බයිබල් පොත් අංකය 16—නෙහෙමියා
ලේඛකයා: නෙහෙමියා
ලියූ ස්ථානය: යෙරුසලම
ලිවීම සම්පූර්ණ කළේ: පො.යු.පෙ. 433න් පසු
ආවරණය කළ කාලය: පො.යු.පෙ. 456-443න් පසු
නෙහෙමියා පර්සියාවේ රජු වූ අර්තක්ෂස්තා (ලොන්ජිමැනස්) යටතේ සේවය කළ යුදෙව්වෙකු වූ අතර, “යාහ් සනසවයි” යනු ඔහුගේ නමේ අර්ථය වේ. ඔහු රජුගේ කුසලාන දරන්නා ලෙස සේවය කළේය. මෙය මහත් විශ්වාසයකින් යුතුව පවරන ලද රාජකාරියක් විය. ගෞරවනීය නිලයක් ලෙස සැලකූ මෙම රාජකාරියට කවුරුත් පාහේ ප්‍රිය කළේ මෙමගින් රජු වෙතට කෙළින්ම ළඟාවීමට අවස්ථාවක් ලැබුණු නිසාය. රජු සන්තෝෂයෙන් සිටි ඇතැම් අවස්ථාවලදී යම් දේවලට ඔහුගේ අවසරය ලබාගැනීමට කුසලාන දරන්නාට හැකි විය. කෙසේවෙතත්, තම මව් බිමෙන් පිටුවහල් කර සිටි ඇදහිලිවන්ත යුදෙව්වන්ගෙන් කෙනෙකු වූ නෙහෙමියා තම “ප්‍රීතිය” සඳහා දේවල් ලබාගැනීමට අවස්ථා සොයනවා වෙනුවට යෙරුසලම කෙරෙහි මහත් ලැදියාවක් දැක්වූයේය. (ගීතා. 137:5, 6) නෙහෙමියාගේ එකම අභිප්‍රාය වූයේ යෙහෝවාගේ නමස්කාරය නැවත පිහිටුවීම මිස, තමාටම නිලතල හෝ ද්‍රව්‍යමය වස්තු ලබාගැනීම නොවේ.
2 පොදු යුගයට පෙර 456දී යෙරුසලමට ආපසු පැමිණි ‘වහල්කමින් ගැළවී ඉතුරු වූ’ යුදෙව්වරුන්ගේ තත්වය සතුටුදායක එකක් නොවීය. ඔවුහු ඉතාමත් දුක්ඛදායක තත්වයක පසු වූහ. (නෙහෙ. 1:3) මේ අතර නගරයේ පවුරු කඩා වැටී තිබිණ. කවදත් මේ සෙනඟට සතුරුකම් කළ ජාතීන්ගේ නින්දා අපහාහසවලට මොවුන් ලක් විය. නෙහෙමියා මේ ගැන දැඩි සේ ශෝක වූයේය. කෙසේවෙතත්, යෙරුසලම වටා ඉදි කර තිබූ පවුර යථා තත්වයට ගෙන ඒම සඳහා පියවර ගැනීමට යෙහෝවාට කාලය එළඹ තිබිණ. සතුරු බලපෑම් තිබුණත් නැතත්, යෙරුසලමෙහි ආරක්ෂක පවුරු ගොඩනැඟිය යුතුව තිබිණ. මන්ද එය ගොඩනැඟීම හා මෙසියස්ගේ පැමිණීම ගැන යෙහෝවා දානියෙල්ට දී තිබූ අනාවැකිය අතර එකිනෙකට සම්බන්ධකමක් තිබූ බැවිනි. (දානි. 9:24-27) ඊට එකඟව, යෙහෝවා ඔහුගේ කැමැත්ත ඉටු කිරීමට ඇදහිලිවන්ත මෙන්ම ජ්වලිතවත් නෙහෙමියාව යොදාගෙන කාරණා හැසිරෙව්වේය.
3 නෙහෙමියා ඔහුගේ නම දරන පොතෙහි ලේඛකයා වූ බවට කිසිම සැකයක් නැත. “හකලියාගේ පුත්‍රවූ නෙහෙමියාගේ කථා වස්තුව” යනුවෙන් සඳහන් ආරම්භක ප්‍රකාශයෙන් හා මෙම පොතෙහි අන්තර්ගත වාර්තාව ලිවීමේදී උත්තම පුරුෂය භාවිත කිරීමෙන් පැහැදිලි වන්නේ නෙහෙමියාම මෙහි ලේඛකයා වූ බවය. (නෙහෙ. 1:1) මුලින්ම එස්රා හා නෙහෙමියා පොත් එක පොතක් ලෙස තිබූ අතර, එය එස්රා යනුවෙන් හඳුන්වන ලදි. පසු කලෙක යුදෙව්වරුන් විසින් මෙම පොත පළමු හා දෙවන එස්රා යනුවෙන් කොටස් දෙකකට වෙන් කරනු ලැබූ අතර, පසුව දෙවන එස්රා යනුවෙන් නම් කරනු ලැබූ පොත නෙහෙමියා යනුවෙන් හඳුන්වනු ලැබීය. එස්රා පොතෙහි අවසානයෙහි සඳහන් සිදුවීම් හා නෙහෙමියාගේ පොතෙහි ආරම්භයෙහි සඳහන් සිදුවීම් අතර අවුරුදු 12ක කාල පරතරයක් තිබේ. නෙහෙමියාගේ පොත මගින් පො.යු.පෙ. 456 අවසානයේ සිට පො.යු.පෙ. 443 දක්වා වූ කාලපරිච්ඡේදයක් ආවරණය කෙරෙයි.—1:1; 5:14; 13:6.
4 නෙහෙමියාගේ පොත දේවානුභාවය ලත් ශුද්ධ ලියවිල්ලේ සෙසු කොටස් සමඟ හොඳින් එකඟ වේ. එමෙන්ම මෙය ශුද්ධ ලියවිල්ලට අයත් කොටසක්ද වේ. ව්‍යවස්ථාවේ සඳහන් දේවලට වක්‍ර ලෙස කර තිබෙන යොමු දැක්වීම් රැසක් මෙහි ඇතුළත් වේ. උදාහරණ ලෙස වෙනත් ජාතීන් සමඟ විවාහ වීම (ද්වි. 7:3; නෙහෙ. 10:30), මුදල් ණයට දීම (ලෙවී. 25:35-38; ද්වි. 15:7-11, නෙහෙ. 5:2-11) සහ පැල් මංගල්‍යය (ද්වි. 31:10-13; නෙහෙ. 8:14-18) දැක්විය හැක. තවදුරටත්, යෙරුසලම විරුද්ධවාදිකම්වලින් යුත් “කැලඹීම් සහිත කාලවලදී” නැවත ගොඩනඟන බවට දානියෙල් විසින් පවසන ලද අනාවැකියේ ඉටුවීම ආරම්භ වන කාලය ගැන නෙහෙමියා පොතෙහි සඳහන් වේ.—දානි. 9:25.
5 යෙරුසලම් නගරයේ පවුරු නැවත ගොඩනැඟීම සඳහා නෙහෙමියා එහි යෑමට පිටත් වූ පො.යු.පෙ. 455 ගැන කුමක් කිව හැකිද? ග්‍රීක, පර්සියානු හා බබිලෝනියානු මූලාශ්රවල සඳහන් විශ්වාසදායක ඓතිහාසික සාක්ෂිවලින් පැහැදිලි වන්නේ පො.යු.පෙ. 475 අර්තක්ෂස්තා රජකමට පත් වූ වසර බවත් ඔහුගේ මුල්ම පාලන වසර සම්පූර්ණ වූයේ පො.යු.පෙ. 474දී බවත්ය.a මෙසේ ගණන් බලන කල ඔහුගේ පාලනයේ විසිවන අවුරුද්ද වන්නේ පො.යු.පෙ. 455ය. පවුර හා ගේට්ටු ඇතුළුව යෙරුසලම නැවත ගොඩනැඟීමට රජුගේ කුසලාන දරන්නා වූ නෙහෙමියාට රජුගේ අවසරය ලැබුණේ, පො.යු.පෙ. 455වන වසරේ වසන්ත සමයේ නීසාන් නමැති යුදෙව් මාසයේදී බව නෙහෙමියා 2:1-8 දක්වා සඳහන් වචනවලින් ඇඟවෙයි. දවසකට අවුරුද්ද බැගින් ගණන් ගැනෙන සති 69 නොහොත් අවුරුදු 483, “යෙරුසලම නැවත පිහිටුවා ගොඩනගන්ට ආඥාවක් ලැබෙන තැන් පටන් අධිපතියාවූ ආලේපලත් තැනැත්තා දක්වා” දිවයන බව දානියෙල්ගේ අනාවැකියෙහි සඳහන් වේ. ආලේප ලත් තැනැත්තා හා සම්බන්ධ එම අනාවැකිය විශිෂ්ට ලෙස ඉටු වූයේ යේසුස්ව පො.යු. 29දී ආලේප කරනු ලැබූ අවස්ථාවේදීය. මෙම වසර, ලෞකික මෙන්ම බයිබලයේ සඳහන් ඉතිහාසය සමඟද එකඟ වේ.b (දානි. 9:24-27; ලූක් 3:1-3, 23) දානියෙල්ගේ අනාවැකිය සම්බන්ධයෙන් නෙහෙමියා පොතේ සඳහන් දෙය සහ ලූක්ගේ පොතේ සඳහන් දෙය අතර එකඟතාවක් තිබේ. මෙයින් පැහැදිලි වන්නේ සැබෑ අනාවැකිවල කර්තෘ හා ඒවා ඉටු කරන්නා යෙහෝවා දෙවි බවයි! නෙහෙමියා පොත දේවානුභාවය ලත් ශුද්ධ ලියවිලිවල කොටසක් බවට කිසිම සැකයක් නැත.
ප්‍රයෝජනවත් වීමට හේතු
16 නෙහෙමියා ගත කළ දේවභක්තික ජීවිතය සැබෑ නමස්කාරයට ලැදියාවක් දක්වන සැමට පොලඹවනසුලු බලපෑමක් ඇති කළ යුතුය. ඔහු යෙහෝවාගේ සෙනඟ අතර යටහත් අවේක්ෂකයෙකු ලෙස සේවය කිරීමට ඉතා ගෞරවනීය තනතුරක් අත්හැරියේය. ඔහුට අනිවාර්යයෙන්ම ලැබිය යුතුව තිබූ ද්‍රව්‍යමය දේවල් පවා භුක්ති විඳීම ඔහු ප්‍රතික්ෂේප කළේය. එමෙන්ම ඔහු මලපතක් වන ද්‍රව්‍යවාදය සම්පූර්ණයෙන්ම හෙළා දුටුවේය. නෙහෙමියා ජ්වලිතව යෙහෝවාගේ නමස්කාරයෙහි හවුල් වීමටත් එය දිගටම නිර්මලව පවත්වාගැනීමටත් මුළු ජාතියම දිරිමත් කළේය. (5:14, 15; 13:10-13) පරාර්ථකාමී මෙන්ම නැණවත් ලෙස කටයුතු කිරීමෙන්ද අනතුරු හමුවෙහි එඩිතරව ධර්මිෂ්ඨකම ලුහුබැඳීමෙන්ද නෙහෙමියා අපට කදිම ආදර්ශයක් සැපයුවේය. (4:14, 19, 20; 6:3, 15) ඔහු දෙවි කෙරෙහි ගෞරවනීය බියක් විදහාපෙන්වූ අතර, තමාගේ සෙසු සේවකයන්ගේ ඇදහිල්ල ගොඩනැංවීම කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වීය. (13:14; 8:9) ඔහු යෙහෝවාගේ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට දැඩි ප්රයත්නයක් දැරුවේය. විශේෂයෙන්ම සැබෑ නමස්කාරය දූෂ්‍ය කරන දේවලට සහ අන් දෙවිවරුන්ට නමස්කාර කරන ස්ත්‍රීන්ව විවාහ කරගැනීම වැනි විදේශීය බලපෑම්වලට ඔහු එරෙහි වූයේය.—13:8, 23-29.
17 යෙහෝවාගේ ව්‍යවස්ථාව ගැන නෙහෙමියාට හොඳ දැනුමක් තිබූ බවත් ඔහු එය හොඳින් භාවිත කළ බවත් පොත පුරාම තිබෙන තොරතුරුවලින් පැහැදිලි වේ. ද්විතීය කථාව 30:1-4හි සඳහන් යෙහෝවා දී තිබෙන පොරොන්දුව සැලකිල්ලට ගනිමින් ඔහු දෙවිගේ ආශීර්වාද අත් වන අයුරින් කටයුතු කළේය. තමා වෙනුවෙන් යෙහෝවා පක්ෂපාත ලෙස කටයුතු කරන බවට පූර්ණ ඇදහිල්ලක් ඔහුට තිබිණ. (නෙහෙ. 1:8, 9) පූර්වයෙහි ලියන ලද දේවල් පිළිබඳව යුදෙව්වන්ව හොඳින් දැනුවත් කිරීමේ අරමුණින් ඔහු විශාල එක්රැස් වීම් සංවිධානය කළේය. නෙහෙමියා සහ එස්රා දෙවිගේ වචනයෙහි සඳහන් දේවල් ජනයාට ක්රියාවේ යෙදවීමට හැකි වන පිණිස, එය ඔවුන්ට තේරුම්ගැනීමට පහසු ආකාරයකින් පැහැදිලි කර දීමට උනන්දු වූහ.—8:8, 13-16; 13:1-3.
18 නෙහෙමියා මුළුමනින්ම යෙහෝවා මත රඳා සිටිමින් නිහතමානී ලෙස ඔහුට කන්නලව් කළේය. යාච්ඤාපූර්වකව දෙවි මත රඳා සිටීමේ නිහතමානී ආකල්පයක් වර්ධනය කරගැනීමට එය අපට දිරිගැන්වීමක් විය යුතුය. ඔහු කළ යාච්ඤාවලදී දෙවිව මහිමයට පත් කළ ආකාරයත්, සෙනඟ කළ පව් පිළිගත් ආකාරයත් සැලකිල්ලට ගන්න. එමෙන්ම යෙහෝවාගේ නාමය ගෞරවයට පත්වීම සඳහාද ඔහු මහත් ඕනෑකමින් යාච්ඤා කළේය. (1:4-11; 4:14; 6:14; 13:14, 29, 31) මෙම ජ්වලිතවත් අවේක්ෂකයා දෙවිගේ සෙනඟට මහත් ශක්තියක් වූයේය. ඒ බව ඔහුගේ නැණවත් මඟ පෙන්වීම් අනුගමනය කිරීමට ඔවුන් සූදානම්ව සිටීමෙන්ද ඔහු සමඟ එක්ව දෙවිගේ කැමැත්ත කිරීමෙන් ඔවුන් අද්දුටු ප්‍රීතිය තුළින්ද පැහැදිලි විය. ඇත්තෙන්ම එය මොනතරම් දිරිගන්වනසුලු ආදර්ශයක්ද! කෙසේවෙතත්, මෙම නැණවත් අවේක්ෂකයා නොසිටි අවස්ථාවලදී ද්‍රව්‍යවාදය, දූෂිත ක්‍රියා හා ඇදහිල්ල සම්පූර්ණයෙන්ම අත්හැර දැමීම වැනි දේවල් සෙනඟ අතරට මොනතරම් ඉක්මනින් ඇතුල් වූවාද! මේ නිසා අදදින දෙවිගේ සෙනඟ අතර සිටින සියලුම අවේක්ෂකයන්ද සිහි ඇතුව අවදිව සිටීමේ අවශ්‍යතාව එයින් තේරුම්ගත යුතුය. එමෙන්ම ඔවුන් තමන්ගේ ක්‍රිස්තියානි සහෝදරයන්ගේ යහපත ගැන නිතරම සැලකිලිමත් වෙමින් සැබෑ නමස්කාරයෙහි දිගටම රැඳී සිටීමට ඔවුන්ට මඟ පෙන්වීමේදී ස්ථිර විය යුතුය.
19 නෙහෙමියා දෙවිගේ වචනය කෙරෙහි නොසැලෙන විශ්වාසයක් තබමින් ඒ මත රඳා සිටියේය. ඔහු ශුද්ධ ලියවිලි පිළිබඳ ජ්වලිතවත් ගුරුවරයෙකු වූවා පමණක් නොව, පෙළපත්වල උරුමයත් යළි පිහිටුවනු ලැබූ දෙවිගේ සෙනඟ අතර සිටි පූජකයන්ගේ හා ලෙවීවරුන්ගේ සේවයත් නිසි ලෙස ස්ථාපිත කිරීමේදී ශුද්ධ ලියවිලි මැනවින් භාවිත කළේය. (නෙහෙ. 1:8; 11:1–12:26; යෝෂු. 14:1–21:45) ඉතිරි වූ යුදෙව්වන්ට මෙය මහත් දිරිගැන්වීමක් වූ බවට සැකයක් නැත. වංශය පිළිබඳව කලින් දෙන ලද උතුම් පොරොන්දු හා වංශය වන ක්‍රිස්තුස්ගේ රාජ්‍ය පාලනය යටතේ වඩාත් විශාල පරිමාණයෙන් සිදු වන ප්‍රතිසංස්කරණය කෙරෙහි වූ ඔවුන්ගේ විශ්වාසය එයින් ශක්තිමත් විය. එම රාජ්‍යය යටතේ සිදු කෙරෙන ප්‍රතිසංස්කරණය, දෙවිගේ සේවකයන්ට රාජ්‍ය කටයුතුවල එඩිතරව නියැලීමටත්, පොළොව පුරා සැබෑ නමස්කාරය ව්‍යාප්ත කිරීමෙහිලා කාර්යබහුලව සිටීමටත් මහත් දිරිගැන්වීමක් වේ.
[පාදසටහන්වල]
a ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (ඉංග්‍රීසියෙන්, it), වෙළු. 2, පිටු 613-16.
b ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය, වෙළු. 2, පිටු 899-901.