9වන පරිච්ඡේදය
යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම
ශුභාරංචිය දේශනා කළ හැකි ක්‍රම
92 සිට 102 දක්වා පිටු
යෙහෝවා දෙවි එවූ තැනැත්තා ලෙස යේසුස් තමාට පවරා දුන් කාර්යය ඉටු කළේ මහත් උද්යෝගයකිනුයි. දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය වෙහෙස මහන්සිය නොබලා දේශනා කිරීමෙන් ඔහු තමාගේ සියලුම සාමාජිකයන්ට ඉතා කදිම ආදර්ශයක් තැබුවා. ජනයා අතරට ගොස් ප්‍රසිද්ධ ස්ථානවල හෝ නිවෙස්වල ඔවුන් සමඟ කතා කිරීමට මූලික පියවර ගත්තේ ඔහුයි. (මතෙ. 9:35; ලූක් 8:1) ඇතැම්විට ඔහු යම් ඉගැන්වීම් කළේ තම ගෝලයන්ට පමණයි. සමහරවිට ඔහු දහස් ගණනකින් යුත් විශාල ජන පිරිස් ඇමතුවා. ඔහු එක් කෙනෙකුට හෝ දෙදෙනෙකුට හෝ පෞද්ගලිකව කතා කළ අවස්ථාද නැතුවා නොවෙයි. (මතෙ. 13:36; මාක් 4:10-13; 6:35-44; යොහ. 3:2-21) මේ සෑම අවස්ථාවකදීම ඔහු උත්සාහ කළේ අසා සිටි අයව දිරිගන්වා ඔවුන්ගේ සිත් තුළ බලාපොරොත්තුවක් ජනිත කරන්නටයි. (ලූක් 4:16-19) තමාගේ විවේකය පවා කැප කරමින් ඔහු සත්‍යය ගැන සාක්ෂි දැරුවා. (මාක් 6:30-34; යොහ. 4:4-34) දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියවී ඇති මෙම වාර්තා අප ශුද්ධ ලියවිල්ලෙන් කියවද්දී යේසුස්ගේ ආදර්ශය අනුගමනය කිරීමට ඔහුගේ ගෝලයන්ට වගේම අප තුළත් ඇති වෙන්නේ මහත් පෙලඹීමක්.—මතෙ. 4:19, 20; ලූක් 5:27, 28; යොහ. 1:43-45.
අවුරුදු 2,000කට පමණ පෙර යේසුස් ක්‍රිස්තුස් පටන්ගත් මෙම සේවයේ හවුල් වීමට අද දින ක්‍රිස්තියානීන්ට තිබෙන ප්‍රස්තා අපි දැන් සලකා බලමු.
ගෙයින් ගෙට දේශනා කිරීම
යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගෙයින් ගෙට සේවය කරන පිරිසක් ලෙස ප්‍රසිද්ධයි. ඔවුන් එම සේවයේ ඉතා පුළුල්ව නිරත වන්නේ එය ඉතා සාර්ථක ක්‍රමයක් බව දන්නා නිසයි. එමනිසා ඔවුන් හොඳින් සංවිධානය වී එම සේවයේ යෙදී සිටිනවා. ලැබී තිබෙන හොඳ ප්‍රතිඵලවලින් පෙනී යන්නේ යෙහෝවා දෙවි ඔවුන්ගේ එම සේවයට ආශීර්වාද කරන බවයි. ඉතා කෙටි කාලයකින් මිනිසුන් මිලියන ගණනකට සාක්ෂි දරන්න ඔවුන් සමත් වී සිටිනවා. (මතෙ. 11:19; 24:14) ඇත්තටම මෙම සේවයේ නිරත වීම යෙහෝවා දෙවි සඳහාත් අසල්වාසීන් සඳහාත් ප්‍රේමය පෙන්විය හැකි කදිම ක්‍රමයක් ලෙස සලකන්න පුළුවන්.—මතෙ. 22:34-40.
ගෙයින් ගෙට ගොස් ශුභාරංචිය දේශනා කිරීම යෙහෝවාගේ සාක්ෂිකරුවන් අද ඊයේ ඇති කරගත් ක්‍රමයක් නම් නොවෙයි. යේසුස්ගේ මුල් ගෝලයන් පවා එම සේවයේ පුළුල්ව හවුල් වුණා. මීට කැපීපෙනෙන උදාහරණයක් වන්නේ පාවුල්. එෆීසයේ සිටි වැඩිමහල්ලන්ට තමන් කළ සේවය ගැන විස්තර කරමින් ඔහු පැවසුවේ මෙසේයි. “මා ආසියා ප්‍රදේශයට පා තැබූ පළමු දින පටන් . . . ඔබට ප්‍රයෝජනවත් වන සියල්ල පැවසීමෙන්වත් ප්‍රසිද්ධියේ සහ ගෙයින් ගෙට ගොස් ඔබට ඉගැන්වීමෙන්වත් මම වැළකී නොසිටියෙමි.” මෙලෙසත් වෙනත් ක්‍රම අනුගමනය කරමිනුත් ඔහු “දෙවි ඉදිරියෙහි පසුතැවිලි වීම ගැනත් අපේ ස්වාමීන් වන යේසුස් කෙරෙහි වූ ඇදහිල්ල ගැනත් යුදෙව්වරුන් සහ ග්රීකවරුන් යන දෙපිරිසටම සම්පූර්ණයෙන් සාක්ෂි” දැරුවා. (ක්‍රියා 20:18, 20, 21) ඒ කාලයේ රෝමයේ පාලකයන් රූප වන්දනාව ප්‍රචලිත කළ නිසා බොහෝදෙනෙක් “දෙවි දේවතාවන් කෙරෙහි ගරුබියක් ඇතිව” සිටියා. එමනිසා ‘සෑම තැනකම සිටින මනුෂ්‍ය වර්ගයාට පසුතැවිලි’ වෙන්න කියා පවසමින් සිටි “ලෝකයත් එහි තිබෙන සියල්ලත් සෑදූ දෙවි” ගැන දැනුවත් කිරීම ඉතා අත්‍යවශ්‍ය කාර්යයක් වුණා.—ක්‍රියා 17:22-31.
අද දින අප ජීවත් වන්නේ මෙම දුෂ්ට සමාජයේ අවසානය අද්දරයි. එමනිසා ශුභාරංචිය දේශනා කිරීම ඉතා හදිසි කාරණයක්. සියලුම ජනයා පැහැදිලි තේරීමක් කළ යුතුයි. එමනිසා ඔවුන්ට අනතුරු අඟවන්න අප දැඩි වෑයමක් දරන්න පෙලඹෙනවා. ඒ සඳහා හොඳම ක්‍රමය වන්නේ ගෙයින් ගෙට ගොස් මිනිසුන්ට දේශනා කිරීමයි. යේසුස් සහ ඔහුගේ ගෝලයන් ඒ ක්‍රමය භාවිත කළා. ඒ ක්‍රමය එදා මෙන්ම අදත් ප්‍රතිඵලදායකයි. ඒ සේවය තුළින් සත්‍යය දැනගැනීමට පිපාසයක් ඇති අයව සොයද්දී අපි ඉන් මහත් තෘප්තියක් ලබනවා නිසැකයි.—මාක් 13:10.
ඔබත් මෙම සේවයට හැකි උපරිමයෙන් හවුල් වෙනවාද? දේවසේවයේ යෙදීමට හැකි සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්නා අය එයින් ඉමහත් ප්‍රීතියක් හා තෘප්තියක් අද්දකිනවා. (එස 9:11; ක්‍රියා 20:35) ඇතැම් අවස්ථාවලදී විවිධ හේතු නිසා ගෙයින් ගෙට සේවයේ යෙදීම ඔබට ලෙහෙසි පහසු දෙයක් නොවිය හැකියි. ඔබට යම් සෞඛ්‍ය ගැටලු තිබෙන්න පුළුවන්. එසේ නැත්නම් ඔබ සේවය කරන ප්‍රදේශවල මිනිසුන් එතරම් හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ නැතුවා ඇති. ඇතැම් රටවල ආණ්ඩු සාක්ෂිකරුවන්ගේ සේවයට සීමා හා තහංචි පනවලා. තවත් අවස්ථාවලදී අභියෝගය වන්නේ ඔබේ පෞද්ගලිකත්වයයි. අපගෙන් සමහරදෙනෙක් ටිකක් ලජ්ජාශීලී වන නිසා දන්නා හඳුනන්නේ නැති අය ළඟට ගොස් ඔවුන් සමඟ කතා බහ කිරීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. එමනිසා සේවයේ හවුල් වන සෑම අවස්ථාවකදීම ධෛර්යය උපදවාගන්න සිදු වෙනවා. (නික්. 4:10-12) එනමුත් ඔබ හා සමාන සහෝදරයන් ලොව පුරාම ඒ හා සමාන අභියෝගවලට මුහුණ දෙන නිසා අධෛර්යය වෙන්න ඒ දේවල් හේතුවක් කර නොගන්න.
“සමාජ ක්රමයේ අවසාන කාල පරිච්ඡේදය දක්වා” තම ගෝලයන් සමඟ “සැමදා” සිටින බව යේසුස් පොරොන්දු වුණා. (මතෙ. 28:20) එය මොන තරම් දිරිගන්වනසුලු පොරොන්දුවක්ද! මිනිසුන්ව ගෝලයන් කිරීමේ කාර්යයේ දිගටම හවුල් වෙන්න එමගින් අප පෙලඹෙනවා. පාවුල් මේ සම්බන්ධයෙන් හොඳ ආදර්ශයක්. ඔහු මහත් විශ්වාසයකින් යුතුව පැවසුවේ මෙසේයි. “මට බලය දෙන තැනැත්තාගෙන් සියලු දේ සඳහා මට ශක්තිය ලැබේ.” (ෆිලි. 4:13) එමනිසා සෑම සතියකම ගෙයින් ගෙට සේවයේ යෙදීම සඳහා සභාවේ කර ඇති සැලසුම්වලට සහයෝගය දක්වන්න ඔබට පුළුවන්. වෙනත් අය සමඟ සේවයේ හවුල් වෙද්දී ඔබ දිරිගැන්වීමක් ලබනවාට අමතරව අන් අයට කතා කරන්න හා සඟරා පොත් පත් ඉදිරිපත් කරන්න අවශ්‍ය පුහුණුවද ලබනවා නොඅනුමානයි. යම් බාධා තිබුණත් ඒවා ඇදහිල්ලෙන් ජයගැනීමට දෙවිගෙන් ශක්තිය ඉල්ලා යාච්ඤා කරන්න. ඒත් සමඟම වෙහෙස මහන්සිය නොබලා හැකි උපරිමයෙන් සේවයේ හවුල් වෙන්න.—ලූක් 17:5.
අප දේශනා සේවයේ යෙදෙන විට අපගේ බලාපොරොත්තුව අන් අයට පහදා දෙන්න අපට අවස්ථා උදා වෙනවා. එයින් සිදු වෙන්නේ ඒ බලාපොරොත්තුව කෙරෙහි අපට තිබෙන විශ්වාසය තවත් ශක්තිමත් වීමයි. (1පේතෘ 3:15) මීට අමතරව බලාපොරොත්තුවක් ඇති හා නැති අය අතර තිබෙන පැහැදිලි වෙනස දැකගන්නටත් අපට හැකියි. සුදුස්සන් සොයන විටත්, අකමැති අයගේ ප්‍රතිචාරය නිරීක්ෂණය කරන විටත් යේසුස් තම ගෝලයන්ට පැවසූ වචනවල සත්‍යතාවත් අපට පෙනී යනවා. (මතෙ. 10:11-14) අනික් අතට අප පෞද්ගලිකවත් අද්දකින්නේ මහත් තෘප්තියක්. එයට හේතු වන්නේ ‘අපගේ ආලෝකය බැබළවීමට’ යේසුස් දුන් අණට අප කීකරු වී ඇති නිසයි. මීට අමතරව සමහරවිට ඇතැම් අය අපගේ වෑයම්වල ප්‍රතිඵලයක් ලෙස සදාකාල ජීවන මඟෙහි ගමන් කිරීමට පියවර ගන්න පුළුවන්. එය මොන තරම් ආශීර්වාදයක්ද!—මතෙ. 5:16; යොහ. 17:3; 1 තිමෝ. 4:16.
ඔබට සතිය තුළදී හෝ සති අන්තයේදී ගෙයින් ගෙට සේවයේ හවුල් විය හැකියි. ඇතැම් ප්‍රදේශවල උදෑසන ගොස් ජනයාව හමුවීම දුෂ්කර වන නිසා හැන්දෑවේදී සේවය සඳහා සැලසුම් යොදා තිබෙනවා. හවස් වරුවේ සේවයේ සහභාගි වන විට බොහෝදෙනෙකුගේ ප්‍රතිචාරය වඩාත් හොඳයි. මීට අමතරව ගෙයින් ගෙට සේවයට අමතරව වෙනත් ක්‍රමවලින්ද ජනයා වෙතට ශුභාරංචිය ගෙන යන්න ඔබට පුළුවන්.
සුදුස්සන්ව සොයාගැනීම
“සුදුස්සන්ව සොයාගන්න” කියා අණ කළේ යේසුස්. (මතෙ. 10:11) ඔහු එවැනි අයව සෙව්වේ ගෙයින් ගෙට සේවයේදී පමණක් නොවෙයි. යේසුස් උචිත හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගත්තා. (ලූක් 8:1; යොහ. 4:7-15) ඔහුගේ ගෝලයනුත් එලෙසම කළා.—ක්‍රියා 17:17; 28:16, 23, 30, 31.
අදත් අප උත්සාහ කරන්නේ හැකි සෑම කෙනෙකුටම ශුභාරංචිය ලබා දෙන්නයි. ඒ සඳහා අප යේසුස් සහ ඔහුගේ ගෝලයන් භාවිත කළ ක්‍රම අනුගමනය කළ යුතුයි. මීට අමතරව අප සමාජයේ සිදු වන වෙනස්කම් ගැනත් අප ප්‍රදේශයේ සිටින මිනිසුන් ගැනත් දැනුවත් වී සිටීම වැදගත්.—1 කොරි. 7:31.
අප සුදුස්සන්ව සොයන්නේ ගෙයින් ගෙට සේවය තුළින් පමණක් නොවෙයි. ව්‍යාපාරික ස්ථානවලට ගොස් මිනිසුන්ව මුණගැසීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි. බොහෝ රටවල ඉතා සාර්ථක ක්‍රමයක් වන්නේ වීථි සේවයයි. මීට අමතරව උද්‍යානවල හෝ රථ ගාල්වල බලාගෙන සිටින අයට හෝ බස් හෝ දුම්රියවල ගමන් කරන අයට සාක්ෂි දැරීමත් ප්‍රතිඵලදායකයි. මෙසේ ගෙවල්වල නැති අයට ශුභාරංචිය දේශනා කරන්න මං උදා වී තිබෙනවා.
සාක්ෂි දැරීමට භාවිත කළ හැකි හොඳ ක්‍රමයක් නම් මුරටැඹ හා පිබිදෙව්! සඟරා ඉදිරිපත් කිරීමයි. උචිත සඟරාවක යම් කාලෝචිත විෂයක් පෙන්වමින් ජනයාට කාරුණික ආකාරයකින් සාක්ෂි දැරිය හැකියි. යම් උනන්දුවක් දක්වන අයට වෙනත් පොත් පත් ලබා දිය හැකි අතර ඔවුන්ව බැහැදැකීමටත් සැලසුම් යොදාගත හැකියි. අපගේ රාජ්‍ය සේවාව තුළින් අපව නිතරම දිරිගන්වන්නේ සේවයේ විවිධ ක්‍රම අත්හදා බලන්න කියයි. ඒත් සමඟම සේවයේදී භාවිත කළ හැකි යෝජනා නිතරම පාහේ පළ වෙනවා. මෙම යෝජනා ක්‍රියාත්මක කරමින් ප්‍රසිද්ධ ස්ථානවල සිටින අයට සාක්ෂි දැරීමෙන් ඔබ තෘප්තියක් ලබාගන්නවා නොඅනුමානයි.
එනමුත් අපගේ පැවරුම ශුභාරංචිය ප්‍රකාශ කරමින් යම් අනතුරු ඇඟවීමක් දීමට පමණක් සීමා වී නැහැ. කෙනෙක් ජීවනයට මඟ පාදන සත්‍යය පිළිගන්නවා නම් උනන්දුවක් දක්වන එවැනි අයව නිතරම බැහැදැකීමට ඔබ පියවර ගත යුතුයි. ඔවුන් සත්‍යය තුළ ස්ථිරව සිටින අය බව පෙන්විය හැක්කේ එවිට පමණයි.
නැවත බැලීම්
යේසුස් තම අනුගාමිකයන්ට පැවසුවේ “ඔබ . . . පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානය දක්වාද මා ගැන සාක්ෂිකරුවෝ” වන බවයි. (ක්‍රියා 1:8) ඒ සඳහා ඔවුන් “ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන්” කළ යුතු බවත් තමා අණ කළ “සියලු දේ පවත්වන්න ඔවුන්ට” ඉගැන්විය යුතු බවත් ඔහු අවධාරණය කළා. (මතෙ 28:19, 20) අප නැවත බැලීම් කරන විට එයින් ඉමහත් ප්‍රීතියක් නෙළාගත හැකියි. කෙනෙකු ඔබ ඉදිරිපත් කළ ශුභාරංචිය ගැන උනන්දුවක් දක්වන විට බොහෝදුරට ඔවුන්ව ගොස් නැවත හමු වෙනවාට ඔවුන් කැමතියි. බයිබලයේ සඳහන් දේවල් ඔවුන් සමඟ බෙදාගන්න. එවිට ඔවුන් තුළ දෙවි කෙරෙහි ඇදහිල්ලකුත්, දෙවිගේ මඟ පෙන්වීම නිතරම ලබාගැනීමේ ආශාවකුත් ඇති කළ හැකියි. (මතෙ. 5:3) එම පුද්ගලයාට සුදුසු වේලාවක ඔහුව නැවත හමුවීමට සැලසුම් යොදා, හොඳින් සූදානම් වී ඔහුව හමු වෙනවා නම් සමහරවිට බයිබල් පාඩමක් ආරම්භ කරන්න පුළුවන්. අප සාමාන්‍යයෙන් නැවත බැලීම් කරන්නේ ඒ අරමුණ ඉටු කිරීමටයි. ඒ නිසා අප සත්‍යයේ බීජ ‘පැළ’ කරනවා පමණක් නොව ඒවාට ‘වතුර’ දැමීමටත් පියවර ගන්නවා.—1 කොරි. 3:6.
සමහරුන්ට නැවත බැලීමක් කරනවා කියන්නේ බියගන්වන අද්දැකීමක්. ඇතැම්විට ඔබටත් එම බිය තිබිය හැකියි. ගෙයින් ගෙට සේවයේ ගොස් ශුභාරංචිය කෙටියෙන් ඉදිරිපත් කරන එක ඔබට ප්‍රශ්නයක් නොවෙයි. නමුත් කෙනෙක් සමඟ බයිබලය ගැන දිග සාකච්ඡාවක් කිරීම ගැන සිතන විට ඔබ තුළ යම් බියක් ඇති වෙනවා. කොහොමවුණත් ඔබට ඒ තත්වයෙන් ජයගත හැකියි. ඒ පුද්ගලයාව මුලින් හමුවෙද්දී ඔහුට සඟරාවක් හෝ පොතක් හෝ ඔබ ලබා දුන්නා විය හැකියි. ඔහුව නැවත හමුවෙද්දී ඒ සඟරාවෙන් හෝ පොතෙන් යම් කාරණයක් ඔබට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ සඳහා කලින්ම සූදානම් වෙන්න. ඔබට තවමත් යම් බියක් දැනෙනවා නම් ඔබට උපකාර කිරීම සඳහා වඩාත් අද්දැකීම් ඇති ප්‍රචාරකයෙකු සමඟ ඒ නැවත බැලීම කළ හැකියි.
නැවත බැලීම් සාර්ථකව කිරීමට අවශ්‍ය උපකාර ඔබට දෙවිගේ සංවිධානය තුළින්ම ලබාගත හැකියි. යම් උපකාර ලබාගන්නා විට ශුද්ධ ලියවිල්ල පිළිබඳ ඔබේ දැනුම හා අවබෝධය තවත් දියුණු කරගැනීමට උත්සාහ කරන්න. යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබාගෙන ඒ අද්දැකීම් ලත් සහෝදර සහෝදරියන්ගේ උපකාර ලබාගන්න. නැවත බැලීම් සාර්ථක කිරීමට සමත් වන විට දේවසේවය තුළින් ඔබ ලබාගන්නා ප්‍රීතියද වැඩි වෙනවා නොඅනුමානයි.
බයිබල් පාඩම් පැවැත්වීම
ශුභාරංචිය දේශනා කරන්නෙකු වූ ෆිලිප් දේවවචනය ගැන උනන්දුවක් දැක්වූ පුරුෂයෙකුගෙන් මෙසේ ඇසුවා. “ඔබ කියවන්නේ කුමක්ද කියා ඔබ ඇත්තෙන්ම දන්නවාද?” ඔහු පිළිතුරු දුන්නේ මෙසේයි. “යමෙකු මට මඟ පෙන්නුවොත් මිස, මා එය දැනගන්නේ කෙසේද?” ක්‍රියා 8වන පරිච්ඡේදයේ දක්වා ඇති වාර්තාවට අනුව ෆිලිප් ඔහු කියවමින් සිටි ‘ශුද්ධ ලියවිලි පාඨයෙන් පටන්ගෙන ඔහුට යේසුස් ගැන ශුභාරංචිය ප්‍රකාශ කළා.’ (ක්‍රියා 8:26-36) ෆිලිප් මේ පුරුෂයා සමඟ කොතරම් කාලයක් ගත කළාද කියා සඳහන් කර නොතිබුණත් ඔවුන්ගේ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහු යේසුස්ව අදහාගන්න පටන්ගත් අතර තමාව බව්තීස්ම කරන්න කියා ඉල්ලා සිටියා. එයින් අදහස් කරන්නේ ෆිලිප් ඔහුට ශුභාරංචිය ඉතා හොඳින් පහදා දුන් බවයි. ඔහු යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයක් බවට පත් වුණා.
අද දින අපට හමු වන අයට බයිබලය ගැන එතරම් හොඳ දැනුමක් නොතිබෙන්න පුළුවන්. එමනිසා බව්තීස්ම වීමට සුදුසුකම් ලබන තෙක් සති හෝ මාස ගණනාවක් පුරා එසේ නැතහොත් අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් පුරා නැවත නැවත ගොස් බයිබලය ඔහු සමඟ පාඩම් කිරීම අවශ්‍යයි. නමුත් ඔබ ඉවසිලිවන්තව හා කාරුණිකව ඔහුට උපකාර කරන විට ඔබට බොහෝ ආශීර්වාද පෞද්ගලිකව නෙළාගත හැකියි. යේසුස් පැවසූ ආකාරයට “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති” වෙනවා.—ක්‍රියා 20:35.
යෙහෝවාගේ සාක්ෂිකරුවන් නිකුත් කරන ඇතැම් පොත් පිළියෙල කර තිබෙන්නේ බයිබලය පාඩම් කිරීම සඳහායි. ඒවා යොදාගෙන බයිබල් පාඩමක් කිරීම පහසුයි. ඇතැම්විට ඔබ සමඟ බයිබලය පාඩම් කළ තැනැත්තාගේ ආදර්ශය හෝ සභාවේ සිටින දක්ෂ ගුරුවරන්ගේ ආදර්ශය අනුගමනය කිරීමෙන් සාර්ථක බයිබල් පාඩම් පැවැත්වීමට ඔබේ හැකියාව දියුණු කරගන්න පුළුවන්. එවිට යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයන් වීමට අන් අයට උපකාර කිරීමේ ප්‍රස්තාව ඔබට උදා වෙනවා.
බයිබල් පාඩමක් ආරම්භ කර එය පවත්වන ආකාරය ගැන යම් උපකාරයක් ඔබට අවශ්‍ය විය හැකියි. එසේනම් වැඩිමහල්ලන්ට හෝ බයිබල් පාඩම් කරන්න දක්ෂ සහෝදරයෙකුගේ හෝ සහෝදරියකගේ උපකාර ලබාගන්න. අපගේ රාජ්‍ය සේවාවේ ඇති හා සේවා රැස්වීමේදී නිරූපණය කර තිබෙන යෝජනා ක්‍රියාත්මක කරන ආකාරය ගැන ඔවුන් ඔබට උපකාර කරයි. මීට අමතරව ඔබ යෙහෝවා දෙවි මත රඳා සිටිය යුතුයි. ඔහුගේ උපකාර ඉල්ලා යාච්ඤා කිරීමටද අමතක නොකරන්න (1 යොහ. 3:22) එසේනම් මිනිසුන්ව ගෝලයන් කිරීමේ කාර්යයට උද්යෝගයෙන් හවුල් වන්න. ඔබේ පවුලේ සාමාජිකයන් සමඟ කරන පාඩමට අමතරව අඩුම තරමින් එක බයිබල් පාඩමක්වත් පවත්වන්න උත්සාහ කරන්න. ඇත්තටම බයිබල් පාඩම් කිරීමෙන් ඔබ සේවයෙන් තවත් ප්‍රීතියක් ලබනවා නිසැකයි.
උනන්දුවක් දක්වන අය දෙවිගේ සංවිධානය වෙත යොමු කිරීම
අප විවිධ අය සමඟ බයිබලය පාඩම් කර යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයන් වීමට උපකාර කරන විට ඔවුන් යෙහෝවා දෙවිව දැන හඳුනාගන්නා අතර සභාවේ සාමාජිකයන් බවටද පත් වෙනවා. සභාවක් සංවිධානය වී තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීමට එකඟවයි. එමනිසා සෑම කෙනෙකුම උත්සාහ කරන්නේ දෙවි බලාපොරොත්තු වන දේ කිරීමටයි. බයිබල් ශිෂ්‍යයන්ටද දෙවිගේ සංවිධානය හඳුනාගෙන එය සමඟ සහයෝගයෙන් වැඩ කරන්න අවශ්‍ය උපකාර අප ලබා දිය යුතුයි. එසේ කරන ආකාරය ඔවුන්ට ඉගැන්වීම වැදගත්. ඔවුන් සත්‍යය තුළ වර්ධනයක් ලබා ශක්තිමත් වන්නේ අප එසේ කළොත් පමණයි.
ඒ සඳහා පිළියෙල කර තිබෙන වීඩියෝ දර්ශන හා පොත් පත් යොදාගන්න ඔබට පුළුවන්. මීට අමතරව මෙම පොතේ 4වන පරිච්ඡේදයේ සඳහන් තොරතුරුද ප්‍රයෝජනවත්.
උනන්දුවක් දක්වන කෙනෙකු සමඟ බයිබලය ගැන සාකච්ඡා කිරීම පටන්ගන්නා අවස්ථාවේ සිටම ඔවුන්ට පැහැදිලි කළ යුතු දෙයක් තිබෙනවා. ඒ පොළොව මත තමා අරමුණු කර ඇති කාර්යයක් කිරීමට යෙහෝවා දෙවි සංවිධානයක් යොදාගන්නා බව. ඒ සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් නිකුත් කරන බයිබල් ආධාරක පොත් පත්වල වටිනාකම පැහැදිලි කරන්න ඔබට පුළුවන්. ඒත් සමඟම දෙවිට කැප වී සිටින ස්වේච්ඡා සේවකයන් විසින් ඒවා පිළියෙල කර බෙදාහරින ආකාරයත් විස්තර කළ හැකියි. සභාවේ පොත් පාඩමට සහාභාගි වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට ආරාධනා කරන්න. එහි සිටින සහෝදර සහෝදරියන්ට ඔවුන්ව හඳුන්වා දී අපගේ රැස්වීම් ශාලාවල රැස්වීම් පවත්වන ආකාරය ගැන විස්තරයක්ද සැපයිය හැකියි. ඒ රැස්වීම්වලට පැමිණෙන්න කියා ඔවුන්ට උනන්දු කරන්න. මීට අමතරව චාරිකා එක්රැස්වීම්වලට හා දිස්ත්‍රික් සමුළුවලට සහභාගි වීමෙන් වෙනත් සාක්ෂිකරුවන් දැන හඳුනාගන්නත් ඔවුන්ට උපකාර කළ හැකියි. මෙවැනි අවස්ථාවලදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර සැබෑ ක්‍රිස්තියානි ප්‍රේමයක් ඇති බව දකින්න ඔවුන්ට පුළුවන් වෙයි. (යොහ. 13:35) උනන්දුවක් දක්වන අය දෙවිගේ සංවිධානය සඳහා තමුන්ගේ අගය වැඩි කරන විට යෙහෝවා දෙවිව තව තවත් හොඳින් හඳුනාගන්නත් ඔවුන්ට පුළුවන්.
පොත් පත් භාවිතය
මුල් ක්‍රිස්තියානීන් දේවවචනයේ පණිවුඩය ප්‍රකාශ කළේ මහත් උද්යෝගයකිනුයි. තම පෞද්ගලික භාවිතය සඳහාත් සභාවේ භාවිතය සඳහාත් ඔවුන් ශුද්ධ ලියවිල්ලේ පිටපත් සෑදුවා. අතින් පිළියෙල කළ මෙම පිටපත් ස්වල්පයක් තිබුණත් ඒවා ඔවුන් සැලකුවේ ඉතා වටිනා සම්පතක් ලෙසයි. එතුළින් දෙවිගේ සත්‍යය වචනය කියවන ලෙස සැමටම උනන්දු කළා. (කොලො. 4:16; 2 තිමෝ. 2:15; 3:14-17; 4:13; 1 පේතෘ. 1:1) අද දින යෙහෝවාගේ සාක්ෂිකරුවන් නවීන තාක්ෂණය හා යන්ත්‍ර සූත්‍ර යොදාගනිමින් බයිබල් මිලියන ගණනක් මෙන්ම බයිබලය අධ්‍යයනය කිරීමට උපකාරවත් වන පත්‍රිකා, සඟරා පොත් පත් භාෂා ගණනාවකින් මුද්‍රණය කරනවා.
එමනිසා අන් අයට ශුභාරංචිය ගැන කියා දෙන විට “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” සපයා ඇති බයිබල් ආධාරක පොත් රාශිය හොඳින් භාවිත කරන්න. (මතෙ. 24:45) සෑම මසකම අප සේවයේදී ඉදිරිපත් කළ යුතු පොත් පත් ගැන විස්තරයක් අපගේ රාජ්‍ය සේවාවෙහි සඳහන් වෙනවා. මීට අමතරව සඟරා බෙදා දීමේ ප්රස්තාද (සඟරා දින) නිතරම උදා වෙනවා.
‘විශ්වාසවන්ත දාසයා’ නිසි වේලාවට නොයෙකුත් පොත් පත් තුළින් පෝෂණය ප්‍රධාන වශයෙන් ලබා දෙන්නේ ‘දෙවිගේ ගෘහයට’ එනම් ක්‍රිස්තියානි සභාවට බව ඇත්තයි. එනමුත් යෙහෝවා දෙවි ත්‍යාගශීලී දෙවි කෙනෙක් නිසා “දාසයා” එම පෝෂණය දෙවි පිළිබඳ දැනුමක් ලබාගන්න උත්සාහ දරන සියලුදෙනාටම ලබා දෙනවා. පෞද්ගලිකව ඔබ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පොත් පත් කියවා අධ්‍යයනය කිරීමෙන් බොහෝ ප්‍රයෝජන නෙළාගෙන ඇති බවට සැකයක් නැහැ. එමනිසා ඔබ ඉගෙනගෙන ඇති දේවල් අන් අය සමඟ බෙදාගන්න උත්සාහ කරනවා නියතයි. (හෙබ්‍රෙ. 13:15, 16) නවකයන්ට පවා මෙම පොත් පත් තුළින් සේවයේ හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි.
අවිධිමත්ව සාක්ෂි දැරීම
තමා පවසන දේට කීකරු වන අය ගැන යේසුස් පැවසුවේ මෙසේයි. “ඔබ ලෝකයේ ආලෝකයය. . . . ඔබේ ආලෝකය මිනිසුන් ඉදිරියෙහි බබළවන්න. එවිට ඔවුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්ව මහිමයට පත් කරනවා ඇත.” (මතෙ. 5:14-16) යේසුස් පැවසුවේ තමා “ලෝකයේ ආලෝකය” බවයි. සැබෑ ක්‍රිස්තියානීන් උත්සාහ කරන්නේ යේසුස්ව අනුකරණය කරමින් දෙවි පිළිබඳ ආලෝකය මිනිසුන්ට පතුරුවන්නයි. ඇත්තටම සවන් දෙන්න කැමති සියලුදෙනා වෙනුවෙන් “ජීවනයේ ආලෝකය” බැබළවීමෙන් යේසුස් සියලුම ක්‍රිස්තියානීන්ට ආදර්ශයක් තැබුවා.—යොහ. 8:12.
අපට ආදර්ශයක් තැබූ තවත් කෙනෙකි පාවුල්. (1 කොරි. 4:16; 11:1) ඔහු ඇතන්ස් නුවරට ගිය විට හැමදාම වෙළඳපොළට ගොස් එහි සිටි අයට සාක්ෂි දැරුවා. (ක්‍රියා 17:17) ෆිලිප්පි නුවරේ සිටි ක්‍රිස්තියානීන් ඔහුගේ ආදර්ශය අනුගමනය කළ නිසා පාවුල් ඔවුන්ව ඇමතුවේ ‘වංක නොමඟ ගිය පරම්පරාවක් අතරේ ලෝකයේ ප්‍රදීප ලෙස බැබළෙන අය’ ලෙසයි. (ෆිලි. 2:15) අපටත් කතාවෙන් හා ක්‍රියාවෙන් සත්‍යාලෝකය විහිදුවිය හැකියි. ඒ සඳහා ලැබෙන හැම අවස්ථාවකදීම ශුභාරංචිය දේශනා කරන්න අපට පුළුවන්. අප අවංක මෙන්ම නිර්දෝෂී ජීවිතයක් ගත කරන නිසා බොහෝදෙනෙක් සත්‍යයට ආකර්ෂණය විය හැකි බව ඇත්තයි. නමුත් ශුභාරංචිය ගැන කතා කිරීමට අප පියවර ගන්නා විට අපගේ යහපත් ආදර්ශය දකින අය, අප සෙසු මිනිසුන්ට වඩා වෙනස් වන්නේ ඇයි කියන කාරණය අවබෝධ කරගන්නවා නිසැකයි.
ඇත්තටම යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙක් රැකියා ස්ථානයේදී, පාසැලේදී හෝ දෛනික වැඩ කටයුතුවල නිරත වෙද්දී මිනිසුන්ට ශුභාරංචිය ගැන කතා කරනවා. උදාහරණයකට ගමනක් යද්දී මඟීන් සමඟ කතා කරන්න ඔබට අවස්ථාවක් උදා විය හැකියි. සාමාන්‍ය සංවාදයක් සාක්ෂි දැරීමට අවස්ථාවක් කරගන්නත් අප උත්සාහ කළ යුතුයි. එමනිසා හැකි සෑම යෝග්‍ය අවස්ථාවක්ම අල්ලාගන්න අප සූදානම්ව සිටීම සුදුසුයි.
ශුභාරංචිය ගැන කතා කරන සෑම අවස්ථාවකදීම අපගේ දෙවිට ප්‍රශංසාවක් ගෙන දෙමින් ඔහුගේ නාමය ගෞරවයට පත් කරන බව අප මතක තබාගත යුතුයි. එසේ මතක තබාගැනීම ශුභාරංචිය ගැන කතා කරන්න අපට දිරිගැන්වීමක්. ප්‍රතිඵලයක් හැටියට අවංක සිත් ඇති අයට දෙවි ගැන කියා දෙන්න අපට ප්‍රස්තාවක් උදා විය හැකියි. එමගින් යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ල තබමින් සදාකාල ජීවනයට මඟ ඔවුන්ට විවෘත වෙන්න පුළුවන්. මේ සඳහා අප දරන වෑයම පරිශුද්ධ සේවයක්. එයින් අපගේ දෙවි සතුටු වෙනවා නියතයි.—හෙබ්‍රෙ. 12:28; එළි. 7:9, 10.