අප ප්‍රකාශ කළ යුතු පණිවිඩය
“නුඹලා මාගේ සාක්ෂිකාරයෝය, මම දෙවිය.” (යෙසා. 43:12) මෙම වදන් සමඟින් අපට දී ඇති වගකීම සහ මහත් වරප්‍රසාදය යෙහෝවා ප්‍රකාශ කරයි. අපි නිකම්ම උදාසීන ඇදහිලිවන්තයෝ නොවන්නෙමු. දෙවිගේ ආනුභාවයෙන් ලියන ලද වචනයෙහි අන්තර්ගත වටිනා සත්‍යයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන සාක්ෂිකරුවන් අපිය. අපගේ කාලයේදී ඉදිරිපත් කිරීමට යෙහෝවා අපට භාර දී ඇත්තේ කවර ආකාරයේ පණිවිඩයක්ද? එම පණිවිඩයෙන් අවධානයට ලක් කරන දේවල් නම්, යෙහෝවා දෙවි, යේසුස් ක්‍රිස්තුස් සහ මෙසියානු රාජ්‍යයයි.
‘සැබෑ දෙවිට භය වී ඔහුගේ ආඥා පවත්වන්න’
ක්‍රිස්තියානි යුගය උදාවීමට බොහෝ කලකට පෙර, ‘පොළොවෙහි සියලු ජාතීන්ට’ තමුන්ටම ආශීර්වාද අත් පත් කරගැනීම සඳහා මඟ විවෘත කර දෙන විධිවිධානයක් ගැන යෙහෝවා විශ්වාසවන්ත වූ ආබ්‍රහම්ට දැන්වීය. (උත්. 22:18) එමෙන්ම මුළු මිනිස් සංහතියටම තිබෙන ප්‍රධාන වගකීමක් ගැන ලිවීමට ඔහු සාලමොන්ටද ආනුභාවය දුන්නේය. එනම්, “[සැබෑ, NW] දෙවිට භයව ඔහුගේ ආඥා පවත්වන්න. මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය” යන්නයි. (දේශ. 12:13) එනමුත් සෑම රටකම වෙසෙන ජනයා මෙවැනි කාරණා ගැන ඉගෙනගන්නේ කෙසේද?
දෙවි විසින් පවසන ලද දේවල් විශ්වාස කළ යම් පිරිසක් කවදත් මිහිපිට ජීවත් වී ඇතත්, බයිබලයෙහි පැහැදිලිව දක්වා ඇති පරිදි, කඩිනම් සමස්ත ලෝක සාක්ෂියක් දැරීම ‘ස්වාමීන්ගේ දවසෙහි’ සිදුවීමට නියම කරන ලද්දකි. එමගින් ශුභාරංචිය සියලු ජාතීන් කරා ළඟා වනු ඇත. මෙම දවස ඇරඹුණේ 1914දීය. (එළි. 1:10) ඒ කාලයේදී දේවදූතයන්ගේ මඟ පෙන්වීම ඇතුව “සියලු ජාතීන්ටත් ගෝත්‍රයන්ටත් භාෂාවන්ටත් සෙනඟටත්” ඉතා වැදගත් වූ පණිවිඩයක් ප්‍රකාශ කරනු ලබන බව එළිදරව් 14:6, 7හි පුරෝකථනය කෙරිණ. “දෙවිට භය වී, ඔහුට ගෞරව දෙන්න. මක්නිසාද ඔහුගේ විනිශ්චයේ පැය පැමුණුණේය. අහසත් පොළොවත් මුහුදත් ජල උල්පතුත් මැවූ තැනැත්තාට නමස්කාර කරන්න” යන්න සියලු ජනයාගෙන් උදක්ම ඉල්ලා සිටිනු ඇත. මෙම පණිවිඩය පතළ කිරීම දේවකැමැත්ත වේ. එම කාර්යයෙහි හවුල් වීමේ වරප්‍රසාදය අප සතුය.
‘සැබෑ දෙවි.’ ‘නුඹලා මාගේ සාක්ෂිකාරයෝය’ කියා යෙහෝවා ප්‍රකාශ කළ විට ඔහු එසේ පැවසුවේ සැබෑ දෙවි කවුද නමැති ප්‍රශ්නය වාදයට ලක් වූ අවස්ථාවකදීය. (යෙසා. 43:10) මේ අනුව, ඉදිරිපත් කළ යුතු පණිවිඩය, ජනයා ආගමක් වැලඳගත යුතු බව හෝ දෙවිකෙනෙකු විශ්වාස කළ යුතු බව හෝ දක්වන සැහැල්ලු පණිවිඩයක් නොවේ. ඒ වෙනුවට අහසේ සහ පොළොවේ මැවුම්කරු එකම සැබෑ දෙවි බව ඉගෙනීමට ප්‍රස්තාවක් ඔවුන්ට ලබා දිය යුතුය. (යෙසා. 45:5, 18, 21, 22; යොහ. 17:3) අපගේ අනාගතය නිවැරදිව පුරෝකථනය කළ හැක්කේ සැබෑ දෙවිට පමණි. එසේ නම්, අතීතයේදී යෙහෝවාගේ වචනය ඉටු වූ ආකාරය දෙස බලන විට, අනාගතය සඳහා ඔහු පොරොන්දු වී ඇති සෑම දෙයක්ම සැබෑ වන බව නිසැකව විශ්වාස කිරීමට ස්ථිරසාර පදනමක් ඇති බව පෙන්වා දීම අප සතු වරප්‍රසාදයකි.—යෝෂු. 23:14; යෙසා. 55:10, 11.
කෙසේවෙතත්, අප සාක්ෂි දරන බොහෝදෙනා වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරති. එසේ නැතහොත් කිසිදු දෙවි කෙනෙකුට නමස්කාර නොකරති. එමනිසා, ඔවුන්ගේ අවධානය ලබාගැනීමට අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවට හේතු වන යමක් සඳහන් කරමින් ඇතැම්විට සාකච්ඡාව ආරම්භ කිරීමට සිදු වේ. මෙහිදී, ක්‍රියා 17:22-31හි වාර්තා කර ඇති නිදසුන සලකා බැලීම අපට ප්‍රයෝජනවත් විය හැක. ප්‍රේරිත පාවුල් උපායශීලීව කතා කළත්, අහසේ සහ පොළොවෙහි මැවුම්කාර දෙවිට සියලු ජනයා ගණන් දිය යුතු බව ඔහු පැහැදිලිව සඳහන් කළ ආකාරය සැලකිල්ලට ගන්න.
දෙවිගේ නාමය පිළිබඳව දැනුවත් කිරීම. සැබෑ දෙවිව ඔහුගේ නාමයෙන්ම හඳුන්වා දීමට ඔබ වගබලා ගත යුතුය. යෙහෝවා තම නාමයට දක්වන්නේ ගැඹුරු ඇල්මකි. (නික්. 3:15; යෙසා. 42:8) ජනතාව එම නාමය දැනගන්නවාට ඔහු කැමතිය. එමනිසා, සිය තේජවත් නාමය බයිබලයෙහි වාර 7,000කටත් වඩා වැඩියෙන් ඇතුළත් කිරීමට ඔහු විධිවිධාන යෙදුවේය. ඒ සම්බන්ධයෙන් මනුෂ්‍යයන්ව දැනුවත් කිරීම අපගේ වගකීමයි.—ද්වි. 4:35.
මුළු මිනිස් සංහතියේ අනාගත අපේක්ෂා රඳා පවතින්නේ, යෙහෝවාව දැනහඳුනා ගැනීමත්, ඇදහිල්ලෙන් ඔහුට අයැදීමත් මතය. (යෝවෙ. 2:32; මලා. 3:16; 2 තෙස. 1:7) එහෙත් බොහෝදෙනා යෙහෝවාව හඳුනන්නේ නැත. බයිබලයෙහි සඳහන් දෙවිට නමස්කාර කරන බවට කියා සිටින විශාල සංඛ්‍යාතයක්ද ඊට ඇතුළත් වේ. ඔවුන්ට බයිබලයක් තිබුණත්, එය කියවා බැලුවත්, දෙවිට පෞද්ගලික නාමයක් ඇති බව ඔවුන් නොදන්නවා විය හැක. ඊට හේතුව බොහෝ නවීන පරිවර්තනවල එම නාමය ඉවත් කර තිබීමය. යෙහෝවා යන නාමය ගැන ඇතැම් අය දන්නවා නම් දන්නේ, ඔවුන්ගේ ආගමික නායකයන් එය භාවිත නොකරන්නට කියා අණ කර ඇති නිසාය.
එසේ නම්, දෙවිගේ නාමය පිළිබඳව ජනයාව දැනුවත් කිරීමට අපට හැක්කේ කෙසේද? හොඳම ක්‍රමය නම්, එය බයිබලයෙන්ම, හැකි නම් ඔවුන්ගේම බයිබලයෙන් එය පෙන්වා දීමයි. ඇතැම් පරිවර්තනවල එම නාමය වාර දහස් ගණනක් සඳහන් වේ. තවත් සමහරක් පරිවර්තනවල එය දැකගත හැකි වන්නේ ගීතාවලිය 83:17හි හෝ නික්මයාම 6:2-6හි එසේ නැතහොත් යෙසායා 12:2හි හා 26:4හි පමණි. මුල් භාෂා පිටපත්වල දෙවිගේ පෞද්ගලික නාමය යෙදිය යුතු තැන්වල “ස්වාමීන්වහන්සේ” සහ “දෙවියන්වහන්සේ” වැනි ආදේශක, තද කළු අකුරින් ඇතැම් පරිවර්තනවල යොදා ඇත. දෙවිගේ පෞද්ගලික නාමය සහමුලින්ම ඉවත් කර ඇති නූතන පරිවර්තන භාවිත කිරීමට සිදු වන විට, සිදු කර ඇති දේ ජනයාට පෙන්නුම් කිරීම සඳහා වඩාත් පැරණි බයිබල් අනුවාද භාවිත කිරීම යෝග්‍ය වේ. ඇතැම් රටවල, දිව්‍ය නාමය ආගමික ගීතිකාවල සඳහන්ව ඇති ආකාරය හෝ ප්‍රසිද්ධ ගොඩනැඟිල්ලක සඳහන්ව ඇති අන්දම පෙන්වා දිය හැක.
වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන අය සඳහා පවා, නව ලෝක පරිවර්තනයෙන් යෙරෙමියා 10:10-13 බලපෑමෙන් යුතුව භාවිත කරන්නට පුළුවන. එහි දෙවිගේ නාමය සඳහන්ව තිබෙනවා පමණක් නොව, නමුත් ඔහු කවුද යන්න ඉතා හොඳින් පැහැදිලි කර ඇත.
ක්‍රිස්තියානි ලෝකයේ සාමාජිකයන් කරන්නාක් මෙන් “දෙවියන්වහන්සේ” සහ “ස්වාමීන්වහන්සේ” වැනි ආදේශක පිටුපස යෙහෝවා යන නාමය සඟවන්න එපා. සාකච්ඡාවක් අරඹන සෑම අවස්ථාවකදීම එම නාමය භාවිත කළ යුතු බව මින් අදහස් කරන්නේ නැත. ඇතැම් අය තුළ ඒ සම්බන්ධයෙන් යම් අගතිසහගත හැඟීමක් තිබෙන නිසා, එය සාකච්ඡාවට බාධාවක් වනු ඇත. එනමුත්, සංවාදයට පදනමක් ගොඩනැඟීමෙන් අනතුරුව, දිව්‍ය නාමය භාවිත කිරීමට පසුබට නොවන්න.
බයිබලයෙහි “ස්වාමීන්” සහ “දෙවි” යන පදවි නාම භාවිත වී ඇති වාර ගණන එකට එකතු කළත්, එහි දෙවිගේ පෞද්ගලික නාමය යෙදී ඇති වාර ගණන ඊට වඩා වැඩි බව මෙහිදී සඳහන් කිරීම වටී. එසේ වුවත්, බයිබල් ලේඛකයන් දිව්‍ය නාමය සෑම වාක්‍යයකම ඇතුළත් කිරීමට උත්සාහ දැරුවේ නැත. එය නිරායාසයෙන්ම, භාවිත කළ යුතු තැන්වල ඔවුහු එය ස්වාභාවිකව, නිදහසේ හා ගෞරවාන්විතව භාවිත කළෝය. මෙය අනුගමනය කිරීම සඳහා හොඳ ප්‍රමිතියකි.
නාමය පිටුපස සිටින පුද්ගලයාග. දෙවිට පෞද්ගලික නාමයක් තිබෙන බවට වූ කාරණය ඉතා වැදගත් සත්‍යතාවක් වුවත්, එය ඔහුව දැනහඳුනා ගැනීමට ගන්නා මුල්ම පියවරක් පමණි.
යෙහෝවාට ප්‍රේම කිරීමට හා ඇදහිල්ලෙන් ඔහුගෙන් අයදීමට නම්, ඔහු කෙබඳු ආකාරයේ දෙවි කෙනෙකුද යන්න ජනයා විසින් දැනගත යුතු වේ. යෙහෝවා මෝසෙස්ට සීනයි කන්දේදී තම නාමය ප්‍රකාශ කළ විට, “යෙහෝවා” යන වචනය නිකම්ම නැවත නැවත කීමට වඩා වැඩි යමක් ඔහු කළේය. ඔහු මෝසෙස්ගේ අවධානයට යොමු කළේ තමාගේ කැපීපෙනෙන ගුණාංග සමහරකි. (නික්. 34:6, 7) එය අපහට අනුකරණය කිරීම සඳහා ආදර්ශයකි.
අප උනන්දුව දක්වන නවකයෙකුට සාක්ෂි දරමින් සිටිනවා හෝ, සභාවෙහි කතා දෙමින් සිටිනවා වේවා, රාජ්‍යයේ ආශීර්වාද ගැන කතා කරන විට මෙවැනි පොරොන්දු ඉදිරිපත් කරන දෙවි සම්බන්ධයෙන් ඉන් කියාපාන දේ පැහැදිලිව ගෙනහැර දක්වන්න. ඔහුගේ ආඥාවලට යොමු දක්වන විට ඒවායින් පිළිබිඹු වන ප්‍රඥාව සහ ප්‍රේමය අවධාරණය කරන්න. දෙවි අපේක්ෂා කරන දේ අපව අසීරුතාවකට පත් නොකරන බවත්, ඒවා අපගේ ප්‍රයෝජනය සඳහා පිළියෙළ කර ඇති බවත් පැහැදිලිව දක්වන්න. (යෙසා. 48:17, 18; මීකා 6:8) තවද යෙහෝවා සිය බලය ප්‍රකාශ කර ඇති සෑම අවස්ථාවකින්ම ඔහුගේ පෞද්ගලිකත්වය, ඔහුගේ ප්‍රමිති සහ අරමුණ ගැන යමක් හෙළි වන ආකාරයද පෙන්නුම් කරන්න. ඔහු තම ගුණාංග විදහා දක්වන අන්දම තුළ දක්නට ලැබෙන මනා සමබරතාවටද අවධානය දෙන්න. යෙහෝවා කෙරෙහි ඔබට දැනෙන ආකාරය ජනයාටද දැනෙන්නට සලස්වන්න. මෙසේ ඔහු කෙරෙහි ඔබට තිබෙන ප්‍රේමය ඔවුන් තුළත් එවන් ප්‍රේමයක් හටගැනීමට මඟ පෑදිය හැක.
අදදින තිබෙන හදිසි පණිවිඩය සියලු ජනයාගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ දෙවිට භය වන්න කියාය. අප පවසන දේ මාර්ගයෙන් එවැනි දේවභයක් ජනිත කරවීමට අප උත්සාහ දැරිය යුතුය. මෙම භය සුවදායී එකකි. එනම්, යෙහෝවා කෙරෙහි දැනෙන ගරුබියකි. ඔහු කෙරෙහි වූ ගැඹුරු භක්තියකින් යුත් ගෞරවයකි. (ගීතා. 89:7) යෙහෝවා පරම විනිසුරු බවත්, අපගේ අනාගත අපේක්ෂා ඔහුගේ අනුමැතිය ලබාගැනීම මත රඳා ඇති බවත් පිළිගැනීම ඊට අයත් වේ. (ලූක් 12:5; රෝම 14:12) මෙවැනි භයක්, ඔහු කෙරෙහි තිබෙන ගැඹුරු ප්‍රේමය සමඟ අත්වැල් බැඳගෙන යන අතර ඔහුව සතුටු කිරීම සඳහාද ඉතා ප්‍රබල ආශාවක් ඒ හා සම්බන්ධව පවතී. (ද්වි. 10:12, 13) නපුරු දේ ද්වේෂ කිරීමටත්, දෙවිගේ ආඥාවලට කීකරු වීමටත්, පූර්ණ සිතකින් ඔහුට නමස්කාර කිරීමටත් අප පෙලඹෙන්නේ දේවභය හේතුවෙනි. (ද්වි. 5:29; 1 ලේක. 28:9; හිතෝ. 8:13) එය, ලෝකයේ තිබෙන දේවලට ඇලුම් කරන අතරතුරේ දෙවිට සේවය කිරීමට උත්සාහ දැරීමෙන් අපව වළක්වයි.—1 යොහ. 2:15-17.
දෙවිගේ නාමය “බලකොටුවක්ය.” යෙහෝවාව සැබවින්ම දැනහඳුනා ගන්නා අය සුවිශේෂ ආරක්ෂාවක් භුක්ති විඳිති. ඔවුන් මෙවැන්නක් භුක්ති විඳින්නේ ඔවුන් ඔහුගේ පෞද්ගලික නාමය භාවිත කරන නිසාවත්, ඔහුගේ ගුණාංග කිහිපයක් පිළිවෙළින් සඳහන් කළ හැකි නිසාවත් නොවේ. ඊට හේතුව නම්, ඔවුන් යෙහෝවා කෙරෙහි තම පූර්ණ විශ්වාසය තැබීමයි. එවන් අය සම්බන්ධයෙන් හිතෝපදේශ 18:10හි මෙසේ සඳහන් වේ. “යෙහෝවාගේ නාමය බලකොටුවක්ය. ධර්මිෂ්ඨයා එහි දුව ගොස් සුරක්ෂිත වෙයි.”
යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීමට අන් අයව දිරිගැන්වීම සඳහා හැකි සෑම ප්‍රස්තාවකින්ම ප්‍රයෝජන ගන්න. (ගීතා. 37:3; හිතෝ. 3:5, 6) මෙවැනි විශ්වාසයකින් දැකගත හැකි වන්නේ යෙහෝවා සහ ඔහුගේ පොරොන්දු කෙරෙහි ඇදහිල්ලක් තිබෙන බවය. (හෙබ්‍රෙ. 11:6) මිනිසුන් යෙහෝවා විශ්වයේ පරමාධිපති බව දැන, ඔහුගේ මාර්ගවලට ඇලුම් කරමින්, සැබෑ ගැළවීමක් බලාපොරොත්තු විය හැක්කේ ඔහුගෙන් පමණක් බව විශ්වාස කරමින්, ‘ඔහුගේ නාමයට අයදින’ විට ඔවුහු ගළවනු ලබන්නෝය. මෙය දේවවචනයෙහි අපට සහතික කර ඇති දෙයකි. (රෝම 10:13, 14, NW) එමනිසා අන් අයට උගන්වද්දී, ඔවුන්ගේ ජීවිතයේ සෑම පැත්තකදීම පිළිබිඹු කළ යුතු එවැනි අන්දමක ඇදහිල්ලක් ගොඩනඟාගැනීමට ඔවුන්ට උපකාර කරන්න.
පුද්ගලයන් බොහෝදෙනෙක් ඉතා බරපතළ පෞද්ගලික ගැටලුවලට මුහුණ දෙති. සමහරවිට ඉන් මිදීමට කිසිදු මඟක් ඔවුන්ට නොපෙනෙන්නට පුළුවන. යෙහෝවාගේ මාර්ගයන් ගැන ඉගෙනගෙන, ඔහු කෙරෙහි විශ්වාසය තැබීමට සහ ඔවුන් ඉගෙනගන්නා දේ අදාළ කරගැනීමට ඔවුන්ට උනන්දු කරන්න. (ගීතා. 25:5) දෙවිගේ උපකාර ඉල්ලා නොකඩවා යාච්ඤා කිරීමටත්, ඔහු ලබා දෙන ආශීර්වාදවලට ස්තුති කිරීමටත් ඔවුන්ව දිරිගන්වන්න. (පිලි. 4:6, 7) බයිබලයෙහි සඳහන්ව ඇති ඇතැම් දේවල් කියවීමෙන් පමණක් නොව, ඔවුන්ගේ පෞද්ගලික ජීවිත තුළ ඔහුගේ පොරොන්දුවල ඉටුවීම අද්දැකීමෙන් යෙහෝවාව දැනහඳුනා ගැනීමට ඔවුන් සමත් වන විට, යෙහෝවා යන නාමයෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ඔවුන්ට සැබෑවට තේරුම්ගත හැකි වේ. එතැන් සිට ඔවුහු ප්‍රතිඵලයක් ලෙස සැබෑ සුරක්ෂිතභාවයක් භුක්ති විඳීමට පටන්ගනිති.—ගීතා. 34:8; යෙරෙ. 17:7, 8.
සැබෑ දෙවි වන යෙහෝවාට භයවීමත්, ඔහුගේ ආඥා පැවැත්වීමත් කොතරම් ප්‍රඥාවන්ත දෙයක්ද යන්න අගය කිරීමට ජනයාට උපකාර කිරීම සඳහා ඔබට උදා වන සෑම ප්‍රස්තාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න.
‘යේසුස් ගැන සාක්ෂි දැරීම’
යේසුස් ක්‍රිස්තුස් නැවත-නැඟිටීමෙන් පසුව හා ස්වර්ගයට යෑමට පෙරාතුව, තම ගෝලයන්ට මෙසේ පවසමින් උපදෙස් දුන්නේය. “නුඹලා . . . පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුය.” (ක්‍රියා 1:8) දෙවිගේ වත්මන් දින පක්ෂපාත සේවකයන්ව විස්තර කර ඇත්තේ ‘යේසුස් ගැන සාක්ෂි දැරීමේ කාර්යය’ පවරා ඇති අය ලෙසයි. (එළි. 12:17, NW; [පැ. අ. 12:16]) එම සාක්ෂිය දැරීම සම්බන්ධයෙන් ඔබ කොතරම් දුරට කඩිසරව වැඩ කරනවාද?
යේසුස් කෙරෙහි විශ්වාසය තබන බව අවංකව පවසන බොහෝදෙනා ඔහු මිනිසෙකු ලෙස ජීවත් වීමට කලින් ජීවත් වූ බව නොදනිති. ඔහු ඇත්තටම මනුෂ්‍යයෙකු ලෙස මිහිපිට සිටි බවත් ඔවුන් අවබෝධ කරගෙන නැත. ඔහු දෙවිගේ පුත්‍රයා යන කාරණයෙන් අදහස් වන්නේ කුමක්ද යන්නත් ඔවුහු වටහා නොගනිති. තවද දෙවිගේ අරමුණුවල ඉටුවීම සම්බන්ධයෙන් ඔහුට හිමි වී තිබෙන කාර්යභාරය ගැන ඔවුන් දන්නේ ඉතා අල්ප වශයෙනි. ඔහු දැන් කරමින් සිටින දේ ගැන ඔවුන් අනවබෝධයෙන් සිටින අතර, අනාගතයේදී ඔහු කරනු ඇති දෙය ඔවුන්ගේ ජීවිතවලට කෙසේ බලපායිද යන්න ඔවුන් තේරුම්ගෙන නැත. යෙහෝවාගේ සාක්ෂිකරුවන් යේසුස් කෙරෙහි විශ්වාසය නොතබන බවට වැරදි වැටහීම පවා ඔවුන් තුළ තිබිය හැක. එමනිසා, මෙම කාරණා සම්බන්ධයෙන් සත්‍යය අවබෝධ කර දීමට උත්සාහයක් දැරීම අප සතු වරප්‍රසාදයකි.
යේසුස් ලෙස බයිබලයෙහි විස්තර කර ඇති පුද්ගලයෙකු ඇත්තටම ජීවත් වූවාද යන්න තවත් සමහරුන්ට විශ්වාස කළ නොහැකිය. ඇතැමුන් ඔහුව සලකන්නේ නිකම්ම උතුම් මිනිසෙකු ලෙස පමණි. ඔහු දෙවිගේ පුත්‍රයා යන අදහස බොහෝදෙනෙක් ප්‍රතික්ෂේප කරති. මේ අනුව, එවන් අය අතරට ගොස් ‘යේසුස් ගැන සාක්ෂි දැරීම’ සඳහා සෑහෙන වෑයමක්, ඉවසිල්ලක් සහ උපයාශීලිත්වයක් අවශ්‍යය.
ඔබේ සවන්දෙන්නන් කවර මතයක් දැරුවත්, සදාකාල ජීවනය අත් කරගැනීම සඳහා දෙවි සපයා තිබෙන විධිවිධානයෙන් ප්‍රයෝජන ගැනීමට නම්, ඔවුන් යේසුස් ක්‍රිස්තුස් පිළිබඳව දැනුම ලබාගැනීම අවශ්‍යය. (යොහ. 17:3, NW) ජීවත් වන සියලුදෙනාම “යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් බව” නොවළහා ‘ඒත්තුගත යුතු’ අතර, ඔහුගේ අධිකාරයට යටත් විය යුතුය. (පිලි. 2:9-11) මෙය ඉතා පැහැදිලිව ප්‍රකාශ වී ඇති දේවකැමැත්ත වේ. එමනිසා, ප්‍රබල නමුත්, වැරදි මතයන් දරන, එසේ නැතහොත් යම් අගතිසහගත හැඟීම් ඇති අය මුණගැසෙද්දී මෙම කාරණය ගැන අපට කතා නොකර සිටීමට නුපුළුවන. සමහර අවස්ථාවන්හිදී අපගේ මුල් හමුවීමේදී පවා අපට යේසුස් ක්‍රිස්තුස් ගැන නොවළහා කතා කරන්නට පුළුවන. එනමුත් වෙනත් අවස්ථාවලදී ස්ථානෝචිත ප්‍රඥාව භාවිත කරමින් ඔහු පිළිබඳව අදහස් කිහිපයක් ක්‍රමානුකූලව ඉදිරිපත් කිරීමට සිදු වේ. එවිට ඔහු ගැන නිවැරදි දෘෂ්ටියක් දැරීමට මඟ විවෘත වේ. තවද ඊළඟට හමුවන අවස්ථාවේදී මෙම විෂයේ අමතර පැති හඳුන්වා දීමට විවිධ ක්‍රම ගැන සිතා බැලීමට පුළුවන. කෙසේවෙතත්, පුද්ගලයෙකු සමඟ නිවාස බයිබල් පාඩමක් පවත්වන තෙක්, අදාළ වූ කාරණා සියල්ල සාකච්ඡා කිරීමට අවස්ථාවක් සමහරවිට නොලැබිය හැක.—1 තිමෝ. 2:3-7.
දෙවිගේ අරමුණ තුළ යේසුස්ට තිබෙන සුවිශේෂ ස්ථානය. ‘මාර්ගය’ යේසුස් වන නිසාත්, ‘ඔහු තුළින් මිස කිසිවෙක් පියාණන් වෙතට පැමිණෙන්නේ නැති’ නිසාත්, යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ලක් නොදක්වා දෙවි සමඟ අනුමැතිය ලත් සබඳතාවක් පවත්වා ගත නොහැකි බව තේරුම්ගැනීමට ජනයාට උපකාර කළ යුතුය. (යොහ. 14:6, NW) යෙහෝවා තම කුලුඳුල් පුත්‍රයාට පවරා ඇති මෙම අතිවැදගත් කාර්යභාරය පුද්ගලයෙකු තේරුම්ගන්නේ නැත්නම්, බයිබලයද තේරුම්ගත නොහැකිය. ඒ මන්ද? යෙහෝවා තම අරමුණු සියල්ල ඉටු කිරීම සඳහා ප්‍රධාන මාධ්‍යය ලෙස තම පුත්‍රයාව පත් කොට ඇති නිසාය. (කොලො. 1:17-20) එමනිසා, බයිබල් අනාවැකි මෙම කාරණය වටා ගෙතී ඇත. (එළි. 19:10) සාතන්ගේ කැරැල්ල සහ ආදම්ගේ පාපය හේතුවෙන් ඉස්මතු වූ සියලුම ගැටලුවලට විසඳුම සපයන මාධ්‍යය යේසුස් ක්‍රිස්තුස් වේ.—හෙබ්‍රෙ. 2:5-9, 14, 15.
ක්‍රිස්තුස්ගේ කාර්යභාරය හොඳින් වටහාගැනීමට නම්, ස්වෝත්සාහයෙන් ගැළවිය නොහැකි ඉතා කාලකණ්ණි තත්වයකට මිනිසා ඇද වැටී සිටින බව සියලුම මනුෂ්‍යයන් විසින් පිළිගත යුතුය. අප සියලුදෙනාම ඉපදී ඇත්තේ පාප සහිතවය. අපගේ ජීවිත කාලය තුළදී මෙය අපට විවිධාකාරයෙන් බලපෑ හැකිය. කෙසේවෙතත්, එහි ප්‍රතිඵලය වන්නේ කවදා හෝ මරණය විඳීමට සිදුවීමය. (රෝම 3:23; 5:12) ඔබ සාක්ෂි දරන අයට මෙම කාරණය තර්කානුකූලව පහදා දීමට උත්සාහ දරන්න. අනතුරුව, යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ පූජාව නමැති සැපයුම මාර්ගයෙන් යෙහෝවා ප්‍රේමනීයව පාපයෙන් සහ මරණයෙන් මිදීමක් ලැබීමට මාර්ගය සපයා දී ඇති බව පෙන්නුම් කරන්න. කළ යුත්තේ එම සැපයුම කෙරෙහි ඇදහිල්ල දැක්වීමයි. (මාක් 10:45; හෙබ්‍රෙ. 2:9) පරිපූර්ණත්වය භුක්ති විඳිමින්, සදාකාල ජීවනය ලබාගැනීමේ ප්‍රස්තාව මින් ඔවුන්ට විවෘත වේ. (යොහ. 3:16, 36) ඇත්තෙන්ම එම ප්‍රස්තාව ලබාගැනීමට වෙනත් කිසිදු මඟක් නැත. (ක්‍රියා 4:12) පුද්ගලයෙකු හෝ සභාව ඉදිරියෙහි ගුරුවරයෙකු ලෙස ක්‍රියා කරන විට, මෙම කරුණු නිකම්ම සඳහන් කරනවාට වඩා වැඩි යමක් කරන්න. එනම් කාරුණිකව සහ ඉවසිලිවන්තව අපගේ මිදුම්කරු ලෙස ක්‍රිස්තුස් සතු කාර්යභාරය සඳහා ගැඹුරු කෘතඥතාවක් ඔබේ සවන්දෙන්නන් තුළ ගොඩනංවන්න. මෙම සැපයුම කෙරෙහි එවන් කෘතඥතාවක් ඇති විට, එය පුද්ගලයෙකුගේ ආකල්ප, හැසිරීම සහ ජීවිතයේ ඉලක්කයන් කෙරෙහි බෙහෙවින් බලපෑමට පුළුවන.—2 කොරි. 5:14, 15.
යේසුස් තම ජීවිතය පූජාවක් වශයෙන් දුන්නේ එක වතාවක් පමණි. (හෙබ්‍රෙ. 9:28) කෙසේවෙතත්, ඔහු දැන් උත්තම පූජකයා ලෙස ඉතා ක්‍රියාශීලීව සේවය කරමින් සිටියි. ඉන් අදහස් වන්නේ කුමක්ද යන්න තේරුම්ගැනීමට අන් අයට උපකාර කරන්න. අවට සිටින ජනයාගේ අකරුණාව හේතුවෙන් ඔවුන් සිටින්නේ දුකින් හෝ පීඩිතවද? එසේ නැතහොත් ඔවුන්ගේ බලාපොරොත්තු කඩවී ඇද්ද? ඔවුන්ට ගැටලු තිබේද? යේසුස් මනුෂ්‍යයෙකුව සිටි විට, මේ සියල්ලක්ම ඔහු අද්දිටීය. එමනිසා අපට හැඟෙන විදිහ ගැන ඔහුට ඇත්තේ මනා දැනුමකි. අසම්පූර්ණකම් හේතුවෙන්, දෙවිගේ දයාව අවශ්‍ය බව අපට හැඟෙනවාද? යේසුස්ගේ පූජාව පදනම් කරගෙන දෙවිගෙන් සමාව ඉල්ලා යාච්ඤා කරනවා නම්, යේසුස් ක්‍රියා කරන්නේ “පියා සමඟ සිටින උපකාරකයෙක්” ලෙසය. දයානුකම්පිතව ඔහු ‘අප වෙනුවෙන් ආයාචනා කරයි.’ (1 යොහ. 2:1, 2; රෝම 8:34; NW) එසේ නම්, නියම කාලයේදී උපකාර ලබාගැනීම සඳහා යෙහෝවාගේ ‘මහත් කරුණාවේ සිංහාසනය’ වෙත එළඹීමට අපට හැකි වන්නේ යේසුස්ගේ පූජාව නමැති පදනම ආධාරයෙන් සහ උත්තම පූජකයා ලෙස ඔහු පිරිනමන සේවාව ආශ්‍රයෙනි. (හෙබ්‍රෙ. 4:15, 16) අප අසම්පූර්ණව සිටියත්, උත්තම පූජකයා ලෙස යේසුස් ලබා දෙන උපකාරය හේතුවෙන්, අපට පිරිසිදු හෘදය සාක්ෂියකින් දෙවිට සේවය කළ හැකි වේ.—හෙබ්‍රෙ. 9:13, 14.
මීට අමතරව, දෙවි විසින් ක්‍රිස්තියානි සභාවේ හිස වශයෙන් පත් කරන ලද තැනැත්තා ලෙසද, යේසුස් මහත් අධිකාරයක් හොබවයි. (මතෙ. 28:18; එපී. 1:22, 23) හිස නැතහොත් මූලිකයා ලෙස ක්‍රියා කරමින්, දේවකැමැත්තට එකඟව ඔහු අවශ්‍ය මඟ පෙන්වීම් සපයයි. මේ අනුව, අන් අයට උගන්වන විට, සභාවේ හිස කිසිදු මනුෂ්‍යයෙකු නොව, නමුත් යේසුස් ක්‍රිස්තුස් බව හොඳින් තේරුම්ගැනීමට ඔවුන්ට උපකාර කරන්න. (මතෙ. 23:10) උනන්දුව දක්වන අය හමු වන මුල්ම අවස්ථාවේ සිට ඔබේ ප්‍රදේශයේ තිබෙන සභාවේ රැස්වීම් සඳහා ඔවුන්ට ආරාධනා කරන්න. එහිදී “විශ්වාස වූ නුවණ ඇති දාසයා” මාර්ගයෙන් සපයා ඇති තොරතුරු ආධාරයෙන් අපි බයිබලය අධ්‍යයනය කරන්නෙමු. “දාසයා” කවුද යන්න පමණක් නොව, ස්වාමියා කවුද යන්නත් පැහැදිලි කළ යුතුය. එවිට යේසුස්ගේ මූලිකත්වය ක්‍රියාත්මක වන අන්දම ඔවුන්ට වටහාගත හැකි වේ. (මතෙ. 24:45-47) ඔවුන්ව වැඩිමහල්ලන්ට හඳුන්වා දෙන්න. වැඩිමහල්ලන් තුළ තිබිය යුතු ශුද්ධ ලියවිලිමය සුදුසුකම් මොනවාදැයි පැහැදිලි කර දෙන්න. (1 තිමෝ. 3:1-7; තීත. 1:5-9) සභාව වැඩිමහල්ලන්ට අයිති නැති බවත්, ඔවුන් කරන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ අඩිපාරේ ගමන් කිරීමට අවශ්‍ය උපකාරය අපට ලබා දීම බවත් පෙන්වා දෙන්න. (ක්‍රියා 20:28; එපී. 4:16; 1 පේතෘ. 5:2, 3) මේ අනුව, ක්‍රිස්තුස්ගේ මූලිකත්වය යටතේ සකස් වී ඇති ලෝක ව්‍යාප්ත සංවිධානයක් පවතින බව දැකගැනීමට උනන්දුව දක්වන මෙවැනි අයට උපකාර කරන්න.
සිය මරණයට ටික කලකට මත්තෙන්, යේසුස් යෙරුසලමට ඇතුල් වූ විට, ඔහුගේ ගෝලයන් “යෙහෝවාගේ නාමයෙන් රජු ලෙස පැමිණෙන තැනැත්තා” ලෙස ඔහුව පැසසූ බව අපට සුවිශේෂ වාර්තාවලින් උගත හැකිය. (ලූක් 19:38, NW) බයිබලය තව තවත් ගැඹුරින් අධ්‍යයනය කරන විට, සියලුම ජාතීන්ට අයත් ජනයාට බලපාන පාලන බලයක් යෙහෝවා විසින් යේසුස්ට දී තිබෙන බව ඔවුහු ඉගෙනගනිති. (දානි. 7:13, 14) සභාවෙහි කතා දෙන විට හෝ පාඩම් පවත්වන විට, යේසුස්ගේ පාලනයෙන් අප සැමට අර්ථවත් විය යුතු දේ සම්බන්ධයෙන් අවබෝධයක් සහ කෘතඥතාවක් ගොඩනංවන්න.
යේසුස් ක්‍රිස්තුස් රජු බව අප ඇත්තටම විශ්වාස කරනවාද යන්නත්, ඔහුගේ පාලනයට අප කැමැත්තෙන්ම යටත්ව සිටිනවාද යන්නත්, පැහැදිලි වන්නේ අප අපගේ ජීවිතය ගත කරන ආකාරයෙන් බව අවධාරණය කරන්න. රජු වශයෙන් අභිෂේක කිරීමෙන් පසු, යේසුස් තම අනුගාමිකයන්ට කරන්නට පැවරූ වැඩයට අවධානය යොමු කරන්න. (මතෙ. 24:14; 28:18-20) අපූර්ව උපදේශකයා වශයෙන් යේසුස් ජීවිතයේ ප්‍රමුඛතාවන් සම්බන්ධයෙන් පැවසූ දේ ගැන සාකච්ඡා කරන්න. (යෙසා. 9:6, 7, NW; මතෙ. 6:19-34) තම අනුගාමිකයන් තුළින් දිස් විය යුතු ස්වභාවය ගැන සාමයේ කුමරු පැවසූ දේටද අවධානය යොමු කරන්න. (මතෙ. 20:25-27; යොහ. 13:35) අන් අය තමන් කරමින් සිටිය යුතු දේ කරනවාද යන්න විනිශ්චය කිරීමේ වගකීම ඔබේ කරට නොගැනීමට වගබලාගන්න. ඒ වෙනුවට, ඔවුන්ගේ ක්‍රියා තුළින් ඔවුන් ක්‍රිස්තුස්ගේ රජකමට යටත්ව සිටිනවාද යන්න එමගින් කොතෙක් දුරට දැකගත හැකිද යන්න සලකා බැලීමට ඔවුන්ව දිරිගන්වන්න. මෙසේ උපදෙස් දෙද්දී, එම උපදෙස් ඔබටද අදාළ වන බව පවසන්න.
ක්‍රිස්තුස්ව අත්තිවාරමක් ලෙස දැමීම. බයිබලය, ක්‍රිස්තියානි ගෝලයෙකු සෑදීමේ කාර්යය යේසුස් ක්‍රිස්තුස් නමැති අත්තිවාරම මත ඉදි කරන ගොඩනැඟිල්ලකට සමාන කර ඇත. (1 කොරි. 3:10-15) මෙවන් දෙයක් ඉටු කිරීමට බයිබලයෙහි විස්තර කර ඇති පරිද්දෙන්ම යේසුස්ව දැනහඳුනා ගැනීමට ජනයාට උපකාර කරන්න. අනුගමනය කළ යුතු තැනැත්තා ලෙස ඔවුන් ඔබ දෙස නොබැලිය යුතුය. එමනිසා එවැනි අදහසක් නොදීමට වගබලා ගන්න. (1 කොරි. 3:4-7) ඔවුන්ගේ අවධානය යොමු කළ යුත්තේ යේසුස් ක්‍රිස්තුස් වෙතටය.
හොඳ අත්තිවාරමක් දමා ඇත්නම්, ක්‍රිස්තුස් ‘ඔහුගේ අඩි පාරේ යන පිණිස’ අපට ආදර්ශයක් දී ගිය බවට කාරණය ශිෂ්‍යයන් විසින් අවබෝධ කරගනු නියතය. (1 පේතෘ. 2:21) මෙම අත්තිවාරම මත ගොඩනැඟීම සඳහා සුවිශේෂ වාර්තාවන් කියවීමට ශිෂ්‍යයන්ට දිරිගැන්විය යුතුය. ඔවුන් එය කියවිය යුත්තේ නිවැරදි ඉතිහාස වාර්තාවක් කියවන්නාක් මෙන් නොව, නමුත් අනුගමනය කළ යුතු ආදර්ශයක් සපයන වාර්තාවක් ලෙසටය. යේසුස් ක්‍රිස්තුස්ගේ පෞද්ගලිකත්වය තුළ දිස් වූ ඔහුගේ ආකල්පයන් සහ ගුණාංග සිතට ගැනීමට ඔවුන්ට උපකාර කරන්න. යේසුස්ට තම පියා ගැන හැඟුණු ආකාරය, පරීක්ෂා සහ පීඩා සමඟ කටයුතු කළ අන්දම, දෙවිට යටත් වූ අයුරු සහ විවිධාකාර තත්වයන් යටතේ මනුෂ්‍යයන් සමඟ කටයුතු කළ ආකාරය හොඳින් සලකා බැලීමට ඔවුන්ව උනන්දු කරන්න. යේසුස් තම ජීවිතය කවර ක්‍රියාකාරකමක් වටා කේන්ද්‍රගත කළාද යන්නත් අවධාරණය කරන්න. එසේ කළහොත්, ජීවිතයේ යම් තීරණයක් ගැනීමට සිදු වන විට සහ පීඩාවකට මුහුණ දෙන විට, ‘මෙවැනි තත්වයකදී යේසුස් මොනවා කරයිද? මා ගන්නා ක්‍රියාමාර්ගය තුළින් ඔහු මා වෙනුවෙන් කර ඇති දේ සඳහා නිසි අගයක් පිළිබිඹු වේවිද?’ වැනි ප්‍රශ්න තමාගෙන්ම අසාගැනීමට ශිෂ්‍යයෙකු පෙලඹෙනු ඇත.
සභාව ඉදිරියෙහි කතා කරන විට, ඔබේ සහෝදරයන් තුළ දැනටමත් යේසුස් කෙරෙහි ඇදහිල්ලක් තිබෙන නිසා, ඔහු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම අනවශ්‍ය බව නිගමනය නොකරන්න. යේසුස් කෙරෙහි තිබෙන එම ඇදහිල්ල ඔබ තව තවත් ගොඩනංවනවා නම්, ඔබ පවසන දේ තවත් අර්ථවත් වේ. රැස්වීම් ගැන කතා කරන විට, සභාවේ හිස ලෙස යේසුස්ට හිමි කාර්යභාරයට එය සම්බන්ධ කර දක්වන්න. ක්ෂේත්‍ර සේවය ගැන සාකච්ඡා කරන විට, යේසුස් සිය සේවයේදී විදහාපෙන්වූ ස්වභාවයට අවධානය දෙන්න. දේවසේවය ගැන කතා කරන විට, එය හඳුන්වා දිය යුත්තේ රජු වශයෙන් ක්‍රිස්තුස් නව ලොවේ නොනැසී ජීවත් වීම සඳහා ජනයාව එක්රැස් කිරීමට කරන කාර්යයක් ලෙසය.
යේසුස් පිළිබඳ මූලික සාධක කිහිපයක් ඉගෙනීමට වඩා වැඩි යමක් අවශ්‍ය බව ඉහත සඳහන් කරුණුවලින් පැහැදිලිය. සැබෑ ක්‍රිස්තියානීන් වීමට නම්, ජනයා ඔහු කෙරෙහි ඇදහිල්ල දක්වා ඔහුට සැබවින්ම ප්‍රේම කළ යුතුය. මෙවන් ප්‍රේමයක් පක්ෂපාත කීකරුකමට ප්‍රබල පෙලඹීමක් වනු ඇත. (යොහ. 14:15, 21) එමෙන්ම, අසීරුතාවන් හමුවේ ඇදහිල්ලෙහි ස්ථිරව සිටීමටත්, මුළු ජීවිත කාලය පුරාම ක්‍රිස්තුස්ගේ අඩි පාරෙහි අඛණ්ඩව ගමන් කිරීමටත්, හොඳින් “මුල් ඇද, අත්තිවාරම මත ස්ථිරව පිහිටා” සිටින මේරූ ක්‍රිස්තියානීන් වන බව ඔප්පු කිරීමටත් හැකියාව ජනයාට ඉන් ලැබේ. (එපී. 3:17, NW) මෙවැනි ක්‍රියාමාර්ගයක් යේසුස් ක්‍රිස්තුස්ගේ පියා සහ දෙවි වන යෙහෝවාට ගෞරවය ගෙන දෙයි.
“රාජ්‍යයේ මේ ශුභාරංචිය”
තමා පැමිණ සිටින කාලය හා පවතින ක්‍රමයේ අවසාන කාලපරිච්ඡේදය හා සම්බන්ධ ලකුණ පිළිබඳව තොරතුරු සපයමින් සිටි යේසුස් පුරෝකථනය කළේ මෙසේය. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය.”—මතෙ. 24:14, NW.
ලෝ සුපතළව පතුරුවාහැරිය යුතු මෙම පණිවිඩය කුමක්ද? අප කතා කරන්නේ “ඔබගේ රාජ්‍යය පැමිණේවා” යන්න පවසමින් දෙවිට යාච්ඤා කරන්නට කියා යේසුස් අපට ඉගැන්වූ රාජ්‍යය ගැනය. (මතෙ. 6:10, NW [පැ. අ. 6:9]) එළිදරව් 11:15හි [NW] එය විස්තර කර ඇත්තේ “අපගේ ස්වාමීන්ගේ [යෙහෝවාගේ] සහ ඔහුගේ ක්‍රිස්තුස්ගේ රාජ්‍යය” ලෙසය. ඊට හේතුව පාලන බලය නික්මෙන්නේ යෙහෝවාගෙන් නිසාත්, එම බලය රජු වශයෙන් යේසුස්ට භාර දී ඇති නිසාත්ය. කෙසේවෙතත්, අපගේ කාලයේදී ප්‍රකාශ කරනු ඇති බව යේසුස් පැවසූ පණිවිඩය, මුල් සියවසේදී ඔහුගේ අනුගාමිකයන් විසින් දේශනා කරනු ලැබූ පණිවිඩයට වඩා පුළුල් එකක් වන බව ඔබ දුටුවාද? ඔවුන් ජනයාට පැවසුවේ “දෙවිගේ රාජ්‍යය නුඹලා ළඟට පැමුණුණේය” කියායි. (ලූක් 10:9) එසේ පැවසුවේ අභිෂේක කළ රජු වන යේසුස් එවකට ඔවුන් අතරෙහි සිටි නිසාය. එනමුත් මතෙව් 24:14හි වාර්තා වී ඇති පරිදි, දෙවිගේ අරමුණ ඉටුවීම සම්බන්ධයෙන් ලෝක ව්‍යාප්තව නිවේදනය කරනු ලබන තවත් වැදගත් සිද්ධියක් යේසුස් විසින් පුරෝකථනය කරන ලදි.
මෙම සිද්ධිය පිළිබඳව දර්ශනයක් අනාගතවක්තෘ දානියෙල්ට ලැබිණ. “මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන කෙනෙක්” එනම් යේසුස් ක්‍රිස්තුස් “පුරාතන තැනැත්තා” වන යෙහෝවා දෙවිගෙන් “ආණ්ඩු බලයද ගෞරවයද රාජ්‍යයක්ද” ලැබූ අන්දම ඔහු දුටුවේය. එසේ දෙන ලද්දේ “සියලු ජනයන්ද ජාතීන්ද භාෂාවන්ද ඔහුට සේවය කරන පිණිසය.” (දානි. 7:13, 14) විශ්වනීය වැදගත්කමකින් යුත් එම සිද්ධිය ස්වර්ගයෙහි සිදු වූයේ වර්ෂ 1914දීය. ඉන් අනතුරුව යක්ෂයා සහ ඔහුගේ භූතයන්ව පොළොවට හෙළන ලදි. (එළි. 12:7-10) එම අවස්ථාවේ දැන් පවතින පරණ ක්‍රමය එහි අන්තිම දවස්වලට පා තැබුවේය. එනමුත් එම පරණ ක්‍රමය සහමුලින්ම ඉවත් කර දැමීමට පෙර, යෙහෝවාගේ මෙසියානු රජු සිය ස්වර්ගික සිංහාසනයෙහි සිට පාලනය කරමින් සිටින බවට සමස්ත ලෝක ප්‍රකාශය පතළ කරනු ලැබේ. පොළොවේ සියලුම ජනයාට මේ සම්බන්ධයෙන් දැනුම් දිය යුතුය. ‘මනුෂ්‍යයන්ගේ රාජ්‍යයේ’ පාලකයා ලෙස මහෝත්තමයාණන් ගැන ඔවුන්ට කවර ආකල්පයක් තිබෙනවාද යන්න ඔවුන් දක්වන ප්‍රතිචාරයෙන් පැහැදිලි වේ.—දානි. 4:32.
තවත් බොහෝ දේවල් ඉදිරියෙහි බලාපොරොත්තු වන්නට පුළුවන. අප තවමත් “ඔබගේ රාජ්‍යය පැමිණේවා” කියමින් යාච්ඤා කළද, එසේ පවසන්නේ දේවරාජ්‍යයේ පිහිටුවීම ඉදිරි අනාගතයේදී සිදු වන්නක් යන අදහස ඇතුව නොවේ. අප එසේ යාච්ඤා කරන්නේ දානියෙල් 2:44, 45 සහ එළිදරව් 21:2-4 වැනි අනාවැකි ඉටු කිරීමට එම ස්වර්ගික රාජ්‍යය විසින් ගත යුතු තීරණාත්මක පියවර මනසෙහි පෙරදැරි කරගෙනය. එම රාජ්‍යය, දෙවිටත්, තම අසල්වාසීන්ටත් ප්‍රේම කරන ජනකායකින් පිරුණු පාරාදීසයක් බවට පොළොව පරිවර්තනය කරනු ඇත. මේ අනුව, “රාජ්‍යයේ මේ ශුභාරංචිය” ගැන දේශනා කරද්දී මෙම අනාගත අපේක්ෂාවලට අපි අවධානය යොමු කරන්නෙමු. එනමුත්, යෙහෝවා දැනටමත් තම පුත්‍රයාට පාලන බලය පවරා ඇති බවට කාරණයද දැනුම් දෙන්නෙමු. රාජ්‍යය ගැන සාක්ෂි දරද්දී ඔබ මෙම ශුභාරංචිය අවධාරණය කරමින් සිටිනවාද?
රාජ්‍යය ගැන පහදා දීම. දේවරාජ්‍යය ප්‍රකාශ කිරීමට වූ අපගේ පැවරුම ඉටු කළ හැක්කේ කෙසේද? නොයෙකුත් විෂයන් පදනම් කරගෙන සංවාද ඇරඹීමෙන් අපට උනන්දුවක් ජනිත කළ හැකි වුවත්, අපගේ පණිවිඩය දේවරාජ්‍යය වටා ගෙතී ඇත්තක් බවට ඉක්මනින් පැහැදිලි කළ යුතුය.
මෙම කාර්යයට අයත් අතිවැදගත් අංගයක් වන්නේ රාජ්‍යයට යොමු දක්වන ශුද්ධ ලියවිලි පද කියවීම හෝ ඒවායින් උපුටා දැක්වීමයි. රාජ්‍යය ගැන සඳහන් කරන විට, ඉන් අදහස් වන දේ ඔබ අමතන අය විසින් තේරුම්ගන්නා බවට වගබලා ගන්න. මෙහිදී දේවරාජ්‍යය ආණ්ඩුවක්ය යන්න පැවසීමට වඩා වැඩි විස්තර ලබා දීමට ඔබට සිදු විය හැක. අදෘශ්‍යමාන යමක් ආණ්ඩුවක් ලෙස සැලකීම ඇතැමුන්ට අසීරු දෙයක් වන්නට පුළුවන. එමනිසා, විවිධ ක්‍රම භාවිත කරමින් එම කරුණ තර්කානුකූලව පහදා දිය හැක. නිදසුනකට මෙය සලකා බලන්න. ගුරුත්වය නොපෙනෙන දෙයක් වුවත්, අපගේ ජීවිතවලට බෙහෙවින් බලපායි. ගුරුත්ව නියමය ස්ථාපිත කළ තැනැත්තා අපට නොපෙනුණද, ඔහුට ඉමහත් බලයක් ඇති බවට කිසිදු සැකයක් නැත. බයිබලය ඔහුව හඳුන්වා ඇත්තේ “සදාකාල රජ්ජුරුවන්” ලෙසය. (1 තිමෝ. 1:17) එසේ නැතහොත් විශාල රටක් උදාහරණයකට ගනිමින්, එහි වැසියන් බොහෝදෙනෙකු එම රටෙහි අගනුවර හෝ එහි පාලකයාව පෞද්ගලිකව දැක නැති බව තර්කානුකූලව ගෙනහැර දැක්විය හැක. ඔවුන් අගනුවර හෝ පාලකයා පිළිබඳව තොරතුරු දැනගන්නේ ප්‍රවෘත්ති මාර්ගයෙනි. ඒ හා සමානව, භාෂා 2,200කට වැඩියෙන් ප්‍රකාශිත බයිබලය අපට දේවරාජ්‍යය ගැන තොරතුරු සපයයි. පාලන බලය දී ඇත්තේ කාටද යන්න එහි දක්වා ඇති අතර, එම රාජ්‍යය මගින් සිදු කෙරෙන දේ ගැනද තොරතුරු ලබා දෙයි. වෙනත් කිසිදු සඟරාවකට වඩා වැඩි භාෂා ගණනකින් පළ කරනු ලබන මුරටැඹ සඟරාව ‘යෙහෝවාගේ රාජ්‍යය ප්‍රකාශ කිරීමේ’ කාර්යය සඳහා යොදාගෙන තිබේ. ඒ බව එහි කවරයේ පැහැදිලි අකුරින් සඳහන්ව ඇත.
රාජ්‍යය යනු කුමක්ද යන්න තේරුම්ගැනීමට ජනයාට උපකාර කිරීම සඳහා, සාමාන්‍යයෙන් ආණ්ඩු මගින් ඉටු කරනු ලබනවාට ඔවුන් අපේක්ෂා කරන දේවල් කිහිපයක් සඳහන් කළ හැක. ආර්ථික සුරක්ෂිතභාවය, සාමය, අපරාධවලින් තොර වූ රටක්, සියලුම ජාතීන්ට සමසේ සැලකීම, හොඳ අධ්‍යාපනයක් සහ සෞඛ්‍ය පහසුකම් මේ අතර වේ. මෙවැනි දේවල් සියල්ලද මිනිස්වර්ගයා පතන අන් සියලුම යහපත් දේවල්ද පූර්ණ ලෙස ඉටු කරනු ලබන්නේ දේවරාජ්‍යය මාර්ගයෙන් පමණක් බව පෙන්වා දෙන්න.—ගීතා. 145:16.
යේසුස් ක්‍රිස්තුස් රජුව සිටින රාජ්‍යයේ යටත්වැසියන් වීමේ ආශාවක් ජනයා තුළ පුබුදුවාලීමට උත්සාහ දරන්න. ස්වර්ගික රජු වශයෙන් ඔහු කරනු ඇති දේ සම්බන්ධයෙන් පෙර දැක්මක් ලබා දෙන ඔහු කළ ප්‍රාතිහාර්යන්වලට යොමු දක්වන්න. ඔහුගේ පෞද්ගලිකත්වය තුළ දිස්වූ සිත් ඇදගන්නාසුලු ගුණාංග නිතරම සාකච්ඡාවට ලක් කරන්න. (මතෙ. 8:2, 3; 11:28-30) ඔහු අප වෙනුවෙන් තම ජීවිතය පුද කළ බවත්, ඉන් අනතුරුව දෙවි ඔහුව ස්වර්ගයෙහි අමරණීය ජීවිතයක් භුක්ති විඳීම සඳහා නැඟිටෙවූ බවත් පැහැදිලි කරන්න. එදා සිට ඔහු රජු ලෙස පාලනය කරයි.—ක්‍රියා 2:29-35.
දේවරාජ්‍යය දැන් ස්වර්ගයෙහි පාලනය කරමින් සිටින බව අවධාරණය කරන්න. කෙසේවෙතත්, එවන් පාලනයක් සිදු කෙරෙන බවට සාක්ෂි වශයෙන් බොහෝ මිනිසුන් සාමාන්‍යයෙන් සිතාගෙන සිටින දේවල් දක්නට නොලැබෙන බව තේරුම්ගත යුතුය. මිනිසුන් බොහෝදෙනෙකු මෙවැනි මත දරන බව ඔවුන් ඉදිරියෙහි පිළිගත යුතු අතර, රාජ්‍යය පාලනය කරන බවට සාක්ෂි පිළිබඳව යේසුස් ක්‍රිස්තුස් පැවසූ දේ ඔවුන් දන්නවාද යන්න විමසන්න. මතෙව් 24වන පරිච්ඡේදයේ, මාර්ක් 13වන පරිච්ඡේදයේ හෝ ලූක් 21වන පරිච්ඡේදයේ සඳහන් සංයුක්ත ලකුණ පිළිබඳව අංග ලක්ෂණ කිහිපයක් උලුප්පා දක්වන්න. ක්‍රිස්තුස්ව ස්වර්ගයෙහි සිංහාසනාරූඪ කරන විට, මිහිපිට එවැනි තත්වයන් උද්ගත වූයේ මන්දැයි අසන්න. අනතුරුව එළිදරව් 12:7-10 සහ 12 වෙතට අවධානය යොමු කරන්න.
දේවරාජ්‍යය මගින් සිදු කෙරෙන කාර්යයට දෘශ්‍යමාන සාක්ෂි වශයෙන් මතෙව් 24:14 කියවා, දැන් පොළොව පුරා සිදු කෙරෙන බයිබල් අධ්‍යාපන වැඩසටහන ගැන විස්තරයක් සපයන්න. (යෙසා. 54:13) යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ප්‍රයෝජන ගෙන දෙන පාසැල් ගැනද ජනයාට පවසන්න. බයිබලය මත පදනම් වන මේ සියල්ල නොමිලේ පවත්වනු ලැබේ. ගෙයින් ගෙට අප කරන සේවයට අමතරව, රටවල් 230කටත් වඩා වැඩි සංඛ්‍යාවක පුද්ගලයන්ට සහ පවුල්වලට අප නොමිලේ නිවෙස්වලදීම ඉගැන්වීම් කටයුතු කරන බවද පැහැදිලි කර දෙන්න. මෙතරම් පුළුල් අධ්‍යාපන වැඩසටහනක් එහි යටත්වැසියන් සඳහා පමණක් නොව, ලොව පුරා ජනයා වෙනුවෙන්ද පවත්වාගෙන යා හැක්කේ කවර මිනිස් ආණ්ඩුවටද? රාජ්‍ය ශාලාවට පැමිණෙන්නට කියා ඔවුන්ට ආරාධනා කරන්න. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ එක්රැස්වීම් හා සමුළුවලට ඔවුන්ට ඇරයුම් කරන්න. එවිට එවන් අධ්‍යාපනයක් ජනයාගේ ජීවිතවලට බලපාන්නේ කෙසේදැයි ඔවුන්ගේ ඇස්වලින්ම දැකගැනීමට ඔවුන්ට හැකි වේ.—යෙසා. 2:2-4; 32:1, 17; යොහ. 13:35.
එනමුත්, මේ සියල්ල තම පෞද්ගලික ජීවිතයට බලපාන අන්දම නිවැසියාට තේරුම්ගත හැකි වේද? දේවරාජ්‍යයේ යටත්වැසියන් ලෙස ජීවනය තෝරාගැනීම සඳහා සියල්ලන්ට විවෘත කර ඇති ප්‍රස්තාව ගැන සාකච්ඡා කිරීමට ඔබ පැමිණි බව ඔබට උපායශීලීව පෙන්නුම් කර දිය හැක. මෙම ප්‍රස්තාවෙන් ඔවුන්ට ප්‍රයෝජන ගත හැක්කේ කෙසේද? දෙවි බලාපොරොත්තු වන දේ ඉගෙනගැනීමෙන් සහ දැන් සිටම ඊට එකඟව ජීවත් වීමෙනි.—ද්වි. 30:19, 20; එළි. 22:17.
රාජ්‍යයට මුල් තැන දෙන්නට අන් අයට උපකාර කිරීම. රාජ්‍යය හා සම්බන්ධ පණිවිඩය පිළිගැනීමෙන් පසුව පවා, පුද්ගලයෙකු ගත යුතු තීරණ කිහිපයක් තිබේ. තම පෞද්ගලික ජීවිතයේ ප්‍රමුඛතා නියම කරගැනීමේදී ඔහු දේවරාජ්‍යයට දිය හැක්කේ කවර ස්ථානයද? යේසුස් තම ගෝලයන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ “පළමුකොට රාජ්‍යය . . . නොකඩවා සොයන්න” කියාය. (මතෙ. 6:33, NW) එසේ කිරීමට සෙසු ක්‍රිස්තියානීන්ට උපකාර කළ හැක්කේ කෙසේද? පෞද්ගලිකව හොඳ ආදර්ශයක් තැබීමෙන් හා ඔවුන්හට සේවය කිරීම සඳහා විවෘත වී ඇති ප්‍රස්තාවන් ගැන සාකච්ඡා කිරීමෙනි. සමහරවිට, තමාට ගත හැකි යම්කිසි ක්‍රියාමාර්ගයක් සලකා බැලුවාද යන්න පුද්ගලයෙකුගෙන් ඇසිය හැකි අතර, අන් අය කරමින් සිටින දේ පිළිබඳ අද්දැකීම් බෙදාගැනීමටද පුළුවන. අනික් අතට, යෙහෝවා කෙරෙහි පුද්ගලයෙකුට තිබෙන ප්‍රේමය වඩාත් ගැඹුරු වන ආකාරයකින් බයිබල් වාර්තා සාකච්ඡා කිරීමද උචිතය. මීට අමතරව, රාජ්‍යය යථාර්ථයක් යන කාරණයද අවධාරණය කළ හැකිය. රාජ්‍යය ප්‍රකාශ කිරීමේ වැඩය කොතරම් වැදගත්ද යන්න අවධාරණය කිරීමද කළ හැක්කකි. ඇත්තෙන්ම වැඩිම යහපතක් බොහෝ දුරට සිදු කෙරෙන්නේ කළ යුතු දේ ගැන කීමෙන් නොව, නමුත් එසේ කිරීමට ආශාවක් ජනිත කිරීමෙනි.
අප සියලුදෙනාම ප්‍රකාශ කළ යුතු අතිවැදගත් පණිවිඩය, යෙහෝවා දෙවි, යේසුස් ක්‍රිස්තුස් සහ රාජ්‍යය වෙතට අවධානය යොමු කරන බවට කිසිදු සැකයක් නැත. මේ පිළිබඳ අතිවැදගත් සත්‍යතාවන් අපගේ ප්‍රසිද්ධ සාක්ෂි දැරීමේදී, අපගේ සභාවන්හිදී සහ අපගේ පෞද්ගලික ජීවිතයේදී අවධාරණය කළ යුතු වේ. අප එසේ කරමින් සිටින විට, අපගේ දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් සැබෑවටම ප්‍රයෝජන ලබන බව නිරූපණය කරන්නෙමු.