ක්‍රිස්තියානි රැස්වීම් අගය කිරීම
“ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු. . . . අපේම රැස්වීම අත් [නාරිමු].”—හෙබ්‍රෙව් 10:24, 25.
1, 2. (අ) සැබෑ ක්‍රිස්තියානීන්ගේ රැස්වීමකට යෑම වරප්‍රසාදයක් වන්නේ ඇයි? (ආ) යේසු තම අනුගාමිකයන්ගේ රැස්වීම්වලට පැමිණ සිටින්නේ කිනම් අර්ථයෙන්ද?
“දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් යම් තැනක රැස්ව සිටිත් නම් මම එතැන ඔවුන් මැද සිටිමි” කියා යේසු පැවසූ නිසා, යෙහෝවාගේ නමස්කාරකයන් දහදෙනෙකුට වඩා අඩුවෙන් සිටියත් දහස්ගණනක් සිටියත් ක්‍රිස්තියානි රැස්වීමකට යන්න ලැබීම මොනතරම් උතුම් වරප්‍රසාදයක්ද! (මතෙව් 18:20) එම පොරොන්දුව දෙන අවස්ථාවේදී යේසු සාකච්ඡා කරමින් සිටියේ සභාවේ පෙරමුණ ගන්නාවූ අය විසින් නිවැරදිව හැසිරවිය යුතු විනිශ්චයමය කාරණා ගැන බව ඇත්තයි. (මතෙව් 18:15-19) නමුත් මූලික වශයෙන් යේසුගේ වදන් ඔහුගේ නාමයෙන් ඉදිරිපත් කරන යාච්ඤාවකින් ආරම්භ කර අවසන් වෙන සියලුම ක්‍රිස්තියානි රැස්වීම්වලටත් අදාළ කරන්න පුළුවන්ද? ඔව්. යේසු තම අනුගාමිකයන්ට ගෝලයන් සෑදීමේ බලපැවරුම දුන් අවස්ථාවේදී, ඔහු මෙසේ පොරොන්දු වූ බව මතක තබාගන්න: “බලව! මේ දේවල පිළිවෙළේ නිමාව දක්වා සෑම දවසකම මම ඔබ සමඟ සිටිමි.”—මතෙව් 28:20, NW.
2 ක්‍රිස්තියානි සභාවේ හිස වන ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස්, තම ඇදහිලිවන්ත අනුගාමිකයන්ගේ සියලුම රැස්වීම් ගැන දැඩි උනන්දුවක් දක්වන බවට කිසිම සැකයක් තිබිය නොහැකියි. ඒ විතරක් නොවෙයි, ඔහු දෙවිගේ ශුද්ධාත්මය උපයෝගි කරගනිමින් ඔවුන් සමඟ සිටිනවා කියා අපට නිසැක විය හැකියි. (ක්‍රියා 2:33; එළිදරව් 5:6) අපි එකට එක්රැස්වීම ගැන යෙහෝවා දෙවිත් උනන්දු වෙනවා. එවැනි රැස්වීම්වල මූලික අරමුණ වන්නේ “සභාවලදී” දෙවිට ප්‍රශංසා කිරීම ඉහළ නැංවීමයි. (ගීතාවලිය 26:12) අපි සභා රැස්වීම්වලට පැමිණීම ඔහු සඳහා තිබෙන අපේ ප්‍රේමයේ සාක්ෂියක් වෙනවා.
3. අපි ක්‍රිස්තියානි රැස්වීම් අගය කරන්නේ කිනම් වැදගත් හේතු නිසාද?
3 අපි ක්‍රිස්තියානි රැස්වීම් අගය කළ යුතු වීමට තවත් හොඳ හේතු තිබෙනවා. පොළොවෙන් සමුගෙන යන්න කලින්, යේසුස් ක්‍රිස්තුස් ඇදහිල්ලට අයත් ගෘහවාසීන්ට නියම වේලාවට ආත්මික ආහාර සැපයීමේදී “විශ්වාසවූ නුවණ ඇති [දාසයෙක්]” ලෙස කටයුතු කිරීම සඳහා තම ආලේප ලත් ගෝලයන්ව පත් කළා. (මතෙව් 24:45) සභා රැස්වීම් මෙන්ම වඩා විශාල රැස්වීම්—එක්රැස්වීම් හා සමුළු—එවැනි ආත්මික පෝෂණයක් සලසන වැදගත් මාර්ගයක් වෙනවා. මේ දුෂ්ට දේවල පිළිවෙළින් බේරී ජීවත් වී දෙවිගේ ධර්මිෂ්ඨ නව ලොව තුළ ජීවනය ලබන්න කැමති සියලුදෙනාටම එවන් රැස්වීම්වලදී අතිවැදගත් තොරතුරු සැපයීම සඳහා ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් මෙම විශ්වාස වූ දාසයාට මඟ පෙන්වනවා.
4. බයිබලයේ සඳහන් වන්නේ කිනම් අනතුරුදායක ‘පුරුද්දක්’ ගැනද? එමෙන්ම එයින් වැළකීමට අපට උපකාර කරන්න යන්නේ කුමක්ද?
4 එනිසා ප්‍රේරිත පාවුල් සඳහන් කළ අනතුරුදායක පුරුද්ද වර්ධනය වීමට කිසිම ක්‍රිස්තියානියෙකු ඉඩ නොහැරිය යුතුයි; ඔහු මෙසේ ලිව්වා: “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නෑර, ඒ දවස ළංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාදකරමු.” (හෙබ්‍රෙව් 10:24, 25) ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණෙන්න ලැබීමේ වරප්‍රසාදය හා ඒවායින් ලැබෙන ප්‍රයෝජන ගැන මෙනෙහි කිරීම, එවැනි රැස්වීම්වලට පක්ෂපාත ලෙස හා පූර්ණ හෘදයෙන් අනුබල දීමට අපට උපකාරවත් වෙන්න යනවා.
වර්ධනය ගෙන දෙන රැස්වීම්
5. (අ) රැස්වීම්වලදී අපේ කතාබහට කිනම් බලපෑමක් තිබිය යුතුද? (ආ) රැස්වීම්වලට පැමිණීම සඳහා උනන්දුව දක්වන අයට ආරාධනා කිරීමේදී අපි ප්‍රමාද නොවිය යුත්තේ ඇයි?
5 ක්‍රිස්තියානි රැස්වීම්වලදී යෙහෝවාගේ ශුද්ධාත්මය ක්‍රියාත්මක වීම සඳහා ක්‍රිස්තියානීන් යාච්ඤා කරන නිසා, පැමිණෙන සෑම කෙනෙක්ම ආත්මයට අනුකූල වන පරිදි ක්‍රියා කිරීම සඳහා පෞද්ගලිකව තමාගේ උපරිමය කළ යුතු අතර, ‘දෙවිගේ ශුද්ධාත්මයට දුක් නොදිය’ යුතුයි. (එපීස 4:30) ප්‍රේරිත පාවුල් දේවානුභාවය ලත් එම වදන් ලියන විට, ඔහු සාකච්ඡා කරමින් සිටියේ කතා බහ නිසි ලෙස යොදාගැනීම ගැනයි. අපි පවසන දේවල් නිතරම “අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනවීම සඳහා” යොදාගත යුතුයි. (එපීස 4:29) මෙය විශේෂයෙන්ම ක්‍රිස්තියානි රැස්වීම්වලදී වැදගත්. රැස්වීම් වර්ධනය ගෙන දෙන, දැනුම සපයන මෙන්ම දිරිගන්වනසුලු වීමේ අවශ්‍යතාව කොරින්තිවරුන්ට ලියූ තම ලිපියේදී පාවුල් අවධාරණය කළා. (1 කොරින්ති 14:5, 12, 19, 26, 31) අලුතෙන් පැමිණෙන අය ඇතුළු පැමිණෙන සෑම කෙනෙක්ම එවැනි රැස්වීම්වලින් ප්‍රයෝජන ලබනවා; නවකයන් මැනවින් මෙසේ නිගමනය කළ හැකියි: “සැබවින් [දෙවි] නුඹලා අතරෙහිය.” (1 කොරින්ති 14:25) මේ හේතුව නිසා, අප හා එක්රැස්වීම සඳහා උනන්දුව දක්වන නවකයන්ට ආරාධනා කිරීමේදී අපි ප්‍රමාද නොවිය යුතුයි. මන්ද එසේ කිරීමෙන් ඔවුන් ලබන ආත්මික ප්‍රගතිය වේගවත් වෙන්න යනවා.
6. රැස්වීමක් වර්ධනය ගෙන දෙනසුලු එකක් වීමට උපකාරවත් වන ඇතැම් සාධක මොනවාද?
6 ක්‍රිස්තියානි රැස්වීමකදී කතා, සම්මුඛ සාකච්ඡා හෝ නිරූපණ ඉදිරිපත් කිරීම සඳහා පැවරුම් ලබා සිටින අය තම කතා කරන දේවල් වර්ධනය ගෙන දෙනසුලු මෙන්ම දෙවිගේ ලිඛිත වචනය වන බයිබලය හා එකඟ වන බවට සහතික වීම අවශ්‍යයි. නිරවද්‍ය දේවල් පවසනවාට අමතරව, අපි දෙවිගේ හා ක්‍රිස්තුස්ගේ ප්‍රේමයෙන් පිරි පෞද්ගලිකත්වයන් හා අනුකූල වන හැඟීම් හා චිත්තවේගයන් ප්‍රකාශ කළ යුතුයි. රැස්වීම් වැඩසටහනක කොටස් ඉදිරිපත් කරන සෑම කෙනෙක්ම ප්‍රීතිය, බොහෝ ඉවසිලිවන්තකම හා ඇදහිල්ල යනාදිය ඇතුළත් ‘දෙවිගේ ආත්මයේ ඵල’ පිළිබිඹු කිරීම ගැන සාවධානව සිටිනවා නම්, තමන් වර්ධනය වූ බවට පැමිණ සිටින සියලුදෙනාටම නිසැකවම හැඟීයාවි.—ගලාති 5:22, 23.
7. වර්ධනය ගෙන දෙන රැස්වීමකට දායක වීමට පැමිණෙන සියලුදෙනාටම හැක්කේ කෙසේද?
7 සභා රැස්වීම්වලදී වැඩසටහනේ කොටස් ටිකදෙනෙකුට පමණක් තිබිය හැකි වුවත්, වර්ධනය ගෙන දෙන රැස්වීමකට දායක වෙන්න සියලුදෙනාටම පුළුවන්. බොහෝ අවස්ථාවලදී ප්‍රශ්නවලට උත්තර සැපයීම සඳහා සබයට ප්‍රස්තාවන් තිබෙනවා. එම ප්‍රස්තාවන් අපේ ඇදහිල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට ලැබෙන අවස්ථායි. (රෝම 10:9) අපේ පෞද්ගලික අදහස්වලට අනුබලය දීම, පෞද්ගලිකව අප අත් පත් කරගෙන තිබෙන දේවල් ගැන පාරට්ටු කරගැනීම හෝ සෙසු ඇදහිලිවන්තයෙකුව විවේචනය කිරීම වැනි දේවල් කිරීම සඳහා අවස්ථාවක් ලෙස එම ප්‍රස්තාවන් කිසි විටක යොදා නොගත යුතුයි. ඒ දේවල් දෙවිගේ ආත්මයට දුක් දීමක් වෙන්නේ නැද්ද? පෞද්ගලිකව ප්‍රේමයේ ආත්මයක් විදහාපෙන්වීම, ඇදහිලිවන්තයන් සමඟ තිබෙන එකඟ නොවීම් විසඳාගත හැකි හොඳම ක්‍රමය වෙනවා. බයිබලය මෙසේ සඳහන් කරනවා: “එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, [ක්‍රිස්තුස්] තුළ [දෙවි] නුඹලාට කමාවුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමාවෙන්න.” (එපීස 4:32) එම කදිම උපදේශය අදාළ කරගැනීම සඳහා ක්‍රිස්තියානි රැස්වීම් අපට මොනතරම් විශිෂ්ට ප්‍රස්තාවක් සපයයිද! එසේ කිරීම සඳහා බොහෝදෙනෙක් රැස්වීම්වලට කලින්ම පැමිණෙන අතර, ඒවා අවසන් වීමෙන් පසු ටික වේලාවක් රැඳී සිටිනවා. පිළිගනු ලැබූ බවට හැඟීම සඳහා විශේෂ අවශ්‍යතාවක් තිබෙන අලුතින් උනන්දුව දක්වන අයට මෙය උපකාරවත් වෙනවා. මේ අනුව ‘ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගැනීමෙන්’ රැස්වීම් වර්ධනය ගෙන දෙනසුලු ඒවා බවට පත් කිරීමේදී කැප වූ සියලුම ක්‍රිස්තියානීන්ට කරන්න වැඩකොටසක් තිබෙනවා.
හොඳින් සූදානම් වන්න
8. (අ) සමහරුන් රැස්වීම්වලට පැමිණීම සඳහා කුමන ආකාරයේ ප්‍රශංසනීය කැප කිරීම් කරනවාද? (ආ) එඬේරෙකු වශයෙන් යෙහෝවා තබන්නේ කිනම් ආදර්ශයද?
8 සමහරුන්ට ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීම තරමක් දුරට පහසු දෙයක් විය හැකි වුවත්, තවත් අයට ඒ සඳහා දිගටම කළ යුතු යම් කැප කිරීමක් අවශ්‍ය වෙනවා. උදාහරණයක් හැටියට, තමාගේ පවුලේ අයගේ අවශ්‍යතා සැපයීමේදී ඊට උපකාර කිරීම සඳහා ලෞකික රැකියාවක් කිරීමට සිදු වී තිබෙන ක්‍රිස්තියානි මවක් සාමාන්‍යයෙන් වැඩ අවසන් කර ගෙදර එන්නේ මහන්සි වෙලයි. ඉන්පසු ආහාර පිළියෙළ කිරීමට හා රැස්වීමට සූදානම් වීම සඳහා දරුවන්ට උපකාර කරන්න ඈට සිදු විය හැකියි. වෙනත් ක්‍රිස්තියානීන්ට රැස්වීම්වලට පැමිණීම සඳහා බොහෝ දුරක් ගමන් කිරීමට සිදු විය හැකියි; එහෙම නැත්නම් ශාරීරික දුර්වලකම් හෝ මහලු වයස නිසා කළ හැකි දේවල් සීමිත විය හැකියි. ඇත්තෙන්ම ප්‍රේමනීය එඬේරෙක් තමාගේ රැළෙහි සිටින එක් එක් බැටළුවාගේ විශේෂ අවශ්‍යතා තේරුම්ගන්නාක් මෙන් යෙහෝවා දෙවි රැස්වීම්වලට පැමිණෙන සෑම ඇදහිලිවන්තයෙකුගේම තත්වය තේරුම්ගන්නවා. “එඬේරෙකු මෙන් [යෙහෝවා] තමන්ගේ රැළ [පෝෂ්‍ය කරන්නේය], බැටළුපැටවුන්ද තමන්ගේ හස්තයෙන් රැගෙන, තමන්ගේ ළයේ දරමින්, කිරිදෙන බැටළුදෙනුන් හෙමින් [ගෙන යන්නේය]” කියා බයිබලයේ සඳහන් වෙනවා.—යෙසායා 40:11.
9, 10. රැස්වීම්වලින් අපිට වැඩි ප්‍රයෝජන අත් කරගත හැක්කේ කෙසේද?
9 නිතිපතා රැස්වීම්වලට පැමිණීම සඳහා විශාල කැප කිරීම් කරන්න සිදු වන අයට, සලකා බැලීමට නියමිත තොරතුරු සූදානම් වීම සඳහා තිබෙන කාලය සීමිත විය හැකියි. සතිපතා බයිබල් කියවීමේ කාලසටහන දිගටම පවත්වාගෙන යෑම මගින් දිව්‍යාණ්ඩු සේවා පාසැලට පැමිණීම වඩාත් විපාකදායි දෙයක් වීමට සලස්වනවා. ඒ හා සමානව, මුරටැඹ පාඩම හා සභා පොත් පාඩම වැනි අනිකුත් රැස්වීම්වලට කලින්ම සූදානම් වීම මගින් ඒවා වඩාත් ප්‍රයෝජන ලැබිය හැකි තත්වයකට පත් කරනු ලබනවා. පවුලේ වගකීම්වලට වැඩි කාලයක් යොදවන අය පාඩම් කරන තොරතුරු කලින්ම කියවාගැනීම හා අඩුම තරමින් සඳහන් කර තිබෙන බයිබල් පාඨ කිහිපයක්වත් සැලකිල්ලට ගැනීම මගින් එම වැදගත් බයිබල් සාකච්ඡාවලට අර්ථාන්විතව හවුල් වීමට වැඩි නැඹුරුවාවක් දැක්විය හැකියි.
10 වැඩි නිදහසක් තිබෙන අයට රැස්වීම්වලට සූදානම් වීමේදී වැඩි කාලයක් යෙදවිය හැකියි. උදාහරණයක් හැටියට, සඳහන් වී ඇතත් උපුටා දක්වා නැති ශුද්ධ ලියවිලි පාඨයන් ගැන පර්යේෂණ කළ හැකියි. මේ අනුව රැස්වීම්වලින් උපරිම ප්‍රයෝජන අත් පත් කරගැනීමට හා තමන් ඉදිරිපත් කරන කතාවලින් හා අදහස් දැක්වීම් මගින් සභාව වර්ධනය කිරීමේදී කදිම දායකත්වයක් පිරිනැමීම සඳහා සියලුදෙනාටම සූදානම් විය හැකියි. හොඳින් සූදානම් වී සිටීම මගින් වැඩිමහල්ලන් හා උපස්ථායක සේවකයන් කෙටි, ලුහුඬු උත්තර සැපයීමෙන් කදිම ආදර්ශයක් තබන්න යනවා. යෙහෝවාගේ සැපයුම්වලට ගෞරවය දැක්වීමක් වශයෙන් පැමිණ සිටින අය රැස්වීම් පවත්වන අතරතුරේදී සිත වෙනතකට යවන පුරුදුවලින් වළකින්න යනවා.—1 පේතෘස් 5:3.
11. රැස්වීම්වලට සූදානම් වීම සඳහා තමන්වම හික්මවාගැනීම අවශ්‍ය වන්නේ ඇයි?
11 අපේ ආත්මික සෞඛ්‍යයට අත්‍යවශ්‍ය නොවන ක්‍රියාකාරකම් හා විනෝදාංශ අපේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් කා දැමිය හැකියි. එහෙමනම්, අපි අපවම පරීක්ෂා කිරීම අවශ්‍ය වන අතර, අපේ කාලය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ‘අනුවණයන් නොවිය’ යුතුයි. (එපීස 5:17) පෞද්ගලික බයිබල් පාඩමට හා රැස්වීම්වලට සූදානම් වීමට මෙන්ම රාජ්‍ය සේවය සඳහා වැඩි කාලයක් යෙදීමට හැකි වන පරිදි වැදගත්කමින් අඩු කාරණාවලින් ‘කාලය මිල දී ගැනීම’ අපේ ඉලක්කය විය යුතුයි. (එපීස 5:16, NW) මෙය සැමවිටම පහසු දෙයක් නොවන බවත් ඒ සඳහා තමාවම හික්මවාගැනීම අවශ්‍ය කරන බවත් පිළිගත යුතුයි. එයට අවධානය යොමු කරන යෞවනයන් අනාගතයේ තමන්ගේ ප්‍රගතිය සඳහා කදිම අඩිතාලමක් දමමින් සිටිනවා. පාවුල් තමාගේ තරුණ සහයකයා වූ තිමෝතිට මෙසේ ලිව්වා: “නුඹේ දියුණුවීම සියල්ලන්ට පෙනෙන පිණිස ඒ දේවල් [තිමෝතිට පාවුල් දුන් උපදෙස්] කඩිසරලෙස භාවිතාකරමින් එහිම යෙදී සිටින්න.”—1 තිමෝති 4:15.
දේවවචනයෙන් ආදර්ශ
12. සාමුවෙල්ගේ පවුලේ අය තැබුවේ කිනම් කැපීපෙනෙන ආදර්ශයද?
12 දෙවිගේ මණ්ඩපය ෂීලෝහි පිහිටා තිබූ කාලයේදී සෙසු නමස්කාරකයන් සමඟ රැස්වීම සඳහා පිළියෙළ කර තිබූ විධිවිධානයන්ට නිතිපතා සහභාගි වූ සාමුවෙල්ගේ පවුලේ අය තැබූ කදිම ආදර්ශය සලකා බලන්න. වාර්ෂිකව පවත්වන මංගල්‍යවලට යෑම අපේක්ෂා කළේ පුරුෂයන්ගෙන් පමණයි. නමුත් සාමුවෙල්ගේ පියා වූ එල්කානා “ෂීලෝහිදී සේනාවල [යෙහෝවාට] නමස්කාරකරන්ටත් පූජාකරන්ටත් අවුරුද්දෙන් අවුරුද්ද තමාගේ නුවර සිට නික්ම [යද්දී],” මුළු පවුලම කැටුව ගියා. (1 සාමුවෙල් 1:3-5) සාමුවෙල් හැදී වැඩුණු ගම් පළාත වූ රාමාතයිම්-ශෝපීම්, “එප්‍රායිම් කඳුරටේ” කන්දක් පාමුල පිහිටි නවීන-දින රෙන්ටිස් යනුවෙන් හඳුන්වන මුහුදුබඩ ප්‍රදේශයේ පිහිටා තිබුණා විය හැකියි. (1 සාමුවෙල් 1:1) මේ අනුව ෂීලෝට යන ගමන, ඒ දවස්වල, කරත්තයකින් ගමන් කරන සෑහෙන වෙහෙසක් ගෙන දෙන කිලෝමීටර් 30ක පමණ දුරකින් යුත් එකක් වෙන්න ඇති. ‘අවුරුද්දෙන් අවුරුද්ද යෙහෝවාගේ ගෘහයට ගිය අවස්ථාවලදී’ එල්කානාගේ පවුලේ අය පක්ෂපාතව කළේ එයයි.—1 සාමුවෙල් 1:7.
13. යේසු මිහිපිට ජීවත් වෙමින් සිටි කාලයේදී ඇදහිලිවන්ත යුදෙව්වන් තැබුවේ කිනම් ආදර්ශයද?
13 යේසුද හැදී වැඩුණේ විශාල පවුලක සාමාජිකයෙකු ලෙසයි. සෑම අවුරුද්දකම පවුලේ අය යෙරුසලමෙහි පවත්වන පාස්කුවට යෑම සඳහා කිලෝමීටර් 100ක පමණ දුරක් දකුණු දෙසට ගමන් කළා. ඔවුන්ට ගමන් කිරීමේදී තෝරාගත හැකි වූ මාර්ග දෙකක් තිබෙනවා. වඩාත් කෙළින් පිහිටි ගමන් මාර්ගයට මෙගිද්දෝ මිටියාවත දක්වා පල්ලමක් බැස, ඉන් අනතුරුව සමාරියට අයත් ප්‍රදේශය හා යෙරුසලම දක්වා මීටර් 600ක පමණ නැඟීමක් අයත් වුණා. අනිත් ප්‍රසිද්ධ මාර්ගය වූයේ යේසු පො.යු. 33දී යෙරුසලමට ගිය තම අන්තිම ගමනේදී තෝරාගත් ගමන් මාර්ගයයි. ‘යොර්දානය හරහා යුදයේ සීමාවන්’ දක්වා ඔහු ළඟා වෙන තෙක් යොර්දාන් මිටියාවතේ සිට මුහුදු මට්ටමින් පහළට පයින් ගමන් කිරීම, එම ගමන් මාර්ගයට අයත් වුණා. (මාර්ක් 10:1) මේ ස්ථානයේ සිට ‘යෙරුසලමට යන මාර්ගය,’ මීටර් 1,100කට වඩා වැඩි නැඟීමක් තිබෙන කිලෝමීටර් 30ක් පමණ දුරකින් යුක්තයි. (මාර්ක් 10:32) නිතිපතාම මංගල්‍යය සමරන ඇදහිලිවන්තයන්ගෙන් යුත් සමූහයන් ගලීලයේ සිට යෙරුසලම දක්වා වූ මේ දුෂ්කර ගමනේ යෙදුණා. (ලූක් 2:44) නවීන ප්‍රවාහණ මාධ්‍යයන්ට ස්තුතිවන්ත වෙන්න බොහෝදෙනෙකුට සාපේක්ෂ වශයෙන් වැඩි පහසුවකින් ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණිය හැකි ධනවත් රටවල සිටින යෙහෝවාගේ සේවකයන්ට මොනතරම් කදිම ආදර්ශයක්ද!
14, 15. (අ) ආනා තැබුවේ කිනම් ආදර්ශයද? (ආ) රැස්වීම්වලට අලුතෙන් පැමිණෙන සමහර අය විදහාපෙන්වන කදිම ආකල්පයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
14 තවත් ආදර්ශයක් නම් වැන්දඹුවක් වූ 84 හැවිරිදි ආනායි. “ඈ දේවමාළිගාවෙන් අහක්ව නොගොස්” සිටි බව බයිබලයේ සඳහන් වෙනවා. (ලූක් 2:37) ඒ විතරක් නොවෙයි, ආනා අනිත් අය කෙරෙහි ප්‍රේමනීය සැලකිල්ලක් දැක්වුවා. ළදරු යේසුව දැකීමෙන් ඔහු පොරොන්දු වූ මෙසියස් බව දැනගෙන ඈ කළේ කුමක්ද? ඈ දෙවිට ස්තුති කර, “යෙරුසලමේ මිදීම ගැන බලාසිටි සියලුදෙනාට [ඔහු] ගැන [කතා කරන්න]” පටන්ගත්තා. (ලූක් 2:38) අදදින ක්‍රිස්තියානීන් සඳහා මොනතරම් කදිම ආකල්පයක් මෙන්ම ආදර්ශයක්ද!
15 ඔව්, අපේ රැස්වීම්වලට පැමිණීම හා සහභාගි වීම මගින් මොනතරම් ඉමහත් ප්‍රීතියක් ලැබිය යුතුද කියනවා නම් ආනා හා සමානව අපි කවදාවත් ඒවා අතපසු කිරීමට කැමති වෙන්නේ නැහැ. අලුත් අය බොහෝදෙනෙකුට ඒ ආකාරයට හැඟෙනවා. අන්ධකාරයෙන් දෙවිගේ මවිතකර ආලෝකයට පැමිණීමෙන් පසු ඔවුන් තමන්ට පුළුවන් සෑම දෙයක්ම ඉගෙනගැනීම අවශ්‍ය වන අතර, බොහෝදෙනෙක් ක්‍රිස්තියානි රැස්වීම් සඳහා මහත් උද්යෝගයක් පෙන්වා තිබෙනවා. අනිත් අතට, සත්‍යයේ බොහෝ කාලයක් සිටින අය ‘පළමු ප්‍රේමය අත්හැරීමට’ එරෙහිව සිටිය යුතුයි. (එළිදරව් 2:4) බරපතළ සෞඛ්‍ය ගැටලු හෝ පුද්ගලයෙකුට පාලනය කළ නොහැකි වෙනත් හේතු මගින් සමහර අවස්ථාවලදී රැස්වීම්වලට පැමිණෙන සංඛ්‍යාව සීමා කළ හැකියි. නමුත් අපි කවදාවත් ද්‍රව්‍යවාදයට, විනෝදාස්වාදයට හෝ සූදානම් නොවීමට, උදාසීන වීමට හෝ රැස්වීමට කඩින් කඩ පැමිණෙන්නෙක් වීමට හේතු වන උනන්දුව හීන වී යෑමට ඉඩ නොහැරිය යුතුයි.—ලූක් 8:14.
හොඳම ආදර්ශය
16, 17. (අ) ආත්මික රැස්වීම් කෙරෙහි යේසුගේ ආකල්පය වූයේ කුමක්ද? (ආ) සියලුම ක්‍රිස්තියානීන් අනුගමනය කිරීමට වෑයම් කළ යුත්තේ කිනම් යහපත් පුරුද්දද?
16 ආත්මික රැස්වීම් සඳහා අගය කිරීම පෙන්වීමේදී යේසු කැපීපෙනෙන ආදර්ශයක් තැබුවා. වයස අවුරුදු 12දී, ඔහු යෙරුසලමෙහි පිහිටි දෙවිගේ ගෘහය සඳහා තමාගේ ප්‍රේමය ක්‍රියාවලින් පෙන්නුවා. ඔහුගේ දෙමාපියන්ට ඔහු සිටි තැන සොයාගත නොහැකි වුණ නමුත් පසුව ඔහු ගුරුවරුන් සමඟ දේවමාළිගාවේදී දේවවචනය සාකච්ඡා කරමින් සිටියදී ඔහුව සොයාගත්තා. තම දෙමාපියන් පෙන්වූ සැලකිල්ලට ප්‍රතිචාරය දක්වමින් යේසු ගෞරවාන්විතව මෙසේ ඇසුවා: “මාගේ [පියාගේ] ගෘහයෙහි මා සිටින්ට ඕනෑ බව නුඹලා දැන සිටියේ නැද්ද”? (ලූක් 2:49) යොවුන් වියේ පසු වූ යේසු යටහත් ලෙස, තම දෙමාපියන් සමඟ නාසරෙත්ට ආපසු ගියා. එහිදී ඔහු සිනගෝගයට නිතිපතා යෑමෙන් නමස්කාරය හා සම්බන්ධ රැස්වීම් සඳහා තමාගේ අගය කිරීම දිගටම පෙන්නුවා. මේ අනුව, ඔහු තම දේවසේවය ආරම්භ කළ විට බයිබලය මෙසේ වාර්තා කරනවා: “[ඔහු] තමන් වැඩුණු නුවරවූ නාසරෙත්ට පැමිණ, තමන්ගේ පුරුද්ද ලෙස සබත් දවසෙහි සිනගෝගයට ඇතුල්ව, කියවන පිණිස [නැඟිට්ටේය].” යේසු යෙසායා 61:1, 2 කියවා පැහැදිලි කිරීමෙන් පසු රැස්ව සිටි පිරිස “[ඔහුගේ] මුඛයෙන් නික්මුණු කරුණාවේ වචන ගැන පුදුම [වෙන්න]” පටන්ගත්තා.—ලූක් 4:16, 22, ඇල අකුරු අපගේය.
17 අදදින ක්‍රිස්තියානි රැස්වීම්වල ඒ මූලික ආකෘතියම අනුගමනය කරනවා. ප්‍රශංසා කිරීමේ ගීතිකාවක් හා යාච්ඤාවක් සමඟින් රැස්වීම ආරම්භ කිරීමෙන් පසුව, බයිබලයෙන් තෝරාගත් වගන්ති (බයිබලය අධ්‍යයනය කිරීම සඳහා යොදාගන්නාවූ තොරතුරුවලින් උපුටාගත් වගන්ති) කියවා පැහැදිලි කරනු ලබනවා. සැබෑ ක්‍රිස්තියානීන් යේසුස් ක්‍රිස්තුස් අනුගමනය කළ යහපත් පුරුදු අනුකරණය කිරීමට බැඳී සිටිනවා. ඔවුන්ගේ තත්වයන් ඉඩහරින ප්‍රමාණය මත ඔවුන් නිතිපතා ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීමෙන් ඉමහත් ප්‍රීතියක් අද්දකිනවා.
නවීන-දින ආදර්ශ
18, 19. දිළිඳු රටවල ජීවත් වෙන සහෝදරයන් රැස්වීම්, එක්රැස්වීම් හා සමුළු සම්බන්ධයෙන් කිනම් කදිම ආදර්ශයක් තබා තිබෙනවාද?
18 ලෝකයේ දිළිඳු රටවල සිටින අපේ සහෝදර සහෝදරියන් බොහෝදෙනෙක් ක්‍රිස්තියානි රැස්වීම් අගය කිරීම සම්බන්ධයෙන් කදිම ආදර්ශයක් තබනවා. මොසැම්බික්හි, දිස්ත්‍රික් අවේක්ෂකයෙකු වන ඔලාන්ඩූට හා ඔහුගේ භාර්යාව වන ආමේල්යාට එක්රැස්වීමකට සහභාගි වීම සඳහා කිලෝමීටර් 90ක පමණ දුරක් උස් කන්දක් හරහා පයින් ගමන් කරන්න පැය 45ක් ගත වුණා. ඉන්පසු ඔවුන්ට ඊළඟ එක්රැස්වීමට සහභාගි වීම සඳහා එම දුර ප්‍රමාණයම නැවත ගමන් කරන්න සිදු වුණා. ඔලාන්ඩූ නිරහංකාර ලෙස මෙසේ වාර්තා වාර්තා කළා: “බාවා සභාවෙන් ඇවිත් හිටිය සහෝදරයන් ගැන බලද්දී අපි ඒතරම් දෙයක් කරල තිබුණේ නැහැ කියල අපිට හැඟුණා. එක්රැස්වීමට ඇවිත් ආපහු ඒ අයගේ ගෙවල්වලට යන්න කිලෝමීටර් 400ක විතර දුරක් පයින් ගමන් කරන්න තිබුණා; ඒ සඳහා දවස් හයක් ගත වුණා; ඒ අය අතර අවුරුදු 60ක් වයස සහෝදරයෙකුත් හිටියා!”
19 සතිපතා පවත්වන රැස්වීම් අගය කිරීම ගැන කියන්න පුළුවන් මොනවාද? කාෂ්වාෂ්වා නජාම්බා අවුරුදු 70 ගණන්වල පසු වන ශාරීරිකව දුර්වල සහෝදරියක්. ඈ ජීවත් වෙන්නේ කිසොසොසි නම් කුඩා ගමකයි; එහි සිට නැම්බියාවේ රුන්ඩුහි පිහිටා තිබෙන රාජ්‍ය ශාලාවට කිලෝමීටර් පහක් පමණ තිබෙනවා. රැස්වීම්වලට පැමිණීම සඳහා ඈ වනලැහැබ අතරින් යෑමට හා ආපසු ඒමට කිලෝමීටර් 10ක දුරක් පයින් ගමන් කරනවා. මේ ගමන් මාර්ගයේදී තවත් අය මං පහරන්නන්ට ගොදුරු වී තිබුණත් කාෂ්වාෂ්වා දිගටම රැස්වීම්වලට පැමිණෙනවා. රැස්වීම් බොහොමයක් පවත්වන්නේ ඈට තේරෙන්නේ නැති භාෂාවලිනුයි. ඉතින් කොහොමද ඈ රැස්වීම්වලට පැමිණීමෙන් ප්‍රයෝජන ලබාගන්නේ? “ශුද්ධ ලියවිලි පදවලට කිට්ටු අවධානයක් දීමෙන් ඉදිරිපත් කරන කතාව මොකක් ගැනද කියල තීරණය කරන්න මම උත්සාහ කරනවා” කියා කාෂ්වාෂ්වා පවසනවා. ඒත් ඈට අකුරු ලියන්න කියවන්න බැහැ; එහෙමනම් ඈ ශුද්ධ ලියවිලි පදවලට කිට්ටු අවධානයක් දෙන්නේ කොහොමද? “මගේ මතකයේ තියෙන ශුද්ධ ලියවිලි පදවලට මම ඇහුම්කන් දෙනවා” කියා ඈ උත්තර දෙනවා. ඒ වගේම අවුරුදු ගණනාවක් පුරා ඈ ශුද්ධ ලියවිලි පද ගණනාවක් ඇගේ මතකයේ තැන්පත් කරගෙන තිබෙනවා. බයිබලය පාවිච්චි කිරීමේ හැකියාව දියුණු කරගැනීම සඳහා ඈ සභාව මගින් පිළියෙළ කර තිබෙන අකුරු ලියන්න හා කියවන්න උගන්වන පංතියකට යනවා. “රැස්වීම්වලට යන්න මං හරිම ආසයි” කියා ඈ පවසනවා. “හැමදාම ඉගෙනගන්න අලුත් දේවල් තියෙනවා. මං කැමතියි සහෝදර සහෝදරියන් එක්ක ආශ්‍රය කරන්න. ඒ හැමදෙනාම එක්ක මට කතා කරන්න බැරි වුණත්, ඒ අය නිතරම ඇවිත් මාව පිළිගන්නවා. ඒ වගේම හුඟාක්ම වැදගත් දේ තමයි, රැස්වීම්වලට යන එකෙන් මම යෙහෝවාගේ හෘදය සතුටු කරනවා කියල මම දැනගෙන ඉන්න එක.”
20. අපේ ක්‍රිස්තියානි රැස්වීම් අප අත් නොහැරිය යුත්තේ ඇයි?
20 කාෂ්වාෂ්වා හා සමානව පොළොව පුරා යෙහෝවාගේ නමස්කාරකයන් දශලක්ෂ ගණනක් ක්‍රිස්තියානි රැස්වීම් සඳහා ප්‍රශංසනීය අන්දමින් අගය පෙන්වනවා. සාතන්ගේ ලෝකය එහි විනාශය කරා ගමන් කරද්දී, අපේ රැස්වීම් අත්හැරීමට අපට ඉඩ දිය නොහැකියි. ඒ වෙනුවට අපි දිගටම ආත්මිකව අවදිව සිටිමින් රැස්වීම්, එක්රැස්වීම් හා සමුළු සඳහා ඉමහත් අගය කිරීමක් පෙන්වමු. එයින් යෙහෝවාගේ හෘදය සතුටු වෙනවා විතරක් නොවෙයි, නමුත් සදාකාල ජීවනයට මඟ පෙන්වන දිව්‍ය ඉගැන්වීමට අපි හවුල් වන විට අපි මහඟු ප්‍රයෝජන අද්දකින්නත් යනවා.—හිතෝපදේශ 27:11; යෙසායා 48:17, 18; මාර්ක් 13:35-37.
පුනරීක්ෂණ ප්‍රශ්න
◻ ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑම වරප්‍රසාදයක් වන්නේ ඇයි?
◻ පැමිණෙන සියලුදෙනාටම වර්ධනය ගෙන දෙනසුලු රැස්වීමකට දායක විය හැක්කේ කෙසේද?
◻ යේසුස් ක්‍රිස්තුස් තැබුවේ කිනම් කැපීපෙනෙන ආදර්ශයද?
◻ දිළිඳු රටවල සිටින සහෝදරයන්ගෙන් අපට කිනම් පාඩමක් ඉගෙනගත හැකිද?
[18වන පිටුවේ කොටුව]
සතිපතා රැස්වීම් ඔවුන් අගය කරනවා
දිළිඳුකමින් හා අපරාධවලින් හිරිහැර විඳින නගරවල දශලක්ෂ ගණනක් මිනිසුන් ජීවත් වෙනවා. එවැනි තත්වයන් තිබුණත් ඔවුන් අතර සිටින සැබෑ ක්‍රිස්තියානීන් ක්‍රිස්තියානි රැස්වීම් සඳහා ප්‍රශංසනීය අගය කිරීමක් පෙන්වනවා. දකුණු අප්‍රිකාවේ, ඛෞන්ටෙං සොවෙටොහි තිබෙන එක් සභාවක සේවය කරන වැඩිමහල්ලෙක් මෙසේ වාර්තා කරනවා: “සාක්ෂිකරුවන් හා බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් 60ක් සිටින සභාවක 70ත් 80ත් අතර සංඛ්‍යාවක්, සමහර අවස්ථාවලදී ඊටත් වඩා වැඩි ගණනක් අපේ රැස්වීම්වලට එනවා. සහෝදර සහෝදරියන් රැස්වීම්වලට එන්න ඒ තරම් දුරක් ගමන් කරන්නේ නැති වුණත් සොවෙටොහි මේ ප්‍රදේශයේ තත්වය දරුණුයි. එක සහෝදරයෙක් රැස්වීමකට පයින් යන කොට ඔහුගේ පිටට පිහියෙන් ඇන්නා. ඔවුන් ළඟ තිබුණු දේවල් සොරකම් කරගන්න දැරූ උත්සාහයකදී අඩුම තරමින් සහෝදරියන් දෙදෙනෙකුවත් අල්ලාගත්තා. ඒත් ඒ අය රැස්වීම්වලට එන එක නතර කෙරුවේ නැහැ. ඉරිදා දවස්වල යාච්ඤාවකින් රැස්වීම අවසන් කළාට පස්සේ අපි ටික වේලාවක් ගීතිකා පුහුණු වෙනවා. හැමදාම අඩුම තරමින් සියයට 95ක්වත් නතර වෙලා ඊළඟ සතියට නියමිත ඔක්කොම ගීතිකා ගායනා කරනවා. උනන්දුව දක්වන අලුත් අයට ගීතිකා ඉගෙනගෙන ගායනා කරන්න ඒක උපකාරවත් වෙනවා.”
ගම්බද ප්‍රදේශවල ජීවත් වන අයට වෙනත් බාධා තිබෙනවා; සතියකට තුන්වතාවක් රැස්වීම්වලට පැමිණීම සඳහා ඔවුන්ට බොහෝ දුරක් ගමන් කරන්න සිදු වෙනවා. බොට්ස්වානාහි, ලොබාට්සීහි පිහිටි රාජ්‍ය ශාලාවේ සිට කිලෝමීටර් 15ක් දුරින් උනන්දුව දක්වන යුවළක් ජීවත් වෙනවා. පසුගිය අවුරුද්දේදී ඔවුන් තමන්ගේ දරුවන් දෙදෙනා සමඟ නිතිපතා රැස්වීම්වලට පැමිණ තිබෙනවා. පවුල නඩත්තු කිරීම සඳහා ස්වාමිපුරුෂයා සපත්තු අලුත්වැඩියා කරනවා. භාර්යාව පවුලට අමතර ආදායමක් ලබාගැනීම සඳහා පොඩි පොඩි දේවල් විකුණනවා; ඒකෙන් රැස්වීම්වලට යන එන වියදම් පියවාගන්න ඔවුන්ට පුළුවන්.
පසුගිය වසන්ත සමයේ එක් සැන්දෑවක මේ පවුලේ අය චාරිකා අවේක්ෂක සහභාගි වූ රැස්වීමකින් පසුව ප.ව. 9.00ට බස් නැවතුම්පොළක සිටියත්, යන්න කිසිම වාහනයක් තිබුණේ නැහැ. අයහපත් කාලගුණය නිසා බස් එක කලින්ම ගොස් තිබුණා. පොලිස් නිලධාරියෙක් ඔහුගේ වෑන් රථය නවතා, ඔවුන් මොනවාද කරමින් සිටින්නේ කියා ඇසුවා. ඔවුන්ගේ මේ අසරණ තත්වය ගැන ඇසීමෙන් පසු, ඔහු ඔවුන්ට අනුකම්පා කර නිවසට තිබෙන කිලෝමීටර් 15ක දුර ඔවුන්ව වාහනයේ නංවාගෙන ගියා. බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් වන භාර්යාව ඇගේ ස්වාමිපුරුෂයාට මෙසේ පැවසුවා: “බලන්න, අපි රැස්වීම්වලට මුල් තැන දෙනවා නම් යෙහෝවා නිතරම සපයනවා.” දැන් ස්වාමිපුරුෂයාත් ශුභාරංචිය දේශනා කරන්නෙක් වීම සඳහා කැමැත්ත පළ කර තිබෙනවා.
[18වන පිටුවේ පින්තූරය]
රුමේනියාවේ සිටින මෙවැනි සාක්ෂිකරුවන් ක්‍රිස්තියානි රැස්වීම් අගය කිරීම සම්බන්ධයෙන් කදිම ආදර්ශයක් තබනවා