ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jr 6 පරි. 88-106 පි.
  • “යෙහෝවා දෙවිගේ වදන්වලට කීකරු වෙන්න”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “යෙහෝවා දෙවිගේ වදන්වලට කීකරු වෙන්න”
  • යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අප අනිවාර්යයෙන්ම කීකරු විය යුත්තේ කාටද?
  • යෙහෝවා දෙවිට කීකරු වීම අත්‍යවශ්‍යයි
  • දෙවි සමාව දෙන්නේ අවංකව පසුතැවිලි වන අයටයි
  • යෙහෝවා දෙවි වෙතට හැරී එන්න
  • කීකරුකම ඔබට ආරක්ෂාවක්
  • දෙවිට කීකරු වන අය කිසිදා තනි වෙන්නේ නැහැ
  • ඔබ දිනපතා “යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්” පතනවාද?
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
  • “මට මේ විපත ගැන ප්‍රකාශ නොකර සිටිය නොහැක”
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
  • මා පවසන දේ ‘ඔබ සෙනඟට කියන්න’
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
  • “විඩාවට පත්ව සිටින්නන්ව මම ප්‍රාණවත් කරමි”
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
තව තොරතුරු
යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
jr 6 පරි. 88-106 පි.

හයවෙනි පරිච්ඡේදය

“යෙහෝවා දෙවිගේ වදන්වලට කීකරු වෙන්න”

1, 2. ‘වැඩිදෙනා ගමන් කරන මඟේ’ යන අය ක්‍රියා කරන්නේ කෙසේද? ඔබ ඔවුන්ට වෙනස්ව ක්‍රියා කළ යුත්තේ ඇයි?

අද සමාජයේ බොහෝදෙනෙක් කීකරු වෙන්න එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔවුන් තමන්ට කැමති විදිහට දේවල් කරන්න උත්සාහ කරනවා මිස එසේ කිරීම හරිද වැරදිද කියාවත් සිතන්නේ නැහැ. මිනිසුන් මාර්ග නීති ගැන කිසි තැකීමක් නොකර වාහන පදවන ආකාරයෙන්, ව්‍යාපාරිකයන් ලාභ ලැබීමේ අරමුණින් නීති විරෝධී දේවල් කරන ආකාරයෙන් හා උසස් නිලධාරීන් ඔවුන් විසින්ම පිහිටුවා තිබෙන නීතිරීති තම වාසිය තකා කඩ කරන ආකාරයෙන් ඒ බව මනාව පැහැදිලි වෙනවා. එවැනි දේවල් වැරදි බව පැහැදිලිව පෙනෙන්න තිබුණත් ‘වැඩිදෙනා ගමන් කරන්නේ ඒ මඟෙයි.’ යෙරෙමියාගේ කාලයේ ජීවත් වූ අයත් වැඩිදෙනා ගමන් කළ මඟේ ගමන් කළා.—යෙරෙ. 8:6.

2 නමුත් යෙහෝවා දෙවිගේ අනුමැතිය දිනාගැනීමට කැමති අය ‘වැඩිදෙනා ගමන් කරන මඟේ’ ගමන් කරමින් අකීකරුව ක්‍රියා නොකිරීමට වගබලා ගත යුතුයි. ඒ නිසා අප එක් එක් කෙනා ‘මම කොතරම් දුරට දෙවිට කීකරු වෙනවාද’ කියා නිතරම අපෙන්ම අසාගත යුතුයි. එසේ කිරීම මේ කාලයේදී ඉතා වැදගත්. දෙවිගේ සේවකයන්ගේ විශ්වාසවන්තකම බිඳ හෙළීමට සාතන් මේ කාලයේ මහත් උත්සාහයක් දරමින් සිටිනවා. ඔහු ක්‍රියා කරන්නේ නොසිතන මොහොතක තම ගොදුරට දෂ්ට කරන විසකුරු සර්පයෙක් වගෙයි. නමුත් දෙවිට කීකරුව ජීවත් වීමට අප දැඩි අධිෂ්ඨානයක් ගෙන තිබෙනවා නම් සාතන්ගේ ගොදුරක් බවට පත් නොවීමට අපට හැකියි. එම අධිෂ්ඨානය තව තවත් ශක්තිමත් කරගැනීමට අපට හැක්කේ කෙසේද? ‘යෙහෝවා දෙවිගේ හඬට අකීකරු වීමෙන්’ යුදෙව්වන් අද්දුටු විපත්ති හා කීකරු වීමෙන් ඔවුන්ට ලබාගත හැකිව තිබූ ආශීර්වාද ගැන යෙරෙමියා සඳහන් කර තිබෙන තොරතුරු ඒ සඳහා අපට ප්‍රයෝජනවත්.—යෙරෙ. 3:25; 7:28; 26:13; 38:20; 43:4, 7.

අප අනිවාර්යයෙන්ම කීකරු විය යුත්තේ කාටද?

3. අප දෙවිට කීකරු විය යුත්තේ ඇයි?

3 ජීවිතයේ සෑම කාරණයකදීම යෙහෝවා දෙවිට කීකරු වීමට අප බැඳී සිටිනවා. ඊට එක් හේතුවක් යෙරෙමියා පැවසූ මේ දෙයින් පැහැදිලියි. “දෙවි තම බලයෙන් මේ පොළොව සෑදුවේය. තම ප්‍රඥාවෙන් එය ස්ථිර ලෙස පිහිටෙව්වේය.” (යෙරෙ. 10:12) මේ මුළු විශ්වයේම පාලකයා යෙහෝවා දෙවියි. ඒ නිසා අන් සියලුදෙනාටම වඩා අප කීකරු විය යුත්තෙත් ගරුබිය දැක්විය යුත්තෙත් ඔහුටයි. තමන් දී තිබෙන ආඥාවලට කීකරු වන්න කියා අපෙන් ඉල්ලා සිටීමටත් දෙවිට අයිතියක් තිබෙනවා. දෙවි එම ආඥා දී තිබෙන්නේ අපේම යහපත වෙනුවෙනුයි.—යෙරෙ. 10:6, 7.

91වන පිටුවේ පින්තූරය

දෙවි සපයා තිබෙන ‘ජීවනදායක ජලය’ පානය කිරීමෙන් දෙවිට කීකරුව සිටීමට අපට හැකියි

4, 5. (අ) නියං කාලයේදී යුදෙව්වන් තේරුම්ගත් වැදගත් කාරණය කුමක්ද? (ආ) “ජීවනදායක දිය උල්පත” වන දෙවිගෙන් ලැබුණු ජලය යුදෙව්වන් නොසලකාහැරියේ කෙසේද? (ඇ) දෙවි සපයන ජීවනදායක ජලයෙන් ඔබට ප්‍රයෝජන ගත හැක්කේ කෙසේද?

4 අප දෙවිට කීකරු විය යුතු තවත් හේතුවක් වන්නේ අපේ ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය සෑම දෙයක්ම සපයන තැනැත්තා ඔහු වීමයි. යෙරෙමියාගේ කාලයේ සිටි යුදෙව්වන් එම කාරණය සත්‍යයක් බව අද්දුටුවා. පොරොන්දු දේශයේ ජීවත් වූ ඊශ්‍රායෙල්වරුන්ට ජලය ලබාගැනීමට තිබූ ප්‍රධාන මාර්ගය වුණේ වර්ෂාවයි. ඒ නිසා ඔවුන් වැසි ජලය පොකුණුවල රැස් කර තබාගත්තා. නිසි කාලවලදී යෙහෝවා දෙවි ලබා දුන් වර්ෂාව ඔවුන්ගේ ජීවිත ගෙන යෑමට අත්‍යවශ්‍ය දෙයක් වූ නිසා ඔවුන් එය ඉතා වැදගත් දෙයක් ලෙස සැලකුවා. (ද්වි. 11:13-17) කෙසේවෙතත් යෙරෙමියාගේ කාලයේ ජීවත් වූ යුදෙව්වන් දෙවිට අකීකරු වෙමින් ක්‍රියා කළ නිසා දෙවි ඔවුන්ට නිසි කාලයේදී වර්ෂාව ලබා දුන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ කෙත්වතු හා මිදිවතු පාළුවට ගියා. ළිං හා පොකුණු සියල්ල සිඳී ගියා.—යෙරෙ. 3:3; 5:24; 12:4; 14:1-4, 22; 23:10.

5 එදිනෙදා ජීවිතය ගෙන යෑමට අවශ්‍ය වැසි ජලය ඔවුන් ඉතා වැදගත් දෙයක් ලෙස සැලකුවත් ‘ජීවනදායක දිය උල්පතෙන්’ ලැබුණු ජලය එනම් දෙවිගේ මඟ පෙන්වීම් නොසලකාහැරියා. ඔවුන් දෙවිගේ ආඥා හිතාමතාම කඩ කරමින් අවට ජාතීන් සමඟ සාම ගිවිසුම් ඇති කරගත්තා. යුදෙව්වන් කළේ ජල හිඟයක් පවතින කාලයක කාන්දු වන පොකුණුවලට ජලය රැස් කරගන්නවා හා සමාන දෙයක්. (යෙරෙමියා 2:13; 17:13 කියවන්න.) එදා මෙන් අදත් දෙවි අපට ජීවනදායක ජලය නොඅඩුව සපයනවා. ඔහු එසේ කරන්නේ ශුද්ධ ලියවිල්ල මාර්ගයෙන් අපට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දීමෙනුයි. දෙවි සපයන ඒ ජීවනදායක ජලයෙන් ප්‍රයෝජන ගැනීමට නම් අප දිනපතාම ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කර ඒ අනුව ජීවත් වීමට දැඩි උත්සාහයක් දැරිය යුතුයි. අප එසේ නොකළොත් යුදෙව්වන් මෙන් අපත් අනතුරේ වැටීමට ඉඩ තිබෙනවා.

6. (අ) දෙවිට කීකරු වීම ශෙදකියා රජු සැලකුවේ කෙසේද? (ආ) ශෙදකියා රජු ක්‍රියා කළේ අඥානවයි කියා ඔබ සිතන්නේ ඇයි?

6 යූදා දේශය පිටට දෙවි විනාශය ගෙනෙන දවස ළඟා වෙමින් තිබූ නිසා යුදෙව්වන් තම වැරදි ගැන පසුතැවිලි වී දෙවිට කීකරු වීම අත්‍යවශ්‍ය දෙයක් වුණා. ඔවුන්ට දෙවිගේ අනුමැතිය හා ආරක්ෂාව ලබාගැනීමට හැකි වුණේ එවිටයි. ශෙදකියා රජුත් කළ යුතුව තිබුණේ එයයි. නමුත් දෙවි ඉදිරියේ හරි දේ කිරීමට තරම් නිර්භීතකමක් ඔහුට තිබුණේ නැහැ. උදාහරණයකට යෙරෙමියාව මරා දැමිය යුතුයි කියා අධිපතීන් පැවසූ අවස්ථාවේදී ඊට විරුද්ධව පියවර ගැනීමට තරම් ධෛර්යයක් ඔහු තුළ තිබුණේ නැහැ. කෙසේවෙතත් තම දිවි ගලවාගත් යෙරෙමියා, පසු අවස්ථාවක නැවතත් රජුගෙන් ඉල්ලා සිටියේ, “යෙහෝවා දෙවිගේ වදන්වලට කීකරු වෙන්න” කියායි. (යෙරෙමියා 38:4-6, 20 කියවන්න.) නමුත් ශෙදකියා රජ එසේ ක්‍රියා කළේ නැහැ.

යෙහෝවා දෙවිට කීකරු වන්න කියා යෙරෙමියා යුදෙව්වන්ට නැවත නැවත පැවසීම වැදගත් වුණේ ඇයි?

යෙහෝවා දෙවිට කීකරු වීම අත්‍යවශ්‍යයි

7. ඔබේ කීකරුකම අභියෝගයට ලක් විය හැකි අවස්ථාවන් මොනවාද?

7 එදා මෙන් අදත් යෙහෝවා දෙවිට කීකරු වීම අත්‍යවශ්‍ය දෙයක්. යෙහෝවා දෙවිට කීකරුව ජීවත් වීමට ඔබ ගෙන තිබෙන අධිෂ්ඨානය කොතරම් ශක්තිමත්ද? කාමුක දර්ශන ඇතුළත් වෙබ් අඩවියක් නොසිතූ ලෙස ඔබ ඉදිරියේ දිස් වුණොත් ඔබ එම වෙබ් අඩවියට පිවිසෙනවාද? නැත්නම් ඉක්මනින් එයින් ඉවත් වෙනවාද? රැකියා ස්ථානයේ හෝ පාසැලේ කෙනෙක් ඔබ සමඟ ප්‍රේම සම්බන්ධයක් පටන්ගැනීමට උත්සාහ කළොත් ඔබ එය ප්‍රතික්ෂේප කරනවාද? සැබෑ නමස්කාරය අත්හැර ගිය අය ලියූ පොත් පත් කියවීමට හෝ ඔවුන්ගේ වෙබ් අඩවිවලට පිවිසීමට ඔබ තුළ කුතුහලයක් තිබෙනවාද? නැත්නම් එවැනි දේවලින් සම්පූර්ණයෙන්ම ඈත්ව සිටීමට ඔබ අදිටන් කරගෙන සිටිනවාද? ඔබේ කීකරුකම අභියෝගයකට ලක් වන එවැනි අවස්ථාවලදී හා ඒ හා සමාන වෙනත් අවස්ථාවලදී යෙරෙමියා 38:20හි සඳහන් වදන් මතක තබාගන්න.

8, 9. (අ) වැඩිමහල්ලන් ඔබට උපදෙස් ලබා දෙන විට ඊට කීකරු වීම ඥානවන්ත දෙයක් වන්නේ ඇයි? (ආ) වැඩිමහල්ලන් නැවත නැවත ඔබට උපදෙස් ලබා දෙන විට ඔබ එය සැලකිය යුත්තේ කෙසේද?

8 යෙහෝවා දෙවි නිතර නිතර යෙරෙමියාව සෙනඟ වෙතට යවමින් “ජනයෙනි, ඔබේ නරක මාර්ගවලින් ඉවත් වන්න. දුෂ්ට ක්‍රියා අත්හැර යහපත් ලෙස හැසිරෙන්න” කියා සෙනඟගෙන් ඉල්ලුවා. (යෙරෙ. 7:3; 18:11; 25:5; යෙරෙමියා 35:15 කියවන්න.) එදා යෙරෙමියා කළා හා සමාන කාර්යයක් අද දින සභාවේ වැඩිමහල්ලන්ද ඉටු කරනවා. සභාවේ සිටින සහෝදරයෙකු හෝ සහෝදරියක වැරදි මඟට යොමු වන බව වැඩිමහල්ලන්ට තේරුණු විට යම් උපදෙස් හා මඟ පෙන්වීම් ලබා දෙමින් ඔහුව හෝ ඇයව නැවත හරි මඟට ගැනීම සඳහා ඔවුන් හැකි උපරිමය කරනවා. ඔබටත් වැඩිමහල්ලන්ගෙන් යම් උපදෙස් හෝ මඟ පෙන්වීම් ලැබුණොත් ඔවුන්ට සවන් දෙන්න.

9 වැඩිමහල්ලන් කලින් අවස්ථාවකදී ඔබට ලබා දුන් උපදෙසක් හෝ මඟ පෙන්වීමක් නැවත වතාවක් ඔබට ලබා දිය හැකියි. එලෙස නැවත නැවත උපදෙස් ලබා දීම වැඩිමහල්ලන්ටත් පහසු කාර්යයක් නොවන බව අමතක කරන්න එපා. විශේෂයෙන්ම ඔවුන්ගෙන් උපදෙස් ලබන තැනැත්තා එදා සිටි යුදෙව්වන් මෙන් ලබා දෙන උපදෙස් හෝ මඟ පෙන්වීම් අදාළ කරගන්න කැමති නැත්නම් ඔවුන්ට ඒ දේ කිරීම තවත් අමාරුයි. වැඩිමහල්ලන් ඔබට උපකාර කිරීමට නැවත නැවත දරන උත්සාහය දෙවි ඔබට ප්‍රේමය පෙන්වන ආකාරයක් ලෙස සලකන්න. මේ කාරණයද මතක තබාගන්න. එදා සිටි යුදෙව්වන් යෙරෙමියා පැවසූ පණිවිඩවලට සවන් දී තම ජීවිත වෙනස් කරගත්තා නම් ඔවුන් වෙතට ගොස් එම පණිවිඩ නැවත නැවත ප්‍රකාශ කිරීමට යෙරෙමියාට සිදු වන්නේ නැහැ. එසේනම් නැවත නැවත උපදෙස් ලැබීම මඟහැරීමට නම් ලැබෙන උපදෙස්වලට විගස කීකරු වන්න.

94වන පිටුවේ පින්තූරය

වැඩිමහල්ලන් ඔබට උපකාර කිරීමට උත්සාහ කරන විට සවන් දෙන්න

දෙවි සමාව දෙන්නේ අවංකව පසුතැවිලි වන අයටයි

10. දෙවි සමාව දීමට කලින් සැලකිලිමත් වන්නේ කුමන කාරණය ගැනද?

10 අපට ජීවත් වීමට සිදු වී තිබෙන්නේ දුෂ්ට සමාජයක නිසා අප කොතරම් උත්සාහ දැරුවත් සියයට සියයක්ම දෙවිට කීකරු වීමට අපට නොහැකියි. ඒ නිසා අප අතින් යම් වරදක් සිදු වුණොත් අපට සමාව දීමට දෙවි කැමැත්තෙන් සිටින බව දැන සිටීම අපට මොන තරම් සහනයක්ද! නමුත් දෙවි සමාව දීමට කලින් යම් දෙයක් ගැන සැලකිලිමත් වෙනවා. එනම් වරද කළ තැනැත්තා සමාව ලැබීමට සුදුසුද යන්න ගැනයි. යෙහෝවා දෙවි වැරදි ක්‍රියාවන් සුළුවට තකන දෙවි කෙනෙකු නොවෙයි.—යෙසා. 59:2.

11. තමන් කරන වැරදි කිසිවෙකුට හසු නොවෙයි කියා සිතීම අඥාන දෙයක් වන්නේ ඇයි?

11 යුදෙව්වන් නිතර නිතර දෙවිට අකීකරුව ක්‍රියා කරමින් දෙවි පෙන්වූ දයාව හා ඉවසිලිවන්තකම සැහැල්ලුවට ගත්තා. අද දිනත් දෙවිගේ සේවකයෙකු දෙවි දී තිබෙන මඟ පෙන්වීම් නොසලකාහරිමින් වැරදි ක්‍රියාවක නියැලෙනවා නම් ඔහු ක්‍රියා කරන්නෙත් යුදෙව්වන් හා සමානවයි. සමහරක් අය එළිපිටම එවැනි ක්‍රියාවල නියැලිය හැකියි. උදාහරණයකට ශුද්ධ ලියවිල්ලට අනුව නැවත විවාහ වීමට නිදහස නැති කෙනෙකු විවාහ වුණොත් ඔහු හෝ ඇය කරන්නේ පාපයක්. තවත් සමහරක් අය රහසිගතව වැරදි ක්‍රියාවල නියැලෙනවා. දෙබිඩි ජීවිතයක් ගත කරන එවැනි කෙනෙක් තමන් කරමින් සිටින වරද කිසිවෙකුට හසු නොවෙයි කියා සිතන්න පුළුවන්. නමුත් යෙහෝවා දෙවිගෙන් කිසිම දෙයක් සඟවන්න බැහැ. මිනිසුන්ගේ සිතේ තිබෙන දේවල් පවා ඔහු දකිනවා. (යෙරෙමියා 32:19 කියවන්න.) එලෙස යම් කෙනෙක් දෙවිට අකීකරු වී පාපයක් කර තිබෙනවා නම් කළ යුත්තේ කුමක්ද?

12. සභාව ආරක්ෂා කරගැනීම සඳහා සමහර අවස්ථාවලදී වැඩිමහල්ලන්ට කුමන පියවර ගැනීමට සිදු වෙයිද?

12 වැරදි කරමින් සිටි යුදෙව්වන්ව යහමඟට ගැනීමට දෙවි යෙරෙමියාව නැවත නැවත ඔවුන් වෙතට යැව්වත් ඔවුන් ඔහුව ගණන් ගත්තේ නැහැ. දෙවිගේ උපකාරය පිළිගන්නවා වෙනුවට ඔවුන් යෙරෙමියාව සමච්චලයට ලක් කළා. අද දිනත් යම් බරපතළ වරදක නියැලෙන කෙනෙක් කිසි පසුතැවිල්ලක් නොපෙන්වමින් වැඩිමහල්ලන් ලබා දෙන මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කළ හැකියි. එවැනි අවස්ථාවකදී බයිබලයේ දී තිබෙන මඟ පෙන්වීමට අනුව එම පුද්ගලයාව සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට වැඩිමහල්ලන්ට සිදු වෙනවා. ඔවුන් එසේ කරන්නේ සභාව ආරක්ෂා කිරීම සඳහායි. (1 කොරි. 5:11-13; 97වෙනි පිටුවේ සඳහන්, “දෙවිගේ මඟ පෙන්වීම් නැති ජීවිතයක්” නමැති කොටුව බලන්න.) ඉන් අදහස් කරන්නේ එවැනි කෙනෙකුට නැවත කිසිදාක දෙවිගේ අනුමැතිය ලබාගත නොහැකි බවද? නැහැ. ඊශ්‍රායෙල් සෙනඟ බොහෝ කාලයක් පුරා යෙහෝවා දෙවිට විරුද්ධව වැරදි කරමින් සිටියත් දෙවි ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ, “කැරලිකාර පුත්‍රයෙනි! මා වෙතට හැරී එන්න. මම ඔබේ කැරලිකාර ගතිපැවතුම් වෙනස් කර ඔබව යහමඟට ගන්නෙමි” කියායි. (යෙරෙ. 3:22)a එදා මෙන් අදත් වැරදි කරන අයගෙන් දෙවි ඉල්ලා සිටින්නේ පසුතැවිලි වී ඔහු වෙතට හැරී එන්න කියායි.

දෙවිගේ මඟ පෙන්වීම් නැති ජීවිතයක්

යෙරුසලමේ විනාශයෙන් පසු එහි ඉතුරු වූ යුදෙව්වන් ජීවත් වුණේ මොන වගේ වාතාවරණයක් යටතේද? විලාප ගී 2:9හි යෙරෙමියා සඳහන් කර තිබෙන දෙයින් ඒ ගැන යම් අදහසක් අපට ලබාගත හැකියි. එහි පෙන්වා තිබෙන ආකාරයට බොහෝ කාලයක් පුරා නගරයට ආරක්ෂාව සැලසූ විශාල පවුරු හා දොරටු කඩා බිඳ දමා තිබුණා. ඊටත් වඩා භයානක දෙය වුණේ දේශයෙහි ‘නීතියක් නොතිබීමයි.’ එසේ පැවසීමෙන් යෙරෙමියා අදහස් කළේ කුමක්ද? පෙනෙන විදිහට යෙරෙමියා ඉන් අදහස් කළේ දෙවිගේ නීතිය පහදා දුන් විශ්වාසවන්ත පූජකයන් හා අනාගතවක්තෘවරුන් යටතේ යුදෙව්වන් අද්දුටු සුරක්ෂිතභාවය හා සහනය ඔවුන්ට අහිමි වී තිබෙන බවයි. දේශයේ ඉතුරු වී සිටි අය බොරු අනාගතවක්තෘවරුන්ගෙන් යම් සහනයක් ලැබෙයි කියා බලා සිටියත් ඔවුන්ට යෙහෝවා දෙවිගෙන් කිසි මඟ පෙන්වීමක් ලැබුණේ නැහැ. ඔවුන් දුටුවේ කිසිම පලක් නැති “දර්ශන” පමණයි.—විලා. 2:14.

සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ කෙනෙකු සිටින්නෙත් එදා යුදෙව්වන් සිටියා හා සමාන තත්වයකයි. සෙසු සහෝදර සහෝදරියන් සමඟ කලින් තිබූ කිට්ටු මිත්‍රත්වය තවදුරටත් අද්දකින්න බැහැ. වැඩිමහල්ලන්ගෙන් ලැබුණු ප්‍රේමණීය සැලකිල්ල හා දෙවිගේ වචනයෙන් ලැබූ පෝෂණය ඔහුට තවදුරටත් ලැබෙන්නේ නැහැ. ඔහු සිටින්නේ යෙහෝවා දෙවිගේ රැකවරණය හා මඟ පෙන්වීම් නොලැබෙන සමාජයකයි. වෙනත් විදිහකින් පවසනවා නම් ‘නීතියක් නැති දේශයකයි.’ නමුත් ඔහුට නැවතත් දෙවිගේ අනුමැතිය දිනාගෙන කලින් අද්දුටු ආශීර්වාද භුක්ති විඳීමට අවස්ථාව තිබෙනවා. (2 කොරි. 2:6-10) ඇත්තටම ඥානවන්ත දෙය වන්නේ එවැනි වාතාවරණයක ජීවත් වෙනවාට වඩා දෙවිට කීකරුව ජීවත් වීමයි.

අප අතින් වරදක් සිදු වූ විට දෙවිගෙන් සමාව අයැද සිටීම ඥානවන්ත දෙයක් වන්නේ ඇයි?

යෙහෝවා දෙවි වෙතට හැරී එන්න

13. වරදක් කළ කෙනෙකු දෙවි වෙතට හැරී ඒමට නම් ඔහු තේරුම්ගත යුත්තේ මොනවාද?

13 යෙරෙමියාගේ කාලයේ සිටි යුදෙව්වන් බොහෝ වැරදි කළත් ‘මම මොනවාද මේ කළේ’ කියා තමන්ගෙන්ම අසා තමන් කළ වැරදිවල බරපතළකම තේරුම්ගැනීමට ඔවුන්ට කිසි වුවමනාවක් තිබුණේ නැහැ. එසේ ඔවුන් තමන් කළ වැරදි ගැන අවංකව පසුතැවිලි නොවූ නිසා ඔවුන්ට සමාව දීමට යෙහෝවා දෙවිට පුළුවන්කමක් තිබුණේ නැහැ. (යෙරෙමියා 8:6 කියවන්න.) ඔවුන්ට වෙනස්ව අවංකව පසුතැවිලි වන කෙනෙක් දෙවිට අකීකරු වී තමන් කළ වරද නිසා දෙවිගේ නාමයට හා සභාවට ඇති වූ කැළැල මොන තරම්ද කියා තේරුම්ගන්නවා. තමන් නිසා අන් අයට සිදු වූ හානිය ගැනත් ඔහු පසුතැවෙනවා. යෙහෝවා දෙවිට සමාව දීමට හැකි වන්නේ එලෙස පසුතැවිල්ලක් පෙන්වන අයටයි. නමුත් දෙවි වෙතට හැරී ඔහුගේ අනුමැතිය දිනාගැනීමට තවත් දේවල් ඇතුළත් වෙනවා.

14. කෙනෙකුට “නැවතත් යෙහෝවා දෙවි වෙතට හැරී” ආ හැක්කේ කෙසේද? (“අවංක පසුතැවිල්ල යනු කුමක්ද?” නමැති කොටුව බලන්න.)

14 අවංකව පසුතැවිලි වන කෙනෙක් තම ආකල්ප, ආශාවන් හා ක්‍රියාවන් ගැඹුරින් සෝදිසි කර බලනවා. (විලාප ගී 3:40, 41 කියවන්න.) එසේ කරන විට තමන් අතින් සිදු වූ වරදට මුල පිරූ කාරණා හඳුනාගැනීමට ඔහු උත්සාහ කරනවා. උදාහරණයකට තමන් අතින් වරදක් සිදු වීමට හේතු වුණේ විරුද්ධ ලිංගයේ අය සමඟ ඇති කරගත් මිත්‍රත්වයන්ද මත්පැන් හෝ දුම්පානයද අන්තර්ජාලය භාවිතයද නැත්නම් ව්‍යාපාරික කටයුතුද කියා ඔහු කල්පනා කර බලනවා. එසේ ඔහු තම වරදට මුල පිරූ සිතුවිලි හා ක්‍රියාවන් හඳුනාගත් පසු ඒ දේවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමට දැඩි වෑයමක් දැරිය යුතුයි. දෙවිගේ ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වීමෙන් ඔහු ‘නැවතත් යෙහෝවා දෙවි වෙතට හැරී ආ’ යුතුයි. යෙරෙමියාගේ කාලයේ ජීවත් වූ යුදෙව්වන් එසේ අවංකව දෙවි වෙතට හැරී ආවේ නැහැ. ඔවුන් කළේ ‘මවාපෑමක් පමණයි.’ (යෙරෙ. 3:10) නමුත් දෙවිගෙන් සමාව ලබාගැනීමට අවංක වුවමනාවක් තිබෙන කෙනෙක් පසුතැවිලි වන බව බොරුවට මවාපාමින් දෙවිව හෝ සභාවේ සාමාජිකයන්ව රැවටීමට උත්සාහ කරන්නේ නැහැ. එවැනි කෙනෙක් දෙවි වෙතට හැරී ඒමට උත්සාහ කරන්නේ ලැජ්ජාවෙන් බේරීමට හෝ දෙවිට නමස්කාර කරන තම නෑදෑ හිතමිතුරන් සමඟ නැවත ආශ්‍රය කිරීමට තිබෙන කැමැත්ත නිසා නොවෙයි. ඒ වෙනුවට ඔහුගේ ආශාව වන්නේ ඔහු කළ වරද සම්පූර්ණයෙන්ම අත්හැර දමා දෙවිගෙන් සමාව ලබාගෙන නැවත දෙවිගේ අනුමැතිය දිනාගැනීමයි.

අවංක පසුතැවිල්ල යනු කුමක්ද?

පසුතැවිල්ල විස්තර කිරීමට භාවිත කර තිබෙන හෙබ්‍රෙව් හා ග්‍රීක වචනවලින් මූලිකවම විස්තර කරන්නේ පුද්ගලයෙකුගේ ආකල්පයි. ඉන් අදහස් වන්නේ අවංකව පසුතැවිලි වන කෙනෙක් තමන් කළ වරදක් ගැන හෝ කිරීමට සිතූ දෙයක් ගැන ඔහුට හැඟුණු ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරන බවයි. තමා කළ වරදක් ගැන කෙනෙකුට දැනෙන දුක විස්තර කිරීමටත් දුක තුනී වීම විස්තර කිරීමටත් එම වචන යොදාගෙන තිබෙනවා. (2 සාමු. 13:39; යෝබ් 42:6) බයිබලයේ පැහැදිලිව පවසා තිබෙන්නේ කෙනෙකුගේ පසුතැවිල්ල ක්‍රියාවට සම්බන්ධ බවයි. මන්ද පසුතැවිලි වන කෙනෙකු තමන් කළ වරද ගැන බොහෝ සෙයින් දුක් වන නිසා ඔහු ක්‍රියා කරන ආකාරය වෙනස් කරගැනීමට පෙලඹෙනවා. දෙවි කැමති වන්නේ වැරදි කරන සෑම කෙනෙකුම එලෙස පසුතැවිලි වෙනවාටයි.—යෙරෙ. 31:18, 19.

15. අවංකව පසුතැවිලි වන කෙනෙකුගේ යාච්ඤා මොන වගේද?

15 දෙවි වෙතට හැරී ඒමට නම් තමන් අතින් සිදු වූ වරදට සමාව ඉල්ලා දෙවිට යාච්ඤා කිරීමත් අත්‍යවශ්‍යයි. (විලා. 3:41, 42) අවංකව පසුතැවිලි වන කෙනෙක් දෙවිට යාච්ඤා කරන විට තම සිතේ තිබෙන සෑම දෙයක්ම අවංකව දෙවිට පවසනවා. එවැනි කෙනෙකුට තමන් කළ වරද ගැන මහත් දුකක් දැනෙන නිසා තම යාච්ඤාවට එකඟව ජීවත් වීමට ඔහු පෙලඹෙනවා.

99වන පිටුවේ පින්තූරය

‘අනේ, මම ඇහුම්කන් දුන්නා නම් . . . ’

16. පසුතැවිලි වී දෙවි වෙතට හැරී ආ යුත්තේ ඇයි?

16 තමන් කළ වැරදි පිළිගෙන දෙවි වෙතට හැරී ඒමට නම් කෙනෙක් නිහතමානී විය යුතුයි. තමන් කළ වැරදි ගැන කෙනෙක් අවංකව පසුතැවිලි වන බව දෙවි දකින විට දෙවිට ඔහු ගැන දැඩි ‘කම්පාවක්’ ඇති වී ඔහුට සමාව දීමට දෙවි පෙලඹෙනවා. වහල්භාවයෙන් නිදහස් වී පැමිණි ඊශ්‍රායෙල්වරුන් ගැනත් දෙවිට එලෙස හැඟුණා. ඇත්තටම දෙවි කැමති වන්නේ වැරදි කළ සෑම කෙනෙකුම ඔහු වෙතට හැරී එනවා දකින්නයි. (යෙරෙ. 31:20) පසුතැවිලි වන එවැනි අයට දෙවි සමඟ නැවත මිත්‍රත්වයක් ඇති කරගෙන ප්‍රීතිමත් බලාපොරොත්තුවක් ඇතුව ජීවත් විය හැකියි. (යෙරෙ. 29:11-14) ඔවුන්ට නැවත වතාවක් දෙවිගේ සෙනඟ සමඟ එක්ව දෙවිට සේවය කිරීමේ ප්‍රස්තාවද තිබෙනවා.

කීකරුකම ඔබට ආරක්ෂාවක්

17, 18. (අ) රේකාබ්වරුන් කවුරුන්ද? (ආ) එකසිය දෙවෙනි පිටුවේ තිබෙන පින්තූරයේ පෙන්වා තිබෙන ආකාරයට ඔවුන් ප්‍රසිද්ධියක් ඉසිලුවේ කුමක් සම්බන්ධයෙන්ද?

17 යෙහෝවා දෙවිට කීකරුව ජීවත් වීම අපට මහත් ආරක්ෂාවක්. ඒ බව යෙරෙමියාගේ කාලයේ ජීවත් වූ රේකාබ්වරුන්ගෙන් අපට පැහැදිලියි. රේකාබ්වරුන් පැවත ආවේ යේහුට සහයෝගය දුන් යෙහොනාදාබ්ගෙනුයි. ඔහු කේනිවරුන්ගෙන් පැවත ආ කෙනෙක්. යෙහොනාදාබ් ඔහුගෙන් පැවත ආ අයට ආඥා කිහිපයක් දී තිබුණා. වයින්වලින් වැළකී සිටීම ඉන් එකක්. යෙහොනාදාබ් මිය ගිහින් අවුරුදු ගණනාවක් ගත වී තිබුණත් රේකාබ්වරුන් ඔහු දුන් ආඥා එලෙසම පිළිපැද්දා. ඔවුන් කොතරම් දුරට එම ආඥාවලට කීකරුව සිටිනවාද කියා සෝදිසි කර බැලීම සඳහා යෙරෙමියා ඔවුන්ව දෙවිගේ ගෘහයේ තිබූ කෑම කාමරයකට ගෙන ගොස් වයින් පිළිගන්වා ඒවා බොන්න කියා ඔවුන්ට පැවසුවා. නමුත් ඔවුන් එකහෙළාම කියා සිටියේ, “අපි වයින් බොන්නේ නැහැ” කියායි.—යෙරෙ. 35:1-10.

18 මිය ගොස් සිටි තම මුතුන්මිත්තා දුන් ආඥා පිළිපැදීම රේකාබ්වරුන් එතරම් බැරෑරුම් දෙයක් ලෙස සැලකුවා නම් ජීවමාන දෙවිගේ අණපනත් පිළිපැදීම අප කොතරම් බැරෑරුම්ව සැලකිය යුතුද? අකීකරු යුදෙව්වන්ට වඩා වෙනස්ව රේකාබ්වරුන් පෙන්වූ කීකරුකම දෙවිගේ සිත් ගත්තා. පැමිණීමට නියමිතව තිබූ විනාශයේදී ඔවුන්ට දෙවිගේ රැකවරණය ලැබෙන බවට දෙවි සහතික වුණේ ඒ නිසයි. කීකරුකම එදා රේකාබ්වරුන්ට ආරක්ෂාවක් වූ ලෙසම දෙවිගේ සෙනඟ දෙවිට කීකරුව සිටියොත් ඉදිරියේදී පැමිණීමට නියමිත මහත් පීඩාවේදී සමූහයක් හැටියට ඔවුන්ටත් දෙවිගේ ආරක්ෂාව අද්දැකිය හැකියි.—යෙරෙමියා 35:19 කියවන්න.

102වන පිටුවේ පින්තූරය

කීකරුකම පෙන්වීම සඳහා බරපතළ වරදක් කළ කෙනෙකු පසුතැවිලි වීම වැදගත් වන්නේ ඇයි? බරපතළ වරදක් නොකර සිටීමට කීකරුකම ඉවහල් වන්නේ කෙසේද?

දෙවිට කීකරු වන අය කිසිදා තනි වෙන්නේ නැහැ

19. ඔබ දෙවිට කීකරුව සිටිනවා නම් දෙවි ඔබට ලබා දෙන්නේ මොන වගේ ආරක්ෂාවක්ද?

19 අතීතයේ මෙන් අද දිනත් දෙවි තම කීකරු සේවකයන්ව ආරක්ෂා කරනවා. දෙවි එම ආරක්ෂාව ප්‍රධාන වශයෙන් ලබා දෙන්නේ ඔහු සමඟ තිබෙන මිත්‍රත්වයට හානි විය හැකි දේවලින් ඔවුන්ව ආරක්ෂා කිරීමෙනුයි. දෙවිගෙන් ලැබෙන එම ආරක්ෂාව පුරාණයේ යම් නුවරක් වටා ඉදි කර තිබූ පවුරකින් එම නුවරට ලැබුණු ආරක්ෂාව හා සමානයි. කෙනෙකු දෙවි දී තිබෙන නීති හා ප්‍රතිපත්ති හොඳින් අධ්‍යයනය කර ඒවා තම ජීවිතයට අදාළ කරගන්නවා නම් ඔහුට එම ආරක්ෂාව අද්දැකිය හැකියි. එම ආරක්ෂාව හැමදාටම අද්දකින්න ඔබ අදිටන් කරගෙන සිටිනවාද? ඔබ එසේ කළොත් ඔබට යහපතක් වන බව නිසැකයි. (යෙරෙ. 7:23) බොහෝදෙනා එය සත්‍යයක් බව අද්දැක තිබෙනවා.—104වෙනි පිටුවේ සඳහන්, “කීකරුකම ආරක්ෂාවක්” නමැති කොටුව බලන්න.

20, 21. (අ) දෙවිට කීකරුව සිටිනවා නම් ඔබට කුමක් ගැන නිසැක විය හැකිද? (ආ) යෙරෙමියා මාර්ගයෙන් දෙවි පැවසූ පණිවිඩයට යෙහෝයාකිම් රජ ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

20 ඔබේ පවුලේ අයගෙන්, රැකියා ස්ථානයේ හෝ පාසැලේ සිටින අයගෙන් හෝ ආණ්ඩු බලධාරීන්ගෙන් පැමිණෙන පීඩා හා විරුද්ධවාදිකම් නිසා දෙවිට සේවය කිරීම ඔබට අභියෝගයක් විය හැකියි. නමුත් සෑම අවස්ථාවකදීම ඔබ යෙහෝවා දෙවිට කීකරුව සිටිනවා නම් ඕනෑම අමාරු අභියෝගයකට මුහුණ දීමට අවශ්‍ය උපකාරය ඔහු සපයනවා. අපට ඒ ගැන ස්ථිර විය හැක්කේ කෙසේද? යෙරෙමියා ගැන සලකා බලන්න. ඔහුට දරුණු විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට සිදු වුණත් දෙවි ඔහු සමඟ සිට ඔහුව ශක්තිමත් කරන බවට පොරොන්දු වුණා. දෙවි ඒ පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු කළා. (යෙරෙමියා 1:17-19 කියවන්න.) යෙහෝයාකිම් රජුගේ කාලයේ සිදු වූ දෙයක් සලකා බලන්න.

21 යෙහෝයාකිම් රජු යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරුන්ට දරුණු ලෙස පීඩා කළ රජවරුන් අතරින් එක් කෙනෙක්. යෙරෙමියාගේ කාලයේ සිටි උරියාහ් නම් අනාගතවක්තෘවරයා පැවසූ අනාවැකි ගැන අසතුටු වූ ඔහු, උරියාහ්ව මරන්න සෙව්වා. ඒ බව ආරංචි වී උරියාහ් වෙනත් රටකට පලා ගියත් රජු ඔහුව අල්ලාගෙන ඒමට පිරිසක්ව පිටත් කර හැරියා. ඔවුන් උරියාහ්ව අල්ලාගෙන රජු ඉදිරියට ගෙනා විට රජු කඩුවෙන් ඇන උරියාහ්ව මරා දැමුවා. (යෙරෙ. 26:20-23) එලෙස දරුණු ලෙස ක්‍රියා කළ යෙහෝයාකිම් රජුගේ පාලනයේ හතරවෙනි අවුරුද්දේදී තමා ඒ වන තෙක් පැවසූ පණිවිඩ සියල්ල ලියවිල්ලක සටහන් කර එය දේවමාලිගාවේ සියලුදෙනාට ඇසෙන්න කියවන්න කියා දෙවි යෙරෙමියාට පැවසුවා. එම ලියවිල්ල ගැන ආරංචි වූ විට රජු එය ගෙන්වාගෙන එය ඔහුට ඇසෙන සේ කියවන්න කියා අණ කළා. එම ලියවිල්ල කියවමින් සිටියදී රජු එයින් කොටස් කිහිපයක් ඉරා ගින්නට වීසි කළ අතර එසේ නොකරන ලෙස අධිපතීන් රජුගෙන් ඉල්ලා සිටියත් ඔහු මුළු ලියවිල්ලම ගින්නට දමා දවා දැමුවා. ඉන්පසු ඔහු යෙරෙමියාව හා බාරුක්ව අල්ලාගෙන එන ලෙසට නියෝග කළා. නමුත් ‘යෙහෝවා දෙවි ඔවුන් දෙදෙනාව සඟවා තැබුවා.’—යෙරෙ. 36:1-6; යෙරෙමියා 36:21-26 කියවන්න.

කීකරුකම ආරක්ෂාවක්

දෙවිට කීකරු වීම කොතරම් ආරක්ෂාවක්ද කියා ස්පාඤ්ඤයේ ජීවත් වන එක් යෞවන සහෝදරයෙක් අද්දුටුවා. ඔහු ඒ ගැන මෙසේ ලියනවා. “මගේ පන්තියේ හිටිය එක ගැහැනු ළමයෙක් මාත් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්න කැමතියි කියලා මට කිව්වා. එයා හරි ලස්සනයි. ඒත් යෙහෝවා දෙවිට නමස්කාර කරන්නේ නැති කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්න එක වැරදියි කියලා මම දැනගෙන හිටියා.

“ඒ කාලයේදීම වගේ පාසැල් වාර අවසානයේදී පවත්වන සාදයකට සහභාගි වෙන්න කියලා මගේ පන්තියේ ළමයි මට බල කළා. ඒත් මම බයිබල් ප්‍රතිපත්ති එයාලට පෙන්නලා ඒ සාදයට මං එන්නේ නැත්තේ ඇයි කියලා පැහැදිලි කළා. එතකොට ඒගොල්ලන් මට එක එක නම් කියලා විහිළු කළා. ඒ වෙලාවේ මට දැනුණේ මම කොන් වෙලා කියලයි. ඒ ප්‍රශ්නය ගැන මම වැඩිමහල්ලෙක් එක්ක කතා කළා. එයා මගෙන් මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා. ‘ඔයාගේ ප්‍රතිපත්තිවලට, ඔයා ගන්න තීරණවලට ගරු කරන්නේ නැති අය ඔයාගේ යාළුවෝ කියලා කියන්න පුළුවන්ද?’ ඒ වදන්වලින් මම කොච්චර ශක්තිමත් වුණාද කියනවා නම් පන්තියේ ළමයිගෙන් ආව පීඩාවලට හොඳින් මුහුණ දෙන්න මට පුළුවන් වුණා.

“මම ගත්ත තීරණය ගැන මම අද ගොඩක් සතුටු වෙනවා. මොකද ඒ සාදය අතරතුරේදී එක ගැහැනු ළමයෙක්ව දූෂණය කළා. ඒ විතරක් නෙමෙයි එදා මගේ පන්තියේ ළමයි තුන්දෙනෙක් ගමන් කරපු වාහනය අනතුරකට ලක් වුණා. ඒකෙන් එයාලට දරුණු විදිහට තුවාල වුණා. මොකද වාහනය පදවලා තිබුණේ බීමත්වයි. එදා මාත් සාදයට ගියා නම් සමහරවිට මමත් ඒ වාහනේ ඉන්න තිබුණා. පාසැලේ අයගෙන් පීඩන එල්ල වුණත් දෙවිට කීකරුව ඉන්න දෙවි මාව ශක්තිමත් කළ එක ගැන මම දෙවිට ගොඩක් ස්තුති කරනවා.”

22, 23. මධ්‍යම ආසියාවේ ජීවත් වන සහෝදරියගේ අද්දැකීමෙන් දෙවි සපයන උපකාරය ගැන හෙළි වන්නේ කුමක්ද?

22 එදා මෙන් අදත් තම විශ්වාසවන්ත සේවකයන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට දෙවිට හැකියි. නමුත් සෑම අවස්ථාවකදීම දෙවි එසේ කරයි කියා අපට බලාපොරොත්තු විය නොහැකියි. ඒ කෙසේවෙතත් ඕනෑම අභියෝගයක් හමුවේ ඔහුට විශ්වාසවන්තව සිටිමින් ශුභාරංචිය දිගටම දේශනා කිරීමට අවශ්‍ය ප්‍රඥාව හා නිර්භීතකම දෙවි තම සේවකයන්ට ලබා දෙනවා. දරුවන් හතරදෙනෙකුව තනියම හදා වඩා ගන්නා මධ්‍යම ආසියාවේ ජීවත් වන එක් සහෝදරියකගේ අද්දැකීම සලකා බලන්න. ඇය ජීවත් වුණේ බලධාරීන් විසින් ශුභාරංචිය දේශනා කිරීම තහනම් කර තිබූ ප්‍රදේශයකයි. ඒ අවට කිසිම සාක්ෂිකරුවෙක් සිටියේ නැහැ. ඇයට කිට්ටුම සභාව තිබුණේ ඊට කිලෝමීටර් 400ක් පමණ දුරිනුයි. ඇයට සහෝදර සහෝදරියන්ව ආශ්‍රය කිරීමට අවස්ථාව ලැබුණේ කලාතුරකිනුයි. නමුත් යෙහෝවා දෙවිගේ උපකාරය ඇයට ලැබුණු නිසා විරුද්ධවාදිකම් හා ප්‍රශ්න ගැටලු මැද පවා ගෙයින් ගෙට ගොස් ශුභාරංචිය දේශනා කර උනන්දුව දක්වන අයව සොයාගැනීමට ඇයට හැකි වුණා. මෑතකදී ලැබුණු වාර්තාවකට අනුව ඇය 20දෙනෙකුට පමණ බයිබලයේ තිබෙන සත්‍යයන් කියා දෙමින් සිටිනවා. ඊට අමතරව ඔවුන් සියලුදෙනාටම කණ්ඩායමක් ලෙස දියුණු වීමට අවශ්‍ය උපකාරද ඇය ලබා දෙනවා.

23 යෙහෝවා දෙවි යෙරෙමියාට හා එම සහෝදරියට උපකාර කළ ලෙසම ඔබටත් ඔහුගේ අනිකුත් කීකරු සේවකයන්ටත් උපකාර කිරීමට සූදානමින් සිටිනවා. මිනිසුන්ට නොව ඔබේ පාලකයා ලෙස දෙවිට කීකරු වන්න. එසේ කරනවා නම් කොතරම් විරුද්ධවාදිකම් හා අභියෝග පැමිණියත් ඔබේ ප්‍රදේශයේ සිටින අයට දෙවි ගැන කියා දීමෙන් ඔබ වැළකී සිටින්නේ නැහැ.—යෙරෙ. 15:20, 21.

24. දෙවිට කීකරු වීමෙන් ඔබ ලබන ප්‍රයෝජන මොනවාද?

24 අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් නොමැතිව අප ස්වාධීනව ජීවත් වීමට උත්සාහ කළොත් අපට කවදාවත් සැබෑ සතුට හා තෘප්තිය අද්දැකිය නොහැකියි. (යෙරෙ. 10:23) කීකරුකම සම්බන්ධයෙන් යෙරෙමියා සඳහන් කර තිබෙන තොරතුරු සලකා බැලීමෙන් පසුව යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් තව වැඩියෙන් අදාළ කරගත යුතු පැති ඔබ හඳුනාගත්තාද? ඔබේ ජීවිතය සාර්ථක කරගැනීමටත් සන්තෝෂය අද්දැකීමටත් හැකි එකම මඟ දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගැනීමයි. ‘මාගේ හඬට කීකරු වන්න. ඔබ එසේ කළොත් ඔබේ ජීවිතය සාර්ථක වන්නේය’ කියා දෙවි පවසන්නේ ඒ නිසයි.—යෙරෙ. 7:23.

කීකරුකම ගැන යෙරෙමියා සඳහන් කළ තොරතුරු අදාළ කරගැනීමෙන් දෙවි සමඟ ඔබට තිබෙන මිත්‍රත්වය ශක්තිමත් කරගත හැක්කේ කෙසේද?

a දෙවි යෙරෙමියා මාර්ගයෙන් මේ අවස්ථාවේ කතා කරන්නේ ඊශ්‍රායෙල්හි උතුරු රාජ්‍යයේ වැසියන්ටයි. දෙවි මේ පණිවිඩය ඔවුන්ට ලබා දෙන විටත් ඔවුන් සිටියේ වහලුන් ලෙසයි. ඒ වන විට ඔවුන් අවුරුදු 100ක පමණ කාලයක් වහලුන් ලෙස ගත කර තිබුණා. ඔවුන් එතරම් කාලයක් වහලුන්ව සිටියේ ඔවුන් කළ වැරදි ගැන පසුතැවිලි නොවූ නිසයි. (2 රාජා. 17:16-18, 24, 34, 35) කෙසේවෙතත් පසුතැවිලි වී දෙවිගේ අනුමැතිය නැවත ලබාගෙන වහල්භාවයෙන් නිදහස් වීමට ඔවුන් එක් එක් කෙනාට අවස්ථාව තිබුණා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න