තුන්වෙනි පරිච්ඡේදය
මා පවසන දේ ‘ඔබ සෙනඟට කියන්න’
1. (අ) යේසුස් හා යෙරෙමියා අතර තිබූ සමානකම් මොනවාද? (ආ) දේශනා සේවයේදී අප යෙරෙමියාව අනුගමනය කළ යුත්තේ ඇයි?
දේශනා සේවයේදී අපට අනුගමනය කිරීම සඳහා හොඳම ආදර්ශය තැබුවේ යේසුස්. ඔහු සේවයේදී විදහාපෙන්වූ ගුණාංග යෙරෙමියාද තම පැවරුම ඉටු කරන විට විදහාපෙන්වූවා. එසේනම් පළමුවෙනි සියවසේ ජීවත් වූ මිනිසුන් යේසුස්ව යෙරෙමියාට සමාන කිරීම පුදුමයක් නොවෙයි. (මතෙ. 16:13, 14) යේසුස්ට මෙන් යෙරෙමියාටත් ඔහුගේ පැවරුම ලැබුණේ යෙහෝවා දෙවිගෙන්. එක් අවස්ථාවක දෙවි ඔහුට පැවසූ මේ දෙයින් ඒ බව සනාථ වෙනවා. “ඔබ මේ දේ සෙනඟට කියන්න. ‘ඊශ්‍රායෙල්හි දෙවි යෙහෝවා මෙසේ පවසනවා.’” (යෙරෙ. 13:12, 13; යොහ. 12:49) එසේනම් යෙරෙමියා තම පැවරුම ඉටු කළ ආකාරය සලකා බැලීම අපට ප්‍රයෝජනවත්.
2. අප කරන සේවය එදා යෙරෙමියා කළ සේවයට සමානයි කියා පැවසිය හැක්කේ ඇයි?
2 ඇතැම්විට අපෙන් සමහරදෙනෙකුට මෙසේ සිතෙන්න පුළුවන්. ‘එදා යෙරෙමියා, දෙවි පැවසූ දේවල් දැනුම් දුන්නේ ඒ වන විට දෙවිට කැප වී සිටි සෙනඟකට. ඒත් අද අපි දේශනා කරන අයගෙන් වැඩිදෙනෙක් දෙවි ගැන දන්නේ නැහැ. ඒ නිසා අප කරන සේවය එදා යෙරෙමියා කළ සේවයට වඩා වෙනස්.’ එසේ සිතීම සාධාරණයි. නමුත් යෙරෙමියාගේ කාලය වන විට යුදෙව්වන් යෙහෝවා දෙවිව අත්හැර “අඥාන” ලෙස කටයුතු කරමින් සිටි බව අමතක කරන්න එපා. (යෙරෙමියා 5:20-22 කියවන්න.) ඔවුන් කළ නමස්කාරය දෙවි පිළිගත්තේ නැහැ. දෙවිගේ අනුමැතිය ලබාගැනීමට නම් ඔවුන්ගේ ජීවිතවල බොහෝ වෙනස්කම් කිරීමට සිදු වුණා. ඒ අනුව යෙහෝවා දෙවිට ගරුබිය දක්වමින් සැබෑ නමස්කාරයේ හවුල් විය හැකි ආකාරය ගැන මිනිසුන්ට කියා දීමට අද අපිට වගේ එදා යෙරෙමියාටත් සිදු වුණා. ඒ නිසා යෙරෙමියාව ආදර්ශයට ගැනීමෙන් දෙවිට හොඳින් සේවය කිරීමට අපට හැකි වන අතර සැබෑ නමස්කාරයේ හවුල් වීමට අන් අයට උපකාර කිරීමටත් හැකියි.
‘දෙවි මගේ මුඛය ස්පර්ශ කළා’
3. දෙවි යෙරෙමියාට පැවරුම දුන් අවස්ථාවේදී දෙවි කළේ කුමක්ද? එය යෙරෙමියාට බලපෑවේ කෙසේද?
3 දෙවි යෙරෙමියාව අනාගතවක්තෘවරයෙකු ලෙස පත් කළ අවස්ථාව ගැන ඔබට මතකද? ඒ අවස්ථාවේදී දෙවි ඔහුට මෙසේ පැවසුවා. “මා ඔබව යවන සෑම තැනකටම ඔබ යා යුතුයි. මා ඔබට කීමට අණ කරන සෑම දෙයක්ම ඔබ පැවසිය යුතුයි. ඔවුන්ට භය නොවන්න. ඔබව ගලවාගැනීමට මම ඔබ සමඟ සිටිමි. මේ දේවල් ඔබට පවසන මා යෙහෝවා දෙවිය.” (යෙරෙ. 1:7, 8) ඉන්පසු යෙරෙමියා නොසිතූ දෙයක් දෙවි ඔහු වෙනුවෙන් කළා. ඒ ගැන යෙරෙමියාම මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවි ඔහුගේ අතින් මගේ මුඛය ස්පර්ශ කළේය. යෙහෝවා දෙවි මට තවදුරටත් මෙසේ පැවසුවේය. ‘ඔබ පැවසිය යුතු දේ දැන් මම ඔබට දැන්වූවෙමි. මෙතැන් සිට මම ඔබව [අනාගතවක්තෘවරයෙකු ලෙස]. . . පත් කරන්නෙමි.’”a (යෙරෙ. 1:9, 10) සියලු බලැති දෙවි වෙනුවෙන් කතා කිරීමට තමාව පත් කර තිබෙන බව එවිට යෙරෙමියා තේරුම්ගත්තා. දෙවිගේ උපකාරය තමන්ට ලැබෙන බව යෙරෙමියාට දැනුණු නිසා තම පැවරුම මහත් උද්යෝගයෙන් ඉටු කිරීමට ඔහු තුළ මහත් පෙලඹීමක්ද ඇති වුණා.—යෙසා. 6:5-8.
4. උද්යෝගයෙන් සේවය කරන අය ගැන ඔබ දන්නා අද්දැකීම් සඳහන් කරන්න.
4 අද දින දෙවි තම සේවකයන් වෙනුවෙන් එවැනි ආශ්චර්යවත් දේවල් සිදු නොකළත් දෙවි තම බලය ඔවුන්ට ලබා දෙනවා. දෙවිගේ බලය ඔවුන් තුළ ක්‍රියාත්මක වන විට ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ පැවරුම තමන්ට ලැබී තිබෙන්නේ දෙවිගෙන් බව ඔවුන් තේරුම්ගන්නවා. තම පැවරුම මහත් උද්යෝගයෙන් ඉටු කිරීමට එය ඔවුන්ට මහත් රුකුලක්. අවුරුදු 40කට වඩා වැඩි කාලයක් පුරා අසනීපව සිටින ස්පාඤ්ඤයේ ජීවත් වන මාරුකාගේ අද්දැකීම සලකා බලන්න. ඇගේ අත් දෙකයි කකුල් දෙකයි පණ නැති නිසා ඇයට ගෙයින් ගෙට සේවයේ හවුල් වීම අපහසුයි. නමුත් වෙනත් ක්‍රම යොදාගෙන මිනිසුන්ට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ඇය උත්සාහ කරනවා. ඇය එසේ කරන එක් ක්‍රමයක් වන්නේ ලිපි ලිවීමයි. ලිපියට ඇතුළත් කළ යුතු තොරතුරු ඇය පවසන විට ඇගේ දියණිය ඒවා ලියනවා. එක් මාසයක ඔවුන් දෙදෙනා ලිපි 150කට වඩා වැඩි ගණනක් යැවූ අතර ඒ සෑම ලිපියක් සමඟම පත්රිකාවක්ද යැව්වා. එහි ප්‍රතිඵලයක් ලෙස ළඟපාත තිබූ ගමක ජීවත් වූ වැසියන්ගෙන් බොහෝදෙනෙකුට ශුභාරංචිය ගැන දැනගැනීමට ප්‍රස්තාව ලැබුණා. මාරුකා තුළ තිබූ උද්යෝගය ඇය තම දියණියට පැවසූ මෙම වදන්වලින් පැහැදිලියි. “සත්‍යය ගැන දැනගන්න අවංක ආශාවක් තියෙන එක් කෙනෙක්ට හරි අපි දෙන්නා යවපු ලියුමක් ලැබුණොත් අපිට අඩුම තරමින් එක බයිබල් පාඩමක් හරි පටන්ගන්න පුළුවන් වෙයි.” ශුභාරංචිය දේශනා කිරීමට ඇය දරන උත්සාහය අගය කරමින් එක් වැඩිමහල්ලෙක් මෙසේ පැවසුවා. “වඩා වැදගත් දේවලට මුල් තැන දෙන මාරුකා වැනි සහෝදරියන් අපිට හොඳ ආදර්ශයක්. ඒ වගේ සහෝදරියන් අපිට ඉන්න එක ගැන මම යෙහෝවා දෙවිට ස්තුති කරනවා.”
5. (අ) මිනිසුන් උදාසීන ප්‍රතිචාරයක් දැක්වූවත් යෙරෙමියාට තම උද්යෝගය දිගටම පවත්වාගැනීමට හැකි වුණාද? පැහැදිලි කරන්න. (ආ) ඔබට ඔබේ උද්යෝගය දිගටම පවත්වාගත හැක්කේ කෙසේද?
5 යෙරෙමියා කොතරම් උද්යෝගයෙන් තම පැවරුම ඉටු කළත් යෙරුසලමේ ජීවත් වූ වැසියන්ගෙන් බහුතරයක් ඔහු මාර්ගයෙන් දෙවි පැවසූ දේවලට සවන් දීමෙන් ‘කිසි සතුටක් ලැබුවේ නැහැ.’ ඔවුන් එසේ උදාසීන ප්‍රතිචාරයක් දැක්වූ නිසා යෙරෙමියා තම කාර්යය අත්හැර දැමුවාද? නැහැ. යෙරෙමියා 6:10, 11හි ඔහුම මෙසේ සඳහන් කර තිබෙනවා. “ඔවුන්ට විරුද්ධව යෙහෝවා දෙවිට ඇති වූ උදහසට සමාන උදහසක් මා තුළද ඇති විය. ඒ නිසා මට තවත් නිහඬව සිටිය නොහැක.” ඉන් පෙනී යන්නේ මිනිසුන් උදාසීන ප්‍රතිචාරයක් දැක්වීම ගැන අධෛර්යය වී සිටිනවා වෙනුවට දෙවිට ඒ සෙනඟ කෙරෙහි ඇති වූ හැඟීමම ඔහුත් ඇති කරගත් බවයි. දෙවිගේ විනිශ්චයන් ගැන නොනවත්වා සෙනඟට ප්‍රකාශ කිරීමට එය ඔහුව පෙලඹෙව්වා. යෙරෙමියාට මෙන් අපටත් අපේ උද්යෝගය දිගටම පවත්වාගත හැක්කේ කෙසේද? දේවරාජ්‍යය ගැන ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙන් අපට කළ හැකි දේවල් ගැන සිතා බැලීමෙන් අපට අපේ උද්යෝගය දිගටම පවත්වාගත හැකියි. අද ලෝකයේ සිටින පාලකයන් යෙහෝවා දෙවිගේ නාමයට මහත් අගෞරවයක් ගෙන දී තිබෙනවා කියා අපි දන්නවා. යෙරෙමියාගේ කාලයේ සිටි පූජකයන් මෙන් අද සිටින ආගමික නායකයන්ද ඔවුන්ගේ බොරු ඉගැන්වීම් මගින් මිනිසුන්ව නොමඟ යවා තිබෙනවා කියාත් අපි දන්නවා. (යෙරෙමියා 2:8, 26, 27 කියවන්න.) නමුත් දේවරාජ්‍යය ගැන අන් අයට ප්‍රකාශ කරන විට සැබෑ දෙවි මිනිසුන් ගැන අවංකවම සැලකිලිමත් යන කාරණය පෙන්වීමට අපට අවස්ථාව ලැබෙනවා. (විලා. 3:31, 32) අවංක හදවත් ඇති අයට අන්ධකාරයෙන් මිදී අලෝකය වෙතට පැමිණීමට උපකාර කිරීමටත් අපට එමගින් හැකි වෙනවා. ඒ අනුව බලන විට අපට ලැබී තිබෙන්නේ මොන තරම් අගනා ප්‍රස්තාවක්ද!
6. යෙරෙමියා මුහුණ දුන් අභියෝග සමහරක් මොනවාද?
6 අපගේ උද්යෝගය දිගටම පවත්වාගැනීම ලෙහෙසි දෙයක් නොවෙයි. යෙරෙමියාගේ අද්දැකීම වුණෙත් එයමයි. තම පැවරුම ඉටු කරන විට ඔහුත් අභියෝග රැසකට මුහුණ දුන්නා. උදාහරණයකට යෙරෙමියා 28වෙනි පරිච්ඡේදයේ සඳහන් වන ලෙස බොරු අනාගතවක්තෘවරුන් නිසා ඔහු මහත් අපහසුතාවකට පත් වුණා. බහුතරයක් ඔහු දුන් අනතුරු ඇඟවීම්වලට සවන් නොදෙමින් ඔහුව ප්‍රතික්ෂේප කළ නිසා සමහර අවස්ථාවලදී ඔහුට තනිකමක්ද දැනුණා. (යෙරෙ. 6:16, 17; 15:17) සතුරන් ඔහුව මරා දැමීමට තැත් කළ අවස්ථාවන්ද තිබුණා.—යෙරෙ. 26:11.
ශුභාරංචිය දේශනා කරන විට මුහුණ දීමට සිදු වන අභියෝග ජය ගැනීමට දෙවි ඔබට උපකාර කරයි කියා නිසැක විය හැක්කේ ඇයි?
‘යෙහෝවා දෙවියනි, ඔබ මාව පුදුමයට පත් කළා’
7, 8. දෙවි යෙරෙමියාව “පුදුමයට” පත් කළේ කෙසේද?
7 එක් කාලයකදී යෙරෙමියා සෑම දවසකම වගේ අන් අයගේ සමච්චලයට හා කවටකම්වලට ලක් වුණා. එවිට ඔහු තම හැඟීම් දෙවිට දන්වමින් පැවසුවේ, ‘දෙවියනි, ඔබ මාව පුදුමයට පත් කළා’ කියායි. ඔහු එවැනි දෙයක් පැවසුවේ ඇයි?—යෙරෙමියා 20:7, 8 කියවන්න.
8 යෙරෙමියාට කොතරම් විරුද්ධවාදිකම් පැමිණියාද කියනවා නම් ඔහුට ඒ දේවල් තනිවම දරාගත නොහැකියි කියා ඔහු සිතුවා. තම පැවරුම දිගටම ඉටු කිරීමට තමාට නොහැකි වෙයි කියාත් ඔහු සිතුවා. නමුත් යෙරෙමියා නොසිතූ ලෙස සියලු බලැති දෙවි ඔහුව ශක්තිමත් කළා. දෙවිගේ බලයේ උපකාරය ලැබුණු නිසා උදාසීන ප්‍රතිචාර, ප්‍රතික්ෂේප කිරීම් හා වධ හිංසා හමුවේ දිගටම දෙවිගේ පණිවිඩ සෙනඟට දැන්වීමට යෙරෙමියාට හැකි වුණා. ඒ අනුව දෙවි තමන්ව “පුදුමයට” පත් කළා කියා යෙරෙමියා පැවසුවේ ඔහුට තනිවම කළ නොහැකි දෙයක් දෙවිගේ උපකාරයෙන් ඔහුට කිරීමට හැකි වූ නිසයි.
9. යෙරෙමියා 20:11හි සඳහන් දෙය අපට දිරිගැන්වීමක් වන්නේ කෙසේද?
9 යෙහෝවා දෙවි “බලවත් මෙන්ම බිය උපදවන සටන්කරුවෙකු මෙන්” ක්‍රියා කරමින් යෙරෙමියාට උපකාර කළා. (යෙරෙ. 20:11) තවත් බයිබල් පරිවර්තනයක එම පදයේ සඳහන් වන්නේ දෙවි “මහා යුද වීරයෙකු සේ” යෙරෙමියා සමඟ සිටි බවයි. (නව අනුවාදය) ඇත්තෙන්ම එදා දෙවි යෙරෙමියා සමඟ සිට ඔහුට උපකාර කළ ලෙස අද අපටත් අපේ උද්යෝගය දිගටම පවත්වාගන්න උපකාර කරනවා.
10. සේවයේදී අභියෝගවලට මුහුණ දීමට සිදු වන විට කුමක් කිරීමට ඔබ අදිටන් කරගෙන සිටිනවාද?
10 විරුද්ධවාදිකම්වලට මුහුණ දුන් පළමුවෙනි සියවසේ සිටි ක්‍රිස්තියානීන්ව දිරිගන්වන විටත් පාවුල් එම කාරණය අවධාරණය කළා. ‘නිතරම ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචියට ඔබින ආකාරයකින් හැසිරෙන්න. ඔබ එසේ කළොත් ශුභාරංචිය මත පදනම් වූ ඔබේ විශ්වාසය රැකගැනීමට ඔබ එකා මෙන් මහත් වෑයමක් දරන බව මට දැනගත හැකි වෙයි. එලෙසම ඔබට විරුද්ධව සිටින අයට ඔබ කිසි ලෙසකින්වත් බිය නොවී සිටින බවත් මට දැනගත හැකි වෙයි.’ (ෆිලි. 1:27, 28) යෙරෙමියා මෙන් පළමුවෙනි සියවසේ සිටි ක්‍රිස්තියානීන්ද ඔවුන්ගේ සේවය දිගටම කරගෙන යෑමට දෙවි මත රඳා සිටියා. ඔබටත් ඒ දේම කළ හැකියි. මිනිසුන් ඔබට සමච්චල් කරන විට හෝ පහර දෙන විට දෙවි ඔබ සමඟ සිටින බව අමතක කරන්න එපා. ඒ අවස්ථාවට මුහුණ දීමට දෙවි අනිවාර්යයෙන්ම ඔබට බලය ලබා දෙයි. යෙරෙමියාව හා ඔබේ සෙසු සහෝදර සහෝදරියන් බොහෝදෙනෙකුව දෙවි එවැනි අවස්ථාවලදී ශක්තිමත් කර තිබෙනවා. එසේනම් දෙවි ඔබ වෙනුවෙන් එසේ නොකර සිටියිද? ඒ නිසා සේවයේ යන විට ඔහුගේ උපකාරය ඉල්ලා ඔහුට කන්නලව් කරන්න. ඔබේ කන්නලව්වට දෙවි පිළිතුරු දෙන බවට විශ්වාසයකින් සිටින්න. එවිට යෙරෙමියාව මෙන් දෙවි ඔබවත් “පුදුමයට” පත් කරයි. සේවයේදී ඔබට මුහුණ දීමට සිදු වන අභියෝගවලට නිර්භීතව මුහුණ දීමට දෙවිගේ බලයේ උපකාරයෙන් ඔබට හැකි වෙයි. ඔබට දරාගත නොහැකියි කියා සිතූ දේවල් දරාගැනීමටත් ඔබට හැකි වෙයි.—ක්‍රියා 4:29-31 කියවන්න.
11, 12. (අ) බොහෝදෙනෙකුට ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා ඔබට කළ හැකි වෙනස්කම් මොනවාද? (ආ) පනස්එක්වෙනි පිටුවේ තිබෙන පින්තූරයෙන් ඉගෙනගන්නා දේ ඔබට ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේද?
11 යෙරෙමියා සේවය කළ ආකාරය ගැන සලකා බැලීමෙන් දේශනා සේවය වඩා හොඳින් කිරීමට උපකාරවත් වන යම් දේවල් අපට ඉගෙනගත හැකියි. උදාහරණයකට යෙරෙමියා 25:3හි මෙසේ සඳහන් වෙනවා. “මා හිමිදිරි උදෑසන සිට නොනවත්වා ඒ පණිවිඩ ඔබට දැන්වුවත් ඔබ ඒවාට ඇහුම්කන් දුන්නේ නැත.” ඒ දේ පවසන විට ඔහු අනාගතවක්තෘවරයෙකු ලෙස අවුරුදු 20කට වඩා වැඩි කාලයක් පුරා සේවය කර තිබුණා. ඒ කාලය පුරාම ඔහු තම පැවරුම ඉටු කිරීම සඳහා හිමිදිරි උදෑසනින්ම අවදි වුණා. ඔහු මෙන් අද සිටින ප්‍රචාරකයන් බොහෝදෙනෙක්ද හිමිදිරි උදෑසනින්ම නැඟිට බස් නැවතුම්පොළවල හා දුම්රිය ස්ථානවල සිටින මිනිසුන් වෙතට ශුභාරංචිය රැගෙන යනවා. පිටිසර පළාත්වල ජීවත් වන සාක්ෂිකරුවන්ද උදෑසනින්ම තම වැඩ ආරම්භ කරන ගොවියන්ට හා අනිකුත් අයට දේශනා කිරීම සඳහා උදෑසන වරුව යොදාගන්නවා. යෙරෙමියා තැබූ ඒ ආදර්ශය ඔබට පෞද්ගලිකව අදාළ කරගත හැකි තවත් පැති තිබෙනවාද? උදාහරණයකට ක්ෂේත්‍ර සේවය සඳහා පවත්වන රැස්වීමට සම්පූර්ණයෙන්ම සහභාගි වීම සඳහා සාමාන්‍යයෙන් ඔබ අවදි වන වේලාවට වඩා ටිකක් වේලාසනින් අවදි වීමට ඔබට පුළුවන්ද?
12 සාමාන්‍යයෙන් ගෙයින් ගෙට සේවයේ හවුල් වන වේලාවන්වලට අමතරව දහවල් වරුවේදී හෝ සවස් වරුවේදී සේවයේ හවුල් වීම ගැන ඔබ කල්පනා කර තිබෙනවාද? ඇතැම් ප්‍රචාරකයන් එසේ කර හොඳ ප්‍රතිඵල අත් කරගෙන තිබෙනවා. සමහරක් අය පැය 24 පුරාම විවෘත කර තිබෙන ඉන්ධන පිරවුම්හල්, ආපන ශාලා හා වෙනත් ව්‍යාපාරික ස්ථානවල සිටින අයට සාක්ෂි දැරීම සඳහා රාත්‍රී කාලය යොදාගන්නවා. ඒ ආකාරයෙන් මිනිසුන් නිවෙස්වල සිටින අවස්ථාවලදී හා මිනිසුන් වැඩියෙන් ගැවසෙන ස්ථානවලට ගොස් ශුභාරංචිය දේශනා කිරීමට ඔබට සැලසුම් යෙදිය හැකිද කියා කල්පනා කර බලන්න.
ශුභාරංචිය දේශනා කරන විට දෙවිගේ උපකාරය ඔබට ලැබෙන බවට නිසැක විය හැක්කේ ඇයි?
13, 14. (අ) නැවත බැලීම් සම්බන්ධයෙන් යෙරෙමියාගෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? (ආ) නැවත පැමිණෙන බවට අප දෙන පොරොන්දු එලෙසම ඉටු කිරීමේ වැදගත්කම යෙරෙමියා පෙන්වූයේ කෙසේද?
13 දෙවිගේ ගෘහයේ දොරටුව අසල සිට හෝ යෙරුසලමේ දොරටුව අසල සිට අනාවැකි පවසන්න කියා දෙවි කිහිප අවස්ථාවකදීම යෙරෙමියාට පැවසුවා. (යෙරෙ. 7:2; 17:19, 20) ඊට එකඟව ක්‍රියා කළ යෙරෙමියාට, දෙවිගේ පණිවිඩ බොහෝදෙනෙකුට ප්‍රකාශ කිරීමට හැකි වුණා. නගරයේ සිටි වංශවත් මිනිසුන්, වෙළදුන් හා ව්‍යාපාරිකයන් ඇතුළුව බොහෝදෙනෙකු නිතරම එම දොරටු පසු කරගෙන ගමන්බිමන් ගිය නිසා කිහිප වතාවක්ම ඔවුන් සමඟ දෙවිගේ පණිවිඩ ගැන කතා කිරීමටත් යෙරෙමියාට අවස්ථාව ලැබුණා. ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දක්වන අයව නැවත ගොස් හමු වීමේ ඇති වැදගත්කම ඉන් අපට ඉගෙනගත හැකියි.
14 අනාගතවක්තෘවරයෙකු ලෙස තම කාර්යය ජීවිත ගලවන කාර්යයක් බව යෙරෙමියා දැන සිටියා. දෙවිගේ පණිවිඩ ප්‍රකාශ කිරීම සඳහා ඔහුට සෙනඟ අතරට යෑමට නොහැකි වූ එක් අවස්ථාවක එම කාර්යය සඳහා ඔහු බාරුක්ව යැව්වේ ඒ නිසයි. (යෙරෙමියා 36:5-8 කියවන්න.) අපත් සේවයේදී හමු වූ කෙනෙකුට නැවත පැමිණෙන බවට පොරොන්දු වුණොත් ඒ පොරොන්දුව ඉටු කරනවාද? පොරොන්දු වූ ලෙස එවැනි කෙනෙකුව නැවත හමු වීමට හෝ නියමිත දවසේ බයිබල් පාඩමකට යෑමට අපට නොහැකි වෙනවා නම් අප වෙනුවට වෙනත් කෙනෙකුව ඒ සඳහා යැවීමට අප සැලසුම් කරනවාද? අප පොරොන්දුවක් වුණොත් එය එලෙසම ඉටු කිරීම වැදගත් බව යේසුස්ද පැවසුවා. (මතෙ. 5:37) ඇත්තෙන්ම අප නියෝජනය කරන්නේ බොරු නොකියන, දේවල් මනා පිළිවෙළකින් කරන යෙහෝවා දෙවිව නිසා එලෙස කටයුතු කිරීම වැදගත්.—1 කොරි. 14:33, 40.
වැඩිදෙනෙකුට සාක්ෂි දැරීම සඳහා ඔබ සේවයේ හවුල් වන වේලාවන් හා දේශනා කරන ආකාරයේ වෙනස්කම් කර තිබෙනවාද?
15, 16. (අ) වැඩිදෙනෙකුට ශුභාරංචිය දැන්වීම සඳහා බොහෝදෙනෙකු යෙරෙමියාගේ ආදර්ශය අනුගමනය කර තිබෙන්නේ කෙසේද? (ආ) පනස්තුන්වෙනි පිටුවේ පින්තූරයේ පෙන්වා තිබෙන ලෙස චිලී රටේ සහෝදරියගේ අද්දැකීමෙන් ඔබ ඉගෙනගන්නේ කුමක්ද?
15 යෙරෙමියා බැබිලෝනියේ වහල්භාවයේ සිටි යුදෙව්වන්ව දිරිගන්වමින් ඔවුන්ට ලිපියක් යැව්වා. එම ලිපියේ ඔහු යුදෙව්වන්ව නැවත ඔවුන්ගේ මව්බිමට රැගෙන එන බවට දෙවි දුන් “පොරොන්දුව” ගැන සඳහන් කළා. (යෙරෙ. 29:1-4, 10) යෙරෙමියාව ආදර්ශයට ගනිමින් අද අපටත් දෙවි අනාගතයේ කිරීමට “පොරොන්දු” වී තිබෙන දේවල් ගැන ලිපි මාර්ගයෙන් හා දුරකථනය මාර්ගයෙන් මිනිසුන්ට දැන්විය හැකියි. එවැනි ක්‍රම යොදාගෙන දුර ඈත ප්‍රදේශවල ජීවත් වන ඔබේ නෑදෑයන්ට හෝ වෙනත් අයට එසේත් නැත්නම් ඔබට පෞද්ගලිකව හමු වීමට නොහැකි අයට ශුභාරංචිය දැන්වීමට ඔබත් උත්සාහ කරනවාද?
16 දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කිරීම සම්බන්ධයෙන් ආදර්ශයක් තැබූ යෙරෙමියාව අනුගමනය කළ චිලී රටේ ජීවත් වන සහෝදරියකගේ අද්දැකීම සලකා බලන්න. දුම්රිය ස්ථානයකදී හමු වූ කාන්තාවකට ඇය දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කළ විට තමන්ට අසන්න ලැබුණු දේ ගැන බොහෝ සෙයින් සතුටට පත් වූ එම කාන්තාව, ඒ ගැන වැඩි විස්තර දැනගැනීමට කැමැත්ත පළ කළා. නමුත් ඇයට එම කාන්තාවගේ ලිපිනය ලබාගැනීමට අමතක වුණා. ඒ වුණත් එම කාන්තාව පෙන්වූ උනන්දුව අඩු වීමට පෙර කෙසේ හෝ ඇයව හමු විය යුතුයි කියා සිතූ ඇය, උපකාරය ඉල්ලා යෙහෝවා දෙවිට කන්නලව් කළා. එම කාන්තාව නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් ඇය පසු දිනම එම වේලාවටම දුම්රිය ස්ථානයට ගියා. සිතූ අයුරින්ම ඇයට එම කාන්තාව හමු වූ අතර ඒ අවස්ථාවේදී නොවරදවාම ඇගේ ලිපිනය සටහන් කරගත්තා. පසුව ඇය එම කාන්තාවගේ නිවසට ගොස් බයිබලයේ තිබෙන සත්‍යතාවන් තේරුම්ගැනීමට ඇයට උපකාර කළා. මේ දුෂ්ට සමාජයේ විනාශය අත ළඟ බව අපි දන්නවා. ශුභාරංචිය පිළිගෙන දෙවිගේ කැමැත්තට එකඟව තම ජීවිත වෙනස් කරගන්නා අයට ඒ විනාශයෙන් ගැලවිය හැකි බවත් අපි දන්නවා. (විලාප ගී 3:31-33 කියවන්න.) ඒ නිසා එම සහෝදරිය මෙන් අපිත් අපට අයිති ප්‍රදේශයේ ජීවත් වන මිනිසුන්ට කෙසේ හෝ ශුභාරංචිය දැන්වීමට උපරිම උත්සාහයක් දරමු.
උනන්දුවක් දක්වන කෙනෙකුට උපකාර කිරීම සඳහා ඔබ උපරිම උත්සාහයක් දරනවාද?
‘සමහරවිට ඔවුන් සවන් දී වැරදි මාර්ග අත්හරියි’
17. යෙරෙමියාව ආදර්ශයට ගනිමින් මිනිසුන්ට අවංක සැලකිල්ලක් පෙන්විය හැක්කේ කෙසේද?
17 යෙරුසලම පිටට විනාශයක් ගෙන ඒමට සිදු වුණත් දෙවි කැමති වුණේ යුදෙව්වන් පසුතැවිලි වී ඒ විනාශයෙන් බේරී ජීවත් වෙනවා දකින්නයි. යෙරුසලම විනාශ වීමට අවුරුදු දහයකට පමණ පෙර විනාශයෙන් බේරෙන අය සම්බන්ධයෙන් දෙවි මෙවැනි පොරොන්දුවක් දීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. “මම ඔවුන්ව හොඳින් රැකබලා ගෙන නැවත මේ දේශයට ගෙනෙන්නෙමි. ඔවුන්ව නැවත නඟා සිටුවන්නෙමි. ඔවුන්ව නැවත බිඳ දැමිය නොහැකි සේ ස්ථිරව සිටුවන්නෙමි. ඔවුන්ව නැවත උදුරා නොදමන්නෙමි.” අනාගතයේදී යුදෙව්වන්ට “ප්‍රීතිමත් බලාපොරොත්තුවක් ඇත” කියා වහලුන් ලෙස බැබිලෝනියට ගෙන ගිය අයට යෙරෙමියා පැවසුවේ ඒ නිසයි. (යෙරෙ. 24:6; 26:3; 31:17) යෙහෝවා දෙවිට මිනිසුන් ගැන හැඟුණු ආකාරය තේරුම්ගත් යෙරෙමියා, මිනිසුන් කෙරෙහි අවංක සැලකිල්ලක් පෙන්වමින් දෙවි දුන් මෙවැනි පණිවිඩ ඉතා උනන්දුවෙන් සෙනඟට දැන්වූවා. “ජනයෙනි, ඔබේ නරක මාර්ගවලින් ඉවත් වන්න. දුෂ්ට ක්‍රියා අත්හැර යහපත් ලෙස හැසිරෙන්න.” (යෙරෙ. 35:15) යෙරෙමියා මෙන් ඔබටත් ඔබේ ප්‍රදේශයේ ජීවත් වන අය කෙරෙහි අවංක සැලකිල්ලක් පෙන්විය හැකිද? එය තවත් වැඩියෙන් පෙන්විය හැකි ආකාර ගැන ඔබ කල්පනා කර තිබෙනවාද?
18, 19. (අ) දේශනා සේවය ගැන අපට නොතිබිය යුත්තේ මොන වගේ ආකල්පයක්ද? (ආ) යෙරෙමියා මෙන් අපටත් තිබිය යුතු ආකල්පය කුමක්ද?
18 යෙරෙමියාට මිනිසුන් ගැන තිබූ ප්‍රේමය කවදාවත් අඩු වුණේ නැහැ. යෙරුසලම විනාශ වූ අවස්ථාවේ ඔහුට මිනිසුන් ගැන හැඟුණු ආකාරයෙන් ඒ බව මනාව පැහැදිලි වෙනවා. (විලාප ගී 2:11 කියවන්න.) ඇත්තෙන්ම යුදෙව්වන් පිටට එවැනි විනාශයක් පැමිණියේ ඔවුන්ගේම වැරදි නිසයි. නමුත් ඒ අවස්ථාවේදී පවා යෙරෙමියාට ඔවුන් ගැන දැනුණේ අනුකම්පාවක්. තමා පැවසූ අනාවැකිවල ඉටු වීම ගැන සතුටට පත් වෙනවා වෙනුවට තම සෙනඟ අද්දුටු විනාශය දැක ඔහු බොහෝ සෙයින් දුක් වුණා. අපත් දේශනා සේවයේ හවුල් විය යුත්තේ යෙරෙමියාට තිබුණා හා සමාන ආකල්පයක් ඇතුවයි. අප සේවය කරන්නේ නිකම්ම යුතුකමක් ඉටු කිරීමට නොව යෙහෝවා දෙවි කෙරෙහි හා මිනිසුන් කෙරෙහි අපට තිබෙන ප්‍රේමය නිසා බව අප සේවය කරන ආකාරයෙන් පැහැදිලි විය යුතුයි.
මිනිසුන් කෙරෙහි ඔබට අවංක සැලකිල්ලක් තිබෙන බව ඔබත් පෙන්වනවාද?
19 සැබෑ දෙවිව නියෝජනය කිරීමට අපට ලැබී තිබෙන ප්‍රස්තාව කෙනෙකුට මේ ලෝකයේ ලැබිය හැකි උතුම්ම ප්රස්තාවයි. යෙරෙමියාද ඒ කාරණය හොඳින් තේරුම්ගෙන සිටි බව ඔහු පැවසූ මේ වදන්වලින් පැහැදිලියි. “ඔබේ වදන් මට අසන්න ලැබුණු විට මම එය හොඳින් සිතට ගත්තෙමි. ඉන් මම ඉමහත් සතුටක් ලැබුවෙමි. මන්ද . . . යෙහෝවා දෙවියනි, මම ඔබේ නාමය දරමි.” (යෙරෙ. 15:16) දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය මිනිසුන්ට දැන්වීමේ කාර්යය මගින් තව බොහෝදෙනෙකුට ජීවිතයේ උල්පත වන දෙවිව දැන හඳුනා ගන්නත් ඔහු කෙරෙහි ප්‍රේමයක් වර්ධනය කරගන්නත් හැකි වෙනවා. යෙරෙමියා මෙන් අපිත් ප්‍රේමයෙන් පෙලඹී මහත් උද්යෝගයෙන් ශුභාරංචිය දේශනා කිරීමෙන් එම කාර්යයට දායක වෙමු.
යෙරෙමියාව ආදර්ශයට ගනිමින් දෙවිගේ “පොරොන්දු” ගැන අන් අයට දැන්වීමේ කාර්යයේ වැඩියෙන් හවුල් වීම සඳහා ඔබ කිරීමට අදිටන් කරගත්තේ කුමන දේවල්ද?
a සාමාන්‍යයෙන් දෙවිව නියෝජනය කරමින් මිනිසුන් ඉදිරියේ පෙනී සිටියේ දේවදූතයන්. මේ අවස්ථාවේ යෙරෙමියා ඉදිරියේ පෙනී සිටියෙත් දේවදූතයෙක්.—විනි. 13:15, 22; ගලා. 3:19.