්වහන්සේගේ මරණයට ටිකකට කලින් යාච්ඤා කරද්දී, යොහන් 17:4, 5හි වාර්තා වී ඇති වචන කීමට උන්වහන්සේට හැකි වූයේ මන්ද?
7 යේසුස්වහන්සේ වෛරයෙන් පිරුණු විරුද්ධවාදිකම් අද්දුටුවත්, උන්වහන්සේ දේවකැමැත්ත කර, වධකණුවක මරණය දක්වා තම අඛණ්ඩතාව රක්ෂා කළසේක. මෙසේ ආදම්ගේ පාපයේ මරණය ගෙන දෙන ප්රතිවිපාකවලින් මනුෂ්‍යවර්ගයාව මුදාගැනීමට උන්වහන්සේ මිදීමේ මිලය ගෙවූසේක. (මතෙව් 20:28) එබැවින්, යේසුස්වහන්සේට තම මරණයට ටිකකට කලින්, මෙසේ නිසැකකමින් යාච්ඤා කරන්ට හැකි විය: “ඔබ මට කරන්ට දුන් වැඩ මම තීන්දුකර පොළොවේදී ඔබ ගෞරවයට පැමිණවීමි. දැන් පියාණෙනි, ලෝකය තිබෙන්ට පළමුවෙන් ඔබ වෙත මට තිබුණු මහිමයෙන් ඔබ වෙත මා ගෞරවයට පැමිණෙවුව මැනව.” (යොහන් 17:4, 5) යේසුස්වහන්සේට මෙම වදන් තම ස්වර්ගික පියාණන්ට පැවසිය හැකි වූයේ, උන්වහන්සේ ගණන් දීමේ පරීක්ෂණයට සාර්ථකව මුහුණ දෙමින් සිටි නිසාත්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිළිගත හැකිව සිටි නිසාත්ය.
8. (අ) අප යෙහෝවඃ දෙවියන්වහන්සේට පෞද්ගලිකව ගණන් දිය යුතු බව පාවුල් පෙන්නුම් කළේ කෙසේද? (ආ) දෙවියන්වහන්සේගේ පිළිගැනීම ලැබීමට අපට කුමක් උපකාර කරයිද?
8 පරිපූර්ණ මනුෂ්‍යයා වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන් නොව, අපි අසම්පූර්ණ අය වන්නෙමු. එහෙත්, අප දෙවියන්වහන්සේට ගණන් දිය යුතුය. ප්‍රේරිත පාවුල් මෙසේ පැවසීය: “නුඹ නුඹේ සහෝදරයා විනිශ්චයකරන්නේ මක්නිසාද? නොහොත් නුඹ නුඹේ සහෝදරයා කුමක් පිණිස සුළුකොට සිතන්නෙහිද? මක්නිසාද අපි සියල්ලෝම දෙවියන්වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටින්නෙමුව. මක්නිසාද: මා ජීවත්ව සිටිනු සැබෑවා සේම සෑම දණහිස් මට නමන්නේය, සෑම දිව්ද දෙවියන්වහන්සේට ප්‍රශංසාකරන්නේය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියා තිබේ. එහෙයින් අප එක් එක්කෙනා තම තමා ගැන දෙවියන්වහන්සේට ගණන්දෙනවා ඇත.” (රෝම 14:10-12) එසේ කිරීමටත් යෙහෝවඃවහන්සේ විසින් පිළිගනු ලැබීමටත් හැකි වන පරිද්දෙන්, අප කියන කරන දේ සම්බන්ධයෙන් මඟ පෙන්වීමක් ලැබීමට, උන්වහන්සේ ප්‍රේමනීයව අපට හෘදය සාක්ෂියක් මෙන්ම තම දේවානුභාවය ලත් වචනය වන බයිබලය දානය කර ඇත. (රෝම 2:15, 16; 2 තිමෝති 3:16) යෙහෝවඃවහන්සේගේ ආත්මික සැපයුම්වලින් උපරිම ප්‍රයෝජන ගැනීම හා බයිබලයට අනුව පුහුණු කළ අපේ හෘදය සාක්ෂිය අනුගමනය කිරීම, දෙවියන්වහන්සේගේ පිළිගැනීම අත් කරගැනීමට අපට උපකාර වෙයි. (මතෙව් 24:45-47) ශක්තිය හා මඟ පෙන්වීම සඳහා, යෙහෝවඃවහන්සේගේ ශුද්ධාත්මය නොහොත් ක්‍රියාකාරක බලය අමතර උල්පතකි. ආත්මයේ මඟ පෙන්වීමට හා බයිබලයට අනුව පුහුණු කළ අපේ හෘදය සාක්ෂියේ මඟ පෙන්වීමට එකඟව අප ක්‍රියා කරනවා නම්, අපේ සියලුම ක්‍රියා සඳහා ගණන් දිය යුතු “දෙවියන්වහන්සේව එපා කරන්නේ” නැති බව අපි පෙන්වන්නෙමු.—1 තෙසලෝනික 4:3-8; 1 පේතෘස් 3:16, 21.
ජාතීන් වශයෙන් ගණන් දිය යුතුයි
9. ඒදොම්වරු කවරහුද, එමෙන්ම ඔවුන් ඉශ්රායෙල්ට සැලකූ ආකාරය නිසා ඔවුන්ට සිදු වූයේ කුමක්ද?
9 යෙහෝවඃවහන්සේ ජාතීන්ගෙන් ගණන් ගැනීමක් කරනසේක. (යෙරෙමියා 25:12-14; ශෙපනියා 3:6, 7) මළ මුහුදට දකුණින් හා ඇකබා බොක්කට උතුරින් පිහිටි පුරාණ ඒදොම් රාජ්‍යය සලකා බලන්න. ඒදොම්වරුන් සෙමිටික් ජාතියේ ජනතාවක් වූ අතර, ඔවුහු ඉශ්රායෙල්වරුන්ගේ කිට්ටු ඥාතීහු වූහ. ආබ්‍රහම්ගේ මුනුබුරා වූ ඒසව් ඒදොම්වරුන්ගේ ආදි පිතෘ වුවත්, ඉශ්රායෙල්වරුන් පොරොන්දු දේශයට යන අතරේ, “රජ මාවත” දිගේ ඒදොම මැදින් යෑමට ඔවුන්ට අවසර දුන්නේ නැත. (ගණන් කථාව 20:14-21) සියවස් ගණනාවක් ගෙවී යද්දී, ඉශ්රායෙල් සඳහා තිබූ ඒදොම්ගේ සතුරුකම අනුකම්පා විරහිත බද්ධ වෛරයක් දක්වා වර්ධනය විය. අවසානයේදී, පො.යු.පෙ. 607දී යෙරුසලම විනාශ කරන ලෙස බබිලෝනිවරුන්ගෙන් බලවත් සේ ඉල්ලීම හේතුවෙන් ඒදොම්වරුන්ට ගණන් දීමට සිදු විය. (ගීතාවලිය 137:7) පොදු යුගයට පෙර සයවන සියවසේදී, නෙබෝනීඩස් රජු යටතේ සිටි බබිලෝනීය හමුදාව ඒදොම පරාජය කළ අතර, යෙහෝවඃවහන්සේ නියම කළාක් මෙන්, එය පාළු තත්වයකට පත් විය.—යෙරෙමියා 49:20; ඔබදියා 9-11.
10. මෝවබ්වරුන් ඉශ්රායෙල්වරුන් කෙරෙහි ක්‍රියා කළේ කෙසේද, තවද දෙවියන්වහන්සේ මෝවබ්වරුන්ගෙන් ගණන් ගැනීමක් කළේ කෙසේද?
10 මෝවබ්ටත් අත් වුණේ ඒ හා සමාන ඉරණමකි. මෝවබ් රාජ්‍යය ඒදොම්ට උතුරින් හා මළ මුහුදට නැඟෙනහිරින් පිහිටා තිබිණ. ඉශ්රායෙල්වරුන් පොරොන්දු දේශයට ඇතුල්වීමට පෙර, මෝවබ්වරුන් ඔවුන්ට සත්කාරශීලීව නොසැලකූ අතර, ඉශ්රායෙල්වරුන්ට රොටි හා වතුර දුන්නේ මූල්‍යමය වාසි ලැබීම සඳහා පමණි. (ද්විතීය කථාව 23:3, 4) මෝවබ්හි රජ වූ බාලාක්, දිවැස්වර බාලාම්ට මුදලක් ගෙව්වේ ඉශ්රායෙල් පිට ශාපය පැමිණවීමටය; ඇරත් ඉශ්රායෙල් පුරුෂයන්ව දුරාචාරයට හා රූප වන්දනාවට පොලඹවාගැනීම සඳහා මෝවබ් කාන්තාවන්ව යොදාගන්නා ලදි. (ගණන් කථාව 22:2-8; 25:1-9) කෙසේවෙතත්, ඉශ්රායෙල් සඳහා මෝවබ්ට තිබූ වෛරය යෙහෝවඃවහන්සේ නොසලකා හැරියේ නැත. පුරෝකථනය කර තිබූ පරිදි, මෝවබ් බබිලෝනිවරුන් අතින් පාළු කිරීමක් අද්දුටුවේය. (යෙරෙමියා 9:25, 26; ශෙපනියා 2:8-11) ඔව්, දෙවියන්වහන්සේ මෝවබ්ගෙන් ගණන් ගැනීමක් කළසේක.
11. මෝවබ් සහ අම්මොන් කුමන නගරවලට සමාන වූවාද, එමෙන්ම වර්තමාන දුෂ්ට දේවල පිළිවෙළ ගැන බයිබල් අනාවැකි අඟවන්නේ කුමක්ද?
11 මෝවබ්ට පමණක් නොව, අම්මොන්ටත් දෙවියන්වහන්සේට ගණන් දීමට සිදු විය. යෙහෝවඃවහන්සේ මෙසේ පුරෝකථනය කර තිබිණ: “මෝවබ් සොදොම මෙනුත් අම්මොන් පුත්‍රයෝ ගොමොරාව මෙනුත් කහඹිලියා බිමක්ද ලුණු වළවල්ද නිරන්තර පාළුවක්ද වන්නෝය.” (ශෙපනියා 2:9) දෙවියන්වහන්සේ සොදොම සහ ගොමොරාව යන නගරවල් විනාශ කළා සේම, මෝවබ් සහ අම්මොන් දේශද වනසනු ලැබීය. ලන්ඩනයේ භූ විද්‍යා සමිතිය පවසන අන්දමට, විනාශ කරනු ලැබූ සොදොම් සහ ගොමොරා නගරවල නටබුන් මළ මුහුදේ නැඟෙනහිර වෙරළේ තිබී සොයාගෙන ඇති බව පර්යේෂකයෝ කියා සිටිති. මේ සම්බන්ධයෙන් තවදුරටත් එළි විය හැකි විශ්වසනීය සාක්ෂි, යෙහෝවඃ දෙවියන්වහන්සේ වර්තමාන දුෂ්ට දේවල පිළිවෙළෙන්ද ගණන් ගැනීමක් කරන බවට අඟවන බයිබල් අනාවැකිවලට අනුබල දෙනවා පමණි.—2 පේතෘස් 3:6-12.
12. තමන් කළ පාපවලට ඉශ්රායෙල්ට දෙවියන්වහන්සේට ගණන් දීමට සිදු වුවත්, යුදෙව් ඉතිරි කොටසක් ගැන කලින් පවසා තිබුණේ කුමක්ද?
12 ඉශ්රායෙල් විශේෂයෙන් යෙහෝවඃවහන්සේගේ අනුග්‍රහයට පාත්‍ර වුණත්, එහි පාප සඳහා දෙවියන්වහන්සේට ගණන් දීමට එයට සිදු විය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉශ්රායෙල් ජාතිය වෙත පැමිණි විට, බහුතරය උන්වහන්සේව ප්‍රතික්ෂේප කළහ. ඇදහිල්ල දක්වමින් උන්වහන්සේගේ අනුගාමිකයන් බවට පත් වූයේ ඉතිරි වූ කොටසක් පමණි. පාවුල් මතු සඳහන් පරිදි ලිවූ විට, ඇතැම් අනාවැකි මෙම යුදෙව් ඉතිරි කොටසට අදාළ කළේය: “යෙසායා මොරගසා ඉශ්රායෙල් ගැන කියන්නේ: ඉශ්රායෙල් දරුවන්ගේ ගණන මුහුදේ වැලිමෙන් වන නුමුත්, ගැළවෙන්නේ ස්වල්ප දෙනෙක් පමණක්ය. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් වචනය තීන්දුකොට, එය අප්‍රමාදව පොළොව පිට ඉෂ්ටකරනසේක කියාය. පළමුවෙනුත් යෙසායා කියා තිබෙන ප්‍රකාරයට, සේනාවල ස්වාමීන්වහන්සේ අපට වංශයක් ඉතිරි නොකළසේක් නම් අපි සොදොම මෙන් වීමුව, ගොමොරාවට සමාන කරනු ලැබීමුයයි කියාය.” (රෝම 9:27-29; යෙසායා 1:9; 10:22, 23) එම ප්‍රේරිතවරයා එලියාගේ කාලයේ බාල්ට වැඳුම් පිදුම් නොකළ 7,000දෙනා පිළිබඳ උදාහරණය සඳහන් කළ අතර, අනතුරුව මෙසේ පැවසීය: “එසේම මේ කාලයේදීත් අනුග්රහයේ තෝරාගැනීමේ ප්‍රකාරයට ඉතිරිවූ කොටසක් සිටියි.” (රෝම 11:5) එම ඉතිරි කොටස සකස් වී තිබුණේ පෞද්ගලිකව දෙවියන්වහන්සේට ගණන් දිය යුතු වූ පුද්ගලයන්ගෙනි.
පෞද්ගලිකව ගණන් දීම පිළිබඳ උදාහරණ
13. කායින් තම සහෝදර ආබෙල්ව ඝාතනය කළ අවස්ථාවේදී, දෙවියන්වහන්සේ ඔහුගෙන් ගණන් ගැනීමක් කළ විට ඔහුට සිදු වූයේ කුමක්ද?
13 යෙහෝවඃ දෙවියන්වහන්සේට පෞද්ගලිකව ගණන් දීම පිළිබඳ අවස්ථා රැසක් බයිබලයෙහි සඳහන් වෙයි. උදාහරණයක් හැටියට, ආදම්ගේ කුලුඳුල් පුත්‍ර කායින් සලකා බලන්න. ඔහුද ඔහුගේ සහෝදර වූ ආබෙල්ද යෙහෝවඃවහන්සේට පූජා ඔප්පු කළෝය. දෙවියන්වහන්සේ ආබෙල්ගේ පූජාව පිළිගත්තද, කායින්ගේ පූජාව පිළිගත්තේ නැත. තම සහෝදරයාව කෲර ලෙස ඝාතනය කිරීම හේතුවෙන් ගණන් දීමට සිදු වූ අවස්ථාවේදී, කායින් කිසිම තැකීමකින් තොරව, දෙවියන්වහන්සේට මෙසේ පැවසීය: “මම මාගේ සහෝදරයාගේ රැකවලාද”? කායින් කළ පාපයට ඔහුව “ඒදනෙන් පෙරදිග නොද් [පලායන්නන්ගේ, NW] දේශ[යට]” පිටුවහල් කරන ලදි. තමා කළ අපරාධය ගැන අවංක පසුතැවිල්ලක් නොපෙන්වූ අතර, ඔහු ශෝක වූයේ යුක්තිසහගත ලෙස තමාට පැනවූ දඬුවම ගැන පමණි.—උත්පත්ති 4:3-16.
14. උත්තම පූජක ඒලී මෙන්ම ඔහුගේ පුත්‍රයන් හා සම්බන්ධ සිද්ධියේදී දෙවියන්වහන්සේට පෞද්ගලිකව ගණන් දීම නිදර්ශනය කරනු ලැබුවේ කෙසේද?
14 යමෙකු දෙවියන්වහන්සේට පෞද්ගලිකව ගණන් දිය යුතු බව, ඉශ්රායෙල්හි උත්තම පූජක ඒලී හා සම්බන්ධ සිද්ධියේදී පැහැදිලි කරනු ලැබේ. ඔහුගේ පුත්‍රයන් වූ හොප්නී හා පීනෙහාස් පූජක තනතුරු හොබවමින් සේවය කළත්, ඔවුන් “මනුෂ්‍යයන්ට අයුක්තිසහගත දේවල් කළ නිසාත්, දෙවියන්වහන්සේ කෙරෙහි අභක්තිකකම දැක්වීම නිසාත්, ඕනෑම දුෂ්ටකමකින් වැළකී නොසිටි නිසාත් වරදසහිත තත්වයක” සිටි බව ඉතිහාසඥ ජොසීෆස් කියයි. මෙම “දුර්ජනයෝ” යෙහෝවඃවහන්සේව හැඳින නොගෙන, පිළිකුල්සහගත ක්‍රියාවල යෙදී සිටි අතර, අන්ත දුරාචාරය සම්බන්ධයෙන් වරදකරුවෝව සිටියෝය. (1 සාමුවෙල් 1:3; 2:12-17, 22-25) ඔවුන්ගේ පියා හා ඉශ්රායෙල්හි උත්තම පූජකයා වශයෙන්, ඔවුන්ව හික්මවීමේ යුතුකම ඒලීට තිබුණු නමුත්, ඔහු කළේ ඔවුන්ට සුළුවෙන් තරවටු කිරීම පමණි. ඒලී ‘යෙහෝවඃවහන්සේට වඩා තම පුත්‍රයන්ට ගෞරව කළේය.’ (1 සාමුවෙල් 2:29) ඒලීගේ ගෘහය පිටට අවසන් විපාකය පැමිණියේය. පුත්‍රයන් දෙදෙනා හා පියාද එකම දවසේදී මියගිය අතර, අවසානයේදී ඔවුන්ගේ පූජක පෙළපත සම්පූර්ණයෙන්ම සිඳ දමනු ලැබීය. මෙයාකාරයෙන් ගණන් දීම සිදු කරන ලදි.—1 සාමුවෙල් 3:13, 14; 4:11, 17, 18.
15. සාවුල් රජුගේ පුත්‍ර යොනාතාන්ට හිතකර විපාකයක් ලැබුණේ මන්ද?
15 සාවුල් රජුගේ පුත්‍ර යොනාතාන් මීට සහමුලින්ම වෙනස් ආදර්ශයක් සැපයීය. දාවිත් ගොලියත්ව ඝාතනය කළායින් පසුව, “යොනාතාන් තමාගේම ප්‍රාණයට මෙන් දාවිත්ට ආදරේවූ බැවින්” ඔවුහු මිත්‍රත්වය සනාථ කරන ගිවිසුමක් කරගත්තෝය. (1 සාමුවෙල් 18:1, 3) ඇතැම්විට, දෙවියන්වහන්සේගේ ආත්මය සාවුල්ගෙන් ඉවත් වී තිබුණු බව යොනාතාන්ට තේරුම් යන්ට ඇති මුත්, සැබෑ නමස්කාරය සඳහා ඔහුගේම ජ්වලිතය දිගටම දැල්වෙමින් තිබුණේය. (1 සාමුවෙල් 16:14) දාවිත්ට දෙවියන්වහන්සේගෙන් ලැබුණු අධිකාරය සඳහා යොනාතාන්ගේ අගය කිසිදාක හීන වී ගියේ නැත. තමා දෙවියන්වහන්සේට ගණන් දිය යුතු බව යොනාතාන්ට තේරුම් ගිය අතර, ඔහු ගත් ගෞරවාන්විත ක්‍රියාමාර්ගය නිසා, යෙහෝවඃවහන්සේ ඔහුට විපාක දුන්සේක; එසේ කළේ ඔහුගේ පවුලේ පෙළපත පරම්පරා ගණනාවකට පැවතීමට සැලැස්වීමෙනි.—1 ලේකම් 8:33-40.
ක්‍රිස්තියානි සභාවේ ගණන් දිය යුතු බව
16. තීතස් කවුද, එමෙන්ම ඔහු පෞද්ගලිකව දෙවියන්වහන්සේට හොඳාකාරයෙන් ගණන් දුන් බව පැවසිය හැක්කේ මන්ද?
16 පෞද්ගලිකව හොඳාකාරයෙන් ගණන් දුන් පුරුෂයන් හා ස්ත්‍රීන් බොහෝදෙනෙකු ගැන ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලි ප්‍රශංසා මුඛයෙන් කතා කරයි. නිදසුනක් හැටියට, තීතස් නම්ලත් ග්‍රීක් ජාතික ක්‍රිස්තියානි භක්තිකයාව දැක්විය හැක. පාවුල් කුප්රසයට ගිය පළමුවන මිෂනාරි ගමනේදී ඔහු ක්‍රිස්තියානියෙකු වූ බව යෝජනා කර තිබේ. කුප්රසයෙන් පැමිණි යුදෙව්වන් හා යුදෙව් ආගමට හැරුණු අය, පො.යු. 33 පෙන්තකොස්ත දවසේදී ඇතැම්විට යෙරුසලමෙහි සිටින්ට ඇති බැවින්, ඉන් වැඩි කලක් යෑමට පෙර, ක්‍රිස්තියානි ධර්මය කුප්රසය කරා ළඟා වන්ට ඇත. (ක්‍රියා 11:19) කෙසේවෙතත්, තීතස් පාවුල්ගේ විශ්වාසවන්ත හවුල් වැඩකාරයෙක් බව ඔප්පු වූයේය. ඔහු පො.යු. 49දී පමණ පාවුල් හා බාර්ණබස් සමඟ යෙරුසලමට ගමන් කළේය; ඒ අවස්ථාවේදී චර්මච්ඡේදනය පිළිබඳ අතිවැදගත් ප්රශ්නය නිරාකරණය කරනු ලැබීය. ක්‍රිස්තියානි ධර්මයට හැරුණු අය මෝසෙස්ගේ ව්‍යවස්ථාවට යටත් නොවිය යුතු බවට වූ පාවුල්ගේ තර්කයට, තීතස් චර්මච්ඡේදනය නොවී සිටීමේ කාරණය හිතකර විය. (ගලාති 2:1-3) තීතස්ගේ කදිම සේවය ගැන ශුද්ධ ලියවිලිවල සාක්ෂි තිබෙන අතර, පාවුල් ඔහුට දිව්‍යානුභාවයෙන් ලිපියක් පවා ලීවේය. (2 කොරින්ති 7:6; තීතස් 1:1-4) ඔහුගේ භූමික ජීවිතයේ අවසානය දක්වා තීතස් දෙවියන්වහන්සේට කදිම ආකාරයකින් ගණන් දුන් බව සාක්ෂිවලින් පැහැදිලිය.
17. තිමෝති ගණන් දුන්නේ කුමන ආකාරයෙන්ද, එමෙන්ම මෙම ආදර්ශය අපට බලපෑ හැක්කේ කෙසේද?
17 යෙහෝවඃ දෙවියන්වහන්සේට පිළිගත හැකි ආකාරයකින් පෞද්ගලිකව ගණන් දුන් තවත් ජ්වලිතවත් පුද්ගලයෙකි, තිමෝති. තිමෝතිට යම් යම් සෞඛ්‍ය ගැටලු තිබුණත්, ඔහු ‘කුහකකමින් තොර ඇදහිල්ලක්’ [NW] විදහාපෙන්වූ අතර, ‘ශුභාරංචියේ අභිවෘද්ධිය තකා පාවුල් සමඟ දාසයෙකු මෙන්’ [NW] කටයුතු කළේය. එම ප්‍රේරිතවරයාට පිලිප්පියේ සෙසු ක්‍රිස්තියානීන්ට මෙසේ පැවසීමට හැකි විය: “නුඹලාගේ කාරණා ගැන [තිමෝති] වාගේ සැබෑලෙස සලකන්නාවූ වෙන කෙනෙක් මට නැත.” (2 තිමෝති 1:4, 5; පිලිප්පි 2:20, 22; 1 තිමෝති 5:23) මනුෂ්‍ය දුර්වලකම් හා වෙනත් පීඩා හමුවේ අපටත් කුහකකමින් තොර ඇදහිල්ලක් තැබිය හැකි අතර, දෙවියන්වහන්සේට පිළිගත හැකි ආකාරයකින් පෞද්ගලිකව ගණන් දිය හැක.
18. ලිදියා කවුද, එමෙන්ම ඇය විදහාපෙන්වූයේ කුමන ස්වභාවයක්ද?
18 ලිදියා දේවභක්තික ස්ත්‍රියක් වූ අතර, ඇය දෙවියන්වහන්සේට කදිම ආකාරයකින් ගණන් දුන් බව සාක්ෂිවලින් පැහැදිලි වෙයි. පාවුල් පො.යු. 50දී පමණ පිලිප්පියේ කළ සේවය හේතුවෙන්, යුරෝපයේදී ක්‍රිස්තියානි ධර්මය වැලඳගත් මුල් පුද්ගලයන් අතර ඈද ඇගේ පවුලේ සාමාජිකයෝද සිටියෝය. තියාතිරාහි උපන් ලිදියා, සමහරවිට යුදෙව් ආගමට හැරුණු කෙනෙකු විය හැකි මුත්, ඇතැම්විට ඇය විසූ පිලිප්පියේ යුදෙව්වන් වැඩිදෙනෙකු නොසිටින්ට ඇත; එමෙන්ම එහි සිනගෝගයක්ද නොතිබිණ. පාවුල් ඔවුන්ට කතා කළ අවස්ථාවේදී, ඈද වෙනත් ශ්රද්ධාවන්ත ස්ත්‍රීහුද ගංගාවක් අසබඩ රැස්ව සිටියෝය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලිදියා කිතු බැතිමතියක වූ අතර, ඇගේ ගෙදර නවාතැන් ගැනීමට ඈ පාවුල් හා ඔහුගේ හවුල්කරුවන්ව කැමති කරවාගත්තාය. (ක්‍රියා 16:12-15) ලිදියා පෙන්වූ ආගන්තුක සත්කාරය සැබෑ ක්‍රිස්තියානීන්ගේ කැපීපෙනෙන අංග ලක්ෂණයක්ව පවතී.
19. දොර්කස් දෙවියන්වහන්සේට කදිම ආකාරයකින් ගණන් දුන්නේ කුමන යහපත් ක්‍රියාමාර්ගය මගින්ද?
19 කදිම ආකාරයකින් යෙහෝවඃ දෙවියන්වහන්සේට පෞද්ගලිකව ගණන් දුන් තවත් ස්ත්‍රියකි, දොර්කස්. ඇය මියගිය විට, එහි විසූ ගෝලයන් කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙන් පේතෘස් යොප්පාවට ගියේය. පේතෘස්ව හමු වූ මනුෂ්‍යයෝ දෙදෙනා “උඩුමහලට ඔහු කැඳවාගන ගියෝය. සියලු වැන්දඹුවෝ ඔහු ළඟ සිට හඬ හඬා, දොර්කස් තමුන් සමඟ සිටියදී මහපු ඇඳුම් සහ වස්ත්‍ර පෙන්නුවෝය.” දොර්කස්ව නැවත ජීවත් කරවන ලදි. එහෙත් ඇය ප්‍රසිද්ධ වූයේ ඇගේ ත්‍යාගශීලී ස්වභාවය සඳහා පමණක්ද? නැත. ඇය “ගෝල ස්ත්‍රියෙක්” වූ අතර, ඇයද ගෝලයන් සෑදීමේ වැඩයෙහි නිරත වූ බව සහතිකය. අදදින වෙසෙන ක්‍රිස්තියානි ස්ත්‍රීන්ද ඒ හා සමානව ‘යහපත් ක්‍රියාවල හා දයාන්විත ත්‍යාග දීමෙහි බහුල ලෙස නිරත විය යුතුය.’ [NW] එමෙන්ම රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙහි හා ගෝලයන් සෑදීමෙහි ක්‍රියාශීලීව සහභාගි වීමටද ඔවුහු බොහෝ සෙයින් කැමති වෙති.—ක්‍රියා 9:36-42; මතෙව් 24:14; 28:19, 20.
20. අපට අපෙන්ම ඇසිය හැක්කේ කුමන ප්‍රශ්නද?
20 ජාතීන් හා පුද්ගලයන් පරමාධිපති ස්වාමි වූ යෙහෝවඃවහන්සේට ගණන් දිය යුතු බව බයිබලය පැහැදිලිව පෙන්නුම් කරයි. (ශෙපනියා 1:7) අප දෙවියන්වහන්සේට කැප වී සිටිනවා නම්, අපට අපෙන්ම මෙසේ ඇසිය හැක, ‘දෙවියන්වහන්සේගෙන් ලැබී තිබෙන මගේ වරප්‍රසාද හා වගකීම් මා සලකන්නේ කෙසේද? මම යෙහෝවඃ දෙවියන්වහන්සේට හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේට පෞද්ගලිකව ගණන් දෙමින් සිටින්නේ කුමන ආකාරයකින්ද?’
ඔබේ පිළිතුරු මොනවාද?
◻ දේවදූතයන් හා දෙවියන්වහන්සේගේ පුත්‍රයා යෙහෝවඃවහන්සේට ගණන් දිය යුතු බව ඔබ ඔප්පු කරනු ඇත්තේ කෙසේද?
◻ දෙවියන්වහන්සේ ජාතීන්ගෙන් ගණන් ගැනීමක් කරන බව පෙන්නුම් කරන බයිබල් ආදර්ශ මොනවාද?
◻ දෙවියන්වහන්සේට පෞද්ගලිකව ගණන් දීම සම්බන්ධයෙන් බයිබලය කියන්නේ කුමක්ද?
◻ බයිබල් වාර්තාව අනුව යෙහෝවඃ දෙවියන්වහන්සේට මැනවින් ගණන් දුන් සමහර පුද්ගලයන් කවුරුන්ද?
[10වන පිටුවේ පින්තූරය]
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම ස්වර්ගික පියාණන් ඉදිරියෙහි කදිම ආකාරයකින් ගණන් දුන්සේක
[15වන පිටුවේ පින්තූරය]
දොර්කස් මෙන්, අදදින ක්‍රිස්තියානි ස්ත්‍රීහු යෙහෝවඃ දෙවියන්වහන්සේට හොඳාකාරයෙන් පෞද්ගලිකව ගණන් දෙති
[13වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
The Death of Abel/The Doré Bible Illustrations/Dover Publications, Inc.