ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w02 2/1 29 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ඔබගේ විවාහයට කදිම අත්තිවාරමක් දැමීම
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
  • “විවාහය සියලුදෙනා ගෞරවයෙන් සැලකිය යුතු දෙයකි”
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • විවාහය රැකගන්න
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
  • ඔයාගේ විවාහය රැකගන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w02 2/1 29 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ ඥාතීන් අතර අවාහ විවාහ සම්බන්ධයෙන් වූ නීති කොතෙක් දුරට අද ක්‍රිස්තියානීන්ට බලපායිද?

යෙහෝවා දෙවි විසින් ඉශ්‍රායෙල් ජාතීන්ට දුන් ව්‍යවස්ථාවේ විවාහ උත්සව හා ක්‍රියා පිළිවෙත් සම්බන්ධව වැඩි විස්තර සඳහන් කර තිබුණේ නැහැ. එනමුත් ඇතැම් විවාහ සම්බන්ධකම් පිළිබඳව නම් තහනම් පනවා තිබුණා. උදාහරණයකට සම්බන්ධකම් නොපැවැත්විය යුතු ‘කිට්ටු නෑයන්ගේ’ ලැයිස්තුවක් ලෙවී කථාව 18:6-20හි නම් කර තිබෙනවා. එම වගන්තියේ ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුත්තේ කුමන ආකාරයේ කිට්ටු නෑයන් අතරේද යන්න ගැන ප්‍රමාණවත් විස්තර සපයනවා. සැබවින්ම අද ක්‍රිස්තියානීන් මෝසෙස්ගේ ව්‍යවස්ථාවට හෝ එහි නියෝගවලට යටත් විය යුතු නැහැ. (එපීස 2:14ආ, 15අ; කොලොස්සි 2:14) එනමුත් විවාහ වීමට කෙනෙක්ව තෝරාගැනීමේදී ක්‍රිස්තියානීන්ට මෙම කාරණය සම්පූර්ණයෙන් නොසලකා හැරිය නොහැකි වීමට හේතු කිහිපයක් තිබෙනවා.

මුලින්ම මේ සම්බන්ධව නීතික පැත්ත සලකා බැලීම වටී. බොහෝ රටවල්වල කිට්ටු ඥාතීන් හා විවාහ වීම පිළිබඳව නීති තිබෙනවා. ක්‍රිස්තියානීන් තමන් ජීවත් වන රටේ නීතියට යටත් වීමට බැඳී සිටිනවා. (මතෙව් 22:21; රෝම 13:1) මෙම නීති ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් විය හැකියි. වර්තමානයේ නීති බොහොමයක් මූලිකව සම්පාදනය කර තිබෙන්නේ ජාන සම්බන්ධ කාරණා සැලකිල්ලට ගනිමින්. කිට්ටු ඥාතීන් විවාහ වීම නිසා ඔවුන්ට දාව ලැබෙන දරුවන් ජාන විකෘතිතා හා වෙනත් රෝගවලට ගොදුරු වී තිබෙන බව හොඳින් දන්නා කාරණයක්. මෙම හේතුව නිසාද, “බලය ලත් මුලාදෑනීන්ට යටත් [වෙන]” නිසාද, ක්‍රිස්තියානීන් විවාහ වීමේදී රටේ පවතින නීතියට යටත් වෙයි.

තවත් සලකා බැලිය යුතු දෙයක් නම් ඔවුන් ජීවත් වන සමාජයේ කිට්ටු ඥාතීන් අතර සිදු වන විවාහ සම්බන්ධකම්වලට පිළිගැනීමක් තිබෙනවාද නැද්ද යන වගයි. සෑම සංස්කෘතියකම ලේ නෑකම් ඇති දෙදෙනෙකු විවාහ වීම හෙළා දකින නීති හා සිරිත් විරිත් තිබෙනවා. තවද මෙවැනි සම්බන්ධකම් ඔවුන් ව්‍යභිචාරය ලෙස සලකන බැවින් ඒවා තහනම් කරනු ලැබුවා. සමහර සංස්කෘතීන්වල ලේ නෑ සම්බන්ධකම් ගැන ආකල්පය වෙනස් වූවත් “පොදුවේ ගත් කල ලේ නෑකම් වැඩි වන තරමට දෙදෙනෙකු අතර ලිංගික සම්බන්ධකම් පැවැත්වීම තහනම් කිරීමට හෝ අනුබල නොදීමට ඇති ඉඩ කඩ වැඩි” යයි එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා සඳහන් කරයි. එමනිසා ව්‍යභිචාරයේ යෙදීමක් සිදු නොවුණත් ක්‍රිස්තියානීන් සමාජයේ පවතින සිරිත් විරිත් හා ප්‍රජාවේ සම්මතය මුළුමනින්ම නොසලකා නොහරින්නේ එමගින් ක්‍රිස්තියානි සභාවට හා දෙවිගේ නාමයට කැළලක් ඇති විය හැකි නිසයි.—2 කොරින්ති 6:3.

දෙවි අපට දී තිබෙන හෘදය සාක්ෂියද සුළු කොට නොතැකිය යුතුයි. සියලු මනුෂ්‍යයන්ට හරි වැරැද්ද හා හොඳ නරක වටහාගැනීමේ හැකියාව උපතින්ම ලැබී තිබෙනවා. (රෝම 2:16) අශික්ෂිත පුරුදු නිසා කෙනෙකුගේ හෘදය සාක්ෂිය විකෘති වී හෝ අසංවේදී වී නැත්නම් ඕනෑම කෙනෙකුගේ හෘදය සාක්ෂිය සාධාරණ හා සුදුසු දේ ගැනද අසාමාන්‍ය හා අප්‍රසන්න දේ ගැනද දැනුම් දෙයි. යෙහෝවා ඉශ්‍රායෙල් ජාතියට සමීප මාංසික ඥාතීන් සමඟ විවාහ වීම සම්බන්ධව නීති රීති දුන් අවස්ථාවේදී හෘදය සාක්ෂිය පලුදු විය හැකි බව ව්‍යංගයෙන් යොමුදැක්වුවා. මේ ගැන ලෙවී කථා පොතේ මෙසේ කියවීමට තිබේ. “නුඹලා විසූ මිසර දේශයේ ක්‍රියා ලෙස නොකරන්න. මා විසින් නුඹලා පමුණුවනු ලබන කානාන් දේශයේ ක්‍රියා ලෙස නොකරන්න. ඔවුන්ගේ පනත් ලෙස නොහැසිරෙන්න.” (ලෙවී කථාව 18:3) ක්‍රිස්තියානීන් බයිබල් දැනුමෙන් පුහුණු කරන ලද තමන්ගේ හෘදය සාක්ෂිය ඉතා අගය කොට සලකන අතර හරි වැරැද්ද සම්බන්ධයෙන් තීරණ ගැනීමට හරි මනසක් නැති ජාතීන්ගේ විකෘති වූ අදහස්වලින් එය දූෂ්‍ය වීමෙන් වළකා ගනී.—එපීස 4:17-19.

මෙයින් අපට එළඹිය හැකි නිගමනය කුමක්ද? අද ක්‍රිස්තියානීන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ නොමැති වුවත් ඔවුන්ගේ හෘදය සාක්ෂිය සමීප මාංසික ඥාතීන් හා විවාහ වීම වැරදි බව අඟවයි. එනම් පියා දුව සමඟද, මව පුතා සමඟද, සහෝදරයා සහෝදරිය සමඟද විවාහ වීම ක්‍රිස්තියානි සමාජය තුළ සම්පූර්ණයෙන් තහනම්.a තමන්ගේ පවුල් කවයෙන් පිට ව්‍යාප්ත වී ඇති ඥාතීන් හා විවාහ වීමේදී එයට අදාළ නීති හා ව්‍යවස්ථාවද සැලකිල්ලට ගන්නා අතර එය නීතිමය වශයෙන්, සමාජීය වශයෙන් හා සංස්කෘතික වශයෙන් පිළිගනු ලැබේදැයි සොයා බැලිය යුතු බව ක්‍රිස්තියානීන් වටහාගනී. ශුද්ධ ලියවිල්ලේ “විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව” තිබිය යුතු බව පවසන නිසා මෙම ප්‍රතිපත්ති ඉතා බැරෑරුම් ලෙස සැලකිය යුතුයි.—හෙබ්‍රෙව් 13:4.

[පාදසටහන]

a මේ හා සම්බන්ධ තවත් කරුණු සොයා බැලීම සඳහා 1978 මාර්තු 15 මුරටැඹ සඟරාවේ 25, 26 පිටුවල සඳහන් “ව්‍යභිචාරී විවාහයන් ක්‍රිස්තියානීන් සැලකිය යුත්තේ කෙසේද?” (ඉංග්‍රීසියෙන්) යන ලිපිය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න