ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w99 3/15 21-23 පි.
  • කාංසාවට යට නොවන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කාංසාවට යට නොවන්න
  • 1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සීමාව කොතැනද?
  • මෝසෙස් ඵාරාවෝ ඉදිරියේ
  • ඔබේ සිතුවිලි පාලනය කරගැනීම
  • උදව් තිබේ
  • ‘දෙවි කෙරෙහි බලා සිටින්න’
  • ඔබගේ සියලු සිත්තැවුල් යෙහෝවඃවහන්සේ පිට තබන්න
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කනස්සල්ලට හේතු වෙන හැම බරක්ම යෙහෝවා දෙවිට භාර දෙන්න
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • කනස්සල්ලට මුහුණ දෙන පුරුෂයන්ට බයිබලෙන් උදව්
    තවත් ලිපි
  • කනස්සල්ලක් ඇති වෙද්දී කරන්න පුළුවන් මොනවාද?
    යොවුන් සිතේ ගැටලු
තව තොරතුරු
1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w99 3/15 21-23 පි.

කාංසාවට යට නොවන්න

“හෙට දවස ගැන කනස්සලු නොවෙන්න. හෙට දවස ඒ ගැනම කරදරවන්නේය. දවසේ කරදරය ඒ දවසට සෑහෙයි.” (මතෙව් 6:34) වර්තමාන කාර්ය බහුල පීඩිත සමාජයේ වෙසෙන අප සියලුදෙනාටම යේසුස් දුන් එම උපදේශය නිසැකවම ප්‍රායෝගිකයි.

කොහොම කිව්වත්, අපේ ගැටලු, තීරණ, යුතුකම් සහ වගකීම් ගැන කරදර නොවී ඉන්න අපට ඇත්තටම පුළුවන්ද? මිලියන ගණන් මිනිසුන් විෂාදයෙන්, දැඩි කනස්සල්ලෙන් සහ මානසික පීඩනයෙන් පෙළෙනවා. ඉතින් ඒ නිසායි, මනසට සහනය සහ සන්සුන්කම ලබා දෙන ඖෂධ, මහත් ලාභ උපදවන ව්‍යාපාරයක් බවට පත්ව තිබෙන්නේ.

සීමාව කොතැනද?

අපේ යුතුකම්, පැවරුම්, තීරණ සහ ගැටලු හදිසි ඒවා වුණත් නැතත්, ඒවා සැලසුම් කර ඊට සූදානම් වීම අවශ්‍යයි. ඕනෑම විශාල කටයුත්තකට අතගැසීමට ප්‍රථම, “හිඳ වියදම ගණන් [බැලීමට]” බයිබලය අපව දිරිගන්වනවා. (ලූක් 14:28-30) වැඩය පිළිබඳව ගත හැකි විවිධ තීරණ, ඇති විය හැකි ඵල විපාක ගැන හොඳ හැටි සොයා බැලීම සහ වැය වන කාලය, ශක්තිය සහ මුදල් පිළිබඳව තක්සේරු කිරීම යනාදිය කිරා මැන බැලීම මීට අයත් වෙයි.

සිදුවීමට යන දෙය යමෙක් පරෙස්සමින් සලකා බැලිය යුතු අතර, සෑම අනපේක්ෂිත ප්‍රතිඵලයක් ගැනම සිතීමට වෙහෙසීම, කළ හැකි දෙයක්වත්, ප්‍රායෝගික දෙයක්වත් නොවෙයි. උදාහරණයක් හැටියට, ඔබේ පවුලේ සුභසාධනය සැලකිල්ලට ගෙන, නිවස ගිනිගත්තොත් මොකද කරන්නේ කියා ඔබ සිතීමට ඉඩ තිබෙනවා. ඒ නිසා, ඔබ දුම් අනාවරක සහ ගිනි නිවන උපකරණ මිල දී ගෙන නිවසේ සවි කරාවි. නිවසේ විවිධ පැතිවලින් බේරී පැන යෑමට ස්ථාන සහ දොර කවුළු සැලසුම් කර, පෙරහුරු පවත්වාවි. එහෙත්, මෙම සුදුසු සහ ප්‍රායෝගික සැලසුම් කිරීමත්, පමණ ඉක්මවූ සහ අනවශ්‍ය කාංසාවත් අතර ඇති වෙනස මොකක්ද? එවැනි කාංසාවක් ඇරඹෙන්නේ, සාක්ෂිවලින් තොර කෙළවරක් නැති අනුමාන කිරීම් රාශියක් ගැන සන්තාපයට පත්වීමට පටන්ගත් විටයි. මේවා බොහෝමයක් මනසින් මවාගත් දේවල ප්‍රතිඵලයක් වෙයි. ඔබ යමක් අතපසු කර තිබෙනවා හෝ ඔබේ පවුල රැකගැනීමට ඔබ ප්‍රමාණවත්ව කටයුතු කර නැහැ කියා ඔබට ඒත්තුගන්වමින්, චංචල වූ එම සිතුවිලි ඔබව යටපත් කරගනියි. ඔබේ මනසට දැඩි බරක් ඇති කරමින්, ඔබව නින්ද නොයන තත්වයට පත් කිරීමට පවා මෙම උග්‍ර ආත්ම-හිරිහැරයට පුළුවන්.

මෝසෙස් ඵාරාවෝ ඉදිරියේ

යෙහෝවා තම අනාගතවක්තෘ මෝසෙස්ට දුෂ්කර පැවරුමක් භාර දුන්නා. මුලින්ම, ඉශ්‍රායෙල්වරුන් ඉදිරියට ගොස්, මිසරයෙන් ඔවුන්ව ගළවාගන්න යෙහෝවා තමාට පවරා ඇති බව ඒත්තුගන්වන්න මෝසෙස්ට සිදු වුණා. ඊළඟට, ඵාරාවෝ ඉදිරියට ගොස්, ඉශ්‍රායෙල්වරුන්ට යෑමට ඉඩ දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටින්න මෝසෙස්ට සිදු වුණා. අන්තිමට, මිලියන ගණනක් වූ මිනිසුන්ව පාළුකරය හරහා සතුරු ජනයා සිටින දේශයකට මඟ පෙන්වන්න මෝසෙස්ට සිදු වුණා. (නික්මයාම 3:1-10) මේ සෑම දෙයක්ම බියගන්වනසුලු වෙන්න ඇති. එහෙත්, ඔහුගේ මනස අනවශ්‍ය කාංසාවෙන් පුරවාගැනීමට මෝසෙස් තමාගේ වගකීමට ඉඩහැරියාද?

පැහැදිලිවම, කාරණා කිහිපයක් සම්බන්ධයෙන් මෝසෙස් සැලකිලිමත් වුණා. ඔහු යෙහෝවාගෙන් මෙසේ ඇසුවා: ‘බැලුව මැනව, මා ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙතට පැමිණ—ඔබගේ පියවරුන්ගේ දෙවි ඔබ වෙතට මා එව්වේයයි ඔවුන්ට කී විට, ඔහුගේ නාමය කිමෙක්ද කියා ඔවුන් මාගෙන් අසන විට ඔවුන්ට කුමක් කියන්නෙම්ද?’ යෙහෝවා ඔහුට පිළිතුර සැපයුවා. (නික්මයාම 3:13, 14) ඵාරාවෝ ඔහුව පිළිගැනීම ප්‍රතික්ෂේප කළොත්, කුමක් වේවිද කියාත් මෝසෙස් කල්පනා කළා. යෙහෝවා නැවතත් තම අනාගතවක්තෘවරයාට කතා කළා. තව එක ගැටලුවක් තිබුණා. තමා ‘ව්‍යක්ත කථිකයෙක් නොවන [NW]’ බව මෝසෙස් කියා සිටියා. මීට පිළියම කුමක් වීද? මෝසෙස් වෙනුවෙන් කතා කරන්න යෙහෝවා ආරොන්ව ලබා දුන්නා.—නික්මයාම 4:1-5, 10-16.

ප්‍රශ්නවලට උත්තර සූදානම් කරගෙන, දෙවි මත විශ්වාසය තබා, මෝසෙස් යෙහෝවා අණ කළ ලෙසම කළා. ඵාරාවෝ හමු වූ විට කුමක් සිදු වේවිද වැනි තමාව භයට පත් කරවන සිතුවිලිවලට තමන්ට වද දෙන්න ඉඩහරිනවා වෙනුවට, මෝසෙස් ‘කී ලෙසම කළා.’ (නික්මයාම 7:6) ඔහුව යටපත් කරන්න කාංසාවන්ට ඉඩහරිනු ලැබුවා නම්, ඔහුගේ පැවරුම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වූ ඇදහිල්ල සහ නිර්භීතකම දුර්වල කර දමන්න ඒවාට ඉඩ තිබුණා.

මෝසෙස් තම පැවරුම හැසිරවූ සමබර ආකාරය, “සුවදායක මනස” ලෙස ප්‍රේරිත පාවුල් හැඳින්වූ දෙය සඳහා ආදර්ශයක්. (2 තිමෝති 1:7, NW; තීතස් 2:2-6) මෝසෙස් සුවදායක මනසක් පවත්වා නොගත්තා නම්, ඔහුගේ පැවරුමේ විශාලත්වය හේතුවෙන්, ඔහු පහසුවෙන්ම යටපත් වී, සමහරවිට එය පිළි නොගැනීමට ඉඩ තිබුණා.

ඔබේ සිතුවිලි පාලනය කරගැනීම

එදිනෙදා ජීවිතයේ පරීක්ෂා හෝ ඔබේ ඇදහිල්ලේ පරීක්ෂණවලට මුහුණ දෙන විට, ඔබ ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? ඉදිරියේදී මතු වී ආ හැකි බාධා සහ අභියෝග ගැන නිකම්ම හිතමින් හදිසියේ භයට පත්වීමට නැඹුරු වෙනවාද? එහෙම නැත්නම් ඔබ ඒවා සමබර ආකාරයකට ගන්නවාද? ‘ගඟ ළඟට එන තුරු පාලම පසු කරන්න එපා’ කියා ඉංග්‍රීසි කියමනක් තියෙනවා. සමහරවිට, ඒ මනඃකල්පිත පාලම කිසිදා හමු නොවෙන්නත් ඉඩ තියෙනවා! ඉතින්, කවදාවත් සිදු වන්නේ නැති දෙයක් ගැන වද විඳින්නේ මොකටද? බයිබලය මෙහෙම කියනවා: “මනුෂ්‍යයෙකුගේ සිතේ නලංගුව [කාංසාව, NW] නිසා එය නැමීයයි.” (හිතෝපදේශ 12:25) ප්‍රතිඵලයක් හැටියට, තීරණ ගැනීම එම තැනැත්තා හෙටට කල් දමයි. හොඳටම ප්‍රමාද වන තුරු දේවල් ප්‍රමාද කරයි.

අනවශ්‍ය කාංසාව මගින් සිදු කළ හැකි ආත්මික හානිය ඊට වඩා බරපතළයි. “රාජ්‍යයේ වචනය” සඳහා අගය වස්තුවේ රැවටිලිකාරකමෙන් සහ “මේ දේවල පිළිවෙළේ කාංසාව” මගින් සම්පූර්ණයෙන්ම යට වී යා හැකි බව යේසුස් ක්‍රිස්තුස් ඇඟවූවා. (මතෙව් 13:19, 22, NW) කුඩා පැළ මෝරා ඵල දැරීමෙන් වළක්වන්න කටු පඳුරුවලට පුළුවන් සේම, ආත්මික වර්ධනය සහ දෙවිගේ ප්‍රශංසාව සඳහා ඵල දැරීමෙන් වළක්වන්න පාලනය කර නොගත් කාංසාවට හැකියි. ආත්ම-හිරිහැරය ඇති කරන, විනාශකාරි සන්තාපය සමහරෙකුව යෙහෝවාට කැපවීමෙන් වළක්වා තිබෙනවා. ‘මම මගේ කැපවීමට එකඟව ජීවත් නූණොත් මොකද වෙන්නේ’ කියලා සමහරුන් කරදර වෙනවා.

අපේ ආත්මික යුද්ධයේදී, අපේ “සියලු සිතිවිලි [ක්‍රිස්තුස්ට] කීකරුවීමට වහල්කර [දීමට]” උත්සාහ කරමින් සිටිනවා කියා ප්‍රේරිත පාවුල් අපට කිව්වා. (2 කොරින්ති 10:5) අපේ පරම සතුරා වන සාතන් නමැති යක්ෂයා අපව ශාරීරිකව, චිත්තවේගීයව සහ ආත්මිකව අධෛර්යයට පත් කිරීමේ අභිප්‍රායෙන්, අපි කරදරයට පත්වීම වාසියට හරවාගන්න බොහෝ කැමැත්තක් දක්වනවා. වෙහෙසට පත්වූවන්ව කොටු කරගන්න සැකයන් පාවිච්චි කිරීමට ඔහු රුසියෙක්. “යක්ෂයාට ඉඩ නොදෙන්න” කියා පාවුල් ක්‍රිස්තියානීන්ට අනතුරු ඇඟවූයෙත් ඒ නිසායි. (එපීස 4:27) “මේ ලෝකයේ දෙවියා” හැටියට සාතන් සාර්ථක ලෙස ‘නොඇදහිලිකාරයන්ගේ සිත් අන්ධ’ කර තිබෙනවා. (2 කොරින්ති 4:4) අපේ මනස් පාලනය කරන්න අපි කිසිදාක සාතන්ට ඉඩ නොහරිමු!

උදව් තිබේ

ගැටලුවලට මුහුණ දෙද්දී, ප්‍රේමනීය පියෙකු වෙත ගොස් මඟ පෙන්වීම සහ සහනය ලබාගන්න දරුවෙකුට පුළුවන්. ඒ හා සමානව, අපට අපේ ගැටලු සමඟින් අපේ ස්වර්ගීය පියා වන යෙහෝවා වෙතට යන්න පුළුවන්. ඇත්තෙන්ම, අපේ බර සහ කාංසාවන් ඔහු වෙතට විසි කරන්න කියා යෙහෝවා අපට ආරාධනා කරනවා. (ගීතාවලිය 55:22) ගැටලුව සම්බන්ධයෙන් තම පියාගෙන් සහතිකයක් ලැබුවාට පසුව, දරුවා තවදුරටත් ඒ සම්බන්ධයෙන් කරදර නොවන්නා සේම, අපේ බර යෙහෝවා වෙතට විසි කරනවා පමණක් නොව, අප ඒවා ඔහු ළඟ තබනවා.—යාකොබ් 1:6.

අප අපේ බර යෙහෝවා වෙතට විසි කරන්නේ කොහොමද? පිලිප්පි 4:6, 7 මෙහෙම කියනවා: “නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් [දෙවිට] දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ [දෙවිගේ] සමාදානය ක්‍රිස්තුස් [යේසුස්] තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.” ඔව්, අපේ නිරන්තර යාච්ඤා සහ කන්නලව්වලට ප්‍රතිචාර වශයෙන්, අනවශ්‍ය කාංසාවන්ගෙන් අපගේ මනස් බාධාවට නොපැමිණෙන පිණිස, එය ආරක්ෂා කර දෙන අභ්‍යන්තර සන්සුන්කම ලබා දෙන්න යෙහෝවාට පුළුවන්.—යෙරෙමියා 17:7, 8; මතෙව් 6:25-34.

කෙසේවෙතත්, අපේ යාච්ඤාවලට එකඟව වැඩ කිරීමේදී අප අපව ශාරීරිකව හෝ මානසිකව හුදෙකලා කර නොගත යුතුයි. (හිතෝපදේශ 18:1) ඒ වෙනුවට, අපේ ගැටලුවට සම්බන්ධ බයිබල් ප්‍රතිපත්ති සහ මඟ පෙන්වීම් සලකා බැලීමට අපට නිර්දේශ කරනවා. එසේ කිරීමෙන් අපගේම තේරුම්ගැනීම මත රඳා සිටීමෙන් අපව වළක්වාගන්න යනවා. (හිතෝපදේශ 3:5, 6) විවිධ තීරණ ගැනීමට මෙන්ම විවිධ ගැටලු සමඟ කටයුතු කිරීමට උපකාර කරන තොරතුරු සම්භාරයක් ඇති බයිබලය සහ මුරටැඹ ප්‍රකාශන වෙත හැරෙන්න තරුණ මහලු දෙපක්ෂයටම පුළුවන්. ඊට අමතරව, ඕනෑම අවස්ථාවකදී, අපට උපකාර කිරීමට කැමති ක්‍රිස්තියානි සභාව තුළ සිටින ඥානවන්ත, අද්දැකීම් ලත් වැඩිමහල්ලන් සහ අනෙකුත් මේරූ ක්‍රිස්තියානීන්ගෙන් අප ආශීර්වාද ලබා සිටිනවා. (හිතෝපදේශ 11:14; 15:22) එම ගැටලුවට චිත්තවේගීයව සම්බන්ධ නැති මෙන්ම කාරණා සම්බන්ධයෙන් දෙවිගේ මනස ඇති අයට, අපේ ගැටලුව දෙස වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න බොහෝවිට පුළුවන්. ඔවුන් අප වෙනුවෙන් තීරණ නොගත්තත්, දිරිගැන්වීමේ සහ උපකාරයේ මහත් උල්පතක් වෙන්න ඔවුන්ට පුළුවන්.

‘දෙවි කෙරෙහි බලා සිටින්න’

එදිනෙදා ජීවිතයේ සැබෑ කරදර තිබෙද්දී, මනඃකල්පිත ඒවා ගැන සිතමින් කරදර වැඩි කරගන්න අවශ්‍යතාවක් නැති බව නොකිවමනායි. කාරණයක් මොන අතට හැරෙයිද කියා නොදන්නා අවස්ථාවලදී ඇති වන කාංසාවේදී, එය අප තුළ බිය සැක ඇති කරමින්, අපව අපහසුතාවට පත් කරවන විට අපි යාච්ඤාවෙන් සහ කන්නලව්වෙන් යෙහෝවා වෙත හැරෙමු. මඟ පෙන්වීම, ප්‍රඥාව සහ සුවදායක මනසක් ඇතුව සිටීම සඳහා ඔහුගේ වචනය සහ සංවිධානය වෙත යොමු වෙන්න. ඕනෑම ප්‍රශ්නයකදී, ඒ සමඟ කටයුතු කිරීමට උපකාරය තිබෙනවා.

හෘදය වේදනාවෙන් බර වී කලබලයට පත්ව තිබූ විට ගීතිකාකරු මෙසේ ගැයුවා: “එම්බා මාගේ ආත්මය, මක්නිසා මලානිකව ඉන්නෙහිද? මක්නිසා මා තුළ කැලඹෙන්නෙහිද? [දෙවි] කෙරෙහි බලාපොරොත්තුවෙව [බලා සිටින්න, NW]; මක්නිසාද මාගේ මුහුණේ සැපදායකවූ, මාගේ දෙවිවූ [ඔහුට] තවම ස්තුති ප්‍රශංසා කරන්නෙමි.” (ගීතාවලිය 42:11) එම හැඟීම් අපගේ වේවා!

ඔව්, බලාපොරොත්තු විය හැකි ප්‍රමාණයට පමණක් සැලසුම් කරන්න. බලාපොරොත්තු නොවන එහෙත් සිදු විය හැකි දෙය යෙහෝවාට භාර දෙන්න. “[ඔහු] නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර [කාංසාවක්ම, NW] [ඔහු] පිට තබන්න.”—1 පේතෘස් 5:7.

[23වන පිටුවේ පින්තූරය]

ඔබත්, දාවිත් මෙන්, ඔබේ බර සහ කාංසාවන් යෙහෝවා වෙතට විසි කරනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න