දෙවෙනි පරිච්ඡේදය
“අවසාන කාලයේ” දෙවිට සේවය කරන අපට වැදගත් තොරතුරු
1, 2. (අ) අනාගතවක්තෘවරයෙකු ලෙස තමා ප්‍රකාශ කළ යුත්තේ කුමනාකාරයේ පණිවිඩද යන්න ගැන යෙරෙමියාට යම් අදහසක් ලබා දුන් දර්ශනය කුමක්ද? (ආ) දෙවි යෙරෙමියා මාර්ගයෙන් පැවසූ අනාවැකි අධ්‍යයනය කිරීම අපට ප්‍රයෝජනවත් වන්නේ ඇයි?
අනාගතවක්තෘවරයෙකු ලෙස අලුතින් පත් කළ යෙරෙමියාගෙන් දෙවි මෙවැනි ප්‍රශ්නයක් ඇසුවා. “ඔබට පෙනෙන්නේ කුමක්ද?” එවිට යෙරෙමියා, “විශාල හැළියක් මට පෙනේ. උතුරු දෙසට නොව දකුණු දෙසට ඇල වී ඇති ඒ හැළියට යටින් ගිනිදලු නඟිනවාත් මට පෙනේ” කියා පිළිතුරු දුන්නා. තමා සෙනඟට දැන්විය යුත්තේ කුමනාකාරයේ පණිවිඩයක්ද යන්න ගැන ඔහු දුටු ඒ දර්ශනයෙන් ඔහුට යම් අදහසක් ලැබෙන්න ඇති. (යෙරෙමියා 1:13-16 කියවන්න.) දකුණු දෙසට ඇල වී තිබූ එම හැළියෙන් ගිනියම් වූ දියරයක් ගලාගෙන එන්නාක් මෙන් දකුණෙහි පිහිටි යූදා දේශය පිටට පීඩාකාරී කාලයක් පැමිණෙන බව එම දර්ශනය මාර්ගයෙන් දෙවි යෙරෙමියාට දැන්වූවා. එම දර්ශනයෙන් තවත් කරුණක් පැහැදිලි වුණා. එනම් යූදා දේශය පිටට පීඩාකාරී කාලයක් ගෙනෙන්නේ උතුරින් පිහිටි බැබිලෝනියෙන් බවයි. යෙරෙමියා අනාගතවක්තෘවරයෙකු ලෙස සේවය කළ කාලයේදීම එම දර්ශනය ඉටු වුණා. විටින් විට බැබිලෝනිවරුන් යූදා දේශය පිටට ප්‍රහාර දියත් කළ ආකාරයත් අවසානයේදී ඔවුන් යෙරුසලම සම්පූර්ණයෙන්ම විනාශ කළ ආකාරයත් ඔහු සියැසින් දුටුවා.
2 දෙවි යෙරෙමියා මාර්ගයෙන් පැවසූ එවැනි අනාවැකි අධ්‍යයනය කිරීම “අවසාන කාලයේ” ජීවත් වන අපට ඉතා ප්‍රයෝජනවත්. මන්ද යූදාහි වැසියන් මෙන් අද දිනත් බොහෝදෙනෙකු තමන් දෙවිට සේවය කරන බව කියා සිටියත් ඔවුන්ටවත් ඔවුන් අදහන ආගම්වලටවත් දෙවිගේ අනුමැතිය නැහැ. (යෙරෙ. 23:20) එදා යෙරෙමියා මෙන් අපත් දෙවිගේ විනිශ්චයන් ඇතුළත් පණිවිඩයක් එවැනි අයට ප්‍රකාශ කරන අතර පසුතැවිලි වන අයට බලාපොරොත්තුවක් ඇති කරන පණිවිඩයක්ද ප්‍රකාශ කරනවා.
3. (අ) යෙරෙමියා පොතේ සඳහන් තොරතුරු පෙළගස්වා තිබෙන්නේ කෙසේද? (ආ) මේ පරිච්ඡේදයෙන් කුමන කාරණා ගැන අවබෝධයක් ලබාගත හැකිද?
3 තමා ජීවත් වූ කාලයේ සිදු වූ දේවල් යෙරෙමියා ඒ අවස්ථාවේදීම වාර්තා කළේ නැහැ. ඒ වෙනුවට අනාගතවක්තෘවරයෙකු ලෙස සේවය කළ අවසන් කාලයේ ඔහු ඒ සියල්ල ලේකම්වරයෙකු ලවා වාර්තා කළා. (යෙරෙ. 25:1-3; 36:1, 4, 32) යෙරෙමියා එම වාර්තාවේ වැඩි කොටසක් එක් එක් විෂයන්ට අනුව පෙළගැස්වූ නිසා එහි සඳහන් දේවල් ඒවා සිදු වූ අනුපිළිවෙළට සඳහන් වී නැහැ. ඒ නිසා දේවල් සිදු වූ අනුපිළිවෙළ ගැන යම් අවබෝධයක් ලබාගැනීමත් යෙරෙමියා හා විලාප ගී යන පොත් දෙක මගින් ආවරණය කරන කාලයේ තිබූ පසුබිම ගැන දැනුවත් වී සිටීමත් වැදගත්. විසිතුන්වෙනි පිටුවේ සඳහන් කාල රේඛාව ඒ සඳහා ඔබට යම් උපකාරයක් සපයාවි. මේ පරිච්ඡේදය මගින් යම් දේවල් සිදු වන අවස්ථාවේ යූදාහි රජුව සිටියේ කවුද යූදා දේශයේ හා ඒ අවට සිදු වෙමින් තිබුණේ මොනවාද යන්න ගැන අවබෝධයක් ලබාගැනීමට හැකි වන නිසා යෙරෙමියා කළ කී දේවල් වඩාත් හොඳින් තේරුම්ගැනීමට ඔබට පුළුවන් වෙයි. එවිට යෙරෙමියා මාර්ගයෙන් දෙවි තම සෙනඟට දැන්වූ පණිවිඩ වඩාත් හොඳින් අධ්‍යයනය කිරීමට ඔබ සූදානම්.
යෙරෙමියා ජීවත් වූ කාලයේ තිබූ පසුබිම
4-6. යෙරෙමියාව අනාගතවක්තෘවරයෙකු ලෙස පත් කිරීමට කලින් දේශයේ තිබූ වාතාවරණය විස්තර කරන්න.
4 යෙරෙමියාට අනාවැකි පැවසීමට සිදු වුණේ නොසන්සුන් වාතාවරණයක් යටතෙයි. ඒ කාලයේ ඇසිරියාව, බැබිලෝනිය හා ඊජිප්තුව අතර ගැටුම් පැවතුණා. යෙරෙමියාව අනාගතවක්තෘවරයෙකු ලෙස පත් කිරීමට අවුරුදු 93කට පමණ පෙර ඊශ්‍රායෙල්හි ගෝත්‍ර දසයෙන් සෑදී තිබූ උතුරු රාජ්‍යය ඇසිරියානුවන් විසින් යටත් කරගත් අතර බොහෝදෙනෙකුව දේශයෙන් පිටුවහල් කළා. නමුත් ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි යූදා රාජ්‍යය වෙනුවෙන් මැදිහත් වී කටයුතු කළ නිසා යෙරුසලමවත් එහි රජකම් කරමින් සිටි දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙකු වූ හෙසකියාවවත් යටත් කරගැනීමට ඇසිරියානුවන්ට හැකි වුණේ නැහැ. දෙවි ආශ්චර්යවත් ලෙස ඇසිරියානු හමුදාවේ 1,85,000දෙනෙකුව මරා දැමුවේ ඒ අවස්ථාවෙයි. (2 රාජා. 19:32-36) හෙසකියා රජුගෙන් පසුව රජකමට පත් වුණේ ඔහුගේ පුතෙකු වූ මනස්සේයි. බොහෝදුරට යෙරෙමියා ඉපදෙන්න ඇත්තේ මනස්සේ රජකම් කළ අවුරුදු 55 ඇතුළතදී විය හැකියි. යූදා රාජ්‍යය ඇසිරියානු පාලනය යටතට පත් වුණේ ඒ කාලයෙයි.—2 ලේක. 33:10, 11.
5 මනස්සේ රජු තම පාලන සමයේදී කළ දේවල් ගැන බොහෝ තොරතුරු යෙරෙමියා ලියූ පළමුවෙනි හා දෙවෙනි රාජාවලිය පොත්වල ඇතුළත් වෙනවා. මනස්සේ තම පියා වන හෙසකියා රජු කඩා දැමූ පූජනීය ස්ථාන නැවත ගොඩනැඟූ අතර බාල් දෙවියාට හා ආකාශ වස්තූන්ට නමස්කාර කිරීම සඳහා පූජාසන ඉදි කළා. දෙවිගේ ගෘහය තුළ පවා ඔහු එවැනි පූජාසන ගොඩනැඟුවා. ඔහු නිර්දෝෂ මිනිසුන් බොහෝදෙනෙකුව මරා දැමුවා. ඔහුගේම පුතාව ගින්නෙන් දවා පූජාවක් ලෙස බොරු දෙවිවරුන්ට ඔප්පු කළා. “ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් බොහොමයක්” කළ නිසා සමාරියට හා ඊශ්‍රායෙල් රාජ්‍යයට සිදු වූ දෙයම යෙරුසලමටත් යූදා රාජ්‍යයටත් සිදු වන බවට දෙවි තීන්දු කළා. (2 රාජා. 21:1-6, 12-16) මනස්සේගෙන් පසුව රජකමට පත් වූ ඔහුගේ පුත් ආමොන්ද තම පියා මෙන් බොරු නමස්කාරයට සම්බන්ධ දේවල නියැලුණා. ආමොන් රජකමට පත් වී අවුරුදු දෙකකට පසුව ඔහුව ඝාතනය කළ අතර ඊළඟට රජු බවට පත් වුණේ අවුරුදු අටක් වයසැති ඔහුගේ පුත් යොෂියායි. එය සිදු වුණේ ක්‍රි.පූ. 659දීයි.
6 අවුරුදු 31ක් පුරා දිව ගිය යොෂියාගේ පාලන සමයේදී බැබිලෝනිය ඇසිරියාවට වඩා බලවත් වෙමින් සිටියා. ඇසිරියාව යටතේ තිබූ තම දේශය නිදහස් කරගැනීමට යොෂියා එම වාතාවරණය ප්‍රයෝජනයට ගත්තා. තම පියාට හා සීයාට වෙනස්ව කටයුතු කළ ඔහු, යෙහෝවා දෙවි යහපත්යයි සැලකූ දේ කළ අතර සැබෑ නමස්කාරය දේශයේ යළි පිහිටුවීම සඳහා ඇපකැප වී වැඩ කළා. (2 රාජා. 21:19–22:2) බොරු නමස්කාරය සඳහා ඉදි කර තිබූ පූජනීය ස්ථාන, කුලුනු හා රූප සියල්ලම ඔහු රජකම් කළ 12වෙනි අවුරුද්දේදී දේශයෙන් ඉවත් කිරීමට පියවර ගත්තා. දෙවිගේ ගෘහය අලුත්වැඩියා කිරීමටද ඔහු නියෝගයක් නිකුත් කළා. (2 ලේකම් 34:1-8 කියවන්න.) යෙරෙමියාට අනාගතවක්තෘවරයෙකු ලෙස සේවය කිරීමේ පැවරුම ලැබුණේ යොෂියාගේ පාලනයේ 13වෙනි අවුරුද්දෙයි. එනම් ක්‍රි.පූ. 647දීයි.
යෙරෙමියා ජීවත් වූ කාලයේ ඔබ අනාගතවක්තෘවරයෙක් ලෙස සේවය කළා නම් ඔබේ පැවරුම ගැන ඔබට කෙසේ හැඟෙයිද?
7, 8. (අ) යොෂියා රජුගේ පාලන සමය මනස්සේ හා ආමොන් යන රජුන්ගේ පාලන සමයට වඩා වෙනස් වුණේ කෙසේද? (ආ) යොෂියා රජ මොන වගේ කෙනෙක්ද? (26වෙනි පිටුවේ සඳහන් කොටුව බලන්න.)
7 යොෂියා රජකම් කළ 18වෙනි අවුරුද්දේ දෙවිගේ ගෘහයේ අලුත්වැඩියා කටයුතු කරමින් සිටියදී “නීතිය සඳහන් ලියවිල්ල” උත්තම පූජකයාට සම්බ වුණා. රජුගේ ලේකම් එම ලියවිල්ල රජුට ඇසෙන සේ කියෙවූ විට තම වැසියන් දෙවිට විරුද්ධව බොහෝ වැරදි කර ඇති බව තේරුම්ගත් රජ, අනාගතවක්තෘවරියක වූ හුල්දා මාර්ගයෙන් දෙවිගේ මඟ පෙන්වීම් පැතූ අතර දෙවිගේ අණපනත්වලට කීකරු වන ලෙසට සෙනඟගෙන් ඉල්ලා සිටියා. හුල්දා මාර්ගයෙන් දෙවි යොෂියා රජුට දැන්වූයේ යූදාහි වැසියන් දෙවිට අවිශ්වාසවන්තව කටයුතු කළ නිසා ඔවුන් පිටට “විනාශයක්” ගෙනෙන බවයි. නමුත් යොෂියා රජු සැබෑ නමස්කාරය වෙනුවෙන් යහපත් දේවල් කළ නිසා ඔහු ජීවත්ව සිටින කාලයේදී එම විනාශය යූදා දේශය පිටට පැමිණෙන්නේ නැති බව දෙවි දැන්වූවා.—2 රාජා. 22:8, 14-20.
8 රූප නමස්කාරයට සම්බන්ධ සෑම දෙයක්ම දේශයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමීමට අදිටන් කරගත් යොෂියා රජ, ඒ සඳහා වැඩපිළිවෙළක් දියත් කළා. කලක් උතුරු රාජ්‍යය යටතේ තිබූ බෙතෙල් වෙතටත් ඔහු ගොස් එහි සාදා තිබූ පූජනීය ස්ථානය හා පූජාසනය කඩා දැමුවා. පාස්කු උත්සවය උත්කර්ෂවත් අයුරින් සැමරීමටත් ඔහු සැලසුම් යෙදුවා. (2 රාජා. 23:4-25) යොෂියා රජු සැබෑ නමස්කාරය වෙනුවෙන් කළ ඒ සෑම දෙයක් ගැනම යෙරෙමියා ඉමහත් සේ සතුටු වන්න ඇති. නමුත් බොරු නමස්කාරයට ඇලීගැලී සිටි යූදාහි වැසියන්ගේ සිත් වෙනස් කිරීම එතරම් ලෙහෙසි දෙයක් වුණේ නැහැ. දෙවි යෙරෙමියා මාර්ගයෙන් පැවසුවේ, “යෙරුසලමේ තිබෙන වීථි ප්‍රමාණයටම පිළිකුල්සහගත බාල් දෙවියාට සුවඳ දුම් ඔප්පු කිරීම සඳහා තැනූ පූජාසන ඇත” කියායි. යූදාහි වැසියන් යෙහෝවා දෙවිව අත්හැර වෙනත් දෙවිවරුන්ට නමස්කාර කළ නිසා ඔවුන් කටයුතු කරමින් සිටියේ අනාචාරයේ යෙදෙමින් තම ස්වාමිපුරුෂයාට ද්‍රෝහි වන භාර්යාවක් ලෙසයි.—යෙරෙමියා 11:1-3, 13 කියවන්න.
9. යොෂියා රජුගේ මරණයට මඟ පෑදූ සිද්ධීන් විස්තර කරන්න.
9 යූදා දේශයේ එවැනි වාතාවරණයක් පවතින විට අවට සිටි බලවත් ජාතීන් යූදා දේශය ඇතුළුව එම පළාත තම අණසක යටතට ගැනීම සඳහා එකිනෙකාට විරුද්ධව සටන් කරමින් සිටියා. ක්‍රිස්තු පූර්ව 632දී බැබිලෝනිවරුන් හා මේදියවරුන් එක්ව ඇසිරියාවේ අගනුවර වූ නිනිවය අල්ලාගත්තා. පරාජයට පත් වෙමින් සිටි ඇසිරියානුවන්ට උපකාර කිරීම සඳහා ඉන් අවුරුදු තුනකට පසු ඊජිප්තුවේ පාලකයා වූ නෙකෝ නමින් හැඳින්වූ පාරාවෝ තම හමුදාව සමඟ ඒ දෙසට ගමන් කළා. යොෂියා රජ ඔවුන්ගේ ගමනට හරස් වෙමින් මෙගිද්දෝ තැනිතලාවේදී ඔවුන්ට විරුද්ධව සටන් කළා. ඔහුට වුවමනා වුණේ ඔවුන්ව ඊජිප්තුවට හරවා යැවීමටයි. යොෂියා රජු එලෙස කටයුතු කිරීමට හේතුව ගැන බයිබලයේ සඳහන් වන්නේ නැහැ. කෙසේවෙතත් ඒ සටනේදී යොෂියා රජ මරණයට පත් වුණා. (2 ලේක. 35:20-24) යූදාහි පැවති දේශපාලනික හා ආගමික වාතාවරණය යොෂියා රජුගේ මරණයත් සමඟ කෙසේ වෙනස් වෙයිද? ඒ වෙනසත් සමඟ යෙරෙමියාට කුමන අභියෝගවලට මුහුණ දීමට සිදු වෙයිද?
යූදා දේශයේ වාතාවරණය වෙනස් අතකට
10. (අ) යොෂියා රජුගේ මරණයත් සමඟම යූදාහි ඇති වූ වාතාවරණය අපේ කාලයට සමාන වන්නේ කෙසේද? (ආ) යෙරෙමියාගේ ආදර්ශය සලකා බැලීම ඔබට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?
10 යොෂියා රජුගේ මරණය ගැන ආරංචි වූ විට යෙරෙමියා මොන තරම් දුකට පත් වන්න ඇද්ද! වාර්තාවේ පවසන්නේ ඔහු රජු වෙනුවෙන් විලාප ගී ගැයූ බවයි. (2 ලේක. 35:25) ඇත්තෙන්ම කනස්සලු වීමට හොඳ හේතු තිබුණා. බලය තහවුරු කරගැනීම සඳහා ඊජිප්තුව, ඇසිරියාව හා බැබිලෝනිය එකිනෙකාට විරුද්ධව සටන් කරමින් සිටි නිසා ඒ කාලය වන විට යූදාහි වැසියන් දේශපාලනික අරගලයකට මැදි වී සිටියා. යොෂියා රජුගේ මරණයත් සමඟම එහි පැවති ආගමික වාතාවරණයද වෙනස් මුහුණුවරක් ගත්තා. යෙරෙමියාට තවදුරටත් තම සේවය නිදහසේ කරගෙන යෑමට නොහැකි වාතාවරණයක් උදා වුණා. මෑත කාලවලදීත් ඒ හා සමාන දේවල් සිදු වී තිබෙනවා. කාලයක් නමස්කාරය හා සම්බන්ධ කටයුතුවල නිදහසේ නියැලුණු අපේ සහෝදර සහෝදරියන් බොහෝදෙනෙකුට දැන් ඒ දේවල නියැලීමට සිදු වී තිබෙන්නේ තහංචි හෝ පීඩා මැදයි. අපෙන් සමහරදෙනෙක් දැනට යම් නිදහසක් භුක්ති විඳිනවා විය හැකියි. නමුත් ඉදිරියේදී කුමක් සිදු වෙයිද කියා කිව නොහැකියි. එවැනි වෙනසක් සිදු වුණොත් එය අපට කෙසේ බලපායිද? දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමට නම් අප කළ යුත්තේ මොනවාද? අභියෝග මැද පවා දිගටම දෙවිට විශ්වාසවන්තව සිටි යෙරෙමියාගේ ආදර්ශය අපට මහත් දිරිගැන්වීමක්.
11. යොෂියා රජුගේ මරණයෙන් පසු යූදාහි සිදු වූ වෙනස්කම් මොනවාද?
11 යොෂියා රජුගේ මරණයෙන් පසු ඔහුගේ පුත් යෙහෝයහාෂ්ව යූදාහි රජු ලෙස පත් කළා. ෂල්ලුම් ලෙසත් හැඳින්වූ ඔහුට, පාලනය කිරීමට හැකි වුණේ මාස තුනක් වැනි කෙටි කාලයක් පමණයි. මන්ද නෙකෝ නම් පාරාවෝ බැබිලෝනිය සමඟ සටන් වැද නැවත තම දේශය වෙතට යන අතරමඟදී යෙරුසලමට පැමිණ යෙහෝයහාෂ් රජුව රජකමෙන් පහ කර යොෂියාගේ තවත් පුතෙකු වූ යෙහෝයාකිම්ව රජකමට පත් කළා. රජකමෙන් පහ කළ යෙහෝයහාෂ්ව පාරාවෝ ඊජිප්තුවට රැගෙන ගියා. යෙරෙමියා ඔහු ගැන අනාවැකි පැවසුවේ ඔහුට, “කවදාවත් නැවත මේ දේශයට පැමිණීමට අවස්ථාවක් නොලැබෙන්නේය” කියායි. (යෙරෙ. 22:10-12; 2 ලේක. 36:1-4) රජකමට පත් වූ යෙහෝයාකිම් ඔහුගේ පියා වූ යොෂියාගේ ආදර්ශය අනුගමනය කරනවා වෙනුවට බොරු දෙවිවරුන්ට නමස්කාර කිරීමට පටන්ගත්තා.—2 රාජාවලිය 23:36, 37 කියවන්න.
12, 13. (අ) යෙහෝයාකිම් රජකමට පත් වූ විට යූදාහි තිබූ ආගමික වාතාවරණය විස්තර කරන්න. (ආ) යෙරෙමියා පැවසූ පණිවිඩයට යුදෙව් පූජකයන් ප්‍රතිචාර දැක්වූයේ කෙසේද?
12 යෙහෝයාකිම් රජුගේ පාලන සමයේ මුල් කාලයේදී යෙහෝවා දෙවිගෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබුණා. දෙවිගේ ගෘහය යෙරුසලමේ පිහිටි නිසා තමන්ට දෙවිගේ ආරක්ෂාව තිබෙනවා කියා යූදාහි වැසියන් සිතුවා. නමුත් දෙවි පැවසුවේ ඔවුන් දිගටම ‘සොරකම් කරමින්, මිනී මරමින්, අනාචාරයේ යෙදෙමින්, දිවුරුම් දී බොරු පවසමින්, බාල්ට හා වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කරමින්’ සිටියොත් දෙවි තම ගෘහය අත්හරින බවයි. ෂීලෝහි තිබූ ශුද්ධ කූඩාරම උත්තම පූජක ඒලී ජීවත් වූ කාලයේදී දෙවි අත්හැරිය ලෙසම යෙරුසලමේ පිහිටි තම ගෘහයත් සෙනඟවත් අනිවාර්යයෙන්ම අත්හරින බව පැවසූ දෙවි, යූදා දේශය “මුළුමනින්ම පාළු තැනක් බවට පත් වනු ඇත” කියාත් යෙරෙමියාට දැන්වූවා. දෙවි දැන්වූ ඒ සියල්ල දෙවිගේ ගෘහයට ගොස් සියලුදෙනා ඉදිරියේ ප්‍රකාශ කරන්න කියාත් දෙවි ඔහුට පැවසුවා. (යෙරෙ. 7:1-15, 34; 26:1-6)a ධනවත්, බලපුළුවන්කාර මිනිසුන් ඉදිරියේ එවැනි පණිවිඩයක් ප්‍රකාශ කරන්න යෙරෙමියාට මොන තරම් නිර්භීතකමක් අවශ්‍ය වන්න ඇද්ද! අද දිනත් සමහර සහෝදර සහෝදරියන්ට වීථි සේවයේ හවුල් වීම, ධනවත් හෝ ප්‍රසිද්ධ පුද්ගලයන්ට සාක්ෂි දැරීම පහසු දෙයක් නොවෙයි. ඒ සඳහා ඔවුන්ට මහත් වීර්යයක් දැරීමට සිදු වෙනවා. කෙසේවෙතත් එදා යෙරෙමියාට මෙන් යෙහෝවා දෙවි අද අපටත් අවශ්‍ය උපකාර ලබා දෙන බව නිසැකයි.—හෙබ්‍රෙ. 10:39; 13:6.
13 දෙවිගේ ගෘහයට ගොස් යෙරෙමියා ප්‍රකාශ කළ එම ප්‍රබල පණිවිඩයට පූජකයන් කෙසේ ප්‍රතිචාර දක්වන්න ඇද්ද? ඒ ගැන යෙරෙමියාම මෙසේ සඳහන් කර තිබෙනවා. “පූජකයෝද අනාගතවක්තෘවරුද සෙනඟද [මාව] අල්ලාගෙන [මට] මෙසේ කීවෝය. ‘ඔබට අනිවාර්යයෙන්ම මැරුම් කන්න සිදු වෙනවා.’” මහත් සේ කෝපයට පත් වූ ඔවුන්, “ඔහු පැවසූ ඒ දේවල් නිසා ඔහුට මරණ දණ්ඩනය හිමි විය යුතුයි” කියා තීරණය කළා. (යෙරෙමියා 26:8-11 කියවන්න.) තමාට විරුද්ධව නැඟී සිටි අය ගණනින් වැඩි බව පෙනෙන්න තිබුණු නිසාවත් ඔවුන් බලවත් බව පෙනෙන්න තිබුණු නිසාවත් යෙරෙමියා බියට පත් වුණේ නැහැ. ඇත්තටම විරුද්ධවාදීන්ගේ උත්සාහය අසාර්ථක වුණා. මන්ද යෙහෝවා දෙවි යෙරෙමියාගේ ආරක්ෂාවට සිටියා. විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට සිදු වන විට අපටත් තිබිය යුත්තේ යෙරෙමියාට තිබුණා හා සමාන ආකල්පයක් නොවේද?
මනස්සේගේ, ආමොන්ගේ හා යොෂියාගේ පාලන සමය තුළ ඔබ දුටු වෙනස්කම් මොනවාද? යෙරෙමියා අභියෝග මැද තම පැවරුම ඉටු කළ ආකාරයෙන් ඔබට ඉගෙනගත හැක්කේ මොනවාද?
‘මා ප්‍රකාශ කළ සියලු දේ ලියන්න’
14, 15. (අ) යෙහෝයාකිම් රජකම් කළ හතරවෙනි අවුරුද්දේදී යෙරෙමියා හා බාරුක් ආරම්භ කළ කාර්යය කුමක්ද? (ආ) යෙහෝයාකිම් රජ මොන වගේ කෙනෙක්ද? (33වෙනි පිටුවේ සඳහන් කොටුව බලන්න.)
14 යෙහෝයාකිම් රජකම් කළ හතරවෙනි අවුරුද්දේදී තමන් ඒ වන තෙක් පැවසූ සියල්ල ලියා තබන්න කියා යෙහෝවා දෙවි යෙරෙමියාට පැවසුවා. ඒ අනුව යොෂියා රජුගේ කාලයේ සිට අවුරුදු 23ක් පුරා දෙවි තමන්ට පැවසූ සියල්ල යෙරෙමියා තම ලේකම් වූ බාරුක් ලවා ලියවිල්ලක සටහන් කළා. එම ලියවිල්ලට රජවරුන් හා රාජ්‍යයන් 20කට විරුද්ධව දෙවි ප්‍රකාශ කළ විනිශ්චයන්ද ඇතුළත් වුණා. එය ලියා අවසන් කළ පසු දෙවිගේ ගෘහයට ගොස් එහි සඳහන් දේවල් සියල්ලන්ට ඇසෙන සේ කියවන්න කියා යෙරෙමියා බාරුක්ට පැවසුවා. මන්ද දෙවි යෙරෙමියාට මෙසේ පවසා තිබුණා. “මම ඔවුන් පිටට ගෙනෙන්න අදහස් කළ විපත්ති ගැන යූදාහි වැසියන් අසා, තමන් ගිය වැරදි මාර්ගයෙන් ඉවත් වීමට ඉඩ තිබේ. එවිට මම ඔවුන් කළ වැරදිවලටත් ඔවුන්ගේ පව්වලටත් සමාව දෙන්නෙමි.”—යෙරෙ. 25:1-3; 36:1-3.
15 පසු අවස්ථාවක රජමාලිගාවේ සේවය කළ නිලධාරියෙක් යෙහෝයාකිම් රජුට ඇසෙන සේ එම ලියවිල්ල කියෙවූ විට රජු එය ඉරා ගින්නට වීසි කළා. යෙරෙමියාව හා බාරුක්ව තමා ඉදිරියට ගෙනෙන ලෙසත් ඔහු නියෝග කළා. නමුත් ‘යෙහෝවා දෙවි ඔවුන් දෙදෙනාව සඟවා තැබුවා.’ (යෙරෙමියා 36:21-26 කියවන්න.) රජු දිගින් දිගටම දෙවිට පිටුපා කටයුතු කළ නිසා ඔහුට ලැබෙන දඬුවම ගැන දෙවි යෙරෙමියා මාර්ගයෙන් මෙසේ ප්‍රකාශ කළා. “මිය ගිය බූරුවෙකුව යෙරුසලමේ දොරටුවලින් පිටතට ඇදගෙන ගොස් වීසි කර දමන්නාක් මෙන් ඔහුගේ මළ කඳත් වීසි කර දමනු ඇත.” (යෙරෙ. 22:13-19) යෙරෙමියා මාර්ගයෙන් දෙවි පැවසූ එම අනාවැකිය ගණන් නොගෙන සිටීම ඥානවන්ත දෙයක් කියා ඔබ සිතනවාද?
16. යෙරෙමියා ප්‍රකාශ කළ පණිවිඩයට ඇතුළත් වුණේ මොනවාද?
16 යෙරෙමියා එවැනි විනිශ්චයන් ප්‍රකාශ කළ නිසාම ඔහු අශුභ පණිවිඩ පමණක් ප්‍රකාශ කළ අනාගතවක්තෘවරයෙක් කියා පැවසිය නොහැකියි. ඔහු බලාපොරොත්තුවක් ගෙන දෙන පණිවිඩයක්ද ප්‍රකාශ කළා. දෙවි සෙනඟ අතරින් යම් කොටසක්ව සතුරන්ගේ අතින් බේරාගෙන ඔවුන්ව නැවත ඊශ්‍රායෙල් දේශයට ගෙනෙන බවත් ඔවුන් එහි සුරක්ෂිතව වාසය කරන බවත් ඔහු ප්‍රකාශ කළා. දෙවි තම සෙනඟ සමඟ “සදහටම පවතින ගිවිසුමක්” ඇති කරගෙන දෙවිගේ නීති ඔවුන්ගේ හදවත්වල ලියන බවත් ඔවුන්ගේ වැරදිවලට සමාව දී ඒවා නැවත කිසිදාක සිහි නොකරන බවත් එම පණිවිඩයට ඇතුළත් වුණා. දාවිත්ගේ පෙළපතින් පැමිණෙන කෙනෙක්, “යුක්තිය ඉටු කරමින් ධර්මිෂ්ඨකමින් දේශය පාලනය කරනු ඇත” කියාත් යෙරෙමියා පැවසුවා. (යෙරෙ. 31:7-9; 32:37-41; 33:15) යෙරෙමියා පැවසූ එම අනාවැකි ඊට දශක ගණනාවකින් හා ශතවර්ෂ ගණනාවකින් ඉටු වීමට නියමිතව තිබුණා. එම අනාවැකිවල ඉටු වීම අද අපි යම් දුරකට අද්දකින අතර ඒවාහි සම්පූර්ණ ඉටු වීම නුදුරු අනාගතයේදී අද්දැකිය හැකියි.—යෙරෙමියා 31:31, 33, 34; හෙබ්‍රෙව් 8:7-9; 10:14-18 කියවන්න.
බැබිලෝනිය හිස ඔසවයි
17, 18. යෙහෝයාකිම් රජුගේ පාලනයේ අවසන් කාලයේදී හා ශෙදකියා රජුගේ පාලන කාලයේදී සිදු වූ දේවල් විස්තර කරන්න.
17 ක්‍රිස්තු පූර්ව 625දී යෙරුසලමේ සිට කිලෝමීටර් 600ක් උතුරින් පිහිටි යුප්‍රටීස් ගඟ අසල කර්කෙමිෂ් නම් ස්ථානයේ බැබිලෝනිවරුන් හා ඊජිප්තුවරුන් අතර තීරණාත්මක සටනක් ඇති වුණා. එම සටනේදී බැබිලෝනියේ රජ වූ නෙබුකද්නෙෂර්, නෙකෝ නම් පාරාවෝ හා ඔහුගේ හමුදාව අන්ත පරාජයකට පත් කරමින් ඊජිප්තු බලය බිඳ දැමුවා. (යෙරෙ. 46:2) එහි ප්‍රතිඵලයක් ලෙස ඊජිප්තුවරුන් යටතේ තිබූ යූදා දේශය ඇතුළු ඒ අවට ප්‍රදේශ බැබිලෝනිවරුන් අතට පත් වුණා. යූදාහි රජුව සිටි යෙහෝයාකිම්ටද නෙබුකද්නෙෂර් රජුට යටත් වීමට සිදු වුණා. බැබිලෝනිවරුන්ට යටත්ව අවුරුදු තුනක් පාලනය කළ පසු ඔහු ඔවුන්ට විරුද්ධව කැරලිගැසුවා. (2 රාජා. 24:1, 2) ඒ නිසා ක්‍රි.පූ. 618දී නෙබුකද්නෙෂර් රජ ඔහුගේ හමුදාව සමඟ පැමිණ යෙරුසලම වැටලුවා. ඒ අවස්ථාවේ යෙරුසලම තුළ ඉතා කලබලකාරී වාතාවරණයක් තිබෙන්න ඇති. එය යෙරෙමියාටත් බලපෑ බවට කිසිම සැකයක් නැහැ. යෙහෝයාකිම් රජු මිය යන්න ඇත්තේ යෙරුසලම එලෙස වටලා සිටි කාලයේදී විය හැකියි.b ඉන්පසුව රජකමට පත් වුණේ ඔහුගේ පුත් යෙහෝයාකින්. ඔහු යූදාහි පාලනය භාරගෙන මාස තුනකට පසු බැබිලෝනිවරුන්ට යටත් වුණා. පසුව නෙබුකද්නෙෂර් රජ යෙරුසලමට පැමිණ යෙහෝයාකින්වත් ඔහුගේ පවුලේ අයවත් යූදාහි වංශවත් පවුල්වලට අයත් අයවත් යුධ දක්ෂයන්වත් සියලුම ශිල්ප ශාස්ත්රයන්ට දක්ෂ අයවත් බැබිලෝනියට රැගෙන ගියා. එසේ රැගෙන ගිය අය අතර දානියෙල්, හනනියා, මිෂායෙල් හා අෂරියාද සිටියා.—2 රාජා. 24:10-16; දානි. 1:1-7.
18 නෙබුකද්නෙෂර් රජ යොෂියාගේ තවත් පුතෙකු වූ ශෙදකියාව යූදාහි රජු ලෙස පත් කළා. පොළොව මත රජකම් කරන දාවිත්ගේ පෙළපතින් පැමිණි අවසන් රජු ඔහුයි. ක්‍රිස්තු පූර්ව 607දී යෙරුසලම හා දෙවිගේ ගෘහය විනාශ වීමත් සමඟම ඔහුගේ පාලනයද නිමා වුණා. (2 රාජා. 24:17) අවුරුදු 11ක් පුරා දිව ගිය ඔහුගේ පාලන කාලයේදී ප්‍රශ්න ගැටලුවලින් පිරුණු නොසන්සුන් වාතාවරණයක් යූදාහි පැවතුණා. එවැනි කාලයක වුණත් තම පැවරුම විශ්වාසවන්තව ඉටු කිරීමට යෙරෙමියාට දෙවි කෙරෙහි මොන තරම් විශ්වාසයක් තිබෙන්න ඇද්ද!
19. යෙරෙමියා ප්‍රකාශ කළ පණිවිඩයට යූදාහි වැසියන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? ඒ ගැන සලකා බැලීම වැදගත් වන්නේ ඇයි?
19 යොෂියා රජුගේ කාලයේ සිට ඇති වූ දේශපාලනික ආරවුල් හා දෙවිගේ සෙනඟ සැබෑ නමස්කාරය අත්හැර බොරු නමස්කාරය වෙතට ඇදී ගිය ආකාරය යෙරෙමියා දුටුවා. නමුත් ඔහු ඒ ගැන පුදුම වුණේ නැහැ. සෑම දෙයක්ම නරක අතට හැරෙන බව ඔහු කලින්ම දැන සිටියා. ඔහු උපන් ගමේ සිටි වැසියන් ඔහුට මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවිගේ නාමයෙන් අනාවැකි කියන්න එපා. එසේ කළොත් ඔබට අපේ අතින් මැරුම් කන්න සිදු වෙනවා.” (යෙරෙ. 11:21) ඔහු පැවසූ අනාවැකි ඉටු වූ විටත් යූදාහි වැසියන් පැවසුවේ, “ඔබ යෙහෝවා දෙවිගේ නාමයෙන් අපට පැවසූ දේවලට අපි කීකරු වෙන්නේ නැහැ” කියායි. (යෙරෙ. 44:16) නමුත් ඔවුන්ගේ ජීවිත තිබුණේ අනතුරෙයි. ඒ නිසා යෙරෙමියා අත් නෑර දෙවි ලබා දුන් අනතුරු ඇඟවීම් ඔවුන්ට ප්‍රකාශ කළා. අද දිනත් බොහෝ මිනිසුන්ගේ ජීවිත තිබෙන්නේ අනතුරෙයි. යෙරෙමියා මෙන් අපත් ඔවුන්ට ප්‍රකාශ කරන්නේ යෙහෝවා දෙවි දුන් පණිවිඩයක්. ඒ නිසා යෙරුසලමේ විනාශය ළංව තිබූ ඒ කාලයේ දෙවි යෙරෙමියාව ආරක්ෂා කළ ආකාරය සලකා බැලීම උද්යෝගයෙන් දේවසේවයේ හවුල් වීමට අප තුළ මහත් පෙලඹීමක් ඇති කරයි.
යෙහෝයාකිම්ගේ කාලයේ පැවති වාතාවරණය යටතේ විඳදරාගෙන සේවය කළ යෙරෙමියාගෙන් අපට ඉගෙනගත හැක්කේ මොනවාද? අපේ කාලයට අදාළව යෙරෙමියා පැවසුවේ මොනවාද?
රාජකීය පෙළපතක අවසානය
20. ශෙදකියා රජකම් කළ කාලයේ තම පැවරුම ඉටු කිරීම යෙරෙමියාට අපහසු වන්න ඇත්තේ ඇයි? (37වෙනි පිටුවේ සඳහන් කොටුව බලන්න.)
20 අනාගතවක්තෘවරයෙක් ලෙස සේවය කිරීම යෙරෙමියාට අපහසුම වන්න ඇත්තේ ශෙදකියා රජකම් කළ කාලයෙයි. කලින් සිටි රජවරුන් මෙන් ශෙදකියා රජුත් දිගටම කළේ, ‘යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවලුයි.’ (යෙරෙ. 52:1, 2) නෙබුකද්නෙෂර් රජ යෙහෝවා දෙවිගේ නාමයෙන් ශෙදකියා රජුගෙන් දිවුරුමක් ගෙන තිබුණා. එම දිවුරුමට අනුව බැබිලෝනිවරුන්ට යටත්ව සිටීමට ඔහු බැඳී සිටියා. නමුත් කාලයක් ගිය පසු ඔහු බැබිලෝනිවරුන්ට විරුද්ධව කැරලිගැසුවා. යූදාහි වැසියන් දියත් කළ එම කැරැල්ලට සම්බන්ධ වන්න කියා යෙරෙමියාගේ සතුරෝ යෙරෙමියාටත් දැඩි ලෙස බලපෑම් කළා.—2 ලේක. 36:13; එස. 17:12, 13.
21-23. (අ) ශෙදකියා රජුගේ කාලයේදී බැබිලෝනිවරුන් සම්බන්ධයෙන් යූදාහි වැසියන් දැරූ අදහස් මොනවාද? (ආ) ඒ කාලයේදී යෙරෙමියා දැන්වූ පණිවිඩයට ලැබුණු ප්‍රතිචාර මොනවාද? ඔහුගේ අද්දැකීම සලකා බැලීම වැදගත් වන්නේ ඇයි?
21 ශෙදකියාගේ පාලන සමයේ මුල් කාලයේදී ඒදොම්හි, මෝවබ්හි, තීර්හි, සීදොන්හි හා අම්මොන්වරුන්ගේ රජවරුන් වෙතින් යෙරුසලමට පණිවිඩකරුවන් පැමිණියා. ඔවුන් එසේ පැමිණෙන්න ඇත්තේ නෙබුකද්නෙෂර් රජුට විරුද්ධව නැඟී සිටීමට ශෙදකියා රජුටත් ඔවුන් හා එක් වන්න කියා ආරාධනා කිරීමටයි. නමුත් දිගටම බැබිලෝනිවරුන්ට යටත්ව සිටින්න කියා යෙරෙමියා රජුගෙන් ඉල්ලා සිටියා. විවිධ ජාතීන්ව නියෝජනය කරමින් පැමිණි එම පණිවිඩකරුවන්ට වියගස් හා ඊට අවශ්‍ය පටි ලබා දෙමින් යෙරෙමියා ඔවුන්ටත් පවසා සිටියේ බැබිලෝනියේ රජුගේ වියගහට යටත් වන්න කියායි. (යෙරෙ. 27:1-3, 14)c යෙරෙමියා එවැනි දෙයක් පැවසීම ගැන සෙනඟ එතරම් සතුටු වුණේ නැහැ. යෙරෙමියාගේ කාර්යය තවත් අමාරු කරමින් බොරු අනාගතවක්තෘවරයෙකු වූ හනනියා පැවසුවේ බැබිලෝනියේ රජු යූදාහි වැසියන් මත තැබූ වියගහ දෙවි කඩා දමන බවයි. ඒ පණිවිඩය තමන්ට දෙවිගෙන් ලැබුණා කියා හනනියා බොරු කී නිසා අවුරුද්දක් ඇතුළතදී ඔහු මිය යන බව දෙවි යෙරෙමියා මාර්ගයෙන් පැවසුවා. දෙවි පැවසූ ලෙසම ඔහු මිය ගියා.—යෙරෙ. 28:1-3, 16, 17.
22 යූදාහි වැසියන්ගෙන් සමහරදෙනෙක් බැබිලෝනිවරුන්ට යටත්ව සිටීමට කැමති වූ අතර තවත් සමහරදෙනෙක් බැබිලෝනිවරුන්ට විරුද්ධව කැරලිගැසිය යුතුයි කියා පවසා සිටියා. ක්‍රිස්තු පූර්ව 609දී බැබිලෝනිවරුන්ට විරුද්ධව කැරලිගැසූ ශෙදකියා රජ, ඒ සඳහා ඊජිප්තු හමුදාවේ උපකාරය පැතුවා. ජාතිවාදී හැඟීම් උත්සන්නව තිබූ එවැනි කාලයක අත් නෑර දෙවිගේ පණිවිඩය ප්‍රකාශ කිරීමට යෙරෙමියාට මොන තරම් නිර්භීතකමක් අවශ්‍ය වන්න ඇද්ද! (යෙරෙ. 52:3; එස. 17:15) නෙබුකද්නෙෂර් රජු හා ඔහුගේ හමුදාව යූදාහි ඇති වූ එම කැරැල්ල මැඩපැවැත්වීම සඳහා පැමිණ, යූදාහි නුවරවල් සියල්ල යටත් කරගත් අතර එහි අගනුවර වූ යෙරුසලම නැවත වැටලුවා. එම අවස්ථාවේදී යෙරෙමියා ශෙදකියා රජුට දැන්වූයේ යෙරුසලම අනිවාර්යයෙන්ම බැබිලෝනිවරුන් අතට පත් වන අතර නුවරෙහි රැඳී සිටින අය මැරුම් කන බවයි. නමුත් නුවරෙන් පිට වී බැබිලෝනිවරුන්ට කැමැත්තෙන්ම යටත් වන අයගේ දිවි රැකෙන බව ඔහු රජුට දැන්වූවා.—යෙරෙමියා 21:8-10; 52:4 කියවන්න.
23 ඔහු පැවසූ එම පණිවිඩය නිසා ඔහු දේශද්‍රෝහියෙක් කියා යූදාහි අධිපතීන් ඔහුට චෝදනා කළා. එය වැරදි වැටහීමක් බව ඔහු පැවසූ විට ඔවුන් ඔහුට පහර දී ඔහුව සිරගත කළා. (යෙරෙ. 37:13-15) ඔහුව සිරගත කර තැබුවත් තමන්ට දෙවිගෙන් ලැබුණු පණිවිඩය ඔහු කිසිවිටක බාල කළේ නැහැ. ඒ නිසා යෙරෙමියාව මරා දැමීමට රජුව කැමති කරවාගත් අධිපතීන්, ඔහුව ගෙන ගොස් මඩින් පිරී තිබූ ළිඳකට දැමුවා. සමහරවිට මඩේ එරී යෙරෙමියා මිය යන්න ඉඩ තිබුණා. නමුත් රජමාලිගාවේ සේවය කළ ඉතියෝපිය ජාතික නිලධාරියෙකු වූ ඒබෙද්-මෙලෙක් ඔහුව ළිඳෙන් එළියට ගත් නිසා ඔහුගේ දිවි රැකුණා. (යෙරෙ. 38:4-13) අද දින දෙවිගේ සේවකයන්ද දේශපාලන අරගලවලදී පැති නොගන්නා නිසා ඔවුන්ගේ ජීවිත බොහෝ අවස්ථාවලදී අනතුරේ වැටී තිබෙනවා. යෙරෙමියාගේ අද්දැකීම සලකා බැලීම එවැනි පීඩාවන්ට මුහුණ දීමට අපට මහත් ශක්තියක්.
24. ක්‍රිස්තු පූර්ව 607දී සිදු වූ දේවල් විස්තර කරන්න.
24 යෙරෙමියා පැවසූ ලෙස ක්‍රි.පූ. 607දී බැබිලෝනිවරුන් යෙරුසලමේ පවුර බිඳ දමා නගරයට ඇතුල් වී යෙරුසලම යටත් කරගත්තා. ඔවුන් දෙවිගේ ගෘහය ගින්නෙන් දවා නගරයේ පවුර සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැමූ අතර යූදාහි සිටි වංශවත් අයව මරා දැමුවා. ඒ අවස්ථාවේදී ශෙදකියා රජු පලා යෑමට තැත් කළත් බැබිලෝනිය හමුදාව ඔහුව අල්ලාගෙන නෙබුකද්නෙෂර් රජු ඉදිරියට ගෙන ගියා. ශෙදකියා රජු බලා සිටියදීම ඔහුගේ පුතුන්ව මරා දැමූ පසු ඔහුගේ ඇස් අන්ධ කර ඔහුට විලංගු දමා බැබිලෝනියට රැගෙන ගියා. (යෙරෙ. 39:1-7) දෙවි තමා මාර්ගයෙන් පැවසූ දේවල් එලෙස ඉටු වීම ගැන යෙරෙමියා සතුටු වුණාද? කොහෙත්ම නැහැ. තම සෙනඟ අද්දුටු මහත් විපත දැක යෙරෙමියා බොහෝ සෙයින් කනගාටු වුණා. විලාප ගී පොත කියවන විට ඔහුට දැනුණු වේදනාව මොන තරම්ද කියා අපට පැහැදිලි වෙනවා.
විනාශයෙන් පසු යෙරුසලමේ ඉතුරුවූවන්
25, 26. (අ) යෙරුසලමේ විනාශයෙන් පසුව සිදු වුණේ මොනවාද? (ආ) යෙරුසලමේ විනාශයෙන් පසුව යෙරෙමියා පැවසූ දේට සෙනඟ ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?
25 බැබිලෝනිවරුන් යෙරුසලම එලෙස විනාශ කළ විට යෙරෙමියාට සිදු වුණේ කුමක්ද? ඒ වන විට සිරභාරයේ සිටි ඔහුට ඔවුන් කරුණාවන්තව සලකා ඔහුව සිරෙන් නිදහස් කළා. පසුව වහලුන් ලෙස බැබිලෝනියට රැගෙන යමින් සිටි යුදෙව්වන්ට යෙරෙමියාත් එකතු වුණා. නමුත් ගමන අතරමඟදී බැබිලෝනිවරුන් ඔහුව නිදහස් කර නැවත යෙරුසලමට යැව්වා. ඇත්තෙන්ම යෙරුසලමේ ඉතුරු වී සිටි යුදෙව්වන් වෙනුවෙන් යෙරෙමියාට කිරීමට තව වැඩ කොටසක් තිබුණා. වහලුන් ලෙස බැබිලෝනියට රැගෙන නොගිය අය තමාට යටත්ව සිටියොත් කිසි කරදරයක් නැතුව දේශයේ දිගටම ජීවත් විය හැකි බව නෙබුකද්නෙෂර් රජ පැවසුවා. දේශය හා එහි ඉතුරු වී සිටි සෙනඟව බලා කියා ගැනීමට ඔහු ගෙදලියාව පත් කර තිබුණා. නමුත් නෙබුකද්නෙෂර් රජු පැවසූ දේ විශ්වාස නොකළ කිහිපදෙනෙක් එකතු වී ගෙදලියාව මරා දැමුවා. (යෙරෙ. 39:13, 14; 40:1-7; 41:2) ඉන්පසු ඔවුන් ඊජිප්තුවට යෑමට සැලසුම් කළා. නමුත් රජු පැවසූ ලෙස ඔහුට යටත්ව දිගටම යූදා දේශයේම ජීවත් වන්න කියා යෙරෙමියා ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. යෙරෙමියා බොරුකාරයෙකු බව පැවසූ ඔවුන්, දේශය අත්හැර ඊජිප්තුවට පලා ගියා. එසේ යන විට ඔවුන් යෙරෙමියාව හා බාරුක්වද බලහත්කාරයෙන් රැගෙන ගියා. ඊජිප්තුවට පලා ගිය යුදෙව්වන්ට දෙවි යෙරෙමියා මාර්ගයෙන් දැන්වූයේ නෙබුකද්නෙෂර් රජු ඊජිප්තුව යටත් කරගෙන එම දේශයට පලා ආ ඔවුන්ව අනිවාර්යයෙන්ම මරා දමන බවයි.—යෙරෙ. 42:9-11; 43:1-11; 44:11-13.
26 යෙරෙමියා දැන්වූ පණිවිඩය පිළිගැනීමට යුදෙව්වන් නැවතත් අකමැති වුණා. ඔවුන් ඔහුට පැවසුවේ, ‘අහස් දේවතාවියට සුවඳ දුම් හා පාන පූජා ඔප්පු කිරීම නතර කළ දවසේ සිට අපිට හැම දෙයක්ම නැති වුණා. අපි කඩුවටත් සාගතයටත් ගොදුරු වුණා’ කියායි. (යෙරෙ. 44:16, 18) ඉන් පැහැදිලි වුණේ යෙහෝවා දෙවි කෙරෙහි ඔවුන්ට කිසිම විශ්වාසයක් නොතිබුණු බවයි. නමුත් යෙරෙමියා දිගටම දෙවිට විශ්වාසවන්තව කටයුතු කළා. දුෂ්ට මිනිසුන්ගෙන් වට වී සිටියත් කෙනෙකුට දිගටම දෙවිට විශ්වාසවන්තව සිටිය හැකි බව එමගින් ඔහු ඔප්පු කර පෙන්වූවා. ඒ කාරණය දැන සිටීම අපට මහත් දිරිගැන්වීමක් නොවේද!
27. යෙරෙමියාගේ ජීවිතයේ අවසන් කාලය ගැන අප දන්නේ මොනවාද?
27 යෙරෙමියා තම වාර්තාවේ අවසානයට ඇතුළත් කළේ නෙබුකද්නෙෂර් රජුගෙන් පසුව රජකමට පත් වූ එවිල්-මෙරොදක් ක්‍රි.පූ. 580දී යෙහෝයාකින් රජුව සිරගෙයි නිදහස් කිරීම ගැනයි. (යෙරෙ. 52:31-34) ඒ වන විට යෙරෙමියාට වයස අවුරුදු 90ක් පමණ වන්න ඇති. ඔහුගේ ජීවිතයේ අවසන් කාලයේ සිදු වුණේ මොනවාද කියා නිවැරදිව පැවසීමට ප්‍රමාණවත් තොරතුරු සොයාගත නොහැකි වුණත් ඔහු එම කාලය ගත කරන්න ඇත්තේ ඊජිප්තුවේ විය හැකියි. දෙවිගෙන් ලැබූ විශේෂ පැවරුම අවුරුදු 67ක පමණ කාලයක් පුරා විශ්වාසවන්තව ඉටු කළ යෙරෙමියා, මිය යන තෙක්ම දෙවිට විශ්වාසවන්තව සිටි බව නිසැකයි. සැබෑ නමස්කාරය යූදා දේශයේ නඟා සිටෙවූ කාලය පුරාද සෙනඟ දෙවිට අකීකරුව ක්‍රියා කළ දිගු කාලය පුරාද ඔහු දෙවිට විශ්වාසවන්තව සේවය කළා. කිහිපදෙනෙක් ඔහු පැවසූ පණිවිඩයට හොඳ ප්‍රතිචාරයක් දැක්වූවත් බහුතරයක් එය ප්‍රතික්ෂේප කළ අතර ඔහුට බොහෝ වධ හිංසාද කළා. ඉන් අදහස් කරන්නේ යෙරෙමියා අසාර්ථක වූ බවද? කොහෙත්ම නැහැ. ඔහුට පැවරුම දුන් අවස්ථාවේදීම දෙවි පැවසුවේ, “ඔවුන් ඔබට විරුද්ධව සටන් කළත් ඔබව පරාජය කිරීමට ඔවුන්ට හැකි වන්නේ නැත. මන්ද ඔබව ගලවාගැනීමට මම ඔබ සමඟ සිටිමි” කියායි. (යෙරෙ. 1:19) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලෙස අප කරමින් සිටින්නේ එදා යෙරෙමියා ඉටු කළ කාර්යයට සමාන කාර්යයක්. ඒ නිසා යෙරෙමියාට ලැබුණා හා සමාන ප්රතිචාරයන් අපටත් ලැබෙයි කියා පැවසිය හැකියි. (මතෙව් 10:16-22 කියවන්න.) එසේනම් යෙරෙමියාගෙන් අපට ඉගෙනගත හැක්කේ මොනවාද? අපට අපේ සේවය ගැන තිබිය යුත්තේ මොන වගේ ආකල්පයක්ද? ඒවාට පිළිතුරු අපි සොයා බලමු.
යෙරෙමියාගේ පණිවිඩ පිළි නොගත් ශෙදකියා රජුට හා අනිකුත් යුදෙව්වන්ට සිදු වුණේ කුමක්ද? යෙරෙමියා ගැන ඔබට හැඟෙන්නේ කෙසේද?
a යෙරෙමියා 7:1-15 දක්වා සඳහන් දේවල් හා යෙරෙමියා 26:1-6 දක්වා සඳහන් දේවල් අතර සමානකම් තිබෙන නිසා සමහරදෙනෙක් පවසන්නේ එම පදවල එකම සිද්ධිය ගැන සඳහන් වන බවයි.
b දානියෙල් 1:1, 2ට අනුව යෙහෝයාකිම් රජු බැබිලෝනිවරුන් යටතේ රජකම් කළ තුන්වෙනි අවුරුද්දේදී ඔහුව නෙබුකද්නෙෂර් රජු අතට හසු වුණා. ඉන් අදහස් කරන්න ඇත්තේ නෙබුකද්නෙෂර් රජු යෙරුසලම වටලා සිටි කාලයේදී යෙහෝයාකිම් මිය ගිය බව විය හැකියි. ඉතිහාසඥ ජොසීෆස් වාර්තා කර තිබෙන්නේ නෙබුකද්නෙෂර් රජු යෙහෝයාකිම්ව මරා ඔහුගේ මළ කඳ යෙරුසලමේ පවුරෙන් පිටතට වීසි කළ බවයි. එම වාර්තාව සනාථ කිරීමට සාක්ෂියක් බයිබලයෙන් සොයාගත නොහැකියි.—යෙරෙ. 22:18, 19; 36:30.
c යෙරෙමියා 27:3, 12 යන පද ශෙදකියා රජුට යොමු දක්වා තිබෙන නිසා එහි පළමුවෙනි පදය යෙහෝයාකිම් රජුට යොමු දක්වා තිබෙන්නේ අත්පිටපත්කරු අතින් සිදු වූ වැරදීමක් නිසා විය හැකියි.