‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
ජූනි 4-10
දේවවචනය නිධානයක් | මාක් 15-16
“යේසුස් මාර්ගයෙන් ඉටු වුණු අනාවැකි”
nwtsty මාක් 15:24, 29 සටහන්
පිට වස්ත්‍ර තමන් අතරේ බෙදාගත්තා: මේ සිද්ධිය ගැන මතෙව්, මාක් සහ ලූක් සඳහන් කරලා නැති තොරතුරු යොහ 19:23, 24 පදවල සඳහන් වෙනවා. පේන විදිහට රෝම හේවායන් යේසුස්ගේ පිට වස්ත්‍රයටත් ඇතුල් වස්ත්‍රයටත් දාදු දාලා තියෙනවා. එයාලා යේසුස්ගේ පිට වස්ත්‍රය “එක් හේවායෙකුට එක් කොටසක් බැගින් කොටස් හතරකට” බෙදාගෙන තියෙනවා. හැබැයි ඇතුල් වස්ත්‍රය ඒ විදිහට බෙදාගන්න එයාලා කැමති වෙලා නැහැ. ඒ නිසා එයාලා ඒකට දාදු දාලා තියෙනවා. එයාලා කරපු ඒ දෙයින් ගැලවුම්කරුගේ වස්ත්‍ර බෙදාගන්නවා කියලා ගීතා 22:18 සඳහන් අනාවැකිය ඉටු වුණා. පේන විදිහට රෝම හේවායන් අපරාධකරුවන්ගේ ඇඳුම් අයිති කරගෙන තියෙනවා. ඒ නිසා මරණ දඬුවම ලබන අයට දඬුවම දෙන්න කලින් එයාලගේ ඇඳුම් පැළඳුම් ගලවලා දැම්මා. ඒකෙන් එයාලගේ ලැජ්ජාව තවත් වැඩි වුණා.
හිස් වනවනා: සාමාන්‍යයෙන් කෙනෙක්ට අපහාස කරන්න නැත්නම් සමච්චල් කරන්න මොනවා හරි දෙයක් කියද්දී හිස වනවනා තමයි ඒ දේ කියලා තියෙන්නේ. යේසුස්ව පහු කරගෙන ගිය අය කරපු ඒ දෙයින් ගීතා 22:7 සඳහන් අනාවැකිය ඉටු වුණා.
nwtsty මාක් 15:43 සටහන
යෝසෙප්: සුවිශේෂ වාර්තාවල යෝසෙප්ව විස්තර කරලා තියෙන විදිහෙන් පැහැදිලි වෙනවා ඒ වාර්තාකරුවන්ගේ පෞද්ගලිකත්වයන් එකිනෙකට වෙනස් කියලා. බදු එකතු කරන්නෙක් වුණු මතෙව් යෝසෙප්ව හඳුන්වලා තියෙන්නේ “ධනවතෙක්” විදිහට. රෝමවරුන්ව මනසේ තියාගෙන ලියපු මාක් යෝසෙප්ව හඳුන්වලා තියෙන්නේ දෙවිගේ රාජ්‍යය එනතුරු බලාගෙන හිටිය “මන්ත්‍රණ සභාවේ ප්‍රකට සාමාජිකයෙක්” විදිහට. අනිත් අයගේ හැඟීම් ගැන සැලකිලිමත් වෛද්‍යවරයෙක් වුණු ලූක් යෝසෙප්ව විස්තර කරලා තියෙන්නේ යේසුස්ට විරුද්ධව මන්ත්‍රණ සභාව කරපු කුමන්ත්‍රණයට අනුමැතිය දුන්නේ නැති “යහපත් සහ ධර්මිෂ්ඨ” කෙනෙක් කියලයි. යොහන් යෝසෙප්ව හඳුන්වලා තියෙන්නේ ‘යුදෙව්වරුන්ට තිබුණු බය නිසා රහසින් යේසුස්ගේ ගෝලයෙක් වෙලා හිටපු කෙනෙක්’ විදිහට.—මතෙ 27:57-60; මාක් 15:43-46; ලූක් 23:50-53; යොහ 19:38-42.
ගැඹුරින් හොයමු
nwtsty මාක් 15:25 සටහන
තුන්වෙනි පැය: ඒ කියන්නේ උදෑසන 9ට විතර. මාක්ගේ වාර්තාවට වඩා වෙනස් අදහසක් යොහන් 19:14-16 සඳහන් වෙලා තියෙනවා කියලා සමහර අය තර්ක කරනවා. මොකද යොහන්ගේ වාර්තාවේ කියන්නේ පිලාත් යේසුස්ව වධකණුවේ ඇණ ගහන්න භාර දුන්නේ “හයවෙනි පැයේදී පමණ” කියලා. මේ වාර්තා දෙකේ තියෙන වෙනසට හේතුව මොකක්ද කියලා බයිබලයේ කොතැනකවත් පැහැදිලි කරලා නැහැ. ඒත් ඒක තේරුම්ගන්න උදව් වෙන කාරණා කිහිපයක් දැන් අපි බලමු. යේසුස් මිනිසෙක් විදිහට ජීවත් වුණු අන්තිම දවසේ සිද්ධීන් සහ ඒ දේවල් සිද්ධ වුණු වෙලාවල් ගැන සුවිශේෂ පොත් ලියපු අය හුඟක් දුරට එකඟ වෙනවා. උදාහරණෙකට පූජකයන් සහ වැඩිමහල්ලන් උදේ පාන්දර එකතු වුණා කියලත් පස්සේ එයාලා රෝම ආණ්ඩුකාරයා වුණු පිලාත් ගාවට යේසුස්ව එක්කගෙන ගියා කියලත් සුවිශේෂ පොත් හතරේම සඳහන් වෙනවා. (මතෙ 27:1, 2; මාක් 15:1; ලූක් 22:66–23:1; යොහ 18:28) ඒ වගේම “හයවෙනි පැයේ පටන් නවවෙනි පැය දක්වා” මුළු පොළොවම අඳුරු වුණා කියලත් ඒ වෙද්දීත් යේසුස් වධකණුවේ හිටියා කියලත් මතෙව්, මාක් සහ ලූක් යන තුන්දෙනාම වාර්තා කරනවා. (මතෙ 27:45, 46; මාක් 15:33, 34; ලූක් 23:44) යේසුස්ව වධකණුවේ ඇණ ගහපු වෙලාව තීරණය කරන්න උදව් වෙන තවත් කාරණයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපරාධකරුවෙක්ව මරන්න භාර දුන්න ගමන්ම එයාව වධකණුවේ ඇණ ගැහුවේ නැහැ. ඊට කලින් එයාට හොඳටම කසයෙන් තැළුවා. සමහර වෙලාවට අපරාධකරුවා මැරෙන තරම් දරුණු විදිහට එයාට ගැහුවා. යේසුස්ට දිගටම වධකණුව රැගෙන යන්න බැරි වුණ නිසා වෙනත් කෙනෙක්ට ඒක රැගෙන යන්න වුණා කියලා බයිබලයේ සඳහන් වෙලා තියෙන එකෙන් පැහැදිලි වෙනවා යේසුස්ටත් දරුණු විදිහට කසයෙන් ගහලා තිබුණා කියලා. (ලූක් 23:26; යොහ 19:17) සමහර අය කියන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තේ කසයෙන් තළන්න පටන්ගත්ත වෙලාවේ ඉඳන් කියලයි. මතෙ 27:26 සහ මාක් 15:15 පදවල කියන දේත් ඒ අදහස තේරුම්ගන්න අපිට උදව් වෙනවා. ඒ පදවල කියන්නේ පිලාත් යේසුස්ව මරන්න භාර දුන්න වෙලාවේ ඔහුට කසයෙන් තළන්න අණ කළා කියලයි. ඒකෙනුත් පැහැදිලි වෙනවා කසයෙන් තළන එක මරණ දඬුවමට ඇතුළත් වෙලා තිබුණා කියලා. එක එක පුද්ගලයා වෙලාව වෙනස් විදිහට සඳහන් කරන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක වුණ වෙලාව ගැන ඒ අය දරපු අදහස අනුව කියලා හිතන්න පුළුවන්. ‘යේසුස් මේ වෙද්දීත් මිය ගොස් ඇද්ද’ කියලා පිලාත් ප්‍රශ්න කරන්න ඇත්තෙත් යේසුස්ව වධකණුවේ ඇණ ගැහුවේ ඊට ටික වෙලාවකට කලින් කියලා එයා හිතපු නිසා වෙන්න ඇති. (මාක් 15:44) යේසුස්ව වධකණුවේ ඇණ ගහපු වෙලාව ගැන එකිනෙකට වෙනස් අදහස් තිබුණේ ඇයි කියලා තේරුම්ගන්න පළමුවෙනි සියවසේ හිටපු යුදෙව්වන් වෙලාව ගණන් කරපු විදිහ තේරුම්ගන්න එකත් වැදගත් වෙනවා. එයාලා සාමාන්‍යයෙන් දවසේ පැය 24 දිවා කාලය සහ රාත්‍රි කාලය විදිහට වෙන් කරලා තිබුණා. හිරු නඟින වෙලාව (ඒ කියන්නේ උදේ 6.00ට විතර) ඉඳන් හිරු බැස යන වෙලාව දක්වා දිව යන පැය 12 එයාලා හැඳින්නුවේ දිවා කාලය විදිහටයි. මේ දිවා කාලයත් කොටස් 4කට බෙදලා තිබුණා. බයිබලය ලියපු අය නිතරම තුන්වෙනි පැය, හයවෙනි පැය සහ නමවෙනි පැය ගැන සඳහන් කරන්නේ ඒ නිසයි. (මතෙ 20:1-5; යොහ 4:6; ක්‍රියා 2:15; 3:1; 10:3, 9, 30) අපි මතක තියාගන්න ඕනෙ තවත් දෙයක් තමයි ඒ කාලයේ හිටපු මිනිසුන්ට අපිට වගේ නිශ්චිතව වෙලාව කියන්න විදිහක් තිබුණේ නැහැ කියන එක. ඒකයි වෙලාව ගැන සඳහන් කරද්දී එයාලා හුඟක් වෙලාවට “පැයේදී පමණ” කියලා සඳහන් කරන්නේ. යොහ 19:14 ඒකට එක උදාහරණයක්. (මතෙ 27:46; ලූක් 23:44; යොහ 4:6; ක්‍රියා 10:3, 9) අපි මේ වෙන කල් බලපු තොරතුරුවලින් පැහැදිලි වෙන්නේ මොකක්ද? සමහරවිට යේසුස්ව වධකණුවේ ඇණ ගහපු වෙලාව ගැන සඳහන් කරද්දී මාක් සඳහන් කරන්න ඇත්තේ යේසුස්ට කසයෙන් ගහන්න පටන්ගත්ත වෙලාව වෙන්න ඇති. ඒත් යොහන් සඳහන් කරන්නේ යේසුස්ව වධකණුවේ ඇණ ගහපු වෙලාව වෙන්න ඇති. ඒ දෙන්නාම පුළුවන් තරම් දුරට සිද්ධිය වුණ ආසන්නම පැය සඳහන් කරනවා කියලා හිතන්න පුළුවන්. යොහන් එයාගේ සුවිශේෂය ලිව්වේ මාක්ගේ සුවිශේෂය ලියලා අවුරුදු ගාණක් ගත වුණාට පස්සේ. යොහන් මාක්ගේ වාර්තාවේ සඳහන් කරන වෙලාවට වඩා වෙනස් වෙලාවක් සඳහන් කරලා තියෙන එකෙන් පැහැදිලි වෙනවා එයා මාක්ගේ වාර්තාව බලලා තොරතුරු ලිව්වේ නැහැ කියලා.
nwtsty මාක් 16:8 සටහන
බියපත් වූ ඔවුහු කිසිවෙකුට කිසිම දෙයක් නොකීවෝය: දැනට හොයාගෙන තියෙන පැරණිම අත්පිටපත්වල පෙන්වන විදිහට මාක් සුවිශේෂය අවසන් වෙලා තියෙන්නේ 16වෙනි පරිච්ඡේදයේ 8වෙනි පදයෙන්. හැබැයි සමහරු කියනවා මාක් සුවිශේෂය ඒ විදිහට එකපාරටම අවසන් වුණා කියලා පිළිගන්න බැහැ කියලා. හැබැයි සාමාන්‍යයෙන් මාක් තොරතුරු වාර්තා කරලා තියෙන විදිහ ගැන බලද්දී ඒ අයගේ තර්කය නිවැරදියි කියලා කියන්න බැහැ. මොකද මාක් තොරතුරු විස්තර කරලා තියෙන්නේ හරිම කෙටියෙන්. ඒ වගේම හතරවෙනි සියවසේ හිටිය විශාරදයන් දෙන්නෙක් වුණු යූසීබියස් සහ ජෙරොම් කියලා තියෙනවා මුල් පිටපත්වලත් මාක් සුවිශේෂය අවසන් වෙලා තියෙන්නේ “බියපත් වූ ඔවුහු කිසිවෙකුට කිසිම දෙයක් නොකීවෝය” කියන වාක්‍යයෙන් කියලා.
මාක් 16:8න් පස්සේ දීර්ඝ අවසානය සහ කෙටි අවසානය කියන කොටස් දෙක පැරණි ග්‍රීක අත්පිටපත් කිහිපයකත් බයිබල් පරිවර්තන කිහිපයකත් ඇතුළත් කරලා තියෙනවා. ක්‍රි.ව. 5වෙනි සියවසට අයිති අත්පිටපත්වල (කෝඩෙක්ස් ඇලෙක්සැන්ඩ්‍රිනස්, කෝඩෙක්ස් එෆ්‍රේමි සුඑරි රෙස්ක්‍රිප්ටුස්, කෝඩෙක්ස් බීසේ කන්තාබ්‍රිජියෙන්සිස්) පද 12ක් ඇතුළත් දීර්ඝ අවසානය දකින්න තියෙනවා. ඒ වගේම ලතින් “වල්ගේට්” සහ සිරියැක් “පෙෂිට්ටා” කියන බයිබල් පරිවර්තනවලත් කුරෙටෝනියානු සිරියැක් ලියවිල්ලෙත් ඒ අවසානයම සඳහන් වෙලා තියෙනවා. ඒත් 4වෙනි නැත්නම් 5වෙනි සියවසට අයිති සමහර අත්පිටපත්වල (කෝඩෙක්ස් සයිනයිටිකස්, කෝඩෙක්ස් වැටිකනස්, කෝඩෙක්ස් සයිනයිටිකස් සිරියැකස්, සහිදික් කොප්ටික්) ඒ දීර්ඝ අවසානය ඇතුළත් කරලා නැහැ. ආර්මේනියානු සහ ජෝර්ජියන් භාෂාවලින් තියෙන පැරණිම අත්පිටපත්වල මාක් පොත අවසන් කරලා තියෙන්නේ 8වෙනි පදයෙන්.
හැබැයි පස්සේ කාලෙක සකස් කරපු ග්‍රීක අත්පිටපත්වලත් බයිබල් පරිවර්තනවලත් කෙටි අවසානය කියන කොටස ඇතුළත් කරලා තියෙනවා. ඒ කොටසට ඇතුළත් වෙන්නේ වාක්‍ය දෙකක් විතරයි. ක්‍රි.ව. 8වෙනි සියවසට අයිති පිටපතක (කෝඩෙක්ස් රෙජියස්) දීර්ඝ අවසානයත් කෙටි අවසානයත් සඳහන් වෙනවා. දීර්ඝ අවසානය සහ කෙටි අවසානය ඇතුළත් කරන එක ඒ කාලයේ හිටපු විද්වතුන් අනුමත කරලා තියෙනවා කියලා ඒ පිටපතේ හැඳින්වීමේ සඳහන් වෙනවා. ඒත් ඒ විදිහට අවසන් කරලා තියෙන එක නිවැරදියි කියලා ඒ හැඳින්වීමේ සඳහන් වෙන්නේ නැහැ.
කෙටි සහ දීර්ඝ අවසානය
සමහර බයිබල්වල මාක් 16:8ට පස්සේ කෙටි අවසානයක් සහ දීර්ඝ අවසානයක් තියෙනවා. හැබැයි ඒවා දෙවිගේ බලයෙන් ලියවුණු ශුද්ධ ලියවිල්ලේ කොටසක් නෙවෙයි.
ජූනි 11-17
දේවවචනය නිධානයක් | ලූක් 1
ගැඹුරින් හොයමු
nwtsty ලූක් 1:69 සටහන
ශ්‍රේෂ්ඨ ගැලවුම්කරුවෙක්: ඒ යෙදුමට අදාළ පාදසටහනේ සඳහන් වෙන්නේ “ගැලවීම ලබා දෙන අඟක්” කියලයි. හුඟක් අවස්ථාවලදී “අඟ” නැත්නම් “අං” කියන වචන යොදාගෙන තියෙන්නේ බලය, ජයග්‍රහණය කියන අර්ථ නියෝජනය කරන්න. (1සාමු 2:1; ගීතා 75:4; පාදසටහන්) ඒ වගේම ධර්මිෂ්ඨ පාලකයන්වත් දුෂ්ට පාලකයන්වත් සංකේතවත් කරන්න ඒ වචන යොදාගෙන තියෙනවා. එයාලා ලබපු ජයග්‍රහණයන් අංවලින් තල්ලු කිරීමට සමාන කරලා තියෙනවා. (ද්වි 33:17; දානි 7:24; 8:2-10, 20-24) ලූක් 1:69 පාදසටහනේ ‘ගැලවීම ලබා දෙන අඟක්’ විදිහට හඳුන්වලා තියෙන්නේ ගැලවීම ලබා දෙන්න බලය තියෙන ශ්‍රේෂ්ඨ ගැලවුම්කරු වන යේසුස්වයි.
nwtsty ලූක් 1:76 සටහන
යෙහෝවා දෙවි වෙනුවෙන් මාර්ගය කලින්ම සූදානම් කරන්නේ ඔබයි: පියාව නියෝජනය කරමින් පියාගේ නාමයෙන් පැමිණෙන යේසුස්ට පෙර මඟ සූදානම් කරන වගකීම ලැබිලා තිබුණේ යොහන් බව්තීස්තට. ඒ නිසයි මේ පදයේ යොහන්ව යෙහෝවා දෙවි වෙනුවෙන් මාර්ගය කලින්ම සූදානම් කරනවා කියලා සඳහන් වෙලා තියෙන්නේ.—යොහ 5:43; 8:29.
ජූනි 18-24
දේවවචනය නිධානයක් | ලූක් 2-3
“දරුවෙනි, ඔයාලා දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්නවාද?”
nwtsty ලූක් 2:41 සටහන
ඔහුගේ දෙමාපියෝ . . . පුරුදුව සිටියහ: පාස්කු උත්සවය සමරන්න ස්ත්‍රීන් යෙරුසලමට යන්න ඕනෙ කියලා නීතියේ සඳහන් වෙලා තිබුණේ නැහැ. ඒත් හැම අවුරුද්දකම පාස්කුව සමරන්න යෙරුසලමට යද්දී මරියාත් යෝසෙප් එක්ක යන්න පුරුදු වෙලා හිටියා. (නික් 23:17; 34:23) යෙරුසලමට යන්නයි, එන්නයි කි.මී. 300ක (සැතපුම් 190ක) විතර දුරක් තිබුණත් එයාලා හැම අවුරුද්දකම දරුවන්වත් එක්කගෙන පාස්කුව සමරන්න ගියා.
nwtsty ලූක් 2:46, 47 සටහන්
ඔවුන්ගෙන් විවිධ ප්‍රශ්න අසමින් සිටියේය: යේසුස්ට සවන් දෙමින් හිටිය අය පුදුම වුණා කියලා සඳහන් වෙලා තියෙන එකෙන් පැහැදිලි වෙනවා යේසුස් ඒ අයගෙන් අහලා තියෙන්නේ පුංචි ළමයි කුතුහලය නිසා අහන ප්‍රශ්න නෙවෙයි කියලා. (ලූක් 2:47) “ප්‍රශ්න අසමින්” කියන අර්ථය දෙන ග්‍රීක වචනයට නඩු විභාගයකදී වගේ හරස් ප්‍රශ්න අහනවා කියන අදහසත් ඇතුළත් වෙනවා. (මතෙ 27:11; මාක් 14:60, 61; 15:2, 4; ක්‍රියා 5:27) දේවමාලිගාවේ පැවැත්වෙන උත්සව අවසන් වුණාට පස්සේ දේවමාලිගාවේ ඉඳන් මිනිසුන්ට උගන්වන්න ඉහළ පෙළේ ආගමික නායකයන් පුරුදු වෙලා හිටියා කියලා ඉතිහාසඥයන් කියනවා. මිනිසුන් එයාලගේ පාමුල ඉඳගෙන එයාලගෙන් ප්‍රශ්න අසමින් එයාලට සවන් දෙමින් ඉඳලා තියෙනවා.
කොතරම් පුදුම වුණාද කිවහොත්: මේ විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක යෙදුමෙන් අදහස් වෙන්නේ යම් දෙයක් නැවත නැවත මතක් කරමින් ඒ ගැන පුදුම වෙන එකයි.
nwtsty ලූක් 2:51, 52 සටහන
දිගටම . . . කීකරු වෙලා හිටියා: මේ විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක ක්‍රියා පදය “දිගටම යටත් වෙලා හිටියා” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. ඒ ග්‍රීක ක්‍රියා පදයෙන් අදහස් වෙන්නේ දිගින් දිගටම සිදු වෙන ක්‍රියාවක්. ඒකෙන් පැහැදිලි වෙනවා යේසුස් දේවමාලිගාවේ ඉඳන් ගුරුවරුන් පුදුම වෙන විදිහේ ප්‍රශ්න අහලා ගෙදර ගියාට පස්සෙත් නිහතමානීව දිගටම ඔහුගේ දෙමාපියන්ට කීකරුව හිටියා කියලා. යේසුස් ඒ විදිහට කීකරු වෙලා හිටපු එකේ ලොකු වටිනාකමක් තියෙනවා. මොකද යේසුස් නීතියේ සඳහන් හැම දෙයක්ම ඒ විදිහටම ඉටු කළා කියලා කියන්න ඒක හොඳ සාක්ෂියක් වුණා.—නික් 20:12; ගලා 4:4.
ගැඹුරින් හොයමු
nwtsty ලූක් 2:14 සටහන්
මිහිපිට දෙවිගේ අනුමැතිය ලැබූ මිනිසුන්ට සමාදානය වේවා: මේ විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක යෙදුම සමහර අත්පිටපත්වල සඳහන් වෙන්නේ මෙහෙමයි. “මෙලොවේ සමාදානය ඇති වේවා! මිනිසුන්ට දෙවිගේ අනුමැතිය ලැබේවා!” සමහර බයිබල් පරිවර්තනවලත් ඒ අදහස දකින්න තියෙනවා. හැබැයි ‘නව ලොව පරිවර්තනයේ’ සඳහන් වෙලා තියෙන්නේ වැඩිදෙනෙක් පිළිගත්, හුඟක් පැරණි අත්පිටපත්වල තියෙන අදහසයි. දේවදූතයා කියපු දෙයින් අදහස් වෙන්නේ ඕනම කෙනෙක්ට දෙවිගේ අනුමැතිය ලැබෙනවා කියන එක නෙවෙයි. දෙවිගේ අනුමැතිය ලැබෙන්නේ දෙවි ගැන ලොකු විශ්වාසයක් තියෙන, යේසුස්ගේ අනුගාමිකයන් වන අයට විතරයි.—මේ පදයේම දෙවිගේ අනුමැතිය ලැබූ මිනිසුන් යන සටහන බලන්න.
දෙවිගේ අනුමැතිය ලැබූ මිනිසුන්: අනුමැතිය විදිහට පරිවර්තනය කරලා තියෙන “යුඩොකීයා” කියන ග්‍රීක වචනයට “සතුට; ප්‍රසන්න; ආදරය” කියන අදහස් ඇතුළත් වෙනවා. ඒ වචනයෙන් හැදිලා තියෙන “යුඩොකීයො” කියන ග්‍රීක ක්‍රියා පදයෙන් “කෙනෙක්ට අනුමැතිය දෙන එක; කෙනෙක් ගැන ගොඩක් සතුටු වෙන එක; කෙනෙක් ගැන ලොකු ආදරයක් ඇති වෙන එක” අදහස් වෙනවා. යේසුස් බව්තීස්ම වුණාට පස්සේ දෙවි ඔහුට කතා කළ අවස්ථාවේදීත් යොදාගෙන තියෙන්නේ ඒ ග්‍රීක ක්‍රියා පදයමයි. (මතෙ 3:17; මාක් 1:11; ලූක් 3:22) ලූක් 2:14 දේවදූතයා කියපු දෙයින් අදහස් වෙන්නේ ඕනම කෙනෙක්ට දෙවිගේ අනුමැතිය ලැබෙනවා කියන එක නෙවෙයි. ඒ වෙනුවට දෙවිගේ අනුමැතිය ලැබෙන්නේ දෙවි ගැන ලොකු විශ්වාසයක් තියෙන, යේසුස්ගේ අනුගාමිකයන් වන අයට විතරයි කියන එකයි. “යුඩොකීයා” කියන වචනය සමහර අවස්ථාවලදී මිනිසුන්ගේ හිත්වල ඇති වෙන හොඳ හැඟීමක්, හොඳ චේතනාවක් ගැන සඳහන් කරද්දීත් යොදාගෙන තියෙනවා. (රෝම 10:1; ෆිලි 1:15) හැබැයි ඒක වැඩියෙන්ම යොදාගෙන තියෙන්නේ දෙවි සතුටු වෙන, දෙවිට ප්‍රසන්න, දෙවි කරන්න කැමති යහපත් දේවල් ගැනත් දෙවිගේ කැමැත්ත ගැනත් කතා කරන අවස්ථාවලදියි. (මතෙ 11:26; ලූක් 10:21; එෆී 1:5, 9; ෆිලි 2:13; 2තෙස 1:11) “සෙප්ටුඅජින්ට්” පරිවර්තනයේ ගීතා 51:18 [50:20, LXX] දෙවිගේ “කරුණාව” ගැන සඳහන් කරද්දී යොදාගෙන තියෙන්නෙත් ඒ වචනයමයි.
ජූනි 25–ජූලි 1
දේවවචනය නිධානයක් | ලූක් 4-5
“යේසුස් වගේ සාතන්ව ප්‍රතික්ෂේප කරන්න”
nwtsty ලූක් 4:9 මීඩියා
දේවමාලිගාවේ පවුර
සාතන් ඇත්තටම යේසුස්ට පහතට පනින්න කියලා කිව්වේ දේවමාලිගාවේ පවුර මුදුනට ඒ කියන්නේ පවුරේ උසම තැනට එක්කගෙන ගිහින් වෙන්න ඇති. හැබැයි ඒ වෙලාවේ යේසුස් හිටියේ කොතනද කියලා හරියටම කියන්න බැහැ. මේ පදයේ “දේවමාලිගාවේ” කියලා කියද්දී දේවමාලිගා සංකීර්ණයම අදහස් වෙනවා කියලා හිතන්න පුළුවන්. ඒ නිසා ඒ වෙලාවේ සමහරවිට යේසුස් දේවමාලිගා සංකීර්ණයේ ගිනිකොන පැත්තට වෙන්න තිබුණු කොනේ (1) ඉන්න ඇති. එහෙමත් නැත්නම් ඔහු දේවමාලිගා සංකීර්ණයේ වෙන කොනක ඉන්න ඇති. දේවමාලිගා පවුරේ කොතන ඉඳන් පහතට වැටුණත් අනිවාර්යයෙන්ම ඒ කෙනා මරණයට පත් වෙනවා. ඒකෙන් බේරෙන්න ලැබෙන්නේ යෙහෝවා දෙවි මැදිහත් වුණොත් විතරයි.
ගැඹුරින් හොයමු
nwtsty ලූක් 4:17 සටහන
අනාගතවක්තෘ යෙසායාගේ ලියවිල්ල: සත්ව හම්වලින් හදලා තිබුණු පිටු 17ක් එකකට එකක් සම්බන්ධ කරලා තියෙන යෙසායාගේ මළ මුහුදේ ලියවිල්ල අඩි 24ක් (මීටර් 7.3ක්) දිගයි. ඒක තීරු 54කට බෙදලා තිබුණා. නාසරෙත්වල තිබුණු සිනගෝගයේ තියෙන්න ඇත්තෙත් ඒ ප්‍රමාණයේ ලියවිල්ලක් වෙන්න ඇති. මුල් සියවසේ තිබුණු අකුළන ලියවිලි පරිච්ඡේද සහ ඡේදවලට වෙන් කරලා තිබුණේ නැහැ. ඒ නිසා කෙනෙක්ට ඒ ලියවිල්ලකින් යම් කොටසක් කියවන්න ඕන වුණාම ඒක තියෙන තැන හොයාගන්න ලේසි වුණේ නැහැ. ඒ නිසා සිනගෝගයේ තිබුණු ලියවිල්ලෙන් කියවද්දී තමන්ට ඕන කරන කොටස හොයාගන්න යේසුස්ට සිද්ධ වුණා. හැබැයි යේසුස් ඒ ලියවිල්ලෙන් තමන්ට ඕන කොටස හොයාගත්තා කියලා සඳහන් දෙයින් පැහැදිලි වෙනවා ඔහුට ශුද්ධ ලියවිල්ල පාවිච්චි කරලා හොඳ හුරුවක් තිබුණා කියලා.
nwtsty ලූක් 4:25 සටහන
අවුරුදු තුනකුත් මාස හයක්: 1රාජා 18:1 සඳහන් වෙන විදිහට නියඟය අවසන් වුණා කියලා එලියා කියලා තියෙන්නේ “තුන්වන අවුරුද්දේදී.” ඒ පදයේ එහෙම කියන නිසා සමහරු කියනවා යේසුස් 1 රාජාවලිය පොතේ තියෙන තොරතුරුවලට වඩා වෙනස් අදහසක් කියලා තියෙනවා කියලා. හැබැයි අවුරුදු තුනකට කලින්ම නියඟය අවසන් වුණා කියලා හෙබ්‍රෙව් ලියවිලිවල කිසිම තැනක සඳහන් වෙලා නැහැ. පේන විදිහට එලියා සඳහන් කරපු “තුන්වන අවුරුද්දේ” කාල සීමාව පටන් අරන් තියෙන්නේ එයා නියඟය ගැන ආහබ් රජුට දැනුම් දීපු අවස්ථාවේ ඉඳලයි. (1රාජා 17:1) එලියා ඒ ගැන කියද්දීත් වියළි කාලය පටන් අරන් තියෙන්න ඇති. සාමාන්‍යයෙන් වියළි කාලය පැවතුණේ මාස හයක් විතර වුණත් පේන විදිහට මේ වතාවේදී ඊට වඩා වැඩි කාලයක් පුරා වියළි කාලය පැවතිලා තියෙනවා. ඒ වගේම එලියා ආහබ් රජුට නියඟය ගැන කියපු දෙවෙනි වතාවේදී ඒ කියන්නේ “තුන්වෙනි අවුරුද්දේදී” ඒ නියඟය අවසන් වුණේ නැහැ. නියඟය අවසන් වුණේ ගින්නක් එවලා සැබෑ දෙවිව හඳුනාගන්න කර්මෙල් කන්දේදී පවත්වපු පරීක්ෂණය පැවැත්තුවාට පස්සෙයි. (1රාජා 18:18-45) එහෙම බලද්දී යේසුස් නියඟය ගැන කියපු දේත් ඔහුගේ අර්ධ සහෝදරයෙක් වන යාකොබ් ඒ ගැන කියලා තියෙන දේත් (යාකො 5:17) 1රාජා 18:1 සඳහන් වෙන තොරතුරුවලට පටහැනියි කියලා කියන්න බැහැ.