ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ඔබට ජීවිතය කොතරම් අනර්ඝද?
    1995 මුරටැඹ | ජනවාරි 15
    • ඔබට ජීවිතය කොතරම් අනර්ඝද?

      නහඹර වියේ පිරිමි ළමයෙක්, මහල් නිවාසවලින් යුත් ගොඩනැගිල්ලක අටවන තට්ටුවේ සිට පහළට පැන මියගියේය. මර පිම්මකින්, “වේදනාවක් හෝ අපහසුතාවක් හෝ භයක් නොහැඟෙන අතර, ඒ වෙනුවට යහපත් බවක් හැඟෙන” බව විස්තර කළ පොතක් ඔහු කියවා තිබුණි. ජපානයේ පළ කොට තිබූ මෙම පොතේ කර්තෘ කියා සිටියේ, තමා “ජීවිතයේ තේරීම් අතුරින් එක තේරීමක් ලෙස දිවිනසාගැනීම” ඉදිරිපත් කළා පමණක් කියාය.

      අදදින ජීවිතය සඳහා අගෞරවයක් විදහාපාන එකම අය දිවිනසාගන්නන් පමණක් නොවේ. නොසැලකිලිමත් රියැදුරන්ද ජීවිතය සඳහා දක්වන්නේ ඉතා මඳ සැලකිල්ලකි. ඇතැම්හු මත්පැන් බී රිය පදවන අතර, අධික වේගයෙන් පදවාගෙන ගොස් මාරාන්තික අනතුරුවලට ගොදුරු වෙති.

      තවත් අය, වින්දනය මත ඔවුන් දක්වන වැදගත්කම මගින් තමන්ගේ ජීවිතය කොතරම් අඩුවෙන් තක්සේරු කරනවාද කියා පෙන්වති. දුම්බීම මරණය ගෙනදිය හැකි වුවත්, එය ටිකෙන් ටික දිවිනසාගැනීමක් යයි හඳුන්වනු ලැබ ඇතත්, සිගරට්වලින් මිදීමට දුම්පානය කරන්නන් අකමැතිය. ලිංගිකත්වයෙන් වියරු වැටුණු මේ ලෝකයේ පවිත්‍රතාව පවත්වාගන්නවා වෙනුවට, බොහෝදෙනෙක් මරණයට තුඩු දෙන අනාචාර ජීවිතයක් ගත කරති.

      ඇතැම්හු නොදැනුවත්වම පාහේ, අධිකකෑමෙන්, අධිකබීමෙන්, ප්‍රමාණවත් ලෙස ව්‍යායාම නොගැනීමෙන් හා වින්දනය සෙවීමෙන් තම ජීවිතයේ වසර ගණනාවක් අහිමි කරගනිති. ජපන් ජාතික ලේඛක ෂින්යා නිෂිමාරු මෙසේ අනතුරු ඇඟවූයේය: “කිසිම පාලනයක් නැති, ආහාරගැනීමේ පුරුදුවලින් කායික ක්‍රියාකාරිත්වය අවුල් කරන අතර, සැපපහසුව හා වින්දනය සෙවීම ජනතාවගේ ප්‍රාණවත්කම අඩපණ කරයි.” තවත් අය, ඉපැරණි කාලවලදී මෙසේ කියූ අයගේ දෘෂ්ටිය දරති: “අපි කමු, බොමු, මක්නිසාද හෙට මියයන්නෙමු.”—යෙසායා 22:13; 1 කොරින්ති 15:32.

      එසේය, ජීවිතය සඳහා අගෞරවය අදදින හාත්පස පැතිර පවතී. මෙබැවින්, මෙසේ ඇසීම සුදුසුය, ඔබට ජීවිතය කොතරම් අනර්ඝද? සෑම දෙයක්ම පරදුවට තබා ජීවිතය ​ආරක්ෂා කළ යුතුද? තවද අපගේ වත්මන් ජීවිතයට වඩා අනර්ඝ යම් දෙයක් තිබේද?

  • නියම ජීවනය ඉතා අගේ කොට සලකන්න
    1995 මුරටැඹ | ජනවාරි 15
    • නියම ජීවනය ඉතා අගේ කොට සලකන්න

      තිබෙන සියල්ල මේ ජීවිතයද? “[නියම, NW] ජීවනය අල්ලාගන්නා පිණිස” අපට දිරිගැන්වීමෙන්, ජීවිතයට තවත් තිබෙන බව බයිබලය අඟවයි. (1 තිමෝති 6:17-19) අපගේ වත්මන් ජීවිතය නියම ජීවනය නොවේ නම්, නියම එක කුමක්ද?

      ඉහත සඳහන් ශුද්ධ ලියවිලි පාඨයේ පසුබිමෙන් පෙන්වන්නේ, එය වනාහි, දේව-භයැති පුද්ගලයන් තදින් අල්ලාගත යුතු “සදාකාල ජීවනය” බවය. (1 තිමෝති 6:12) ඉතා විශාල බහුතරයකට මින් අදහස් කරන්නේ, පොළොව මත සදාකාල ජීවනයය. පළමු මිනිසා වූ ආදම්ට පාරාදීස පොළොවක සදාකල් ජීවත්වීමේ අපේක්ෂාව තිබිණි. (උත්පත්ති 1:26, 27) ඔහු මියයෑමට තිබුණේ, “යහපත හා නපුර දැනගැනීමේ ගහෙන්” ඔහු කෑවොත් පමණි. (උත්පත්ති 2:17) එහෙත්, ආදම් සහ ඔහුගේ භාර්යාව වූ ඒව, අකීකරු ලෙස එම ගහෙන් කෑ නිසා, දෙවියන්වහන්සේ මරණ දඬුවම ප්‍රකාශ කළසේක. ‘ඔවුන් එයින් කෑ දවසේම,’ දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ ඔවුන් මියගිය අතර, කායික මරණය දක්වා ඔවුහු පිරිහෙන්ට පටන්ගත්හ. ඔවුන් පළමුවෙන් භුක්තිවිඳ තිබූ ගුණයෙන් යුක්ත වූ ඔවුන්ගේ ජීවිතය, තවදුරටත් තිබුණේ නැත.

      ‘නියම ජීවනයට’ එකම මාර්ගය

      ‘නියම ජීවනය’ හැකි කරවීම පිණිස, යෙහෝවඃ දෙවියන්වහන්සේ, මිනිස්වර්ගයාව මුදවාගැනීම සඳහා යම් විධිවිධානයක් ඇති කළසේක. මෙම විධිවිධානය අප විසින් තේරුම්ගැනීමට පහසු කරවීම පිණිස, කුඩා කර්මාන්තශාලාවක් අපි සිතේ මවා ගනිමු. මීට වසර කිහිපයකට පෙර මෙම කර්මාන්තශාලාවේ යන්ත්‍ර පළමුවරට ක්‍රියාත්මක කළ තැනැත්තා ඒ සඳහා වූ උපදෙස් මාලාව සැලකිල්ලට නොගෙන එසේ කළ නිසා, යන්ත්‍ර සියල්ලටම හානි සිදුවූ බැවින්, ඒවා දැන් දෝෂ සහිතය, තවද ඒවා ක්‍රියාත්මක කරන්නන්හට කරදර ඇති කරනසුලුය. වත්මන් යන්ත්‍ර ක්‍රියාත්මක කරන්නන්ට හැක්කේ, තමන්ට ඇති යන්ත්‍රවලින් කළ හැකි උපරිමය කිරීම පමණි. මෙම කර්මාන්තශාලාවේ අයිතිකරුට, තම සේවකයන්ට උපකාර කිරීම සඳහා මෙම යන්ත්‍ර අලුත්වැඩියා කිරීමට වුවමනා වී තිබෙන අතර, එම අරමුණ ඉටු කරගැනීම සඳහා ඔහු අවශ්‍ය අරමුදල් වෙන් කරමින් සිටී.

      පළමු ‘යන්ත්‍ර ක්‍රියාත්මක කරන්නා’වූ ආදම්, තමාට දී තිබූ ජීවිතය ඉතා අගේ කොට සැලකුවේ නැත. මෙබැවින්, ඔහු තමාගෙන් බිහිවෙන දරුවන්ට, හරියට ක්‍රියාත්මක නොවන යන්ත්‍රයක් වැනි, අසම්පූර්ණ ජීවිතයක් උරුම කර දුන්නේය. (රෝම 5:12) තත්ත්වයට පිළියම් යෙදිය නොහැකි වූ, කර්මාන්තශාලාවේ පසුව සේවය කළ යන්ත්‍ර ක්‍රියාත්මක කරන්නන් මෙන්, ආදම්ගෙන් පැවතෙන දරුවන්ට තමන්ම උදෙසා නියම ජීවනයක් අත්කරගැනීමට නොහැකි වී තිබේ. (ගීතාවලිය 49:8) බලාපොරොත්තුවක් නැතුවාක් මෙන් පෙනෙන්ට තිබෙන මෙම තත්ත්වය නිවැරදි කිරීමට, මිනිස්වර්ගයා උදෙසා යළි සදාකාල ජීවනය මිල දී ගැනීමට යෙහෝවඃවහන්සේ ස්වකීය ඒක-ජාතක පුත්‍රයාණන්ව පොළොවට එවූසේක. (ලූක් 1:35; 1 පේතෘස් 1:18, 19) මිනිස්වර්ගයා වෙනුවෙන් යාගික මරණයක් විඳීමෙන්, දෙවියන්වහන්සේගේ ඒක-ජාතක පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, එම අරමුදල්—එනම්, ආදම් අහිමි කරගත් ජීවිතයට අනුරූප වන ජීවිතයක්—සැපයූසේක. (මතෙව් 20:28; 1 පේතෘස් 2:22) මෙම අනර්ඝ යාගය සමඟින්, නියම ජීවනය සැපයීම සඳහා දැන් යෙහෝවඃවහන්සේට පදනමක් තිබේ.

      කීකරු මිනිස්වර්ගයා උදෙසා, යේසුස්වහන්සේගේ මිදීමේ මිල යාගයෙන් අදහස් කරනු ඇත්තේ, පාරාදීස පොළොවක සදාකාලික ජීවිතයකි. (ගීතාවලිය 37:29) හර්-මගෙදොන් ලෙස යොමු දක්වා ඇති, ‘සර්වපරාක්‍රම වූ දෙවියන්වහන්සේගේ මහත් දවසේ යුද්ධයෙන්’ බේරී ජීවත්වන්නන්ට මෙම බලාපොරොත්තුව විහිදී තිබේ. (එළිදරව් 16:14-16) එය පොළොවෙන් සියලු දුෂ්ටකම් මුලිනුපුටා දමනු ඇත. (ගීතාවලිය 37:9-11) එම කාලයට පෙර මියයන, දෙවියන්වහන්සේගේ මතකයේ සිටින අය, පොළොව මත නැවත පිහිටුවන ලද පාරාදීසයට නැවත නැගිටවනු ලබන අතර, දෙවියන්වහන්සේට කීකරු වන සියල්ලන්ට ගබඩා කර ඇති නියම ජීවනය භුක්ති විඳීමේ අපේක්ෂාව ඔවුන්ට තිබෙනු ඇත.—යොහන් 5:28, 29.

      අපේ වත්මන් ජීවිතය ආදරයෙන් රැකගැනීමේ අවශ්‍යතාව

      අපගේ වත්මන් ජීවිතයේ පරිශුද්ධභාවය කෙරෙහි අප අගෞරව දැක්වීම හරිය කියා මින් අදහස් නොකෙරේ. කර්මාන්තශාලා හිමියා, යන්ත්‍රය රැකබලා නොගන්නාවූ යමෙකු උදෙසා කාලය සහ මුදල් වැයකරාවිද? ඒ වෙනුවට, කලින් පරණ යන්ත්‍රය තමාගේ උපරිම හැකියාවෙන් නඩත්තු කිරීමට වෑයම් කළ තැනැත්තෙකුට, මෙම ස්වාමියා අලුත්වැඩියා කළ යන්ත්‍රය විශ්වාසයෙන් යුතුව පවරන්නේ නැද්ද?

      ජීවිතය වනාහි යෙහෝවඃවහන්සේගෙන් ලද අනර්ඝ ත්‍යාගයකි. එම ත්‍යාගයේ ත්‍යාගශීලී උල්පත වශයෙන්, අප විසින් එය ආදරයෙන් රැකගැනීම උන්වහන්සේට වුවමනාය. (ගීතාවලිය 36:9; යාකොබ් 1:17) පොළොව මත වෙසෙන ජනයා කෙරෙහි යෙහෝවඃවහන්සේගේ සැලකිල්ල සම්බන්ධව, යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “නුඹලාගේ සියලු හිසකේ පවා ගණන්කර තිබේ.” (ලූක් 12:7) මිනීනොමරන ලෙස යෙහෝවඃවහන්සේ ඉශ්‍රායෙලිතයන්ට අණ කළ අතර, තමන්වම මරා නොගැනීමද අනිවාර්යයෙන්ම මීට ඇතුළත් විය. (නික්මයාම 20:13) සියදිවිනසාගැනීම ජීවිතයේ තේරීමක් ලෙස සැලකීමෙන් වැළකීමට මෙය අපට උපකාරවත් වේ.

      අපගේ සුභසාධනය කෙරෙහි යෙහෝවඃවහන්සේ ප්‍රේමනීය ලෙස සැලකිල්ල දක්වන බව දැනගැනීමෙන්, දේව-භයැති ජනයෝ, තම එදිනෙදා ගතිපැවතුම් කෙරෙහි බයිබල් ප්‍රතිපත්ති අදාළ කරති. නිදසුනක් වශයෙන්, සැබෑ ක්‍රිස්තියානීන්, ‘මාංසයේද, ආත්මයේද සියලු කිලුටුකම්වලින් පවිත්‍ර කරගනිමින්, දෙවියන්වහන්සේ කෙරෙහි භයින් යුක්තව, ශුද්ධකම සම්පූර්ණ කරගැනීමට’ අවශ්‍ය බැවින්, ඔවුහු දුම්කොළ සහ මනස-විකෘති කරවන ඇබ්බැහිවනසුලු මත්ද්‍රව්‍යවලින් වැළකෙති.—2 කොරින්ති 7:1.

      මිනිස් ජීවිතය කෙරෙහි දෙවියන්වහන්සේ දක්වන උනන්දුව, “නිශ්චල සිතක් [හෘදයක්, NW]” පවත්වාගැනීමට හා දුරාචාර හැසිරීමෙන් වැළකීමට වූ උන්වහන්සේගේ උපදෙස තුළ තවදුරටත් දැකිය හැක. (හිතෝපදේශ 14:30; ගලාති 5:19-21) මෙම උසස් ප්‍රමිතිවලට ඇලී සිටීම මගින්, සෞඛ්‍යයට හානිදායක කෝපය සහ ලිංගිකව බෝවෙන රෝග වැනි දේවලින් අපි ආරක්ෂා වී සිටිමු.

      අධික කෑමෙන්ද අධික බීමෙන්ද වළකින ලෙසට දී ඇති ස්වකීය අවවාදය තුළද, ස්වකීය ජනයාගේ ජීවිත ගැන යෙහෝවඃවහන්සේ දක්වන උනන්දුමත් සැලකිල්ල දැකිය හැකිය. (ද්විතීය කථාව 21:18-21; හිතෝපදේශ 23:20, 21) ගිජු පුද්ගලයන් හා බේබද්දන් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුම කර නොගන්නා බවට ක්‍රිස්තියානීන්ට අනතුරු අඟවා තිබේ, එනම්, ඔවුහු කිසිවිටෙකත් නියම ජීවනය අද්නොදකිති. (1 කොරින්ති 6:9, 10; 1 පේතෘස් 4:3) පමණ දැන ක්‍රියා කිරීමට දිරිගැන්වීම මගින්, අපටම ප්‍රයෝජනගැනීමට යෙහෝවඃවහන්සේ අපට උගන්වනසේක.—යෙසායා 48:17.

      අප දෙවියන්වහන්සේගේ ප්‍රමිතිවලට ඇලී සිටින විට, අපි අපගේ වත්මන් ජීවිතය ඉතා අගේ කොට සලකන බව පෙන්වමු. ඇත්තවශයෙන්ම, ඊටත් වඩා වැදගත් වනුයේ නියම ජීවනයයි. එය සදාකල් වන හෙයින්, සැබෑ ක්‍රිස්තියානීහු, තම වත්මන් ජීවිතයට වඩා එයට වඩාත් වැදගත්කමක් දෙති. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සිය ජීවිතය යාග කළ විට, උන්වහන්සේ යෙහෝවඃවහන්සේගේ කැමැත්තට තමන්වම යටත් කළසේක. පොළොව මත තම ජීවිතයට වඩා සිය පියාණන්ට කීකරු වීම, උන්වහන්සේට අතිශයින් වැදගත් විය. යේසුස්වහන්සේ ගත් ක්‍රියා මාර්ගයේ ඵලවිපාකය වූයේ, උන්වහන්සේගේ නැවත නැගිටීමත්, ස්වර්ගයේදී උන්වහන්සේ අමරණීය ජීවිතයක් ලැබීමත්ය. (රෝම 6:8) උන්වහන්සේගේ මිදීමේ මිල පූජාව කෙරෙහි ඇදහිල්ල ක්‍රියාවට නංවන්නාවූ කීකරු මිනිස්වර්ගයාට සදාකාල ජීවනය ලැබීමද උන්වහන්සේගේ මරණයෙන් අදහස් කෙරේ.—හෙබ්‍රෙව් 5:8, 9; 12:2.

      ලේ සම්බන්ධ අතිවැදගත් නීතිය

      යේසුස්වහන්සේගේ අනුගාමිකයන්, උන්වහන්සේගේ සිතිවිලි පිළිබිඹු කරන බව තේරුම්ගත හැකිය. ක්‍රිස්තුස්වහන්සේ මෙන් ඔවුහු, සෑම දේවලදී දෙවියන්වහන්සේව සතුටු කිරීමට උත්සාහ කරති. එක් දෙයක් නම්, ජීවිත ගළවන යමක් සේ ඇතැම් වෛද්‍යවරුන් විසින් හඳුන්වනු ලබන රුධිර ප්‍රවේශන ඔවුන් ප්‍රතික්ෂේප කිරීමට හේතුව මෙය පැහැදිලි කරයි. පුද්ගලයෙක් රුධිර ප්‍රවේශන ප්‍රතික්ෂේප කිරීම මගින් නියම ජීවනය අගේ කොට සලකන ආකාරය දැන් අපි බලමු.

      යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන්, සැබෑ ක්‍රිස්තියානීහු දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ ජීවත්ව සිටීමට ආශා කරන අතර, උන්වහන්සේට මුළුමනින්ම කීකරු වීම ඒ සඳහා අවශ්‍ය කෙරේ. දේව වචනය ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන්ට මෙසේ අණ කරයි: “පිළිමවලට පූජා කළ දේවලින්ද, රුධිරයෙන්ද, බොටුව මිරිකා මැරූ සතුන්ගෙන්ද, වේශ්‍යාකමින්ද වැළකී සිටින්න.” (ක්‍රියා 15:28, 29, NW) ලේ සම්බන්ධ මෙම නීතිය, ක්‍රිස්තියානීන් මත පැනවූ නියෝග අතරට ඇතුල් කරන ලද්දේ මන්ද?

      ඉශ්‍රායෙලිතයන්ට දෙන ලද නීතියට අනුව, රුධිරයෙන් වැළකී සිටීම අවශ්‍ය කරන ලදි. (ලෙවී කථාව 17:13, 14) ක්‍රිස්තියානීහු මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ නොසිටිති. එහෙත්, ලේ කෑමට එරෙහිව තිබූ තහනම ව්‍යවස්ථාවට පෙර පැනවූ එකක් බව ඔවුහු වටහාගනිති; එය මුලින්ම දෙනු ලැබ තිබුණේ, ජලගැල්මට පෙර නෝවාටය. (උත්පත්ති 9:3, 4; කොලොස්සි 2:13, 14) නෝවාගේ ජනිතයන් සියල්ලන්ටම, එනම් ඔහුගෙන් පැවතෙන පොළොවේ සියලු ජාතීන්ට මෙම නියෝගය අදාළ විය. (උත්පත්ති 10:32) මීට අමතරව, රුධිරයේ පරිශුද්ධභාවය කෙරෙහි දෙවියන්වහන්සේ ඉඳුරාම කියා සිටීමට හේතුව දැකගැනීමට මෝසෙස්ගේ ව්‍යවස්ථාව අපට උපකාරවත් වෙයි. කිසිදු ආකාරයක ලෙයක් නොකන ලෙස නියෝග කිරීමෙන් පසු, දෙවියන්වහන්සේ මෙසේ පැවසූසේක: “මක්නිසාද මාංසයේ පණ තිබෙන්නේ ලෙයෙහිය. මම එය නුඹලාගේ ප්‍රාණ උදෙසා පූජාසනය පිට සමගිකමක් කරන පිණිස නුඹලාට නියම කෙළෙමි. මක්නිසාද සමගිකමක් සිදුකරන්නේ ලේය, එසේ වන්නේ එහි ප්‍රාණය තිබෙන නිසාය.” (ලෙවී කථාව 17:11) දෙවියන්වහන්සේ විසින් රුධිරය වෙන් කොට තබන ලද්දේ පූජාසනය මත යාගවලදී භාවිත කිරීම සඳහාය. රුධිරයේ පරිශුද්ධභාවය කෙරෙහි උන්වහන්සේගේ නීතියෙන් හෙළිවන්නේ, පොළොව මත සියලු ජීවිත කෙරෙහි උන්වහන්සේ සතු අධිකාරයයි. (එසකියෙල් 18:4; එළිදරව් 4:11) යෙහෝවඃවහන්සේගේ දෘෂ්ටි කෝණයෙන් අපගේ ජීවිතය දෙස බැලීමෙන්, අප වටහාගන්නේ එය අපට අයත් නොවන බවත්, නමුත් එය දෙවියන්වහන්සේ විසින් අපට විශ්වාසයෙන් භාර දී ඇති බවත් පමණි.

      අපගේ උපහැරණයේ සඳහන් යන්ත්‍ර ක්‍රියාත්මක කරවන්නා, යන්ත්‍රයක් සම්බන්ධයෙන් වගකිවයුතුවා සේම, අපගේ වත්මන් ජීවිතය අපට විශ්වාසයෙන් යුක්තව භාර දී තිබේ. ඔබගේ යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට අවශ්‍ය වී තිබේ නම්, තවද යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම පිළිබඳ උපදෙස් මාලාවේ විශේෂ කොට තහනම් කර ඇති කොටස් යොදාගනිමින් එම යන්ත්‍රයට කොටස් සවිකරන ලෙසට යම් කාර්මික ශිල්පියෙක් ඔබට යෝජනා කරයි නම්, ඔබ කුමක් කරන්ට යනවාද? උපදෙස් මාලාවේ දී ඇති උපදෙස්වලට එකඟව එම යන්ත්‍රය සවි කළ හැකිදැයි සොයාබැලීම පිණිස ඔබ තවත් කාර්මික ශිල්පීන්ගෙන් උපදෙස්ගන්නේ නැද්ද? මිනිස් ජීවිතය වූ කලි, යන්ත්‍රයකට වඩා බොහෝසෙයින් වැදගත් හා සංකීර්ණ වූ යමකි. ස්වකීය ආනුභාව ලත් වචනයේ, එනම් මිනිස් ජීවිතය පවත්වාගැනීම සඳහා වූ උපදෙස් මාලාවේ, අපගේ සැදුම්කරුවාණෝ, ජීවිතය පවත්වාගැනීම සඳහා රුධිරය භාවිත කිරීම තහනම් කරනසේක. (ද්විතීය කථාව 32:45ආ, 47; පිලිප්පි 2:15අ, 16) එම උපදෙස් මාලාවේ අවශ්‍යතාවන්ට ඇලී සිටීම සාධාරණ නොවන්නේද?

      ඇත්තටම, තම රෝග අවස්ථාව සඳහා රුධිරමය නොවන විකල්ප ප්‍රතිකාර සොයන ක්‍රිස්තියානි රෝගීහු, සියලු වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප නොකරති. ඔවුන් හුදෙක් ඉල්ලා සිටින්නේ, තමන්ගේ වත්මන් හා අනාගත ජීවිතය යන දෙකටම ගෞරවය දක්වන ප්‍රතිකාරයය. ක්‍රිස්තියානීන් විසින් ගෙන ඇති ස්ථාවරයට ගෞරව කරන ධෛර්යසම්පන්න වෛද්‍යවරු, ඔවුන්ගේ ඉල්ලීමට එකඟව ඔවුන්ට ප්‍රතිකාර කිරීමේ ප්‍රයෝජන ගැන සාක්ෂි දෙති. “යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් හමුවීම, නව සාරධර්ම පද්ධතියකට මාව යොමු කළා” යයි අධික ලෙස රුධිරය භාවිත කළ එක් ශල්‍යවෛද්‍යවරයෙක් පවසයි. දැන් ඔහු සාක්ෂිකරුවන් නොවන අයට පවා රුධිරය නොමැතිව ප්‍රතිකාර කිරීමට උත්සාහ කරයි.

      නියම ජීවනය ඉතා අගේ කොට සැලකීම

      යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට ප්‍රතිකාර කිරීම තුළින් මෙම ශල්‍යවෛද්‍යවරයා සොයාගත් නව සාරධර්ම පද්ධතිය කුමක්වීද? රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේදී, බලපෑමට ලක්වන්නේ හුදෙක් ශරීරයේ කොටස පමණක් නොව, නමුත් සම්පූර්ණ පුද්ගලයාම බව දැන් ඔහු වටහාගනී. යම් රෝගියෙකුට ඔහුගේ හෝ ඇගේ කායික, ආත්මික හා චිත්තවේගී සුභසාධනය කෙරෙහි හොඳින් උපරිම සැලකිල්ල දක්වන මෙන් ඉල්ලා සිටින්ට ඉඩ නොදිය යුතුද?

      මාරාන්තික ලිව්කීමියාවෙන් පෙළුණු 15 හැවිරිදි කුමිකෝට, ප්‍රතිකාර කිරීම සඳහා තිබූ භයානකම විකල්පය වූයේ රුධිර ප්‍රවේශනයක් ලබා දීමය. දිගුකාලීන වශයෙන් ඈට අහිමි වන දේ ගැන කල්පනා කරන විට, මේ මාර්ගයෙන් ඇගේ ජීවිතය සති, මාස හෝ අවුරුදු කිහිපයකට දිගු කරන්ට උත්සාහ කිරීම කොහෙත්ම වටිනා දෙයක් නොවීය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරියක වශයෙන් තම වත්මන් ජීවිතය උන්වහන්සේට කැපකොට සිටි ඈ, ජීවිතයේ හා රුධිරයේ පරිශුද්ධභාවයට ගෞරව කළාය. ඇගේ පියා සහ ඇයගේ වෙනත් නෑදෑයන් ඉතා දැඩි සේ ඇගේ ස්ථාවරයට විරුද්ධ වුවත්, කුමිකෝ ස්ථිරව සිටියාය. ඇගේ වෛද්‍යවරයා වරක් ඇගෙන් මෙසේ ඇසුවේය: “ඔබගේ දෙවියන්වහන්සේ වැරදිවලට සමාව දෙනවා නම්, ඔබ රුධිර ප්‍රවේශනයක් ගත්විට පවා උන්වහන්සේ ඔබට සමාව නොදේවිද?” තම ඇදහිල්ල පාවා දී එනයින් ඇගේ බයිබලය මත පදනම් ඇදහිල්ල එපා කිරීම ඈ ප්‍රතික්ෂේප කළාය. “ජීවනයේ වචනය තදින් අල්ලාගනිමින්,” ඈ ඇගේ ස්ථාවරය පවත්වාගත්තාය. (පිලිප්පි 2:16, NW) ඇගේ නොඇදහිලිකාර ආච්චි පැවසුවාක් මෙන්, “කුමිකෝ ඇගේ ඇදහිල්ල අත්හරින්ට ගියේ නැත.” වැඩිකල් යෑමට මත්තෙන්, ඇගේ පියාගේ සහ ඇගේ ආච්චිගේ මෙන්ම ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ ආකල්පය වෙනස් විය.

      ඇයව මළවුන්ගෙන් නැවත නැගිටවිය හැකි යෙහෝවඃ දෙවියන්වහන්සේ කෙරෙහි තිබූ ඇගේ බලවත් ඇදහිල්ල, බොහෝදෙනාගේ හෘද පොලඹවාලීය. ඇය තවමත් ජීවත්ව සිටි විට ඈ ඇගේ පියාගෙන් උදක්ම ඉල්ලා සිටියේ මෙසේයි: “මා මැරුණත්, මාව පාරාදීසයේදී නැවත නැගිටවනු ලැබේවි. එහෙත් ඔබ හර්-මගෙදොන්වලදී විනාශවුවහොත්, මට ඔබව දකින්න ලැබෙන්නේ නැහැ. එනිසා කරුණාකර බයිබලය පාඩම් කරන්න.” ඇගේ පියා හුදෙක් පවසමින් සිටියේ, “ඔබට සනීප වුණාම, මම ඒක කරන්නම්” කියා පමණි. එහෙත් කුමිකෝ, ඇගේ කුරිරු අසනීපයෙන් මියගිය විට, ඇගේ පියා, ඇගේ මිනී පෙට්ටියේ මෙසේ සඳහන් වූ කුඩා ලිපියක් බහාලූවේය: “මා ඔබව පාරාදීසයේදී දකින්නම්, කුමිකෝ.” අවමංගල්‍ය උත්සවයෙන් පසුව, එයට පැමිණි අයට කථා කරමින් ඔහු මෙසේ පැවසුවේය: “මා කුමිකෝව පාරාදීසයේදී දකින්ට යනවා කියා මා ඇයට පොරොන්දු වුණා. මා ඇතිතරම් පාඩම් කර නැති නිසා මට එය තවමත් විශ්වාස කරන්ට බැරිවුණත්, මා එය සොයා බැලීමට අධිෂ්ඨාන කරගෙන සිටිනවා. කරුණාකර මට උදව් කරන්න.” ඇගේ පවුලේ අනික් අය පවා බයිබලය පාඩම් කිරීමට පටන්ගත්හ.

      කුමිකෝට ජීවිතය කෙරෙහි සැබෑ ගෞරවයක් තිබූ අතර, ජීවත්වීමට වුවමනා විය. ඇගේ වත්මන් ජීවිතය බේරා දීමට ඇගේ වෛද්‍යවරුන් ගත් සියලු උත්සාහයන් ඈ අගය කළාය. කෙසේවෙතත්, මැවුම්කරුවාණන්ගේ උපදෙස් මාලාවේ දී ඇති උපදෙස්වලට එකඟව, තමා නියම ජීවනය ඉතා අගේ කොට සැලකූ බව ඈ ඔප්පු කළාය. මිලියන සංඛ්‍යාවකට, එය පාරාදීස පොළොවක සදාකාල ජීවනය වනු ඇත. ඔබ ඔවුන් අතර සිටිනු ඇද්ද?

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න