‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
ජනවාරි 1-7
දේවවචනය නිධානයක් | මතෙව් 1-3
“ස්වර්ග රාජ්‍යය ළං වී තිබෙනවා”
nwtsty මතෙ 3:1, 2 සටහන්
දේශනා කරන්න: මේ විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයෙන් මූලිකවම අදහස් වෙන්නේ “පොදුවේ හැමෝටම ප්‍රසිද්ධියේ කරන ප්‍රකාශයක්.” ඒක එක කණ්ඩායමකට විතරක් දෙන දේශනයක් නෙවෙයි.
රාජ්‍යය: මේ පදයේ තමයි “බසිලායා” කියන ග්‍රීක වචනය මුල්ම වතාවට පාවිච්චි කරලා තියෙන්නේ. ඒක යොදාගෙන තියෙන්නේ රජෙක් කරන පාලනය, ඒ පාලනය යටතේ තියෙන ප්‍රදේශය වගේම ඒකේ යටත්වැසියන්ව යොමු දක්වන්න. ග්‍රීක ලියවිලිවල ඒ වචනය අවස්ථා 162කදී යොදාගෙන තියෙනවා. ඒ අතරින් අවස්ථා 55ක්ම තියෙන්නේ මතෙව් සුවිශේෂයේ. ඒ සුවිශේෂයේ ඒ වචනය යොදාගෙන තියෙන හුඟක් අවස්ථාවලදී ඒක යොමු දක්වන්නේ ස්වර්ගයේ පිහිටුවලා තියෙන දෙවිගේ රාජ්‍යයට. මතෙව් සුවිශේෂයේ ඒ වචනය වැඩි වාර ගණනක් සඳහන් වෙන නිසා ඒක රාජ්‍යය පිළිබඳ සුවිශේෂය විදිහටත් හඳුන්වන්න පුළුවන්.
ස්වර්ග රාජ්‍යය: බයිබලයේ මේ යෙදුම අවස්ථා 30කදී විතර සඳහන් වෙනවා. ඒ යෙදුම තියෙන්නේ මතෙව් සුවිශේෂයේ විතරයි. මාක් සහ ලූක් සුවිශේෂවල ඒ යෙදුම වෙනුවට යොදාගෙන තියෙන්නේ “දෙවිගේ රාජ්‍යය” කියන යෙදුම. ඒ කියන්නේ “දෙවිගේ රාජ්‍යය” සහ ස්වර්ග රාජ්‍යය කියන්නේ එකම රාජ්‍යයට කියන එකයි. ඒකෙන් පැහැදිලි වෙනවා ඒකේ පාලනය සිද්ධ වෙන්නෙත් ඒක පිහිටුවලා තියෙන්නෙත් ස්වර්ගයේ කියලා.—මතෙ 21:43; මාක් 1:15; ලූක් 4:43; දානි 2:44; 2තිමෝ 4:18.
ළං වී තිබෙනවා: යොහන් එහෙම කිව්වේ ස්වර්ග රාජ්‍යයේ රජ වෙන්න නියමිත කෙනාගේ පැමිණීම අත ළඟටම ඇවිත් කියලා පෙන්වන්නයි.
nwtsty මතෙ 3:4 මීඩියා
යොහන් බව්තීස්තගේ ඇඳුම් සහ පෙනුම
යොහන් ඇන්දේ ඔටු රෝමවලින් හදපු ඇඳුම්. එයා ඉණට හම් පටියකුත් දාගෙන හිටියා. ඒ පටිය හදලා තිබුණේ පොඩි පොඩි බඩු දාගෙන යන්න පුළුවන් විදිහට. අනාගතවක්තෘ එලියාත් ඒ වගේ පටියක් පාවිච්චි කරලා තියෙනවා. (2රාජා 1:8) ඔටු රෝමවලින් හදපු ඇඳුම් සාමාන්‍යයෙන් ඇන්දේ දුප්පත් අය. ඒ ඇඳුම් හරිම ගනකම්. පොහොසත් අය ඇන්දේ සේද නැත්නම් ලිනන් රෙදිවලින් හදපු සිනිඳු ඇඳුම්. (මතෙ 11:7-9) යොහන් ඉපදුණු දවසේ ඉඳන්ම නසරීතවරයෙක්. ඒ නිසා එයා කවදාවත් කොණ්ඩේ කැපුවේ නැහැ කියලා හිතන්න පුළුවන්. එයා ගත කළේ සරල ජීවිතයක් කියලත් එයා දෙවිගේ කැමැත්ත කරන්න කැප වෙලා ඉන්න කෙනෙක් කියලත් එයාගේ ඇඳුම්වලිනුත් පෙනුමෙනුත් පැහැදිලි වෙන්න ඇති.
පළඟැටියන්
බයිබලයේ “පළඟැටියන්” ගැන කතා කරද්දී පොඩි අඬු තියෙන ඕනම වර්ගයක තණකොළ පෙත්තන්ව විශේෂයෙන්ම රංචු පිටින් එහා මෙහා යන තණකොළ පෙත්තන්ව අදහස් වෙන්න පුළුවන්. කාන්තාර පළඟැටියන්ගේ ශරීරයේ 75%ක්ම තියෙන්නේ ප්‍රෝටීන් කියලා යෙරුසලමේ කරපු සොයා බැලීමකින් තහවුරු වෙලා තියෙනවා. දැන් පළඟැටියන්ව කෑමට ගද්දී උන්ගේ ඔළුව, කකුල්, තටු අයින් කරනවා. අමුවෙන් හරි උයලා හරි උන්ව කෑමට ගන්න පුළුවන්. උන්ගේ රස ඉස්සන්ගේ, කකුළුවන්ගේ රසට සමානයි කියලා හුඟක් අය කියනවා.
වනයේ මීපැණි
මේ පින්තූරවලින් පෙන්වලා තියෙන්නේ කැලෑවේ හැදෙන මීමැස්සන්ගේ මීවදයක් (1) සහ පැණි බේරෙන මීවදයකින් කඩාගත්ත කොටසක් (2). උණුසුම්, වියළි දේශගුණයක් තියෙන යූදා පාළුකරයේ හැදෙන ඒ ප්‍රදේශයටම ආවේණික මීමැසි විශේෂයක් ඉන්නවා. උන් හරිම දරුණුයි. උන්ව මීමැසි පෙට්ටිවල ඇති කරන්න බැහැ. යොහන් කෑමට ගන්න ඇත්තේ උන්ගේ මීපැණි වෙන්න ඇති. ක්‍රි. පූ. 9වෙනි සියවසේදී ඊශ්‍රායෙලයේ ජීවත් වුණු අය මැටි බඳුන්වල මීමැස්සන්ව ඇති කරලා තියෙනවා. ඒ වගේ මීවද විශාල ප්‍රමාණයක් යොර්දාන් නිම්නයේ පිහිටි දැන් ටෙල් රෙහොව් විදිහට හඳුන්වන ප්‍රදේශයෙන් හොයාගෙන තියෙනවා. ඒ මැටි බඳුන්වල ඇති කරන්න ඇත්තේ දැන් තුර්කිය විදිහට හඳුන්වන රටෙන් ගෙන්වපු මීමැස්සන් කියලා හිතන්න පුළුවන්.
ගැඹුරින් හොයමු
nwtsty මතෙ 1:3 සටහන
තාමර්: ගැලවුම්කරුගේ පෙළපත් වාර්තාව ගැන සඳහන් කරද්දී කාන්තාවන් පස්දෙනෙක්ගේ නම් මතෙව් සඳහන් කරලා තියෙනවා. ඒ අතරින් මුලින්ම සඳහන් වෙන්නේ තාමර්ගේ නම. ඊළඟට තියෙන්නේ රාහබ් සහ රූත්ගේ නම්. එයාලා ඊශ්‍රායෙල් ජාතිකයන් නෙවෙයි. (5වෙනි පදය) හතරවෙනියට සඳහන් වෙන්නේ “උරියාගේ බිරිඳ” වුණු බැත්-ෂෙබාගේ නම. (6වෙනි පදය) අන්තිමට සඳහන් වෙන්නේ මරියාගේ නම. (16වෙනි පදය) ඒ කාන්තාවන් පස්දෙනා යේසුස්ගේ මිත්තණියන් වුණු විදිහ හරිම විශේෂයි. ඒ නිසා වෙන්න ඇති මතෙව් ඒ කාන්තාවන් පස්දෙනා ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඇත්තේ.
nwtsty මතෙ 3:11 සටහන
බව්තීස්ම කරනවා: මේ විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයෙන් ඒ කියන්නේ “බප්ටීඩ්සෝ” කියන වචනයෙන් අදහස් වෙන්නේ “ජලයේ ගිල්වීම” කියන එකයි. කෙනෙක්ව බව්තීස්ම කරද්දී සම්පූර්ණයෙන්ම ජලයේ ගිල්වන්න ඕනෙ කියලා තවත් බයිබල් පදවලින් පැහැදිලි වෙනවා. උදාහරණෙකට යොර්දාන් නිම්නයේ සාලිම් අසල පිහිටි තැනකදී යොහන් මිනිසුන්ව බව්තීස්ම කළේ එතැන ‘බොහෝ වතුර තිබුණු’ නිසයි කියලා බයිබලයේ සඳහන් වෙනවා. (යොහ 3:23) ෆිලිප් ඉතියෝපියානු නිලධාරියාව බව්තීස්ම කරපු අවස්ථාව ගැන බයිබලයේ සඳහන් වෙන්නේ ඒ දෙන්නාම ‘වතුරට බැස්සා’ කියලයි. (ක්‍රියා 8:38) “සෙප්ටුඅජින්ට්” පරිවර්තනයේ 2රාජා 5:14 නාමන් හත් වතාවක් ගඟේ ‘ගිලී නෑවා’ කියන කොටස පරිවර්තනය කරද්දී යොදාගෙන තියෙන්නේ “බප්ටීඩ්සෝ” කියන ග්‍රීක වචනයයි.
ජනවාරි 8-14
දේවවචනය නිධානයක් | මතෙව් 4-5
“කන්ද උඩ දේශනාවෙන් පාඩම්”
nwtsty මතෙ 5:3 සටහන
සන්තෝෂවත්: මේ විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයෙන් අදහස් වෙන්නේ විනෝද වෙද්දී හිතට දැනෙන සතුටවත් සැහැල්ලු ගතියවත් නෙවෙයි. මිනිසුන් ගැන කතා කරද්දී ඒ වචනය යොදාගෙන තියෙන්නේ යෙහෝවා දෙවිගේ අනුමැතිය දිනාගෙන ඔහුගෙන් ආශීර්වාද ලබන අය අද්දකින තත්වය විස්තර කරන්නයි. දෙවියන් සහ යේසුස් ගැන සඳහන් කරද්දීත් ඒ ග්‍රීක වචනයම යොදාගෙන තියෙනවා.—1තිමෝ 1:11; 6:15.
නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය: “මහත් ආශාවකින් සිටින අය” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයෙන් මූලිකවම අදහස් වෙන්නේ “දිලිඳු (අඟහිඟකම් තියෙන, අසරණ, හිඟමන් යදින) අයවයි.” මේ පදයේ ඒ වචනය යොදාගෙන තියෙන්නේ ලොකු අවශ්‍යතාවක් තියෙන වගේම ඒක තේරුම් අරන් ඉන්න අයව විස්තර කරන්න. ඒ ග්‍රීක වචනයම තමයි ලූක් 16:20, 22 ‘හිඟන්නෙක්’ විදිහට පරිවර්තනය කරලා තියෙන්නේ. සමහර පරිවර්තකයන් “සිතින් දිලින්දෝ” විදිහට පරිවර්තනය කරලා තියෙන යෙදුමෙන් විස්තර කරන්නේ තමන්ට දෙවිගේ මඟ පෙන්වීම් කොයි තරම් අවශ්‍යද කියලා තේරුම් අරන් දෙවි එක්ක කිට්ටු බැඳීමක් පවත්වාගන්න උත්සාහ කරන අයවයි.
nwtsty මතෙ 5:7 සටහන
දයාවන්ත: බයිබලයේ “දයාවන්ත” සහ “දයාව” කියන වචන පාවිච්චි කරලා තියෙන්නේ සමාව දෙන්න නැත්නම් විනිශ්චය ලිහිල් කරන්න කියන අදහස් දෙන්න විතරක් නෙවෙයි. ඒ වෙනුවට හුඟක් අවස්ථාවලදී ඒ වචන යොදාගෙන තියෙන්නේ අවශ්‍යතාව තියෙන අය ගැන ඇති වෙන අනුකම්පාව නිසා ඒ අය වෙනුවෙන් දෙයක් කරන්න පෙලඹෙන එක විස්තර කරන්නයි.
nwtsty මතෙ 5:9 සටහන
සාමය ඇති කිරීමට වෙහෙසෙන: මේ යෙදුමෙන් අදහස් කරන්නේ සාමකාමීව ඉන්න එක විතරක් නෙවෙයි. ප්‍රශ්නයක් ඇති වුණාම ඒක සාමකාමීව විසඳගන්න මුල් පියවර ගන්න එකත් ඒකට ඇතුළත්.
ගැඹුරින් හොයමු
nwtsty මතෙ 4:9 සටහන
එක වරක් නමස්කාර කළොත්: “නමස්කාර කළොත්” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක ක්‍රියා පදයෙන් විස්තර කරන්නේ එක අවස්ථාවකදී විතරක් කරන ක්‍රියාවක්. සාතන්ට ඕන වුණේ එක වතාවක් විතරක් යේසුස්ගේ නමස්කාරය ලබාගන්න මිසක් දිගටම යේසුස්ගේ නමස්කාරය ලබාගන්න නෙවෙයි කියලා ඒකෙන් පැහැදිලි වෙනවා.
nwtsty මතෙ 4:23 සටහන
උගන්වමින්ද . . . දේශනා කරමින්ද: දේශනා කරන එකයි උගන්වන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. දේශනා කරද්දී පණිවිඩයක් කියනවා විතරයි. හැබැයි කෙනෙක්ට උගන්වද්දී තොරතුරු පැහැදිලි කරනවා, තර්කානුකූලව දේවල් කියලා දෙනවා වගේම ඒවා පිළිගන්න තියෙන සාක්ෂි පෙන්වනවා.
ජනවාරි 15-21
දේවවචනය නිධානයක් | මතෙව් 6-7
“නොකඩවාම දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න”
nwtsty මතෙ 6:24 සටහන
දාසයෙක්: දාසයෙක් කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක ක්‍රියා පදයෙන් අදහස් වෙන්නේ තනි ස්වාමියෙක් යටතේ සේවය කරන දාසයෙක්ව. යේසුස් ඒ දේ කිව්වේ අපි නමස්කාර කරන්න ඕනෙ යෙහෝවා දෙවිට විතරයි කියලා කාවද්දන්න. කෙනෙක් ධන සම්පත් රැස් කරගන්න එක ජීවිතේ වැදගත්ම දේ කරගත්තොත් මුළු හදවතින්ම යෙහෝවා දෙවිට නමස්කාර කරන්න ඒ කෙනාට පුළුවන් වෙන්නේ නැහැ කියලා ඒකෙන් පැහැදිලියි.
nwtsty මතෙ 6:33 සටහන
නොකඩවා . . . මුල් තැන දෙන්න: මේ විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක ක්‍රියා පදයෙන් අදහස් වෙන්නේ එක සැරයක් කරලා නතර කරන ක්‍රියාවක් නෙවෙයි. ඒ වෙනුවට දිගටම සිදු කෙරෙන ක්‍රියාවක්. යේසුස්ගේ අනුගාමිකයන් එක වතාවක් විතරක් රාජ්‍යයට මුල් තැන දීලා ඊටපස්සේ වෙනත් දේවලට මුල් තැන දෙන්නේ නැහැ. ඒ වෙනුවට එයාලා ජීවිත කාලය පුරාම රාජ්‍යයට මුල් තැන දෙනවා.
රාජ්‍යය: සමහර පැරණි ග්‍රීක අත්පිටපත්වල “දෙවිගේ රාජ්‍යය” විදිහටත් යොදලා තියෙනවා.
ඔහුගේ: මේ වචනයෙන් යොමු දක්වන්නේ දෙවිව. මතෙ 6:32 “ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්” කියලා හඳුන්වලා තියෙන්නේ ඔහුවයි.
ධර්මිෂ්ඨ: දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දෙන අය කැමැත්තෙන්ම දෙවිට කීකරු වෙනවා. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වේ දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දෙන්න කියලයි. හැබැයි පරිසිවරුන්ගේ ඉගැන්වීම් යේසුස් උගන්වපු දේට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. මොකද එයාලා උත්සාහ කළේ තමන් ධර්මිෂ්ඨයි කියලා ඔප්පු කරන්න.—මතෙ 5:20.
ගැඹුරින් හොයමු
nwtsty මතෙ 7:28, 29 සටහන්
මවිත වූහ: මේ විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක ක්‍රියා පදයට ‘හිතට තදින්ම කාවැදුණා’ කියන අදහසත් ඇතුළත්. ඒ වගේම ඒ ග්‍රීක ක්‍රියා පදයෙන් විස්තර කරන්නේ අවසන් නොවී දිගටම සිදු වෙන ක්‍රියාවක්. ඒකෙන් පැහැදිලි වෙන්නේ යේසුස් උගන්වපු දේවල් මිනිසුන්ගේ මුළු ජීවිත කාලයටම බලපෑවා කියන එකයි.
ඔහු උගන්වන ආකාරය: මේ යෙදුමෙන් අදහස් වෙන්නේ යේසුස් උගන්වන්න පාවිච්චි කරපු ක්‍රම, කන්ද උඩ දේශනයේදී ඔහු දීපු මඟ පෙන්වීම් ඇතුළු ඔහු උගන්වපු දේවලුයි.
පිටපත් කරන්නන්ට වඩා වෙනස්: පිටපත් කරන්නන් ඉගැන්නුවේ මිනිසුන් ගෞරවයෙන් සලකපු රබ්බිවරුන්ගේ අදහස්. හැබැයි යේසුස් නිතරම ඉගැන්නුවේ දෙවිගේ වචනයේ තියෙන දේවල්. ඒ කියන්නේ ඔහු දෙවි මත රඳා සිටිමින් දෙවිගේ නියෝජිතයෙක් විදිහට කටයුතු කළා.—යොහ 7:16.
ජනවාරි 22-28
දේවවචනය නිධානයක් | මතෙව් 8-9
“යේසුස් මිනිසුන්ට ආදරේ කළා”
nwtsty මතෙ 8:3 සටහන
ඔහුව ස්පර්ශ කරමින්: දෙවියන් මෝසෙස් මාර්ගයෙන් දීපු නීතියේ සඳහන් වෙලා තිබුණා ලාදුරු රෝගය හැදුණු අය අනිත් අයගෙන් වෙන් වෙලා ඉන්න ඕනෙ කියලා. එහෙම කියලා තිබුණේ ඒ රෝගය බෝ වෙන එක වළක්වන්න. (ලෙවී 13:45, 46; ගණන් 5:1-4) හැබැයි යුදෙව් ආගමික නායකයන් ඒ නීතියට තවත් නීති ඇතුළත් කළා. උදාහරණෙකට ලාදුරු රෝගීන් අනිත් අයගෙන් රියන් 4ක ඒ කියන්නේ අඩි 6ක (මීටර් 1.8ක් විතර) දුරකින් ඉන්න ඕනෙ කියලා එයාලා කිව්වා. තදින් හුළං හමන දවස්වල රියන් 100ක ඒ කියන්නේ අඩි 150ක (මීටර් 45ක් විතර) දුරකින් ඉන්න ඕනෙ කියලත් එයාලා කිව්වා. ඒ වගේ නීති නිසා මිනිසුන් ලාදුරු රෝගීන්ට සැලකුවේ හරිම අකාරුණික විදිහට. එක රබ්බිවරයෙක් ලාදුරු රෝගීන්ව දැක්කාම හැංගිලා තියෙනවා. තව කෙනෙක් ලාදුරු රෝගීන්ට ගල් ගහලා එළවලා තියෙනවා. එයාලා කරපු ඒ දේවල් ගැන එක වාර්තාවක එයාලව අගය කරලා තිබුණා. හැබැයි යේසුස් කටයුතු කළේ ඊට වඩා හාත්පසින්ම වෙනස් විදිහට. තමන් ගාවට ආපු ලාදුරු රෝගියා ගැන යේසුස්ගේ හිතේ මොන තරම් දයානුකම්පාවක් ඇති වුණාද කියනවා නම් ඔහු ඒ රෝගියාව අල්ලලා සුව කළා. ඕනෙ නම් රෝගියාව අල්ලන්නේ නැතුව වුණත් සුවය ලබා දෙන්න යේසුස්ට පුළුවන්කම තිබුණත් ඔහු රෝගියාව ඇල්ලුවේ කැමැත්තෙන්මයි. යේසුස් කරපු ඒ දේ යුදෙව්වන්ට අදහාගන්න බැරි වුණා.—මතෙ 8:5-12.
මා කැමතියි: යේසුස් ඒ රෝගියාගේ ඉල්ලීම ඉටු කරන්න එකඟ වුණා විතරක් නෙවෙයි ඒක කරන්න ඔහුගේ හිතේ මොන තරම් ආශාවක් තියෙනවාද කියලත් පෙන්නුවා. ඔහු ඒ දේ කළේ නිකම්ම වගකීමක් ඉටු කරන්න ඕනෙ නිසා නෙවෙයි කියලා ඒකෙන් පැහැදිලියි.
nwtsty මතෙ 9:10 සටහන
කෑමට ඉඳගෙන: සාමාන්‍යයෙන් එකට කෑම මේසෙක වාඩි වෙන්නේ කිට්ටු මිතුරන්. යේසුස්ගේ කාලේ හිටිය යුදෙව්වන් සාමාන්‍යයෙන් යුදෙව් නොවන අයත් එක්ක කෑම මේසෙක එකට වාඩි වුණේ නැහැ.
බදු එකතු කරන්නන්: සමහර යුදෙව්වන් රෝම ආණ්ඩුව වෙනුවෙන් බදු එකතු කළා. බදු එකතු කරපු ඒ යුදෙව්වන් ගැන මිනිසුන්ගේ හිත්වල තිබුණේ පුදුම කේන්තියක්. මොකද එයාලා රෝමවරුන්ට සහාය දුන්නා විතරක් නෙවෙයි නියමිත ප්‍රමාණයට වඩා වැඩියෙනුත් මිනිසුන්ගෙන් බදු මුදල් අය කළා. එයාලා කරපු ඒ වගේ දේවල් නිසා මිනිසුන් එයාලට සැලකුවේ පව්කාරයන්ට සහ ගණිකාවන්ට සලකන විදිහටමයි.—මතෙ 11:19; 21:32.
nwtsty මතෙ 9:36 සටහන
අනුකම්පාවක් ඇති විය: “ස්ප්ලාග්නීට්සෝමායි” කියන ග්‍රීක ක්‍රියා පදය හැදිලා තියෙන්නේ බඩවැල් (“ස්ප්ලාග්නා”) කියන අර්ථය දෙන ග්‍රීක වචනයෙන්. ඒකෙන් අදහස් වෙන්නේ ඇතුළාන්තයෙන්ම එන ප්‍රබල හැඟීමක්. ඒක තමයි අනුකම්පාව කියන හැඟීම හොඳින්ම ඉස්මතු කරන ග්‍රීක වචනය.
ජනවාරි 29–පෙබරවාරි 4
දේවවචනය නිධානයක් | මතෙව් 10-11
“යේසුස් මිනිසුන්ට සහනයක් වුණා”
nwtsty මතෙ 10:29, 30 සටහන්
ගේකුරුල්ලන්: “ස්තෲතියොන්” කියන ග්‍රීක වචනයෙන් ඕනම ජාතියක පොඩි කුරුල්ලන්ව අදහස් වෙනවා. හැබැයි හුඟක් අවස්ථාවලදී ඒ වචනයෙන් යොමු දක්වලා තියෙන්නේ ගේකුරුල්ලන්ව. කෑමට ගන්න කුරුල්ලන් අතරින් උන්ව තමයි අඩුම මුදලකට මිල දී ගන්න පුළුවන් වුණේ.
ඉතා සුළු මුදලකට: ඒකෙන් අදහස් කරන්නේ “අසේරියන් එකක්” ඒ කියන්නේ මිනිසෙකුට විනාඩි 45ක් වැඩ කළාම ලැබෙන මුදලයි. (sgd 18වෙනි කොටස බලන්න.) මේ අවස්ථාවේදී ඒ කියන්නේ යේසුස් ගලීලයේ සංචාරයේ යෙදුණු තුන්වෙනි වතාවේදී යේසුස් කිව්වේ ගේකුරුල්ලන් දෙන්නෙක්ව අසේරියන් එකකට ගන්න පුළුවන් කියලයි. අවුරුද්දකට විතර පස්සේ ඔහු යුදයේ සේවයේ හවුල් වෙමින් ඉද්දී ඔහු කිව්වා අසේරියන් දෙකකට ගේකුරුල්ලන් පස්දෙනෙකුව ගන්න පුළුවන් කියලා. (ලූක් 12:6) ගේකුරුල්ලන් හතරදෙනෙක්ව ගද්දී තව එකෙක්ව නොමිලේම දීපු එකෙන් තේරෙනවා වෙළෙඳුන් උන්ව සලකලා තියෙන්නේ කොයි තරම් නම් අඩු වටිනාකමක් තියෙන කුරුල්ලන් විදිහටද කියලා.
ඔබේ සියලුම හිසකෙස් පවා ගණන් කර තිබෙනවා: සාමාන්‍යයෙන් මිනිසෙකුගේ හිසේ කෙස් ලක්ෂයකට වඩා තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. යෙහෝවා දෙවි සියලුම හිසකෙස් පවා ගණන් කරලා තියෙනවා කියන එකෙන් පැහැදිලි වෙනවා ඔහු තමන්ගේ හැම සේවකයෙක් ගැනම පෞද්ගලිකවම සැලකිලිමත් වෙනවා කියලා.
nwtsty මීඩියා
ගේකුරුල්ලා
කෑමට ගන්න කුරුල්ලන් අතරින් අඩුම වටිනාකමක් තිබුණේ ගේකුරුල්ලන්ට. මිනිසෙක් විනාඩි 45ක් වැඩ කළාම ලැබෙන වැටුපෙන් ගේකුරුල්ලන් දෙන්නෙක්ව ගන්න පුළුවන් වුණා. ගේකුරුල්ලා හැටියට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයෙන් දැනටත් ඊශ්‍රායෙලයේ ඕනෑ තරම් දකින්න ලැබෙන සාමාන්‍ය ගේකුරුල්ලන් සහ ස්පාඤ්ඤ ගේකුරුල්ලන් ඇතුළු විවිධ ජාතියේ පුංචි කුරුල්ලන්ව අදහස් වෙනවා.
nwtsty මතෙ 11:28 සටහන
බරින් පීඩිත වූ: මා වෙතට එන්න කියලා යේසුස් ආරාධනා කරපු මිනිසුන් හිටියේ ජීවිතේ කරදර නිසා “බරින් පීඩිත” වෙලා. මෝසෙස් මාර්ගයෙන් දීපු නීතියට මිනිසුන් එකතු කරලා තිබුණු සම්ප්‍රදායන් නිසා යෙහෝවා දෙවිට කරන නමස්කාරයත් එයාලට බරක් වෙලයි තිබුණේ. (මතෙ 23:4) උදාහරණෙකට සබත පවත්වන සැලැස්ම දෙවි ඇති කරලා තිබුණේ සහනයක් ලබා දෙන අරමුණින් වුණත් මිනිස් සම්ප්‍රදායන් නිසා ඒක ලොකු බරක් වෙලා තිබුණා.—නික් 23:12; මාක් 2:23-28; ලූක් 6:1-11.
ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි: “ප්‍රාණවත්” හැටියට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයෙන් විවේක ගන්න එකත් (මතෙ 26:45; මාක් 6:31) වෙහෙස නිවාගෙන අලුත් පණක් ලබාගන්න එකත් අදහස් වෙනවා. (2කොරි 7:13; ෆිලෙ 7) ඊළඟ පදය බලද්දී පැහැදිලි වෙනවා යේසුස්ගේ “වියගහ” (මතෙ 11:29) කරට ගන්න එකෙන් අදහස් වෙන්නේ දෙවිට සේවය කරන එක මිසක් විවේකයෙන් ඉන්න එක නෙවෙයි කියලා. ඒත් යේසුස් කියපු දෙයින් පැහැදිලි වෙන්නේ ඔහු විඩාවට පත් වුණ අයට සහනය, ශක්තිය දෙන නිසා ඔහුගේ වියගහ කැමැත්තෙන්ම කරට ගන්න එයාලා පෙලඹෙනවා කියන එකයි.
nwtsty මතෙ 11:29 සටහන
මා ඔබ පිට තබන වියගහ පිළිගෙන: යේසුස් “වියගහ” කියන වචනය පාවිච්චි කළේ අධිකාරියට සහ මඟ පෙන්වීම්වලට කීකරු වෙන එක සංකේතවත් කරන්නයි. ඒ වෙලාවේ යේසුස්ගේ මනසේ තිබුණේ සතුන් දෙන්නෙක්ට හදපු වියගහක් නම් ඔහු ගෝලයන්ට කියපු දෙයින් අදහස් කරන්න ඇත්තේ යෙහෝවා දෙවි තමන් පිට තියපු වියගහ උසුලන්න හවුල් වෙන්න කියන එක වෙන්න ඇති. එහෙමත් නැත්නම් ඒ වෙලාවේ යේසුස්ගේ මනසේ තිබුණේ ඔහු ගෝලයන් පිට තබන වියගහ ගැන නම් ඔහු ඒකෙන් අදහස් කරන්න ඇත්තේ ඔහුගේ අධිකාරියට සහ ඔහු ලබා දෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න කියන එක වෙන්න ඇති.