අකිලා සහ ප්‍රිස්කිලා ආදර්ශවත් යුවළක්
“ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මාගේ හවුල් වැඩකාරයන්වූ, මාගේ ජීවිතය උදෙසා තමුන්ගේ බෙල්ල දුන්නාවූ ප්‍රිස්කාටද අකිලාටද ආචාරකරන්න. මා පමණක් නොව අන්‍යජාතීන්ගේ සියලු සභාවෝද ඔවුන්ට ස්තුතිකරති.”—රෝම 16:3, 4.
ප්‍රේරිත පාවුල් මෙම විවාහක යුවළව මහත් සේ අගය කළ අයුරු හා ඔවුන් කෙරෙහි දැක්වූ උණුසුම් සැලකිල්ල, රෝමයේ පිහිටි ක්‍රිස්තියානි සභාවට ඔහු ලියූ එම වදන්වලින් ඇඟවේ. ඔවුන් අයත්ව සිටි සභාවට ලියන විට, ඔවුන්ව නොසලකා නොහැරීමට ඔහු වගබලා ගත්තේය. එහෙත් පාවුල්ගේ මෙම “හවුල් වැඩකාරයන්” දෙදෙනා කවුද? තවද පාවුල්ට මෙන්ම සභාවටද ඔවුන් මෙතරම් ප්‍රේමනීය පුද්ගලයන් වූයේ මන්ද?—2 තිමෝති 4:19.
අකිලා විසිර ගිය යුදෙව්වරුන්ගෙන් කෙනෙක් වූ අතර, සුළු ආසියාවේ උතුරු දිසාවේ පිහිටි පොන්තසය නම් ප්‍රදේශයේ උපන් කෙනෙකි. ඔහු සහ ඔහුගේ බිරිඳ වූ ප්‍රිස්කිලා (ප්‍රිස්කා) රෝමයේ පදිංචි වී සිටියහ. සිරකරුවන් විශාල සංඛ්‍යාවක් වහලුන් හැටියට රෝමයට ගෙනා කාලයේ පටන්, එනම් අඩුම තරමින් පො.යු.පෙ. 63දී, පොම්පේ විසින් යෙරුසලම අල්ලාගනු ලැබූ කාලයේ පටන්, සැලකිය යුතු යුදෙව් ජනසමූහයක් එම නගරයේ විසූහ. එම පුරාණ නගරයේ සිනගෝග දොළහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තිබුණු බව රෝම අභිලේඛනවලින් හෙළි වේ. රෝමයෙන් පැමිණි යුදෙව්වන් විශාල පිරිසක් පො.යු. 33 පෙන්තකොස්ත දවසේදී යෙරුසලමට පැමිණ සිටි අවස්ථාවේදී ඔවුහු ශුභාරංචියට සවන් දුන්හ. ඇතැම්විට රෝම අධිරාජ්‍යයේ අගනගරය වෙත ක්‍රිස්තියානි පණිවිඩය මුලින්ම ළඟා වූයේ ඔවුන්ගේ මාර්ගයෙන් විය හැක.—ක්‍රියා 2:10.
කෙසේවෙතත්, රෝමයේ අධිරාජ්‍යයාව සිටි ක්ලෞදියස්ගේ ආඥාවට අනුව, පො.යු. 49දී හෝ 50වන වසරේ මුල්භාගයේදී යුදෙව්වන්ව රෝමයෙන් පිටුවහල් කරන ලදි. එබැවින්, ප්‍රේරිත පාවුල්ට අකිලාව සහ ප්රිස්කිලාව හමු වූයේ ග්‍රීක් නගරයක් වූ කොරින්තියේදීය. පාවුල් කොරින්තියට පැමිණි විට, අකිලා සහ ප්‍රිස්කිලා ඔහුට ආගන්තුක සත්කාරය පිරිනැමූ අතර, රැකියාවක්ද සපයා දුන්නේය; මන්ද ඔවුන් එකම වෘත්තියක—එනම් කූඩාරම් සෑදීමේ හවුල් වූ බැවිනි.—ක්‍රියා 18:2, 3.
කූඩාරම් සාදන්නෝ
මෙය පහසු වැඩක් නොවීය. ඉතා තද හා ගොරෝසු රෙදි හා හම් කැබලි කපා, එකට තබා මැසීම කූඩාරම් සෑදීමේ කාර්යයට අයත් විය. ඉතිහාසඥ ෆේර්නාන්ඩෝ බේආ පවසන පරිදි, එය කූඩාරම් සාදන්නන්ගේ පැත්තෙන් “මහත් සැලකිල්ලක් දැක්විය යුතු හා නිපුණත්වයක් අවශ්‍ය වූ රැකියාවක්” විය. “ගමන් බිමන් යෑමේදී කූඩාරම් ගසාගැනීම සඳහාද අව්වෙන් හා වැස්සෙන් ආරක්ෂා වීමට හා නැව්වල ගෙන යන බඩු අසුරන්න භාවිත කළ ගොරෝසු රෙදිවලින් ඔවුහු එම වැඩය කළහ.”
මෙය ප්‍රශ්නයක් මතු කරවයි. තමාට ඉදිරි කාලයේදී මහත් ගෞරවයක් ගෙන දෙන වෘත්තියක් සොයාගැනීමට අවශ්‍ය සුදුසුකම්වලට මඟ පාදන අධ්‍යාපනයක් ‘ගමාලියෙල්ගේ පාද මූලයෙහි උගන්වනු ලැබීමෙන්’ ලබා තිබූ බව පාවුල් පැවසුවා නොවේද? (ක්‍රියා 22:3) මෙය සැබෑවකි; එහෙත් උසස් අධ්‍යාපනයක් ලබාගැනීමට සිටියත්, තරුණ පිරිමි ළමයෙකුට යම් වෘත්තියක් ඉගැන්වීම ගෞරවනීය දෙයක් හැටියට පළමු සියවසේ විසූ යුදෙව්වෝ සැලකූහ. එමනිසා, අකිලා මෙන්ම ප්‍රිස්කිලාද තමන්ගේ යෞවන කාලයේදී කූඩාරම් සෑදීම ගැන දක්ෂතාවක් ලබාගත් බව පෙනෙන්ට තිබේ. පසුකාලයේදී එම අද්දැකීම බෙහෙවින් ප්‍රයෝජනවත් වූ දෙයක් බවට ඔප්පු විය. එහෙත් ක්‍රිස්තියානීන් හැටියට ඔවුහු එවන් ලෞකික රැකියාවක් තම ජීවිතයේ ප්‍රධාන දෙය ලෙස නොසැලකූහ. කොරින්තියේදී අකිලා සහ ප්‍රිස්කිලා සමඟ කළ රැකියාව, තම ප්‍රධාන වැඩය වන ශුභාරංචිය දේශනා කිරීමේදී ‘කාටවත් බරක් නොවීම’ සඳහා අනුබල දුන් දෙයක් පමණක් බව පාවුල් පැහැදිලි කළේය.—2 තෙසලෝනික 3:8; 1 කොරින්ති 9:18; 2 කොරින්ති 11:7.
පාවුල්ට තම මිෂනාරි සේවය පහසුවෙන් කරගෙන යෑමට උපකාර කිරීම සඳහා තමන්ට කළ හැකි සියල්ල කිරීමට අකිලා සහ ප්‍රිස්කිලා සතුටින් සිටි බව පැහැදිලිය. වැඩ කරමින් සිටි වේලාවේදී තම ගනු දෙනුකරුවන්ට හා තමන් අසලින් ගමන් කරන්නන්ට අවිධිමත් ලෙස සාක්ෂිදැරීම සඳහා, මේ මිතුරන් තිදෙනා කී වාරයක් තම වැඩය ටික වේලාවකට නතර කළාද කියා දන්නේ කවුද! කූඩාරම් සෑදීම හා සම්බන්ධ ඔවුන්ගේ වැඩය පහත් රැකියාවක් මෙන්ම වෙහෙස ඇති කරවන එකක් වුවත්, ඔවුහු දෙවියන්වහන්සේගේ වැඩවලට සහයෝගය දීමට හැකි වන පිණිස “රෑ දාවල්” පවා වැඩ කරමින් තම වැඩය ප්‍රීතියෙන් කළහ. ඒ හා සමානව නවීන දින ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක්ද ශුභාරංචිය සවන් දීමට ජනයාට උපකාර කිරීම සඳහා වැඩි කාලයක් යෙදවීමට හැකි වන ලෙස අර්ධ-කාලීන හෝ යම් කාලවලට සීමා වී තිබෙන වැඩ ඇති රැකියාවල නිරත වෙති.—1 තෙසලෝනික 2:9; මතෙව් 24:14; 1 තිමෝති 6:6.
ආගන්තුක සත්කාරය පිළිබඳ ආදර්ශ
පාවුල් මාස 18ක් කොරින්තියේ නැවතී සිටි කාලයේදී, තම මිෂනාරි කටයුතු සඳහා ප්‍රධාන ස්ථානය හැටියට අකිලාගේ නිවස යොදාගත්තා විය හැක. (ක්‍රියා 18:3, 11) පසුව, මකිදෝනියෙන් පැමිණි ආගන්තුකයන් වූ සීලස් (සිල්වානස්) හා තිමෝතිට ආගන්තුක සත්කාරය පිරිනැමීමෙන් අකිලා සහ ප්‍රිස්කිලා සතුටක් ලැබුවා විය හැක. (ක්‍රියා 18:5) පසුකාලයේදී බයිබලයේ පිළිගත් ග්රන්ථ සමූහයේ කොටස් වූ, තෙසලෝනිකවරුන්ට යැවූ පාවුල්ගේ ලිපි දෙක, අකිලා සහ ප්‍රිස්කිලා සමඟ නැවතී සිටි කාලයේදී ලියනු ලැබුවා විය හැක.
මේ කාලයේදී, ප්‍රිස්කිලාගේ සහ අකිලාගේ නිවස දිව්‍යාණ්ඩු ක්‍රියාකාරකම් සඳහා යොදාගනු ලැබූ ප්‍රධාන මධ්‍යස්ථානයක් වූ බව සිතීම එතරම් අපහසු නැත. පෙනෙන විදිහට එම ස්ථානය ප්‍රේමනීය සහෝදරයන් බොහෝදෙනෙකු—එනම්, පාවුල් විසින්ම බව්තීස්ම කළාවූ අකායේ විසූ ස්තේපනස් හා ඔහුගේ පවුලේ අය, පාවුල්ට තම අනුශාසනාවන් කරගෙන යෑමට තම නිවස පාවිච්චි කිරීමට ඉඩ දුන් තීතස් යුස්තස් හා තම නිවසේ සිටි සියලුදෙනා සමඟ සත්‍යය පිළිගත් සිනගෝගයේ මුලසුන හෙබවූ ක්‍රිස්පස් යන අය නිතර ඇසුරු කළ තැනක් විය හැක. (ක්‍රියා 18:7, 8; 1 කොරින්ති 1:16) පසුව පොර්තුනාතුස් හා ආකායිකස්ද, සභා රැස්වීම් පැවැත්වීම සඳහා ඇතැම්විට තම නිවස ලබා දුන්නා විය හැකි ගායස්ද, නුවර භාණ්ඩාගාරික වූ එරස්තස්ද, පාවුල් රෝමවරුන්ට තම ලිපිය ලියද්දී ලේකම් හැටියට යොදාගත් තර්තියස්ද, අසල පිහිටි කෙංක්‍රයේ තිබූ සභාවෙහි විශ්වාසවන්ත සහෝදරියක මෙන්ම එම ලිපිය ඇතැම්විට කොරින්තියේ සිට රෝමයට ගෙනගිය පේබීද ආශ්‍රය සඳහා එහාට පැමිණෙන්ට ඇත.—රෝම 16:1, 22, 23; 1 කොරින්ති 16:17.
සංචාරක දේවසේවකයෙකුට ආගන්තුක සත්කාරය පිරිනැමීම කොතරම් දිරිගන්වනසුලු මෙන්ම සිහිකටයුතු දෙයක්ද යන වග, එම ප්‍රස්තාව අද්දැක තිබෙන නවීන දින යෙහෝවඃවහන්සේගේ සේවකයෝ දනිති. එවන් අවස්ථාවන් හා සම්බන්ධ ගොඩනංවනසුලු අද්දැකීම් සියල්ලන්ටම ආත්මික නැවුම්බවක් ගෙන දෙන සැබෑ උල්පතක් විය හැක. (රෝම 1:11, 12) තවද, අකිලා හා ප්‍රිස්කිලා කළාක් මෙන් රැස්වීම් සඳහා, ඇතැම්විට පොත් පාඩමක් පැවැත්වීම සඳහා තම නිවස යොදාගැනීමට ඉඩ දෙන අය, සැබෑ නමස්කාරයේ වර්ධනයට එයාකාරයෙන් දායක වීමට ලැබීමෙන් සතුට මෙන්ම තෘප්තිය අද්දකිති.
පාවුල් හා ඔවුන් අතර තිබූ මිත්‍රත්වය කොතරම් සමීප එකක්ද කිවහොත් පො.යු. 52 වසන්ත සමයේදී කොරින්තියෙන් ඔහු පිටත්ව යන විට, අකිලා සහ ප්‍රිස්කිලාද දුර ඈත පිහිටි එපීසය දක්වා ගමන් කිරීමට ඔහු සමඟ හවුල් වූහ. (ක්‍රියා 18:18-21) ඔවුහු එම නගරයේ නතර වූ අතර, ප්‍රේරිතවරයාගේ ඊළඟ බැහැදැකීම සඳහා අවශ්‍ය අඩිතාලම දැමූහ. ශුභාරංචියේ දක්ෂ ගුරුවරුන් වූ මොවුන් ව්‍යක්ත කථිකයෙකු වූ අපොල්ලොස්ව “තමුන් ළඟට කැඳවාගෙන, දෙවියන්වහන්සේගේ මාර්ගය වඩා හරිලෙස” තේරුම්ගැනීමට ඔහුට උපකාර කිරීමේ ප්‍රීතිය අද්දැක්කේ මෙහිදීය. (ක්‍රියා 18:24-26) ඇතැම්විට පො.යු. 52 හෝ 53 ශීත ඍතුවේදී තම තුන්වන මිෂනාරි ගමනේ යෙදී සිටි කාලයේදී, පාවුල් එපීසය නැවත බැහැදැකීමට පැමිණි විට, මෙම ක්‍රියාශීලී යුවළ විසින් බීජ වගා කර තිබූ කෙත අස්වැන්න නෙළීමට සුදුසු තත්වයක තිබිණ. එපීස සභාවේ රැස්වීම් අකිලාගේ නිවසේ පැවැත්වූ කාලයේදී, පාවුල් අවුරුදු තුනකට ආසන්න කාලයක් “ඒ ලබ්ධි මාර්ගය” ගැන එහි දේශනා කරමින්ද උගන්වමින්ද සිටියේය.—ක්‍රියා 19:1-20, 26; 20:31; 1 කොරින්ති 16:8, 19.
පසුව, ඔවුන් ආපසු රෝමයට පැමිණි කාලයේදී, ක්‍රිස්තියානි රැස්වීම් පැවැත්වීම සඳහා තම නිවස ලබා දීමෙන් පාවුල්ගේ මෙම මිතුරෝ දෙදෙනා දිගටම “ආගන්තුක සත්කාරයට ලැදිව” සිටියහ.—රෝම 12:13; 16:3-5.
ඔවුහු පාවුල් වෙනුවෙන් ‘තමන්ගේ බෙල්ල දුන්හ’
සමහරවිට පාවුල් එපීසයේ නතර වී සිටි කාලයේදී අකිලා සහ ප්‍රිස්කිලා සමඟ ටික කාලයක් නතර වී සිටියා විය හැක. රීදීකරුවන්ගේ කෝලාහලය සිදු වූ කාලයේදී, ඔහු ඔවුන් සමඟ නතර වී සිටියාද? ක්‍රියා 19:23-31 දක්වා සඳහන් වාර්තාවට අනුව, පූජනීය වස්තු සෑදූ ශිල්පීන් ශුභාරංචිය දේශනා කිරීමට එරෙහිව විරෝධතාවක් දියත් කළ විට, මෙම කලහකාරි පිරිස ඉදිරියට යෑම හේතුවෙන් ඔහුගේ ජීවිතය අනතුරට පත් කරගැනීමෙන් පාවුල්ව වළක්වාලන්ට සහෝදරයන්ට සිදු විය. ‘තමාගේ ජීවිතය ගැන පවා බලාපොරොත්තුවක් නැති’ බව පාවුල්ට හැඟීමට හා ඔහු වෙනුවෙන් යම් ආකාරයකින් ‘තමන්ගේ බෙල්ල දීමට’ අකිලා සහ ප්‍රිස්කිලා මැදිහත් වීමට තරම් එය අනතුරුදායක තත්වයක් වෙන්න ඇති බව ඇතැම් බයිබල් විචාරකයෝ අනුමාන කර ඇත.—2 කොරින්ති 1:8; රෝම 16:3, 4.
“කෝලාහලය නැවතුණු පසු,” පාවුල් ඥානවන්තව නගරයෙන් පිට වී ගියේය. (ක්‍රියා 20:1) අකිලා සහ ප්‍රිස්කිලාද විරුද්ධවාදිකම්වලට හා සමච්චලයන්ට මුහුණ දුන් බවට කිසිම සැකයක් නැත. එවන් දේවලින් ඔවුහු අධෛර්යයට පත් වූවෝද? ඊට පටහැනිව, අකිලා සහ ප්‍රිස්කිලා නිර්භීතව ඔවුන්ගේ ක්‍රිස්තියානි ප්රයත්නයන්වල දිගටම නිරත වූහ.
සමීප යුවළක්
ක්ලෞදියස්ගේ පාලනය අවසන් වූ පසු, අකිලා සහ ප්‍රිස්කිලා ආපසු රෝමයට පැමිණියහ. (රෝම 16:3-15) කෙසේවෙතත්, බයිබලයෙහි ඔවුන් ගැන සඳහන් කරන අවසන් අවස්ථාවේදී, ඔවුන් ආපසු එපීසයට පැමිණ සිටි බව අපට පෙනී යනවා ඇත. (2 තිමෝති 4:19) ශුද්ධ ලියවිල්ලෙහි වෙනත් සියලුම යොමු දැක්වීම්වල කර තිබෙන්නාක් මෙන්, නැවතත් මෙම ස්වාමිපුරුෂයාව හා භාර්යාවව එකට සඳහන් කර ඇත. කොතරම් සමීපව හා එකමුතුව සිටි යුවළක්ද! අකිලාගේ බිරිඳගෙන් ලැබුණු විශ්වාසවන්ත සහයෝගය මතකයට නඟන්නේ නැතුව, පාවුල්ට තම ප්‍රේමනීය සහෝදරයා ගැන කල්පනා කළ නොහැකි විය. අදදින සිටින ක්‍රිස්තියානි යුවළයන් සඳහා මොනතරම් කදිම ආදර්ශයක්ද! මන්ද භක්තිමත් කලත්‍රයෙකුගේ පක්ෂපාත සහයෝගය, පුද්ගලයෙකුට “ස්වාමීන්වහන්සේගේ මෙහෙයෙහි” දේවල් වැඩියෙන් කිරීමට, සමහර අවස්ථාවලදී තනිකඩ පුද්ගලයෙකු හැටියට කළ හැකි වූ දේවලට වඩා වැඩියෙන් කිරීමට ඉඩ සලසා දෙන බැවිනි.—1 කොරින්ති 15:58.
අකිලා සහ ප්‍රිස්කිලා සභාවන් ගණනාවක සේවය කළහ. ඔවුන් හා සමානව, අදදින සිටින ජ්වලිතවත් ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් අවශ්‍යතාව වැඩියෙන් තිබෙන ප්‍රදේශවලට යෑමට ඉදිරිපත් වෙති. රාජ්‍ය වැඩවල වර්ධනය දැකීමෙන්ද උණුසුම් මෙන්ම අනගි ක්‍රිස්තියානි මිත්‍රත්වයන් ගොඩනඟා ගැනීමට හැකිවීමෙන්ද අද්දකින ප්‍රීතිය හා තෘප්තිය ඔවුහු භුක්තිවිඳිති.
ක්‍රිස්තියානි ප්‍රේමය සම්බන්ධ ඔවුන්ගේ කදිම ආදර්ශය නිසා, අකිලා සහ ප්‍රිස්කිලා පාවුල්ගේ මෙන්ම වෙනත් අයගේ අගය කිරීම දිනාගත්හ. එහෙත් වඩාත් වැදගත් දෙය වන්නේ, ඔවුන් යෙහෝවඃවහන්සේ සමඟ ඇති කරගත් හොඳ නාමයයි. ශුද්ධ ලියවිලි අපට මෙසේ සහතික වේ: “නුඹලාගේ වැඩයද නුඹලා ශුද්ධවන්තයන්ට කළාවූ, කරන්නාවූ උපස්ථානයෙන් දෙවියන්වහන්සේගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතකනැතිකරන්ට උන්වහන්සේ අධර්මිෂ්ඨ නැත.”—හෙබ්‍රෙව් 6:10.
අකිලා හා ප්‍රිස්කිලා කළ දෙයට සමාන ආකාරවලින් අපවම යෙදවිය හැකි ප්‍රස්තාවන් අපට ඇතැම්විට නොතිබුණත්, අප සෑම කෙනෙකුටම ඔවුන්ගේ විශිෂ්ට ආදර්ශය අනුකරණය කිරීමට පුළුවන. “යහපත්කම්කරන්ටත් අනුන්ට බෙදාදෙන්ටත් මතකනැති නොකරන්න. මක්නිසාද එයාකාර පූජාවලට දෙවියන්වහන්සේ ප්‍රසන්න වනසේක” යන්න කෙදිනකවත් අමතක නොකරමින්, අපගේ ශක්තිය සහ ජීවිතය පරිශුද්ධ සේවය සඳහා යොදවන විට, අපි මහත් තෘප්තියක් අද්දකින්නෙමු.—හෙබ්‍රෙව් 13:15, 16.