මුලින් තිබූ ප්‍රේමය නැති කරගන්න එපා!
1 තේජමාන යේසුස් පළමු සියවසේ එෆීස සභාවට දුන් අවවාදය මෙයයි. “ඔබට විරුද්ධව මට කාරණාවක් ඇත. මුලින් තිබූ ඔබේ ප්‍රේමය ඔබ අත්හැරියේය.” (එළි. 2:4) යෙහෝවා දෙවි කෙරෙහි මුලින්ම තිබූ ප්‍රේමය ඔවුන්ගෙන් බොහෝදෙනෙකුට නොතිබූ බවක් යේසුස් දුන් මේ අවවාදයෙන් පෙනෙනවා. අප මුලින්ම සත්‍යය ඉගෙනගනිද්දී දෙවි සහ අසල්වාසීන් කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් ඇති වුණා. මේ නිසාමයි අපි අපේ අලුත් බලාපොරොත්තුව ගැන අනුන් සමඟ උද්යෝගයෙන් කතා කළේ. ඒ මුල් ප්‍රේමය එලෙසම තබා ගනිමින් උද්යෝගයෙන් යුතුව දේවසේවයේ යෙදෙන්නේ කොහොමද?
2 පෞද්ගලික අධ්‍යයනය සහ රැස්වීම්වලට සහභාගි වීම: ඒ මුල් ප්‍රේමය ඇති වුණේ කොහොමද? ඒ අපි මුලින්ම බයිබලයෙන් යෙහෝවා දෙවි ගැන ඉගෙනගත් නිසා නේද? (1 යොහන් 4:16, 19) එසේනම්, අපි දිගටම “දෙවිගේ ගැඹුරු දේවල්” සොයමින් නිවැරදි දැනුම ලබාගෙන අපේ ප්‍රේමය ‘තව තවත් වැඩි කරගනිමු.’—ෆිලි. 1:9-11; 1 කොරි. 2:10.
3 කරදර, බාධක දුක් කම්කටොලු ඇති මේ අන්තිම දවස්වල පෞද්ගලික අධ්‍යයනය සඳහා වේලාවක් සොයා ගැනීම ලෙහෙසි නැති බව ඇත්තයි. (2 තිමෝ. 3:1) නමුත් අප මීට කාලය වෙන් කළ යුතුමයි. මන්ද අපේ ඇදහිල්ල වඩන ආහාර ගැනීමට කාලය වෙන් කිරීම කොතරම් වැදගත්ද! විශේෂයෙන්ම “ඒ දවස ළං වන බව” අපට පෙනෙන නිසා නිතිපතා සභා රැස්වීම්වලට සහභාගි වීමද ඉතා අවශ්‍යයි.—හෙබ්‍රෙ. 10:24, 25.
4 දේවසේවය: ඉතා උද්යෝගයෙන් දේවසේවයේ හවුල් වීමත් මේ මුල් ප්‍රේමය එලෙසම පවත්වාගන්නට හේතු වෙනවා. දේශනා සේවයේදී යෙහෝවා දෙවිගේ ප්‍රේමණීය පොරොන්දු ගැන අපටම සිහි වෙනවා වගේම අපේ බලාපොරොත්තුවත් දීප්තිමත්ව තබාගන්න අපට පුළුවන්. ඒ වගේම අනුන්ට හොඳින් උගන්වන්නට නම් අපි කාරණා ගැඹුරට හදාරා අපිටම ඒවා පැහැදිලි කරගන්න ඕනෑ. ඒ මගිනුත් අපේ ඇදහිල්ල ශක්තිමත් වෙනවා.—1 තිමෝ. 4:15, 16.
5 යෙහෝවා දෙවිට අපි අපේ සියලු දේම පිදිය යුතුයි. ප්‍රධානතම දේ නම් අපේ ප්‍රේමයයි. (එළි. 4:11) ඔබේ ප්‍රේමය හීන වී යෑමට ඉඩ දෙන්න එපා. පෞද්ගලික අධ්‍යයනයේ යෙදෙන්න. නිතිපතා රැස්වීම්වලට සහභාගි වෙන්න. ඔබේ සිත් තුළ ආසාවෙන් පුරවාගෙන ඇති ඒ දේව පොරොන්දු ගැන උද්යෝගයෙන් යුතුව අන්‍යයන්ට කියන්න. එවිට, ඔබේ පළමු ප්‍රේමය එලෙසම තිබේවි.—රෝම 10:10.