ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lv 251 පි.-253 පි. 3 ¶
  • දික්කසාදය හා එකිනෙකාගෙන් වෙන් වීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දික්කසාදය හා එකිනෙකාගෙන් වෙන් වීම
  • “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • සමාන තොරතුරු
  • ‘දෙවි එක් කළ’ දේට ගෞරව කරන්න
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දික්කසාදය ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හිතන්නේ මොකක්ද?
    නිතර අසන ප්‍රශ්න
  • විවාහය දෙකඩ වන අවස්ථාවක පවතී නම්
    පවුලේ සන්තෝෂයට රහස
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
“දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
lv 251 පි.-253 පි. 3 ¶

උපග්‍රන්ථය

දික්කසාදය හා එකිනෙකාගෙන් වෙන් වීම

විවාහය සම්බන්ධයෙන් යෙහෝවා දෙවි ඉතා පැහැදිලි ප්‍රමිතියක් පිහිටුවා තිබෙනවා. දෙවි ආදම් සහ ඒවගේ විවාහය සිදු කළ අවස්ථාවේදී ඔවුන්ට පැවසූ මේ දෙයින් එය පැහැදිලි වෙනවා. “මිනිසෙක් . . . තම බිරිඳට ඇලුම් වන්නේය. ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය.” පසුව යේසුස්ද එම ප්‍රමිතිය නැවත සඳහන් කළ අතර, “දෙවි ඔවුන්ව එලෙස එක් කළ නිසා කිසි මිනිසෙක් ඔවුන්ව වෙන් නොකළ යුතු” බවත් පැවසුවා. (උත්පත්ති 2:24; මතෙව් 19:3-6) යෙහෝවා දෙවි හා යේසුස් විවාහය සලකන්නේ ජීවිතාන්තය දක්වා පැවතිය යුතු බැඳීමක් ලෙසයි. ඒ බැඳීම අවසන් වන්නේ එක් සහකරුවෙකු මිය ගියොත් පමණයි. (1 කොරින්ති 7:39) ඒ කාරණාවලින් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවි විවාහය ඉතා පරිශුද්ධ දෙයක් ලෙස සලකන බවයි. ඒ නිසා දික්කසාද වීම සැහැල්ලුවට ගත යුතු දෙයක් නොවෙයි. බයිබලයේ අනුමත කර තිබෙන පදනම හැර වෙනත් හේතූන් මත සිදු වන දික්කසාදයන් දෙවි දැඩි ලෙස හෙළාදකිනවා.—මලාකි 2:15, 16.

දික්කසාදයක් සිදු කිරීමට බයිබලයේ අනුමත කර තිබෙන පදනම කුමක්ද? වේශ්‍යාකම් කිරීමයි. යෙහෝවා දෙවි ඒ දේවල් සලකන්නේ ඉතා දුෂ්ට දේවල් ලෙසයි. (උත්පත්ති 39:9; 2 සාමුවෙල් 11:26, 27; ගීතාවලිය 51:4) ඒ නිසා වේශ්‍යාකමක් සිදු වී ඇත්නම් දික්කසාද වීමට දෙවි අවසර දී තිබෙනවා. (වේශ්‍යාකමට ඇතුළත් වන දේවල් ගැන 9වෙනි පරිච්ඡේදයේ 7වෙනි ඡේදයේ සාකච්ඡා කරනවා.) වරද කළ සහකරු හෝ සහකාරිය සමඟ දිගටම විවාහ ජීවිතය ගත කරනවාද නැත්නම් ඔහුව හෝ ඇයව දික්කසාද කරනවාද කියා තීරණය කිරීමට වරද නොකළ සහකරු හෝ සහකාරියට යෙහෝවා දෙවි අවසර දී තිබෙනවා. (මතෙව් 19:9) ඒ අනුව වරදක් නොකළ තැනැත්තා දික්කසාද වීමට තීරණය කළොත් ඔහු හෝ ඇය යෙහෝවා දෙවි හෙළාදකින දෙයක් කරනවා කියා පැවසිය නොහැකියි. නමුත් අප මෙම වැදගත් කාරණය මතක තබාගත යුතුයි. එනම් වේශ්‍යාකමක් සිදු වී ඇත්නම් දික්කසාද විය යුතුමයි කියා වරද නොකළ තැනැත්තාට බල කිරීමට අපට කිසිම අයිතියක් නැති බවයි. යම් හේතුවක් නිසා වරද කළ සහකරු හෝ සහකාරිය සමඟ දිගටම විවාහ ජීවිතය ගත කිරීමට වරද නොකළ තැනැත්තා තීරණය කළ හැකියි. සමහරවිට එසේ තීරණය කරන්නේ වරද කළ සහකරු හෝ සහකාරිය තමා කළ වරද ගැන අවංකව පසුතැවිලි වන නිසා විය හැකියි. ඒ අනුව වේශ්‍යාකමක් සිදු වී ඇත්නම් දික්කසාදයක් සිදු කිරීමට බයිබලයේ අවසර දී තිබෙන බව පැහැදිලියි. නමුත් එය පෞද්ගලිකව ගත යුතු තීරණයක්. පෞද්ගලිකව ගන්නා තීරණය කුමක් වුණත් එහි ප්‍රතිඵලවලට තමන්ට මුහුණ දීමට සිදු වන බව ඔහු හෝ ඇය මතක තබාගැනීම වැදගත්.—ගලාති 6:5.

සමහරවිට විවාහයක් තුළ ඉතා අසීරු අවස්ථා මතු විය හැකියි. ඊට හේතුව වේශ්‍යාකම නොවුණත් ඇතැම් ක්‍රිස්තියානීන් තම සහකරු හෝ සහකාරියගෙන් වෙන් වීමට හෝ නීත්‍යනුකූලව දික්කසාද වීමට තීරණය කර තිබෙනවා. එවැනි දෙයක් සිදු වුණොත් බයිබලයේ පැහැදිලිවම පවසන්නේ එවැනි කෙනෙක් “වෙනත් කෙනෙකු සමඟ විවාහ වීමෙන් වැළකී සිටිය යුතු” බවයි. ‘එසේ නැතහොත් නැවත සමඟි විය යුතු’ බවයි. (1 කොරින්ති 7:11) ඒ අනුව තවත් කෙනෙකු සමඟ විවාහ වීමට එවැනි කෙනෙකුට අවසර නැහැ. (මතෙව් 5:32) වෙන් වීමට හෝ නීත්‍යනුකූලව දික්කසාද වීමට තුඩු දිය හැකි ඉතා අසීරු අවස්ථා කිහිපයක් දැන් සලකා බලමු.

තම පවුලේ අයව නඩත්තු කිරීමේ වගකීම ප්‍රතික්ෂේප කිරීම. බයිබලයේ පැහැදිලිවම මෙසේ පවසනවා. “යමෙකු . . . තම පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය දේ ලබා දෙන්නේ නැත්නම් ඔහු සත්‍ය ඉගැන්වීම් ප්‍රතික්ෂේප කර ඇති කෙනෙකි. ඇත්තෙන්ම ඔහු දෙවිට සේවය නොකරන කෙනෙකුටත් වඩා නරකය.” (1 තිමෝති 5:8) හැකිකම තිබුණත් පුරුෂයෙක් තම පවුලට අවශ්‍ය මූලික දේවල් සපයන්නේ නැත්නම් පවුලේ සිටින සාමාජිකයන් අන්ත අසරණ තත්වයකට පත් විය හැකියි. එවැනි පුරුෂයෙක් ඔහුගේ ක්‍රියාකලාපය වෙනස් නොකර දිගටම එලෙස කටයුතු කරනවා නම් තමාගේ හා තම දරුවන්ගේ ශුභසිද්ධිය වෙනුවෙන් තම පුරුෂයාගෙන් වෙන් වෙනවාද නැද්ද කියා තීරණය කිරීමට භාර්යාවකට සිදු විය හැකියි. කැමති නම් ඇයට එම වෙන් වීම නීත්‍යනුකූලවද සිදු කළ හැකියි.a ක්‍රිස්තියානි පුරුෂයෙකු තම පවුලේ අයව නඩත්තු කරන්නේ නැහැයි කියා චෝදනාවක් එල්ල වන විට වැඩිමහල්ලන් ඒ කාරණය හොඳින් විභාග කර බැලිය යුතුයි. කෙනෙකු තම පවුලේ අයට අවශ්‍ය දේ ලබා දීමේ වගකීම ප්‍රතික්ෂේප කරනවා නම් එහි ප්‍රතිඵලය ඔහුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීම විය හැකියි.

දරුණු පහර කෑම්වලට ලක් වීම. යම් අවස්ථාවලදී කලහකාරී සහකරුවෙකු හෝ සහකාරියක කොතරම් දරුණු විදිහට ක්‍රියා කරනවාද කිවහොත් පහර කෑම්වලට ලක් වන තැනැත්තාගේ සෞඛ්‍යය හෝ ජීවිතය පවා අනතුරේ තිබිය හැකියි. කලහකාරීව ක්‍රියා කරන පුද්ගලයා ක්‍රිස්තියානි කෙනෙක් නම් ඒ පිළිබඳව කර ඇති චෝදනාවේ ඇත්ත නැත්ත සභාවේ වැඩිමහල්ලන් විභාග කළ යුතුයි. හදිසි කෝපය හා පුරුද්දක් ලෙස දරුණු ලෙස හැසිරීම නිසා කෙනෙකුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ හැකියි.—ගලාති 5:19-21.

දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය හානියට ලක් වීම. දෙවිට සේවය කරන කෙනෙකුගේ සහකරු හෝ සහකාරිය කරන දැඩි බලපෑම් නිසා ඔහුට හෝ ඇයට සැබෑ නමස්කාරයේ යෙදීම ඉතා අසීරු විය හැකියි. එසේ නැතහොත් දෙවිගේ නීති කඩ කරන දේවල් කිරීමට දැඩි ලෙස බල කළ හැකියි. එවැනි අනතුරකට ලක් වී සිටින සහකරු හෝ සහකාරිය, ‘මිනිසුන්ට නොව දෙවිට කීකරු වීමේ’ අරමුණින් නීත්‍යනුකූලව වෙන් වීමට තීරණය කළ හැකියි.—ක්‍රියා 5:29.

ඉහත සඳහන් කළ අසීරු අවස්ථාවක් විවාහයක් තුළ අද්දකින විට වෙන් වෙන්න කියා හෝ වෙන් නොවන්න කියා කිසි කෙනෙකු බල නොකළ යුතුයි. බයිබල් ප්‍රතිපත්ති ගැන හොඳ අවබෝධයක් ඇති මිතුරන් හා වැඩිමහල්ලන්ට යම් උපකාර හා මඟ පෙන්වීම් දිය හැකියි. නමුත් පුරුෂයෙකු හා භාර්යාවක අතර සිදු වන සෑම කාරණයක් ගැනම සම්පූර්ණ අවබෝධයක් තමන්ට නැති බව ඔවුන් මතක තබාගත යුතුයි. ඒ දේ දන්නේ යෙහෝවා දෙවි පමණයි. තම පුරුෂයාගෙන් වෙන් වීමට තිබෙන ආශාව නිසා භාර්යාවක් තම පුරුෂයා හා ඇය අතර තිබෙන ප්‍රශ්න දෙගුණ තෙගුණ කර පවසමින් තත්වය වඩා බරපතළයි කියා ඇඟවීමට උත්සාහ කළොත් ඇය කරන්නේ දෙවිට හා විවාහ සැලැස්මට අගෞරවයක්. එම ප්‍රතිපත්තිය පුරුෂයෙකු සම්බන්ධයෙන්ද අදාළ වෙනවා. යම් කෙනෙකු තම සහකරුගෙන් වෙන් වීමට කූට කුමන්ත්‍රණයක් කරනවා නම් එය යෙහෝවා දෙවිගෙන් සැඟවිය නොහැකි බව ඔහු හෝ ඇය මතක තබාගත යුතුයි. ඇත්තෙන්ම, “අප ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ.” (හෙබ්‍රෙව් 4:13) කෙසේවෙතත් විවාහයක් තුළ උද්ගත වී ඇති ඉතා දරුණු තත්වය නිසා ක්‍රිස්තියානි කෙනෙක් තම සහකරු හෝ සහකාරියගෙන් වෙන් වීමට අවසානයේදී තීරණය කළ හැකියි. නමුත් කිසිවෙකු ඔහුව හෝ ඇයව විවේචනය නොකළ යුතුයි. “අපි සියලුදෙනාම දෙවිගේ විනිශ්චයාසනය ඉදිරියේ පෙනී සිටිනු ඇත” යන කාරණය නිතරම මතක තබාගනිමු.—රෝම 14:10-12.

a මෙය නීත්‍යනුකූල දික්කසාදයක් නොවෙයි. යුවළක් නීත්‍යනුකූලව වෙන් වුණත් ඔවුන් තවමත් නීත්‍යනුකූලව විවාහකයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න