ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • bt 14 පරි. 122-131 පි.
  • “හැමෝම එක තීරණයකට ආවා”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “හැමෝම එක තීරණයකට ආවා”
  • දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • “ඒක අනාගතවක්තෘවරුන් කියපු මේ දේටත් එකඟයි” (ක්‍රියා 15:13-21)
  • ‘සුදුසුකම් තියෙන පුරුෂයන්ව යවන්න’ (ක්‍රියා 15:22-29)
  • ලොකු දිරිගැන්වීමක් ලැබුණ නිසා එයාලා සතුටු වුණා (ක්‍රියා 15:30-35)
  • පාලක මණ්ඩලයේ වැඩ කොටස මොකද්ද?
    දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!
  • අද ඉන්න දෙවිගේ සෙනඟට මඟ පෙන්නන්නේ කවුද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “ලොකු විවාදයක්”
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
  • “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට” තියෙන වගකීම්
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
තව තොරතුරු
දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
bt 14 පරි. 122-131 පි.

14වෙනි පරිච්ඡේදය

“හැමෝම එක තීරණයකට ආවා”

පාලක මණ්ඩලය තීරණයකට එයි. ඒක සභාවේ එක්සත්කමට දායක වෙයි

ක්‍රියා 15:13-35

1, 2. (අ) පාලක මණ්ඩලය විසඳුමක් දෙන්න ඕනෙ වුණේ මොන බැරෑරුම් ප්‍රශ්නවලටද? (ආ) නිවැරදි තීරණයක් ගන්න ඔවුන්ට උදව් වුණේ මොනවාද?

දැන් තීරණයක් ගන්න ඕනෙ කියලා යෙරුසලමේ රැස්ව සිටි නියෝජිතයන් හා වැඩිමහල්ලන් තේරුම්ගන්නවා. ඇත්තටම මේක හුඟක් වැදගත් අවස්ථාවක්! චර්මච්ඡේදනය ගැන ඇති වුණ මතභේදය නිසා වැදගත් ප්‍රශ්න කිහිපයක් මතු වුණා. මෝසෙස්ට දීපු නීතියට ක්‍රිස්තියානීන් යටත් විය යුතුද? දෙවියන් යුදෙව් ක්‍රිස්තියානීන්ට හා යුදෙව් නොවන ක්‍රිස්තියානීන්ට සලකන්නේ වෙනස් විදිහටද?

2 දෙවියන් වෙනත් ජාතීන්ට ආශීර්වාද කරන විදිහ දැකපු අයගේ සාක්ෂි රැස්ව සිටි සහෝදරයන් මේ වන විටත් සලකා බලා තිබුණා. මේ කාරණය ගැන ශුද්ධ ලියවිල්ලේ තියෙන අනාවැකි ගැනත් ඔවුන් කතා වෙලා තිබුණා. සාකච්ඡාව අතරතුරේදී තමන්ට හැඟුණු විදිහ හා තමන් දැන සිටි දේවල් ගැන ඔවුන් විවෘතව කතා කළා. ඇත්තෙන්ම මතු වුණ මේ ප්‍රශ්නය විසඳන්න දෙවියන් තම බලයෙන් මඟ පෙන්වන බවට ඕන තරම් සාක්ෂි තිබුණා. මේ පුරුෂයන් දෙවියන් ලබා දෙන මඟ පෙන්වීමට එකඟව වැඩ කරයිද?

3. ක්‍රියා 15වෙනි පරිච්ඡේදයේ තොරතුරු බලන එක අපට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

3 මේ කාරණය ගැන දෙවියන් දීපු මඟ පෙන්වීමට එකඟව වැඩ කරන්න ඔවුන්ට දෙවියන් ගැන ලොකු විශ්වාසයක් හා නිර්භීතකමක් අවශ්‍ය වුණා. මොකද චර්මච්ඡේදනය වෙන එක අවශ්‍ය නැහැ කියලා ඔවුන් තීරණය කළොත් යුදෙව් ආගමික නායකයන් ඔවුන්ට තව තවත් වෛර කරයි. මෝසෙස්ට දීපු නීතිය අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි කියා පවසන ක්‍රිස්තියානීනුත් ඒ තීරණයට විරුද්ධ වෙන්න ඉඩ තිබුණා. පාලක මණ්ඩලය මොන වගේ තීරණයක් ගනියිද? ඔවුන්ගේ ආදර්ශය අද යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය අනුගමනය කරන්නේ කොහොමද? විවිධ තීරණ ගන්න වෙද්දීත් අභියෝගවලට මුහුණ දෙද්දීත් අපට ඔවුන්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

“ඒක අනාගතවක්තෘවරුන් කියපු මේ දේටත් එකඟයි” (ක්‍රියා 15:13-21)

4, 5. සාකච්ඡාව තවත් අර්ථවත් කරන්න යාකොබ් දේවවචනයෙන් උපුටා දැක්වුවේ මොන තොරතුරුද?

4 ඒ අවස්ථාවේදී යේසුස්ගේ සහෝදරයෙක් වුණ යාකොබ් සියලුදෙනා වෙනුවෙන් කතා කළා.a පේන විදිහට රැස්වීමේ සභාපති විදිහට කටයුතු කළේ ඔහුයි. රැස්ව සිටි සියලුදෙනා ඒ වෙද්දී ඇවිත් තිබුණ නිගමනය ඔහු කියපු දෙයින් සාරාංශ කළා කියලා කියන්න පුළුවන්. ඔහු මෙහෙම කිව්වා. “මුල්ම වතාවට වෙනත් ජාතීන්වල අයව දෙවියන් තෝරගත්ත විදිහ ගැන සිමියොන් අපිට හොඳින් පැහැදිලි කළා. දෙවියන් එහෙම කළේ එයාලා අතරිනුත් ඔහුගේ නම දරන්න සෙනඟක්ව තෝරගන්නයි. ඒක අනාගතවක්තෘවරුන් කියපු මේ දේටත් එකඟයි.”—ක්‍රියා 15:14, 15.

5 සිමියොන්, ඒ කියන්නේ සීමොන් පේතෘස් ඉදිරිපත් කරපු කතාවත් පාවුල් හා බානබස් ඉදිරිපත් කරපු සාක්ෂිත් සාකච්ඡා කරපු විෂයට අදාළ ශුද්ධ ලියවිල්ලේ කොටස් මතකයට නඟන්න යාකොබ්ට උදව් වුණ බවට කිසිම සැකයක් නැහැ. (යොහ. 14:26) “ඒක අනාගතවක්තෘවරුන් කියපු මේ දේටත් එකඟයි” කියලා කිව්වාට පස්සේ ඔහු ආමොස් 9:11, 12 සඳහන් වදන් උපුටා දැක්වුවා. ආමොස් පොත හෙබ්‍රෙව් ලියවිලිවල ලැයිස්තුගත කර තිබෙන්නේ “අනාවැකි” ඇතුළත් පොත් අතරෙයි. (මතෙ. 22:40; ක්‍රියා 15:16-18) එදා යාකොබ් උපුටා දක්වපු වදන් අද අපට ආමොස් පොතෙන් කියවීමට තිබෙන වදන්වලට වඩා ටිකක් වෙනස්. මොකද ඔහු ඒ පද උපුටා දැක්වුවේ ග්‍රීක ‘සෙප්ටුඅජින්ට්’ පරිවර්තනයෙන් වෙන්න ඇති.

6. ශුද්ධ ලියවිල්ලේ තොරතුරු ඒ සාකච්ඡාවට උදව් වුණේ කොහොමද?

6 බිඳ වැටිලා තිබුණ “දාවිත්ගේ ගෘහය” ආයෙත් ගොඩනඟන කාලයක් එනවා කියලා යෙහෝවා ආමොස් මාර්ගයෙන් පවසා තිබුණා. ඒ කියන්නේ දේවරාජ්‍යයේ පාලකයා වන ගැලවුම්කරු එන්න නියමිත දාවිත්ගේ පෙළපත ආයෙත් ස්ථිර කරනවා කියන එකයි. (එස. 21:26, 27) යෙහෝවා ඒ දේ ඉටු කරන්න යුදෙව් ජාතිය විතරක් යොදාගනියිද? නැහැ. මොකද ඒ අනාවැකියේම සඳහන් වන්නේ “[දෙවියන්ගේ] නම දරන” සෙනඟක් විදිහට “සියලු ජාතීන්ව” එකතු කරන බවයි. පේතෘසුත් ඒ කාරණය ටික මොහොතකට කලින් කියපු මේ දෙයින් පැහැදිලි කර දුන්නා. “එයාලාගේ [වෙනත් ජාතීන්ට අයත් අයගේ] විශ්වාසය නිසා දෙවියන් එයාලාගේ හිත් පවිත්‍ර කළා. ඒකෙන් ඔහු පෙන්නුවේ එයාලයි, අපියි අතරේ කිසි වෙනසක් නැහැ කියලා.” (ක්‍රියා 15:9) වෙනත් විදිහකින් කියනවා නම් යුදෙව්වන් හා යුදෙව් නොවන අය දේවරාජ්‍යයේ හවුල් පාලකයන් වෙන එක දෙවියන්ගේ කැමැත්ත වුණා. (රෝම 8:17; එෆී. 2:17-19) යුදෙව් නොවන යේසුස්ගේ අනුගාමිකයන් චර්මච්ඡේදනය වෙන්න ඕනෙ කියාවත් යුදෙව් ආගමට හැරෙන්න ඕනෙ කියාවත් අඟවන කිසිම දෙයක් ඒ අනාවැකිවල කියලා නැහැ.

7, 8. (අ) යාකොබ් ඉදිරිපත් කරපු යෝජනාව මොකක්ද? (ආ) යාකොබ් කියපු දේ අප තේරුම්ගන්න ඕනෙ කොහොමද?

7 ශුද්ධ ලියවිල්ලේ සඳහන් ඒ තොරතුරු හා ඉදිරිපත් කළ ඇසින් දුටු සාක්ෂි යාකොබ්ගේ හදවතට කොයි තරම් තදින් කාවැදුණාද කියනවා නම් ඔහු රැස් වෙලා ඉන්න අයට හිතලා බලන්න මෙහෙම කිව්වා. “ඒ නිසා මම හිතන්නේ දෙවියන් ළඟට හැරිලා එන වෙනත් ජාතීන්වල අයට අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන එක සුදුසු නැහැ කියලා. ඒ වෙනුවට රූපවලට පූජා කරලා තියෙන දේවලිනුත් ලිංගික දුරාචාරයෙනුත් බෙල්ල මිරිකලා මරපු සත්තුන්ගේ මස් කන එකෙනුත් ලේවලිනුත් වැළකිලා ඉන්න කියලා අපි එයාලට ලිපියකින් දන්වමු. මොකද අතීතයේ ඉඳන් මේ වෙන කල්ම මෝසෙස් කියපු ඒ දේවල් ගැන හැම නගරයකම දේශනා කරනවා. හැම සබත් දවසකම එයා ලියපු දේවල් සිනගෝගවල ශබ්ද නඟලා කියවනවා.”—ක්‍රියා 15:19-21.

8 “ඒ නිසා මම හිතන්නේ” කියලා යාකොබ් කියපු එකෙන් අදහස් වන්නේ සභාපති විදිහට ඔහුට තිබුණ අධිකාරිය සහෝදරයන්ට බලපෑම් කරන්න ඔහු යොදාගත්තා කියලාද? නැත්නම් ඔහු තනි මතේට තීරණයක් ගත්තා කියලාද? නැහැ. මොකද “මම හිතන්නේ” විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක යෙදුමේ තේරුම බලද්දී පැහැදිලි වෙනවා යාකොබ් ඒ අවස්ථාවේදී කළේ සහෝදරයන්ට යෝජනාවක් ඉදිරිපත් කරන එක විතරයි කියලා. ශුද්ධ ලියවිල්ලේ සඳහන් තොරතුරු හා ඉදිරිපත් කළ අනිත් සාක්ෂි පදනම් කරගෙන තීරණයක් ගන්න ඔහු ඒ අයට දිරිගැන්නුවා විතරයි.

9. යාකොබ් ඉදිරිපත් කරපු යෝජනාව හොඳ එකක් කියලා කියන්න හේතු මොනවාද?

9 යාකොබ් ඉදිරිපත් කළේ හොඳ යෝජනාවක්ද? ඇත්තෙන්ම ඔව්. නියෝජිතයන් හා වැඩිමහල්ලන් ඒකට එකඟ වුණ එකෙන් ඒක පැහැදිලි වෙනවා. ඒක හොඳ යෝජනාවක් කියලා කියන්නේ ඇයි? එක හේතුවක් තමයි එහෙම කරද්දී මෝසෙස්ට දීපු නීතිය අනිවාර්යයෙන්ම පිළිපදින්න කියා කියමින් වෙනත් ජාතීන්ට අයත් ක්‍රිස්තියානීන්ට “අනවශ්‍ය ප්‍රශ්න” ඇති කරන්න කාටවත් බැහැ. (ක්‍රියා 15:19) ඒ වගේම “හැම සබත් දවසකම [මෝසෙස්] ලියපු දේවල් සිනගෝගවල ශබ්ද නඟලා කියවනවා” අහලා තිබුණ යුදෙව් ක්‍රිස්තියානීන්ගේ හැඟීම්වලට ගරු කරන බවත් ඒ යෝජනාවෙන් පැහැදිලි වුණා.b (ක්‍රියා 15:21) ඇත්තෙන්ම යාකොබ් යෝජනා කළ දේ යුදෙව් ක්‍රිස්තියානීන් හා යුදෙව් නොවන ක්‍රිස්තියානීන් අතර තිබෙන බැඳීම් ශක්තිමත් කරගන්න දායක වෙනවා. වඩා වැදගත් දේ තමයි ඒ යෝජනාව යෙහෝවා හෙළි කරමින් හිටිය ඔහුගේ අරමුණට එකඟ වුණ එක. ඒ නිසා ඒකෙන් දෙවියන්ව සතුටු කරන්න පුළුවන් වෙනවා. දෙවියන්ගේ සෙනඟ අතර තිබුණ සාමයට හා සමඟියට තර්ජනයක් වුණ ප්‍රශ්නයට ඒක මොන තරම් කදිම විසඳුමක්ද!

1998දී පවත්වපු ජාත්‍යන්තර සමුළුවක සහෝදර ඇල්බට් ෂ්‍රෝඩර් කතාවක් ඉදිරිපත් කරමින්

10. අද දින පාලක මණ්ඩලය මුල් සියවසේ හිටිය පාලක මණ්ඩලය තිබ්බ ආදර්ශය අනුගමනය කරන්නේ කොහොමද?

10 එදා පාලක මණ්ඩලය ඒ ප්‍රශ්නය විසඳපු විදිහෙන් අද ක්‍රිස්තියානීන්ට බොහෝ දේවල් ඉගෙනගත හැකියි. අදත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය හැම කාරණයක් ගැනම මඟ පෙන්වීම් පතන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවාගෙන් හා ක්‍රිස්තියානි සභාවේ හිස වන යේසුස් ක්‍රිස්තුස්ගෙනුයි.c (1 කොරි. 11:3) ඔවුන් ඒක කරන්නේ කොහොමද? 1974 සිට 2006 මිය යන කල්ම පාලක මණ්ඩලයේ සේවය කළ සහෝදර ඇල්බට් ඩී. ෂ්‍රෝඩර් කියපු මේ දේ බලන්න. “විවිධ කාරණා ගැන සාකච්ඡා කරන්න පාලක මණ්ඩලයක් විදිහට අපි හැම බදාදාවකම රැස් වෙනවා. අපි ඒ රැස්වීම් පටන්ගන්නේ යෙහෝවාගේ මඟ පෙන්වීම් ඉල්ලුවාට පස්සෙයි. සාකච්ඡා කරන හැම කාරණයක්ම, ගන්න හැම තීරණයක්ම බයිබලයට එකඟව කරන්න අපි ලොකු උත්සාහයක් ගන්නවා.” 2003දී මිය ගිය පාලක මණ්ඩලයේ සේවය කරපු සහෝදර මිල්ටන් ජී. හෙන්ෂල් කියපු දේත් බලන්න. 101වෙනි ගිලියද් මුරටැඹ බයිබල් පාසැලට සහභාගි වුණ අයට පැවරුම් දෙන අවස්ථාවේ දීපු කතාවකදී ඔහු මේ වැදගත් ප්‍රශ්නය ඇහුවා. “වැදගත් තීරණයක් ගන්න කලින් දේවවචනය කියවලා දෙවියන්ගේ මඟ පෙන්වීම් ඉල්ලන වෙන කිසිම සංවිධානයක් තියෙනවාද?” හැම කාරණයකදීම දෙවියන්ගේ මඟ පෙන්වීම් පතන එක පාලක මණ්ඩලය සලකන්නේ හරිම වැදගත් දෙයක් විදිහටයි.

‘සුදුසුකම් තියෙන පුරුෂයන්ව යවන්න’ (ක්‍රියා 15:22-29)

11. පාලක මණ්ඩලය ගත්ත තීරණය සභාවන්ට දැන්නුවේ කොහොමද?

11 යෙරුසලමේ රැස් වුණ පාලක මණ්ඩලයේ සහෝදරයන් හැමෝම චර්මච්ඡේදනය ගැන මතු වුණ ප්‍රශ්නය සම්බන්ධයෙන් එක තීරණයකට ආවා. සභාවල සිටි සහෝදරයන් ඒ තීරණයට එකඟව වැඩ කරන්න නම් පැහැදිලිව, ප්‍රේමණීයව හා දිරිගන්වනසුලු විදිහට ඒ තීරණය සභාවන්ට දන්වන්න ඕනෙ වුණා. කොහොමද ඒක කරන්නේ? වාර්තාවේ කියන්නේ මෙහෙමයි. “එතකොට නියෝජිතයන්, වැඩිමහල්ලන් සහ රැස් වෙලා හිටපු මුළු සභාවම තීරණය කළා පාවුල් සහ බානබස් එක්ක සුදුසුකම් තියෙන පුරුෂයන්ව අන්තියෝකියට යවන්න. ඒකට එයාලා තෝරගත්තේ සහෝදරයන් අතරේ පෙරමුණ අරන් වැඩ කරපු බාසබස් කියලත් හඳුන්වපු යූදස්වයි, සීලස්වයි.” ඊට අමතරව අන්තියෝකියේ, සිරියාවේ හා සිලීසියාවේ තිබුණ හැම සභාවකම ප්‍රසිද්ධියේ කියවන්න, ගත්ත තීරණය ඇතුළත් ලිපියකුත් ඔවුන් අතේ යැවීමට සැලසුම් කළා.—ක්‍රියා 15:22-26.

12, 13. (අ) යූදස්ව හා සීලස්ව යවපු එකෙන්, (ආ) පාලක මණ්ඩලයෙන් ලිපියක් යවපු එකෙන් ලැබුණ ප්‍රයෝජන මොනවාද?

12 “සහෝදරයන් අතරේ පෙරමුණ අරන් වැඩ කරපු” යූදස්ට හා සීලස්ට පාලක මණ්ඩලයේ නියෝජිතයන් විදිහට වැඩ කරන්න හැම සුදුසුකමක්ම තිබුණා. ඒ වගේම පාලක මණ්ඩලය සහෝදරයන් හතරදෙනෙක්ව යවපු එකෙන් සභාවේ අයට පැහැදිලි වෙනවා ඔවුන් ගෙනාපු පණිවිඩය චර්මච්ඡේදනය ගැන මතු වුණ ප්‍රශ්නයට නිකම්ම උත්තරයක් නෙවෙයි, ඒකට පාලක මණ්ඩලය ලබා දුන්න අලුත් මඟ පෙන්වීමකුත් ඇතුළත් වෙනවා කියලා. “සුදුසුකම් තියෙන” ඒ සහෝදරයන් ආපු එක යෙරුසලමේ සිටි යුදෙව් ක්‍රිස්තියානීන් හා පණිවිඩය අරන් ගිය ප්‍රදේශවල සිටි වෙනත් ජාතීන්ට අයිති ක්‍රිස්තියානීන් අතර හොඳ මිත්‍රත්වයක් ඇති කරගන්න උදව් වෙනවා. ඒක දෙවියන්ගේ සෙනඟ අතරේ සාමය හා සමඟිය වැඩි කරන්න හේතු වන බවට කිසිම සැකයක් නැහැ. ඒ සහෝදරයන්ව යැවීමට ගත්ත තීරණය මොන තරම් ප්‍රේමණීය, ඥානවන්ත එකක්ද!

පාලක මණ්ඩලය සංවිධානය වෙලා තියෙන විදිහ

පළවෙනි සියවසේ වගේ අදත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට මඟ පෙන්වීම් ලබා දෙන්නේ පාලක මණ්ඩලයයි. ඔවුන් දෙවියන්ගේ බලයෙන් අභිෂේක ලත් සහෝදරයන්. ඔවුන් කණ්ඩායමක් විදිහට හැම සතියකම රැස් වෙනවා. පාලක මණ්ඩලයේ සහෝදරයන්ව කමිටු හයකට බෙදලා තියෙනවා. ඒ කමිටු හයට එක එක වගකීම් පැවරිලා තියෙනවා.

  • සම්බන්ධීකාරකයන්ගේ කමිටුව. නීතිමය කාරණා හසුරුවන්නේ මේ කමිටුවයි. මාධ්‍යය හරහා අපේ විශ්වාසයන් ගැන නිවැරදි අවබෝධයක් ලබා දෙන්න වෙද්දී ඒක හසුරුවන්නෙත් මේ කමිටුවයි. ලෝකයේ ඕනෑම තැනක ඉන්න සාක්ෂිකරුවන් ස්වාභාවික විපත්වලට, විරුද්ධවාදිකම්වලට හා වෙනත් ඕනෑම හදිසි තත්වයකට මුහුණ දෙද්දී ඔවුන්ට අවශ්‍ය උදව් සැලසුම් කරන්නෙත් මේ කමිටුවයි.

  • බෙතෙල් කමිටුව. ලොව පුරා තියෙන ශාඛා කාර්යාලවල සේවය කරන බෙතෙල් පවුලේ අයගේ යහපත වෙනුවෙන් අවශ්‍ය දේවල් සැලසුම් කරන්නේ මේ කමිටුවයි. ශාඛා කාර්යාලවලට අලුත් අයව තෝරගන්නෙත් මේ කමිටුවේ අධීක්ෂණය යටතෙයි.

  • ප්‍රකාශන කමිටුව. බයිබලය මත පදනම් පොත් පත්, සඟරා මුද්‍රණය කරන්නෙත් බෙදාහරින්නෙත් මේ කමිටුවේ අධීක්ෂණය යටතෙයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩ සංවිධානය කරන නීත්‍යනුකූල ආයතනවලට අයිති මුද්‍රණාල හා දේපොළ වගේම ඒවාට සම්බන්ධ වැඩ බලාගන්නේ මේ කමිටුවයි. ශාඛා කාර්යාල ඉදි කරන්නෙත් නමස්කාර මධ්‍යස්ථාන හා සමුළු ශාලා ඉදි කරන්නෙත් මේ කමිටුවේ මඟ පෙන්වීම යටතෙයි. ලෝක ව්‍යාප්තව සිදු කරන සේවය වෙනුවෙන් ලැබෙන පරිත්‍යාග පාවිච්චි කරන විදිහත් ඒ කමිටුව අධීක්ෂණය කරනවා.

  • සේවා කමිටුව. ලොව පුරා කරන දේශනා සේවය විධිමත්ව කරන්න අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙන්නේ මේ කමිටුවෙන්. ඊට අමතරව මේ කමිටුව වැඩිමහල්ලන්ට, චාරිකා සේවකයන්ට හා පුරෝගාමීන්ට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙනවා. ගිලියද් පාසැලට ශිෂ්‍යයන්ට ආරාධනා කරන්නෙත් ඔවුන්ට පැවරුම් ලබා දෙන්නෙත් මේ කමිටුවයි. ලොව පුරා කරන සේවය තවත් සාර්ථකව කරන්න ඒ පුහුණුව දායක වෙනවා.

  • ඉගැන්වීම් කමිටුව. එක්රැස්වීම්වලදී, සමුළුවලදී, රැස්වීම්වලදී ඉදිරිපත් කරන තොරතුරු පිළියෙල කරන්නෙත් ඕඩියෝ වීඩියෝවල තොරතුරු සකස් කරන්නෙත් මේ කමිටුවයි. මේ කමිටුවෙන් ගිලියද් පාසැලේ, පුරෝගාමි සේවා පාසැලේ හා වෙනත් පාසැල්වල විෂය මාලාව සූදානම් කරනවා. ශාඛා කාර්යාලවල සේවය කරන අයට ප්‍රයෝජනවත් වන වෙනත් වැඩසටහනුත් මේ කමිටුව සංවිධානය කරනවා.

  • ලේඛන කමිටුව. සාක්ෂිකරුවන්ට හා මහජනයාට බයිබලය මත පදනම් තොරතුරු පිළියෙල කරන්නේ මේ කමිටුවේ අධීක්ෂණය යටතෙයි. බයිබල් ඉගැන්වීම් ගැන අහන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නෙත් ලෝකේ පුරාම කරන පරිවර්තන වැඩ බලාගන්නෙත් මේ කමිටුවයි. බයිබල් නාට්‍යවල, දේශනවල දළසටහන්වල තොරතුරුවලට අනුමැතිය දෙන්නෙත් මේ කමිටුවයි.

මේ වැඩ කටයුතු කරද්දී පාලක මණ්ඩලය නිතරම දෙවියන්ගේ බලය ඉල්ලලා අවශ්‍ය මඟ පෙන්වීම් ලබාගන්නවා. තමන් යෙහෝවා දෙවියන්ගේ සෙනඟ වෙනුවෙන් පත් කරලා ඉන්න නායකයන් කියලා ඔවුන් හිතන්නේ නැහැ. ඒ වෙනුවට පොළොවේ ඉන්න හැම අභිෂේක ලත් ක්‍රිස්තියානියෙක් වගේම ඔවුනුත් ‘බැටළු පැටියා [යේසුස් ක්‍රිස්තුස්] යනයන හැම තැනකටම යනවා.’—එළි. 14:4.

13 වෙනත් ජාතීන්ට අයිති සහෝදරයන්ට චර්මච්ඡේදනය ගැන විතරක් නෙවෙයි, දෙවියන්ගේ අනුමැතිය, ආශීර්වාදය ලබාගන්න කළ යුතු දේවල් ගැනත් ඒ ලිපියේ පැහැදිලි මඟ පෙන්වීම් තිබුණා. ලිපියේ ප්‍රධාන කොටසේ සඳහන් වෙලා තිබුණේ මෙහෙමයි. “දෙවියන්ගේ බලයේ උදව්වෙන් අපි තීරණය කළේ ඔයාලා පිටට අනවශ්‍ය බරක් පටවන එක සුදුසු නැහැ කියලයි. ඔයාලා වැළකිලා ඉන්න ඕනෙ මේ අත්‍යවශ්‍ය දේවලින් විතරයි. රූපවලට පූජා කරලා තියෙන දේවලින්, ලේවලින්, බෙල්ල මිරිකලා මරපු සත්තුන්ගේ මස් කන එකෙන් සහ ලිංගික දුරාචාරයෙන් ඔයාලා දිගටම වැළකිලා ඉන්න ඕනේ. ඒ දේවලින් වැළකිලා ඉන්න ඔයාලා ලොකු උත්සාහයක් දැරුවොත් ඔයාලට යහපතක් වෙයි. ඔයාලට නිරෝගීව ඉන්න ලැබෙන්න කියලා අපි පතනවා!”—ක්‍රියා 15:28, 29.

14. මේ තරම් ආරවුල් හා භේද තියෙන ලෝකයක සාක්ෂිකරුවන් අතරේ එකඟතාවක් හා සමඟියක් තියෙන්නේ ඇයි?

14 අද දින සභාවන් ලක්ෂයකට වඩා වැඩි ගාණක ඉන්න 80,00,000ක විතර සාක්ෂිකරුවන් අතරේ එක්සත්කමක් තියෙනවා. ඔවුන් විශ්වාස කරන දේවල් පරස්පර විරෝධී නැහැ. ඔවුන් එකා වගේ වැඩ කරනවා. මේ තරම් ආරවුල් හා භේද තියෙන ලෝකයක සාක්ෂිකරුවන්ට එක්සත්ව වැඩ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද? ඒකට ප්‍රධානම හේතුව, ක්‍රිස්තියානි සභාවේ හිස වන යේසුස් ක්‍රිස්තුස්, “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ඒ කියන්නේ පාලක මණ්ඩලය මාර්ගයෙන් පැහැදිලි මඟ පෙන්වීම් ලබා දීමයි. (මතෙ. 24:45-47) පාලක මණ්ඩලය ලබා දෙන මඟ පෙන්වීම් ලොව පුරා ඉන්න සහෝදර සහෝදරියන් සතුටින් පිළිගැනීමත් ඒකට උදව් වෙලා තියෙනවා.

ලොකු දිරිගැන්වීමක් ලැබුණ නිසා එයාලා සතුටු වුණා (ක්‍රියා 15:30-35)

15, 16. චර්මච්ඡේදනය ගැන ගත්ත තීරණයට සහෝදරයන් ප්‍රතිචාරය දැක්වුවේ කොහොමද? ඒකට හේතු වෙන්න ඇත්තේ මොනවාද?

15 යෙරුසලමේ ඉඳන් ආපු සහෝදරයන් හතරදෙනා අන්තියෝකියේ සභාවේ “හැමෝවම රැස් කරලා එහේ ඉන්න අයට ඒ ලිපිය දුන්නා” කියලා වාර්තාවේ සඳහන් වෙනවා. පාලක මණ්ඩලයෙන් ලැබුණු මඟ පෙන්වීම්වලට එහේ හිටපු සහෝදරයන් ප්‍රතිචාරය දැක්වුවේ කොහොමද? “සහෝදරයන් ඒක කියවලා ගොඩක් සතුටු වුණා. මොකද ඒකෙන් එයාලට ලොකු දිරිගැන්වීමක් ලැබුණා.” (ක්‍රියා 15:30, 31) යෙරුසලමෙන් ආපු යූදස් හා සීලස් “හුඟක් දේවල් කියලා දීලා සහෝදරයන්ව දිරිගන්වලා ශක්තිමත් කළා” කියලත් වාර්තාවේ කියනවා. ඒකේ ඒ දෙන්නාව “අනාගතවක්තෘවරුන්” විදිහට හඳුන්වලා තියෙනවා. සාමාන්‍යයෙන් දෙවියන්ගේ කැමැත්ත අන් අයට දැනුම් දෙන අයව හැඳින්නුවේ ඒ විදිහටයි. පාවුල්ව, බානබස්ව හා වෙනත් අයවත් අනාගතවක්තෘවරුන් විදිහට හඳුන්වලා තියෙනවා. ඒ අනුව යූදස්ව හා සීලස්වත් අනාගතවක්තෘවරුන් විදිහට හැඳින්වීම උචිතයි.—ක්‍රියා 13:1; 15:32; නික්. 7:1, 2.

16 පාලක මණ්ඩලයෙන් ලැබුණු මඟ පෙන්වීමට සහෝදරයන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබීමට හේතු වුණේ මොනවාද? ඒ මඟ පෙන්වීම නියම වෙලාවට ලැබුණු පැහැදිලි මඟ පෙන්වීමක්. ඒක දෙවියන් තම බලයෙන් දීපු මඟ පෙන්වීම්වලටත් ශුද්ධ ලියවිල්ලේ සඳහන් තොරතුරුවලටත් එකඟ වුණා. ඒ වගේම ගත්ත තීරණය දැනුම් දුන්නේ හුඟක් ප්‍රේමණීයවයි. ඒ සඳහා පාලක මණ්ඩලය නියෝජනය කරන සහෝදරයන්ව සභාවන්වලට යැව්වා. ඇත්තෙන්ම මතු වුණ ප්‍රශ්නය හොඳින් විසඳන්න දරපු උත්සාහයට යෙහෝවාගේ ආශීර්වාදය තිබුණ බවට කිසිම සැකයක් නැහැ.

17. අද ඉන්න චාරිකා සේවකයන් මුල් සියවසේ සේවය කරපු සහෝදරයන්ව ආදර්ශයට ගන්නේ කොහොමද?

17 ඔවුන්ව ආදර්ශයට ගන්න අද දින පාලක මණ්ඩලයත් ලොව පුරා ඉන්න සාක්ෂිකරුවන්ට අවශ්‍ය මඟ පෙන්වීම් නියම වෙලාවට ලබා දෙනවා. ඔවුන් ගන්න තීරණ ඔවුන් ඉතා පැහැදිලිව සභාවන්ට දන්වනවා. අවශ්‍ය මඟ පෙන්වීම් ඔවුන් සභාවන්ට ලබා දෙන්නේ කොහොමද? එක විදිහක් වන්නේ චාරිකා සේවකයන් මාර්ගයෙන්. සභාවලට යන චාරිකා සේවකයන් පාලක මණ්ඩලයෙන් ලැබෙන පැහැදිලි මඟ පෙන්වීම් හා දිරිගැන්වීම් සහෝදරයන්ට ගොඩක් ප්‍රේමණීයව ලබා දෙනවා. “අනිත් අයත් එක්ක එකතු වෙලා යෙහෝවා දෙවියන්ගෙන් ලැබුණ ශුභාරංචිය දේශනා කළ” පාවුල් හා බානබස් වගේ මේ සහෝදරයනුත් වැඩි කාලයක් යොදවන්නේ ශුභාරංචිය දේශනා කරන්නයි. (ක්‍රියා 15:35) ඒ වගේම යූදස් හා සීලස් වගේ ඔවුන් වෙහෙස මහන්සිය නොබලා ‘හුඟක් දේවල් කියලා දීලා සහෝදරයන්ව දිරිගන්වලා ශක්තිමත් කරනවා.’

18. දෙවියන්ගේ සෙනඟට දිගටම ඔහුගේ ආශීර්වාදය ලබාගන්න පුළුවන් කොහොමද?

18 ලොව පුරා තිබෙන සභාවන්වලට සාමය හා එක්සත්කම අද්දකින්න පුළුවන් වෙන්නේ පාලක මණ්ඩලය දෙන මඟ පෙන්වීම් පිළිගෙන ඔවුන්ට සහයෝගය දැක්වීමෙන්. ඒ ගැන පස්සේ කාලෙක යාකොබ් මෙහෙම කිව්වා. “දෙවියන්ගෙන් ලැබෙන ප්‍රඥාව තියෙන කෙනෙක් පවිත්‍ර ජීවිතයක් ගත කරනවා. ඒක එයා තුළ මුලින්ම දකින්න තියෙන දෙයක්. ඒ වගේම එයා සාමකාමියි. එයා සාධාරණව හිතන, කීකරු වෙන්න ලෑස්ති” කෙනෙක්. “ඇත්තටම අනිත් අය එක්ක සාමයෙන් ඉන්න උත්සාහ කරන අය සාමකාමී වටපිටාවක් ඇති කරනවා වගේම එයාලා හරි දේවලුත් කරනවා.” (යාකො. 3:17, 18) යාකොබ් ඒක ලිව්වේ චර්මච්ඡේදනය ගැන ප්‍රශ්නය විසඳපු විදිහ මනසේ තියාගෙනද කියා නිශ්චිතව කියන්න බැහැ. නමුත් ක්‍රියා 15වෙනි පරිච්ඡේදයේ සඳහන් වාර්තාව බලද්දී අපට පැහැදිලි වන එක දෙයක් තමයි දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙන්නේ ඔහුගෙන් ලැබෙන ප්‍රඥාව එහෙමත් නැත්නම් මඟ පෙන්වීම් පිළිගෙන ඒවාට සහයෝගය දැක්වීමෙන් විතරක් බවයි.

19, 20. (අ) අන්තියෝකියේ සභාවේ සිටි අය සාමය හා එක්සත්කම අද්දැක්කා කියලා කියන්න පුළුවන් ඇයි? (ආ) පාවුල්ට හා බානබස්ට වැඩි අවධානයක් දෙන්න පුළුවන් වුණේ මොන කාර්යයටද?

19 අන්තියෝකියේ සිටි සහෝදරයන් දෙවියන් ලබා දීපු මඟ පෙන්වීම් පිළිගත් බව පැහැදිලියි. පාලක මණ්ඩලය ගත්ත තීරණය දන්වන්න ආපු සහෝදරයන් සමඟ වාද කරනවා වෙනුවට යූදස් හා සීලස් ආපු එක ඔවුන් ගොඩක් අගය කළා. වාර්තාවේ ඒ ගැන කියන්නේ මෙහෙමයි. “ඒ දෙන්නා එහේ ටික කාලයක් නතර වෙලා හිටියා. ඊටපස්සේ සහෝදරයන් එයාලට පරෙස්සමින් යන්න කියලා එයාලව ආපහු පිටත් කරලා යැව්වා.”d (ක්‍රියා 15:33) අන්තියෝකියේ සභාවේ සහෝදරයන් දක්වපු ප්‍රතිචාරය ගැන යූදස් හා සීලස්ගෙන් විස්තර දැනගන්න ලැබෙද්දී යෙරුසලමේ සහෝදරයනුත් හුඟක් සතුටු වන්න ඇති. යෙහෝවාගේ උදව් ඇතුව ඒ දෙන්නාට තම පැවරුම සාර්ථකව කරන්න පුළුවන් වුණා.

20 අන්තියෝකියේ සභාවේ නැවතිලා හිටිය පාවුල්ට හා බානබස්ට ශුභාරංචිය දේශනා කරන එකට වැඩි අවධානයක් දීලා සභාවට හොඳ ආදර්ශයක් වෙන්න අවස්ථාව ලැබුණා. තමන්ට භාර දුන්න සභාවන්වලට යන චාරිකා සේවකයනුත් උත්සාහ කරන්නේ දේශනා කරන එකට වැඩි අවධානයක් දීලා සභාවල අයට හොඳ ආදර්ශයක් වෙන්න. (ක්‍රියා 13:2, 3) ඇත්තෙන්ම ඔවුන් යෙහෝවාගෙන් අපට ලැබී තිබෙන ආශීර්වාදයක්! උද්‍යෝගයෙන් සේවය කරපු පාවුල්ව හා බානබස්ව යෙහෝවා තවදුරටත් ශුභාරංචිය දේශනා කරන්න යොදාගත්තේ කොහොමද? ඔහු ඒ දෙන්නාට ආශීර්වාද කළේ කොහොමද? අපි ඒ ගැන ඊළඟ පරිච්ඡේදයෙන් බලමු.

මවක් තම දියණියත් සමඟ සමුළුවකදී ‘යොවුන් සිතේ ගැටලු - ඊට විසඳුම්’ 2වන පොත බලනවා.

පාලක මණ්ඩලය හා ඒකේ නියෝජිතයන් ලබා දෙන හැම දෙයකින්ම අද දින ක්‍රිස්තියානීන් ප්‍රයෝජන ලබනවා

“ස්වාමීන්ගේ සහෝදරයා වන යාකොබ්”

යේසුස්ගේ සහෝදරයන් ගැන සඳහන් කරද්දී මුලින්ම නම් කරලා තියෙන්නේ යාකොබ්වයි. (මතෙ. 13:54, 55) ඒ නිසා යේසුස්ට පස්සේ මරියාට ලැබුණු දරුවන් අතරින් මුලින්ම ඉපදුණේ යාකොබ් කියලා හිතන්න පුළුවන්. යේසුස් එක්කම ඇතිදැඩි වුණ යාකොබ්, යේසුස් සේවය කරපු විදිහ දැකලා තිබුණා. යේසුස් කරපු “ආශ්චර්යයන්” ගැනත් ඔහුට යම් අවබෝධයක් තිබුණා. නමුත් ඔහු ඒවා ඇස් දෙකෙන්ම දැක්කාද කියලා නිශ්චිතව කියන්න බැහැ. යේසුස් සේවය කරපු කාලයේදී යාකොබ්ට හා ඔහුගේ සහෝදරයන්ට “ඔහු ගැන විශ්වාසයක් තිබුණේ නැහැ.” (යොහ. 7:5) එක අවස්ථාවකදී යේසුස්ගේ නෑදෑයන් පිරිසක් “එයාට පිස්සු හැදිලා” කියලා කිව්වා. සමහරවිට යාකොබ් ඒකට එකඟ වෙන්නත් ඇති.—මාක් 3:21.

යාකොබ් අකුළන ලියවිල්ලක් කියවනවා.

නමුත් යේසුස්ගේ මරණයත් නැවත නැඟිටීමත් එක්කම යාකොබ්ට යේසුස් ගැන තිබුණු ආකල්පය වෙනස් වුණා. නැවත නැඟිට්ටාට පස්සේ පොළොවේ හිටිය දවස් 40දී යේසුස්, යාකොබ් ඉදිරියේ පෙනී සිටි බව බයිබලයේ සඳහන් වෙනවා. ග්‍රීක ලියවිල්ලේ යාකොබ් කියන නම තියෙන තුන්දෙනෙක් ගැන සඳහන් කරලා තිබුණත් යේසුස් පෙනී සිටියේ ඔහුගේ සහෝදරයා වුණා යාකොබ් ඉදිරියේ කියලා කියන්න සාක්ෂි තියෙනවා. (1 කොරි. 15:7) සමහරවිට ඒ සිද්ධිය යාකොබ්ට උදව් වෙන්න ඇති තම සහෝදරයා ක්‍රිස්තුස් කියලා පිළිගන්න. යේසුස් ස්වර්ගයට ගිහින් දවස් දහයකට පස්සේ නියෝජිතයන් යාච්ඤා කරන්න උඩුමහල් කාමරයකට රැස් වුණාම ඔවුන් අතර යේසුස්ගේ අම්මා, යාකොබ් සහ අනිත් සහෝදරයන් හිටපු එකෙන් ඒ බව තහවුරු වෙනවා.—ක්‍රියා 1:13, 14.

කාලයක් යද්දී යාකොබ්, යෙරුසලමේ පිහිටි සභාවේ සිටි හුඟදෙනෙක්ගේ ගෞරවය දිනාගත්තා. පේන විදිහට ඔහුව සැලකුවේ ඒ සභාවේ නියෝජිතයෙක් විදිහටයි. (ගලා. 1:18, 19) ඔහු හුඟක් වගකීම් දරපු කෙනෙක් බව පේතෘස් කියපු දේකින් පැහැදිලියි. ආශ්චර්යවත් විදිහට පේතෘස්ව සිරගෙයින් නිදහස් කළාට පස්සේ ඔහු ගෝලයන්ට කිව්වේ “මේ හැම දෙයක්ම යාකොබ්ටයි, අනිත් සහෝදරයන්ටයි කියන්න” කියලා. (ක්‍රියා 12:12, 17) චර්මච්ඡේදනය ගැන මතු වුණ ප්‍රශ්නය යෙරුසලමේ සිටි “නියෝජිතයෝයි, වැඩිමහල්ලෝයි” සාකච්ඡා කරද්දී ඒ අවස්ථාවේදී මූලිකත්වය ගත්තේ යාකොබ් කියලා කියන්න පුළුවන්. (ක්‍රියා 15:6-21) පාවුල්, යෙරුසලමේ පිහිටි සභාවේ සහෝදරයන් වුණ යාකොබ්ව, සීෆස්ව (පේතෘස්ව) හා යොහන්ව හැඳින්නුවේ “සභාවේ කණු” විදිහට. (ගලා. 2:9) අවුරුදු ගාණකට පස්සෙත් යාකොබ් හුඟක් වගකීම් දරපු බව පැහැදිලියි. මොකද පාවුල් තම තුන්වෙනි සංචාරය අවසන් කරලා ආයෙත් යෙරුසලමට ගියාම ඔහු “යාකොබ්ව හම්බ වෙන්න ගියා. අනිත් හැම වැඩිමහල්ලෙක්මත් එතන හිටියා” කියලා වාර්තාවේ සඳහන් වෙනවා.—ක්‍රියා 21:17-19.

පේන විදිහට බයිබලයේ යාකොබ් කියන නමින් හඳුන්වා තියෙන පොත ලිව්වේ ඔහුමයි. පාවුල් ඔහුව හඳුන්වන්නේ “ස්වාමීන්ගේ සහෝදරයා” විදිහටයි. (ගලා. 1:19) නමුත් යාකොබ් නිහතමානීව ඒ ලිපියේ තමාව හඳුන්වා දෙන්නේ නියෝජිතයෙක් හෝ යේසුස්ගේ සහෝදරයෙක් විදිහට නෙවෙයි “දෙවියන්ගේ සහ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දාසයෙක් වන යාකොබ්” විදිහටයි. (යාකො. 1:1) යාකොබ්ගේ ලිපිය කියවද්දී ඔහුත් යේසුස් වගේ අවට පරිසරය, මිනිසුන්ගේ ගතිපැවතුම් හොඳින් නිරීක්ෂණය කරපු කෙනෙක් බව පැහැදිලියි. කාරණයක් පැහැදිලි කරද්දී ඔහු අවට ලෝකයේ සිදුවීම් රැසක් යොදාගෙන තියෙනවා. උදාහරණයකට සුළඟට ඒ මේ අත ගසාගෙන යන මුහුදු රැලි, දැඩි හිරු රශ්මිය, තරුවලින් පිරි අහස, පරවී යන මල් කැකුළු, ළැව් ගිනි හා වනසතුන්ව මෙල්ල කරන එක ගැන ඔහුගේ ලිපියේ සඳහන් කරලා තියෙනවා. (යාකො. 1:6, 11, 17; 3:5, 7) මිනිසුන් වැඩ කරන හා හිතන විදිහ ගැන හොඳ අවබෝධයක් ඇතුව ඔහු ඒ ලිපිය ලියපු බව පැහැදිලියි. දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් ලියපු ඒ උපදෙස් ඇත්තෙන්ම එකිනෙකා අතරේ සාමය පවත්වගන්න කදිම අත්වැලක්.—යාකො. 1:19, 20; 3:2, 8-18.

පළවෙනි කොරින්ති 9:5 පාවුල් කියපු දෙයින් පැහැදිලි වන්නේ යාකොබ් විවාහ වෙලා හිටපු කෙනෙක් කියලා. යාකොබ් මිය ගියේ කවදාද ඔහු මිය ගියේ කොහොමද කියලා බයිබලයේ සඳහන් වන්නේ නැහැ. නමුත් රෝම ආණ්ඩුකාර පෝර්ෂස් ෆෙස්ටස් මිය ගියාට පස්සේ ඊළඟ ආණ්ඩුකාරයා වුණ ඇල්බිනස් ආණ්ඩුකාරයා විදිහට පත් වෙන්න කලින් වුණ දෙයක් ගැන යුදෙව් ඉතිහාසඥ ජොසීෆස් වාර්තා කරලා තියෙනවා. ඔහු කියන්නේ ක්‍රි.ව. 62දී විතර උත්තම පූජක අනනුස් (අනනියස්) “මන්ත්‍රණ සභාවේ විනිසුරුවන්ව කැඳවා ඔවුන් ඉදිරියට යාකොබ් කියලා හඳුන්වපු කෙනෙක්ව හා තවත් කිහිපදෙනෙක්ව ගෙනා” බවයි. “ඒ මිනිසා ක්‍රිස්තුස් කියලා හඳුන්වපු යේසුස් කියන තැනැත්තෙක්ගේ සහෝදරයා” කියලත් ඔහු කියනවා. “ඔවුන් නීතියට විරුද්ධව ක්‍රියා කළ බවට” අනනුස් “චෝදනා කළා වගේම ඔවුන්ට ගල් ගහලා මරලා දාන්න තීන්දු කළ” බවත් ඔහු කියනවා.

a “ස්වාමීන්ගේ සහෝදරයා වන යාකොබ්” කියන කොටුව බලන්න.

b ඒ අවස්ථාවේදී යාකොබ් වැඩ කළේ ඉතා ඥානවන්තවයි. මෝසෙස් ලියපු දේවල් කියලා කියද්දී යාකොබ් අදහස් කළේ මෝසෙස්ට දුන්න නීතිය විතරක් නෙවෙයි. ඒ නීතිය දෙන්න කලින් දෙවියන් තම සේවකයන් එක්ක වැඩ කරපු විදිහ හා තම කැමැත්ත ගැන හෙළි කරපු දේවල් ඒකට ඇතුළත් වුණා. උදාහරණයකට රුධිරය, අනාචාරය හා රූප නමස්කාරය ගැන දෙවියන් දීපු මඟ පෙන්වීම් උත්පත්ති පොතේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. (උත්. 9:3, 4; 20:2-9; 35:2, 4) ඒ විදිහට දෙවියන් දීලා තියෙන මඟ පෙන්වීම් යුදෙව්වන්ට හා යුදෙව් නොවන අයට එක හා සමානව අදාළයි.

c “පාලක මණ්ඩලය සංවිධානය වෙලා තියෙන විදිහ” කියන කොටුව බලන්න.

d සමහර බයිබල් පරිවර්තනවල 34වෙනි පදය ඇතුළත් කරලා තියෙනවා. ඒ පදයේ සඳහන් වෙලා තියෙන්නේ සීලස් අන්තියෝකියේ නැවතීමට තීරණය කළ බවයි. නමුත් ඒ වගේ අදහසක් මුල් පිටපත්වල සඳහන් වුණ බවට සාක්ෂි නැහැ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න