ප්‍රේමයේ වඩා උතුම් මාර්ගය ඉගෙනගැනීම
කොසොවෝ, බොස්නියාව, ලෙබනන් හා අයර්ලන්තය. මෙම නම්, මෑතක සිට ප්රවෘත්තිවලදී නිතරම පාහේ අසන්න ලැබෙනවා. ඒවා සඳහන් කළ පමණින්ම, බෝම්බ ප්‍රහාර, කෲර ඝාතනයන් හා ලෙයින් නැහැවුණු මළ සිරුරු වැනි දර්ශන මිනිසුන්ගේ සිත්වල මැවෙනවා. ආගමික, ජාතික, වාර්ගික හෝ වෙනත් හේතූන් නිසා සැහැසියාවන් උද්ගත වීම මෑතක සිට ඇති වූ යමක් නොවෙයි. ඇත්තෙන්ම, මෙවැනි ගැටුම් ඉතිහාස පොත්වල පිටු පුරාම සඳහන් කර තිබෙන අතර, ඒවා මනුෂ්යවර්ගයාහට විස්තර කළ නොහැකි දුක් වේදනා ගෙන දී තිබෙනවා.
මිනිසාගේ ඉතිහාසය යම් තරමකට පැරණිද යුද්ධයේ ඉතිහාසයත් එතරම්ම පැරණියි. මේ නිසා යුද්ධය ජීවිතයේ නොවැළැක්විය හැකි අංගයක් බවත්, එකිනෙකාට වෛර කිරීම සඳහා මනුෂ්‍යයාට තිබෙන පෙලඹීම සහජයෙන්ම පැවතෙන්නක් බවත් ඇතමෙකුගේ විශ්වාසය වී තිබෙනවා. කොහොම වුණත්, මෙවැනි ආකල්ප දෙවිගේ වචනය වන බයිබලයට සම්පූර්ණයෙන්ම පටහැනියි. බයිබලය කිසිම සැකයක් නොමැතිව මෙසේ පවසනවා: “ප්‍රේම නොකරන්නා [දෙවිව] නාඳුනයි; මක්නිසාද [දෙවි] ප්‍රේමයය.” (1 යොහන් 4:8) එසේ නම්, මනුෂ්‍යයා එකිනෙකාට ප්‍රේමය දැක්වීම මැවුම්කරුගේ කැමැත්ත බව අපට පැහැදිලියි.
මනුෂ්‍යයාව මවා ඇත්තේ දෙවිගේ ස්වරූපයෙන් කියාත් බයිබලය හෙළි කරනවා. (උත්පත්ති 1:26, 27) මෙයින් අදහස් වන්නේ, දෙවිගේ ගුණාංග පිළිබිඹු කිරීමේ සහජ හැකියාව ඇතුව මිනිසාව මවා තිබෙන බවයි. එම ගුණාංග අතරින් උතුම්ම ගුණාංගය ප්‍රේමයයි. එසේ නම්, ඉතිහාසය පුරාම එකිනෙකාට ප්‍රේමය විදහාපෙන්වීමට මනුෂ්‍යයා මෙතරම් කනගාටුදායක ලෙස අසාර්ථක වී ඇත්තේ මන්ද? නැවතත් බයිබලය අපට පිළිතුරු සපයනවා. එයට හේතුව, මුල් මනුෂ්‍ය යුවළ වන ආදම් සහ ඒව දෙවිට විරුද්ධව කැරලි ගසා පාපයට වැටීමයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන්ගෙන් පැවතෙන සියල්ලන්ටද පාපය හා අසම්පූර්ණකම උරුම වී තිබෙනවා. රෝම 3:23 එය මෙසේ පැහැදිලි කරනවා: “සියල්ලෝම පව්කොට [දෙවිගේ] මහිමයෙන් හීනව සිටිති.” උරුම වූ පාපයත් අසම්පූර්ණකමත් හේතුකොටගෙන, ප්‍රේමය විදහාපෙන්වීමට දෙවිගෙන් අප ලද හැකියාව දුර්වල වී තිබෙනවා. මනුෂ්‍යයන්ට එකිනෙකාට ප්‍රේම කළ නොහැකි බව මින් අදහස් වෙනවද? එමෙන්ම සෙසු ජනයා සමඟ අප සාමකාමී මෙන්ම ප්‍රේමනීය සබඳතා භුක්ති විඳීම සම්බන්ධයෙන් කවදා හෝ බලාපොරොත්තු තැබිය හැකිද?
දෙවිට ප්‍රේම කිරීමට අප ඉගෙනගත යුතුයි
තත්වය කුමක් හෝ වේවා, මිනිසුන්ට තවමත් ප්‍රේමය විදහාපෙන්වීමට පුළුවන් බව යෙහෝවා දෙවි දන්නවා. ඔහුගේ සිත සතුටු කිරීමට කැමති සියල්ලන්ගෙන්ම, හැකි උපරිමයෙන් ප්‍රේමය විදහාපෙන්වන මෙන් ඔහු ඉල්ලා සිටින්නේ එනිසයි. ඉශ්‍රායෙලිතයන්ට දී තිබුණු ව්‍යවස්ථාවේ උතුම්ම ආඥාව මොකක්ද කියා දෙවිගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ගෙන් ඇසූ විට, ඔහු එම අවශ්‍යතාව පැහැදිලි කළා. ඔහු මෙසේ පැවසුවා: “නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද [ප්‍රාණයෙන්ද, NW] නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවිවූ [යෙහෝවාට ප්‍රේම කරන්න]. මේක උතුම්වූ පළමුවෙනිවූ ආඥාවය. මෙය හා සමාන දෙවෙනි එකක් තිබේ, එනම්, නුඹට මෙන් නුඹේ අසල්වාසියාට [ප්‍රේම කරන්න] යනුය. මේ ආඥා දෙක පිට මුළු ව්‍යවස්ථාවත් අනාගතවාක්‍යයත් පිහිටා තිබේ.”—මතෙව් 22:37-40.
නමුත්, නොපෙනෙන කෙනෙකුට ප්‍රේමය දැක්වීම දුෂ්කර කාර්යයක් බව බොහෝදෙනෙක් සිතනවා. එමෙන්ම යෙහෝවා දෙවි ආත්මයක් නිසා, මනුෂ්‍යයන් වන අපට ඔහුව දැකගැනීමටත් නොහැකියි. (යොහන් 4:24) කෙසේවෙතත්, අපේ ප්‍රයෝජනය සඳහා දෙවි යහපත් දේවල් රැසක් මවා තිබෙන අතර, ඒවා අපේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වන නිසා අප සියලුදෙනාම දෙවි දී තිබෙන දේවල් දිනපතාම භුක්ති විඳිනවා. ප්‍රේරිත පාවුල් මෙම කාරණය අවධාරණය කළේ මෙලෙසයි: “[දෙවි] අහසෙන් වර්ෂාව සහ සාරවත් කාලවල් නුඹලාට දී, කෑමෙන්ද සන්තෝෂයෙන්ද නුඹලාගේ සිත් පුරවමින්, යහපත්කම් කළ බැවින්, [තමන්] ගැන සාක්ෂි නොදී [නොසිටියේය].”—ක්‍රියා 14:17.
අප සියලුදෙනාම මැවුම්කරුගේ සැපයුම්වලින් යම් අන්දමකින් හෝ ප්‍රයෝජන ලබාගන්නවා. නමුත් ඊට සාපේක්ෂව බලද්දී, ඒ වෙනුවෙන් ඔහුට ස්තුතිය හෝ අගය ප්‍රකාශ කරන්නේ ස්වල්පදෙනයි. එමනිසා දෙවි අප වෙනුවෙන් කර ඇති සියලුම යහපත් දේවල් මතක් කරගනිමින්, ඔහු කරන සියල්ලෙන් පිළිබිඹු වන අනර්ඝ ගුණාංග ගැන අප මෙනෙහි කළ යුතුයි. මෙසේ කිරීම, අපට දෙවිගේ ගරුබිය දනවන ගුණාංග වන ප්‍රඥාව හා බලය අවබෝධ කරගැනීමට උපකාරයක් විය යුතුයි. (යෙසායා 45:18) අපව මවා තිබෙන්නේ ජීවත් වීමට පමණක් නොව, නමුත් ජීවිතය විවිධ ආකාරවලින් භුක්ති විඳීමේ හැකියාවත් ඇතුවයි. මේ නිසා, සියල්ලට වඩා ඔහු කොයිතරම් ප්‍රේමනීය දෙවිකෙනෙක්ද කියාත් අප වටහාගත යුතුයි.
නිදසුනක් වශයෙන්, දෙවි පොළොවේ මවා ඇති නිමක් නැති විවිධත්වයකින් යුත් ලස්සන මල් ගැන සිතා බලන්න. ඔහු අපට මෙවැනි සුන්දර දේවල් නැරඹීමට හා ඒවායින් ආස්වාදයක් ලැබීමට දී තිබෙන හැකියාව මොනතරම් අනර්ඝ දීමනාවක්ද! ඒ හා සමානව, දෙවි අපේ පැවැත්මට අවශ්‍ය විවිධත්වයෙන් යුත් පෝෂ්‍යදායි ආහාර සපයා තිබෙනවා. එමෙන්ම, ආහාර භුක්ති විඳීමේදී රස දැනීමට අප සතු හැකියාව, ඔහු කොයිතරම් සැලකිලිමත් දෙවිකෙනෙක්ද කියා අපට පැහැදිලි කර දෙනවා. දෙවි සැබවින්ම අපට ප්‍රේමය කරන බවටත් අපේ යහපත උදෙසා සියල්ල කරන බවටත් මේවා ස්ථිර සාක්ෂි නොවේද?—ගීතාවලිය 145:16, 17; යෙසායා 42:5, 8.
“ස්වභාව ධර්මය නමැති පොත” තුළින් තමාගේ ගුණාංග විදහාපෙන්වනවාට අමතරව, මැවුම්කරු තම වචනය වන බයිබලය තුළිනුත් ඔහු මොන වගේ දෙවිකෙනෙක්ද කියා එළිදරව් කරනවා. මෙම දැනුම අපට ලබාගත හැක්කේ, යෙහෝවා දෙවිගේ ප්‍රේමය පිළිබිඹු කරන අතීත ක්‍රියාවන් ගණනාවක් මෙන්ම නුදුරු අනාගතයේදී මනුෂ්‍යවර්ගයා උදෙසා බහුල ආශීර්වාද සපයන බවට වූ ඔහුගේ පොරොන්දු එහි සඳහන් කර තිබෙන නිසයි. (උත්පත්ති 22:17, 18; නික්මයාම 3:17; ගීතාවලිය 72:6-16; එළිදරව් 21:4, 5) අන් හැම දෙයකටත් වඩා ඉහළින්, මනුෂ්‍යවර්ගයා කෙරෙහි දෙවි දක්වන ප්‍රේමයේ උතුම්ම ප්‍රකාශය ගැනත් බයිබලය එළිදරව් කරනවා. එය නම්, අපව පාපයෙන් හා මරණයෙන් ගළවන පිණිස, ඔහුගේ ඒකජාතක පුත්‍රයාව ගැළවුම්කරුවෙක් වශයෙන් දීමයි. (රෝම 5:8) ඇත්තෙන්ම, අපේ ප්‍රේමනීය මැවුම්කරු ගැන ඉගෙනගන්න ගන්න, අපේ හෘදයෙන්ම ඔහුට ප්‍රේම කරන්න අපි වැඩි වැඩියෙන් පෙලඹෙනවා.
සෙසු ජනයාට ප්‍රේමය දැක්වීමට ඉගෙනගැනීම
දෙවිට අපේ මුළු හෘදයෙන්, ප්‍රාණයෙන් හා මනසින් ප්‍රේම කිරීමට අමතරව, අපට මෙන් අපේ අසල්වැසියාටත් ප්‍රේම කළ යුතුයි කියා යේසුස් අපට කියා දුන්නා. ඇත්තවශයෙන්ම, දෙවිගේ ප්‍රේමය හේතුවෙන් අපේ අසල්වැසියන්ට ප්‍රේම කිරීමට අප බැඳී සිටිනවා. ප්‍රේරිත යොහන් එය මෙසේ පැහැදිලි කරනවා: “ප්‍රේමවන්තයෙනි, [දෙවි] අපට මෙසේ [ප්‍රේම කළා] නම්, අප විසිනුත් එකිනෙකාට ප්‍රේමකළ යුතුය.” ඔහු තවදුරටත් මෙසේ අවධාරණය කරනවා: “යමෙක්: [දෙවිට] ප්‍රේමකරමියි කියා තමාගේ සහෝදරයාට වෛරකෙරේ නම්, ඔහු බොරුකාරයෙක්ය. මක්නිසාද තමා දුටු සහෝදරයාට ප්‍රේම නොකරනවා නම්, තමා නුදුටු [දෙවිට] ප්‍රේමකරන්ට ඔහුට නුපුළුවන. [දෙවිට] ප්‍රේමකරන තැනැත්තේ තමාගේ සහෝදරයාටත් [ප්‍රේම කරන්න] යන මේ ආඥාව අපි [ඔහුගෙන්] ලැබීමුව.”—1 යොහන් 4:11, 20, 21.
අප අද ජීවත් වන්නේ, වැඩි පිරිසක් මමත්වය විදහාපෙන්වන ලෝකයකයි. බයිබලය පුරෝකථනය කළ පරිදි ඔවුන් ‘තමුන්ටම ප්‍රේම කරනවා.’ (2 තිමෝති 3:2) එමනිසා, ප්‍රේමයේ උතුම් මාර්ගය ඉගෙනගැනීමට අපට අවශ්‍යයි නම්, සාමාන්‍ය ජනයාගේ ආත්මාර්ථකාමී ක්‍රියා කලාපයට වඩා වෙනස් අයුරින් අපගේ මනස් සකස් කරගැනීමටත් අපේ ප්‍රේමනීය මැවුම්කරුව අනුකරණය කිරීමටත් අපි පූර්ණ වෑයමක් දරන්න අවශ්‍යයි. (රෝම 12:12; එපීස 5:1) දෙවි ‘කෘතෝපකාර නොසලකන්නන්ට [අගය නොකරන්නන්ට, NW] හා දුෂ්ටයන්ට [පවා] කරුණාවන්තව සිටින’ අතර, ඔහු ‘නපුරන්ටත් යහපතුන්ටත් තම ඉර උදා කරනවා, ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්සනවා.’ අපේ ස්වර්ගික පියා අපට මෙතරම් උතුම් ආදර්ශයක් තබන නිසා, අපිත් සියලුදෙනාටම කරුණාව දැක්වීමටත් උපකාර කිරීමටත් වෑයම් කළ යුතුයි. මෙලෙස, අපි ‘ස්වර්ගයෙහි සිටින අපේ ප්‍රේමනීය පියාගේ පුත්‍රයන්’ බව ඔප්පු කළ හැකියි.—ලූක් 6:35; මතෙව් 5:45.
සමහරවිට, ප්‍රේමයෙන් පෙලඹුණු එවැනි ක්‍රියාවන් දෙවිට සේවය කිරීමට පවා ජනයාට මඟ පාදා තිබෙනවා. අවුරුදු කිහිපයකට පෙර, යෙහෝවාගේ සාක්ෂිකාරියක් වන ගෘහණියක් අසල්වැසි ස්ත්‍රියක් සමඟ බයිබල් පණිවිඩය බෙදාගැනීමට වෑයම් කළා. නමුත් ඇය පණිවිඩය තදින් ප්‍රතික්ෂේප කළා. කොහොම වුණත්, සාක්ෂිකාරිය අධෛර්යයට පත් වුණේ නැහැ. ඒ වෙනුවට, ඇය නිතරම මෙම ස්ත්‍රියට කරුණාව දැක්වුව අතර, ඇයට උපකාර කිරීමට ක්‍රම සෙව්වා. එක් අවස්ථාවකදී, මෙම ස්ත්‍රිය ගෙවල් මාරු කරද්දී ඇයට උපකාර කළා. තවත් අවස්ථාවකදී, මෙම ස්ත්‍රිය තම නෑදෑයන් හමුවීමට ගුවන් තොටුපොළට යද්දී, ඇගේ තනියට වෙන කෙනෙක්ව ඇය සමඟ යැව්වා. පසුව, මෙම ස්ත්‍රිය සාක්ෂිකාරියගෙන් බයිබල් පාඩමක් පිළිගෙන අවසානයේදී උද්යෝගිමත් ක්රිස්තියානිවරියක් බවට පත් වුණා. මෙසේ කළේ, ඇගේ පුරුෂයාගේ දැඩි පීඩා මධ්‍යයෙහියි. ඇත්තෙන්ම ප්‍රේමයෙන් පෙලඹුණු එම ක්‍රියාවන් සදාකාලික ආශීර්වාද අත් කරගැනීමට පදනමක් සැපයුවා.
අපි කාරණා දෙස අවංකව බලනවා නම්, දෙවි අපිට ප්‍රේමය දක්වන්නේ, අපට ප්‍රශංසනීය ගුණාංග රැසක් තිබෙන නිසා නොවෙයි කියා අපට පිළිගැනීමට සිදු වෙනවා. ඊට වෙනස්ව, අපේ අතින් කොයිතරම් අතපසු වීම් සිදු වුණත් අප තුළ කොයිතරම් අඩු පාඩුකම් තිබුණත්, ඔහු අපට ප්‍රේම කරනවා. එසේ නම්, සෙසු ජනයා අතින් කොතරම් වැරදි සිදු වුණත්, ඔවුන්ට ප්‍රේමය දැක්වීමට අපත් ඉගෙනගත යුතුයි. අපි එකිනෙකාගේ වැරදි සොයනවා වෙනුවට ඔවුන්ගේ යහපත් ගුණාංග අවබෝධ කරගැනීමටත්, ඒවා අගය කිරීමටත් අපිවම පුහුණු කරගන්නවා නම්, ඔවුන් කෙරෙහි ප්‍රේමය දැක්වීමට වඩාත් පහසු වෙයි. ඔවුන් කෙරෙහි ප්‍රතිපත්ති මත පදනම් වූ ප්‍රේමයට වඩා වැඩි යමක් පවා අපට විදහාපෙන්වන්න පුළුවන්. සමහරවිට මෙයට කිට්ටු මිත්‍රයන් අතර පවතින ලෙන්ගතුකමත් ඇතුළත් විය හැකියි.
ප්‍රේමය වර්ධනය වීමට ඉඩහැරීම
ප්‍රේමනීය මිත්‍රත්වයක් වර්ධනය කළ යුතු දෙයක් වන අතර, එයට අනිවාර්යයෙන්ම මුසු කළ යුතු ගුණාංගයක් වන්නේ අවංකකමයි. ඇතමෙක් තමන්ගේ දුර්වලතා සඟවන්න වෑයම් කරනවා. මෙසේ කරන්නේ, තමන් සම්බන්ධයෙන් හොඳ හැඟීමක් දීමෙන් මිත්රයන්ව තමන් වෙතට ආකර්ෂණය කරගැනීමටයි. නමුත් බොහෝ විට, සැබෑ තත්වය හෙළි වුණාම, ආකර්ෂණය වෙනවා වෙනුවට ඔවුන් ගැන පිළිකුල් හැඟීමක් ඇතිවීමට පවා මෙය හේතු වෙනවා. එමනිසා, අප යම් දුර්වලතාවලට එරෙහිව සටන් කරමින් සිටියත්, අපි සැබවින්ම මොන වගේ අයද කියා අනුන්ට හෙළි කිරීමට පසුබට නොවිය යුතුයි. ඇත්තෙන්ම, මෙය ඔවුන් සමඟ මිත්‍රත්වයක් ගොඩනඟාගැනීමට හොඳ පදනමක් සැපයිය හැකියි.
නිදසුනක් වශයෙන් දකුණු ආසියාතික රටක වෙසෙන එක් මහලු සහෝදරියකගේ ආදර්ශය සලකා බලමු. ඇගේ අධ්‍යාපන මට්ටම ඉතා දුර්වල වුණත් ඇය කවදාවත් එය අනුන්ගෙන් සැඟවීමට වෑයම් කරන්නේ නැහැ. උදාහරණයක් වශයෙන්, අන්‍යජාතීන්ගේ කාලවල් 1914දී අවසන් වූ බව අනුන්ට බයිබල් අනාවැකි හා ඉතිහාසය යොදාගෙන ඔප්පු කළ නොහැකි බව ඇය අවංකවම පිළිගන්නවා.a නමුත් දේවසේවයේ ජ්වලිතව යෙදී සිටීමෙන් ඇය තබන කදිම ආදර්ශය මෙන්ම සහෝදර සහෝදරියන් කෙරෙහි ඇය දක්වන ප්‍රේමය හා ඇගේ ත්‍යාගශීලීවන්තකම සහෝදරයන් කොතරම් අගය කරනවාද කියනවා නම්, ඇය ගැන කතා කරද්දී ඔවුන් ආදරේට කියන්නේ සභාවේ මැණික කියලයි.
සමහර සංස්කෘතීන්වල, ප්‍රේමය විවෘතව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අකමැත්ත පළ කරන අතර, අනුන් සමඟ කටයුතු කරද්දී බාහිර ආචාරශීලීකමක් පමණක් විදහාපෙන්වීමට මිනිසුන්ට උගන්වා තිබෙනවා. අනුන්ට සැලකිල්ල දක්වමින් ආචාරශීලීව කටයුතු කිරීම යහපත් දෙයක් වුණත්, ඔවුන් කෙරෙහි අපට තිබෙන හැඟීම් යටපත් කිරීමට නැතහොත් වසං කිරීමට එයට ඉඩ නොදිය යුතුයි. යෙහෝවා තම තෝරගත් සෙනඟ වන පුරාණ ඉශ්‍රායෙලිතයන්ට තම ප්‍රේමය ප්‍රකාශ කිරීමට ලජ්ජා වුණේ නැහැ. ඔහු ඔවුන්ට මෙසේ පැවසුවා: “සදාකාල ප්‍රේමයකින් නුඹට ප්‍රේමකෙළෙමි.” (යෙරෙමියා 31:3) ඒ හා සමානව, ප්‍රේරිත පාවුල් තෙසලෝනිකයේ සෙසු ඇදහිලිවන්තයන්ට මෙසේ ප්‍රකාශ කළා: “එලෙස අපි නුඹලාට ප්‍රේමාන්විත ඇලුම්කමකින් යුක්තව සිටිය බැවින්, [දෙවිගේ] ශුභාරංචිය පමණක් නොව නුඹලා අපට ඉතා ප්‍රියවූ නිසා අපේම ප්‍රාණත් නුඹලාට දෙන්ට සතුටුව සිටියෙමු.” (1 තෙසලෝනික 2:8) ඒ නිසා, සෙසු ජනයා කෙරෙහි අව්‍යාජ ප්‍රේමයක් වර්ධනය කරගැනීමට අප වෑයම් කරනවා. එමෙන්ම, ඉබේම එන මෙවැනි හැඟීම් යටපත් කරගන්නවා වෙනුවට විවෘතව ප්‍රකාශ කිරීම බයිබල් ඉගැන්වීම්වලට වඩාත් අනුකූලයි.
නිරන්තර වෑයමක් අවශ්‍යයි
අනුන් කෙරෙහි ප්‍රේමය වර්ධනය කරගැනීමට හා එය ප්‍රකාශ කිරීමට ඉගෙනගැනීම කිසිදා අවසන් නොවන ක්‍රියාවලියක්. අපේම අසම්පූර්ණත්වයට එරෙහිව සටන් කරනවාට අමතරව, ප්‍රේමය නොමැති මෙම ලෝකයේ බලපෑම්වලට එරෙහිවත් අපට සටන් කිරීමට සිදු වන නිසා මේ සඳහා අප නිරන්තර වෑයමක නිරත විය යුතුයි. නමුත්, එයින් අත් වන මහඟු ප්‍රතිඵල බලන කල දරන වෑයම ඇත්තෙන්ම වටිනවා.—මතෙව් 24:12.
මෙම අසම්පූර්ණ ලෝකයේ පවා, සෙසු ජනයා සමඟ වඩාත් හොඳ සබඳතාවන් භුක්ති විඳිය හැකි අතර, ඒවා අපිට මෙන්ම අන්‍යයන්ට සතුට, සමාදානය හා තෘප්තිය ගෙන දෙනවා. මෙවැනි වෑයමක් දැරීමෙන්, දෙවිගේ නව ලොවේ සදාකාලිකව ජීවත් වීමේ උතුම් බලාපොරොත්තුව අත් කරගැනීමට තරම් සුදුසුකම් තිබෙන බව අපට ඔප්පු කළ හැකියි. සියල්ලට වඩා ඉහළින්, ප්‍රේමයේ උතුම් මාර්ගය ඉගෙනගැනීමෙන්, අපේ ප්‍රේමනීය මැවුම්කරුගේ අනුමැතිය මෙන්ම ආශීර්වාද දැනුත් සදාකාලයටත් අපට භුක්ති විඳිය හැකියි!
[පාදසටහන]
a වැඩි විස්තර සඳහා, ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (ඉංග්‍රීසියෙන්) වෙළුම 1, පිටු 132-5 දක්වා බලන්න.
[10වන පිටුවේ පින්තූර]
ක්‍රිස්තියානි ප්‍රේමය කරුණාවන්ත ක්‍රියාවලින් විදහාපෙන්විය හැකියි
[8වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
UN PHOTO 186226/M. Grafman