ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jr 9 පරි. 137-151 පි.
  • ‘බොහෝ දේවල් ලබාගැනීමට උත්සාහ නොකරන්න’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘බොහෝ දේවල් ලබාගැනීමට උත්සාහ නොකරන්න’
  • යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බාරුක් ලබාගැනීමට උත්සාහ කරන්න ඇත්තේ මොනවාද?
  • “මම ඔබේ ජීවිතය ආරක්ෂා කරන්නෙමි”
  • ඔබත් “බොහෝ දේවල්” ලබාගැනීමට උත්සාහ දරනවාද?
  • ‘වස්තුව’ රැස් කිරීමේ උගුලට හසු නොවන්න
  • ඔබත් ‘ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්නවාද?’
  • යෙරෙමියාගේ විශ්වාසවන්ත ලේකම් වූ බාරුක්
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි අපව සෝදිසි කරන්නේ අපේම යහපතටයි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අවසානය එන්න කලින් මිතුදම් තව ශක්තිමත් කරගන්න
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා කීකරු අයට ආශීර්වාද කර ආරක්ෂා කරයි
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
jr 9 පරි. 137-151 පි.

නවවෙනි පරිච්ඡේදය

‘බොහෝ දේවල් ලබාගැනීමට උත්සාහ නොකරන්න’

1, 2. (අ) යෙහෝයාකිම් රජුගේ පාලනයේ හතරවෙනි අවුරුද්දේ බාරුක් සිටි තත්වය විස්තර කරන්න. (ආ) දෙවි බාරුක්ට උපකාර කළේ කෙසේද?

යෙහෝවා දෙවි අවුරුදු 23ක් පුරා යෙරුසලමට හා යූදා දේශයට විරුද්ධව ප්‍රකාශ කළ පණිවිඩ ලියවිල්ලක සටහන් කරන්න කියා යෙරෙමියා තම ලේකම් වූ බාරුක්ට පැවසුවා. ඔහු එසේ පැවසුවේ යෙහෝයාකිම් රජුගේ පාලනයේ හතරවෙනි අවුරුද්දේදීයි. (යෙරෙ. 25:1-3; 36:1, 2) සටහන් කළ පණිවිඩ යෙහෝයාකිම් රජුගේ පාලනයේ පස්වෙනි අවුරුද්දේදී බාරුක් යුදෙව්වන් ඉදිරියේ කියෙව්වා. (යෙරෙ. 36:9, 10) ඒ අවදියේ බාරුක් සිටියේ කලකිරීමෙනුයි. එසේ පැවසීමට හේතුව කුමක්ද?

2 ඔහු මෙවැනි දෙයක් පවසා තිබෙන බව දෙවි යෙරෙමියා මාර්ගයෙන් පැවසුවා. “අනේ, මට සිදු වූ විපතක මහත! මම කලකිරී දුකෙන් සිටියා. යෙහෝවා දෙවි මගේ දුක තවත් වැඩි කළා.” එය ඔහු තුළ තිබූ හැඟීමක්ද නැත්නම් ඔහු ඇත්තටම පැවසූ දෙයක්ද කියා අප හරියටම දන්නේ නැහැ. කෙසේවෙතත් සිත් සෝදිසි කර බලන යෙහෝවා දෙවිගෙන් එය සැඟවීමට බාරුක්ට නොහැකි වුණා. ඔහු කලකිරීමට පත්ව සිටින බව පමණක් නොව ඊට හේතුවත් දෙවි දැන සිටියා. (යෙරෙමියා 45:1-5 කියවන්න.) බාරුක් එසේ කලකිරුණේ ඔහුට ලැබී තිබූ පැවරුම නිසාද? නැත්නම් එම පැවරුම ඉටු කිරීමේදී බොහෝ අභියෝග හා දුෂ්කරතාවන්ට මුහුණ දීමට ඔහුට සිදු වූ නිසාද? පෙනෙන විදිහට ඒ වන විට බාරුක් තුළ යම් වැරදි ආකල්පයක් තිබුණා. ‘ඔබ, ඔබ ගැනම සිතමින් ඔබටම බොහෝ දේවල් ලබාගැනීමට උත්සාහ කරමින් සිටිනවා’ කියා දෙවි යෙරෙමියා මාර්ගයෙන් ඔහුට පැවසුවේ ඒ නිසයි. ඔහු ලබාගැනීමට උත්සාහ කළ ඒ “බොහෝ දේවල්” මොනවාද? ඔහු දෙවි දුන් මඟ පෙන්වීම් අදාළ කරගෙන තම ආකල්ප නිවැරදි කරගත්තොත් ඔහුට ලැබෙන බවට දෙවි පොරොන්දු වුණේ මොනවාද? බාරුක් හා සම්බන්ධ සිද්ධියෙන් අපට ඉගෙනගත හැක්කේ මොනවාද?

බාරුක් ලබාගැනීමට උත්සාහ කරන්න ඇත්තේ මොනවාද?

3. මුළු හදවතින්ම දෙවිට සේවය කිරීමට බාරුක්ට බාධාවක් වුණේ කුමක්ද?

3 “බොහෝ දේවල්” ලබාගැනීමට උත්සාහ නොකරන්න කීමෙන් දෙවි අදහස් කළේ කුමක්ද කියා බාරුක් හොඳින් දැන සිටියා. (යෝබ් 34:21) නමුත් බාරුක් තමාටම ලබාගැනීමට උත්සාහ කළ “බොහෝ දේවල්” මොනවාද කියා අප හරියටම දන්නේ නැති නිසා එය තේරුම්ගැනීමට දැන් අපි තොරතුරු ටිකක් සලකා බලමු. යෙරෙමියා පැවසූ අනාවැකි ලියවිල්ලක සටහන් කරමින් සිටි කාලයේදී “මට සැනසිල්ලේ ජීවත් වෙන්නවත් තැනක් නැහැ” කියා බාරුක් පැවසූ බව සැලකිල්ලට ගන්න. ඉන් පෙනී යන්නේ තමාටම “බොහෝ දේවල්” ලබාගැනීම ගැන බාරුක් සිතමින් සිටි නිසා දෙවිගේ කැමැත්ත හා සම්බන්ධ වඩා වැදගත් දේවල් ඔහුගේ මනසෙන් ගිලිහී තිබුණු බවයි. (ෆිලි. 1:10) ඔබ “ඔබටම බොහෝ දේවල් ලබාගැනීමට උත්සාහ කරමින් සිටින්නෙහිය” කියා දෙවි බාරුක්ට පැවසීමෙන් පැහැදිලි වන්නේ ඔහු යෙරෙමියා සමඟ වෙහෙස මහන්සි වී දෙවිට සේවය කරමින් සිටියදීම තමාටම “බොහෝ දේවල්” ලබාගැනීමට උත්සාහ කළ බවයි.

4, 5. බාරුක් වැඩි අවධානයක් දුන් දේවලට තම තනතුර රැකගැනීම හෝ සමාජයේ ඉහළින් වැජඹීම ඇතුළත් වන්න ඇති කියා පැවසිය හැක්කේ ඇයි? දෙවි ඔහුව නිවැරදි කළේ හොඳ හේතුවක් ඇතුව බව කිව හැක්කේ ඇයි?

4 එදා පැවති යුදෙව් සමාජයේ බාරුක්ට හොඳ පිළිගැනීමක් තිබුණා කියා පැවසිය හැකියි. පුරාවිද්‍යාඥයන්ගේ සොයාගැනීම්වලින්ද පැහැදිලි වන්නේ ඔහු රජමාලිගාවේ සේවය කළ උසස් නිලධාරියෙක් බවයි. යෙරෙමියා 36:32හි ඔහුව හඳුන්වා තිබෙන්නේ “ලේකම්” ලෙසයි. ඔහුව එසේ හඳුන්වා තිබෙන්නේ ඔහු යෙරෙමියාගේ ලේකම් ලෙස සේවය කළ නිසා පමණක් නොවෙයි. එලෙස පැවසීමට හේතුව නම් යූදාහි අධිපතියෙකු වූ එලිෂාමාවත් ‘ලේකම්වරයෙකු’ ලෙස හඳුන්වා තිබීමයි. ඔහුට “රජුගේ මාලිගාවේ තිබූ ලේකම්ගේ කෑම කාමරයට” ඇතුල් වීමට පවා අවසර තිබුණා. බාරුක්ටත් ඊට ඇතුල් වීමට අවසර තිබෙන්න ඇති. ඒ අනුව බාරුක්ද එලිෂාමා මෙන් උගත්, වැදගත් තැනක් හිමි නිලධාරියෙක් කියා පැවසිය හැකියි. (යෙරෙ. 36:11, 12, 14) බාරුක්ගේ සහෝදරයා වූ සෙරායාද ශෙදකියා රජු යටතේ සේවය කළ ප්‍රධාන නිලධාරියෙක්. රජු යම් කාර්යයක් සඳහා බැබිලෝනියට ගිය අවස්ථාවේ රජු සමඟ සෙරායාත් එම ගමනට හවුල් වුණා. (යෙරෙමියා 51:59 කියවන්න.) ඒ ගමනේදී රජුට අවශ්‍ය ආහාර පාන, ඉඳුම්හිටුම් යන සියල්ල ගැන සොයා බලා ඒවා නිසි ලෙස සැපයීමේ වගකීම තිබුණේ ඔහුටයි.

5 සමාජයේ හොඳ පිළිගැනීමක් තිබූ පවුලකින් පැමිණි, උසස් තනතුරක් දැරූ බාරුක්ට, යූදාහි වැසියන්ට විරුද්ධව දෙවි ප්‍රකාශ කළ පණිවිඩ දිගින් දිගටම සටහන් කිරීම වෙහෙසකර දෙයක් වන්න ඇති. ඒ දේවල් ඔහුව කලකිරීමට පත් කරවන්න ඇති. ඒ විතරක් නොවෙයි, යෙරෙමියාගේ පැත්ත ගෙන ඔහුට සහයෝගය දැක්වීම නිසා බාරුක්ට තිබූ උසස් තත්වය නැති වීමට පවා ඉඩ තිබුණා. එම හේතූන් නිසා බාරුක් තමාට තිබූ උසස් තනතුර ගැන ඕනෑවට වඩා සිතමින් එය රැකගැනීමට වැඩි අවධානයක් දෙන්න ඇති කියා සිතිය හැකියි. ඒ වගේම යුදෙව් සමාජය තුළ ඉහළින් වැජඹීමේ ආශාවක්ද ඔහු තුළ තිබෙන්න ඇති කියා සිතන්න පුළුවන්. ඔබටම “බොහෝ දේවල්” ලබාගැනීමට උත්සාහ නොකරන්න කියා දෙවි ඔහුට පැවසූ විට දෙවි අදහස් කරන්න ඇත්තේ ඒ දේවල් ගැන විය හැකියි. බාරුක්ගේ ආකල්ප දෙවි නිවැරදි කළේ හොඳ හේතුවක් ඇතුවයි. මන්ද යෙහෝවා දෙවි යුදෙව් සමාජය පිටට විනාශය ගෙනෙන විට ඒ දේවල් නැති වීමට නියමිතව තිබුණා.—යෙරෙ. 45:4.

6, 7. බාරුක් ලබාගැනීමට උත්සාහ කරමින් සිටියේ ධන සම්පත් හෝ දේපළ නම් ඔහු ක්‍රියා කළේ කවුරුන් හා සමානවද?

6 බාරුක්ගේ කාලයේ යූදා අවට සිටි ජාතීන් ධන සම්පත් කෙරෙහි මහත් විශ්වාසයක් තබා තිබුණා. මෝවබ්වරුන් හා අම්මොන්වරුන් විශ්වාසය තැබුවේ ඔවුන් සතු ‘ධන සම්පත් හා ඔවුන් අත් කරගෙන තිබූ සාර්ථකත්වය’ මතයි. බැබිලෝනිවරුන්ද “යස ඉසුරෙන් පොහොසත්” ජාතියක් කියා දෙවි පැවසුවා. (යෙරෙ. 48:1, 7; 49:1, 4; 51:1, 13) ඒ ජාතීන් සතුව බොහෝ ධන සම්පත් තිබුණත් දෙවිගේ අනුමැතිය ඔවුන්ට තිබුණේ නැහැ. ඔවුන් මෙන් බාරුක්ද ලබාගැනීමට උත්සාහ කරමින් සිටියේ ධන සම්පත් හෝ දේපළ නම් දෙවි ඔහුව නිවැරදි කිරීම ඇත්තෙන්ම උචිතයි. එසේ පැවසිය හැක්කේ ඇයි?

7 දෙවි යූදාහි වැසියන්ට ‘විරුද්ධව තම අත දිගු කරන විට’ දේපළ වස්තු, වතුපිටි යන සියල්ල සතුරන් අතට පත් වන බව දෙවි පවසා තිබුණා. (යෙරෙ. 6:12; 20:5) ඔබ බාරුක්ගේ කාලයේ යෙරුසලමේ ජීවත් වන යුදෙව්වෙක් කියා මදකට සිතන්න. රජු ඇතුළු දේශයේ සිටි පූජකයන්, අධිපතීන් කියා සිටින්නේ බැබිලෝනිවරුන්ට විරුද්ධව සටන් කළ යුතුයි කියායි. නමුත් යෙරෙමියා පවසන්නේ, “බැබිලෝනියේ රජුට සේවය කරන්න. එසේ කළොත් ඔබේ ජීවිත රැකෙනු ඇත” කියායි. (යෙරෙ. 27:12, 17) ඔබට ධන සම්පත් හෝ වෙනත් වටිනා දේවල් බොහොමයක් තිබුණා නම් යෙරෙමියා දුන් මඟ පෙන්වීමට කීකරු වීම ඔබට ලෙහෙසි දෙයක් වෙයිද? ඔබට තිබෙන වස්තුව, ධන සම්පත් රැකගැනීමට තිබෙන ආශාව නිසා වැඩිදෙනාගේ මතයට අනුව බැබිලෝනිවරුන්ට විරුද්ධව සටන් කිරීමට ඔබ තුළ පෙලඹීමක් ඇති වෙයිද? අවසානයේදී සිද්ධ වුණේ දෙවි යෙරෙමියා මාර්ගයෙන් පැවසූ දෙයයි. බැබිලෝනිවරුන් යෙරුසලම යටත් කරගත් අතර දේවමාලිගාව ඇතුළු මුළු යූදා දේශයේ තිබූ වටිනා දේවල් සියල්ල කොල්ල කා බැබිලෝනියට රැගෙන ගියා. කෙනෙක් එදා ධන සම්පත් හෝ දේපළ ලබාගැනීමට මහත් ආශාවකින් සිටියා නම් එය මොන තරම් නිෂ්ඵල දෙයක් වෙයිද!—යෙරෙ. 27:21, 22.

“බොහෝ දේවල්” ලබාගැනීමට බාරුක් තුළ තිබූ ආකල්පය දෙවි නිවැරදි කළේ කෙසේද? දෙවි අපව නිවැරදි කරන විට එය පිළිගැනීම ඥානවන්තම දෙය කියා පැවසිය හැක්කේ ඇයි?

“මම ඔබේ ජීවිතය ආරක්ෂා කරන්නෙමි”

8, 9. බාරුක්ට තම ජීවිතය ආරක්ෂා කරගැනීමට ලැබීමම වටිනා දෙයක් කියා ඔබ සිතන්නේ ඇයි?

8 දෙවි දුන් මඟ පෙන්වීම් අදාළ කරගත්තොත් බාරුක්ට ලැබෙන බවට දෙවි පොරොන්දු වුණේ මොනවාද? ඔහුට ඔහුගේ ජීවිතය ආරක්ෂා කර දෙන බවට දෙවි පොරොන්දු වුණා. (යෙරෙමියා 45:5 කියවන්න.) බැබිලෝනිවරුන් යෙරුසලම යටත් කරගත් විට ජීවිත ගලවාගැනීමට හැකි වුණේ දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙමින් බැබිලෝනිවරුන්ට යටත් වූ කිහිපදෙනෙකුට පමණයි. (යෙරෙ. 21:9; 38:2) නමුත් කෙනෙකු මෙසේ සිතන්න පුළුවන්. ‘දෙවිට කීකරු වන කෙනෙකුට ආරක්ෂා කරගන්න පුළුවන් ජීවිතය විතරද?’

9 විනාශයෙන් තම ජීවිතය ආරක්ෂා කරගැනීමට ලැබීමම මොන තරම් වටිනා දෙයක්ද යන කාරණය තේරුම්ගැනීමට ඒ කාලයේ තිබූ වාතාවරණය ගැන ටිකක් සලකා බලමු. බැබිලෝනිවරුන් යෙරුසලම වටලා සිටි දිගු කාලය පුරා එහි සිටි වැසියන්ගේ ජීවිතය එන්න එන්නම කටුක වුණා. බාරුක් වාර්තා කළ ලෙස යෙරුසලමේ වැසියන් සාගතයෙන්, වසංගතවලින් හා කඩුවෙන් පහර කා මරණයට පත් වුණා. කෑමට කිසිම දෙයක් නුවර තුළ සොයාගැනීමට නොහැකි වුණා. සාගතය කොතරම් දරුණු වුණාද කියනවා නම් “දරු සෙනෙහසින් පිරී සිටි” මව්වරු තම දරුවන්ව තම්බා කෑවා. (විලා. 2:20; 4:10; යෙරෙ. 19:9) ඒ අනුව බලන විට යෙරුසලමේ සිටි අය අද්දුටු විනාශය සොදොම් නගරයේ වැසියන් අද්දුටු විනාශයට වඩා බරපතළයි. මන්ද සොදොම් නගරයේ වැසියන් එක සැණින් විනාශය අද්දුටුවත් යෙරුසලමේ සිටි වැසියන්ට දිගු කාලයක් පුරා බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වුණා. (විලා. 4:6) ජීවිතයත් මරණයත් අතර අරගලයක් පැවති එවැනි භයානක කාලයක තම ජීවිතය ආරක්ෂා කරගැනීමට ලැබීම ගැන බාරුක් ඉමහත් සේ සතුටු වන්න ඇති. බාරුක්ට තම ජීවිතය බේරාගැනීමට හැකි වීමෙන් පැහැදිලි වන්නේ “බොහෝ දේවල්” ලබාගැනීමට උත්සාහ නොකරන්න කියා දෙවි දුන් මඟ පෙන්වීමට ඔහු කීකරු වී තිබෙන බවයි.—යෙරෙ. 43:5-7.

143වන පිටුවේ පින්තූර

ඔබත් “බොහෝ දේවල්” ලබාගැනීමට උත්සාහ දරනවාද?

10, 11. බාරුක්ට ඇති වුණා හා සමාන ආකල්ප අප තුළත් ඇති විය හැක්කේ කෙසේද?

10 බාරුක් තමාටම “බොහෝ දේවල්” ලබාගැනීමට උත්සාහ කළේ වෙහෙස මහන්සි වී දෙවිට සේවය කරමින් සිටි අතරතුරේමයි. නමුත් ඔහු දෙවි ලබා දුන් මඟ පෙන්වීම් පිළිගෙන ඔහුගේ ආකල්ප සකස් කරගත් නිසා දෙවි සමඟ ඔහුට තිබුණු බැඳීම දිගටම රැකගැනීමටත් පැමිණි විනාශයෙන් බේරීමටත් ඔහුට හැකි වුණා. අපත් මේ ගැන සිතා බැලීම වැදගත්. ‘දෙවිට උද්‍යෝගයෙන් සේවය කරමින් සිටියත් බොහෝ දේවල් ලබාගැනීමේ ආශාවක් මා තුළ තිබෙනවාද?’

11 සමාජයේ ඉහළ තැනක වැජඹීමේ ආශාවක් බාරුක් තුළ තිබුණා නම් එම ආශාව මැඩපවත්වා ගැනීම එතරම් ලෙහෙසි දෙයක් නොවන්න ඇති. සමහරවිට ඔහු මෙසේද සිතන්න ඇති. ‘ලේකම් කෙනෙක් විදිහට මම කරන රැකියාව මට රැකගන්න පුළුවන් වෙයිද? මීටත් වඩා උසස් තනතුරක් ලබාගන්න මට පුළුවන් වෙයිද?’ බාරුක්ව මනසේ තබාගෙන ඔබ ගැන කල්පනා කර බලන්න. ‘උසස් රැකියාවක් ලබාගෙන සමාජයේ ඉහළ තැනකට යෑමේ ආශාවක් මගේ හිතේ තියෙනවාද? උපාධියක් කරලා හොඳට මුදල් උපයන්න පුළුවන් රැකියාවක් හොයාගන්න ඕනේ කියලා මම හිතනවා නම් මම උත්සාහ කරන්නේ මටම බොහෝ දේවල් ලබාගැනීමටද?’

12. එක් සහෝදරයෙක් තමාටම “බොහෝ දේවල්” ලබාගැනීමට උත්සාහ කරනවා වෙනුවට දෙවිව ගෞරවයට පත් කළේ කෙසේද? ඔහු ගත් තීරණය ගැන ඔබට හැඟෙන්නේ කෙසේද?

12 සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ සේවය කරමින් සිටින සහෝදරයෙකුගේ අද්දැකීම සලකා බලන්න. ඔහුට වයස අවුරුදු 15දී විශ්වවිද්‍යාලයකට යෑම සඳහා ශිෂ්‍යත්වයක් ලැබුණා. නමුත් ඔහුගේ කැමැත්ත වුණේ පුරෝගාමියෙකු ලෙස සේවය කිරීමයි. ඒ නිසා ගුරුවරුන්ගේ අකමැත්ත මැද ඔහු එම ශිෂ්‍යත්වය ප්‍රතික්ෂේප කළා. කෙසේවෙතත් යම් දේවල් ඉගෙනගැනීමට ඔහු දැක්වූ උනන්දුව නම් කිසි ලෙසකින්වත් අඩු වුණේ නැහැ. පසු කාලයක කුඩා දූපතක මිෂනාරිවරයෙකු ලෙස සේවය කිරීමට ඔහුට පැවරුමක් ලැබුණා. එහිදී මිනිසුන් 10,000කට ටිකක් වැඩි ගණනක් කතා කරන භාෂාවක් ඉගෙනගැනීමට ඔහුට සිදු වුණා. ඒ භාෂාවෙන් ශබ්දකෝෂයක් තිබුණේ නැහැ. ඒ නිසා ඔහු එම භාෂාවේ වචන ඇතුළත් ලැයිස්තුවක් සකස් කළා. කල් යත්ම එම භාෂාව ගැන ඔහු හොඳ අවබෝධයක් ලබාගත් නිසා අපේ සමහර පොත් පත් එම භාෂාවට පරිවර්තනය කිරීමේ පැවරුමද ඔහුට ලැබුණා. පසු කාලයක එම භාෂාවෙන් ශබ්දකෝෂයක් නිකුත් වූ අතර ඒ සඳහා ඔහු සකස් කළ ලැයිස්තුව භාවිත කර තිබෙනවා. එක් දිස්ත්‍රික් සමුළුවකදී විශාල පිරිසක් අමතමින් ඔහු මෙවැනි දෙයක් පැවසුවා. “මම විශ්වවිද්‍යාලයට ගිහින් හොඳ උපාධියක් ලබාගෙන තිබුණා නම් මම කරපු දේට ගෞරවය ලැබෙන්නේ මටයි. හැබැයි මට ඒ වගේ කිසිම සුදුසුකමක් නැති නිසා මම කරපු හැම දේකටම ගෞරවය ලැබෙන්නේ යෙහෝවා දෙවිටයි.” (හිතෝ. 25:27) එම සහෝදරයා වයස අවුරුදු 15දී ගත් තීරණය ගැන ඔබ සිතන්නේ කුමක්ද? ගෙවුණු අවුරුදු ගණනාව පුරා ඔහු දෙවිගේ සේවය තුළ බොහෝ වගකීම් ඉටු කර තිබෙන අතර තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට ඔහුට හැකි වී තිබෙනවා. ඔබටත් යම් දක්ෂතා හා හැකියාවන් තිබෙනවා නම් ඔබ කැමති ඒවා ඔබටම ගෞරවය ලබාගැනීම සඳහා යොදාගන්නද? නැත්නම් යෙහෝවා දෙවිව ගෞරවයට පත් කිරීම සඳහා ඒවා යොදාගන්නද?

13. බාරුක් මෙන් තමන්ටම “බොහෝ දේවල්” ලබාගැනීමේ උගුලට දෙමාපියන් හසු විය හැක්කේ කෙසේද?

13 කෙනෙක් තමාටම “බොහෝ දේවල්” ලබාගැනීමට උත්සාහ නොකරන බව පෙනෙන්න පුළුවන්. නමුත් ඔහු ඒ සඳහා වෙනත් කෙනෙකුව පොලඹවනවා හෝ වෙනත් කෙනෙකු මාර්ගයෙන් “බොහෝ දේවල්” ලබාගැනීමට උත්සාහ කරනවා විය හැකියි. උදාහරණයකට තමන්ට වඩා හොඳ ජීවිතයක් දරුවන් ගත කළ යුතුයි කියා සිතමින් හෝ තම දරුවන් ගැන ආඩම්බරයෙන් කතා කිරීමට තිබෙන ආශාව නිසා හෝ දෙමාපියන් බොහෝ දේවල් ලබාගැනීමට තම දරුවන්ව යොමු කරන ආකාරය ඔබ දැක තිබෙනවාද? ඔවුන් සමහරවිට මෙසේ පවසනවා ඔබ අසා ඇති. ‘මගේ දරුවන් මං වගේ දුක් මහන්සි වෙලා හම්බ කරනවා දකින්න මම කැමති නැහැ.’ ‘උපාධියක් ගන්න කියලා මම උනන්දු කරන්නේ මගේ දරුවා සැප පහසු ජීවිතයක් ගත කරනවා දකින්න මම ආස නිසයි.’ දෙවිට නමස්කාර කරන දෙමාපියන් තුළත් එවැනි ආකල්ප ඇති විය හැකියි. එවැනි දෙමාපියන් කරන්නේ තම දරුවන් මාර්ගයෙන් තමාට බොහෝ දේවල් ලබාගැනීමට උත්සාහ කිරීමක් නොවෙයිද? එවැනි ආශාවක් දෙමාපියන් තුළ තිබෙනවා නම් ‘සිත් සෝදිසි කර බලන යෙහෝවා දෙවි’ එය දකින බව අමතක කරන්න එපා. (හිතෝ. 17:3) එසේනම් අපේ ඇතුළාන්ත හැඟීම් සෝදිසි කර බලා ඒවා නිවැරදි කරන ලෙස දෙවිගෙන් ඉල්ලා සිටීම කොතරම් වැදගත්ද! (ගීතාවලිය 26:2; යෙරෙමියා 17:9, 10 කියවන්න.) අප එසේ කරනවා නම් අපටම “බොහෝ දේවල්” ලබාගැනීමේ උගුලට හසු නොවී සිටීමට අවශ්‍ය මඟ පෙන්වීම් දෙවි අපට ලබා දෙයි. බාරුක් සම්බන්ධයෙන් අප මෙතෙක් සලකා බැලූ තොරතුරු ඊට කදිම උදාහරණයක්.

බාරුක් තමාටම ලබාගැනීමට උත්සාහ කළායයි සිතිය හැකි එක් දෙයක් කුමක්ද? ඉන් ඔබ ඉගෙනගන්නා පාඩම කුමක්ද?

‘වස්තුව’ රැස් කිරීමේ උගුලට හසු නොවන්න

14, 15. ධන සම්පත් කෙරෙහි අපට ඇල්මක් ඇති විය හැක්කේ කෙසේද?

14 බාරුක් තමාටම ලබාගැනීමට උත්සාහ කරමින් සිටියේ ධන සම්පත් හෝ වෙනත් වටිනා දේවල් නම් බැබිලෝනිවරුන්ට යටත් වෙන්න කියා දෙවි දුන් ආඥාවට කීකරු වීම ඔහුට ලෙහෙසි දෙයක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ධනවත් අය ඔවුන්ට තිබෙන ‘වස්තුව’ තමන්ට මහත් ආරක්ෂාවක් ලෙස සලකනවා. නමුත් එම ආරක්ෂාව ඔවුන් සිතින් මවාගත් ආරක්ෂාවක් මිස සැබෑ ආරක්ෂාවක් නොවන බව බයිබලයේ සඳහන් දෙයින් පැහැදිලියි. (හිතෝ. 18:11) එසේනම් වස්තුව, ධන සම්පත් සම්බන්ධයෙන් තිබිය යුතු ආකල්පය ගැන බයිබලයේ සඳහන් වන මඟ පෙන්වීම් අප සියලුදෙනාම නිතරම මනසේ තබාගැනීම ඉතා වැදගත්.—හිතෝපදේශ 11:4 කියවන්න.

15 නමුත් සමහරදෙනෙක් මෙසේ සිතන්න පුළුවන්. ‘මේ ලෝකයේ තියෙන සැප සම්පත් ටිකක් භුක්ති විඳින එකේ ඇති වරද මොකද්ද?’ දෙවිට නමස්කාර කරන කෙනෙක් එසේ සිතමින් ධන සම්පත් කෙරෙහි ඇල්මක් ඇති කරගත්තොත් මේ දුෂ්ට සමාජයත් සමඟ ඒ සියල්ල නැති වී යන විට ඔහුට කුමක් සිදු වෙයිද? එසේනම් අවසාන කාලයේ ජීවත් වන අයට “ලොත්ගේ බිරිඳට සිදු වූ දේ කිසිවිටකත් අමතක කරන්න එපා” කියා යේසුස් දුන් අනතුරු ඇඟවීම සිතට ගැනීම ඇත්තෙන්ම වැදගත්. (ලූක් 17:30-33) බාරුක්ට තම ජීවිතය රැකගැනීමට හැකි වුණේ දෙවි දුන් අනතුරු ඇඟවීම් සිතට ගත් නිසා බව අපි අමතක නොකරමු.

16. ධන සම්පත් සම්බන්ධයෙන් නිසි ආකල්පයක් ඇතුව සිටි දෙවිගේ සේවකයන් ගැන අද්දැකීමක් සඳහන් කරන්න.

16 කොමියුනිස්ට් පාලන සමයේ රුමේනියාවේ සිටි සහෝදර සහෝදරියන්ගේ අද්දැකීම සලකා බලන්න. ආණ්ඩු බලධාරීන් ඔවුන්ගේ නිවෙස්වලට කඩා වැද ඔවුන් සතු වටිනා දේවල් සියල්ල පැහැරගත්තා. (විලා. 5:2) සමහරක් අයව වෙනත් ප්‍රදේශවලට යැවූ නිසා ඔවුන්ට ගෙවල් දොරවල්, වතුපිටි හා බඩු මුට්ටු අත්හැර යෑමට සිදු වුණා. ඒ කාලයේ ජීවත් වූ බොහෝ සහෝදර සහෝදරියන්ට තමන් සතුව තිබූ දේවල් අහිමි වුණත් ඔවුන් ඒ ගැන දුක් වෙවී සිටියේ නැහැ. ඔවුන් දිගටම දෙවිට විශ්වාසවන්තව සිටියා. එවැනි දෙයකට මුහුණ දීමට ඔබට සිදු වුණොත් ඔබ සතු දේවල් අත්හැර දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමට ඔබටත් හැකි වෙයිද?—2 තිමෝ. 3:11.

148වන පිටුවේ පින්තූර

17. දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් පැවසූ දේවල් යෙරෙමියාට හා බාරුක්ට ප්‍රයෝජනවත් වුණේ කෙසේද?

17 යෙරෙමියාට හා බාරුක්ට ධන සම්පත් සම්බන්ධයෙන් නිසි ආකල්පයක් ඇති කරගැනීමට ඔවුන්ගේ කාලයේ සිටි දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් පැවසූ දේවල් බෙහෙවින් උපකාරවත් වූ බව නිසැකයි. උදාහරණයකට යොෂියා රජුගේ කාලයේ අනාගතවක්තෘවරයෙකු ලෙස සේවය කළ ශෙපනියා පැවසූ දෙය සලකා බලන්න. (ශෙපනියා 1:18 කියවන්න.) දෙවිගේ මඟ පෙන්වීමෙන් ශෙපනියා පැවසූ එම අනාවැකිය ගැන යෙරෙමියාට කෙසේ හැඟෙන්න ඇද්ද? සමහරවිට එම අනාවැකියේ තිබෙන කරුණු ඔහු බාරුක් සමඟත් සාකච්ඡා කරන්න ඇති. ක්‍රිස්තු පූර්ව 617දී වහලෙකු ලෙස බැබිලෝනියට රැගෙන ගිය එසකියෙල්ද ශෙපනියා හා සමාන අනාවැකියක් පැවසුවා. (එසකියෙල් 7:19 කියවන්න.) ඔහු පැවසූ ඇතැම් අනාවැකි හා ඔහු රඟ දැක්වූ සමහර දේවල් යෙරුසලමේ සිටි යුදෙව්වන්ට අදාළ වුණා. ඒ නිසා යෙරෙමියා ඒ සෑම දෙයක්ම හොඳින් සිතට ගත් බවට සැකයක් නැහැ. ඒ හා සමානව දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියා තිබෙන එම වාර්තා අපටත් ප්‍රයෝජනවත්. එහි සඳහන් දේවල් අදාළ කරගැනීම ඇත්තෙන්ම වැදගත්. මන්ද යෙහෝවා දෙවිගේ මහත් දවසේදී මිනිසුන් තම දෙවිවරුන්ගෙන් උපකාර ඉල්ලා හඬ නැඟුවත් එම දෙවිවරුන්ටවත් ඔවුන් රැස් කරගත් වස්තුවටවත් එදාට ඔවුන්ව ගලවාගන්න හැකි වන්නේ නැහැ.—යෙරෙ. 2:28.

ඔබත් ‘ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්නවාද?’

18. අපේ “ජීවිතය” රැකගැනීමට නම් අප කළ යුත්තේ කුමක්ද?

18 අපත් දෙවිට විශ්වාසවන්තව සිටියොත් අපේ “ජීවිතය” ආරක්ෂා කර දෙන බවට දෙවි පොරොන්දු වී තිබෙනවා. ‘මහත් පීඩාව’ අතරතුරේදී මෘගයා ආගම්වලට පහර දෙන විට දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් සමහරදෙනෙක් මිය ගියත් ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය සදහටම අහිමි වන්නේ නැහැ. දෙවි ඔවුන්ව නැවත නැඟිටුවන නිසා පාරාදීස පොළොවේදී ඔවුන්ට “සැබෑ ජීවිතය” භුක්ති විඳිය හැකියි. (එළි. 7:14, 15; 1 තිමෝ. 6:19) කෙසේවෙතත් දෙවිට විශ්වාසවන්තව සිටින බොහෝදෙනෙක් මහත් පීඩාවෙන් ගැලවෙනවා. යෙහෝවා දෙවි ජාතීන් පිටට විනාශය ගෙනෙන විට දෙවිට විශ්වාසවන්තව සිටින කිසිම කෙනෙක් දෙවි අතින් මරණයට පත් වන්නේ නැහැ.—යෙරෙ. 25:32, 33.

151වන පිටුවේ පින්තූර

වඩා වැදගත් දේ තෝරාගන්න (60වෙනි පිටුව බලන්න.)

19. “බොහෝ දේවල්” ලබාගැනීමට උත්සාහ කිරීමෙන් වැළකී සිටීමට යෙරෙමියාගේ හා බාරුක්ගේ ආදර්ශ සලකා බැලීම ඔබට ප්‍රයෝජනවත් වුණේ කුමන පැතිවලින්ද?

19 ඉදිරියේදී පැමිණීමට නියමිත විනාශයේදී ආරක්ෂා කරගැනීමට හැකි වන්නේ තම “ජීවිතය” පමණක් නිසා සමහරදෙනෙක් ඒ ගැන දුක් වෙන්න පුළුවන්. නමුත් තම ජීවිතය බේරාගැනීමට හැකි වීම කොතරම් වටින දෙයක්ද කියා සිතා බලන්න. එදා යෙරුසලමේ ඇති වූ දරුණු සාගතය නිසා බහුතරයක් මිය යද්දී දෙවි යෙරෙමියාගේ ජීවිතය ආරක්ෂා කිරීමට වගබලා ගත්තා. දෙවි එය කළේ කෙසේද? යෙරෙමියාව සිරගෙයි භාරකරුවන් යටතේ මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක තබන ලෙසත් “නගරයේ රොටි පිලිස්සීම නතර වන තෙක්ම යෙරෙමියාට රොටි සාදන්නන්ගේ වීථියෙන් දිනපතාම රොටියක් බැගින්” දෙන ලෙසත් ශෙදකියා රජු නියෝග කළේ ඒ කාලයේදීයි. (යෙරෙ. 37:21) තම සෙනඟව රැකබලා ගැනීම සඳහා දෙවිට ඕනෑම දෙයක් කළ හැකි බව ඉන් අපට පැහැදිලියි. ඔහු තම විශ්වාසවන්ත සේවකයන්ට සදාකාල ජීවනය ලබා දෙන බවට පොරොන්දු වී තිබෙන නිසා ඔහු අනිවාර්යයෙන්ම ඔවුන්ව රැකබලා ගන්නවා. තමාටම “බොහෝ දේවල්” ලබාගැනීමට උත්සාහ නොකරන්න කියා දෙවි දුන් මඟ පෙන්වීමට කීකරු වූ බාරුක්, යෙරුසලමට පැමිණි විනාශයෙන් තම ජීවිතය ගලවාගත් ලෙස අපටත් ඉදිරියේදී පැමිණෙන හර්–මගෙදොන් යුද්ධයෙන් බේරී දෙවිට ප්‍රශංසා කරමින් සදහටම ජීවත් විය හැකියි.

අපටම “බොහෝ දේවල්” ලබාගැනීමට උත්සාහ නොකර අපේ ජීවිතය ආරක්ෂා කරගැනීමට පියවර ගැනීම ඥානවන්ත දෙයක් කියා පැවසිය හැක්කේ ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න