8වන පරිච්ඡේදය
යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම
ශුභාරංචියේ දේවසේවකයෝ
83 සිට 91 දක්වා පිටු
දේවසේවයේ ප්‍රගතිය පිළිබඳව වාර්තා කිරීම
ලොව වටා සැබෑ නමස්කාරය ව්‍යාප්ත වෙමින් පවතින ආකාරය ගැන අසන්න ලැබෙන වාර්තා, වසර ගණනාවක් පුරාම යෙහෝවා දෙවිගේ ජනයාට මහත් දිරිගැන්වීමක් වී තිබේ. රාජ්‍යයේ ශුභාරංචිය මුළු ලොවේ දේශනා කරනු ලබන බව යේසුස් පළමුව සිය ගෝලයන්ට පැවසූ දා පටන්ම, මෙය ඉෂ්ට වෙන්නේ කෙසේද යන්න ගැන සැබෑ ක්‍රිස්තියානීහු ඉතා සැලකිලිමත් වී සිටිති.—මතෙ. 28:19, 20; මාක් 13:10; ක්‍රියා 1:8.
යේසුස් ක්‍රිස්තුස්ගේ මුල් ගෝලයෝ දේශනා සේවයේ ප්‍රගතිය සම්බන්ධයෙන් ලැබූ වාර්තා ගැන ඉතා විශාල උනන්දුවක් දැක්වූහ. (මාක් 6:30) පෙන්තකොස්ත දවසේදී ගෝලයන් මත දෙවිගේ බලය වැගිරෙවූ අවස්ථාවේදී එම ස්ථානයේ පුද්ගලයන් 120ක් පමණ සිටි බව ක්‍රියා පොතේ වාර්තාවෙන් දක්නට ලැබේ. වැඩි කල් නොගොස්, ගෝලයන්ගේ සංඛ්‍යාව 3,000ක් වූ අතර පසුව එය 5,000 දක්වා වැඩි විය. “යෙහෝවා, . . . ගැලවූ අයව ඔවුන්ට දිනපතා එක් කරමින් සිටි” බවත් “පූජකයන්ගෙන් මහත් සමූහයක්ද ඇදහිල්ලට කීකරු වූ” බවත් වාර්තා වූ විට එය මහත් දිරිගැන්වීමක් විය. (ක්‍රියා 1:15; 2:5-11, 41, 47; 4:4; 6:7) මෙවන් වර්ධනයක් පිළිබඳ වාර්තා ඇසූ ඒ ගෝලයන්ට එය මොන තරම් දිරිගැන්වීමක් වුණාද! යුදෙව් ආගමික නායකයන් විසින් ගෙනෙන ලද දරුණු පීඩා හමුවේ දෙවි විසින් පවරන ලද මේ කාර්යය දිගටම නොබියව කරගෙන යෑමට මෙම වාර්තාවලින් ගෝලයන්ට ලැබුණේ මොන තරම් පෙලඹීමක්ද!
ක්‍රිස්තු වර්ෂ 60-61 පමණ කාලයේදී, පාවුල් කොලොස්සිවරුන්ට ලියන ලද ලිපියේ සඳහන් කළේ ශුභාරංචිය ‘ලොව පුරා පල දරමින් වර්ධනය වෙමින් තිබෙන’ බවත් එය ‘අහසින් යට මුළු මැවිල්ලෙහි දේශනා කර’ තිබෙන බවත්ය. (කොලො. 1:5, 6, 23) මුල් ක්‍රිස්තියානීහු වචනයට කීකරු වී සිටියහ. එමනිසා යුදෙව් සමාජ ක්‍රමය ක්‍රි.ව. 70දී විනාශ වීමට පෙර එවකට ලොව පුරා ශුභාරංචිය දේශනා කිරීමට දෙවිගේ බලය ඔවුන්ට උපකාර කර තිබිණි. කිරීමට ඉතා දුෂ්කර බවට පෙනුණු ඒ කාර්යය එදා නිමාවට පත් වූයේ එසේයි. එමනිසා එවන් වාර්තා ඇසීමට ලැබීම එදා සිටි ක්‍රිස්තියානීන්ට මොන තරම් ප්‍රීතියක් සතුටක් වුණාද!
මතෙව් 24:14හි මෙලෙස සඳහන් වෙයි. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය.” එමනිසා, අද දිනත් යෙහෝවාගේ සංවිධානය උත්සාහ කරන්නේ මෙම අනාවැකිය ඉටු වන අන්දම පිළිබඳව නිවැරදි වාර්තා තබාගැනීමටයි. දෙවිගේ කැපවූ සේවකයන් වශයෙන්, අප සතු කාර්යය හදිසි එකකි. අවසානය පැමිණීමට පෙර මෙම දේවසේවය මුළුමනින්ම නිමා කිරීමට අප පෞද්ගලිකව උත්සුක විය යුතුය. මෙම කාර්යය අවසන් කරන බවට යෙහෝවා දෙවි වගබලාගන්නා අතර, අපත් ඊට හවුල් වුණොත් අපටත් දෙවිගේ අනුමැතිය තිබෙනවා ඇත.
ඔබේ ක්ෂේත්‍ර සේවා වාර්තාව
අප වාර්තා කළ යුත්තේ කුමක්ද? සභාවෙන් සැපයෙන ක්ෂේත්‍ර සේවා වාර්තා පතෙහි සඳහන් කළ යුතු තොරතුරු මොනවාද කියා පෙන්වා තිබේ. නමුත් පහත සඳහන් ඡේදයේ තොරතුරුද, කලින් කලට පළ වෙන අපගේ රාජ්‍ය සේවාවේ අමතර තොරතුරුද මේ සඳහා මහෝපකාරී වෙනවා ඇත.
මෙම වාර්තා පතේ, “පොත්” “පොත් පිංච සහ විවරණිකා” සහ “සඟරා” යන තීරුවල අදාළ සංඛ්‍යාව පුරවන්න. මෙසේ ඔබ වාර්තා කරන්නේ කැපවී නොසිටින බව්තීස්ම නොවූ පුද්ගලයන්ට අදාළ මාසය ඇතුළත ඔබ විසින් බෙදා දුන් ප්‍රකාශන සංඛ්‍යාවයි.
“නැවත බැලීම්” තීරුවේ ඔබ ලකුණු කළ යුත්තේ, බව්තීස්ම ලත් සාක්ෂිකරුවෙකු නොවන යම් කෙනෙකුව ඔබ විසින් ඔහුගේ හෝ ඇයගේ උනන්දුව වැඩි වන ලෙස කළ සාකච්ඡා කිරීමට බැහැදැකීමට ගිය වාර ගණනයි. නැවත බැලීමක් ලකුණු කිරීමට නම්, මේ තැනැත්තාව හමුවීම අවශ්‍යමයි. සභා සේවා කමිටුවේ මඟ පෙන්වීම යටතේ ඔබ අක්‍රියාශීලී සහෝදරයෙකු හෝ සහෝදරියක සමඟ බයිබල් පාඩමක් පවත්වනවා නම්, ඔබට එය නැවත බැලීමක් හැටියට වාර්තා කළ හැකියි. අලුත බව්තීස්ම වී තවත් උපකාර අවශ්‍ය කෙනෙකු සමඟ තාවකාලිකව පවත්වන බයිබල් පාඩමකදීද ඔබට නැවත බැලීම් ලකුණු කළ හැකියි. යමෙකුව ඔහුගේ හෝ ඇගේ නිවසට ගොස් හමුවීමට අමතරව, ලිපියක් ලිවීමේදීද, දුරකථන පණිවුඩයක් දීමේදීද, යම් පොත් පත් සඟරා ගොස් දීමේදීද, නැවත බැලීමක් වාර්තා කළ හැකියි. නිවාස බයිබල් පාඩමක් පවත්වන සෑම වතාවකදීම නැවත බැලීමක් වාර්තා කළ යුතුයි.
සෑම සතියකම බයිබල් පාඩමක් පැවැත්වුවත්, ඒවා වාර්තා කරන්නේ මාසයකට වතාවක් පමණයි. පාඩම් වාර්තා පත් පාවිච්චි කෙරෙන රටවල, බයිබල් පාඩම් පවත්වන ප්‍රචාරකයෝ තමන් විසින් අදාළ මාසයේදී පවත්වන පාඩම් වාර්තා කරති. මෙසේ බයිබල් පාඩම් පවත්වන්නේ බව්තීස්ම වූ සාක්ෂිකරුවන් නොවන අය හෝ ඊළඟ ඡේදයේ විස්තර කර ඇති ආකාරයේ අය සමඟයි. පවත්වන සෑම බයිබල් පාඩමක විස්තර නිවැරදිව සම්පූර්ණ කළායින් පසුව, ක්ෂේත්‍ර සේවා වාර්තා පතේ දකුණු කෙළවරේ පහළ කොටුවේ මුළු බයිබල් පාඩම් සංඛ්‍යාව ලකුණු කරන්න. මේ අනුව, ඔබ ක්ෂේත්‍ර සේවා වාර්තා පතේ ලකුණු කර ඇති බයිබල් පාඩම් සංඛ්‍යාව සහ පාඩම් වාර්තා සංඛ්‍යාව එක සමාන විය යුතුයි.
“ක්ෂේත්‍ර සේවා පැය” නිවැරදි ලෙස වාර්තා කිරීම ඉතා වැදගත්ය. මේ කාලයට ඇතුළත් වෙන්නේ, ඔබ ගෙයින් ගෙට, වීදි සේවයේ, නැවත බැලීම්වලදී, බයිබල් පාඩම්වලදී හෝ බව්තීස්ම ලත් සාක්ෂිකරුවන් නොවන අයට අවිධිමත් ලෙස හෝ ප්‍රසිද්ධියේ සාක්ෂිදරද්දී ඊට මිඩංගු කරන කාලයයි. සභාවේ සේවා කමිටුවේ සාමාජිකයෙකුගේ මඟ පෙන්වීම යටතේ ඔබ අක්‍රියාශීලී සහෝදරයෙකු හෝ සහෝදරියක සමඟ පවත්වන බයිබල් පාඩමක් සඳහා ගත කරන කාලයද මේ සඳහා එකතු කළ හැකියි. තාවකාලිකව උපකාර අවශ්‍ය වන අලුතෙන් බව්තීස්ම ලත් පුද්ගලයෙකු සමඟ පවත්වන බයිබල් පාඩමක් සඳහා මිඩංගු කරන කාලයද ලකුණු කළ හැකියි. යම් තත්වයන් යටතේ තව කෙනෙකුව එම පාඩමට කැටුව යන්නේ නම්, දෙදෙනාම සාක්ෂිදැරීමේ හවුල් වෙන්නේ නම්, දෙදෙනාටම එම කාලය වාර්තා කළ හැකියි. ක්ෂේත්‍ර සේවයට යෑමට සූදානම් වීමේදී, ක්ෂේත්‍ර සේවා රැස්වීමට සහභාගි වීමේදී සහ එහි යෑමට හා ආපසු ඒමට මිඩංගු වන කාලය වාර්තා කළ නොහැකියි.
ඔබ වාර්තා කරන කාලය වන්නේ සාක්ෂි දැරීම ආරම්භ කළ මොහොතේ සිට අවසන් කළ වේලාව දක්වා කාලයයි. ඒ අතර මැද ආහාර පාන ගැනීමට ගත වන කාලය වාර්තා කෙරෙන්නේ නැත. උපකාරික, ස්ථාවර සහ විශේෂ පුරෝගාමීන්ට මෙන්ම මිෂනාරීවරුන්ටද සපුරාලිය යුතු නිශ්චිත කාලයක් තිබේ. සභා ප්‍රචාරකයන් තම තමන්ගේ තත්වයන්ට අනුව තම උපරිම කාලය යොදමින් දේවරාජ්‍යය වැඩකටයුතුවල නියැලීමට දිරිගැන්වේ. යෙහෝවා දෙවිට කැපවූ සෑම කෙනෙක්ම තම උපරිමය දේවසේවයේදී පිදීමට උත්සාහ කළ යුතුයි. (කොලො. 3:23) ප්‍රසිද්ධ කතා ඉදිරිපත් කරන සහෝදරයන්ට ඒවා ඉදිරිපත් කිරීමට සිදු වන කාලයද, කැප නොවූ තම දරුවන් සමඟ සතියකට කිහිපවරක් බයිබල් පාඩම කළත් දෙමාපියන්ට එම කාලයෙන් සතියකට පැයක් පමණයි වාර්තා කිරීමට හැකි වන්නේ.
ක්ෂේත්‍ර සේවා කාලය වාර්තා කළ යුත්තේ සම්පූර්ණ පැයවලිනි. නමුත් යම් ප්රචාරකයෙකුගේ මහලු වයස නිසා හෝ අසනීප තත්වයක් මැද යම් සාත්තු නිවෙසක ජීවත් වන නිසා හෝ වෙනත් ආකාරයක ආබාධිත තත්වයන් නිසා පැයකට අඩු කාලයක් වාර්තා කිරීමට අවකාශ තිබේ. එවන් කෙනෙකුට විනාඩි 15, විනාඩි 30 හෝ විනාඩි 45 යනාදි වශයෙන් සේවය වාර්තා කළ හැකියි. මසකට සාක්ෂි දැරීමට හැකියාව ලැබුණේ විනාඩි 15ක් පමණ වුණත්, එයද වාර්තා කළ යුතු අතර, එවිට දිගටම ප්‍රචාරකයෙකු වශයෙන් ගණන් ගැනේ. යම් ප්‍රචාරකයෙකු තදබල ලෙස අසනීප වී සිටීම නිසා තාවකාලිකව එකතැනකට වී සිටීමට සිදු වුණි නම්, ඔවුන්ටද මෙම සැලැස්මෙන් ප්‍රයෝජන ගත හැකියි. කෙසේවෙතත්, මෙම සැලැස්ම අදාළ වන්නේ ඉතාමත් දුර්වල තත්වයක සිටින ප්‍රචාරකයන්ට පමණක් බව සලකන්න. එවන් ප්‍රචාරකයෙක් මේ සැලැස්මට ඇතුළත් කරනවාද නැද්ද කියා තීරණය කරන්නේ සභාවේ සේවා කමිටුවයි.
සභාවේ ප්රචාරක වාර්තා කාඩ්පත
ඔබේ ක්ෂේත්‍ර සේවා වාර්තාව සෑම මසකම සභාවේ ප්රචාරක වාර්තා කාඩ්පතේ ලකුණු කරනු ලැබේ. එය සභා ලිපි ගොනු අතර තිබෙන එකකි. මෙම කාඩ්පත් ප්‍රචාරකයන්ට අයිති දෙයක් නොවේ. ඔබ වෙනත් සභාවකට මාරු වේ නම්, ඒ බව වැඩිමහල්ලන්ට දැනුම් දෙන්න. ඔබ යන නව සභාවේ ලේකම් ඔබේ ප්රචාරක වාර්තා කාඩ්පත එවන ලෙස කලින් සිටි සභාවේ ලේකම්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. ඔබේ කලින් සභාවේ ලේකම්, ඔබ යන සභාවේ ලේකම්ගේ ලිපිනය දන්නේ නම්, ඔහුට ඔබ පිළිබඳ ලිපියක් සමඟින් ඔබේ ප්රචාරක කාඩ්පත(පත්) යැවීමට කටයුතු යොදනවා ඇත. මේ නිසා, ඔබ යන නව සභාවේ වැඩිමහල්ලන්ට ඔබට අවශ්‍ය උපකාර දීමට හැකියාව ලැබෙනවා ඇත. ඔබ ඔබේ සභාවෙන් මාස තුනකට අඩු කාලයකට වඩා වෙන් වී සිටින්නේ නම්, කරුණාකර ඔබේ ක්ෂේත්‍ර සේවා වාර්තා පත ඔබේ මව් සභාවට නිතිපතා යැවීමට වග බලාගන්න.
අප ක්ෂේත්‍ර සේවය වාර්තා කරන හේතුව
ඔබේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දැමීමට සමහර අවස්ථාවල ඔබට අමතක වෙනවාද? අප හැමෝටම ඉඳ හිට සිහිගැන්වීම් අවශ්‍යයි. නමුත් මෙම වාර්තා කිරීම පිළිබඳව අපට නිසි ආකල්පයක් තිබේ නම්, අප එසේ කරන්නේ ඇයි කියා සහ එහි වැදගත්කම ගැන අපි හරි හැටි තේරුම්ගෙන තිබේ නම්, නිසි අන්දමින් වාර්තාව ඉදිරිපත් කිරීමට අපේ මතකයේ තිබේවි.
ඇතමුන් මෙසේ අසා තිබේ. “යෙහෝවා දෙවි දන්නවා මම සේවයේදී කරන්නේ මොනවාද කියා. එසේනම්, මම සභාවට වාර්තාවක් ඉදිරිපත් කළ යුත්තේ ඇයි?” යෙහෝවා දෙවි අප කරන දේ දන්නා බව සත්‍යයකි. අප සේවය කරන්නේ නිකම්ම පුරුද්දක් ලෙසද නැත්නම්, අපේ මුළු උපරිමයෙන් ආශාවෙන් කරනවාද කියාත් දෙවි දනී. කෙසේවෙතත්, නෝවා නැවේ ගත කළ දවස් ගණනද, ඊශ්‍රායෙල් ජනයා ඒ පාළුකරයේ ගමන් කළ අවුරුදු ගණනද යෙහෝවා දෙවි විසින් වාර්තා කිරීමට සැලැස්වූ බව මතක තබාගන්න. දෙවි තමන්ට විශ්වාසවන්තව සිටි අයගේ ගණනද අකීකරු වූ අයගේ ගණනද වාර්තා කළේය. කානාන් දේශය අත්පත් කරගත් ආකාරය සහ ඊශ්‍රායෙල් ජාතියේ විශ්වාසවන්ත විනිශ්චයකරුවන් ගැනද වාර්තා කළේය. මේ අනුව, දෙවි තම සේවකයන් කළ ක්‍රියා බොහොමයක් පිළිබඳ විස්තර වාර්තා කළ බව පෙනේ. මෙම වාර්තා තම වචනය තුළ සඳහන් කිරීමෙන් අපට පැහැදිලිව පෙනෙන්නේ යම් ක්‍රියාවන්හි වාර්තා තැබීම දෙස දෙවි බලන ආකාරයයි.
බයිබලයේ සඳහන් ඓතිහාසික වාර්තාවලින් පෙනී යන්නේ යෙහෝවාගේ ජනයා විසින් තබා ඇති වාර්තාවල නිවැරදිභාවයයි. නිශ්චිත සංඛ්‍යාත්මක විස්තර කිරීමක් නැතිව යම් බයිබල් සිද්ධියක තිබෙන සුවිශේෂී බව විස්තර කිරීමට බොහෝ අවස්ථාවලදී හැකි වෙන්නේ නැත. උදාහරණ ලෙස පහත සඳහන් බයිබල් පද සලකා බලන්න. උත්පත්ති 46:27 සහ නික්මයාම 12:37; විනිශ්චයකරුවෝ 7:7; 2 රාජාවලිය 19:35; 2 ලේකම් 14:9-13; යොහන් 6:10; 21:11, ක්‍රියා 2:41; 19:19.
අද අපි ක්ෂේත්‍ර සේවය වාර්තා කිරීමට හේතු කිහිපයක්ම තිබේ. යෙහෝවා දෙවිට සේවය කිරීමේදී අප කරන සෑම දෙයක්ම මේ වාර්තාවලට අඩංගු නොවූවත්, වාර්තා වන දේ යෙහෝවාගේ සංවිධානය තුළ වැඩිමහල්ලන් ඇතුළු සෑම කෙනෙකුටම උපකාර කිරීමට මහත් සේ ප්‍රයෝජනවත් වේ.
මෙම වාර්තා මගින් අපට අපේ සේවයේ දියුණු විය යුතු පැති ගැන යමක් කියාපානවා විය හැකියි. යම් ක්‍රියාකාරකම්වල ප්‍රගතියක් මෙම වාර්තාවලින් කියාපෑවත්, සමහර පළාත්වල ප්‍රචාරකයන්ගේ හෝ වර්ධනයේ අඩුවක් තිබෙන බව පෙන්වන්න පුළුවන. තවත් පැතිවලින් දිරිගැන්වීම අවශ්‍ය විය හැකියි. නැත්නම් ගැටලු විසඳීමට තිබෙන බව පෙනී යා හැකියි. සභාවක යම් පුද්ගලයෙකු හෝ සමස්තයක් වශයෙන් මුළු සභාවම දියුණු විය යුතු පැති ගැන යම් කාරණා අවබෝධ කරගැනීමට සභාවේ අවේක්ෂකයන්ට උපකාරවත් වෙන්නේද මෙම වාර්තායි.
තවද, ක්ෂේත්රයේ වැඩ කිරීමට තවත් සේවකයන් අවශ්‍ය වන්නේ කුමන ප්රදේශවලටදැයි දැනගැනීමට මෙම වාර්තා ඉවහල් වේ. වඩාත් පලදායි වන්නේ කිනම් ප්‍රදේශද? අවම වර්ධනයක් ඇත්තේ කොයි පළාත්වලද? සත්‍යය ඉගෙනගැනීමට ජනයාට කිනම් ආකාරයේ ප්‍රකාශන අවශ්‍යද? ලොවේ විවිධ රටවල විවිධ ප්‍රදේශවලට අවශ්‍ය පොත් පත් මොනවාද කියා සැලසුම් කිරීමටත්, දේශනා සේවය කරගෙන යෑමට අවශ්‍ය බයිබල් සහ බයිබල් පොත් පත් හිඟකමකින් තොරව නිපදවීමටත් හැකිකම ලැබෙන්නේ මෙම වාර්තා නිසයි.
අපගෙන් බොහෝදෙනෙකු දිරිගැන්වෙන්නේ වාර්තා ඇසීමෙනි. ලොව වටා අපගේ සහෝදරයන් කරන සේවය අසා අප සතුටු වෙන්නේ නැද්ද? ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව ගණනින් වැඩි වී තිබෙන බව වාර්තාවලින් අප අසන විට යෙහෝවාගේ සංවිධානය වර්ධනය වෙමින් තිබෙන බව අපට පෙනේ. සහෝදර සහෝදරියන්ගේ අද්දැකීම් ගැන අසන විට, දේශනා සේවයේ ඉතා උද්යෝගයෙන් යෙදීමට අප තුළ මහත් පෙලඹීමක් ඇති වන බව රහසක් නොවේ. (ක්‍රියා 15:3) ඉතින් අපි අපේ ක්ෂේත්‍ර සේවා වාර්තාව සභාවට ඉදිරිපත් කරමින් මේ සැලැස්මට සහයෝගය දක්වමු. එය වැදගත්. සෑම තැනකම සිටින අපේ සහෝදරයන් කෙරෙහිද අපි ඒ මගින් සැලකිලිමත් වෙමු. මෙසේ කිරීමෙන් අපි යෙහෝවා දෙවිගේ සංවිධානාත්මක විධිවිධානයට යටත් බව පෙන්වන්නෙමු.—මතෙ. 24:45-47.
පෞද්ගලික ඉලක්ක තබාගැනීම
අපගේ සේවය තවත් කෙනෙකුගේ සේවය සමඟ සැසඳීමට කිසිදු අවශ්‍යතාවක් නැත. (ගලා. 5:26; 6:4) පුද්ගලයන්ගේ තත්වයන් එකිනෙකට වෙනස්ය. ඒ නිසා සැසඳීම ඥානවන්ත දෙයක් නොවේ. අප කළ යුත්තේ අපට අත් කරගත හැකි ඉලක්ක තබාගැනීමයි. අපගේ දේවසේවයේ අප දක්වන ප්‍රගතිය මැන බැලීමට අපටම හැක්කේ මේ මගිනුයි. තවද, අපේම හැකියාවන් හා තත්වයන්ට අනුව අප පෞද්ගලික ඉලක්ක තබාගෙන ඒවා අත් කරගන්නා විට අපට ඉන් මහත් තෘප්තියක්ද ලබාගත හැකියි.
අවසාන වාර්තාවට හවුල් වීම
අප කරන දේශනා සේවය සංකේතාත්මක ලෙස බයිබලයේ සඳහන් කර තිබෙනවා. එහිදීත් දුන් වැඩය අවසන් වූ විට ඒ ගැන වාර්තා කළා. එසකියෙල් එක්තරා අනාවැකිමය දර්ශනයකදී දුටුවේ, දෙවිගෙන් ඈත්වූ යෙරුසලමට එරෙහිව විනිශ්චය ප්‍රකාශ කිරීමට ආයුධ අතැතිව එන මිනිසුන් හය දෙනෙකුවයි. තවද, තවත් සත්වෙනි මිනිසෙකුද එනවා ඔහු දුටුවේය. මොහු තීන්ත කූඩුවක් අතින් ගෙන සිටියේය. ඔහුට මෙසේ පවසන ලදි. “නුවර මැදින්, එනම් යෙරුසලම මැදින් ගොස් එහි කරන සියලු පිළිකුල් දේ නිසා සුසුම්ලන අඬන මනුෂ්‍යයන්ගේ නළල්වල ලකුණක් තබන්න.” ආයුධ ඇතැති මිනිසුන්ගේ ප්‍රහාරවලට ලක් නොවී ගැලවීමට නියමිත අයව ලකුණු කළායින් පසුව, මෙම තීන්ත කූඩුව අතැති මිනිසා නැවත හැරී ඇවිත් මෙසේ වාර්තා කළේය. “ඔබ මට අණ කළ ලෙස කෙළෙමි.”—එස. 9:1-11.
මතෙව් 24:14 ඉෂ්ට කරමින් දේශනා සේවය අවසන් කිරීම සම්බන්ධව යෙහෝවා දෙවි කිනම් අවසන් වාර්තාවක් ඉල්ලා සිටීද කියා අපි නොදනිමු. කෙසේවෙතත්, සෑම මසකම ඉතා උනන්දුවෙන් ආශාවෙන් අප අපේ දේවසේවය වාර්තා කිරීමෙන් අපි කුඩා ප්‍රමාණයකින් හෝ දෙවිට ඇති අපේ අගය කිරීම පෙන්වමු. සෑම ප්‍රචාරකයෙක්ම සෑම මසකම අවසානයේදී තම සේවා වාර්තාව විගසින් සභාවට ඉදිරිපත් කළ යුතුයි. මෙසේ කිරීම සභාවේ සමස්ත වාර්තාව පිළියෙළ කරන සහෝදරයන්ට මහඟු සහයෝගයක් වන අතර, ඔවුන් එය ශාඛා කාර්යාලයට යවනවා ඇත.
ඇත්ත වශයෙන්ම, “මහත් පීඩාවෙන්” ගැලවෙන්න යන සියලුමදෙනාවම යෙහෝවා දෙවි ඉතා වේගයෙන් දැන් එක්රැස් කරමින් සිටින බව නිසැකයි. අප ජීවත් වෙමින් සිටින්නේ යෙසායාගේ මෙම අනාවැකිය ඉෂ්ට වෙමින් තිබෙන කාලයේයි. “කුඩා තැනැත්තේ දහසක්ද සුළු අය බලවත් ජාතියක්ද වන්නෝය. යෙහෝවා වූ මම ඒක එහි නියම කලට ඉක්මනින් කරන්නෙමි.” (එළි. 7:9, 14; යෙසා. 60:22) අපගේ සහෝදර සේනාවට යෙහෝවා දෙවි ශුභාරංචිය දේශනා කිරීමේ වැඩ කොටස භාර දී තිබෙනවා. ඒ නිසා, ඒ තීන්ත කූඩුව අතැති මිනිසා වාර්තා කළාක් මෙන්ම මෙසේ වාර්තා කිරීමට අපටත් හැකිවීම ගැන අප කොතරම් සතුටු වෙමුද! “ඔබ මට අණ කළ ලෙසම කළෙමි.”